මෙරට පැවති ජනවාර්ගික අර්බුදයෙන් බැට කෑ උතුරු පළාතේ වැසියන් එවකට විඳි දුක් ගැහැට මෙපණැයි කියා නිම කළ නොහැකි විය. පැවති කුරිරු ත්‍රස්තවාදය නිසා උතුරේ ජනතාව විඳි අනේක විධ දුක් කම්කටොලු අතරේ ඔවුන්ට ශක්තියක් වූවන් අතර ආරක්ෂක හමුදාවන් මෙන්ම අභීත භික්ෂුන් වහන්සේද පෙරමුණ ගත්හ. උතුරේ වැසියන් සමගින් දන් වේලක් නොමැතිව මෙම බුද්ධ පුත්‍රයින් අතීතයේ මෙන්ම අද ද සිය දායකත්වය මේ ලක් දෙරණට දෙන්නේ තම ජීවිතය පවා අනතුරේ දමා ගනිමිනි. උන්වහන්සේලා එදා සිදු කළ නිහඬ සේවාව වචනවලින් කියා නිම කළ නොහැකි වන්නේය.


එසේ උතුරු පළාතට අමිල මෙහෙවරක් සිදුකරන බුද්ධ පුත්‍රයකු වනුයේ උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක මඩුකන්ද ශ්‍රී දළදා විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති මුවඇටගම ආනන්ද ස්වාමින් වහන්සේයි. එවකට උන්වහන්සේගේ අමිල සේවාව නොවන්නට අද වන විට උතුරේ සිංහලයින්ගේ කතාව බොහෝ සෙයින් වෙනස් වීමට ඉඩ තිබිණි. අදටද උතුරේ ඇතැම් වැසියන් “කන්න දුන්න හාමුදුරුවෝ” යන අනුවර්ථ නාමයෙන් උන්වහන්සේ අමතන්නේ යුද්ධය කොතරම් දරුණු වුවත් උන්වහන්සේ සිය දායකයින් සේම අනෙකුත් වැසියන්ද දිවි දෙවැනි කොට රැක ගත් නිසාවෙනි.


එවකට ත්‍රස්තවාදය තදින්ම දළු ලා වැඩෙන සමයේ ත්‍රස්තවාදීන්ගේ වුවමනාව වූයේ උතුරේ විශේෂයෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ සිටින සිංහල ජනතාව එම මායිම් ගම්මානවලින් පලවා හැරීමයි. ඒ අනුව ඔවුන් එම ගම්මානවලට ම්ලේච්ඡ ප්‍රහාර ගණනාවක්ම එල්ල කොට අහිංසක ගැමියන් විශාල පිරිසක් අමානුෂික ලෙස ඝාතනය කරන ලදී. මෙම ප්‍රහාරවලට දැඩි ලෙස බිය වූ වවුනියාවේ එවකට පැවති සිංහල ගම්මාන 35 ක වැසියන් එම ප්‍රදේශ අතහැර පලා යෑමට පටන් ගත්තේ ජීවිත ආරක්ෂාව හා කර කියා ගැනීමට කිසිවක් නොවූ බැවිනි. එමෙන්ම ඔවුන්ට ජීවන වෘත්තීන් අහිමි වීම හා උතුරට ආයුතු භාණ්ඩවල හිඟකම මෙම ප්‍රදේශවල තව දුරටත් එම අහිංසක ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් ගෙන දුණි.


එම කාලයේ අප ඉහතින් සඳහන් කළ ඒ උදාරතර ස්වාමින්වහන්සේ තරුණ භික්ෂුවක් වශයෙන් කොටි ත්‍රස්තයින්ගේ මේ කුඨ උපාය හොඳින් අවබෝධ කර ගනිමින් ඔවුන්ට එරෙහිව නැගීසිටින්නට විය. එම අඳුරු අතීතය පිළිබඳව උන්වහන්සේ අප සමග මෙසේ අදහස් දැක්වීය.


