ණය අර්බුදය, ආර්ථික කටයුතු හසුරුවන ආයතන අතර ඇතිව තිබෙන ඝට්ටන මේ ආදි ආර්ථික ක්‍රමයෙහි මතුව ඇති අර්බුද රැසක් පිළිබඳ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා සමග කළ සාකච්ඡාවක් මෙසේය.

 


ප්‍රශ්නය :- රටේ ආර්ථික අර්බුදය පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් වෙනවා. ඔබ මේ අර්බුදය තේරුම් ගෙන තිබෙන්නෙ මොන විදියට ද?
පිළිතුර :-
2016 අවුරුද්දෙ පළවෙනි මාස නවයට අදාළව ඉදිරිපත් වෙලා තියෙන සංඛ්‍යා ලේඛන බැලුවහම තේරෙන දෙයක් තමයි අපේ ආර්ථිකය යම්කිසි අවදානම් තත්ත්වයකට පත්වෙලා තියෙනවා කියන එක. ප්‍රකාශයට පත්වෙලා තියෙන ලේඛනවලට අනුව දේශීය ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නෙ සියයට 4ක් හතරයි දශම පහත් අතර අගයකින්. නමුත් මීට අවුරුදු හතරකට විතර කලින් අපේ ආර්ථික වර්ධන වේගය සීයට අටක වගේ අගයක තිබුණා. අනිත් පැත්තෙන් මේ වෙනකොට රුපියලේ අගයත් ඩොලරයට සාපේක්ෂව රුපියල් 153ක් වගේ අගයක් දක්වා අවප්‍රමාණ වෙලා තියෙනවා. ඒකෙන් කියවෙන්නෙ අපිට විදේශවලින් ලැබෙන ලැබීම් (ආදායම්) වලට වඩා විදේශවලට කරන ගෙවීම් වැඩියි කියන එක. ආනයන අපනයන යන මේ අංශ දෙකේම වර්ධනයක් පෙන්නුම් කළත් අපනයන ආදායම් වර්ධනය ඉතාම හෙමින් සිද්ධ වෙන්නෙ. මේ නිසා ආනයන අපනයන පරතරය වැඩිවෙලා තියෙනවා. සේවා අංශයෙන් ලැබෙන ආදායම් විදේශ ශ්‍රමිකයන් උපයන ආදායම් මාර්ග තමයි මේ පරතරය පියවන්න තියෙන ප්‍රධාන උපායමාර්ග. විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය ඉහළම අගයක් ගත්තෙ ගිය අවුරුද්දෙ (2016) වුණාට ඒ ආදායම් ක්‍රමානුකූලව පහළ යන තත්ත්වයක් තමයි ඉදිරි අවුරුදුවල බලාපොරොත්තු විය හැක්කෙ. මේ අනුව රුපියල අවප්‍රමාණවීම මගින් පෙන්නුම් කෙරෙන්නෙ අපේ ආර්ථිකය ලෝක ආර්ථිකය සමග කරන ගනුදෙනුවෙ පහළ යෑමක්. විදේශ ආයෝජනවල ලැබීම් තත්ත්වයෙනුත් ඒ බව පේනවා. නිල නොවන වාර්තාවලට අනුව ගිය අවුරුද්දෙ විදේශ ආයෝජනවල ලැබීම් මිලියන 400ක් විතර වෙනවා. 2014 දී මේ අගය බිලියන 1.6ක්. අනිත් කාරණය තමයි මේ අලුත් රජය පත්වීමත් එක්ක විදේශ ආයෝජකයන් විශාල වශයෙන් පැමිණෙයි කියලා අපේක්ෂා කළා. නමුත් අද වෙනකොට අපේක්ෂා කළ විදියට විදේශ ආයෝජනවල ඉහළ යෑමක් සිද්ධවෙලා නෑ.

