ජීවිතය යහමගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   

තිහගොඩ පහළ විටියල ඊ.ඒ. ප්‍රේමද‌ාස මහතා ලියා එවූ කතාවකි. 

තමන් මැරූ මසුන් මරණය අභියසදී දුටු සියනේරිස් 


මිය යන්නට පෙර ලෙඩ ඇඳ මත වේදනා ගින්නෙන් දැවුන සිරිනේරිස් ගේ පුරා දුව පනින මසුන් දකී 


මීට වසර පනහකට පමණ පෙර නිල්වලා ගඟ බට පිහිටි පැරණි ගම්මානයක කුඩා නිවසක විසූ ගැමි පවුලක මූලිකයා වූ සිරිනේරිස් තම පවුලේ දිවි පෙවෙත රැක ගත්තේ ගඟෙන් අල්ලා මසුන් වෙළෙඳාම් කිරීමෙනි. උදය වරුවේ දැළක් රැගෙන ගඟ අද්දර තොටුපළට යන සිරිනේරිස් දැල් දමා කොරළි, මගුරු, කාවයියන් වැනි මසුන් අල්ලා ගෙන දහවල් වරුවේ නිවසට රැගෙන විත් ලොකු කුඩා මසුන් තෝරා ඉරටු වල අමුණා වැල් වශයෙන් සකස් කොට ගමේ ඇවිද අලෙවි කොට විකිණීමෙන් එදිනෙදා පවුලේ අවශ්‍යතා ඉටුකර ගත්තේය. 


ගම්මානයේ මඟුලක් අවමඟුලක් වන අවස්ථාවල එම නිවෙස්වලට ‘එකෑවරම’ මාළු ටික අලෙවි කිරීමෙන් එකවිට ලැබුණ මුදලින් ඔහුගේ අත මිට සරු වූවා පමණක් නොව ගම පුරා ඇවිදින්නටද අවශ්‍යතාවක් නොවීය. ජීවිතයේ කිසිම දිනයක පාසලකට පන්සලකට පා තබා නැති වුවද සිරිනේරිස් ගැමියන්ගේ හිතවතෙකු වූයේ ඔවුන්ගේ දුකසැප දෙකෙහිම හැකි අයුරින් පිහිට වීමට දැක්වූ උනන්දුව නිසාය. ‘සිරිනේරිස් අයිය හොඳ මනුස්සය. මාළු ඇල්ලුවට කාටවත් වරදක් නැති මිනිහ.’ ගම්වැසියන් ඔහු හැඳින්වූයේ ගුණවත්කම් ගැන කතා කිරීමෙනි. 


උපදින සෑම සත්වයෙකුටම උරුම වෙන කරදර ලෙඩදුක් වියපත්වීම් සිරිනේරිස් අයියාටද හිමිවූයේ කාලයාගේ ඇවෑමෙනි. වයසට ගොස් පා වලංගු නැති වීමෙන් ගඟට යාමට නොහැකි වීමෙන්ද මසුන් ඇල්ලීමට දැළ විසි කිරීමට දෑත් පණ නැති වීමෙන්ද අසරණ වූ සිරිනේරිස් ලෙඩ ඇඳට වැටුණේය. 


හිතවත් ගම්වැසියන් ටික දෙනෙක් ඔහු ගැන ඉඳහිට සොයා බැලූ නමුත් අසරණ වූ සිරිනේරිස් ගැන සාත්තු සප්පායම් කිරීමටත් සොයා බැලීමටත් තනි නොතනියටත් සිටියේ ඔහු මෙන්ම වියපත් වූ බිරිඳ පමණි. ඇඳට සීමාවූ ජීවිතයක් ගතකළ සිරිනේරිස්ට තමාට ශක්තිය තිබූ කාලයේ කළ කී දෑ මතකයට නැගෙන්නට වූයේ සිතුවම් පටයක් නෙත් ඉදිරියේ දිග හැරෙන්නාක් මෙනි. 


