අභියෝග ජයගත් මිනිස්සු   

හෙටට දායාදවූ සිනමන් ලයිෆ් සිපිරි හෝටල හා නිවාස සාප්පු සංකීරණය 

 

 

ජෝන් කීල්ස් සමාගම මෙරට ස්ථාපිත වූයේ 1870 දී පමණ ඉංග්‍රීසි ජාතික සහෝදරයින් දෙදෙනෙකු වූ ජෝර්ජ් සහ එඩ්වින්ගේ මූලිකත්වයෙනි. එදා සිලෝන් ටී පිටරට යැවීමේ සමාගමක් ලෙස ඊ- ජෝන් ඇන්ඩ් කම්පැනි නමින් එය ආරම්භ වූ අතර ඉනික්බිතිව සමාගමේ ස්වභාවය යටතේ කලින් කළට කළමනාකාරීත්වය සඳහා විවිධ චරිත පත්විය. පසුව ජෝන් කීල්ස් තොම්සන් වයිට් ලෙස 1960 වසර වන විට එය පරිවර්තනය විණි.   


ජෝන් කීල්ස් නාමයට අවතීර්ණ වී ඇත්තේ 1974 වසරේ සිටය. වත්මනෙහි එය හැඳින්වෙන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් ලිමිටඩ් නමිනි. අද ජෝන් කීල්ස් යනු ශ්‍රී ලංකාවේ දැවැන්තම ලැයිස්තුගත ව්‍යාපාර සමූහයයි. සිනමන් හෝටල සමූහය, කීල්ස් සුපර් මාකට් ජාලය, යුනියන් ඇෂුවරන්ස්, නේෂන්ට්‍රස්ට්, එලිෆන්ට් හවුස්, ඇතුළු ප්‍රකට ආයතන 70කින් මෙන්ම කර්මාන්තශාලා අංශයේ කර්මාන්ත 7ක් පමණ මෙම ජෝන් කීල්ස් සමූහය සතුය.   


ශත වර්ෂයකට එහා ගිය ඉතිහාසයක් ඇති ජෝන් කීල්ස් සමාගමේ පසුගිය දශක කීපය දෙස හැරී බලන විට වඩාත් කතාබහට ලක්වූ චරිතය වූයේ මෙම සමූහයේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක වූ කෙන් බාලේන්ද්‍ර මහතාය. ඔහු දැන් විශ්‍රාමිකය. වත්මනෙහි ජෝන් කීල්ස් සමූහයෙහි සභාපති මෙන්ම ප්‍රධාන විධායක වන්නේ ක්‍රිෂාන් බාලේන්ද්‍රය. එනම්, කෙන්ගේ පුතුණුවන්ය එය දුර්ලභ අවස්ථාවක් වන්නේය. සාමාන්‍යයෙන් පවුලකට අයත් පුද්ගලික සමාගමක පියාගෙන් පසුව ඒ අඩුව පුරවන්නේ දරුවන් බව සැබෑය. එහෙත්, ජෝන් කීල්ස් යනු එක් පුද්ගලයකු හෝ පවුලකට අයත් ව්‍යාපාරයක් නොවේ.   


එවැනි විශාල සමාගමක පිය- පුතු දෙදෙනා නියමුවන් ලෙස කටයුතු කිරීමට ලැබීම එකඅතකට දෛවයේ පුදුම සහගත වූ දෙයකි. ක්‍රිෂාන් බාලේන්ද්‍ර මේ තනතුර දක්වා ආ ගමන පුංචිම තැනකින් පටන් ගෙන ආ ගමනක ඵලයක් ලෙස හැදින්විය හැකිය. අභි​යෝග ජයගත් විශේෂාංගය අද අප ගෙන එන්නේ වත්මනෙහි ජෝන් කීල්ස් සමාගමේ නියමුවා වන ක්‍රිෂාන් නිරාජ් ජයසේකර බාලේන්ද්‍ර හෙවත් ක්‍රිෂාන් බාලේන්ද්‍ර සමගය.   


බාලේන්ද්‍ර පවුලේ විස්තර මුලින්ම අපට කිව්වොත්?   


