අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන් සමඟ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ ඉදිකිරීම් නිරීක්ෂණයට පැමිණි අවස්ථාව

 

රටක සංවර්ධනයට සැපයෙන ප්‍රධානතම යටිතල පහසුකම ලෙස සලකනු ලබන්නේ අධිවේගී මාර්ග පද්ධතියයි.  


රටක සංවර්ධනයත් සමග පුළුල් වන ජනගහනයට ලොව බොහෝ රටවල් තම ප්‍රවාහන පහසුකම් විධිමත් කිරීමට අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම සිදු කරති.  


මීට වසර කීපයකට පෙර අපේ රටට වඩා බොහෝ සෙයින් පිටුපසින් සිටි දකුණු ආසියාවේ දුප්පත්ම රටක් ලෙස හැඳින්වුණු බංග්ලාදේශය ද ඩකා අගනුවර පෙරටුකරගෙන සුවිශාල අධිවේගී මාර්ග පද්ධති ඉදිකරමින් පවතින ආකාරය පසුගියද‌ා එරටේ කළ සංචාරයකදී අපට දැකගත හැකිවිය. මේ මාර්ග සංවර්ධන විප්ලවය සඳහා ඔවුන් එ් සඳහාම වෙන්වූ අමාත්‍යංශයක්ද මේ වන විට පිහිටුවා ඇත. ඔවුන් මේ සංවර්ධන විප්ලවය ක්‍රියාවට නංවන්නේ සියයට 09ක් වූ දකුණු ආසියාවේ ඉහළම සංවර්ධන වේගයටද හිමිකම් කියමින්ය.  
අභාවප්‍රාප්ත ආචාර්ය තුලසිංහයන් පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නද එම තාක්ෂණය උපයෝගී කර ගනිමින් අධිවේගී මාර්ග පද්ධති ගොඩනැගුවේ මැලේසියාව, සිංගප්පූරුව, තායිල්නතය වැනි අපට යාබද රටවල්ය.  


කෙසේ හෝ ප්‍රමාද වී හෝ අපේ රටේද දැන් අධිවේගී මාර්ග පද්ධති ගොඩනැගෙමින් පවතී. මෙරට ඉදිකළ ප්‍රථම අධිවේගී මාර්ග පද්ධතිය හරහා කලකට පෙර ගිය පැය පහක හයක වෙහෙසකාරී, රස්තියාදුකාරී ගමන වෙනුවට පැය එකහමාරක ගමනකින් අද කොළඹ ප්‍රදේශයේ සිට මාතරට ගමන් කළ හැකිය.  


දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධව පසුව කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයද දක්ෂිණ අධිවේගී මාර්ගයට පිටරවුම් අධිවේගී මාර්ගයක් සම්බන්ධ කර ගනිමින් එය කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත් එතැන් සිට මහනුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ලෙසත් ඉදිකිරීමට සැලසුම් සකස් වී තිබේ. මෙහි තවත් කොටසක් උතුරු අධිවේගී මාර්ගය ලෙස කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදිකිරීමටද යෝජිතය.  


මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කඩවත සිට මීරිගමට කිලෝමීටර් 39.09 දුරක් ද, දෙවන අදියර ලෙස මීරිගම සිට කුරුණෑගල දක්වා කි​ෙලා්මීටර් 39.29ක දුරක් ද තුන්වන අදියර ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 34.12ක දුරක් ද හතරවන අදියර ලෙස කුරුණෑගල සිට දඹුල්ල දක්වා (උතුරු අධිවේගී මාර්ගයේ) කිලෝ මීටර් 59.3ක් ද වශයෙන් එහි සැලසුම් ලෙස සටහන් වේ.  


මෙම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ලෙස මීරිගම, නාකුලුගමුව, පොතුහැර, දම්බොක්ක සහ කුරුණෑගල ගැට්ටුවාන යන ස්ථාන නම් කර ඇත. මහනුවරට සහ උතුරු දෙසට පද්ධති හුවමාරු මධ්‍යස්ථානය පොතුහැර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතී. මධ්‍යම අධිවේගයේ සේවා සපයන ස්ථානය මීරිගමට ආසන්නයෙන් ඉදිකිරීමට නියමිත අතර මංතීරු හතරකින් ඉදිවන මෙම මාර්ගයේ එක් මංතීරුවක පළල මීටර් 3.6 කි.  


මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කිලෝමීටර් 39.92ක දුර ප්‍රමාණය සඳහා දේශීය බැංකු ආධාර මත වැයවන මුදල රුපියල් බිලියන 137 කි. 2016 වසරේ ආරම්භ වූ මෙම දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වසරේ අගෝස්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට නියමිතය.  


ඉහත සටහන තැබීමේදී අපට දෙවන අදියරේ අවසානය පිළිබඳව පමණක් කතා කිරීමට සිදුවන්නේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් මේ වනතුරු මූලික මට්ටමේ පැවතීම නිසාය. කුරුණෑගල සිට කොළඹ දක්වා ඔබ දුම්රියක ගමන් කරන්නේ නම් මීරිගම ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුවන්නේ කෙසේදැයි අපූරුවට බලාගත හැකිය.   


මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම යහපාලන රජය බලයට පැමිණීමෙන් පසුව ක්‍රියාත්මක කළ මෙරට දැවන්ත සංවර්ධන ව්‍යාපෘතියකි. එ් නිසාම එම ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණයෙන්ම වගකීම පවතින්නේ මේ රජයටය. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු මහාමාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් සේම වත්මන් මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරු අවස්ථා කීපයකදීම පැමිණියහ. මේ සෑම අවස්ථාවකදීම ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වූයේ කුරුණෑගල සිට මීරිගම දක්වා ඉදිවන කොටස පමණි. ඊට හේතුව මීරිගම සිට කඩවත දක්වා වූ මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම අදියරේ ඉදිකිරීම් කටයුතු ඉබි ගමනින් සිදුවීමය. කොටින්ම කිවහොත් එම කොටසේ කඩිනමින් ඉදිකිරීමක් නොවනවා හා සාමානය.  


මෙරට අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීමේදී ප්‍රථම වරට දේශීය බැංකු ණය ආධාර යටතේ සහ දේශීය ඉදිකිරීම් සමාගම් යටතේ ඉදිවන අධිවේගී මාර්ග පද්ධතිය වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයයි.   


මෙරට ප්‍රධාන මාර්ග ඉදිකිරීම් සමාගම් සේ සැලසෙන මාග, සියරා වැනි දේශීය සමාගම් තම රට වෙනුවෙන් යුතුකම් මනාව ඉටුකරමින් මීරිගම සිට කුරුණෑගල දක්වා වූ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කරමින් සිටියි. ඒ ලබාදී තිබූ නියමිත කාලයද සපුරා ලමින්ය.  


දේශීය සමාගම් එසේ තමාට ලබා දුන් වගකීම් සාර්ථකව ඉටුකරද්දී මීට සම්බන්ධ වූ චීනයේ සහ ජපානයේ ලොව සුවිශාල යැයි කියනු ලබන ඉදිකිරීම් සමාගම්වලට සිදුවූ​ෙය් කුමක්ද? එකට ඉදිකිරීම් ඇරඹුවා නම් එකටම ඉදිකිරීම් අවසාන කළ යුතුව තිබේ.  


මේ සමාගම් දෙකටම පුංචි ශ්‍රීලාංකීය සමාගම් සේ තම කටයුතු සිදුකිරීමට නොහැකි වූයේ කුමක් නිසාද? මධ්‍යම අධිවේගී මාර්ගයේ සියලුම ඉදිකිරීම් අවසාන කිරීමට නියමිත වූයේ මේ වසරේ අගෝස්තු මාසයේදීය. නමුත් මෙයින් ඉදිකිරීම් කටයුතු නිමවෙමින් පවතින්නේ දෙවන අදියරේ පමණි. පළමු සහ තුන්වන අදියර මේ පවතින තත්ත්වය අනුව කවද‌ා අවසන් වේ දැයි සිතා ගැනීමටවත් නොහැකියි. ඒ අනුව මෙම මාර්ගය අංගසම්පූර්ණ ජනතා ප්‍රයෝජනයට ගත හැකි කාලවකවානුවක් නිශ්චිතව සඳහන් කළ නොහැකි තත්ත්වයක පවතී.  