ඒ වනවිට සිහිය විකල්ව සිටි සිරිනේරිස් බිරිඳට කතා කොට ‘ඔන්න ඔය මාළු ටික මෙහාට ගනින්. හුංගො, කාවයි, කොරළි ගේ හැම තැනම දුවනවා. අල්ලල මෙහාට දාපන්. වැල්වල අමුණල විකුණන්න ගෙනියන්න.’ 


නිතර දෙවේලේ මෙසේ කියමින් කෑගසන සිරිනේරිස් සති දෙකක් පමණ ගත වෙන විට එ් කෑ ගැසීම නතර කොට‘ අම්මෝ ඉවසන්න බැරියෝ. පිච්චෙනවෝ පිච්චෙනවෝ’ කියා මරහඬ නගන්නට වූයේ අසල්වැසියන්ටද කරදරයක් ගෙන දෙමිනි. 


එම නිවසට පැමිණි අසල්වැසියන් කතිකා කරන්නට වූයේ ජීවිතයේ වැඩි කාලයක් මසුන් අල්ලා කරගත් පව් මෙලොවදී පලදෙන බව කියමිනි. පිං මහිමයෙන් ලැබූ ජීවිතයක් පවට නැඹුරු වීමෙන් ඒ පව දිට්ඨ ධම්මවේදනීය පලදී මිය යන්නට පෙර කෑ ගැසුවේ දුගතියක උපදින්නට පෙරනිමිති පහළ කරමිනි. 



අම්බලන්තොට එස්. සෝමසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

ගුරුහිමිට කුරිරු ලෙස සැලකූ පාපය පළදෙයි 


පව්කම් කරනුයේ ගිහියන් පමණක් නොවේ. ඇතැම් පැවිද්දන් ද අද කාලයේ පව්කම් කරති. කරන ලද පව්කම් මොලොවදී මේ දෙපාර්ශ්වයටම අඩු වැඩි නැතිව පල දීම විශ්ව නියමයයි. ඒ අනුව සිය ගුරු හිමියන්ට කෲර ලෙස සැලකූ ගෝල හිමි නමකට එම පාපය මොලොවදීම පල දුන් ආකාරය මෙම පුවතින් හෙළි වේ. 


බුදු සසුනේ චිර පැවැත්ම සහතික කරනු වස් කුඩා දරුවන් දෙදෙනකු පැවිදි කිරීමට ලොකු හාමුදුරුවන් ගත් පියවර ක්‍රියාත්මක වූයේ සතර පේරුවේ දායක පිරිසගේ සහයෝගයෙනි. පැවිදි බව ලැබූ දෙදෙනාගේ වයස අවුරුදු 7ක් හා 8ක් විය. කුඩා සාමනේර හිමිවරුන්ගේ හිස් බූ ගා ගත සබන් උලා ළිඳෙන් වතුර ඇද නාවා සිවුරු සෝදා දීම පියෙකු මෙන් ලොකු හාමුදුරුවන් ඉටු කළේය. 


මහණකමට උචිත ලෙස චර්යා හැඩ ගැසීමකට ඇවැසි උපදෙස් දෙමින් ආදර්ශමත් වෙමින් දවසැරියහ. පයින් වැඩම කළ හැකි දුරකින් වූ මූලික පිරිවෙනට යැවූ කුඩා හිමිවරු අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ ප්‍රදේශයේ පිරිවෙණකට ඇතුළත් කළහ. එසේ ඉගෙනීම ලබන අතරේ විසි වයස් සම්පූර්ණ වූයෙන් උපසම්පදා ශීලයෙහි ද පිහිටු වනු ලැබිණ. මින් වයසින් වසරක් වැඩිමහල් හිමියන් ප්‍රාචීන ප්‍රාරම්භන විභාගයට ඉදිරිපත් වීමෙන් පසු අධ්‍යාපනය අත හැරියේය. යළි පන්සලට වැඩම කළහ. තමන් වහන්සේගේ සිත් නොගන්නා ඉරියව් ගෝල නම කෙරෙන් පළ වනු දුටු ලොකු හාමුදුරුවෝ කීප විටක්ම අවවාද කළහ. යළි යළිත් කළ නිරීක්ෂණයේදී එහි අඩුවක් නොවූ බව ගුරු හිමියෝ දුටුවේය. 
ලොකු හාමුදුරුවන්ගේ කුටියට මඳක් දුරින් මේ හිමියන් වැඩසිටින කුටිය පිහිටි අතර එහි නිතරම තරුණයින් කීප දෙනෙක් ගැවසෙති. රාත්‍රී කාලයේදී පවා යතුරුපැදිවලින් පැමිණෙන තරුණයෝ බොහෝ වේලාවකට පසුව ආපසු යන බව නින්දත් නොනින්දත් අතර සයනයේ සැතපී සිටින ලොකු හාමුදුරුවන්ට ශ්‍රවණය වේ. මොවුන් දොරගුලු ලා ගෙන කුටිය තුළ කුමක් කරන්නේදැයි ලොකු හාමුදුරුවෝ සොයා බැලූහ. 


