ජීවිතය ජය ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


බිංගිරිය, කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

වල් ඌරන් මැරූ ‘වෙලන්කැලේ රාලට’ 

අත් වූ ශෝක ජනක ඉරණම.   


බත බුලතින් සපිරුණු ප්‍රදේශය දැනට වර්ෂ ගණනාවකට පෙර කැලෑබද පිටිසර ගැමි පරිසරයකින් යුත් ප්‍රදේශයක් විය. මෙහි කැලෑබද ප්‍රදේශවල වන සතුන් බෙහෙවින් සිටි අතර බහුල වශයෙන් වල් ඌරෝ වූහ. බොහෝවිට උන් මරණින් බේරුණේ ප්‍රදේශයේ කිසිවකු හටවත් ඒ සඳහා ගිනි අවියක් හෝ වෙනත් අවි ආයුධ නොතිබූ හෙයිනි.   


මේ අතර වෙනත් ප්‍රදේශයකින් පැමිණ මෙම ප්‍රදේශයේ ජීවත් වු වෙලන්කැලේ රාළ සතුව ගිනි අවියක් තිබූ අතර ඔහු වල් උෟරු දඩයමට උපන් හපනෙක් විය. මේ නිසා වෙලන්කැලේ රාළ සමග ඇයි හොඳයිකම් ඇති කර ගත් ප්‍රදේශයේ තරුණ පිරිස දිනපතා සවස් යාමයේ වෙලන්කැලේ රාල සමගින්ඇයි හොඳයි කම් ඇති කර ගත් ප්‍රදේශයේ තරුණ පිරිස දිනපතා සවස් යාමයේ වෙලන් කැලේ රාල සමගින් කැලෑ වැදුණේ මෙකී වල් ඌරු දඩයම සඳහාය. මෙලෙස දිනකට එක් වරක් වල් ඌරකුට පමණක් ගිනි පිඹින වෙලන්කැලේ රාල ඔහුගේ සහායකයින් සමග ඌරා කුදලාගෙන එයි. පිරිස සමගින් ඌරා කපා කොටා වල් ඌරු මස් උයා පිහා ගන්නා ඔව්හු එම කට ගැස්ම සාදා ගන්නේ සවස් යාමයේ මධුවිත බෝතල් කිහිපයක් ද ළං කර ගනිමිනි. මෙකී වෙලන්කැලේ රාළ කට ගැස්ම සඳහා වැඩි හරියක්ම ගත්තේ තෙල් කෑලිය.   


මෙලෙස කාලයක්ම වල්ඌරු දඩයමේ යෙදුණු වෙලන්කැලේ රාල හදිසියේ ඔත්පළ වූයේ කිසිවකු නොසිතූ මොහොතකය. තදබල ලෙස වැළඳුණු උදරාබාධයක් හේතු කොට ගෙන වෙලන්කැලේ රාලට වැළඳුණු රෝගී තත්ත්වය දිනෙන් දින උත්සන්න වූවා මිස අඩු වුයේ නැත. දේශීය හා බටහිර වෛද්‍ය ප්‍රතිකාර කෙතෙක් කළත් බලවත් ලෙස ඔත්පල වු ඔහු අවසානයේ ලෙඩ ඇඳට වැටුණේ කිසිවකු නොසිතූ අයුරිනි.   


කාලයක්ම ලෙඩ ඇඳේ වැතිර සිටීම නිසා දිය පොක්තලම් (ඇඳ තුවාල) හට ගැනීමෙන් ඔහුගේ මුළු ශරීරය පුරාම තුවාල ඇති විය. නොයෙකුත් අන්දමේ ප්‍රතිකාර කළද ඔහු​ගේ තුවාල හෝ උදරාබාධ සුව නොවීය. උදරයේ ඇතිවන අධික වේදනාවත්, තුවාලවලින් ඇතිවන වේදනාවත් නිසා එය උසුලා ගත නොහැකිව වෙලන්කැලේ රාජ ඇඳෙහි දිගා වී උෟරෙකු මෙන් හඬ තලන අතර උරෙකු මෙන් ගොර ගොර ශබ්ද නඟයි. මෙලෙස මාස කිහිපයක්ම ඌරෙකු මෙන් හැසිරුණු ඔහු හදිසියේම මිය පරලොව ගියේ ඌරෙකු මරණාසන්න මොහොත ගත කරන ආකාරයටම, හඬතළමින් බැව් ප්‍රදේශවාසීන් පවසන්නේ දිට්ඨ ධම්මවේදනීය කර්මය ඔහුට පටිසන් දුන් බවකි.   


