භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනයෙන් දුම්රිය සේවයට දෛනිකව රුපියල් 515,000 ක පමණ ආද‌ායමක් ලැබේ. එය මසකට රුපියල් එක්කෝටි පනස් හතර ලක්ෂ පනස්ද‌හසක් පමණ (154,50,000) වේ. වර්ෂයකට රුපියල් කෝටි 18කට අධික ආද‌ායමක් දුම්රිය භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනයෙන් ලැබේ. මේ හැර සතුන් හා ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයෙන් ද මිලියන ගණනක ආද‌ායමක් වාර්ෂිකව දෙපාර්තමේන්තුවට ලැබේ.   


මේ සා විශාල ආද‌ායමක් ලැබෙන දුම්රිය පාර්සල් හා භාණ්ඩ ප්‍රවාහන සේවය දින 16ක් තිස්සේ නතර වී තිබුණි. එයට හේතුව වූයේ දුම්රිය ශ්‍රේණි දෙකක අභිමානය පිළිබඳ ප්‍රශ්නයකි.   


ආසන්නතම හේතුව   


දුම්රිය ස්ථානාධිපතිවරුන් හා නියාමකවරුන් අතර ඇතිවූ ප්‍රශ්නයක් නිසා මෙසේ භාණ්ඩ ප්‍රවාහනය අඩපණ විය. මෙම ප්‍රශ්නය වසර දෙකක පමණ කාලයක් තිස්සේ ඇදි ඇදී තිබුණක් බව කියති. දුම්රිය මගීන් ප්‍රවාහනය කරන භාණ්ඩ හා පාර්සල් ඇතැම් දුම්රිය ස්ථානවලින් භාර නොගැනීමත්, ඇතැම් දුම්රිය ස්ථානවල ඇති භාණ්ඩ දුම්රියවලට භාර නොදී විවිධ හේතු ඉදිරිපත් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියා කිරීමත් මෙසේ අර්බුදයක් දක්වා උත්සන්න වූ බව දුම්රිය නියාමකයන්ගේ චෝදනාවයි.   


 මෙහි ආසන්නතම සිදුවීම වාර්තා වී තිබුණේ ඉකුත් දෙසැම්බර් 15 වැනි දින යාල් දේවියෙන් ප්‍රවාහනය කළ පාර්සල් ප්‍රමාණයක් ගල්ගමුව දුම්රිය ස්ථානයෙන් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසාය. පසුව එම පාර්සල් අනුරාධපුරය දුම්රිය ස්ථානයට ගෙන ගොස් භාර දුන්නත් අනුරාධපුරය දුම්රිය ස්ථානාධිපතිවරුන් භාර ගත්තේ අද‌ාළ දුම්රිය ස්ථානයට අයත් භාණ්ඩ පමණකි. අනික් ඒවා භාරගැනීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණි. මේ නිසා යාල් දේවියේ නියාමකවරුන් පත්වූයේ දැඩි අසීරුතාවකටය. අද‌ාළ නියාමකවරයා අනුරාධපුරයෙන් රාජකාරියෙන් බැහැරට යන අතර ඒ වෙනුවට වෙනත් අයකු පැමිණෙන අතර ඔහු දුම්රිය අනුරාධපුර සිට කන්කසන්තුරය දක්වා පමණක් වූ රාජකාරි භාර ගනියි.   


 එයට පෙර දුම්රිය ස්ථානයකට අද‌ාළ අතපසු වූ රාජකාරි දෙපාර්තමේන්තු රෙගුලාසි අනුව භාර ගැනීමට නියාමකවරුන්ට රාජකාරිමය ප්‍රශ්නයක් ඇති කරවන්නකි. මෙවන් ප්‍රශ්නයක් උද්ගත වීම නිසා භාණ්ඩ ප්‍රවාහනයේදී හටගන්නා මෙම ප්‍රශ්න නිසාම නියාමකවරු භාණ්ඩ ප්‍රවාහනයෙන් ඉවත් වීමට තීරණය කළහ.   


භාණ්ඩ ප්‍රවාහනය වර්ජනය කරයි   


 ප්‍රශ්නය සමථයට පත්කර විසඳුමක් දෙනතුරු එසේ කරන බවට ද ඔවුහු පවසා සිටියහ. එතැන් සිට දුම්රියෙන් භාණ්ඩ හා පාර්සල් ප්‍රවාහනයට වැට බැඳුණි. එහෙත් භාණ්ඩ හා පාර්සල් භාර ගැනීම නවතා නොදැමීමට දුම්රිය ස්ථානාධිපතිවරු ක්‍රියා කළහ. සතුන් හා නරක් වන ආහාර වර්ග භාර නොගැනීමට ද උත්සුක වූහ. 