කිසිවකුට නොදැනෙන සේ රාත්‍රී කාලයේ අඳුරේම කුටිය සමීපයට වැඩම කර විපරම් කළ ලොකු හාමුදුරුවන්ට හැඟී ගිය කාරණය ඇදහිය නොහැකි තරම්ය. භික්ෂුවකට තරම් නොවන බොහෝ දෑ ඒ තුළ සිදු වෙතැයි නිරීක්ෂණය විය. ගංජා කොළ පිළිස්සෙන ගඳ මෙන්ම රහමෙර ගඳ ලොකු හාමුදුරුවන්ගේ නාස් කුහර තුළින් මොළය හාරවා විනිවිද ගියේය. කිසිවක් නොතෙපලූ උන්වහන්සේ මහත් කළකිරීමෙන් ආපසු වැඩම කළහ. පසුදා දැඩි තීරණයක් ක්‍රියාත්මක කළහ. රාත්‍රී කාලයේ පැමිණීම තරුණයන්ට තහනම් කළ උන්වහන්සේ තමන් වහන්සේගේ කාමරයට ද යාබද කාමරය පොඩි හාමුදුරුවන්ට ලබා දුන්හ. 


කාලය සුපුරුදු වේගයෙන් ගෙවී ගියේය. ලොකු හාමුදුරුවන් වියපත් හෙයින් ගත දුබලතා බලවත් විය. වයසින් අඩු හාමුදුරුවන් ප්‍රාචීන පණ්ඩිත උපාධිය පමණක් නොව විශ්වවිද්‍යාලයකින් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකර ගත්තේය. ඈත ප්‍රදේශයක රජයේ පාසලක ගුරුවරයකු සේ කටයුතු කරන්නේය. නිවාඩුවට පන්සලට පැමිණ ගත කරන කාලය ලොකු හාමුදුරුවන්ට මහත් අස්වැසිල්ලකි. 


පිය සෙනෙහස ඉක්මවූ දයාර්ධ බැඳීමකින් ලොකු හාමුදුරුවන්ගේ සියලු අවශ්‍යතා උන්වහන්සේ ඉටු කරති. උදේට කොළ කැඳ සකසා දීම, දිය උණු කර නෑවීම, සිවුරු සෝදා දීම ශිෂ්‍ය හිමි අතින් සිදු වෙයි. නිවාඩු අවසන් වී නික්ම යාමට දින ආසන්න වෙත්ම ලොකු හාමුදුරුවන් බලාගත් අත බලාගෙන කල්පනා කරන අයුරු ශිෂ්‍ය හිමි දැක ඇත. 


‘පොඩි නම බැරිද කිට්ටුව ඉස්කොලෙකට එන්න.’ ප්‍රශ්න කරති.  


‘එහෙමයි අපෙ හාමුදුරුවනේ, මම ඒකට පිළිවෙළක් යොදලයි තියෙන්නෙ’ යැයි පවසා සිත සනසන්නේය. 


