​කොළඹ ඉදිවෙන අලුත් ගොඩනැගිලි   

කොළඹ නගරයේ ඉදිකෙ​ෙරන නව ගොඩනැගිලිවල දර්ශනයක්  

 

 

 කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිවෙන මහල් ගොඩනැගිලි පිළිබඳව අප පසුගිය සතියේද සාකච්ඡා කළෙමු. බොහෝ මහල් ගොඩනැගිලි ඉදිවෙන්නේ කොම්පඤ්ඤ වීදිය කේන්ද්‍ර කරගනිමිනි. මෙයට වසර ගණනාවකට ඉහතදී කොම්පඤ්ඤ වීදියේ ජීවත්වූ බොහෝ දෙනකු අද ජීවතුන් අතර නැත. එහෙත් ඒ අතීතයෙන් බිඳක් හෝ මතකය ඇති කිහිප දෙනක් එම ප්‍රදේශය අතහැර ගොස් වෙනත් ප්‍රදේශවල ජීවත් වෙති. අද ඔවුන් කොම්පඤ්ඤ වීදිය දුටුවහොත් මේ තමන් පදිංචිව සිටි කොම්පඤ්ඤ වීදිය දැයි සිතා ගත නොහැකි වනු ඇත. ඒ අද එම ප්‍රදේශය තුළ ඉදිකර ඇති සුවිශාල මහල් නිවාස සහ ගොඩනැගිලි නිසාය.  


කොම්පඤ්ඤ වීදිය මෙයට සියවස් 03කට පමණ පෙර ඉතාමත් මනරම් භූමියක්ව පැවතුණි. එහෙත් අද අඩියෙන් අඩිය විවිධ ගොඩනැගිලි වෙළෙඳසල් වැනි සුවිශාල මහල් නිවාස සංකීර්ණ ඉදිකර තිබේ. එම ප්‍රදේශය වන ලැහැබින් වටවුණු ජලාශවලින් සමන්විත භූමියකි. ‘බේරේ වැව’ නමින් ප්‍රසිද්ධ මනරම් ජලාශයක් අතීතයේ සිට පැවැති අතර අද වෙන විටත් බේරේ වැව දැකිය හැක. එහෙත් එදා තිබූ තරම් විශාල ජලාශයක් අද දක්නට නැත්තේ බේරේ වැව ආශ්‍රිත භූමියද විවිධ පුද්ගලයන් අත්පත් කර ගැනීම හේතුවෙනි.  


සියවස් තුනකට පෙර ඉතා සුන්දර නිස්කලංක පරිසරයක්ව පැවැති බේරේ වැව පිහිටි කොම්පඤ්ඤ වීදිය පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන්ගේ අප්‍රමාණ වර්ණනාවලට ලක්විය. එහෙත් බේරේ වැව අද අලංකාරවත් වී ඇතත් දිනපතා නවීකරණය කළද විටින් විට හමා එන දුර්ගන්ධය නිසා ඒ අසලින් ගමන් කරන බොහෝ දෙනා දැඩි අප්‍රසන්න භාවයක් පෙන්නුම් කරති.  


කොම්පඤ්ඤ වීදියේ අලංකාරය රැඳීඇත්තේ මෙම බේරේ වැව නිසාය. අක්කර 400ක් පමණ වපසරියකින් සමන්විත බේරේ වැව මේ වනවිට කොටස් වශයෙන් බිඳී ගොස් දැවැන්ත ගොඩනැගිලි ඉදිවී තිබේ. කොළඹ 02 කොම්පඤ්ඤ වීදියේ මෑත කාලයේ සිට සුවිශාල ගොඩනැගිලි ඉදිවීමට පටන් ගැනුණේ එම ප්‍රදේශය ඉතා අලංකාර කිරීමටය. මේ නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ දහස් සංඛ්‍යාත ජනතාවගේ පැල්පත්, මධ්‍යම පාන්තික නිවාස ඉවත් කිරීමට සිදුවිය. එම නිවාස හිමියන් සඳහා අති නවීන නිවාස ඉදිකරදීමට රජය කටයුතු කරමින් සිටියි.  