 
නරක් විය හැකි ආහාර ද්‍රව්‍ය හා සතුන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළේ වර්ජනය හේතුවෙන් ඒවා ඉක්මනින් ප්‍රවාහනය කිරීමට නොහැකි බව පාරිභෝගිකයන්ට පවසමිනි.   
 පාරිභෝගිකයන් මේ නිසා දැඩි දුෂ්කරතාවට පත් වුවත් ඇතැම් දුම්රිය ස්ථානාධිපතිවරු එයට ද තාවකාලික විසඳුමක් යෙදූහ. ඒ දිස්ත්‍රික් පරීක්ෂකවරුන් හා ඊට ඉහළ නිලධාරීන් මගින් භාණ්ඩ ප්‍රවාහනයට කටයුතු සැලසීමෙනි. එමෙන්ම මෙහිදී දුම්රිය ස්ථානාධිපතිවරුන් සිදුකළ මෙහෙය ද අගය කළ යුතුය. ඔවුන් පවතින තත්ත්වය පාරිභෝගිකයන්ට පැහැදිලි කරමින් කියා සිටියේ භාණ්ඩ ප්‍රවාහනය ඉක්මනින් කළ නොහැකි බවත් ප්‍රශ්නයට විසඳුම් ලද වහා ඒවා ප්‍රවාහනය කරන බවත්ය.   


 මෙම තත්ත්වය වටහාගත් පාරිභෝගිකයන් ද එම යෝජනාවට කැමැති නම් භාණ්ඩ ලබා දී ගිය අතර අකැමැති හා හදිසි අවශ්‍යතා ඇති අය වෙනත් විකල්ප ක්‍රමවේද භාවිත කළහ. මේ නිසා ද සැලකිය යුතු ආද‌ායමක් දෙපාර්තමේන්තුවට නොලැබිණි. එමෙන්ම සතුන් හා පලතුරු, එළවළු ආදී ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට ද වැට බැඳුණු නිසා ඒවායින් දෛනිකව ලැබෙන ආද‌ායම ද නොලැබී ගියේය. 

 
කෙසේ වෙතත් මෙම වර්ජනය පැවැති කාලයේදී අහිමි වූ ආද‌ායම ගැන වෘත්තීය සමිති විවිධ දේ පවසතත් සැලකිය යුතු ආද‌ායමක් අහිමි වූ බව නම් අවිවාදිතය. එයට විවිධ හේතු කියා ඵලක් නැත.   


රාජකාරියට අද‌ාළ රෙගුලාසි හා නීතිරීති   


පාර්සල් ගෙන යෑම සම්බන්ධව මෙසේ ඇතිවූ ප්‍රශ්නයට හේතුව රෝඩ් බිල සම්බන්ධ ප්‍රශ්නයකි. නියාමකගේ රෝඩ් බිල අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් ඒවා පරීක්ෂා කර බැලිය යුතුය.   


පාර්සල් බෑමේදී නියාමකගේ රෝඩ් බිලෙහි එක් එක් මාතෘකාව යටතේ ඇතුළත් කර ඇති අංක සසඳා හරි වැරදි බැලීමත්, ලැබුණු බඩු මිටි සම්බන්ධව සම්පූර්ණ අත්සන් තැබීමත් අයත්ය. එහි 121 වැනි රෙගුලාසිය දුම්රිය නියාමකයන්ට අයත්ය.   


 එමෙන්ම තමාට භාර දීමට ඇති වැගන්, තැපැල්, ගමන් බඩු, පාර්සල් ආදිය පිළිබඳව මනා පරීක්ෂාවක් නියාමකගේ රාජකාරි අතර ප්‍රධානය. ඒවා දුම්රිය ස්ථාන සාරාංශ සටහන්, මාර්ග බිල් පත්‍ර, ඉන්වොයිස් පත්‍ර යනාදිය ගැන ක්‍රියා කළ යුතු ආකාරය ද ව්‍යවස්ථා හා රෙගුලාසිවල සඳහන්ය.   