තාත්තගෙ නම කෙන් බාලේන්ද්‍ර. ඒ ගැන අමුතුවෙන් කිවයුතු නැහැනෙ. අම්මගෙ නම ස්වෛරී ජයසේකර පවුලේ මමයි- අක්කයි විතරයි. අක්කගෙ නම නටාෂා. එයා අධ්‍යාපනයෙන් සෑහෙන දුර ගිය චරිතයක්. කාන්තා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඉන් පසුව නීති අංශයේ උපාධිය ලබාගෙන පසුව ඇය ඔක්සෆර්ඩ් සහ හාවාඩ් සරසවි වලින් උපාධි ලබා ගත්තා.   


ඉන්පසුව ආචාර්ය උපාධිය ලබාගෙන ඉගෙනීමෙන් බොහෝ දුර ගිය චරිතයක්. මම ලන්ඩන් සරසවියෙන් නීතිය ගැන LLB උපාධිය ලබාගෙන සිටියත්, නීතිඥ වෘත්තියට පැමිණ කටයුතු කළේ නැහැ. ඉගෙන ගත්තෙ රාජකීය විද්‍යාලයෙන්. පාසල් යන කාලයේදී එවකට රටේ කලබල තිබූ නිසා පාසල් පැවැත් වුණේ නැහැ. එකී කාලසීමාවේදී ටික කාලයක් ඔස්ට්‍රේලියාවට ගිහින් අධ්‍යාපන කටයුතුවල යෙදුණා. ලන්ඩන් ගියේ ඉන් පසුවයි   


ළමා කාලය ගත කළේ මොන විදියටද?   


වැඩි හරියක්ම කළේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමයි. පාසලේ 13න්, 15න් සහ 17න් පහළ කණ්ඩායම් නියෝජනය කළා. ක්‍රීඩාවට හරිම ළැදිව හිටියෙ. වයස 11 සිට 16 දක්වා වැඩි හරියක්ම ගත කළේ ක්‍රීඩා එක්ක පිට්ටනියෙ කිව්වොත් නිවැරදියි.   


ඒ තරමටම ක්‍රීඩාවෙ නියැළෙන අවස්ථාවලදී මව්-පියන් බැන්නෙ නැද්ද?   


නැහැ, එයාලා මාව තව- තවත් උනන්දු කළා. පොත- පතේ වැඩක් සමබරව කරන්න කියලා කිව්වා. හැබැයි ලෝයර් කෙනෙක් වෙන්න, ඩොක්ටර් වෙන්න, ඉංජිනියර් වෙන්න කියලා තහංචි දැම්මෙ නැහැ.   


ඔබ පාසල් යන කාලයේදී, තාත්තාගෙ රැකියාව වුණේ?   


තාත්තා ඉගෙන ගත්තෙත් රෝයල් කොලේජ් එකේ. පාසල් කාලයේදී රගර්- බොක්සිං සහ තවත් ක්‍රීඩා කරලා තියෙනවා. රැකියාව හැටියට මුලින්ම පටන් ගෙන තියෙන්නෙ වැවිලි කරුවකු ලෙසයි. ඉන්පසුව 1970 කොළඹට ඇවිත් තේ- රස බලන (ටී. ටේස්ටර්) කෙනෙකු ලෙස ජෝන් කීල්ස් ආයතනයට එක් වී තිබෙනවා. ඒ විදියට පුංචියට ඇවිත් විවිධ තනතුරු දරලා 1990 ජනවාරි 1 වැනිදා සභාපති තනතුරට පත් වුණා. 2000 දෙසැම්බර් 31 විශ්‍රාම යන තෙක් එලෙසින් කටයුතු කළා.   


එදා කුඩා කාලයේ මතකයන් මොනවගේද? තාත්තාට වෙලාව තිබුණද පවුලේ කටයුතු වෙනුවෙන් කැප වෙන්න?   


ඔව්, බොහෝ වෙලාවට තාත්තා අපි එක්ක තමයි නිවාඩුව ගත කළේ. ඒ දිනවල ජෝන් කීල්ස් සතු හෝටල් අංශය අධීක්‍ෂණය පැවරී තිබුණෙ තාත්තාට. හබරණ ලොජ් එක තනන දිනවල තාත්තා හබරණ ගියේ තනිවම නෙවෙයි.   