කොම්පඤ්ඤ වීදියේ තවත් සුවිශේෂි ගොඩනැගිල්ලක් ඉදිකෙරෙමින් පවතියි. එම ගොඩනැගිල්ලේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ මෙම ගොඩනැගිල්ල ඉදිකළ භූමියේ පදිංචි නිවැසියන්ගේ නිවාස අත්පත් කරගත් භූමියට හිලව් වශයෙන් නිවාස ඉදිකරදීමේ පොරොන්දුව මතයි. පවතින කාලගුණය අනුව ඉදිකිරීමේ වකවානු තරමක් එහා මෙහා විය හැකි බව එම ව්‍යාපෘතියේ ප්‍රකාශකයක් අප සමඟ පැවැසීය.  
‘අපි මේ නිවාස ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කරලා රජයට භාර දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් අයහපත් කාලගුණය සහ දේශගුණය නිසා වැඩ නිම කර භාරදීමට තිබූ දින වකවානු වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා වැඩ නිම කරන දිනය අපට නිෂ්චිත වශයෙන් ප්‍රකාශ කරන්න බැහැ.  


‘මෙතන ඉදි කෙරෙන්නේ සුවිසල් නිවාස ව්‍යාපෘතියක්. මෙහි ඉදිකිරීම් කරන්නේ ඉන්දියාවේ ‘ටාටා කන්ස්ට්‍රක්ෂන්’ කියන සමාගමයි. ජාත්‍යන්තර වශයෙන් අනුකූල වූ ක්‍රමවේදයකට අනුවයි ඉදිකෙරෙන්නේ. ජාත්‍යන්තර ප්‍රමිතීන්වලින් සැකසුණු සැලසුම් ශ්‍රී ලංකාවේ හසළ දැනුමක් ඇති විශේෂඥ ඉංජිනේරුවන්ගේ දැනුම භාවිතා කෙරෙනවා. ඒ දැනුම සහ තාක්ෂණයට අනුව ඔවුන්ගේ උපදෙස් පරිදියි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ.   
මෙම ගොඩනැගිල්ලේ මූලික ඉදිකිරීම් සිදුකරන්නේ ඉන්දියාවේ ‘ටාටා’ සමාගමේ ඉදිකිරීම් ආයතනයක්. ටාටා කන්ස්ට්‍රක්ෂන් කියලා තමයි ඒ ආයතනය හඳුන්වන්නේ. ඉන්දියානු නියෝජිතයන් කිහිප දෙනකු අධීක්ෂණය කරනවා. මූලිකව ක්‍රියා කරන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරියයි. එම ආයතන දෙකේ පූර්ණ අධීක්ෂණය යටතේයි ටාටා කන්ස්ට්‍රක්ෂන් සමාගම කටයුතු කරන්නේ. ටාටා ආයතනය සැලසුම් ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පළපුරුදු ඉංජිනේරුවන්ගේ උපදෙස් මතයි.  

 

ප්‍රදේශවාසීන් සඳහා කොම්පඤ්ඤ වීදියේ ඉදිකෙරෙන ගොඩනැගිල්ල (ටාටා කන්ස්ට්‍රක්ෂන්)  

 

 


මෙතන මූලික වශයෙන් ගොඩනැගිලි 03ක් ඉදි කෙරෙනවා. ගොඩනැගිලි 2ක් මහල් 23 කින් සමන්විතයි. අනික් ගොඩනැගිල්ල මහල් 17 කින් සමන්විත වෙනවා. ඒ ගොඩනැගිලි තුනේම නිවාස ඒකක 626ක් ඉදි කෙරෙනවා. ඊට අමතරව සියලු අංගවලින් සමන්විත වෙළෙඳසල්, වාහන නැවතුම් ස්ථාන, වාහන ගාල් කිරීමට පො​ෙළාව අභ්‍යන්තරයේ විශේෂ ස්ථාන කිහිපයක් ඉදි කෙරෙනවා. නිවසක වටිනාකමද තවම තක්සේරු කර නැත.   