 තව ද විදුලි පුවත් භාර දීම, කුඩා දුම්රිය (Rail Bus) වලට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමත් නියාමක රාජකාරියකි. එහෙත් පාර්සල් ප්‍රවාහනය අළලා පටන්ගත් වර්ජනය නියාමකවරුන් කළේ කිසිදු අද‌ාළත්වයක් නැති Rail Bus ටිකට්පත් අලෙවිය ද දින කිහිපයකට නවතා දැමීමකි. එය ටිකට්පත් ලබා ගැනීමට දුම්රිය ස්ථානයක් හෝ උපදුම්රිය ස්ථානයක් නොමැති දුම්රිය නැවතුම්පොළවල් (Rail Halt) වලින් සේවය ගන්නා වූ මගීන්ට සිදුවූ බලවත් අසාධාරණයකි. ටිකට් පත් නිකුත් නොකිරීම නිසා මගීන්ට ටිකට් පරීක්ෂකවරුන්ට බියෙන් ඊළඟ දිනයේ ළඟම ඇති දුම්රිය ස්ථානවලට යෑමට ඒමට සිදුවිය. එය ද දෙපාර්තමේන්තුව නිසා මගියාට විඳින්නට සිදුවූ හිරිහැරයකි. එමෙන්ම අද‌ාළ දිනවල ටිකට් පත් ආද‌ායම අහිමි වීම ද අලාභයකි.   


 එමෙන්ම දුර ගමන් දුම්රිය ගමනාගමනයේ යෙදෙන මගීන් හට පහසුකම් වැඩි මැදිරියකට යෑමට අවැසි නම් ඒ සඳහා අද‌ාළ හිඟ ගාස්තු නියාමකට ගෙවා එම පහසුකම ලබාගත හැකිය. එම ගෙවන මුදල් ද නියාමකවරයා විසින් ඊළඟ දුම්රිය ස්ථානයේදී දුම්රිය ස්ථානාධිපතිගේ නිල කාමරයට ගොස් භාරදිය යුතුය.   


 මෙසේ දුම්රිය ස්ථානාධිපතිගේ නිල කාමරයට ගොස් නියාමකවරුන් අද‌ාළ රාජකාරිය අකුරට කළත් දුම්රිය භාණ්ඩ ප්‍රවාහනයේදී නියාමකවරුන්ගේ නිල කාමරය හෙවත් දුම්රියේ ඇති නියාමක කාමරයට දුම්රිය ස්ථානිධිපතිවරුන් ගොස් අද‌ාළ ලියකියවිලි භාර දී භාණ්ඩ හා පාර්සල් භාරදීම හෝ ලබා ගැනීම කළ යුතුය.   


 ගැටලුව පැන නැග්ගේ මෙතනදීය. දුම්රියේම පිහිටි නියාමක කාමරය නිල කාමරයක් ලෙස පිළිගැනීමට ස්ථානාධිපතිවරුන් ප්‍රතික්ෂේප කරමින් අද‌ාළ රාජකාරියෙන් බැහැර වූ බව නියාමකවරුන්ගේ පාර්ශ්වයෙන් නැගෙන චෝදනාවකි. මෙයට ස්ථානාධිපතිවරුන් නගන්නේ වෙනත් චෝදනාවකි.   


කෙසේ වෙතත් මෙසේ ප්‍රශ්නයක් උද්ගත කරගත්තේ අලුතින් ඇති කරන ලද රෙගුලාසියකට නොවන වග නම් ඉතා පැහැදිලිය. 150 වසරක ඉතිහාසයක් මුළුල්ලේ පැවැතගෙන ආ ක්‍රමවේදයට පරිබාහිරව කටයුතු කිරීමට මොනයම් හෝ ශ්‍රේණියක නිලධරයෙක් ක්‍රියා කරනුයේ නම් එය වරදකි. එය වෙනස් කළ හැක්කේ එවැනි රෙගුලාසියක් අවලංගු කළ හැකි පාර්ශ්වයක් විසින් එය අවලංගු කර නව රෙගුලාසියක් පැනවුවහොත් විනා මෙසේ වර්ජන කිරීමෙන් සිය විරෝධතාව දැක්වීමෙන් නොවේ. එසේ විරුද්ධතාව ප්‍රකාශ කිරීම සාධාරණ ආකාරයට කළා නම් අද අපටවත් මෙසේ කතා කිරීමට අවැසි නොවනු ඇත. රටට, අවැඩක් සිදුවන ක්‍රියාපටිපාටියකට මෙසේ අවතීරණ වීම අනුමත කළ නොහැකිය.   


