ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්

21 කොටස 

 

කාන්තා ක්‍රියාකාරිනියක් ප්‍රතිඥ‌ාවක් කියවද්දී රැස්ව සිටි පිරිස අත් ඔසවා එයට අනුමැතිය ලබාදෙමින්. 

 

 

වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක් ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙ​ෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළවී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි. 


කාන්තා විමුක්තිය ලබාගැනීම සඳහා දෙපිරිසක් සිවිල් සමාජය වෙනුවෙන් සටන් කරති. එක් පිරිසක් රාජ්‍ය නොවන සංවිධාන ය. අනෙක් පිරිස වාමාංශික පක්ෂයන් ය. ලාංකීය කාන්තා නොහොත් ස්ත්‍රී සංවිධාන වන රාජ්‍ය නොවන සංවිධාන මුළුමනින්ම වාගේ යැපෙන්නේ විදේශ ආධාර ව්‍යාපෘති මගිනි. ඔවුන්ගේ සටන්පාඨ කාලෙන් කාලයට වෙනස්ය. ගබ්සාව නීතිගත කරන ලෙසටත් සමලිංගික අයිතිය සැමට ලැබිය යුතු බවටත් ඇතැමුන් පෙනී සිටින්නේ එබැවිනි.  


ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාරය තුළ වාමාංශික ව්‍යාපාරවලට සම්බන්ධ කාන්තා සංවිධාන පියවර ගණනාවක් පෙරට ගිය ද කාන්තා ජනගහනය ප්‍රතිශතයක් ලෙස සසදන කල එහි ව්‍යාප්තිය ප්‍රමාණවත් නැත. එහෙත් කාන්තා රාජ්‍ය නොවන සංවිධානවලට සාපේක්ෂව නම් වමේ ව්‍යාපාරයේ කාන්තා සංවිධාන ක්‍රියාකාරීත්වයෙන්, සංවිධාන ශක්තියෙන්, මතවාදී සහ පිරිස් බල මට්ටමින් සිටින්නේ බොහෝ ඉදිරියෙනි. 


අරගලයකදී පීඩිත කාන්තාවන් සතු ශක්තිය අවතක්සේරු කළ යුතු නැත. එමෙන්ම අධිතක්සේරු ද කළ යුතු නොවේ. ඒ දෙස විචාරශීලීව බැලිය යුතුය. එම අත්දැකීම් කාන්තා පරපුර යුතුකම් සහ වගකීම් සමඟ මෙන්ම සංකීර්ණ වූ සමාජ තත්ත්වය සමඟ ගළපා බැලිය යුතුය. ලංකාවේ කාන්තා ක්‍රියාකාරකම් ඇරඹෙනුයේ මුල්ම පොදු කම්කරු අරගල තුළ වේ. හුණුපිටියේ එමලියා එදා ට්‍රෑම් රථ වර්ජනයේදී නායකත්වය ගත් කාන්තාවකි. හර්තාලය 1953 අගෝස්තු 12 ක්‍රියාත්මක කිරීමේදී ද එහි ක්‍රියාකාරී වැඩ කොටසක් කළේ ද කාන්තාවන් ය. 


වමේ ව්‍යාපාරය වෙනුවෙන් දේශපාලනය, සමාජය සහ ආර්ථික අයිතිය වෙනුවෙන් සටන් කිරීමට කාන්තා නායිකාවෝ ගණනාවක්ම කටයුතු කළෝය. පුරුෂාධිපතිත්වයට යටවී ජීවත්වීමට සිදුවී ඇතැයි අසුබවාදීව සිතනු වෙනුවට කාන්තාවන්ට වැදගත් තැනක් තිබෙන බැව් වටහාගත් එම කාන්තා නායිකාවන් සමාජවාදී සටනේ පුරෝගාමීන් පිරිසක් ලෙස හැඳින්විය හැකිය.  


ඒ අතර වාමාංශික ව්‍යාපාරයේ උපත වශයෙන් සැලකෙන සූරියමල් ව්‍යාපාරයේ සභාපතිනිය වූ පාර්ලිමේන්තුවට තේරී පත් වූ එකම විදේශීය කාන්තාව වන ඩොරින් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වරට සිංහල භාෂාවෙන් කථාවක් කළ මන්ත්‍රිනිය වූ කුසුමා ගුණවර්ධන, වමේ ව්‍යාපාරයේ පසුකලෙක ගිනිසිළුවක් බඳු වූ විවියන් ගුණවර්ධන, ලියොන් ට්‍රොට්ස්කි සමඟ දේශපාලන සබඳතා පැවැත්වූ එකම කාන්තාව වන සෙලීනා පෙරේරා ඇතුළු කාන්තා නායිකාවෝ ගණනාවක්ම වෙති. 

 

ජවිපෙ 1983 ජූලි තහනමට පෙර පැවති මැයි පෙළපාළියකදී සමාජවාදී කාන්තා සංගමයේ කාන්තා භට කණ්ඩායමක් ගමන් කරමින්. 

 

 දෙවැනි කැරැල්ලේ කැරලිකාරියන් ලෙස අත්අඩංගුවේ සිටි තරුණියන් අතරින් 102ක් කැලණිය රම්මුතුගල බන්ධනාගාර නිවාසයේදී වසර කිහිපයක් පුනරුත්ථාපනය ලැබූහ. මේ ඉන් කිහිපදෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයට යළි පෙනීසිටීම සඳහා ගණිතය විෂය 1990 සැප්තැම්බර් මස සිය ගුරුවරිය වූ රූපානි කැකුලාවලගෙන් ඉගෙන ගනිමින්.