පසුගිය දිනක මහාමාර්ග හා උඩරට සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මල්වතු හා අස්ගිරි පාර්ශ්වවල අනුනායක හිමිවරුන්ද කැටුව මධ්‍යම අධිවේගයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු නැරඹීමට පැමිණියහ. එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.  


මහනුවර කියන්නේ ලංකාවේ දෙවැනි අගනුවර. අධිවේගී මාර්ගයක් හැදෙනවා නම් ඉස්සෙල්ලාම හදන්න තිබුණේ අගනුවර ඉඳලා දෙවැනි අගනුවර වුණු මහනුවරටයි. නමුත් පසුගිය කාලේ මහනුවර ප්‍රධානකොටගෙන කන්ද උඩරට පළාත් සම්පූර්ණයෙන්ම අමතක කරලයි තිබුණේ. යහපාලන රජය බිහිවුණාට පසුව ගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ආශිර්වාදය ඇතිව මේ අධිවේගී මාර්ගය ආරම්භ කරන්න අපට පුළුවන් වුණා.   


දකුණු අධිවේගී මාර්ගය ඉදිකරන්න වසර දහයක් ගියා. නමුත් අපිට පුළුවන් වෙනවා මේ වසර තුළ මේ කිලෝ මීටර් 40 නිම කරන්න. ඒ කියන්නේ අලුත් මාර්ගයක් නිර්මාණය වෙනවා. නුවර​ට, පස්යාල, මීරිගම, කුරුණෑගල, මහනුවර කන්ද උඩරට ප්‍රදේශවල විශාල දියුණුවක් මේ මාර්ගයත් එක්ක ඇති වෙනවා. ඉඩම්වල වටිනාකම වැඩි වෙනවා. මම නිතරම අපේ නායක ස්වාමීන් වහන්සේලා හමුවෙන්න යන​ෙකාට උන්වහන්සේලා මගෙන් අහනවා පාර කෝ කියලා. තවම නුවර පැත්තේ පාර පේන්නේ නැහැ කියලා කියා. එ් නිසයි මම හිතුවේ මහා නායක ස්වාමීන් වහන්සේලාට අනුනායක ස්වාමීන් වහසන්සේලාට ආරාධනා කළේ. මේ අධිවේගී මාර්ගය පෙන්වනන එන්න කියලා යනුවෙන්ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  


කෙසේ වුවද අංගසම්පූර්ණ නොවූ මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර වූ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස මේ වසරේ සැප්තැම්බර් පමණ වන විට විවෘත කිරීමට හැකිවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එම ප්‍රකාශයට අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සහ තෙවන අදියර කවද‌ා ඇරඹේදැයි කවද‌ා අවසන් වේදැයි නිශ්චිතව අනාවරණය නොවීය. අමාත්‍යවරයා පවසන ආකාරයට අංගසම්පූර්ණ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස් අවසන් වීමට තවත් වසර හතරක් හෝ පහක් පමණ ගතවිය හැකිය. කුරුණෑගල ජනතාව දෑස් දල්වමින් බලා සිටියේ කඩවත සිට කුරුණෑගලට පැයක් වැනි කෙටි කාලයකින් නව අධිවේගී මාර්ගය හරහා පැමිණීමටය. නමුත් දැන් එය සිහිනයක් පමණක් බවට පත්ව ඇත. කිරිඇල්ල අමාත්‍යවරයා පැවසූ ආකාරයට මධ්‍යම අධිවේගයේ දෙවන අදියර සැප්තැම්බර් මාසය වන විට විවෘත වුවහොත් කුරුණෑගල ජනතාවට කුරුණෑගල සිට මීරිගම දක්වා අධිවේගී මාර්ගයේ ගමන්කොට එතැන් සිට යළි සුපුරුදු පරිදි නිට්ටඹුව හරහා තදබදයෙන් පීරිගිය මාර්ගයේ කොළඹ බලා ගමන් කිරීමට සිදුවේ. එවැනි අඩක් නිම වූ අධිවේගී මාර්ගයකින් ජනතා බලාපොරොත්තු ඉෂ්ට වෙයිද?  