ඉස්කෝලෙ හාමුදුරුවන් පන්සලෙන් නික්ම ගිය පසු ලොකු හාමුදුරුවන් දුකට පත් වුවද අනිත් ශිෂ්‍ය නම සතුටට පත් වේ. තමන් ගැන නිතර සෙවීමට ලොකු හාමුදුරුවන්ට සවි බල නොවන බව දත් හිමියෝ පෙර සිටි කුටියට යළි වැඩම කළහ. යළිත් කොලු ගැටව් රජයන්නට වූහ. 


පෙර දවස ලොකු හාමුදුරුවන් ‘කලුවා වරෙන්, ටිකිරා වරෙන්’ කියමින් කැඳවා ආහාර දුන් බල්ලන්ට කැට මුගුරෙන් පහර දී පන්සල වත්තෙන් එළවා දමන පොඩි හාමුදුරුවෝ ඉතිරි වන දානය එක තැනකට නොදමා පන්සල් වත්ත පුරා විසුරුවා හරී. එවිට බල්ලන්ට ඒවා ආහාරයට ගත හැකි නොවේ. බල්ලන් පන්සලේ ගැවසීම උන්වහන්සේගේ අවර කටයුතුවලට බාධාවක් වන හෙයින් උන් පන්සලෙන් පලවා හැරීම අවශ්‍ය විය. 


මෙසේ කාලය ගත වී ගියේය. ලොකු හාමුදුරුවෝ හදිසියේ දැඩි සේ ගිලන් වූහ. ගතේ එක් පාර්ශ්වයක් අප්‍රාණික වූ අතර කතා කළ නොහැකි විය. රෝහල් ගත ප්‍රතිකාරවලින් සුවයක් නොලද කල දේශීය වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු විය. ගතෙහි තෙල් ගැල්වීම, කැවීම, කසාය කෑම බීම නියමිත වෙලාවට බෙහෙත් පෙවීම ආදී කුදු මහත් කටයුතු රැසක් ඉටු කළ යුතු විය. දායකයෝ මෙම කාර්යයන් මනා ලෙස කළහ. 


ඉස්කෝලෙ හාමුදුරුවන් නිවාඩු ලබා පැමිණ හෙදකමෙහි යෙදෙයි. උන්වහන්සේ නිවාඩු නිම වී ගිය පසු එම කාර්යය අනික් හාමුදුරුවන්ට පැවරේ. දායකයින් පවරා යන කටයුතු උන්වහන්සේ ඉටු නොකරති. දානය පිඟානකට බෙදා ගෙන විත් වතුර කෝප්පයක් සමග අසලින් තබා නික්ම යති. දායකයින් පැමිණීමට පෙර නොවළඳා තිබූ දානය ඉවත් කරති. දානය නොවැළඳූ බව කීමට ලොකු හාමුදුරුවන්ට නොහැක. වැසිකිළි කැසිකිළි අවශ්‍යතා ඉඟියෙන් දැන්වුවද එය දැන ගැනීමට උන්වහන්සේ ළඟ පාත නැත. සිවුරු ආදිය අපිරිසුදු වෙයි. කුණුහරුපයෙන් ලොකු හාමුදුරුවන්ට බැණ වදින ශිෂ්‍ය නම ‘මේ යෝධයා මැරෙන්නෙත් නැහැ. අපිට පව් දෙනවා’ කියති. ලොකු හාමුදුරුවන්ට කතා කළ නොහැකි වුවද කියන දේ තේරෙන නිසාදෝ නෙතින් කඳුළු බිඳු කඩා වැටෙයි. 