අවසානයේ ඔහුගේ මරණයට හේතුව වූයේ කාලයක් තිස්සේ ඌරු මස් කෑම නිසා තෙල් මන්ද ආරා තිබීම බැව් වෛද්‍යවරුන්ගේ මතය විය.   



අනුරාධපුරය පබා රණසිංහ  මහත්මිය ලියා එවු කතාවකි.   

රාගයෙන් මත් වුණා ජීවිතය කෙටි වුණා.   


පාප කර්මයන් කරනු ලබන තැනැත්තාට ඒවායේ විපාක කවදා නමුත් විඳින්නට සිදු වෙයි. මේ භවයේ විපාක නොදුන් පමණින් පව් කරන්නන්ට ඒවා පළ නොදෙන්නේ යයි බො​ෙහා්​ දෙනා සිතති. මලොව දීම පව්වලට විපාක ලැබෙන්නේ ජීවත්ව සිටින අයට පාඩමක් කියා දීමට ලෝක පාලක දෙවියන් තීරණය කළහොතින් යැයි වියත් හිමි නමක් පවසා තිබුණි.   


එය බොහෝදුරට සත්‍ය බව සමාජය දෙස බැලුව හොත් වටහා ගත හැක. ජීවත්ව සිටින අයට පාඩමක් ඉගෙන ගත හැකි වන සේ පව් පලදීමක් පිළිබඳ කතාවක් හැටේ දශකයේ අග භාගයේ දී පමණ රජරට පළාතේ එක්තරා ගමක සිදු විය. මෙය එදා එම ගමේ හා අවට ගම්වල පැතිරී ගිය කතන්දරයක් ද විය.   


දුටුවන් නෙත් සිත් ඇද ගන්නා තරුණයෙක් රැකියාවක් සොයා මෙම ගමට පැමිණියේය. මුස්ලිම් මුදලාලි ​ෙකනෙකුගේ එළු පට්ටියක් බලා ගැනීමට මොහුට පැවරුණි. එම මුදලාලිගේ ද පවුලේ් අයගේ ද ගමේ හැම දෙනාගේම ද හොඳ හිත දිනා ගත් මෙම තරුණයා සුනිල් වශයෙන් හඳුන්වමි. සුනිල් නතර වී සිටියේද මුදලාලිගේ නිවසේ පිටුපස තිබූ ගබඩා කාමරයකය. එය නිවසින් යාර කිහිපයක් පමණ ඈතින් පිහිටා තිබුණි. වැඩි කල් නොගොස් මුදලාලිගේ බිරිඳ සුනිල් සමග බැඳීමක් ඇති කර ගත්තාය. එම ඇසුර ගම පුරාම කාන්තාවන්ගේ ඕපාදුපවලට ප්‍රධාන මාතෘකාවක් විය.  


හදිසියේම මුදලාලි වැවට නාන්න ගොස් සිටියදි වැවේ ගිලී මිය ගියේය. මෙය සුනිල්ගේ වැඩකැයි ගම්මුන් කතා වුවත් නීතිය ඉදිරියට නොගියේය. මුදලාලි මියගිය පසුව සුනිල් නිවසේ අධිපතියා විය. මැදි වියේ සිටි නමුත් මුදලාලිගේ බිරිඳ රූමත්ය. ඇය සිංහල ක්‍රමයට අඳින්න පලඳින්නත් සුනිල් සමග ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමටත් පටන් ගත්තාය.   


සුනිල් මුදලාලිගේ වෙළෙඳ ව්‍යාපාර පවා පාලනය කරන්නට පටන් ගත්තේ මුදලාලිගේ බිරිඳගේ අනුදැනුම ඇතුවයි. ඇය තරමක උගත් තැනැත්තියක් වූවාය. මුදලාලිගේ තරුණ දියණියට ද සිංහල ක්‍රමයට අඳින්න පලඳින්නට ද සිදු වූයේ සුනිල්ගේ නියමයන්ට අනුවය. ඇය නමින් පමණක් මුස්ලිම් වුවද සිංහල තරුණියක සේම ගති පැවතුම් ඇති සුන්දර තරුණියක වූවාය.   


සුනිල් ඇයටද අමුතු ආදරයක් දක්වන බව මියගිය මුදලාලිගේ බිරිඳට දැනෙන්නට විය. එවකට හොඳ අධ්‍යාපනයක් ලබා සිටි එම තරුණිය ගුරු පුහුණුවක් සඳහා තෝරා ගෙන තිබුණි. පුහුණුවට යාමට සියලු කටයුතු සුනිල් හා ඇගේ මව විසින් නොඅඩුව ඉටු කර දී තිබුණි.   


වසර දෙකක පුහුණුව අවසානයේ නිවසට පැමිණි ඇයට තමා හා විවාහ වන ලෙස සුනිල් බල කළේය. ඇය එයට විරුද්ධ වූවාය.   


