කයෙන් සහ මනසින් ගිලන්ව සිටිනා රෝගියාගේ ඉටු දෙවියා වෙන්නේ වෛද්‍යවරයාය. ජීවිතයේ අවසන් හුස්ම පොද දක්වා ජීවත්වීමට යත්න දරන රෝගියා බලාපොරොත්තු තබා ගන්නේ වෛද්‍යවරයා පිළිබඳවය.

සැබැවින්ම රෝගියා නිරෝගී කිරීමේ උතුම් සත්ක්‍රියාව සිදු වෙන්නේ මිනිසුන් දෙවියන්ට සේ සලකන වෛද්‍යවරුන් අතින්ය. එවන් වූ පසුබිමක යම් වෛද්‍යවරයකු නොමිලයේ සිය කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් රෝගීන් නීරෝගී කිරීමේ කටයුත්තතේ නියැළෙනවා නම් එය අගය කළ යුතුමය. එහෙත් යම් වෛද්‍යවරයෙක් සිය පෞද්ගලික අභිමතය පරිදි රෝගියකුගේ ජීවිතය අනතුරේ හෙළනවා නම් එය විවේචනය කළ යුතුමය.   


එවන් වූ වාතාවරණයක කරාපිටිය රෝහල යම් අර්බුදයක පැටලී ඇත. එනම් බ්‍රිතානයේ සිට මෙරටට පැමිණ කරාපිටියේ සිට ප්‍රතිකාර කරන රිචඩ් ෆර්මින් වෛද්‍යවරයාගේ සේවාව මෙම අර්බුදයට හේතු සාධක වී ඇත්තේය. අවුරුදු 67ක් වයසැති මෙම වෛද්‍යවරයා මෙරටට පැමිණෙන්නේ 1997 වසරේදීය. එහිදී ඔහුගේ සැත්කම් සඳහා තෝරා ගන්නා ලද රෝහල වූයේ කරාපිටිය ශික්ෂණ රෝහලයි. 1997 වසරේ සිට 2001 වසර දක්වා හෘද සැත්කම් 60කට අධික ප්‍රමාණක් ඔහු අතින් සිදුවී ඇත. එවැනි වාතාවරණයකදී බ්‍රිතාන්‍යයේ හෘද සහ උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කළ රිචඩ් ෆර්මින් මහතාගේ ශිෂ්‍යයකු ලෙස පී.එච්.ඩී. උපාධිය සඳහා ලංකාවේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් එක් වෛද්‍යවරියක යොමු කරන්නේය. ඇය කරාපිටිය රෝහලේ වර්තමාන හෘද සහ උරස් කුහර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියක වන ටොලුෂා හරිස්චන්ද්‍ර මහත්මියයි.   


ඇය 2005 වසරේ සිට 2007 වසර දක්වා ඔහුගේ අධීක්ෂණය යටතේ අධ්‍යයන කටයුතුවල නිරත වී ඇත. ඉන්පසු ලංකාවට පැමිණි විශේෂඥ වෛද්‍ය ටොලුෂා මහත්මිය සිය වෛද්‍ය සේවය ඇරඹුවාය. රිචඩ් වෛද්‍යවරයා 2012 වසරේදී විශ්‍රාම ගිය අතර ලංකාවට පැමිණ කොළඹ ලංකා රෝහලේ වසරක කාලයක් සිය සේවය කරගෙන ගියේය. ඉන්පසුව නැවතත් එංගලන්තයේ ස්ථිර පදිංචියට ගිය ඔහු නැවත කරාපිටියේ සැත්කම් සඳහා යොමු වන්නේ විශේෂඥ වෛද්‍ය ටොලුෂා මහත්මියගේ ආරාධනයත් සමගය.   


එදා සිට මේ දක්වා මෙම වෛද්‍යවරයා අතින් සිදුවී ඇති සැත්කම් ප්‍රමාණය 250කි. ඉන් රෝගීන් පස් දෙනෙක් මියගොස් ඇත. ඔහු මෙරටට පැමිණ නොමිලයේ සිය සේවාව සිදුකර ඇත්තේ එරටෙහි වෛද්‍යවරකුව සිටියදීය.   
එහෙත් ඔහු 2012 වසරේදී විශ්‍රාම ගොස් ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතයට අනුව එරට සේවය කරන වෛද්‍යවරයකුට ලයිසන් එක හා ලියාපදිංචිය යන දෙකම තිබිය යුතුය. එහෙත් මෙම වෛද්‍යවරයා විශ්‍රාම ගිය පසු එරට ප්‍රතිකාර කිරීමට යෝග්‍ය බව සලකා ලබාදෙන බලපත්‍රය නිකුත්කර නොමැත්තේය.   