 


ප්‍රශ්නය :- ආණ්ඩුව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් ප්‍රමාණයකට මැදිහත් කරගෙන කටයුතු කරන බවක් පේන්න තියෙනවා. ඩොලර් බිලියන 1.5ක ණය මුදලකුත් එම අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වී තිබෙනවා. ඔබ මේ තත්ත්වය දකින්නෙ මොන විදියටද?
පිළිතුර :-
රටක් ජාත්‍යන්තර අරමුදලක් වෙත යොමු වෙන්නෙ ඇයිද කියන කාරණය ගැන මෙතනදි අපි සලකා බලන්න ඕනෑ. යම්කිසි රටක ආර්ථිකයෙ ගෙවුම් ශේෂ පරතරය වැඩි වෙනවා නම් ඒක පාලනය කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැදුවෙත් ඒ වෙනුවෙන්. ඒ අනුව අයි.එම්.එෆ්. (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල) කරන්නෙ ඒ සඳහා රටවල්වලට පහසුකම් සපයා දෙන එක. 2016 අවුරුද්දෙ මුල් භාගයෙදි ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් දෙන්න එකඟ වුණෙත් ඒ ප්‍රතිපත්තිය මත. ඒකෙන් කොටසක් ගිය අවුරුද්දෙ මැද හරියෙදි ලංකාවට ලබා දුන්නා. අයි.එම්.එෆ්. එක රටකට ඒ විදියට සල්ලි දෙන්න එකඟ වෙන්නෙ ඒ රට විසින් යම් යම් කොන්දේසි කීපයක් සපුරා ගත යුතුය කියන කාරණය මත. ඒ කොන්දේසි මගින් අයි.එම්.එෆ්. එක බලාපොරොත්තු වෙන්නෙ අදාළ රට නැවතත් ඒ ආර්ථික අර්බුදයට යන එක වැළැක්වීම. ඒ කොන්දේසි අතර තියෙන්නෙ බදු වැඩි කිරීම, පාඩු ලබන රාජ්‍ය ආයතන විකිණීම. ශ්‍රම වෙළෙඳපොළ ලිහිල් කිරීම, විනිමය පාලනය ඉවත් කිරීම වගේ ඒවා. මෙතනදි මතුවෙන වැදගත් කාරණය තමයි අපි අයි.එම්.එෆ්. ණය ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වෙනුවට තියෙන විකල්පය මොකක්ද කියන එක. අනික තමයි ඒ සල්ලි ගන්නවා නම් අපිට එකඟ විය හැකි සහ නොහැකි කොන්දේසි මොනවද කියන එක. බදු වැඩි කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික ව්‍යාපාර සමග සම්බන්ධකර පවත්වාගෙන යෑම වැනි සමහර කොන්දේසි අනුව ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න බවකුත් පේනවා. 

 


ප්‍රශ්නය :- පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලික අංශය සමග සම්බන්ධ කරලා සංවර්ධනය කිරීමේ ක්‍රමවේදයෙහි ගැටලුවක් ඇතැයි ඔබ සිතනවාද?
පිළිතුර :-
මේ සම්බන්ධයෙන් ප්‍රධාන කඳවුරු දෙකක් තියෙනවා. එකකින් කියන්නෙ සියල්ලම පෞද්ගලික අංශයෙන් මෙහෙයවිය යුතුයි කියලා. දෙවෙනි එකෙන් කියන්නෙ පෞද්ගලික අංශයෙන් ආර්ථික කටයුතු සිදු වෙනකොට වෙළෙඳපොළ බිඳ වැටීම් සිදුවෙන නිසා රාජ්‍ය මැදිහත්වීම් තිබිය යුතුයි කියලා. මේ ගැන තියෙන තවත් අදහසකින් කියවෙන්නෙ නිෂ්පාදන කටයුතු පෞද්ගලික අංශයෙනුත් බෙදා හැරීම් කටයුතු රාජ්‍ය අංශයෙනුත් මනාව කළ හැකි නිසා පී පී පී කියන සංකල්පය (පෞද්ගලික ව්‍යවසාය හවුල්කාරීත්වය) යටතේ මේ දේවල් කළ යුතුයි කියලා.


පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉස්සර එක්සත් ජාතික පක්ෂයේ මතය වුණේ ඒවා විකිණිය යුතුයි කියන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වුණේ රාජ්‍ය අයිතිය තියාගනිමින් දක්ෂ කළමනාකාරීත්වය යටතේ මේවා දියුණු කරන්න පුළුවන් කියන එක. පාඩු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් දැන් ඉදිරිපත් වෙලා තියෙන අලුත් අදහසෙන් කියන්නෙ පෞද්ගලික හා රාජ්‍ය අංශවල හවුල්කාරීත්වයක් යටතේ මේ ආයතන දියුණු කරනවා කියන එක. මේ යටතේ -හවුල්කාරීත්වය” කියන වචනෙ තිබුණට ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි තියෙන්නෙ. මෙතනදි රාජ්‍ය ව්‍යාපාරවල අයිතියෙන් වැඩි කොටසක් එක හවුල්කරුවෙක්ට ලබාදීම මගින් සිදු වෙන්නෙ ක්‍රමානුකූලව පෞද්ගලීකරණය දෙසට ගමන් කිරීමක්. මේ ක්‍රියාවලියෙ පළමු අදියරේදි බොහෝ විට සිදු වෙන්නෙ අදාළ රාජ්‍ය ව්‍යාපාරයෙ අයිතියෙන් සීයට අසූවක් හෝ අනූවක් වැනි වැඩි කොටසක් පෞද්ගලික අංශයට පැවැරීම.

එතනදිත් බොහෝ විට වෙන්නෙ විදේශ පෞද්ගලික අංශයට ඒ විදියට වැඩි හිමිකම් ලබාදීමකුයි. ඊට පස්සෙ වෙන්නෙ ක්‍රමානුකූලව පියවර කීපයක් යටතේ අදාළ රාජ්‍ය ආයතනයේ රාජ්‍ය අයිතිය අත්හැරීමේ මූලධර්මය කරා ගමන් කිරීම. මේ පී පී පී කියන සංකල්පය හරහා රජයේ ආයතන විකිණීමට එරෙහිව ජනතාව අතර තියෙන අකැමැත්ත යම්තාක් දුරකට අවම කරලා තමන්ට අවශ්‍ය ඉලක්කයට යෑමට රජය දරන උත්සාහයක් මේ තුළ තිබෙනවා කියන එකයි මට පෙනෙන්නෙ.

 


ප්‍රශ්නය :- මේ මොහොතෙ සාකච්ඡා වෙන ආර්ථික අර්බුදය සම්බන්ධ කාරණයෙදි ඉදිරියෙන්ම කියවෙන මාතෘකාවක් තමයි ණය අර්බුදය. වර්තමාන රජය පාර්ශ්වයෙන් නිතරම මතු කරන කාරණයක් නම් පසුගිය රජය අසීමිතව ණය ගැනීම නිසා ණය අර්බුදය පැසවලා තිබෙනවාය යන්න. ඔබ මේ කාරණය විග්‍රහ කරන්නෙ කොහොමද?
පිළිතුර :-
මේකෙ පැති කීපයක් තියෙනවා. නිදහස ලබන අවධිය වෙනකොට අපේ ණය බර තිබුණෙ ඉතාම පහළ මට්ටමක. ජාතික නිෂ්පාදිතයෙ ප්‍රතිශතයක් විදියට ගත්තොත් සීයට 18ක් වැනි ණය බරක් තමයි ඒ කාලේ තිබුණෙ. නිදහසේ ඉඳලා මේ වෙනකොට ලංකාවේ ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙ ප්‍රතිශතයක් විදියට සීයට 80ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අපේ බදු ආදායමට වඩා ණයයි ඒ වෙනුවෙන් ගෙවන්න තියෙන පොලියයි ඉතාම ඉහළයි. රට මේ විදියට ණය වෙන්න බලපාපු හේතු විමසීමේදී අපිට පෙනීයන එක කාරණයක් තමයි පසුගිය දශකයක කාලයක ඉඳන් තිබුණු ඉතිරි කිරීම් හා ආයෝජන අතර වෙන පරතරය. මේ පරතරය පියවන්න තියෙන ප්‍රධාන ක්‍රම දෙක තමයි විදේශ ආයෝජන හා ණය. අපි වැඩි වශයෙන් යොමු වෙලා තිබුණෙ ණය ගන්න. ණය ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ඒ ගන්නා ණය ඵලදායී විදියට යොදවන්න ඕනෑ. 