“මට මතක විදිහට 1984 අවුරුද්දේ සිංහපුර කෑම්ප් එකේ ට්‍රක් එකකට කොටි ගැහුවා. ඒ දවස්වල යාපනය පැත්තෙයි ඔය දෙමළ ප්‍රදේශවලටයි සමාන්තරව තමයි යුද්ධය ලොකුවටම තිබ්බේ. ඔය කාලේ ඒ ප්‍රදේශවල යුද බිය තිබුණත් වවුනියාව ප්‍රදේශයේ ඒ තරම් කලබලයක් තිබුණේ නෑ. මම ඒ දවස්වල කාවන්තිස්සපුර පංසලක තමයි හිටියේ. ඒ කාවන්තිස්සපුර පංසලට ඒ කාලේ හමුදුරුනමක් හිටපු නැති නිසා කොහොම හරි ඔට්ටුසුඩාන් පැත්තේ ඉඳලා කාවන්තිස්සපුරට කොටින්ට පහසුවෙන් එන්න පුළුවන් වුණා. ඒ නිසා මම මුලින්ම කාවන්තිස්සපුර රැක ගන්න සෑහෙන්න වෙහෙස වුණා.”


“ඒ දවස්වල කොටි ත්‍රස්තවාදීන් මොන වාගෙද කියලාවත් දන්නේ නෑ. අපි ගමේ කොල්ලෝ දහ පාළොස් දෙනෙක් එක්ක පොලු අරගෙන තමයි ගමේ රෑට එහේ මෙහේ ඇවිදිමින් ඒ ගම රැක ගන්න කටයුතු කළේ. යුද්ධය පටන් අරන් තිබුණට අපි හිතුවේ ඒ කාලේ කොටි පොලුවලින් ගහලා මෙල්ල කරන්න. දැන් නම් ඒ ගැන හිතනකොට හිනහත් යනවා. මගේ තරුණ කාලේදී කොහොම හරි ඒ විදියට තමයි මේ දේවල්වලට ආරම්භය වැටෙන්නේ.”


“පසු කාලීනව මට මතක විදියට 1984 අවුරුද්දේ වාගේ පිරිවණේ කටයුතුත් එක්ක වවුනියාව ප්‍රදේශයේම නතර වෙන්න මට සිද්ධ වෙනවා. මොකද මම තමයි පරිවේණාධිපති වශයෙන් එවකට කටයුතු කළේ. ඒ වෙනකොට කොටි ත්‍රස්තවාදය හොඳටම හිස ඔසවන කාලයක් වෙලයි තිබුණේ. ඔය අතරතුර අම්බලන්ගොඩැල්ල ගමේ පොලිසියට කොටි ගැහුවා. මිනිස්සු ත්‍රස්තවාදී ප්‍රහාරයකට මුලින්ම මූණදුන්නු අවස්ථාව ඒ වුණ නිසා අතට අහුවෙච්චි බඩු මුට්ටු අරගෙන මිනිස්සු ගෙවල් දොරවල් ගම් බිම් අතඇරලා යන්න පටන් ගත්තා.”


“මම එතකොට අවබෝධ කරගෙන හිටියා කෙටින්ගේ අරමුණ අනුරාධපුරයට එනකම් සිංහලයන් මේ ප්‍රදේශවලින් පන්නන එක කියලා. මම බලනකොට මිනිස්සු කැබිතිගොල්ලෑව පැත්තට පාර දිගේ යනවා. මට එක්තරා මහත්මයෙක් කිව්වා මිනිස්සු ගම්බිම් අතඇරලා පැනලා යනවා කියලා. මම ඒ වෙලාවේ පොලිසියේ මහත්තුරුත් එක්ක ජීප් එකකින් ගිහින් පංසලේ ඉඳලා කිලෝමීටර් 08 විතර දුරින් මිනිස්සු ටික නතර කර ගත්තා. මම ඒ මිනිස්සුන්ට කතා කරලා මිනිස්සු නතර කර ගත්තේ බොහොම අමාරුවෙන්. ඒ මිනිස්සු එදා ගියා නම් අදවෙනකොට මේ ප්‍රදේශවල ඉරණම වෙනස් වෙනවා.”


“මම මිනිස්සු නතර කර ගත්තට ඒ මිනිස්සුන්ට ආරක්ෂාව දෙන එක ප්‍රශ්නයක් වුණා. මිනිස්සුන්ට කිසිම රස්සාවක් කරන්න බෑ. ඔය කාලේ වෙනකොට වවුනියාව නගරයම අරාජික වෙලා. කිසිම කඩයක් ඇරලා තිබුණේ නෑ. මිනිස්සුන්ට දෛනිකව අවශ්‍ය බඩුමුට්ටු ගන්නවත් විදියක් තිබුණේ නෑ. මේ හැම ප්‍රශ්නයක්ම මගේ කර පිට තමයි වැටුණේ. ඒ අතරේ කොටි වවුනියාවේ ගුවන් හමුදා ට්‍රක් රථයකට ප්‍රහාරයක් එල්ල කළා. ඊට පස්සේ වවුනියාව පොලිසියට ගැහුවා. ඒත් එක්කම යුද්ධය මේ ප්‍රදේශවල දරුණු වුණා.”


“මේ අතරේ ගම්වල මිනිස්සුන්ට ගම් බිම් අතහැරලා යන්න දෙන්නේ නැතිව මම මිනිස්සු ටික මඩුකන්ද පංසලෙයි, මඩුකන්ද ඉස්කෝලෙයි නතර කර ගත්තා. රජයට කරන්න දේකුත් නෑ. මොකද ඒ වෙනකොට වවුනියාව නගරය සම්පූර්ණයෙන් අරාජික නිසා රාජ්‍ය ආයතනවල කටයුතු සිදුවුණේ නෑ.”


“ඔහොම ඉද්දි මම මේ ප්‍රශ්නයට මුහුණදෙන්නේ කොහොමද කියලා කල්පනා කළා. මිනිස්සු 7000ක් විතර අසරණ වෙලා පංසලේ හිටියා. කන්න දෙන්න විදියක් නෑ. පංසලේ කිසිම දෙයක් නෑ. ඔය අතරේ වවුනියාව කච්චේරියට අනුයුක්තව තිබුණු ලොරියක් ත්‍රිකුණාමලේ ඉඳලා ආවා. මම ඒක පංසල ළඟින් නතර කරලා අර ගත්තා. අරගෙන රියැදුරු මහත්තයා ගෙදර යවලා මම ඒ ලොරියේ ස්පීකර් බැඳගෙන ජීවිත අවදානම නොතකා කැබිතිගොල්ලෑව පැත්තෙන් අනුරාධපුරයට ගියා. ඒ ගිහිල්ලා එහේ මිනිස්සුන්ගෙන් වවුනියාවේ මිනිස්සු බේරගන්න උදව් ඉල්ලුවා. එතනදී ඒ මිනිස්සු අපිට උදවු කළා.”


“ඒ විදියට හැමදාම ගිහින් කොහෙන් හරි කන්න ලොරියට පටවාගෙන ඇවිත් මම මගේ මිනිස්සුන්ට කන්න දුන්නා. එහෙම තමයි මම ඒ කාලේ මිනිස්සු මේ ප්‍රදේශවල රඳවා ගත්තේ. නැත්තම් අද වෙනකොට අවසාන සිංහල ගම තියෙන්න තිබුණේ අනුරාධපුරේ. ඒ කාලේ වවුනියාව නගරය හරහා ගියේ මම විතරයි. කොහොම හරි මිනිස්සුන්ගේ වාසනාවට මම බේරුණා. ඒ නිසා ඒ මිනිස්සු බඩගින්නේ නොතියා මිනිස්සු ආරක්ෂා කරගෙන මේ ප්‍රදේශත් රැකගන්න පුළුවන් වුණා.”


“ඔය විදියට මම යුද්ධය පැවති කාලය පුරාවටම මිනිස්සුත් එක්ක හිටියා. පස්සේ වවුනියාව නගරයට හමුදාව ඇවිල්ලා ඒ උදවිය යටතට අරන් රාජ්‍ය ආයතනවලින් ඒ ජනතාව බලා ගන්නකම් මම ඒ මිනිස්සුන්ට ගම් බිම් අතහැරලා යන්න දුන්නෙත් නෑ, එක වේලක් බඩගින්නේ ඉන්න දුන්නෙත් නෑ.”


“ඔහොම අවුරුදු තිහක්ම මම මේ මිනිස්සුත් එක්ක හිටියා. යුද්ධය අවසාන කාලේ සිසිර මෙන්ඩිස් මහත්තයා වවුනියාවේ එස්.එස්.පී. මහත්තයා වෙලා ආවා. ඒ වාගේම දැන් ජනරල් කෙනෙක් විදියට කටයුතු කරන රවිප්‍රිය මහත්තයා මෙහේ බ්‍රිගේඩ් කමාන්ඩර් වෙලා ආවා. ඒ අයට ශක්තියක් වෙන්න මට පුළුවන් වුණා. ඒ සංයෝගයට එවකට හිටපු සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂක ජනරාල් සරත් වීරසේකර මහත්තයත් එකතු වුණා. ඒ උදවිය එක්ක එකතු වෙලා ගම්බිම් රකින්න සිවිල් ආරක්ෂක බළකාය අපි ශක්තිමත් කළා.”
“ගම්මාන ආරක්ෂා වෙන විදියට බංකර් ස්ථාපිත කෙරුවා. එහෙම කරලා ඒ බංකර්වල ඉන්න ළමයි හම්බ වෙන්න මම රෑට ගිහින් තියෙනවා. මොකද නැත්තම් ඒ ළමයින්ට නින්ද ගියොත් ගමට සිද්ධ වෙන විනාශය කියලා නිම කරන්න බැරි නිසා. මම කවදාවත් එකම පාරේ ගියේ ආවේ නෑ. මම යන පාරෙන් නෙමෙයි ඒ කාලේ ආවේ. ඒ නිසා අවස්ථා කීපයකදී මගේ ජීවිතය බේරුණා. මට ඒ පාඩම කියලා දුන්නේ රවිප්‍රිය මහත්තයා. ඒ මහත්තයා අනුගමනය කරපු නිසා තමයි මම බේරුණේ.”

 

 


“ඔය විදියට යුද්ධය අවසාන වේගන යනකොට කොටින්ට මම හිරිහැරයක් වුණා. ඒ නිසාම මරාගෙන මැරෙන කාන්තාවක් යොදාගෙන මම මරන්න සැලසුම් සකස් කරලා තිබුණා කියලා මට ආරක්ෂක අංශවලින් දැනුම්වත් කිරීම් ආවා. ඒ දැනුම්වත් කිරීම්වලට අනුව නම් ඒ කාන්තාව මුහමාලේ ප්‍රදේශයේ කාන්තාවක්. කොහොම හරි වාසනාවකට ඒ ප්‍රහාරය කොටින්ට සාර්ථක කර ගන්න බැරි වුණා. ඒ නිසා අදටත් මම ජීවත් වෙනවා. මම මගේ රට මගේ මිනිස්සු වෙනුවෙන් කරන්න තිබුණු යුතුකම් නොපිරිහෙලා ඉටු කරලා තියෙනවා. බෝම්බ වෙඩි මැද්දේ මම මේ මිනිස්සු එක්ක මේ මායිම් ගම්වල හිටියා. ඒ නිසා අදටත් මේ ප්‍රදේශවල සිංහල ගම්මාන තියෙනවා. සිංහල වැසියෝ ඉන්නවා. එදා ඒ මිනිස්සුත් මේ ගම් බිම් අතහැරලා ගියා නම් අද අවසාන සිංහල ගම අනුරධපුරේ තමයි තියෙන්නේ. මම සතුටු වෙනවා මේ මිනිස්සුන්ට නායකත්වය ඒ කාලේ දීලා ඒ මිනිස්සු ආරක්ෂා කර ගන්න පුළුවන් වුණ එක ගැන” යැයි උන්වහන්සේ පැවසීය.


ගැමියන් පවසන අන්දමට ආනන්ද හාමුදුරුවෝ නැත්තම් අද වවුනියාවේ සිංහලුන්ද නොමැත. අතීතයේ මෙරට එක්සේත් කර ගැනීමට භික්ෂුන් වහන්සේ දායක වූ සේම, ආනන්ද හිමියන්ද වවුනියාවේ මිනිසුන් වෙනුවෙන් සිය මෙහෙවර ඉටුකර තිබේ. උන්වහන්සේ ඒ උදාරතර මෙහෙය නිහඬවම ඉටුකිරීම පැසසිය යුත්තක් නොවන්නේද? එදා එම මිනිසුන් රැකගත් ගෞරවය අදටද උන්හන්සේට නොමදව ලැබිය යුතු වන්නේ තම මෙහෙවර ත්‍රස්තයින්ට නොබියව ඉටු කොට මෙම ප්‍රදේශ රැකීමට දායක වූ නිසාවෙනි.

 


සටහන හා ඡායාරූප
යාපනය ප්‍රදීප් කුමාර