 

 


පූර්ණකාලීන ජවිපෙ කාන්තා ක්‍රියාකාරීන් සඳහා විජේවීර විසින් පවත්වන ලද ප්‍රථම කඳවුර 1970 මුල් භාගයේදී විජේවීරගේ තංගල්ල නිවසේ පැවැත්විණි. දවස් තුනක අධ්‍යාපන කඳවුරක් වූ එයට සේපාලි, සම්පතී, කමනි, ධම්මිකා, අම්බලන්ගොඩ ශාන්ති ද සිල්වා, යසෝමා, කුසුමා ඇතුළු අය සහභාගි වූහ. ඔවුනට පැවරුණු වගකීම වූයේ භාරදෙන දිස්ත්‍රික්කවලට ගොස් පූර්ණකාලීනව කාන්තාවන්ට ජවිපෙ පන්ති පැවැත්වීමය. 


එක්සත් ජාතික පක්ෂය මගින් ලක්වනිතා කාන්තා සංගමය අරඹන ලද්දේ 1976දීය. ශ්‍රීලනිප කාන්තා සංවිධානය නිල වශයෙන් ශ්‍රීලනිප ආරම්භ කළේ 1983දීය. ජනතා විමුක්ති පෙරමුණේ කාන්තා සංවිධානය පළමු වරට සිය වැඩ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන්නේ 1978න් පසුවය. සමාජවාදී කාන්තා සංගමයේ මංගල මහා සමුළුව 1982 කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුවද ජවිපෙ සමඟ කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ වන්නේ 60 දශකය අවසානයේදීය. 


කාන්තා විමුක්තිය ලැබිය හැක්කේ අන්තවාදී හුදකලා අරගල තුළින් නොවේ. වමේ ව්‍යාපාරයට අනුව ජනතාවගේ විමුක්තිය තුළ කාන්තා විමුක්ති මාර්ගය ද වැටී ඇත. 
ලාංකේය කාන්තාවන්ගේ අරගල ඉතිහාසය සොයා යෑමේදී ජවිපෙ ප්‍රථම කැරැල්ල වන 1971 කැරැල්ල ද 2වන කැරැල්ල වන 1986 සිට 1990 කැරැල්ලට ද කාන්තාවන්ගේ සුවිශේෂ දායකත්වයක් හිමි විය. දෙවැනි කැරැල්ලට කාන්තා සහභාගීත්වය 71 අප්‍රේල් කැරැල්ලට වඩා අතිවිශාලය. 


ජවිපෙ ප්‍රථම කැරැල්ල පැවති 1971 අප්‍රේල් අත්අඩංගුවට පත්ව පාවාදීමකින් තොරව මරණය වැළඳගත් මෙන්ම දුක් වේදනා සහිතව සිරගත වූ කාන්තාවන් රැසක් ද විය. ඉන් කිහිප දෙනකු අතවරවලට පවා ලක්වී තිබූ අතර වෙනත් තාඩන පීඩනවලට ද ගොදුරු විය. දූෂණයට ලක් වූ දෙදෙනකුගේ කුස තුළ බිහි වී තිබූ දරු කලලයන් බන්ධනාගාර නිලධාරිනියන් ද මැදිහත් වී ඉවත්කර ගැනීමට අවස්ථාව සලසා දී තිබිණි. 


එවකට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිණිය අත්අඩංගුවට ගැනීමට කුමන්ත්‍රණය කළ බවට නඩු පැවරූ 22න් 7 දෙනකුම කාන්තාවෝ වූහ. එම කාන්තාවන් 7 දෙනාගෙන් 6 දෙනකුම උපාධි අපේක්ෂිකාවෝ වෙති. ඔවුන්ගේ නම් ලීනා අයිරින්, ලීලා සෙනෙවිරත්න, යූ.ඒ. නන්දසීලී, බී.ඒ. හේමශ්‍රියා යන අයයි. රොස්මීඩ් නඩු විභාගයේදී එම 22ගෙන් 15 දෙනකු වරද පිළිගත් අතර 7 දෙනකු එසේ පිළිගත්තේ නැත.  


එසේ පිළිනොගත් අය අතර සෝමවංශ අමරසිංහ සමඟ එකල 20 හැවිරිදි වියේ පසුවූ උන්ඩික්කුඩ්ඩ ආරච්චිගේ නන්දසීලී නොහොත් යූ.ඒ. නන්දසීලි ද විය. නන්දසීලි ජවිපෙ සමඟ අවසානය දක්වා රැඳී සිටි අතර ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරියක වශයෙන් ද කටයුතු කළාය. හේමශ්‍රියා ද 1988 දක්වා ද ජවිපෙ සමඟ රැඳී සිටියාය. ලීනා අයිරින් කැරැල්ලෙන් පසු වසර ගණනාවක් ජවිපෙ ක්‍රියාකාරීව සිට ඉන් ඉවත්ව කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය නම් රාජ්‍ය නොවන සංවිධානය සමඟ බද්ධ විය. රාජගිරියේදී 1987දී රිය අනතුරකට ලක්ව මිය යනවිට ඇය දෙදරු මවකි. 


කතරගම අවුරුදු කුමාරිය ලෙසින් 1970 අප්‍රේල් 17 අභිෂේක ලැබූ ප්‍රේමවතී මනම්පේරි ජවිපෙ කැරැලි ක්‍රියාකාරිනියක ලෙස හැඳින්වුණු අතර ඇය 1971 අප්‍රේල් 16 කතරගම දී අත්අඩංගුවට පත් වී අප්‍රේල් 17 තිරස්චින ලෙස ඝාතනය කරන ලදී. 