අපිවත් එක්ක ගෙන ගියා. සෑම සති අන්තයක්ම එන කල් අපි බලාගෙන හිටියෙ හරිම සතුටින්. සෑම සති අන්තයකම හබරණට යාම මට ගෙන දුන්නෙ ලොකු සතුටක්.   


ඒ විදියට ගෙවා දමමින් ආ ජීවිතය ඔබට දැනෙන්න පටන් ගත්තෙ? අරමුණක් ඇති වුණේ මොන වයසේදීද?   


වයස 16 දී විතර නීති අංශය ගැන ඉගෙනීමට යොමු වී සිටියත්, මාගේ කැමැත්ත තිබුණෙ ව්‍යාපාර අංශයට. වයස 20දී විතර බැංකු සේවයට ගියොත් හොඳයි කියලා තීරණයක් ගත්තා. හොංකොංවල ubs ආයතනයට සම්බන්ධ වුණේ ඉන් පසුවයි.   


හොංකොං ගිහින් කරපු රස්සාවෙන් ලැබුණු මුල්ම වැටුප කීයද?   


ඒක හරියටම මතකයේ නැහැ. ඒ හැරත් ඩොලර් වලින් වැටුප් ලැබුණ නිසා ශ්‍රී ලංකා රුපියල් වලට සැසඳුවොත්, ලොකු වැටුපක් කියලයි හිතන්නෙ.   


හොංකොංවල කොපමණ කාලයක් සේවය කළාද?   


94 සිට 98 දක්වා ubs ආයතනයේ සේවය කරමින් හොංකොංවෙල හිටියෙ. ඉන්පසු ලංකාවට ඇවිත් වසර එකහමාරක් විතර එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ සේවය කළා. ඉන්පසුව නැවතත් "MBA" කරන්න විදෙස් ගත වුණා. ආයෙත් ආවේ 2002 දීයි.   


ලංකාවට ඇවිත්?   


2002 දී තමයි ජෝන් කීල්ස් ආයතනයට බැඳුණේ.   


මුලින්ම දැරුවෙ මොන තනතුරද?   


ආයතනික මූල්‍ය ප්‍රධානී තනතුරයි.   


ඒ වන විට තාත්තා විශ්‍රාම ගෙනද?   


ඔව්   


තාත්තා කළ දේ පුතුන්ට කළ නොහැකිය යනුවෙන් සමාජයේ මතයක් පවතිනවා. එහෙත් ඔබ ඒ මතය වෙනස් කළ චරිතයක්. අද ඔබ ජෝන්කීල්ස්හි ප්‍රධානියා දක්වා ඒමට හැකිවුණේ මොන වගේ දක්‍ෂතා නිසා කියලද හිතන්නෙ?   


මූල්‍ය අංශයේ ආයතනික ප්‍රධාන තනතුරින් පසුව විවිධ තනතුරු දැරුවා. වතාවක සුපර් මාකට් අංශයෙහි අධීක්‍ෂණය පැවරී තිබුණෙත් මා හටයි. ඒ විදියට මට පැවරී තිබුණු දේ හොඳින් කරන්නට උත්සාහ ගත්තා. එවැනි දක්‍ෂතා නිසා ඉදිරියට එන්න ඇති.   

 

ක්‍රිෂාන් සහ නෙත් පිය-පුතු

 


ජෝන් කීල්ස් යනු එක් අයිතිකරුවකුට සීමා වූ සමූහ ආයතනයක් නෙවෙයි. කොටස් විශාල ප්‍රමාණයක් බෙදී ගිය සංකීර්ණ ව්‍යාපාරයක්, එවැනි තැනක ප්‍රධානියා වීමට ඔබ සතු වූ ගුණාංගය මොකක්ද? ජෝන්කීල්ස් තව- තවත් උඩට ගැනීමේ රහස මොකක්ද?   