මේ පිළිබඳ වැඩි කතාබහක් යොමුව ඇත්තේ මීට මාස හයකට ඉහත දී මියගිය කුඩා දරුවකගේ සහ දින කීපයකට පෙර රෝගී සත්කාර එක්කයේ ඇඳ මතම මියගිය 56 හැවිරිදි කාන්තාවගේ මරණයෙන් පසුය.   
මෙම වෛද්‍යවරයාගේ වයස, වසර තුනක ලයිසන් එක නොමැති වීම හා මරණ සම්බන්ධයෙන් ඇති පැමිණිලි අනුව නෛතිකමය තත්ත්වයකට යොමුවිය යුතු බවත් රෝගීන්ට සාධාරණය ඉටුකළ යුතු බවත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය විය.   


මෙම කරුණු අනුව මාස තුනක පරිවාස කාලයක් තුළ බ්‍රිත්‍ාන්‍යයෙන් බලපත්‍රය රැගෙන එන ලෙස වෛද්‍ය සභාව යම් මතයකට පැමිණ ඇති අතර මීට පසුව විදෙස් වෛද්‍යවරයෙක් මෙරටට සේවයට පැමිණෙන්නේ නම් අදාළ රටේ ලයිසන් එක තිබීම අනිවාර්ය කරන බව දැන ගන්නට ලැබිණි.   


මෙවන් වූ වාතාවරණයක දී සමහරු කියන්නේ විදෙස් රටවල් මෙරට ජනතාව වෛද්‍ය පර්​ෙ‌ය්ෂණාගාරයන් බවට පත් කරගෙන ඇති බවයි. සේවාව සැකය කුකුස යන ගැටලු අතර ඇතිවන අර්බුද බො​ෙහා්ය. ඒ නිසාම මේ පිළිබඳ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතවාදයත් රිචඩ් ස්මිත් වෛද්‍යවරයා පිළිබඳ තතුත් කතාකිරීමට කටයුතු කළෙමු.   


එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් කතා කිරීමට වෛද්‍ය කන්චිත සමරරත්න මහතාත් රිචඩ් ස්මිත් වෛද්‍යවරයා වෙනුවෙන් කතාකිරීමට හෘද සහ උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ටොලුෂා හරිස්චන්ද්‍ර මහත්මියත් සම්බන්ධ කර ගත්තෙමු.   


හෘද සහ උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ටොලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය


වෛද්‍ය රිචඩ් ෆර්මින් හෘද හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු මහා බ්‍රිතාන්‍යයේ රෝහලක සේවය කළේ. මම ඔහුව අඳුනගත්තේ මගේ පශ්චාත් උපාධියට එම රටට ගිය වෙලාවේ. මට කලින් සහ මට පසු මෙම වෛද්‍යවරයා යටතේ පුහුණුව ලැබූ ලංකාවේ හෘද හා උරස් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙක් ඉන්නවා. ඊට අමතරව 1997 කාලය වෙනවිට ගාල්ලේ හදවත් සැත්කම් ඒකකයක් තිබුණේ නෑ. ඒ මහත්තයා එම රෝහලට පැමිණිලා හදවත් සැත්කම් 60ක් පමණ සිදුකළා. ඊට පස්සේ කාලයක තමයි දැන් තියෙන හෘද සැත්කම් ඒකකය ආරම්භ කළේ.   


2005 සිට 2007 කාලයේදී තමයි මට ඒ දොස්තර මහත්තයා හම්බ වුණේ. ලංකාවේ පශ්චාත් උපාධි අායතනයෙනුයි මාව පශ්චාත් උපාධිය සඳහා එම ස්ථානයට යොමු කළේ. එහෙදී ඉගෙන ගෙන ආවට පස්සේ මම ලංකාවේ කරාපිටිය රෝහලේ සේවය කරන්න පටන් ගත්තා. 2012 වසරේ ඒ දොස්තර මහත්තයා විශ්‍රාම ගියා. ඊට පස්සේ ඔහු ලංකාවට පැමිණිලා ලංකා ඉස්පිරිතාලේ (ලංකා හොස්පිට්ල්) වසරක කාලයක් සේවය කළා.   
ඒ කාලයෙත් ඔහු මට සැත්කම් සඳහා උදව් කිරීමට ආවා. ඊට පසු කාලයේ ඔහු එංගලන්තයේ ස්ථිර ලෙසම පදිංචියට ගියා. ඒත් විටින් විට ලංකාවට පැමිණ මාත් සමග සැත්කම් සිදුකර තිබෙනවා. මේ වනවිට ඔහු ලංකාවේ සිදුකළ හදවත් සැත්කම් ප්‍රමාණය 250ට අධිකයි.   


