වළපල්ලට ගිය රටවල්   

 

 

රටක පාලකයින්ගේ මූලික කාර්යභාරය විය යුත්තේ එම රට සුඛිත මුදිත කිරීමයි. රටට සෞභාග්‍යය ගෙන ඒමයි. රට ගොඩනැංවීමයි. දූෂණය පිටුදැකීමයි. සැමට එක සේ නීතිය ක්‍රියාත්මක කිරීමයි. පවුල් පාලනය බැහැර කිරීමයි. ඥාති සංග්‍රහයෙන් තොර වීමයි. සැබෑ ජනතා සේවය එයයි.   


ජාති හිතෛෂීන් වෙන්නේ එවැනි පාලකයින්ය. ජනතාවගෙන් ඈත් නොවන්නේ එවැනි දේශපාලකයින්ය. ලෝකයේ මෙවැනි පාලකයින් සිටින්නේ කීයෙන් කී දෙනා ද? දූෂිතයින් පාලනය කරන රටවල් වළ පල්ලට යයි. වළ පල්ලට යැවිය යුත්තේ අඳුරු ආගාධයකට ඇද දැමූ රටවල පාලකයින්ය. අද මේ සටහන දරිද්‍රතාවයේ පත්ලටම කිඳා බැස ඇති ඉතියෝපියාව ගැනය.   


ඉතියෝපියාව කන දේශපාලක​ෙයා්   


සමස්ත දේශයට තම යුතුකම් ඉටු නොකළ දේශපාලකයින්ගෙන් පිරුණ රටකි ඉතියෝපියාව. එදත්, අදත්, කවදත් මෙහි සිටියේ රට රකින දේශපාලකයින් නොවේ. රට කන දේශපාලකයින්ය. නැතහොත් දේශපාලන හොර දෙටුවන්ය. ඉතියෝපියාවට ඇත්තේ ඛේදජනක ඉතිහාසයකි. පාලකයින්ගේ වරදින් අද ඉතියෝපියානුවන් ඉතිරි කරගෙන ඇත්තේ දුක, ශෝකය, සංතාපය හා සංවේගය පමණකි.   


අප්‍රිකාවේ වැඩිම ජනගහනයකින් යුතු රටවලින් 2 වැනි තැන හිමිවී ඇත්තේ ඉතියෝපියාවටය. එරිත්‍රියාව, ජිබුටි, සෝමාලියාව, සුඩානය, කෙන්යාව යන රටවලට මැදිව පිහිටි ඉතියෝපියාවේ ජනගහනය දස කෝටියකට මඳක් වැඩිය. විශාලත්වය වර්ග කි.මී. 11,04,300 කි. කලකට පෙර ඉතියෝපියාව සහ එරිත්‍රියාව එකම රටකි. 1993 දී එරිත්‍රියාව ඉතියෝපියාවෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් වුණේ දීර්ඝකාලීන යුද්ධයක ප්‍රතිඵලයක් වශයෙනි. මෙසේ වෙන් වූ මේ දෙරටම අද ලොව අසමත් රාජ්‍යයන්ය. කොන් වූ දේශයන්ය. මේවා ලොව දිළිඳුම රාජ්‍යයන්ය. වෙන් වූවත් මේ දෙරට අතර අරගලය තවමත් නිම වී නැත.   


ඉතියෝපියාව කන බොන දේට, බෙහෙත් හේත්වලට බදු පිට බදු ගහන රටකි. රජය මිනිසුන්ට බදු ගහන්නේ කොළේ වහලාය. මෙහි වක්‍ර බදු හරහා ජනතාවගේ ජීවන වියදම ඉහළ ගොස්ය. ජනතාව සපයන අය බදුවලින් සුඛෝපභෝගී ජීවිත ගෙවන දේශපාලකයින්ගෙන් මේ රට පිරිලාය. වෙන දෙයක් වෙච්චාවේ කියා බලාගෙන සිටිනවා හැරෙන්නට මෙහි රටවැසියන්ට කරන්නට වෙන දෙයක් නැත. මෙහි පාලකයින්ට ජනතාවගේ වේදනාවේ දිග පළල දැනෙන්නේ නැත.   