බොහෝ කල් දුක් විඳීමට තරම් ලොකු හාමුදුරුවන් පව් කර නැත. කෙටි කලකින් උන්වහන්සේ මෙලොවින් නික්ම වැඩම කළහ. ආදාහනය සිදු කළ දිනට පසු දින සවස සංඝ සභාව රැස් වූයේ විහාරාධිපති හිමි නමක් පත් කිරීමටයි. සංඝයා වහන්සේ සහ දායක සභාව එකඟතාව මත ඉස්කෝලෙ හාමුදුරුවන් විහාරාධිපති පදවියට පත් කිරීමට තීරණය විය. 
අනික් භික්ෂුව ඊට එරෙහිව නැගී සිටියේය. විවිධ කාරණා ඉදිරිපත් කරමින් තමන් ඊට සුදුසු බව සනාථ කිරීමට උත්සාහ කළහ. ඉස්කෝලෙ හාමුදුරුවන් ඉල්ලා අස්වූ අතර විහාරාධිපති පදවියට ඊට ලොල් වූ භික්ෂුවට පත්වීමට ඉඩ හළහ. සත් දවසේ දානයෙන් පසු ඉස්කෝලෙ හාමුදුරුවන් වැඩම කළ හෙයින් නව විහාරාධිපතිගේ බලය පන්සල පුරා පතුරුවා හැරියේය. දැන් ඕන කොල්ලෙකුට බල්ලෙකුට ඕන වෙලාවක පන්සල් ගේට්ටුව විවෘතය. 


 දායක සභාවේ ලේකම් මහතා දිනක් රාත්‍රියේ පන්සලට පැමිණියේය. විහාරාධිපති හිමියන්ගේ කුටිය ඇති මහල් ගොඩනැගිල්ලේ පියගැට පාමුල කාන්තා මිරිවැඩි සඟලක් විදුලි පන්දම් එළියට දිස් විය. ආපසු යාමට ගොස් තරුණයන් කීප දෙනෙකු සමග පැමිණ රැකවල්ලා සිටියද ඉන් පලක් නොවිණි. 


විහාරාධිපති කෙරෙහි සැක පහළ කළ දායක සභාව විහාර ගෙයි දොර විවර කර පරික්ෂා කළහ. ලොකු හාමුදුරුවන් සිය පණටත් වඩා භක්තියෙන් රැක ගත් දඹරන් පිළිමය එහි නැත. 


එම පුවත ගම පුරා පැතිර යාමට වැඩි වේලා ගත නොවීය. සැකය විහාරාධිපති වෙත එල්ල විය. මේ කලබල අස්සේ සිය කුටියෙහි සඟවා තිබූ පිළිමය සිවුරු කඩක ඔතා ගත් විහාරාධිපති හිමි යතුරුපැදියක පසුපස නැගී වේගයෙන් පැද යන්නට යතුරුපැදිකරුට අණ කළේය.

 
ඔවුනට යාමට හැකි වූයේ කිලෝ මීටරයක්ටත් වඩා අඩු දුරකි. ඉදිරියෙන් ගිය ටිපර් රථයකට අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි තවත් ටිපර් රථයක යතුරුපැදිය ගැටුණි. යතුරුපැදිය පැද වූ තැනැත්තා රථයේ ඉදිරිපස කඩා ගෙන ඒ තුළ සිර වූ අතර පසුපස අසුනේ සිටි හිස් වැසුම් නොපැළඳි හිමිනම විසි වී ගොස් තාර පාරේ හිස වැදී තුවාල ලද අතර ස්වල්ප මොහොතකින් අපවත් විය. අසල කාණුවක තිබී දඹරන් පිළිමය පොලිසිය සොයා ගත්තේය. 

 




මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා වූ කතාවක් මෙසේය. 

නොමනා විහිළු කළ සිරාට පව් පළදුන් හැටි 


ගමේ පාසලෙන් ඉගෙනීම ලබා පන්සල් ආභාෂය ලැබූ ගැමි ජනතාව පස් පවෙන් හැකිතාක් දුරට වැළකෙමින් ධාර්මිකව සරල ජීවිතයක් ගත කළහ. 


උපතේ සිට මරණය දක්වා ගෙවන මෙම අවිනිශ්චිත සුළු කාලය තුළ කවදා හෝ තමාද මරණයට පත්වෙන බව දැන ජීවත් වෙන්නේ කීයෙන් කී දෙනා දැයි ගැටලුවකි. රුපියල් සත දේවත්වයේලා සලකා දිවා රැය වෙහෙසමින් බල්ලො මරා හෝ සල්ලි සොයන්නට වෙහෙසීම පුදුමයට කරුණක් නොවුණත් ජීවත් වීම උදෙසා ධාර්මිකව මුදල් උපයා ගැනීමට උත්සාහ ගත යුතු බව සිහියට ගැනීම වැදගත් වේ. 