ව්‍යාපාර කෙරෙහි තියෙන කැමැත්ත සහ නායකත්වය නිසා වෙන්න ඇති. අනෙක් සියලු දෙනාගේ සහාය අරගෙන සමාගමක් ඉහළට ගෙනෙන්නට නිවැරදි නායකත්වයක් දිය යුතුයි. මම හිතන්නෙ නිතරම ඒ දේ වෙනුවෙන් මගේ කැපවීම කරනවා. සමාගම වේවා, අනෙක් ඕනෑම තැනකදී වේවා, සාර්ථක වෙන්න නම් නිවැරදි නායකත්වයක් තිබීම වැදගත්. ඒ විදියට බොහෝ හේතු තිබෙනවා.   


ව්‍යවසායකත්වයෙන් ගමනක් යන කෙනෙකු හට ඔබ වගේ චරිතයක් වීමට නම් මොන වගේ කටයුතු කළ යුතුද? 

 
ජෝන්කීල්ස් වැනි ව්‍යාපාර ගණනාවකින් යුතු සමාගමක් ගත්තොත්, මෙම සමූහයේ සේවකයින් 13,000කට වඩා වැඩි පිරිසක් සිටිනවා. ඒ- ඒ ආයතනවලට අදාළව කණ්ඩායම මෙහෙයවන නායකත්වයේ සහ ප්‍රධාන නායකත්වයේ වගකීම වන්නේ තමාගේ කණ්ඩායමට හොඳ නායකත්වයක් ලබාදීමයි. පැහැදිලි දර්ශනයක් තිබිය යුතු වගේම එය නායකත්වයට පමණක් තිබීමට වඩා අනෙක් කණ්ඩායටමත් ඒ දර්ශනය ගැන වැටහීමක් තිබිය යුතුයි.   


මෙවැනි සමාගම් සමූහයක් පවතින්නේ එක් අයකුගේ දර්ශනය සහ හැකියාව මත නෙවෙයි. කණ්​ඩායමක් සමූහයක් හැටියට පවතින දැක්ම සහ ප්‍රායෝගික වීම නිසයි.   


එක් පුද්ගලයකුට හෝ පවුලකට අයත්ව කරන ව්‍යාපාරයකට වඩා මෙවැනි විශාල කොටස් සංඛ්‍යාවක් හිමි සමාගමක් මෙහෙයවීමේදී ඇති විශේෂිත වෙනස්කම් මොනවාද?   


තනි පුද්ගලයකු කරන ව්‍යාපාරයක් නම්, තමුන්ට හිතෙන විදියට ඇති තරම් විවේකය, නිදහස අරගෙන තමුනට හිතෙන විදියට කරන්න පුළුවනි. පවුල් ව්‍යාපාරයක් ගත්තත් ඒ විදියයි. ඒත් මේ වගේ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගමක් මෙහෙයවීමේදී කාටවත් නිකං ඉන්න බැහැ. අනාගත දියුණුව, ඉලක්ක වගේම සාර්ථකත්වය වෙනුවෙන් අලුත් විදියට හිතන්න වෙනවා. එහෙම හිතලා ක්‍රියාශීලි වෙන්නත් සිදු වෙනවා.   


සමාගම පවතින්නේ විශාල පිරිසකගේ ආයෝජන මත නිසා එහෙම කරන්නම වෙනවා. එක අතකට ඒක හොඳ දෙයක්. ව්‍යවසායකත්වයට නව අදහස් එන්නෙත් එවැනි අවකාශයකදීයි.   


බාලේන්ද්‍ර ෆැමිලි එකේ ව්‍යාපාර නැද්ද?   


අපෝ නැහැ. තාත්තා විශ්‍රාම ගියාම විවිධ ආයතනවල අධ්‍යක්‍ෂ තනතුර දැරුවා. ඒ හැරෙන්නට පවුලේ ව්‍යාපාර කළේ නැහැ.   


තනි පුද්ගල ව්‍යාපාරයක් කරන්න ඔබට හිතුණෙත් නැද්ද?   


සමහර අවස්ථාවලදී එහෙම හිතලත් තියෙනවා. හැබැයි එදා මම පිටරට බැංකුවක රැකියාව කරද්දී වගේම, පසුව මෙරටට ඇවිත් ආයතන කීපයක රැකියාව කරද්දී මම ඒවා කළේ හරිම උනන්දුවකින්. ඒ වගේම ආසාවකින්. පසුව ජෝන් කීල්ස් ආයතනයට සම්බන්ධ වූ පසුවත්, දැන් මේ විදියට රාජකාරි කරන්නෙ හරිම උනන්දුවෙන් සහ ආසාවෙන් අනෙක චැලෙන්ජ් එකට (අභියෝගවලට) මම කැමැතියි.   


