එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් උපතේ සිට විපත දක්වාම දශක තුනක් පුරා ඔවුන් මෙරටට සිදු කළ දරුණු අපරාධ සමූල ඝාතන මෙපමණය කියා කිසිසේත්ම කිසිවෙකුට තක්සේරුවක් දිය නොහැකි තරම්ය. 


රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ වසර තිහක ආයු කාලය තුළ මෙරටේ අස්සක් මුල්ලක් නෑර රිංගා ජීවිත හා දේපළ රැසක් වනසාලූහ. 
ජන නායකයින් අමාත්‍යවරුන් මෙන්ම රණවිරුවන් රැසක් නිහඬ කළ කොටි උතුරු නැගෙනහිර මායිමේ ගම්මාන වලට පැන එදා අසරණ අහිංසක ජීවිත අමු අමුවේ බිලි ගත්හ. 


එපමණක් නොව ලේ පිපාසයෙන් වියරු වු ඒ කොටින් අසරණ මිනිසුන්ගේ ජීවිත දහස් ගණනින් ආබාධිත තත්ත්වයට පත් කළහ. 
දෙමාපියන්ට දු පුතුන්ද, දූ දරුවන්ට මව්පිය වරුන් ද බිරින්දෑවරුන්ට ස්වාමිවරුන් ද සදහටම වෙන් කළ කොටි රැළ 2009 වසරේදී අවසන් සුසුම හෙළුහ. 


බස් රථ වල බෝම්බ පුපුරවා සිංහල දමිළ මුස්ලිම් ජාතිකයන්ගේ ජීවිත රැසක් කොටි විසින් බිලිගත් යුගය අපට අමතක කිරීමට නොහැකියි.


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ පළමු ගොදුරු බවට පත් වුයේ නැගෙනහිර පළාතේ මායිම් ගම්මාන වල අහිංසක සිංහල වැසියන්ය. 
ගත වු වසර තිහ පුරාම පොළොන්නරුවේ මායිම් ගම්මානවල අසරණ වැසියන් මෙකී ත්‍රස්තයින්ගේ ම්ලේච්ඡ, අමානුෂික ක්‍රියාවන්ට වරින් වර මුහුණ දුන්හ. 


එදා වැලිකන්ද කොට්ඨාසයේ පිහිටි සිංහල ගම්මාන එල්.ටී.ටි.ඊ. ත්‍රස්තවාදීන්ගේ ගොදුරු ගම් බවට පත් වුයේ තොප්පිගල ඔවුන්ගේ රජ දහන බවට පත් වු නිසාවෙනි.  


නැගෙනහිර තොප්පිගලින් එලි බසිනා කොටි රැළ මායිම් ගම් වලට පැන අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරමින් එදා අහස පොළව නුහුලන සිය පාපතර අපරාධ ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කළහ.


එල්.ටී.ටී.ඊ.යේ. නැගෙනහිර ප්‍රධාන කඳවුර බවට පත් වු තිබු තොප්පිගල එදා සිංහල වැසියන්ගේ වදකාගාරයක් බවට පත්ව තිබිණි. 
සිංහල ව්‍යාපාරිකයින්, කිරි ගොවීන්, වී ගොවීන්, මුස්ලිම් වී මුදලාලිලාගෙන් කප්පම් ලබා ගැනීමට එල්.ටී.ටී.ඊ.යෙන් රැගෙන ගොස් කප්පම් දෙනතුරු දස වධ දෙමින් සඟවාගෙන සිටියේද තොප්පිගලය. 


පොළොන්නරුව වැලිකන්ද බෝවත්ත ගම්මානයද එල්.ටී.ටී.ඊ. ත්‍රත්තවාදීනඬ්ගේ දරුණු ප්‍රහාරයකට ගොදුරු වු ගම්මානයකි. 


බුදු අම්මෝ කොටි පැනලා. අපිව කපනවා. මරණවා. අපිව බේරා ගන්න කවුරුත් නැද්දෝ. කොටින්ගේ වෙඩි හඬ අතරින් බෝවත්ත ගම්වාසීන් එදා මර හඬ දෙමින් එලෙස කෑ මොර දුන්හ. 


ඒ 1995 ඔක්තෝබර් 20 වෙනිදා රාත්‍රියේදීය. සිංහල දමිල ආදිවාසීන් මෙන්ම සිංහල දමිල මිශ්‍ර පවුල් ජීවත්වෙන බෝවත්ත ගම්මානයට එදින අමතක නොවන රාත්‍රියක් විය. එදින කොටි ත්‍රස්තයින් බෝවත්ත ගම්මානයේ වැසියන්, කිරි බොන දරුවන් සහ ගැබිනි මව්වරුන් පවා කපා කොටා ඝාතනය කරමින් ලේ විලක්  බවට පත් කළේ ජීවිත 36 ක් නිහඬ  කරවමිනි. 