දෑතේ ඇඟිලි එක සමාන නොවන්නා සේ සමාජයේ විවිධ අදහස් උදහස් දරන මිනිසුන් අතර හැම දෙනාටම සාමූහිකව ජීවත්වීමට සිදුව ඇත. සමාජය විසින් මිනිසා වරදට පොළඹවනු ලැබේ. එහෙත් සමාජය හැදෙන්නේ ද මිනිසුන් මගින් බැවින් මෙයට වරදකරුවා සමාජයද එසේ නැතහොත් මිනිසුන් ද යනු පිළිතුරක් හිතා මතා ගත නොහැකි වූ ප්‍රශ්නයකි. 


නමින් සිරිපාල වුවත් ගමේ උදවිය සිරා නමින් හඳුන්වනු ලැබූ මොහු මළපොතේ අකුරක් නොදත් වැස්සකටවත් පාසලට නොගිය අළුගුත්තේරුවෙකි. එකට කන බොන අසල්වැසියන්ගේ පවා අතට අසුවෙන දෙය පවා සොරා ගන්නා අදමිටුවෙකු වූ සිරා ගෙදරකට වැද්දගත නොහැකි අයෙකු වුවත් කිසිවෙක් ඔහු පලවා නොහැරියේ ගමේ එකෙක් නිසාය. 


ගමේ අයගේ මඟුලකදී මරණයකදී හෝ හදිසි යම්කිසි කටයුතුවලදී ඉදිරිපත්ව අව්ව වැස්ස හෝ රැය දහවල් නොබලා වැඩ කිරීම සිරාගේ පුරුද්දකි. තරුණ විය ඉක්මවා යාමට ඔන්න මෙන්න කියා ඇතත් මේ නිකමා සමග දීග ගොස් පොළොවේ පස් කන්න දැයි පවසා සිරාගේ අත ගැනීමට ගමේ කිසිම එකියක් කැමැති නොවූවාය. 
එහෙත් කාමුක අදහස් ඉහවහා ගිය සිරා ගමේ සිටි තරුණියන්ට විහිළු කිරීම දිගටම කරගෙන ගියේය. පෙළක් ගැහැණු මේ පිස්සාගේ වදන් සතේකටවත් ගණන් නොගත් අතර සමහරු බැණ වැදී සිරා එලවා ගැනීමට මැළිකමක් නොදැක්වූහ. රාත්‍රී කාලයේදී ගමේ වැල්වල වනා තිබූ ගැනීමට අමතක වුණු කාන්තා යට ඇඳුම් සොරාගැනීම ද විකෘති කාමයෙන් මොළේ කචල් වුණු සිරාගේ සිරිතක් විය. 


දිනක් නානතොටේදී දිය නාන කාන්තාවන් දෙස අසල වනරොදක සැඟවී බලා සිටි සිරා එකියකට නොමනා විහිළුවක් කර ලොකු අමාරුවක වැටුණි. ඇය අඬමින් නිවස කරා ගොස් තමා අතින් ඇදගෙන කැලයට ගෙන යෑමට සිරා තැත් කළ බව තම මවට පැවසුවාය. 


ඕකාට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතු ඇගේ මව මතු රැකවරණය තකා පොලිසියේ පැමිණිල්ලක් ලියා තැබුවාය. මේ බව දැනගත් සිරා හොඳ හැටි බිය වී නීතියෙන් තමාට හිරිගෙදර ලගින්නට සිදුවේයැයි සිතා නගරයේ වෙළෙඳ සැලකින් වස කුප්පියක් රැගෙන විත් එක හුස්මට එය කටේ හලාගෙන මිය පරලොව ගියේය. 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

සකස් කළේ
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්