ජවිපෙ 1971 අප්‍රේල් කැරැල්ලේදී කාන්තාවන් 600කට ආසන්න පිරිසක් තම දායකත්වය ලබා දුන්හ. මියගිය කාන්තාවන් සංඛ්‍යාව 20ක් පමණ වේ. එහෙත් කැරැල්ල නිමවීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් සංඛ්‍යාව 2,000කට ආසන්නය. ඉන් 400ක් පමණ රඳවා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය. ඔවුන් අතර කාන්තා කැරලිකාරිනියන්ගේ දෙමාපියන්, පවුල්වල සොයුර සොහොයුරියන්, හිතවතියෝ ද වූහ. 


චන්ද්‍රා ජයන්ති පෙරේරා හෙවත් චන්ද්‍රක්කා ජවිපෙ සමඟ සම්බන්ධ වූයේ 1967දී විද්​ෙ‌යා්දය විශ්වවිද්‍යාලයෙනි. පස් වැනි විත්තිකරු වූ සුනන්ද දේශප්‍රියගේ නැගනිය වන කමණි, සම්පතී අමරසේකර, ධම්මිකා ද සිල්වා, සේපාලි අම්බලන්ගොඩ ඇතුළු කාන්තාවෝ රැසක් එකල ජීවත් වූ දිස්ත්‍රික්කයෙන් පිටත පූර්ණකාලීනයින් වශයෙන් කටයුතු කළහ. 
විවියන් ගුණවර්ධනලා සමඟ එකට වමේ දේශපාලනය කළ වනාතමුල්ලේ සීලවතී ද සිල්වා හෙවත් ඔස්මන්ගේ අම්මා ජවිපෙ එදා විශේෂ චරිතයක් විය. 


අප්‍රේල් කැරැල්ලේ පරාජයෙන් පසු බටපොළ අතුල සමඟ සිංහරාජ වනයට පසුබසින ලද 100කගේ කණ්ඩායම පසුව 25 දෙනෙක් දක්වා අඩුවූ අතර එයටද තරුණියෝ 4 දෙනෙක් ඇතුළත් වූහ. එහි නායකත්වය ගත්තේ ලෙස්ලි සිල්වාය. කෑගල්ලේ කැරලි නායක සරත් විජේසිංහගේ කනිටු නැගණිය වන හේමාලි විජේසිංහ ද ඇතුළත් වූ එහි සුජාතා හඳගම, පුෂ්පා, ලීලා, පේරාදෙණිය සරසවියේ සිසුවියක් වූ මර්වින් ධර්මසිරි හෙවත් අත්තනගල්ලේ ධර්මා යන තරුණියෝ 4 දෙනා ද වූහ. 


මුළු ශ්‍රී ලංකාවේම 71 කැරැල්ලට සහභාගිවී විල්පත්තුවේ සිටියදී දිවි පිදූ ළාබාලතම සාමාජිකාව වූ දොළොස් හැවිරිදි අනුරාධපුරයේ ස්වර්ණලතා පෙරේරා හෙවත් චූටි නංගී ද එම කණ්ඩායමට අයත් වූවාය. විල්පත්තුවේ සිටියදී ඇය වැඩිවියට පත්වූවාය. පුත්තලම කැළේදී ජුලියට් සහ ධර්මා සමඟ උයමින් සිටියදී ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයෙන් චූටි නංගී, ධර්මා සහ ආනන්ද ගමගේ ද මිය ගියෝය. ජුලියට් ද තුවාල ලැබුවාය. කෑගල්ල සහ කුරුණෑගල කණ්ඩායම් ඒකාබද්ධ වී විල්පත්තුව හරහා සිංහරාජයට පලායද්දී ලොකු අතුලගේ නැගණිය වූ පියසීලි ජයසිංහ, පෙම්වතිය වූ ධම්මිකා සමඟ ආරියවතී සහ පුෂ්පා ද කැරලිකාරියන් වශයෙන් එම කණ්ඩායමට එක් වී සිටියහ. බුලත්කොහුපිටියේ මල්ලිකා කෑගල්ලේ සිටම ඉතිරි වූ කැරලිකරුවන්ට නායකත්වය දෙමින් දින කිහිපයක්ම සටන් කළාය. 


දිවුලපිටිය පොල් වත්තක පිහිටි ජවිපෙ කඳවුරේ සිටි එකම කැරලිකාරිය වූයේ ලීලාවතීය. කඳවුරේ නායක ගාන්ධි සමඟ අවසානයේදී වෙස්වළාගෙන පළායෑමේදී අත්අඩංගුවට ගත් ඇය මීගමුවේ පුනරුත්ථාපන කඳවුරකට යොමු කරන ලදී. පොල්ගහවෙල වයලා කහගල්ල 12 හැවිරිදි වියේ පසුවූ අතර කැරලිකාරියක වූ ඇය 1971 මැයි 14 අත්අඩංගුවට ගත්තේ පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙනි. ඇයගේ නිවස මුළුමනින් ගිනිබත් කළ අතර එක් සොහොයු​ෙරක් ද කැරැල්ලේදී ඝාතනයට ලක්විය. කහගල්ලේ වයලා අමානුෂික වධබන්ධනවලට ලක්වූ අතර වැඩිවියට පත්වූයේ ද මව සමඟ බන්ධනාගාර ගතව සිටියදීය. වසර 5කට පමණ පසු ඇය නිදහස ලැබුවාය. ඇයගේ එක් සොහොයුරෙකු වූයේ කැරැල්ලේදී ඝාතනයට පත් පොතුහැර ජවිපෙ ප්‍රාදේශීය නායකයෙකු වූ ජිනදාස ය. 