දම්වැලක පුරුක් මෙන් බැඳුණු රාජකාරිය   


භාණ්ඩ හා මගී ප්‍රවාහනයේදීත් දුම්රිය නියාමක, ස්ථානාධිපති, රියැදුරු ආදී සියලු ශ්‍රේණිවල සුහදතාව අනුව රාජකාරිය මනාව ඉටුකළ යුතුය. ඒ ඒ ශ්‍රේණි අතර සුහදතාව හා රාජකාරිමය සීමා අනුව අන්‍යොන්‍යව මෙම සේවය සමග බැඳී පවතී. එය දම්වැලක පුරුක් මෙන්ය. එකදු පුරුකක්​ හෝ ගැලවී ගියහොත් හෝ බිඳී ගියහොත් රාජකාරියට බරපතළ බාධා ඇතිවේ.   


ආසියාවේ පැරණිම සේවය කියමින් පුරසාරම් දෙඩිය හැකි තත්ත්වයක් දෙපාර්තමේන්තුවට නැත. අපට පසුව දුම්රිය සේවා ඇරැඹි රටවල් අප රටට වඩා ඉදිරියෙන් සිටින්නේ ආලෝක වර්ෂ තරම් දුරිනි. ඒවාට අලගු තබන්නවත් අපට නොහැකිය. එය​ට හේතු වී ඇත්තේ විවිධ ශ්‍රේණි හා වෘත්තීය සංගම් අතර පවතින මතිමතාන්තර, මාන්නය, උද්දච්චකම හෝ තවත් කරුණු විය හැකි බව පසුගිය කාලයේ සිදුවූ වර්ජන දෙස බැලීමේදී පෙනී යයි.   


පෞද්ගලික වාසි වෙනුවෙන් මගියාත්, සේවයත්, රාජ්‍ය දේපළත් පරදුවට තබමින් අවභාවිතයට එරෙහිව දෙපාර්තමේන්තුවත්, මහජනයාත් පියවර ගත යුතුය. වාසි අවාසි ගැන නොතකා දුම්රිය සේවය වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතුය. ප්‍රශ්නයක් උද්ගත වූ වහාම කමිටු පත් කිරීම ද දෙපාර්තමේන්තුවේ පුරුද්දකි. මෙම ප්‍රශ්නයට ද සතරදෙනකුගෙන් යුතු කමිටුවක් පත්කළ අතර එයට අද‌ාළ යෝජනා චෝදනා ගැන ද සලකා බැලින. දෙපාර්තමේන්තුවට පරිබාහිර පුද්ගලයන්ගෙන් මෙම කමිටු සමන්විත වූවා නම් වඩාත් සාධාරණ යැයි අපේ හැඟීමය. මන්ද යත් ඉහළ නිලධාරීන් තමන් කලින් සිටි ශ්‍රේණිය වෙනුවෙන් පක්ෂග්‍රාහී නොවේ යැයි කාට නම් කැට තැබිය හැකි ද?   

 

 


 මේ ගැන සංගම්වල නිලධාරීන්ගෙන් විමසීමු.   


දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් පී.එම්.පී. පීරිස් : “මේ ප්‍රශ්නයට දැන් වසර දෙකකටත් වැඩියි. දුම්රිය දෙපාර්තමේන්තුව අපිට කිසිම විසඳුමක් දුන්නේ නැහැ. පහුගිය 31 වැනිද‌ා පාර්ශ්ව දෙකම ගෙනල්ලා විසඳුමක් ලබා දුන්නත් තවමත් දුම්රිය ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙක්ම භාණ්ඩ භාර දෙන්නවත්, භාර ගන්නවත් එන්නේ නැහැ. සියයට එකක් වගේ ප්‍රමාණයක් තමයි මේක කරන්නේ. ඒ නිසා ඒ දුම්රිය ස්ථානවලට පමණක් ඒවා ප්‍රවාහනය කිරීම අපි නැවැත්වූවා.”   


සමස්ත ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ලේකම් එස්. පී. විතානගේ මහතා :  “ශ්‍රේණි දෙකක අභිමානය පිළිබඳ ප්‍රශ්නයක් වෙලා තමයි මේ ප්‍රශ්නය හටගත්තේ. අවුරුදු 150ක් තිස්සේ කරපු රාජකාරියක් හිටිහැටියේ අතහැර ද‌ාන්න හිතුණේ ඇයි කියලා පැහැදිලි නැහැ.   