මවගේද විරුද්ධත්වය පැන නැගුණි. ව්‍යාපාර හා නිවසේ නිත්‍යනුකූල නොවු නායකයා වූ සුනිල්ට එරෙහිවීමට වැන්ඳඹු බිරිඳට හැකියාවක් නොවූයේ ඇය ඔහුට වහ වැටී සිටි නිසා දැයි ගමේ කාන්තාවන් අතර කතාවක් පැවතුණි. දිගින්දිගටම සුනිල්ගේ බලපෑම් තරුණියට එල්ල විය. අවසානයේ ඇය මේ බව ඇගේ ඥාති සො​ෙහායුරෙකුට පවසා තිබුණි. ඇයගේ සොයුරන් බාල වයස්කරුවන් වූ නිසා ඔවුන්ට කිසිවක් නොවැටහුණී.   
දිනක් සවස සුනිල් මිතුරෙකු හමුවීම සඳහා බැහැරක ගොස් ආපසු එනවිට තරුණයන් පිරිසක් ඔහු මැදි කරගෙන හොඳටම පහර දී තිබුණි. දරුණු ලෙස පහර වැදී තිබුණු හෙයින් දකුණු අත වැලමිටට ඉහළින් කපා දැමීමටත් දකුණු කකුල දණ හිසට පහළින් කපා දැමීමටත් වෛද්‍යවරුන්ට සිදුවිය. ඊට අමතරව හොඳටම තළා දමා තිබුණු සුනිල්ගේ ලිංගික අවයවයන්ද කපා ඉවත් කොට තිබුණි. රෝහල් ගතව සිටි කාලය තුළ ඔහු බැලීමට කිසිවෙකු නොපැමිණුනි ඒ කාලයේ අද මෙන් අත්වාරු හා කිහිලිකරු සුලභ නොවු නිසා සුනිල්ට සිදුවූයේ බිම වාඩි වී පසුපස ප්‍ර​ෙද්ශය පාවිච්චි කරමින් ඉදිරියට ඇදී යාමටයි. ඔහු සිටි ගමේ කිසිවෙකු ඔහුට පිහිටට ආවේ නැත.   
රෝහලින් පිට කළ සුනිල්ගේ නවාතැන වූයේ නගරයේ බස් නවත්වන ස්ථානයකි. හිඟා කකා අවුරුද්දක් පමණ ජීවත් වු සුනිල් පිළිබඳව ඔහු සිටි ගම හා අවට ගම්වල පැතුරුණ කතාබහ නිසා ඔහු සිටි ගම හා අවට ගම්වල පැතුරුණ කතා බහ නිසා ඔහු බලාගෙන යාමට පමණක් නගරයට පැමිණි ගැමියෝ පුරුදුව සිටියහ. සිතින් හා කයින් අපමණ දුක් විඳි සුනිල් වැහි කාලයක එක්තරා රැයක බස් මගී ආවරණය තුළදී අවසන් හුස්ම හෙළුවේ තමාට අත දුන් මුදලාලිට කළ අපරාධයට විපාක විඳිමිනි.   
 



දෙල්ගොඩ මිගහවත්ත සි.පී. වීරසේකර මහතා ලියා එවු කතාවකි.   

තලගොයි මැරූ අමරියස් අයියාට කළ කම් පළ දුන් හැටි 


1975 වර්ෂයේ පළාතේ ප්‍රසිද්ධ ගම්මානයක සිදු වූ සත්‍ය කතා පුවතකි. මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා අවුරුදු 40 ක පමණ වූ තනිකඩයෙකි. මව්පිය සහෝදර සහෝදරියන් හෝ වෙනත් කිසිම නෑදෑයෙක් ඔහුට නොවීය. කටු මැටි ගසා පොල් අතු සෙවිලි කළ කුඩා ගෙයක ජීවත් වූ ඔහු සැබවින්ම අහිංසකයෙකි. එවකට වයස අවුරුදු 17 ක් වූ මාද මට බාල ළමුන් ද අවුරුදු 50 - 60 උදවිය ද ඔහු ඇමතුවේ අමරියස් අයියා යන නමිනි.   
මේ අමරියස් අයියා කොතරම් අහිංසකදැයි කීවොත් ඔහුගෙන් බැණුම් ඇසූ කෙනෙක් වත් ඔහුට බැණ වැදුණා කෙනෙක් වත් ඒ ගම් පළාත අසලක වත් සිටියේ නැත. ඔහු ​ගමේ කාගේත් හිතවතෙකි. ගමට නැතුවම බැරි කෙනෙකි.   