හැත්තෑ එකේ අප්‍රේල් කැරැල්ලට එක්වූ කැරලිකාරිනියන් අතර දෙනියායේ කිරිවැල්දොල කුසුමා බුද්ධිකෝරාල, අනුරාධපුර තඹුත්තේගම පුංචිමැණිකා, ජයසිරිපුර රෝහිණී, ගලෙන්බිඳුණුවැව ගෝමරංකල්ල අනුලා, කෑගල්ලේ ලීලාවතී සේනාරත්න, අනුරාධපුරයේ වජිරා සෙනෙවිරත්න, බුලත්කොහුපිටියේ මල්ලිකා, සුජාතා මේදිස්, ඌරුබොක්කේ ලිලී, දම්පහළ චන්ද්‍රා ගමගේ, කිරිඇල්ලේ සුමනා, කෑගල්ලේ විනීතා ප්‍රනාන්දු, ඇල්පිටිය තල්ගස්වල ලීලාවතී ඩබ්ලිව්. සෙනෙවිරත්න, වලස්මුල්ලේ සීතා පේදුරුආරච්චි, ඩේසි රත්නායක, මීරිගම පද්මිණී පල්ලියගුරු, ගොකරැල්ලේ සුධර්මලතා, රත්නපුර ඇග්නස් තොටගමුව, ඕලකුඹුරේ නන්දාවතී, බටපොළ චිත්‍රා ළමාහේවා, දෙනියායේ ඇලිස්, ඌරුබොක්කේ දෙකන්දණ්ඩේ කුසුමා මනම්පේරි, පරපේ කරුණාවතී, ලීලා, රාණි ඇතුළු පිරිසක් ද වේ. තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලත් රාජාංගණයේ කරුණාවතී 1971 පෙබරවාරි කොළඹ හයිඩ්පාර්ක්හි පැවති ජවිපෙ රැස්වීමට යෑමට නිවසින් අවසර නොදීම නිසා වස පානය කර සිය දිවි නසාගත්තාය. ඇය ටික්කා ගුණරත්නගේ ඥ‌ාති සොහොයුරියකි. 


ජවිපෙ 1983 ජුලි තහනමින් පසු නිල වශයෙන් සමාජවාදී කාන්තා සංගමයේ ක්‍රියාකාරීත්වය ඇණහිටියේය. එහෙත් දෙවන කැරැල්ලේදී ක්ෂේත්‍රයන්හි වැඩ කිරීම සඳහා කාන්තා සාමාජිකාවන් සහ ආධාරකාරියන් විශාල පිරිසක් ජවිපෙට 1986 සිට 1990 දක්වා යොමුවිය. සමාජවාදී කාන්තා සංගමය විසින් සෙබළිය නමින් පුවත්පත් රෝනියෝ කර භූගත පුවත්පත් ලෙස බෙදාහැරිය අතර මර්දනකාරී වටපිටාව තුළ 1986 සිට 1990 කාලය තුළ උපක්‍රමශීලී ලෙස ක්‍රියාශීලීවීමට 2වැනි කැරැල්ලේ තරුණියෝ කටයුතු කළෝය. 
දෙවැනි කැරලි සමයේ 1986 සිට 1990 දක්වා සහභාගි වූ පූර්ණකාලීන කාන්තාවන් සංඛ්‍යාව 800ක් පමණ වන අතර අර්ධකාලීනව සහ හිතවත් මට්ටමින් ජවිපෙ වෙත සහාය ලබාදුන් කාන්තාවන් සංඛ්‍යාව 5,000ක් පමණ වේ. එහිදී ඝාතනයට හෝ අතුරුදන් වූ කාන්තාවන් ගණන 2,000කට ආසන්නය. 

 

 ජාත්‍යන්තර විප්ලවවාදී නායිකාවන් වූ ජර්මනියේ රෝසා ලක්සම්බර්ග්, ක්ලාරා සෙට්කින්, ලාංකීය වමේ ව්‍යාපාරයේ නායිකාවන් අතර සිටි කුසුමා ගුණවර්ධන, ඩොරින් වික්‍රමසිංහ සහ විවියන් ගුණවර්ධන. 

 

ජවිපෙ ඉතිහාසයේ තමා ජීවත් වන දිස්ත්‍රික්කයෙන් පිටතට ගොස් වෙනත් දිස්ත්‍රික්කයක පූර්ණ කාලීන කාන්තා ක්‍රියාකාරිනියන් වශයෙන් 1970 මුල්භාගයේදී ප්‍රථමයෙන් වගකීම් භාරගත් සිව්දෙනා මෙහි වමේ සිටය. 1952 අම්බලන්ගොඩ උපන් බදුල්ල දිස්ත්‍රික් නායිකාවක් වූ කමනි දේශප්‍රිය වඩුගේ ගොඩවිට හෙවත් මැණිකේ, 1950 ජූලි 11 හික්කඩුවේ උපන් හම්බන්තොට දිස්ත්‍රික් නායිකාවක් වූ සම්පතී ස්වර්ණා අබේසේකර ගුණරත්න හෙවත් සුජාතා, අම්බලන්ගොඩ කන්දේගොඩදී 1950 දෙසැම්බර් 07 උපන් මාතර දිස්ත්‍රික් නායිකාවක් වූ ධම්මිකා ද සිල්වා හෙවත් අනෝමා, අම්බලන්ගොඩ උපන් නුවර දිස්ත්‍රික් නායිකාවක් වූ සේපාලි කෝට්ටේගොඩ හෙවත් රෝහිණී 2017 දී සහ 1971 අප්‍රේල් කැරැල්ලේ 12 හැවිරිදි ලාබාලතම කැරලිකාරිනියක වූ පොල්ගහවෙලදී 1958 දෙසැම්බර් 31 උපන් වයලට් ගුණවතී කහගල්ල හෙවත් වයලා කහගල්ල 2018 වසරේදී. වසර 1971 කැරැල්ලෙන් පසු ජවිපෙ සමඟ ඔවුන්ගේ සබඳතාවක් නොවීය. 