කුඩා දරුවන් සහ වැඩිහිටි අය ඒ අතර වුණා.


ටිකක් සංකීර්ණ තත්ත්වයෙන් වැඩි සැත්කම් තමයි මම ඔහු සමග එකතු වෙලා සිදු කරන්නේ. වෙන තැන්වලින් එවන (ජාතික රෝහල, ළමා රෝහල ආදි) සංකීර්ණ සැත්කම් ඒවා.   


මෙම වෛද්‍යවරයා ලංකාවට පැමිණිලා කරලා තිබෙන සැත්කම් 250ක පමණ ප්‍රමාණයෙන් මරණ 5ක් පමණයි සිදුවෙලා තිබෙන්නේ. (2012 සිට අද දක්වා) මෙය ප්‍රතිශතයක් ලෙස ගත්තොත් සියයට එකයි දශම ගණනක්. මෙම සැත්කම්වලින් බොහොමයක් ඉතා සංකීර්ණයි. ලෙඩාට සැත්කම නොකෙරුවත් කොහොමත් මැරෙනවා. අපි අවදානම අරගෙන කළොත් රෝගියා ජීවත් වෙන්නත් පුළුවන් මැරෙන්නත් පුළුවන්. අපිට සාර්ථකව කරගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට වේදනාවකින් තොරව ජීවත් වෙන්න පුළුවන්. මේ පිළිබඳව මම රෝහල් අධ්‍යක්ෂවරයාටත් පැවසුවා. මේවා පුද්ගලික රෝහලක වුවත් කිරීමට අපහසුයි. හේතුව රෝගියා මිය ගියොත් කවුරුවත් වගකීමක් ගන්නේ නෑ.   

 

 

ජාත්‍යන්තර වශයෙන් හෘද ශල්‍ය වෛද්‍යවරුන්ගේ මරණ අනුපාතය ගණනය කිරීමක් කරනවා. මේ දොස්තර මහත්තයාගේ සියයට 2යි මරණ සිදුවෙලා තියෙන්​ෙන්. ඇමරිකාව එංගලන්තය වැනි දියුණු තාක්ෂණයක් ඇති රටවල එය 1ත් 3ත් අතර ප්‍රමාණයක් විය යුතු ලෙස සඳහන් වෙනවා. ඒ ප්‍රමාණය ඉක්මවා ගියොත් තමයි ගැටලුවක් ඇති වෙන්නේ. එහිදී අදාළ වෛද්‍යවරයා සිදු කරන ශල්‍යකර්ම පිළිබඳ සොයා බැලීමක් සිදු කරනවා.   
ගැටලුවක් මතුවුණ නිසා අපි කරපු සියලුම ශල්‍යකර්ම පිළිබඳව සෞඛ්‍ය අමාතාංශ්‍යයට තොරතුරු ඉදිරිපත් කළා. ඒවා වෙන හෘද ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට බලන්න දෙන්න කියලා අපි කිව්වා. ඒ සැත්කම් අතර ඉතාම සංකීර්ණ ඒවා තිබෙනවා. ඒ අතරින් අපි ඉතාම හොඳ ප්‍රතිඵල ලබලා තිබෙනවා.   


සැත්කම් 250න් 5ක් මැරුණ එක පිළිබඳව කතා කරන නිසා අනිත් විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍යවරුන් අතරින් එම කාලය තුළ මියගිය රෝගීන් ප්‍රමාණය සොයා බැලිය යුතු බවට කතාවක් මතුවුණා. එම තොරතුරු හරියටම නොදැන මෙම වෛද්‍යවරයා අතින් මියගිය රෝගීන් පස් දෙනා පිළිබඳ කතා කිරීම වැරදියි.   


අපි ජාත්‍යන්තර මට්ටමත් සමග ලංකාව සැසඳීම යෝග්‍ය නෑ. හේතුව ඉතාම අඩු පහසුකම් මැදයි හෘද ශල්‍යකර්ම සිදු කරන්නේ. ඒ නිසයි මෙය ප්‍රශ්නයක් බවට පත්කර ගන්න අයට කියන්නේ අනිත් ශල්‍ය වෛද්‍යවරුන්ගේ තොරතුරු අර ගන්න කියලා.   