කොළඹ නගරයේ විශේෂයෙන් කොම්පඤ්ඤ වීදිය ආශ්‍රිතව අනවසරයෙන් මෙන්ම සින්නක්කර ඔප්පු සහිතව නිවාස රැසක් ඉදිකර තිබුණි. අක්‍රමිකවත්ව සහ නිසි ප්‍රමිතියකින් මෙන්ම සැලැස්මක් එම නිවෙස්වලට නොතිබීම නිසා ප්‍රදේශයේ අලංකාරයටද බාධා විය. එම නිවාස පිහිටි භූමිය වැඩි ආදායමක් ලබා ගැනීමේ තිබුණ ඉඩකඩ සැලකිල්ලට ගෙන එය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැණින. නිවාස ලාභීන්ට අසාධාරණයක් නොවන පරිදි එම භූමිය තුළ මහල් නිවාස ඉදිකර නැවත පදිංචිකරුවන්ටම ලබාදෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.  


මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතාගෙන් අපි විමසීමක් කළෙමු. ඔහු සඳහන් කළේ මෙම භූමියේ ඇති වටිනාකම අනුව විශාල ආද්‍ායමක් ඉන් ලබාගත හැකි බවයි. මේ පිළිබඳ විස්තර කළ ගුණතිලක මහත:  


‘මෙම ව්‍යාපෘතිය ඉදිකරන්නේ කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විශාල භූමි භාගයක. මෙම ඉඩමින් විශාල ආයෝජනයකට, මෙන්ම ආර්ථිකයකට ඵලදායී ක්‍රමයට යොදාගත හැකි ක්‍රමයක් පිළිබඳ අප දුටුවා. අපි ඒ පිළිබඳ අධ්‍යයනයක නිරත වුණා. ඒ නිසා අපි ඉඩම පවරාගෙන එම නිවෙස්වල පදිංචිව සිටි සියලු දෙනා සැලකිල්ලට ගෙන එක් කොටසක අපි ඒ ජනතාවට නිවාස ව්‍යාපෘතියක් ඉදිකර දෙනවා. අනිත් භූමියේ වානිජ කටයුතු, නේවාසික කටයුතු කරගෙන යාමට මෙම ව්‍යාපෘතියේ ආයෝජකයන්ට ලබාදෙනවා. ඒ ඉඩම තුළ අපි සීමා කළ ඉඩම් ප්‍රමාණය තුළ එහෙම නැතිනම් අපි දෙන පරාසය තුළ එම ආයෝජකයන්ට අවශ්‍ය ඉදිකිරීම් කරගෙන යන්න පුළුවන්.  


මෙතන ගොඩනැගිලි තුනක් ඉදිවෙනවා. ටවර් 01, 02, 03 කියලා. පළමු මහල තුළ සම්පූර්ණයෙන්ම සුපිරි වෙළඳ සංකීර්ණයක් ඉදිකෙරෙනවා. සම්පූර්ණයෙන් නිවාස 626ක් ඉදි කෙරෙනවා. ඒ ඉදිකිරීම් සියල්ල සඳහා මුදල් වැය කරන්නේ ටාටා කියන සමාගම. අපිට වැය කරන්න මුදල් නොමැති නිසා ඒ සමාගම තමයි මුළු පිරිවැය​ යොදවන්නේ. වැඩ කටයුතු අවසන්වූ පසු මුල් පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කටයුතු සිදු කරන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේයි. අපි ඒ භූමියේම වෙන්කළ කොටසේ ආයෝජකයන්ට අවශ්‍ය ඉදිකිරීම් කරලා මේ වැය වූ මුදල් සොයා ගන්න හැකියාව තිබෙනවා. සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 05 කට ආසන්නයි. මෙතන මිශ්‍ර වානිජ කටයුතු සඳහායි මූලිකව ක්‍රියා කෙරෙන්නේ.  


ප්‍රශ්නය:- මෙම භූමියේ පළමු පදිංචිකරුවන්ට නොමිලයේද නිවාස ලබාදෙන්නේ?  