 

 

 


ජවිපෙ 2වැනි කැරැල්ලට සහභාගි වූ දැනට ජීවත්ව සිටින කාන්තාවන් දේශපාලන හේතුමත හිරේ ගිය ද ඒ පිළිබදව ආවර්ජනය කිරීමට ඇතැමෙක් අකමැතිය. ඒ සිය දරු පවුලේ අනාගතය වෙනුවෙන් වගකීම් කරට ගෙන ඇති හෙයිනි. ඔවුන් බොහොමයක්ගේ ස්වාමි පුරුෂයන් වී ඇත්තේ ජවිපෙ හිටපු හෝ සිටිනා ක්‍රියාකාරීන්ය. ඇතැම් කාන්තාවන්ගේ ස්වාමි පුරුෂයෝ ද 2වැනි කැරැල්ලේදී ඝාතනයට ලක්වූහ. එවිට ඔවුන්ගේ සැමියන් බවට බොහෝ විට පත්වූයේ ඝාතනයට පත්වූ සැමියාගේ සොහොයුරෙකු හෝ ඥාතියෙකු හෝ ජවිපෙ සාමාජිකයෙකුය. 


දෙවැනි කැරැල්ලේදී කාන්තා අංශයේ බහුතරයම වාගේ සිටියේ අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිටි රැකියා අපේක්ෂිත තරුණියන්, විවිධ රැකියාවල නිරතවී සිටි පහළ මධ්‍යම පන්තික තරුණියන්, කුල පීඩිත කොටස්, කර්මාන්ත සේවිකාවන් සහ කාර්මික විද්‍යාල වැනි උසස් අධ්‍යාපන ආයතන සහ පාසල්වල අ.පො.ස උසස් පෙළ පංතියේ සිසුවියන්ය. එය සංකේතාත්මක වශයෙන් උපාධි අපේක්ෂිකාවන්ට වඩා අතිශයින් වැඩිය. තරුණියන් විශාල වශයෙන් පූර්ණකාලීනව එක්වී සිටියේ මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කයන්ගෙනි. 
නුවර කලාපයේ සන්නද්ධ සහ දේශපාලන නායකයා වූ ජවිපෙ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර පැවැත්වූ අධ්‍යාපනික කඳවුරුවලට පමණක් සහභාගි වූ නුවර දිස්ත්‍රික්කයේ තරුණියන් සංඛ්‍යාව 500කට ආසන්නය. 


මධ්‍යම පළාතේ බඹරැන්ද සහ නකල්ස් කන්දේ ද හුළුගඟේ එගොඩ ද නුවර දිස්ත්‍රික් සන්නද්ධ නායකයා වූ දෙහිගම විසින් පවත්වන ලද දින 7 අවි පුහුණු කඳවුරුවලට තරුණියෝ රැසක් ද සහභාගි වූහ. එහිදී අවි පුහුණුව ලබාදෙන ලද්දේ ආරක්ෂක හමුදාවේ කලක් සේවය කළ නුවර නැගෙනහිර සන්නද්ධ නායකයා වූ ප්‍රසාද් ය. නුවර කලාපය ආසන වශයෙන් නැගෙනහිර, බටහිර, දකුණ ලෙස තුනකට බෙදා තිබූ අතර එහි කාන්තා නායිකාවන් වූයේ සුගන්ධිකා, රම්‍යා සහ ගාල්ලේ අක්කා ය. 