මේ වනවිට වෛද්‍ය සභාව කියන්නේ මෙම වෛද්‍යවරයාට ඒ රටේ ලියාපදිංචිය අරගන්න කියලා. එයා දැන් විශ්‍රාමික වෛද්‍යවරයෙක්. මේ රටට වසරකට පස් වතාවක් විතර පැමිණෙනවා. එසේ පැමිණෙන වෛද්‍යවරයා මාසයක් පමණ නැවතී සිට නොමිලයේමයි සැත්කම් සිදුකර දෙන්නේ. මට ඇති ගැටලුව ඔහු ඒ රටේ ලියාපදිංචිය ගැනීමට කටයුතු කළොත් මේ රටට ගෙන්වා ගැනීමට අපහසුතාව ඇතිවීම. අපි වෛද්‍ය සභාව කියන දේ අහන්න ඕනෑ. ඒ නිසා අදාළ කොන්දේසිවලට අනුව කළ හැකි දෙයක් කරන්න කියලයි අපි කියන්නේ.   


මහ බ්‍රිතන්‍යයේ වෛද්‍යවරු අයිතිවෙන්නේ ජී.එම්.සී. කියන එකට. මේ වෛද්‍යවරයා විශ්‍රාම ගියාට පසු ගොඩක් වැඩ කළේ ලංකාවේ. ඔහු ඒ රටේ විශ්‍රාම ගිය පසු රාජකාරී නොකළ නිසයි එහි ලයිසන් එකක් ලැබී නැත්තේ. ලෝකේ හැම රටකම තිබෙන්නේ රෙජිස්ට්‍රේෂන් එකක් විතරයි. ලයිසන් කතාවක් නෑ. ඒ අනුව ලංකාවේත් ලයිසන් කතාවක් මෙතෙක් තිබී නෑ. ඒත් වෛද්‍ය සංගමය මතුකළ ප්‍රශ්නය නිසා වෛද්‍ය සභාව අලුත් තීරණයක් ගත්තා. ඒ අනුව ඉස්සරහට අලුත් නීතියක් එයි.   


ෙම් වෛද්‍යවරයාත් එග්මෝ තාක්ෂණයත් පිළිබඳ ඇති වූ කතාබහ මොකක්ද?   


සාමාන්‍ය හෘද සැත්කම් කිරීමට හාර්ට්ලන්ඩ් මැෂින් තාක්ෂණය භාවිත කරන්නේ. එග්මෝ ප්‍රතිකාර ක්‍රමය මීට සමානයි. මෙම ක්‍රමය මගින් පෙණහලු හා හදවත් දිගු වෙලාවක් සක්‍රියව තබාගත හැකි වෙනවා.   


මීට පෙර මී උණ හැදුණ රෝගීන්ට අපි එග්මෝ ප්‍රතිකාර ක්‍රමය භාවිත කළා. එය සාර්ථක වුණා. මෙවර මගේ රොගීන්ගෙන් එග්මෝ තාක්ෂණයට අනුව පළමු වතාවට ගර්භනී කාන්තාවකට ප්‍රතිකාර කළා. ඇය බොහොම අසාධ්‍ය තත්්ත්වයේ හිටියේ. එයාගේ පෙනහලු හොඳටම අක්‍රියා වෙලා. ඇයට ඉන්ෆ්ලුඑන්සා H, N, රෝගය වැළඳිලා තිබුණේ. අපේ සාමාන්‍ය ක්‍රමවේදයක් භාවිත කරලා ඇයට ඔක්සිජන් ලබාදෙන්න බෑ. මෙම වෛරසය සමනය වෙන කාලය එනතෙක් ඇයව ජීවත් කළ යුතුයි. ඒ නිසයි එග්මෝ තාක්ෂණය භාවිත කළේ. මෙය ලංකාවේ ගර්භණී කාන්තාවකට සිදුකළ පළමු එග්මෝ ප්‍රතිකාරය වෙනවා.   


විශේෂයෙන්ම කියන්න ඕනෑ මෙම තාක්ෂණය ඇමරිකාවේ සිට මහා බ්‍රිතාන්‍යය දක්වා හඳුන්වා දුන්නේ මෙම වෛද්‍යවරයායි. ඔහුගේ ක්‍රමවේදය සාර්ථක වුණා. 2017 වසරේ සිට අපිත් එහි සාර්ථක ප්‍රතිඵල දැක්කා. මෙහිදී විශේෂයෙන් දෙයක් කිව යුතුයි.   