අනෙක මේ වගේ ආයතනයක් ගත්තාම, පොඩිම තැන ඉඳලා ඇවිත් ඉහළම තැනට යන්න පුළුවනි. එහෙම කරන්න පුළුවන් වෙන්නෙ දක්‍ෂතා තිබුණොත් විතරයි. දක්‍ෂයාට තැන හිමි කර ගන්න පුළුවන් අවකාශය මෙහි තිබෙනවා. එය ඉතා හොඳ දෙයක්. ඒ වගේම කණ්ඩායමක් එක්ක වැඩ කරලා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට ඒ හැමෝටම මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා. එකමුතු වෙලා කටයුතු කරන්න වෙනවා.   


මම හිතන්නෙ රටකට දියුණුවට ඒ ස්වභාවය හරි වැදගත්. පුද්ගලයෙක් තනිවම කරන ආයතනයක නම් දක්‍ෂයින් කපා දාලා. තමන්ට ලැදි අයව තනතුරුවලට පත් කරන්න පුළුවනි. ඒත් මේ වගේ සමාගමක එය කරන්න බැහැ. මෙතැන තියෙන්නෙ දක්‍ෂයින්ට ඉදිරියටම යන්න පුළුවන් ගමනක්. බොහෝ දෙනා සේවය කරන්නෙ ඒ ඉලක්කය දැනගෙනයි. එනම් කැපවීමෙන් වැඩ කළොත් අපගේ අනාගතය වඩා ජයග්‍රාහීය සහ හැගීම් තියෙන්නෙ.   


ජෝන්කීලිස් ආයතනය සතු විදේශයන්හි පවත්වාගෙන යන ව්‍යාපාර මොනවද?   


මාලදිවයිනේ දූපත් තුනක සංචාරක හෝටල පවත්වාගෙන යනවා.   


රටේ විවිධ අවස්ථාවලදී, විවිධ අයහපත් සිදුවීම් සිදුවෙනවා. එවැනි ස්වභාවයක් ඇති වූ විට ඒවාට මුහුණ දෙන්නෙ මොන විදියටද.   


වසර 149ක් ඉපැරණි ඉතිහාසයක් තියෙන සාමගමක් නිසා මම හිතන්නෙ අපි ඒවාට හුරුවෙලා. රටේ එක්තරා කාලයක සිවිල් යුද්ධයක් තිබුණා. ඒ දිනවල හැර යුද්ධය නිම වූ පසු රටට ඉතා යහපත් පරිසරයක් ලැබුණෙ.   


පසුගිය අප්‍රේල් 21 වැනිදා අපි කවුරුවත් නොසිතූ දෙයක් සිදුවණත්, එය එදා යුද්ධ කාලය තරමට අසීරු වුණේ නැහැ. දැන් නැවතත් සංචාරක කර්මාන්තය යළිත් සුපුරුදු රිද්මයට ගෙන එ්මට හැකිව තිබෙනවා. හැබැයි එදා රටේ යුද්ධය පැවැති කාලයේ තිබුණේ ඉතාම අවිනිශ්චිත ස්වභාවයක් වගේම අසීරුතාවයක්.   


මොන දේ වුණත් අපිත් දැන් මේ සිදුවන ස්වභාවයන් එක්ක ඒවාට මුහුණ දෙන්න පුරුදු වෙලා.   


මෙවැනි සමූහ ව්‍යාපාර පවත්වාගෙන යාමේදී දේශපාලන හයියක් අවශ්‍යයිද?   


කොහොත්ම නැහැ. මොන ආණ්ඩුව ආවත්, අපි අපේ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යන්නෙ. මොන ආණ්ඩුව ආවත් රටේ ආර්ථිකය දශමයකින් හෝ ඉදිරියට යාම තමයි විය යුත්තෙ. එහෙම නැතුව රටක් ආර්ථික අතින් සංවර්ධනය වෙන්නෙ නැහැ.   