කුරුණෑගල සිට කොළඹ බලා යාමට ඇති කෙටිම හා පහසුම මාර්ගය වරකාපොළ හා නිට්ටඹුව හරහා ගමන් කිරීමය. එහෙත් මේ මාර්ගයේ වාහන තදබදය ඇරැඹෙන්නේ වරකාපොළ නගරය පසුකරීමත් සමගය. උග්‍රම තදබදය නිට්ටඹුව නගරය පසුකර යාමේදී හමුවේ. ඒ අනුව අධිවේගී මාර්ගයේ මීරිගමට ගොස් එතැන් සිට ඉතිරි කිලෝමීටර් 64 ක දුරක් ගෙවා කොළඹට යාමේදී අවම වශයෙන් අඩු වන්නේ පැය බාගයකට ආසන්න කාලයකි. සාමාන්‍යයෙක් කොළඹ සිට බසයකින් කුරුණෑගට පැමිණීමේදී ගතවන කාලය පැය තුනහමාරකට ආසන්නය. ජනතාව සිහින මැවුවේ මේ දිගු කාලය පැයකට පමණ සීමාකර ගැනීමටය. නමුත් එම බලාපොරොත්තු ඉටු නොවන බව අධිවේගී මාර්ගයේ වර්තමානයේ පවත්නා ඉදිකිරීම්වල ස්වාභාවයෙන්ම පැහැදිලි වේ.   


පසුගියද‌​ා කුරුණෑගල මාවතගම පැවති ජනහමුවකට සහභාගි වෙමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ මේ රජයට අධිවේගී මාර්ගයක්වත් හරියට සාද‌ාගත නොහැකි බවයි. තමන් බලයේ සිටියා නම් මධ්‍යම අධිවේගී මාර්ගය සාද‌ා නිමකොට මෙම ජනහමුවට පැමිණෙන්නේ එම මාර්ගයෙන් බවද රාජපක්ෂ මහතා පැවසීය.  


ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දේශපාලනඥයින් මෙසේ තම නොහැකියාවන් වසා ගැනීමට එකිනෙකාට චෝදනා කරගනිද්දී රටේ සංවර්ධනය අඩපණ වෙලාය. වෙනත් රටවල නම් කුමන ආණ්ඩු බලයට ආවද පොදු රාජ්‍ය ප්‍රතිපත්තියක් අඛණ්ඩව රටේ යහපත වෙනුවෙන් ඉදිරියට ගෙනයයි. කුමන දේශපාලන බල පෙරළි ගැටුම් තිබුණද ඒ කිසිවක් එම රටවල සංවර්ධනයට බාධාවක් කර නොගනිති. උද‌ාහරණයක් ලෙසට මාලදිවයින බංග්ලාදේශය, තායිලන්තය, වියට්නාමය අපේ රටට වඩා බොහෝ ඉදිරියට ගොස් සිටින්නේ රටේ දේශපාලනය කෙසේ වුවද එය සංවර්ධනයට බාධාවක් කර නොගන්නා බැවිණි. නමුත් අපේ රටේ ඇත්තේ එහි අනෙක් පැත්තය. එකිනෙකාට දොස් පවරාගන්නා ආත්මාර්ථකාමි රට ගැන නොසිතන බලයට මුදලට පමණක් පොර අල්ලන දේශපාලනඥයින් ද ඊටම සරිලන නිලධාරි පැලැන්තියක් ද සිටින අපේ රට තවමත් එද‌ා තිබූ තැනමය. සංවර්ධනය කයිවාරුවෙන් පමණි. සංවර්ධනයේ නාමයෙන් මහජන මුදල් ගසා කෑම ඉහළින්ම පවතී.  


ජනතාව ​ෙම් අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා තම පාරම්පරික ඉඩම්, වටිනා ගෙවල් දොරවල්, ව්‍යාපාර, ස්ථාන පවා රජයට ලබා දුන්නේ රටේ අනාගතය පිළිබඳව සිතලාය. ඇතැම් දේපල, නිවාස සඳහා සාධාරණ වන්දි හිමි නොවූ තැන ඊට එරෙහිව අරගල කිරීමට පවා ජනතාවට සිදුවිය. අප දැනුවත්ව මේ රටේ කිසිදු දේශපාලනඥයකුගේ දේපලක් හෝ නිවෙසක් මේ අධිවේගී මාර්ග සඳහා අහිමි වී නැත. ඒ අහිමිවීම්ද සිදුවූයේ සාමාන්‍ය ජනතාටමය.  

සටහන හා සේයාරූ : පුෂ්පකුමාර ජයරත්න