රතු මුහුදට මුසු වූ රතු රුධිරය   


වනාන්තර අක්කර දස දහස් ගණනින් කපා කොටා විනාශ කරන රටකි ඉතියෝපියාව. 1977 වසරේ සිට 1978 දක්වා වසරක් තුළ ඉතියෝපියාවේ රටවැසියන් ලක්ෂ 5කට වැඩි පිරිසක් මියගියේ රතු ත්‍රස්තවාදය (Red Terror) නිසාය. රතු මුහුදේ ජලයට රතු රුධිරය එක් වූ ඛේදජනක අතීතය අමිහිරිය. මෙය ඉහළ පන්තිය හා පහළ පන්තිය අතර වෙනස ලොවට වඩ වඩාත් විදහා දක්වන දේශයකි. ඈත අතීතයේ සිට අස්ථාවර දේශපාලන වාතාවරණයක් තිබීම මේ රට ප්‍රපාතයට යාමට මූලික හේතුවයි. ශ්‍රී ලංකාව වැනි රටවල් ද මේ ඉරණමට මුහුණ දෙමින් සිටී. දේශපාලන බල අරගලය තුළින් රටක ඉදිරි ගමන අඩාළ වෙන අයුරු ඉතියෝපියාවෙන් උදාහරණ සහිතව පෙන්වා දිය හැක.   


බොහෝ දෙනා එදා වේල පිරිමහා ගන්නේ ලෝක ආහාර සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සපයන ආහාර සලාකවලිනි.   


පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව 50 ලක්ෂය ඉක්මවයි. රජයේ අධ්‍යාපනය සඳහා වෙන් කරනුයේ සොච්චම් මුදලකි. දරු ප්‍රසූතියේදී මිය යන ළමා මරණ සංඛ්‍යාව ඉතා අධිකය. කුඩා කාලයේදීම එච්.අයි.වී. වෛරසය ශරීරගත වූ ළමයින් රට පුරාය. රෝහල් හරක් මඩු වැනි යයි කිවහොත් නිවැරැදිය. රට පුරාම කුණු කඳුය. ඒවායින් නික්මෙන දුගඳ පුරවැසියන්ට හුරුපුරුදුය. දේශය පුරා විෂබීජ පතුරවන්නේ මේ කුණු කඳුය. ප්‍රවාහන සේවය ඉතාම දුර්වල අඩියක පවතින අප්‍රිකාවේ ප්‍රධාන රට ඉතියෝපියාවයි. තවමත් විදුලිය සපයා නැති ගම්මාන දහස් ගණනකි.  


ජනතාවට අධ්‍යාපන, සෞඛ්‍ය, විදුලිය, ගමනාගමන ආදී පොදු පහසුකම් සැපයීමට නොහැකිව ඉතියෝපියාවේ පාලකයින් කාලාන්තරයක් මුළුල්ලේ රට විනාශ කර ඇති බව කිව හැකිය. මෙහි පළාත් 14 තුළම කිසිදු දියුණුවක් දකින්නට නැත. පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 547 කි. මෙම මන්ත්‍රී ආසන සංඛ්‍යාව තවත් වැඩි කර ගැනීමට දැනට විවිධ දේශපාලන පක්ෂ එක් වී දැඩි උත්සාහයක නිරත වී සිටී. එපමණක් ද නොවේ. මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද වැඩි කර ගැනීම ඔවුහු වසර පතා සිදු කර ගන්නා කාර්යයකි. මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන රටවලින් මුල් තැනක් හිමි වී ඇත්තේ ඉතියෝපියාවටය.  

 

 

මිනිසා විසින් මිනිසා සූරාකෑම  


අඩිස් අබාබා (Addis Ababa) අගනුවර නම් බැලූ බැල්මට සුරපුරක් වැනිය. එහි ඇතුළු පැත්ත අපායකි. අගනුවර හැරෙන්නට අෆාර්, අම්හාරා, හරාරි, සෝමාලි වැනි ප්‍රධාන නගර යාචකයින්ගෙන් පිරුණු මුඩුක්කු වැනි නගරය.   


විදේශ ආධාර, විදේශ ණය පාලකයෝ අඩු වැඩි වශයෙන් යටි මඩි ගසා ගත්හ. ඔවුහු එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආහාර සංවිධානය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතනවලට බොරු සංඛ්‍යාලේඛන ඉදිරිත් කළහ. ලැබෙන ආධාර පවුලේ ඥාතීන් හා හිතවතුන් අතරේ බෙදාගත්හ. පාලනය කළ බොහෝ අය ඇස්බැන්දුම් නූල් සූත්තරකාරයින්ය. රට අරාජික කළේ මේ කපටි කෛරාටික දේශපාලකයින්ය.   