කාන්තා අංශයේ ක්‍රියාකාරිකයන්ට සිදුවූයේ ජවිපෙ සහ එහි සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අයට අවශ්‍ය තොරතුරු ලබාදීම, ප්‍රථමාධාර ලබාදීම, උද්ඝෝෂණ ව්‍යාපාර සහ හර්තාල් සංවිධානය කිරීම, පන්ති පැවැත්වීම, ව්‍යාපාරයට සාමාජිකාවන් බඳවාගැනීම, අත්අඩංගුවට ගත් සාමාජිකයින්ගේ පවුල්වල අය පිළිබඳව සොයා බැලීම, කැරලිකරුවන්ට අවශ්‍ය අවස්ථාවන්හිදී ඇඳුම්, තොප්පි, බඳපටි, සපත්තු, ඖෂධ බෑග් සකස්කිරීම, දිසා සංවිධානයේ සිට කොට්ඨාස දක්වා කටයුතුවලදී සහායවීම ඇතුළු කටයුතුය. එමෙන්ම විජේවීරගේ සහ ගමනායකගේ දේශන අඩංගු කැසට්පට පිටපත්කර බෙදාහැරීමේ වගකීම ඔවුන් වෙත පැවරිණ. මෙම කථා විවිධ තේමාවන් ඔස්සේ කැසට්පට 46ක් මගින් 1986 සිට 1989 කාලය තුළ එළිදක්වා තිබුණි. මෙය සාර්ථක විකල්ප සන්නිවේදන ක්‍රමයක් බවට ප්‍රචලිත විය. එමෙන්ම රණහඬ නම් ජවිපෙ මගින් පවත්වාගෙන ගිය විකල්ප ගුවන්විදුලි සේවයට වැඩසටහන් සම්බන්ධීකරණය සහ නිර්මාණයේදී කාන්තා ක්‍රියාකාරිකයින් සහාය විය. රණහඬ ගුවන් විදුලිය සතිඅන්තයේ උදේ 7 සිට ක්‍රියාත්මක වූ අතර සඳුද‌ා හැර අනෙක් සතියේ දිනවල රාත්‍රී 7 සිට මෙගා වෝර්ට්ස් 4.432 කෙටි තරංග 1 ඔස්සේ විකාශනය වූ අතර විජේවීර ද සිය බලවේගයන් එහිදී ඇමතීය. දෛනික ප්‍රවෘත්ති, විප්ලවීය ගී, සටන්බිමේ සිටි කැරලිකරුවන් සමඟ සම්මුඛ සාකච්ඡා, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ප්‍රවෘත්ති ඇතුළු වැඩසටහන් කිහිපයක් එමගින් විකාශනය වූ අතර ඒවා සම්පාදනය කිරීමට ද කැරැල්ලේ කාන්තාවෝ එක්වූහ. 


කාන්තා ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ගාල්ල කරාපිටිය රෝහල අසල දී දකුණු පළාතේ කාන්තා නායිකාවන් අතර සිටි දොඩම්ගස්ලන්දේ අප්පුකුට්ටි දේවගේ ස්වර්ණලතා හෙවත් දීපිකා මුතුහෙට්ටි සහ හිනිදුම තලන්ගල්ලේ චාමිනි මුතුහෙට්ටි හෙවත් වරුණි 1988 දෙසැම්බර් 8 පැහැරගෙන යනු ලැබිණි. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාවහාරික විද්‍යා පීඨයේ 1986/87 කණ්ඩායමේ කෑගල්ල ගලිගමුවේ පදිංචි අස්විනී ඉරේෂා පොල්ගම්පොළ ද එසේ පැහැරගෙන ගිය සරසවි සිසුවියන් කිහිප දෙනා අතර වේ. ජාතික තලයේ වගකීම්වල නිරතව සිටි ඉරේෂා ඝාතනයට ලක්වූයේ 1989 දෙසැම්බර් 30 මොරටුව සරසවිය අසල දී පැහැරගෙන යෑමෙන් අනතුරුවය. මෙම ක්‍රියාකාරීහු විවිධ අමානුෂික අතවරයන්ට මුහුණ දුන්න ද කැරැල්ලේ කිසිවකු පිළිබඳව හෙළිදරව් නොකරම ඝාතනයට ලක්වූහ. 
දෙවැනි කැරැල්ලේ ක්‍රියාකාරිකයන් ලෙස සරසවි ශිෂ්‍යාවන් සිය ගණනාවක් කටයුතු කළ අතර පේරාදෙණිය සරසවියේ කෘෂි පීඨයේ දීපානි චන්ද්‍රසේකර, ශාස්ත්‍ර පීඨයේ නන්දා අලුත්ගේ, රුහුණු සරසවියේ ජයනි ඇතුළු කිහිපදෙනෙක් එහි මුල් තැන් ගනු ලැබූහ. කැරැල්ලේ කාන්තා ක්‍රියාකාරීන් වූ අකුරැස්සේ ඉන්ද්‍රානි, ගාල්ලේ මනෝරි, නුවර සේපාලි, පද්මශාන්ති, දයානි හේමලතා, අමරසීලි හේරත් ඇතුළු නායිකාවන් ගණනාවක්ම 1989 අවසානයේදී වධබන්ධනයන්ට සහ අතවරයන්ට ලක්ව ඝාතනයට ලක්වූහ. 
එමෙන්ම දීපිකා, ඥ‌ානසීලි, අරුණි සහ කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ අනෝජා සිරිදේව ද අවසන් මොහොත දක්වා කැරැල්ල අතනොහැර ගිය අතර අවසානයේදී ඝාතනයට ලක්වූහ. ගම්පහ දිස්ත්‍රික් නායිකාවක වූ රමේෂා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමෙන් පසු 1989 මාර්තු 21 ඝාතනය කර දිවුලපිටිය මඩම්පැල්ලේදී මහමඟ දමා තිබිණි. මීගමුව මහේස්ත්‍රාත් සුනිල් රාජපක්ෂ විසින් කරන ලද පරීක්ෂණයකින් අනතුරුව කොච්චිකඩේ පොලිසිය මගින් සිරුර භූමදානය කරන ලදී. 

 

ජවිපෙ 71 අප්‍රේල් කැරැල්ලේ ක්‍රියාකාරීන්ව සිටි වාද්දුව මොරොන්තුඩුවේ උපන් චන්ද්‍රා ජයන්ති පෙරේරා, කෑගල්ලේ ලීලා සේනාරත්න, කුරුණෑගල දයා කහගල්ල, සුජාතා මේදිස්, කෑගල්ලේ හේමමාලි විජේසිංහ හෙවත් ජුලියට් මෙහි වමේ සිටය. 