ජෝන්කීල්ස් සමූහයේ කොටස් ගැන කතා කළොත් වැඩිපුර කොටස් තියෙන්නෙ මේ රටේ කොටස් හිමියන්ටද? නැත්නම් විදේශීය කොටස්කරුවන්ටද?   


දේශිය- විදේශීය දෙගොල්ලම සිටිනවා. මගේ මතකය අනුව කොටස්කරුවන් 11,000ක් පමණ සිටිනවා. ඒ අනුව වැඩිපිරිසක් සිටින්නෙ ශ්‍රී ලාංකිකයින්. මම හිතන්නෙ රටකට මේ වගේ ව්‍යාපාර අත්‍යවශ්‍යයි මේ නිසා රැකියා වර්ධනය ආර්ථික වර්ධනය වගේම බොහෝ අවස්ථා උත්පාදනය වෙනවා.   


මෙයින් ඔබ්බට ගොස්, කැමතියි දැනගන්න ඔබ දවස පටන් ගන්නෙ මොන විදියටද කියලා?   


සාමාන්‍යයෙන් උදෑසන 5.30ට පමණ අවදි වෙනවා. පැය භාගයක් විතර වෙන්කර තිබෙන්නෙ ව්‍යායාම් වලට. ඉන්පසුව පුතා පාසලට ගෙනියන්නෙත් මමයි. සතියේ දින තුනක් හෝ හතරකදී එය අනිවාර්යයෙන් කරනවා. ඉන්පසු උදෑසන 7.15 පමණ වන විට මම මගේ කාර්යාලයට ඇවිත් දවසේ රාජකාරි අරඹනවා.   


ඒ විදියට උදෑසනින්ම ආවාම එයින් ඔබ ලබාගත් විශේෂ වාසිය කුමක්ද කියලා ඇහුවොත්?   


ඒ වෙලාව වන විට බො​හෝ දෙනෙක් වැඩ පටන් අරගෙන නැහැ. ඒ හන්දා පරිසරය හරිම නිශ්ශබ්දයි. හොඳට හිතන්න වගේම, නිදහසේ මගේ රාජකාරී කරගෙන යන්න පුළුවනි. ඒක හොඳ දෙයක්. දුරකථන ඇමතුම් ඒමට පෙර උදෑසන 7.15 සිට 8 දක්වා කාලයේදී හොඳටම වැඩ ටික කරන්න පුළුවනි.   


දවස නිමා කරලා හමාර වුණාම පවුලේ කටයුතු වලට දායකත්වය ලබා දෙන්න තරම් වෙලාව තියෙනවද?   


උදෑසනින්ම දවස පටන් ගත්තාම, ඒ දවස හරි දිගයි. ම​ගේ රාජකාරී කටයුතු වලින් පසුව ගෙදර ආවාම බිරිඳ, දියණියන් දෙදෙනා සහ පුතා එක්ක කාලය ගත කරන්න කැමැතියි. මම හිතන්නෙ එය කිරීම හොඳ දෙයක්. සාමාන්‍යයෙන් රාත්‍රී 10ට විතර නින්දට යාම පුරුද්දක්.   


බිරිඳ ගැන කිව්වොත්.   


ඇය නීතිඥවරියක්. කාලයක් ජුලියස් සහ ක්‍රීස් සමාගමේ සේවය කළා. දැන් ඇය දරුවන්ගේ කටයුතු නිසා වෘත්තියේ යෙදෙන්නෙ නැහැ.  

 

ක්‍රිෂාන් බිරිඳ සහ දූ-පුතුන්

 

 


ජීවිතය ගැන කතා කළොත්? ජීවිතය කියන්නෙ මොකක්ද මේ?  


හොඳ ප්‍රශ්නයක්. අපි ජීවිතය ගැන බලමු. හරියට බැලුවොත් අපි හැමෝම ජීවත් වන්නෙ කෙටි කාලයයි. ඒ කාලයේදී ගෙවී යන සෑම දවසකටම අර්ථයක් දෙන්න පුළුවන් නම් අන්න ඒ දේ තමයි හරි වැදගත්.  