පසුගිය කාලේ ගත්ත ණය ඒ විදියට ඵලදායී ලෙස යොදා නොගත්ත එකේ ප්‍රතිඵලය වෙලා තියෙන්නෙ ණය ගෙවීමේ හැකියාව ඉහළ ගිහින් නොතිබීම. ඒ නිසා මේ වෙනකොට විශාල ණය බරක් නිර්මාණය වෙලා තියෙනවා.


තත්ත්වය එහෙම වෙලා තියෙද්දි අලුතින් බලයට ආපු මේ ආණ්ඩුව කළෙත් විවිධ හේතු ඉදිරිපත් කරලා, විශාල වශයෙන් ණය ගැනීම. මිලියන 2000ක් විතර ණය අරගෙන තියෙනවා. අද තියෙන ණය අර්බුදයෙ මුල් පැහැදිලිවම පහුගිය ආණ්ඩුව දක්වා දික්වෙලා තියෙනවා. ඒ අර්බුදය දිග්ගැස්සෙන්න මේ ආණ්ඩුවේ දුර්වල ආර්ථික කළමනාකරණයත් එක හේතුවක් වෙලා තියෙනවා. විදේශ ආයෝජන අපේක්ෂා කළ පරිදි නොලැබීම නිසා ණය පියවීම ණය ලබා ගැනීම මත සිදු කරන තත්ත්වයකට පත් වෙලා තියෙනවා.

 


ප්‍රශ්නය :- ණයෙන් ණය ගෙවනවා වෙනුවට රටේ ආදායම් ඉහළ නංවාගෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට රජය කවර ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි කියලද ඔබ කල්පනා කරන්නේ. 
පිළිතුර :-
මම දකින විදියට මේ සඳහා අංශ දෙකයි තියෙන්නෙ. එකක් තමයි විදේශ ඉපැයීම් වැඩි කර ගැනීම. ඒ සඳහා භාණ්ඩ හා සේවා වෙළෙඳාම වැඩිකර ගන්න ඕනෑ. මෙතනදි අපි බලන්න ඕනෑ විදේශ ඉපයීම් ඉහළ නංවා ගැනීම සඳහා රජයට සැලැස්මක් තියෙනවද කියලා. මම දැක්කා අගමැතිතුමා කියලා තිබුණා ඇපරල් අපනයනවලට ඉදිරියක් නෑ කියලා. හාවර්ඞ් විශ්වවිද්‍යාලය ලව්වා ආණ්ඩුව කෙරෙව්ව අධ්‍යයනකට අනුව ඒ බව හෙළි වූ බවත් ඒ නිසා ඇපරල් වෙනුවට ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අපනයන කටයුතුවලට යොමු වෙන්න කියලා කිවූ බවත් අගමැතිතුමා කිව්වා. මේ විදියට අපනයන දිරි ගන්වන්න ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා නම් ඒකත් කරන්න පුළුවන්. 


මේ අර්බුදයෙන් ගොඩ එන්න තියෙන දෙවැනි ක්‍රමය තමයි විදේශ ආයෝජන දිරි ගැන්වීම. විදේශ ආයෝජන වැඩි වෙනවා නම් අපිට ණය ගන්න අවශ්‍ය වෙන්නෙ නෑ. රජය ඊළඟ අවුරුදු දහය ඇතුළත ඇමෙරිකානු ඩොලර් බිලියන 50ක විදේශ ආයෝජන බලාපොරොත්තු වෙනවා කියලා කියනවා. 2016 දි ලංකාවට ඩොලර් බිලියන 0.5කවත් විදේශ ආයෝජන ඇවිත් නෑ. ඒ වගේ තත්ත්වයක 2027 වෙනකොට රටට බිලියන 50ක විදේශ ආයෝජන එන්න නම් එක අවුරුද්දකට ඩොලර් බිලියන 5කවත් විදේශ ආයෝජන ලැබෙන්න ඕනෑ. මේ අංශ දෙකටම අදාළ කටයුතු වැඩි දියුණු කර ආදායම් වැඩි කර ගැනීමේ ආර්ථික සැලැස්මක් ආණ්ඩුවට තිබෙන බවක් පේන්න නෑ. ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන දේශපාලන හා ආයතනික තලයෙ අංශවල ගැටුම් නිර්මාණය වී තිබෙන බවකුත් පේන්න තියෙනවා. මේ තත්ත්වය නිසා දැනට තියෙන ණය අර්බුදය ඇතුළු සමස්ත අර්බුදය තවත් තීව්‍ර වෙන්න පුළුවන්. ආර්ථික කටයුතු මෙහෙයවන අංශ අතර තියෙන මේ ගැටුම් නිසා අපේ කොටස් වෙළෙඳපොළේ වගේම භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළේ මුදල් ආයෝජනය කරලා තිබුණු විදේශිකයො විශාල වශයෙන් තමන්ගෙ මුදල් ආපහු ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් තමයි රුපියල මේ විදියට අවප්‍රමාණය වීම.