ගමේ ගෙදරක මරණයක්, මඟුලක්, පින් කමක් හෝ තොවිලයක් සිදුවුවහොත් අනිවාර්යයෙන්ම අමරියස් අයියා එතැන ඇත. මළ ගෙදරකදී මිනී වළවල් කැපීමේ සිට සියලුම කාර්යයන් සඳහා ඔහුගේ උදව් ලැබේ. එසේම මඟුල් ගෙවල්වලදී මේස, පුටු, පිඟන් කොප්ප ගෙන එ්ම (එකල හෝටල්වල මංගල උත්සව ගැනීමක් නොතිබුණි) දානෙ ගෙදරක දී නම් සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉටු කළ යුතු වතාවත් අකුරටම ඉටු කිරිමට ද, තොවිල් ගෙදරකදී නම් දුම්මල කුඩු කිරීම, පන්දම් විලක්කු සැදීම ඇතුළු සියලු කටයුතු මනා අවබෝධයකින් යුතුව ඉටු කරයි. ඒවා සම්බන්ධයෙන් ඔහුට හොඳ පළපුරුද්දක් ඇත. නමුත් මේ කිසිම තැනකින් කුලියක් ඉල්ලීමක් හෝ කුලියක් බලාපොරොත්තු වීමක් ඔහු තුළ නැත. ඒ තැන්වලින් කීයක් හෝ දුන්නොත් සිනාසී මිට මොළවා ගනී.   


නමුත් මොහු තුළද දුර්වලකම් දෙකක් තිබුණි. එනම් පළමු වැනි සිල් පදය සහ පස් වැනි සිල්පදය කැඩීමයි. එකල ගමේ බොහො​් ඉඩම්වල පැණි හකුරු සාදා ගැනීම සඳහා පොල් ගස් මැදීම සිදු කෙරුණි. පොල් ගස් මදින බොහෝ තැන්වල රා ටිකක් සාදා ගැනීමද නොකෙරුණා නොවේ. එසේ රා සාදා ගන්නා තැන්වලින් අමරියස් අයියාට රා බෝතලයක් දෙකක් වරදින්නේම නැත. එවැනි දිනවලදී මස් හොද්දක් කෙසේ හෝ පිළියෙල කර ගැනීමට ඔහු පසුබට වෙන්නේ නැත.   


විශේෂයෙන් තලගොයි මස්වලට දැඩි ගිජුකමක් ඔහු තුළ තිබුණි.   


තලගොයකු කොහේදී හෝ දුටුවහොත් ඌ පසුපස හඹා ගොස් ඌ අල්ලා මරා ගනී. ඔහු තලගොයි මැරීම කළේ අමුතුම තාලයකටය. තලගොයකු දැක්කොත් උගේ පසුපස හෙමි හෙමිහිට ගොස් වලිගයෙන් අල්ලා ඔළුවට උඩින් ඔසවා ගලක ලී කොටයක හෝ මුලක ගසයි. එවිට තලගොයාගේ උගුරු දණ්ඩ කැඩී හෝ ඔළුව පොඩි වී හෝ මරණයට පත් වේ.   


දිනක් ඔහුගේ වත්තට ඇදෙන තළගොයි නාම්බෙකු අමරියස් අයියාගේ ඇස ගැසුණි. ඔහු හෙමින් හෙමින් ගොස් පුරුදු ආකාරයට උගේ වලිගයෙන් අල්ලාගෙන කළු ගලේ ගැසීමට ඉස්සුවා පමණි. මර විකාරයෙන් සිටි තලගොයා උගේ ඉදිරිගාත් දෙ​ෙක​න් අමරියස් අයියාගේ පිට වැරෙන් අල්ලා ගෙන තිබුණි. තලගොයාගේ පාදවල නිය පොතු අමරියස් අයියාගේ පිටේ මස් කාගෙන ඇතුළට කිඳා බැසීම නිසා ඇති වූ වේදනාවෙන් දඟල දඟල උඩ පනින විට පය පැකිළී මුනින් අතට ගල උඩ වැටුණි. වැටුණු පාරට ඔහුගේ උගුරු දණ්ඩ ගලේ වැදී කැඩී එතනම මරු මුවට පත් වී තිබුණි. වටේ පිටේ සෙනඟ එකතු වී රෝහලට ගෙන ගොස් අමරියස් අයියාගේ පිට පලා තලගොයි අඬු එළියට ඇද ඌ මුදා හැර තිබුණි. ගමේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණු අවමංගල උත්සවයට වැඩම කරන ලද පන්සලේ නායක ස්වාමීන් වහන්සේ වදාළේ කොතරම් අහිංසක අයකු වුවත් ප්‍රාණගාත ආදී පව්කම් කළොත් මෙලොවදීම ඒවායේ විපාක විඳින්නට සිදුවන බවය.   

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.