අපි එග්මෝ කරන්නේ මුදල් හම්බ කරන්න කියලා ලොකු දෝෂාරෝපණයක් ආවා. ඒ වගේම මෙම වෛද්‍යවරයාට එග්මෝ අ​ෙලවි කරන්න ආයතනයක් ඇති බවටත් චෝදනා වුණා. ඒත් එය වැරදි දෙයක්. ඔහුට එහෙම ආයතනයක් නෑ. මෙය තාක්ෂණික ක්‍රමයක්. එග්මෝ කියලා සාමාන්‍ය වෙ​ෙළඳ ආයතනයක් තිබෙනවා. එම ආයතනය හරහා එම වෛද්‍යවරයා එග්මෝ පරීක්ෂණ සඳහා වැඩසටහන් සංවිධානය කළා. එය ඔහුගේ පවුලේ ආයතනයක් ලෙසයි පවතින්නේ. එග්මෝ නම තිබුණට එය එග්මෝ බඩු ගෙන්වන ආයතනයක් නොවෙයි. එය වැරදි මතයක්. එම ආයතනයේ කොටස් පිළිබඳ ඕනෑම කෙනෙක්ම සොයා බැලිය හැකියි.   


වෛද්‍ය කන්විත සමරරත්න   
සම ලේකම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  
(රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මතය මෙසේය)   


රිචඩ් ෆර්මින් කියන්නේ කාලයක් තිස්සේ සැත්කම් සඳහා මෙරටට පැමිණි වෛද්‍යවරයෙක්. මීට මාස හයකට පෙර පොඩි දරුවෙක්. රිචඩ් වෛද්‍යවරයාගේ සැත්කමකට පසු මියගියා. මෙම දරුවා විශේෂඥ වෛද්‍ය මංගලගේ රෝගියෙක්. මෙම දරුවා පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහුට දැන්ම සැත්කමක් කිරීමට අනවශ්‍ය බව පවසා තිබෙනවා. එහෙම තියෙද්දී මෙම සැත්කම සිදුකර ඇත්තේ. මේ ප්‍රශ්නයත් සමගයි රිචඩ් ෆර්මින් වෛද්‍යවරයාගේ සුදුසුකම් සෙවීමට පටන් ගත්තේ.   


ඔහුට 2015 සිට එංගලන්ත වෛද්‍ය සභාවෙන් දෙන ‘ලයිසන් ටු ප්‍රැක්ටිස්’ කියන ලයිසන් එක නැහැ. එංගලන්ත වෛද්‍ය සභාවේ ලියාපදිංචි කොටස් දෙකක් තිබෙනවා. එකක් ලියාපදිංචිය. අනික ලයිසන්ස් ටු ප්‍රැක්ටිස් කියන එක. මේ දෙකම තිබුණොත් විතරයි ඒ රටේ වෛද්‍යවරයකුට රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි වෙන්​ෙන්. නැතිනම් වෛද්‍ය සහතිකයක්වත් දීමට නොහැකි වෙනවා. මේ වෛද්‍යවරයාට වසර තුනක් ලයිසන්ස් ටු ප්‍රැක්ටිස් නෑ කියන්නේ ඔහු ඒ රටේ වසර තුනක්ම කිසිම සැත්කමක් කර නැති බවයි.   


විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් නම් නිතරම ශල්‍යකර්මලවල අලුත්වීම් දැනගත යුතු වෙනවා. ප්‍රායෝගිකව එය නොකරන කොට සැත්කම් සඳහා ඇති හුරුව නැති වෙනවා. වරින් වර මෙහෙ පැමිණිලා කරන අැතැම් සැත්කම් අසාර්ථක වෙන්නේ මේ හුරුව මදිකම නිසා කියලා අපට හැඟෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙයා වයස 67 කෙනෙක්. වසර තුනක ලයිසන්ස් ටු ප්‍රැක්ටිස් නෑ. ඒ වගේම මොහුට විරුද්ධව පැමිණිල්ලකුත් තිබෙනවා. මෙවැනි වාතාවරණයක දී තවදුරටත් එම රෝහලේ සැත්කම් කිරීමට භාරදීම අනතුරුදායක බවයි ඉන් පෙන්වා දුන්නේ.   