 


ප්‍රශ්නය :- අපේ විදේශ සංචිතවල මුදල් ආයෝජනය කරලා තිබුණු ටෙම්පල්ටන් අරමුදලත් විශාල වශයෙන් සිය මුදල් ආපහු ගැනීමක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. මෙවැනි තත්ත්ව නිසා ඉදිරියෙදි ආර්ථිකයට ඇති විය හැකි බලපෑම් මොනවද? 
පිළිතුර :-
පහුගිය මාස 14 ඇතුළතදි මේ අරමුදල අපේ සංචිතවල ආයෝජනය කරලා තිබුණු මුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1475ක් ඉවත් කරගෙන තියෙනවා. පහුගිය මාස දෙකේදී විතරක් ඒ විදියට එළියට අරන් තියෙන මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන 475ක්. ඒකට ප්‍රධාන හේතුව වුණේ මුදල් අමාත්‍යාංශය මහ බැංකුව වැනි ආර්ථික කටයුතු මෙහෙයවන ආයතන අතර ඇතිවෙලා තියෙන ගැටුම්. මේ විදියට විදේශිකයො මෙහෙ ආයෝජනය කරලා තියෙන මුදල් ආපසු ගැනීමෙන් සිදුවෙන්නෙ ආපසු ලැබීම් විශාල වශයෙන් අඩු වෙන එක. මේ හේතුවෙන් අපේ රුපියල අවප්‍රමාණය වෙලා ආයෝජනවල සඵලතාව අඩුවීමකුයි වුණේ. ආසියානු මූල්‍ය අර්බුදය ඇති වුණෙත් මේ විදියටම විදේශ ආයෝජකයො තමන්ගෙ මුදල් ආපහු ඉවත් කර ගැනීම නිසා.

 


ප්‍රශ්නය :- මුදල් අමාත්‍යාංශය යටතේ තිබුණු මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට පත් කළ පසු අද වෙනකොට මේ ආයතන දෙක අතර විශ්වාසය පළුදු වී ඇති බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ ආර්ථික අර්බුදය උත්සන්න වීමට ආයතන අතර ඇතිවෙලා තියෙන විරසකකම් මොන විදියට ද බලපා තියෙන්නෙ?
පිළිතුර :-
මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කිරීම තමයි මේ ගැටලුවේ පටන් ගැන්ම. රටේ ආර්ථිකය ගැන මුදල් අමාත්‍යාංශය පැත්තෙන් හැමවෙලේම පින්තාරු කරපු චිත්‍රයක් ජනතාවට පෙන්නන්න හැදුවත් මහ බැංකු අධිපති විදියට අලුතින් පත්වුණු කුමාරස්වාමි මහතා ආර්ථිකයේ තියෙන අර්බුදය රටට කිව්වා. නමුත් මුදල් ඇමැතිතුමා ඒ කතාව පිළිගත්තෙ නෑ. මේ හැම දෙයකින්ම පෙනෙන්නෙ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ වගේම ඒකෙ ප්‍රමුඛතා ගැනත් මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි අතර ගැටුමක් තියෙන බවයි. අනිත් පැත්තෙන් බැඳුම්කර සිදුවීම නිසා මේ වෙනකොට මහ බැංකුවේ විශ්වසනීයත්වය බිංදුවටම බැහැලා තියෙන්නෙ. බැඳුම්කර සිද්ධියට අදාළව නිකුත් කරපු ගැසට් එක ගැන මුදල් අමාත්‍යාංශයයි මහ බැංකුවයි සිදුකරන පරස්පර ප්‍රකාශත් විශාල ප්‍රශ්නයක්. සමස්තයක් විදියට ගත්තහම ආර්ථික කටයුතු මෙහෙයවන මේ ආයතන අතර ඇතිවෙලා තියෙන ප්‍රශ්න ආර්ථිකයට ඒ තරම් හොඳ නැති බවයි කිව හැක්කෙ.