එදා පාසල් කාලයේදී ක්‍රිකට් ක්‍රීඩා කළ ඔබට අද ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දුවක් නැද්ද?  


අද ක්‍රිකට් ගැහුවෙ නැතත්, තරග නම් අනිවාර්යයෙන්ම නරඹනවා. දැන් මගේ පුතාට වයස අවුරුදු 7 යි. එයා ක්‍රිකට් වලට උනන්දුයි. ඉතින් මම කරන්නෙ වෙලාවක් ලැබුණාම එයාට බෝල් කරන එකයි.  


ක්‍රිෂාන් බාලේන්ද්‍ර කිව්වම කවුද මේ? ඔබට කොහොමද ඔබ ගැන දැනෙන්නෙ?  


කණ්ඩායමට නිවැරදි නායකත්වය ලබාදී මීට වඩා දියුණුවකට සමාගම ඉදිරියට ගෙනයාමට උත්සාහ ගන්නා සහ කැපවන කෙනෙක්.  


ලාංකීය තාරුණ්‍යය කොතැනද තිබෙන්නෙ?  


ලෝකයේ බොහෝ රටවල සංචාරය කරන මා දකින විදියට ලංකාවේ තාරුණ්‍ය හොඳ තැනකට ඇවිත්. හැමෝම වගේ උත්සාහ ගන්නෙ ලැබෙන අවස්ථා වලින් ප්‍රයෝජන අරගෙන ආර්ථික වර්ධනය ගොඩ නගන්නයි ඔවුන් උත්සාහ ගන්නෙ. රටේ යුද්ධයක් තිබියදී ඒ ස්වභාවය තිබුණෙ අවම වශයෙන්. දැන් තත්ත්වය වෙනස්වෙලා. දියුණුව ගැන සහ අලුත් දේ අරඹන්න ඔවුනට තිබෙන්නෙ උනන්දුවක්. මෙය රටකට හොඳ ප්‍රවණතාවයක්.  


ඔබ ජීවිතය වින්දනය කරන විදිය ගැනත් දැනගන්න කැමතියි?  


පොත් කියවීම, ප්‍රවෘත්ති නැරඹීම. විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳව ප්‍රවෘත්ති. යාළුවොත් ඉන්නවා. ඉතින් ඒ අය එක්කත් කතා බහේ යෙදීම වගේම, ෆැමිලි එකත් එක්ක නිතරම වගේ බෙන්තොට යන්න පුරුදු වෙලා. ගිහින් එදාම එන්නත් පුළුවන්නෙ.  


නිවාඩුව ගත කරන්න යන්න වඩාත්  කැමති තැන් කියන්න පුළුවනිද?  


සියල්ලටම වගේ කැමතියි. ඒ අතරින් යාල සහ විල්පත්තු යන්න හරි ආසයි. වෙරළට ආසයි. කඳුකරයට ආසයි. ලංකාවේ සෑම තැනක්ම සුන්දරයිනෙ. ඉතින් ඒ සෑම තැනකටම ආසයි. ලංකාව හරි වාසනාවන්ත රටක්. රටක් හැටියට අපි ඉතා වාසනාවන්ත දේශයක්. මේ රට පිහිටා තිබෙන භූමිය භූගෝලීය වශයෙන් සංචාරක කර්මාන්තය පවත්වාගෙන යාමට ඉතාම අගනා භූමියක්.  


සංචාරක කර්මාන්තය නගා සිටුවන්න වගේම රට දියුණු කරන්න, සංචාරක කර්මාන්තය හරියට කළොත්, එයම ප්‍රමාණවත්. ඉන්දුනීසියාවේ බාලි වැනි පුංචි දූපතකට වසරකට මිලියන හතකට එහා ගිය සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙනවා. එහෙම නම් සුන්දරත්වයෙන් පිරි ශ්‍රී ලංකාවට ඒ වගේ දෙගුණයක් ගෙන්වීමට පුළුවනි. අපි එකතුවුණොත් මේ රට දියුණුවෙන් දියුණුවට පත් කිරීමට හොඳ අවස්ථාවක් ලාංකික අපට තිබෙන්නෙ.  

 

 

 

සටහන - සඳුන් ගමගේ