ඉතියෝපියා පාලකයින්ගේ පැටිකිරිය   


මරණයේ දේශයක් වශයෙන් ඉතියෝපියාව හැඳින්විය හැක. 1913 සිට 1985 දක්වා කැරලිවලින් මෙහි මියගිය සංඛ්‍යාව දස ලක්ෂයකට අධිකය. 1974 සිට 1977 දක්වා ඉතියෝපියාව පාලනය කළේ හමුදා ප්‍රධානීන්ය. මුල්ම හමුදා පාලකයා වූ අටන් මිකායෙල් ඇන්ඩම්, ඉතියෝපියාව පාලනය කළේ මාස 2කුත් දින 10කි. 2 වැනි පාලකයා වූ මෙන්ගිස්ටු හේල් මරියම්ට පාලන බලය රඳවාගෙන සිටීමට හැකි වූයේ දින කිහිපයක් පමණකි. ඒ 1974 නොවැ. 17 සිට නොවැ. 28 දා තෙක්ය. 3 වැනි පාලකයා වූ මෆාරි බෙන්ටි 1977 පෙබ. 3 සිට 1987 සැප්. 10 දා තෙක් ඉතියෝපියාව පාලනය කළේය. එම අවුරුදු 10ක කාල සීමාව තුළ ඔහු ඉතියෝපියාව සූරා කෑවේය. මේ ඉතියෝපියාවේ පාලකයින්ගේ විස්තරවලින් බිඳක් පමණකි. වළ පල්ලට ගිය රටවල් යනුවෙන් හඳුන්වනු ලබන්නේ පාලකයින් විසින් විනාශ මුඛයට පත් කළ රටවල්ය. යකඩ හිත් ඇති පාලකයින් රටවල් විනාශ කළ අයුරු විදහා දැක්වීම මෙම ලිපි පෙළ ඉදිරිපත් කිරීමේ මූලික අරමුණය.   


මකර කටට ඇදවැටී ඇත්තේ දේශපාලකයින්ගේ වරදිනි. බලයට පත්වූ පසු හා බලය ලබා ගැනීමට පොරබදන දේශපාලකයෝ දූෂණයට, වංචාවලට, අල්ලසට, හොරකමට මුල් තැන දී ක්‍රියාකරති. කොමිස් ගත්, මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කළ, මුදල් විශුද්ධිකරණයට හවුල් වූ, ඝාතන ක්‍රියාවන්හි නිරත වූ, මහජන දේපළ කුණු කොල්ලයට විකුණා දැමූ, ඥාති සංග්‍රහය සිදු කළ දේශපාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ඉතියෝපියාව මකර කටට තල්ලු වී යාමට ප්‍රධාන හේතුවයි. මෙහි බලයට පත්වූ ජනාධිපතිවරුන් 10​ දෙනාගෙන් 8 දෙනකුගෙන්ම රටට සත පහක සේවයක් සිදු නොවීය. ඉතියෝපියානු ජාතිකයකු​ෙග් දිනක ආදායම ​ඩොලර් 3 දක්වා අඩුවී ඇත්තේ රට අගාධයකට ඇද වැටී ඇති නිසාය.   


හැරී එස් ටෲමන්ගෙන් ආදර්ශයක්   


ඉතියෝපියාව වැනි දරිද්‍රතාවයේ ගිලුනු රටක් පිළිබඳව ලියද්දී මගේ සිහියට නැගෙන්නේ මා ජීවත් වෙන ඇමෙරිකාව ගැනය. ඇමෙරිකාව දියුණුවේ මුදුන් හිණි පෙත්තටම නැග ඇති රටකි. ඇමෙරිකාව මේ තත්ත්වයට පත්වී ඇත්තේ එහි පාලකයින්ගේ කැපවීම තුළිනි. ඔවුන්ගේ දුර දක්නා නුවණ නිසාය. පැහැදිලි අනාගත සැලැස්ම නිසාය. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසාය. ඇමරිකාවේ 33 වැනි ජනාධිපති ධුරය දැරුවේ හැරී එස්. ටෲමන්ය. (Harry S. Truman) ඔහු 1945 සිට 1953 දක්වා ඇමෙරිකාව පාලනය කළේය. ජනපති තනතුරට ආයුබෝවන් කියා ඔහු වයිට් හවුස් මන්දිරයෙන් එළියට පැමිණ පාරේ යන බස් රථයකින් ගෙදර බලා පිටත්ව ගියේය. ඒ 1953 ජනවාරි 20 දාය.   

 

 

 

සිරී හීන්පැල්ල 
නිව්යෝර්ක් නුවර සිට ලියයි