 

ජවිපෙ යළි 1977 ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමේදී වසර ගණනාවක් ජවිපෙ සමඟ කටයුතු කළ ක්‍රියාකාරිනියන් කිහිපදෙනෙක්. බොරැල්ලේ සීලවතී ද සිල්වා හෙවත් ඔස්මන්ගේ අම්මා, රාගම වල්පොල උන්ඩික්කුඩ්ඩ ආරච්චිගේ නන්දසීලී හෙවත් යූ.ඒ. නන්දසීලී, මලිදූවේ බැරගම ආරච්චිගේ හේමශ්‍රියා හෙවත් ඩී.ඒ. හේමශ්‍රියා, සුනිලා අබේසේකර සහ හොරණ හපුතන්ත්‍රිගේ ලීනා අයිරින් මෙහි වමේ සිටය. 

 

 


කාන්තා ක්‍රියාකාරීහු අවි පැහැරගැනීම්වලදී සන්නද්ධ අංශයට සෑම ස්ථානයකදීම වාගේ සහාය වූහ. කටුනායක ගුවන් හමුදා මූලස්ථානයට 1987 ජුලි 08 පහරදී ආයුධ පැහැර ගැනීමේදී එහිදී ඝාතනයට ලක්වූ තිදෙනා අතර මේධානි ද විය. නුවර දළදා මාළිගයේ මුරපොළවල්වලින් සහ පන්නල අවි ලබාගැනීමේ ප්‍රහාරය ඇතුළු ප්‍රහාරයන් කිහිපයකටම කාන්තාවන් එක්ව තිබිණි. දළදා මාලිගා අවි පැහැර ගැනීමේදී පද්මා චාන්දිනී හෙවත් තනූජා අත්අඩංගුවට පත්වූවාය. පල්ලෙකැළේ ප්‍රහාරයට හසලක නිල්මිණී හෙවත් සන්ධ්‍යා එක්ව තිබිණි. 


කළුතර සොරණාතොටවත්ත වධකාගාරයේ රඳවාගෙන සිටි කාන්තාවන් 15ක් පමණ දෑස් පමණක් බැඳ කාමරයක බිම වාඩිවී සිටියේ නිර්වස්ත්‍රවය. වේයන්ගොඩ නයිවලදී එක් ස්ථානයකදී කැරැලිකරුවන්ගේ ප්‍රහාරයකින් පසු 65 දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් 33 දෙනකු පසුව ඝාතනයට ලක්වූහ. ඉන් 14ක් කාන්තාවෝ. යටාරෝ වධකාගාර ඇතුළු ස්ථාන කිහිපයකම පැහැරගෙන එනු ලැබූ තරුණියන්ට බොහෝ දෙනකුට තිරස්චින වධබන්ධනවලට තරුණයන්ට මෙන් මුහුණදීමට සිදු නොවූවද අමානුෂික අතවරවලට මුහුණදීමට සිදුවිය. ඇතැම් අවස්ථාවන්හිදී වධකාගාරවලදී සමූහ දූෂණයට පවා ලක්වූ බවට චෝදනා ඇත. 


ඇතැම් තරුණියන් පැහැරගෙන විත් ආරක්ෂක අංශවලට අයත් නිල සහ නිල නොවන ඇතැම් කඳවුරු සහ වධකාගාරවල රඳවා සිටියේ ලිංගික උවමනා සපුරා ගැනීමේ අරමුණිනි. එම තරුණියන් බොහෝ දෙනකු අවසානයේ ඝාතනය කෙරිණි. තිසාවැව හමුදා කඳවුර සහ කොළඹ යටාරෝ කඳවුරට එවැනි බරපතළ චෝදනා ඇත. 


කැරලිකරුවන් අත්අඩංගුවට ගැනීමට නිවෙස්වලට ගිය අවස්ථාවන්හිදී ඔවුන්ගේ බිරිඳට සහ/හෝ දියණියන්ට අතවර කළ අවස්ථා ගණනාවක් ද වාර්තා විය. කුරුණෑගල බඩගමුව රක්ෂිතයේ 1989 ජූලි 18 කාන්තාවන් 27ක් වෙඩිතබා ඝාතනය කර පුළුස්සා දමා තිබිණි. ඔවුහු වැහැර කඳවුර මගින් අත්අඩංගුවට ගෙන සිටි අය වෙති. මීරිගම කොටදෙණියා තැපැල් කාර්යාලය අසල 1989 අවසාන භාගයේදී ඝාතනයට ලක්වූ කාන්තාවන් 7ක් එකට ගොඩගසා පුලුස්සා දමා තිබිණි. 


ගල්කිස්ස පොලිසිය මගින් 1989 නොවැම්බර් 9 කැරැල්ලේ නායිකාවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් අතර දෙහිවල පදිංචි ඉංග්‍රීසි ගුරුවරියක වූ පලාතදූවේ හිල්ඩා මතඟවීර හෙවත් කුමුදු, පළාත් පාලන ලිපිකාරිනියක වූ නාත්තන්ඩියේ හෙට්ටිආරච්චිලාගේ අමරසීලි හේරත් හෙවත් චාන්දනී, කිරුළපනේ දයානි හේමලතා දිසානායක හෙවත් අනූෂා, මාතලේ කූඹියන්ගොඩ කන්දෙගෙදර දිසානායක ආරච්චිලාගේ පද්මා සේනාරත්න හෙවත් නිශාන්ති හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගනු ලැබිණි.  