පිළිතුර- අපි නිවාස ලාභීන්ගේ නිවාසවල තක්සේරු අනුව ඒ ඒ නිවාස නොමිලයේ ලබාදෙනවා. අපි මේ ඉඩම පවරගත්තේ 2013 වසරේ. 2013 වසරේ ඉඳලා මේ වනතුරු එම නිවාස ලාභීන් පදිංචිවෙලා සිටින නිවාස සඳහා අපි කුලී මුදලක් ගෙවනවා. ඇතැම් නිවාසවල අයිතිකරුවන් සිටිනවා කුලී වැසියන්. ඒ කුලී වැසියන්ට අපි කුලී මුදල ලබාදීලා තිබෙනවා. නිවාසවල අයිතිකරුවන්ට තමන් පදිංචිවෙලා සිටි නිවාසයේ වර්ග ප්‍රමාණය අනුව නව නිවාස සංකීර්ණයේ නිවස ලබාදෙනවා නොමිලයේ. මේ වෙනකම් අපි ඔවුන්ට කුලී නිවාස සඳහා මුදල් ගෙවීම් කරලා තිබෙනවා.   


ප්‍රශ්නය- මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ කවදාද? අවසන් වන්නේ කවදාද?  


පිළිතුර- වසර 2013 වසරේ තමයි අපි ව්‍යාපෘතියේ මූලික කටයුතු ආරම්භ කළේ. මේ වසරේ බොහෝ දුරට අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් කාලගුණයෙන් හෝ දේශගුණයෙන් බලපෑම් එල්ල නොවුණහොත් අපේ බලාපොරොත්තුව මේ වසරේ වැඩ අවසන් කිරීමටයි.  


ප්‍රශ්නය- වෙනත් පිටස්තර පුද්ගලයන්ටත් මෙහි නිවාස මිලදී ගත හැකිද?  


පිළිතුර- මෙම මහල් සංකීර්ණයේ වෙනමම මහල් දෙකක් වෙන් කරලා තිබෙනවා. පිටස්තර අයට මුදල් ගෙවලා එම නිවාස ලබාගන්න පුළුවන් අපේ තක්සේරු අනුව.  


ප්‍රශ්නය- සාමාන්‍යයෙන් කොපමණ මුදලක් වෙයිද?   


පිළිතුර- අපි තවම තක්සේරු කරලා නැහැ. එහි තිබෙනවා වර්ග අඩි 400, 600, 1000 සහ 1200 ප්‍රමාණයේ නිවාස. මෙම ව්‍යාපෘතිය නිමා කරලා ටාටා සමාගම අපට ලබා දුන් විට අපි නිවාසවල තක්සේරුව කරනවා.  


ප්‍රශ්නය- මෙහි සම්පූර්ණ වගකීම කාගේද?  


පිළිතුර- මෙම නිවාස ව්‍යාපෘතියේ සම්පූර්ණ වගකීම නාගරික අධිකාරිය සතුයි. ඉදිකිරීම් භාරව ක්‍රියා කරන්නේ ඉන්දියාවේ ටාටා කන්ස්ට්‍රක්ෂන් සමාගමයි. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය සතුයි. අපි තවත් මෙවැනි ව්‍යාපෘතීන් ඉදිකරන්න ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා. මේ තුළින් එම ප්‍රදේශයේ ජීවත් වුණු අනවසර, වගේම පැල්පත් වාසීන්ටත් විශාල සහනයක් ලැබෙනවා. ඔවුන්ට අංගසම්පූර්ණ නිවසක හිමිකම් කියන්න පුළුවන්.  


දිනෙන් දිනම ශීග්‍ර දියුණුවක් කරා යන ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව මෙවැනි මහල් නිවාස ඉදිකිරීමෙන් නිවාස හිගයට යන්තම් හෝ විසඳුම් ලබා ගැනීමට හැකියාවක් පවතියි. මෙයට වසර ගණනාවකට පෙර කොළඹ සිරි දුටු අයෙකුට අද වනවිට කොළඹ නගරය දුටුවහොත් මේ කොළඹද යන්න අදහාගත නොහැකි තරමට සංවර්ධනය වී තිබේ.  

 

 

 

 

සටහන - නිශාන්ත කුමාර බණ්ඩාර  
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය