දැන් දැන් කොළඹ නගරය ඇතුළත ඉදිවන තට්ටු ගොඩනැගිලි සියල්ල පාහේ මහල් හතරට වඩා වැඩි ඒවාය. ඉකුත් කාලසීමාවේ වැල්ලවත්ත මහල් ගොඩනැගිල්ලක් පොළොවට සමතලා විම සමඟ මේ පිළිබඳ යම් කතාබහක් ඇතිවීමට හේතු වුවත් නැවතත් එය ඉස්මතුවන මාතෘකා ගොන්නෙන් එළියට විසිවී ඇති බව පෙනී යයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව කොළඹ ජනගහණය ලක්ෂ දහයකට ආසන්න වෙතත් ඉදිවන ගොඩනැගිලි බොහෝ කේන්ද්‍ර වන්නේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් නොවන බව දක්නට ලැබේ.   


කොළඹ ඉදිවන ගොඩනැගිලි භූමියේ සමතුලිතතාවට බාධාවක්ද යන්න ප්‍රධාන ගැටලුවකි. පසෙකින් මුහුදු සීමාවත් තවත් පසෙකින් කැලණි ගංඟා මිටියාවතත් අතර සීමාවේ ඉදිවූ කොළඹ නගරයට  මේසා ගොඩනැගිලි සංඛ්‍යාවත් දරා සිටීමට තරම් හැකියාවක් තිබේද?  රටේ අනෙක් ප්‍රදේශ තුළ මෙබඳු සංවර්ධන කටයුතු සිදුනොවී කොළඹ නගර භූමියේ පමණක් ගොඩනැගිලි ඉදිවීම භූමියේ පැවැත්මට කෙසේ බලපාවිද? මේ ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සී.බී. දිසානායක මහතා දැක්වූ අදහස්ය.  


‘‘අද වන විට සමාජයේ අවශ්‍යතා බහුල නිසා මිනිසුන් අහස උසටම යෑමට බලාපොරොත්තු වෙනවා. භූමියේ ඉඩ ප්‍රමාණය අඩු බොහෝ රටවල මේ තත්ත්වය දැකිය හැකියි. නමුත් භූමියේ රඳාපැවැත්ම දරා ගැනීමේ හැකියාව පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව ඉදිකිරීම් සිදුකිරීමෙන් වැළකිය යුතුයි. ගොඩනැගිලි ඉදිකරන ප්‍රදේශයේ භූවිද්‍යාත්මක තත්ත්වය හොඳින් අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම වි​ෙශ්ෂඥ ඥානයක් සහිත පිරිසක් ඒ සඳහා යොදවා ගතයුතුයි. නොඑසේ නම් ඉකුත් කාලසීමාවේ වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුවූ ගොඩනැගිලි කඩා වැටීම වැනි සිදුවීම් තවදුරටත් වාර්තා විය හැකියි. කඩිනමින් ගන්නා තීන්දු මත ඉදිකිරීම් නොකළ යුතුයි. උදාහරණයක් ලෙස ජපන් රටේ ගොඩනැගිලි ඉදිකෙරෙන ආකාරය දැක්විය හැකියි. ඔවුන් ගොඩනැගිලි ඉදිකිරීමේදී අදාළ භූමිය පිළිබඳව දීර්ඝ කාලීන පර්​ෙ‌ය්ෂණ සිදුකරනවා. ඒ සඳහා භූ ඉංජිනේරු පරීක්ෂණ සිදුකිරීමට මුදල් යොදවා වෙනම ව්‍යාපෘති ද සකස් කෙරෙනවා.  


 අපේ රටේ භූචලන ඇති වෙන්නේ නැහැ කියලා ජනතාව අතර ආකල්පයක් තිබෙනවා. නමුත් අප රට තුළ භූ චලන ඇතිවීමේ ඉඩකඩක් නැතුවාම නොවේ. එය සම්පූර්ණ වැරදි ආකල්පයක්. භූ ඉංජිනේරු පර්යේෂණවලට අනුව අපේ රට භූ චලන සිදුවීමේ අවදානම සහිත රටක් ලෙස හැඳින්විය හැකියි. මේ හේතුව නිසා වියදමට වඩා ආරක්ෂාව පිළිබඳව සලකා ගොඩනැගිලි ඉදිකිරීමට පෙර භූමිය පිළිබඳ හොඳ පර්යේෂණයක් සිදුකළ යුතුයි. භූ විද්‍යාව කියන්නේ පුළුල් ප්‍රවේශයක් සහිත විෂය ධාරාවක්. වෛද්‍ය විද්‍යාවේ චර්ම රෝග විශේෂඥයෝ, ශල්‍ය වෛද්‍ය විශේෂඥයෝ ව​ෙග් විවිධ ප්‍රභේද තිබෙනවා. භූ විද්‍යාවත් එබඳුයි. ඉංජිනේරු භූ විද්‍යාව, ජලය පිළිබඳව විශේෂඥයෝ, පාංශු විශේෂඥයෝ, සත්ත්ව විශේෂඥයෝ, පොසිල විශේෂඥයෝ ආදී ප්‍රභේද රාශියක් තිබෙනවා. විෂය පිළිබඳ දැන් පලපුරුද්දක් සහිත අය යෙදවිය යුතුයි. නොඑසේ නම් උමා ඔය වැනි උවදුරු තවත් වැඩිවීමට ඉඩකඩ තිබෙනවා. දැඩි පරික්ෂණයකින් පසුව කෙරෙන පාරිසරික තත්ත්ව වාර්තාවක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පෙර ලබාගත යුතුයි. උස් ගොඩනැගිලි ඉදිකිරීම වළක්වනවාට වඩා ඉදිකිරීම් ප්‍රමිතිය ඉහළ නැංවීම සිදුකළ යුතුයි. අස්ථායි බිම්වල ඉදිකිරීම් කිරීම මඩේ ඉන්නක් සිටුවීමට සමානයි. විශේෂයෙන් වෙරළාසන්නයේ ඉදිකිරීම් නොවන තරමට හොඳයි. වෙරළ, ගංඉවුරු ආශ්‍රිත ඉඳිකිරීම් සිදුකිරීම වළක්වා ගත හැකිනම් එය ඉතා හොඳ වැඩපිළිවෙළක් වෙනවා. ගංඉවුරු, මුහුදු සීමාවේ කරදරකාරී ඉදිකිරීම් සිදුවුවහොත් සොබාදහම විසින්ම ඒවා ඉවත් කිරීමට කටයුතු කෙරෙනවා. එවැනි තත්ත්වයන් අප කිසිවෙකුට වැළැක්විය නොහැකියි.  


ජලය අපවිත්‍ර වන ජලයට කරදිය මිශ්‍රවීම වැනි ගැටලුකාරී තත්ත්ව වැළැක්විය යුතුයි.  


 වෙනත් රටවල භූවිද්‍යා පර්යේෂණ සඳහාම වෙනමම ආයෝජනත් සිදුකෙරෙනවා. සිංගප්පුරුව, ජපානය වැනි රටවල් ඊට උදාහරණයක්. අපේ රටවලටත් එන ආයෝජකයන්ට ඉදිකිරීම් සඳහා මුදල් යෙදවීම වගේම නිසි ප්‍රමිතියට භූමි පරික්ෂාව සඳහා ද ඔවුන් අනිවාර්‌යෙන්ම යොමු කළ යුතුයි. අධික නාගරීකරණය අද වන විට ලෝකයට පීඩාවක්. චීනය වැනි රටක් උදාහරණයට දැක්වුවහොත් ආශ්වාස ප්‍රශ්වාසයට අවකාශයක් ඉඩක් නැති තරමට ගොඩනැගිලි ඉදිවී තිබෙනවා. වායු දූෂණය බහුලයි. ගොඩනැගිලි, මාර්ග පද්ධති සියල්ල එක් ප්‍රදේශයකට සීමාවීම රටේ සාමාන්‍ය පැවැත්මට අනවශ්‍ය බලපෑමක් වීම වැළැක්විය නොහැකියි. එහෙත් ජර්මනිය, ප්‍රංශය වැනි රටවල හිතුමතේ නාගරීකරණය කරන්න බැහැ. එවැනි රටවල වගාව සඳහා එක් ප්‍රදේශයක්, ගොඩනැගිලි සඳහා තවත් කලාපයක් ආදී වශයෙන් භූමිය වෙන් කිරීමක් කරනවා. එවැනි වැඩපිළිවෙළකට යොමු වුවහොත් එක් භූමි ප්‍රදේශයක පමණක් ගොඩනැගිලි ඉදිකිරීම සිදුවන්නේ නැහැ.  


අපේ රටේ මහනුවර වගේ නගරයක් ගත්තොත් අද එම නගරයට අත්ව තිබෙන ඉරණම බලන්න. වැව වටේ කැරකෙන වාහන නිසා මුළු නුවරම වායු දූෂණයෙන් පිරී ගිහින්. මේ තත්ත්වය නිසා රෝග පීඩා ආදියත් ඇතිවිය හැකියි. මේවාට හේතුව සැලසුමක් නැති නගර නිර්මාණය වීමයි. ඕනෑම දෙයකට දරා ගැනීමේ හැකියාවට සීමාවක් තිබෙනවා. සීමාව ඉක්මවා ගියොත් සොබාදහම විසින්ම ඊට දඬුවම් ලැබෙනවා. වායුගෝලය, ජල ගෝලය, ශිලා ගෝලයට අනුරූපව පරිසරයට එකඟව කටයුතු කළ යුතුයි. දේශපාලන බලපෑම් හෝ වෙනත් පෙලඹවීම් මත පරිසර තත්ත්ව වාර්තා ගැන නොසලකා ඉදිකිරීම් කිරීම ගැටලුකාරී තත්ත්වයක් ලෙස දක්නට පුළුවන්. ඉතින් අප ඒවායින් වැළකිය යුතුයි’’. මහාචාර්යවරයා සඳහන් කළේය.  


පේරාදෙණිය විශ්වවිද්‍යාල​ෙය් භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කපිල දහනායක මහතාද ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. කොළඹ නගරයේ ඉදිකිරීම් කරද්දී භූමියේ (පිහිටි ගල) දක්වා භූමිය පරික්ෂා කිරීමකින් පසුව ඉදිකිරීම් සිදුවිය යුතුයි. අපේ රටේ භූමියේ තිබෙන ‘පිහිටි ගල’ දරා ගැනීමේ ශක්තිය සහිත එකක්. එවැනි අවස්ථාවක ගොඩනැගිලි ඉදිකිරීමේදී භූමියේ පිහිටි ගල (Bed Rock) මතින් අත්තිවාරම තැනිය යුතුයි. අපේ රටේ පොළවේ තිබෙන ‘ග්‍රැනිට්’ පාෂාණ හා ‘චැනොකයිට්’ පාෂාණවල ඉදිකිරීම් සිදුකළ හැකියි. ඒවා ඉදිකිරීම් සඳහා වඩාත් ශක්තිමත් පාෂාණ ලෙස භූ විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා.   


එසේ නොමැතිව අවසාදින පාෂාණ පිහිටි භූමියක නම් ඉදිකිරීම් නොකළ යුතුයි. අපේ රටේ භූමියේ විශේෂයෙන් කොළඹ ගාලු මුවදොර සීමාවේ තිබෙන්නේ ප්‍රාග් කේන්ද්‍රිය යුගයට අයත් ශක්තිමත් පාෂාණ. ඒවා මත ඉදිකිරීම් සිදුවීම එතරම් ගැටලුවක් වන්නේ නැහැ. ඒවා පිළිබඳව ඉංජිනේරුවන් වඩාත් සැලකිලිමත් විය යුතුයි. මහාචාර්යවරයා සඳහන් කළේය.  

 

සටහන  - සමන්තිකා මාධවි