මේ හේතුවට නිසි විසඳුමක් නොලැබුණු නිසා අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකටත් ගියා. අවසානයේ ලැබුණ තීරණය තමයි ඔහුට ලයිසන්ස් ටු ප්‍රැක්ටිස් කියන එක අරගෙන ඒමට මාස තුනක සහන කාලයක් ලබාදීම. ඒ වගේම එම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක් තිබෙනවා නම් එය විමර්ශනය කිරීමේ බලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලබාදී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කරාපිටිය ​ෙරා්හලේ අධ්‍යක්ෂවරයා ඒ පිළිබඳව දැනුම්වත් කිරීමක් සිදුකර තිබෙනවා. එම අධ්‍යක්ෂවරයා එය නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට පවරා තිබෙනවා. මට දැනගන්න ලැබුණ විදියට අද හවස එහි මූලික කටයුතු ආරම්භ කරනවා.   


ඔහු අදටත් මෙරට ප්‍රතිකාර කරනවා. මීට දින කීපයකට පෙර වයස අවුරුදු 69ක කාන්තාවකට බයිපාස් සැත්කමක් කිරීමට ගොස් ඇය තියටර් එකේ ඇඳ මතම මියගොස් තිබෙනවා.   


මෙවැනි දේ නිසා මේ පිළිබඳ නිසි විමර්ශනයක් විය යුතුයි.   


තාවකාලිකව ඔහුගේ වැඩ නවත්වා විමර්ශනය කරන්න. ලයිසන්ස් ටු ප්‍රැක්ටිස් අරගෙන ආවොත් ඔහුගේ නිර්දෝෂිභාවය අනුව වැඩ කරගෙන යන්න දෙන්න කියලයි අපි කියන්නේ.   


හේතුව ඩොක්ට පර්මින් ලංකාවට ඇවිත් සිදු කරන්නේ ඔහුට පමණක් සිදුකළ හැකි ඒවා නෙවෙයි. මෙම සැත්කම් කරන්න ලංකාවේ වෛද්‍යවරු ඉන්නවා. මෙහෙ ටොලුෂා හරිස්චන්ද්‍ර මැඩම් ඉන්නවා. විශේෂඥ වෛද්‍ය මංගල සර් ඉන්නවා. ළමා රෝහලේ තවත් වෛද්‍යවරු ඉන්නවා. එහෙම තියෙද්දී අැයි රෝගීන්ගේ ජීවිත අනතුරේ දාන්නේ.   


එග්මෝ තාක්ෂණයයි මේ වෛද්‍යවරයායි අතර ඇති සම්බන්ධය කුමක්ද?   


එග්මෝ කියන්නේ පෙණහැල්ලේ යම් ගැටලුවක් ආපසු එය සුවපත් වෙනකන් කෘතිමව පෙණහැල්ලෙන් සිදු කරන කාර්ය සිදු කරවිය හැකි මැෂින් එකක්. මෙය ඉතාම මිල අධිකයි. ලංකාව වැනි රටකට මෙය ගැළපෙනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. එක එග්මෝ සයිකල් එකකට ලක්ෂ 50ට ආසන්න මුදලක් යනවා. මේ දවස්වල උණ රෝගයක් පැතිරෙනවා. මේ උණ රෝගයෙන් රෝගීන් බේරා ගන්න හයිප්ලෝ ඔක්සිජන් මීටර් 20ක් අවශ්‍ය බව කියනවා. ඒ එක මැෂින් එකක් ලක්ෂ 5 1/2යි.   


මේ එග්මෝ දෙකක් කරන සල්ලිවලින් අර විස්ස ගන්න පුළුවන්. අපිට වියදම් කරන මුදලට උපරිම වටිනාකමක් ලැබෙන්නේ කොහොමද කියලා සලකා බැලිය යුතුයි. මෙම බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා එග්මෝ ඇසෝසියේටඩ් කියන ආයතනයක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනවා. එයින් කරන්නේ එග්මෝ ප්‍රවර්ධන කටයුතු. මේ පිළිබඳ ලොකු තොරතුරු නෑ. ඒ වගේ ආයතනයක අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න කෙනෙක් එවැනි දෙයක් මේ වගේ රටක ප්‍රචලිත කිරීම කොතරම් සාධාරණ ද කියන එක හිතන්න ඕනෑ.   


එග්මෝ එ​ෙකන් කරන වැඩ වෙන්ටිලේට් මැෂින් එකකින් කරන්න බෑ. ඒත් මේ රටේ තිබෙන සෞඛ්‍ය ගැටලුවත් එක්ක කෝකට මූලිකත්වය දෙනවද කියන එක තීරණය කළ යුතුයි.   

 

 

 

 

 

සටහන - කුමාරි හේරත්