කයිකාවල විදුහලේ අධ්‍යාපනය ලත් නිශාන්ති හෙට්ටිආරච්චි කලක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල කලාපයේ එනම් පොල්ගොල්ල සිට මැල්සිරිපුර දක්වා දේශපාලන අංශයේ කලාප නායිකාවකි. පසුව 1988 පෙබරවාරි 3 ඇය බස්නාහිර කලාපයේ නායිකාවක් ලෙස අනුයුක්ත කෙරිණි. සැමියා බණ්ඩාර ය. අත්අඩංගුවට ගැනීමෙන් පසු නිශාන්ති පසුව ඝාතනයට ලක්වූ අතර පසුව ඇයගේ සිරුර මොරටු මුහුදු වෙරළේ දී හමුව තිබිණි. 


කැරැල්ලේ පරාජයෙන් පසුවද 1990 අප්‍රේල් මස ගම්පහ පොලිසියේ තනිකඩ නිලධාරීන්ගේ පොලිස් බැරැක්ක වධකාගාරයේ කාන්තා දිස්ත්‍රික් නායිකාවන් සිව්දෙනකු ඝාතනයට ලක්වූ අතර ඔවුන් නම් අකුරැස්සේ සේනානි හෙවත් සේනාධීර, මාතලේ විජය විද්‍යාලයේ ආදිසිසුවියක වූ සාගරිකා, මීරිගම පල්ලේවෙල සේපාලි සහ මහනුවර අරුප්පල ශානිකා වීරසිංහ වේ. 

 

 ජවිපෙ 2වැනි කැරලි සමයේදී ඝාතනයට ලක්වූ කාන්තාවන් සියගණනක් අතරින් කිහිපදෙනෙක්. මෙහි වමේ සිට 1988 මාර්තු 20 ඝාතනයට ලක්වූ හක්මන පල්ලෙවෙල යක්ගහකන්දේ මාලනී රත්නායක, කඳානේ ඒ.පී. පද්මාවතී, පී. ඥ‌ානසීලි, 1989 අගෝස්තු 27 ඝාතනයට ලක්වූ හම්බන්තොට කටුවන රුක්මල්පිටියේ මතඟලතා ජයසේකර සහ නිල්මිණී අශෝකා. 

 

 

 


ජවිපෙ 2වැනි කැරැල්ලට සම්බන්ධව සිට කැරැල්ල අවසානයේ පුනරුත්ථාපනයට රජය මගින් යොමුකළ සංඛ්‍යාව 11,658කි. ඉන් 7,218ක් රජයේ නිවේදන අනුව නම් කරන ලද ස්ථානවලට හෝ පොලිසිවලට භාරවූ අය වෙති. සෙසු 4,440 විවිධ හේතු මත සැකපිට අත්අඩංගුවට ගෙන පොලිසි සහ හමුදා කඳවුරුවල ද රැඳවුම් කඳවුරුවල ද රඳවාගෙන සිටි ජීවිතය බේරාගැනීම ‘වාසනාවන්ත’ වූ අය වෙති. 


රජයේ තරුණ පුනරුත්ථාපන (ප්‍රතිසංවිධාන) කාර්යාලයේ නිල වාර්තාවට අනුව පුනරුත්ථාපනයට යොමුකළ කාන්තාවන් සිටියේ 102කි. ඔවුහු කැලණිය රන්මුතුගල බන්ධනාගාර නිවාසයේ සහ තවත් ස්ථාන කිහිපයක නේවාසිකව සිටියහ. පුනරුත්ථාපනයට යොමුකළ කාන්තාවන්ගේ ප්‍රතිශතය සියයට 1 වඩා අඩුය. කැරැල්ලේදී සැකපිට අත්අඩංගුවට ගත් සහ පැහැරගෙන යනු ලැබූ සෙසු කාන්තාවන්ට අත්වූයේ මරණයයි. එසේ ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වූ කාන්තාවන් ගණන 2,000කට ආසන්නය. 


ජවිපෙ කාන්තා අංශය 1970 සිට ඉතා ක්‍රියාකාරී වුවද කැරලි දෙකේම කාන්තා සාමාජිකත්වය ඉතා ඉහළ මට්ටමක පැවතිය ද ජවිපෙ ආරම්භයේ සිට 2වැනි කැරලි සමය නිමාවූ 1990 දක්වා පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ හෝ මධ්‍යම කාරක සභාවේ කිසිදු කාන්තා නියෝජනයක් නොතිබිණි. අවම වශයෙන් දිස්ත්‍රික් දේශපාලන ලේකම් වශයෙන් හෝ 2වැනි කැරලි සමයේ කාන්තාවක් නියෝජනය වූයේ නැත. එහෙත් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා පැවිදි භික්ෂුවක් දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරයකු වශයෙන් උපැවිදි නොවීම කටයුතු කරන ලදී. 


ජවිපෙ 2වැනි කැරැල්ලේදී මර්දනයට එරෙහිව කටයුතු කරද්දී රජය පිළිබඳව ජවිපෙට තිබූ අඩු අවබෝධය බලවත් හානි ගෙන දෙන්නට විය. සන්නද්ධ ක්‍රියාකාරීත්වය සහ හැකියාව පිළිබඳව අධිතක්සේරුවක් තිබීම මෙන්ම සැබෑ හැකියාව පිළිබඳව නිවැරදි තක්සේරුවකට පැමිණීමට නොහැකිවීමේ අර්බුදයට ජවිපෙ 2වැනි කැරැල්ලේ කාන්තා ක්‍රියාකාරීන් ද අවසානයේ ගොදුරු බවට පත්වූහ.  


(ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)