දුම්රිය ධාවනයේදී හැම ශ්‍රේ‍ණියකම අයගේ සහයෝගයෙන් එකා වගේ එකම දම්වැලක පුරුකක් වගේ ඉන්න ඕනා. එක පුරුකක් හෝ බිඳුනොත් ලොකු හානියක් වෙන්නේ. දවසකට භාණ්ඩ ප්‍රවාහනයෙන් රුපියල් ලක්ෂ පහක විතර ආද‌ායමක් ලැබෙනවා. මාසෙකට රුපියල් කෝටි එකහමාරක විතර ආද‌ායමක් ලැබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට කිසිම වියදමක් නොදරා උපයන මේ වගේ ආද‌ායමක් ශ්‍රේණීන් දෙකක කඹ ඇදීම නිසා අහිමි වෙලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන මේ වගේ ආද‌ායමක් අහිමි කරමින් මේ අරන් ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා අපට සැකයක් මතුවෙනවා මේ පාර්සල් ප්‍රවාහනය පුද්ගලික අංශයට ලබාදෙන්න උත්සාහ කරනවා ද කියලා.   


 සති දෙකක් තිස්සේ මේ ප්‍රශ්නය ඇදුනත් හරියාකාරව විසඳුමක් නැතිව සාකච්ඡා මාර්ගයකින් පස්සේ දැන් ආයෙත් වැඩ කළත් තව මාසයකින් විතර ආයේ ඔය ප්‍රශ්නය මතුවෙනවා. සටන් කරන්න ඕන නම් ඔයිට වඩා ප්‍රශ්න දෙපාර්තමේන්තුවේ තියෙනවා. සති දෙකකට වැඩි කාලයක් භාණ්ඩ ප්‍රවාහනය කරගන්න බැරිව බලා හිටපු පාරිභෝගිකයා ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.”   


දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු : “පාර්සල් ප්‍රවාහනය කාට හෝ පෞද්ගලික අංශයකට පවරන්න මේ නියාමකවරුන් කාගේ හෝ බළල් අතක් නිසා මේ ප්‍රශ්නය ඇති කළා ද කියා අපට සැක සහිතයි. මේ ප්‍රශ්නය පටන් ගත්ත ද‌ා ඉඳන් අපි අපේ ‘ඩියුටිය’ කළා. අපි පාර්සල් භාර ගත්තා. දවසින් යන්න ඕන පාර්සල් දවස් ගණන් පහුවුණා. මිනිසුන්ගේ පැමිණිලිත් වැඩිවුණා.   


අපි මේ ප්‍රශ්නයට විකල්ප යෝජනා දෙපාර්තමේන්තුවට යෝජනා කළා. ඒ යෝජනාවලට යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. අපිට ඕනතරම් ක්‍රම භාවිත කරන්න පුළුවන් මෙහෙම ප්‍රශ්නයක් ආවාම. ඒත් ඒවට අනුමැතිය ලැබෙන්න ඕනෑ. මේ කාරණය අරඹයා ඕන දේකට නිල බලයෙන් අපට සුදුසු දෙයක් කරන්න පුළුවන්. 

 
 අත්සන් කිරීමක් අරඹයා මේ වර්ජනය කළා.   


පාර්සල් භාරදීම හා භාර ගැනීම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අයත් කාර්යයක්. නියාමකවරයාට තියෙන්නේ ප්‍රවාහනය කිරීමයි. ඔය​ රෝඩ් බිල අපි කෝච්චියට නැගල අත්සන් කරන්න කියා නියාමකලා කියනවා. පාර්සලය තැනක තියෙද්දි රෝඩ් බිල තව තැනක නම් තියෙන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවනේ. භාණ්ඩ හෝ පාර්සල් ප්‍රවාහනයේදී අඩුවීම්, විනාශ වීම් සිදු වුණා නම් ඒවා සටහන් කරලා බර කිරලා භාර ගැනීමයි, භාර දීමයි කළ යුත්තේ. 

 
 මේ සම්බන්ධ රෙගුලාසිවල සිංහල, ඉංග්‍රීසි පරිවර්තන වචනයක දෝෂයක් මුල් කරගෙනයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ.”

 

 

 

 

සටහන හා ඡායාරූප  :
පුෂ්පා වීරසේකර