 


ප්‍රශ්නය :- ගෝලීය නව ලිබරල් වාදයට ලෝක මට්ටමින් එල්ල වෙමින් තිබෙන අභියෝග හමුවේ අපේ ආර්ථික ක්‍රමය ඉදිරියේ මොන වගේ අභියෝග අර්බුද නිර්මාණය වනු ඇතැයි කියාද ඔබ සිතන්නෙ?
පිළිතුර :-
ගෝලීය නව ලිබරල් ආර්ථිකයට එල්ල වෙමින් තියෙන අභියෝගය ලෝක මට්ටමින් තවදුරටත් ව්‍යාප්ත වෙනවා. ඇමෙරිකාවේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හරහාත් ඒක දකින්න ලැබුණා. සීමාසහිත වෙළෙඳාමක් සහිත ආර්ථිකවලට ගමන් කිරීම සුදුසුයි කියන අදහසක් තමයි මේ අභියෝගයත් සමග එළියට ඇවිත් තියෙන්නෙ. දේශීය ආර්ථිකයට ප්‍රමුඛත්වය දීමක් ගැන තමයි මේකෙන් කියවෙන්නෙ. මේ තුළ නව ලිබරල්වාදය යම් ප්‍රමාණයකට ප්‍රතික්ෂේප වීමක් තියෙනවා. එහෙම වුණාට මේක තව කොතරම් දුරට ආර්ථික ප්‍රතිපත්තියක් හා දැක්මක් විදියට රැඳෙයි ද කියන එක ගැන පැහැදිලි අදහසක් නෑ. ඒකට හේතුව තමයි විශාල ලෙස ව්‍යාප්ත වුණු ගෝලීයකරණය ආපසු හැරවිය හැකි ද යන ගැටලුව මතුවීම. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ක්‍රියාකාරීත්වය හරහා ඒක ආපසු හැරවිය හැකි ද කියන එක ප්‍රශ්නයක්. අනික තමයි ට්‍රම්ප් කියපු දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් ද කියන එකත් ප්‍රශ්නයක්. සංක්‍රමණික ගැටලුව ගැන ගත්ත තීන්දුව එක උදාහරණයක්. මම දකින විදියට මේ ඇති වෙලා තියෙන තත්ත්වය නව ලිබරල්වාදයේ ගමන් මග පිළිබඳ ආපහු හැරිලා බලන්න ලැබුණු හොඳ අවස්ථාවක්. නව ලිබරල් වාදයේ ගමන යම් ආකාරයකට අඩපණ වෙලා තිබුණට ඒක සම්පූර්ණයෙන්ම ඉදිරියට නොයයි කියලා කියන්න බෑ. ලෝකය නැවතත් මේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන හිතා බලන්න යොමුවෙලා තියෙනවා. ඒ නිසා සමහර අංශවලදි ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණයට ලක්වෙයි කියල බලාපොරොත්තුව තමයි දැනට තියෙන්නෙ. ඒකට හොඳ උදාහරණයක් තමයි 2001 දි පෞද්ගලීකරණය කරන්න යෝජනා කරපු සමහර රාජ්‍ය ආයතන පෞද්ගලික ව්‍යවසාය හවුල්කාරීත්වය යටතේ සංවර්ධනය කරන්න වර්තමානය වෙනවිට යෝජනා කිරීම. ඇමෙරිකාව වගේ රටක් ට්‍රම්ප් යටතේ ගෝලීය නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති ආපසු හරවන්න උත්සාහ කළත් ලංකාවට ඒ දේ කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්. මොකද අපි හැමදේම පිටරටින් ගෙන්වන ඒ මත යැපෙන ආර්ථිකයක් ගෙනියන නිසා. ඒ නිසා අපිට නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරන්න පුළුවන් ද කියන එක ප්‍රශ්නයක්.

සාකච්ඡා කළේ : උපුල් වික්‍රමසිංහ