සොඳුරු ජිවිත රැසක් අඳුරු කරමින් ලේ කඳුළු ගංඟා බවට පත් කළ කොටි එලෙස මහා මිනිස් ඝාතනයක් කරමින් පළාතත් රටත් කම්පා කරවමින් සමූල ඝාතනයට මුල පිරූහ. 


එකී පවුල් වල ඉතිරි වු අනිකුත් ඥාති මිත්‍රාදීන් අසරණ දරුවන් මෙන්ම බිරින්දෑවරුන් අදට ද වන්දි ගෙවන්නේ රුධිරය වැගුරුණු මහ පොළවට කඳුළු සලමිනි. 


එදා කොටින්ගේ කුරිරු ඝාතනවල ප්‍රතිඵලයක් ලෙස බෝවත්ත ගම්මානයේ දරුවන්ගේ අධ්‍යාපනය අඩපණ විය. 


ගම්මානයේ පාසලද අදද වැසී ගොසිනි. ගම්වාසීන්ගේ සංවර්ධන සිහින අතර මඟ නතර වු ගමන්ය. ආර්ථිකයද මානසික තත්ත්වයද බිඳ වැටී ඇත්තේය. 


හරිහැටි ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට සිටි බෝවත්ත ගම්වාසීන්ගේ සිහින අදටද සැබෑ වී නොමැති තරම්ය. 


බෝවත්ත ගම්මානයේ නිවාස වලින් කොටසක් ගඩොලින් අඩක් නිම වු නිවාසයන්ය. පිරිසක් තවමත් පොල්අතු පැල්පත් යට දිවි ගෙවති. සුළු පවුල් පිරිසක් ඉටි රෙදි හා මැටි වලින් වට වු ගෙවල් වලම රැය පහන් කරති. පවුල් කිහිපයක් එදා යුද්ධයේදී අඩමානයට ඉදි කෙරූ නිවෙස් යටමය. 


එදා කොටින්ගේ ප්‍රහාරවල හේතුවෙන් බෝවත්ත ගම් වාසීන්ට සිදුව ඇති ආර්ථික, කායික, මානසික විනාශයන් මෙතෙක් යැයි මිල කළ නොහැකි තරම්ය. 


එදා යුද්ධය අතරතුර මෙළොවට බිහි කළ දරුවන්ගේ සෞඛ්‍ය පෝෂණ අයිතීන් ද අඳුරු වී ඇත්තේය. 


1995 ඔක්තෝම්බර් 21 වැනිදා අලුයම 1.30 ට පමණ බෝවත්ත ගම්මානයට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් සිව්දරු මවක වන 56 වියැති ඒ. ලීලාවති මහත්මිය තම බිහිසුණු අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි. 


එක පාරටම වෙඩි ශබ්දයක් ඇහුණා. අපි නින්දෙන් ඇහැරුණා. එදා ගමට ලයිට් තිබුණේ නැහැ. කුප්පි ලාම්පු විතරයි තිබුණේ. දෙමළ භාෂාවෙන් කෑ ගහනවා ඇහුණා. අපේ තාත්තා අපිට ඇහැරෙව්වා. ඉස්සරහ දොර ඇරියේ නැතුව තාත්තා අපේ ගෙදර ජනෙල් ඇරලා අපිව එළියට දා ගත්තා. අපි දුවලා හැංගිලා බේරුණා. කටුකමිබි වැටේ මං පැටලිලා වැටුණා. මට කොටි වෙඩි තිබ්බා. තුවාල වෙලා බේරුණා. මගේ අක්කයි අක්කගේ දුවයි කොටි කපලා මැරුවා. ඒ සිද්ධිය අපිට අද වගේ මතකයි. ඒවා කියද්දි අදටත් අපිට බය හිතෙනවා. යුද්ධය නතර කළ එකේ වටිනාකම නම් කියලා වැඩක් නැහැ. 


අද අපි මේ ගම් වල බය නැතිව ලුණුයි බතුයි හරි කාලා රෑට හරියට නිදා ගන්නේ යුද්ධය නැති නිසා. ඒත් මහත්තයෝ අපිට තිබුණ ආණ්ඩුවෙන් උදව් කළෙත් නැහැ. මේ ආණ්ඩුවෙනුත් තවම අපේ ගමට කියලා ලැබුණ දෙයක් නැහැ. යුද්ධය නිසා අපේ පාසල වැහුණා. ඒක දැං වල් බිහිවෙලා. විනාශ වෙනවා. අපේ දරුවෝ දැන් වැලිකන්දට සෙවනපිටියට තමා ඉස්කෝලේ යන්නේ. ඒකට අමතර වියදමක් යනවා. ගමට ඉස්සර රජයේ නිලධාරීන් ආවෙම නැහැ. අපේ ගමේ උප්පැන්න සහතික නැති හැඳුනුම්පත් නැති අය තවම ඉන්නවා. යුද්ධය ඉවර වෙලා දැං අවුරුදු හතක් වෙනවා. ඒත් අපි තවම එක තැන. 


යුද්ධය නිසා අතර මඟ නතර කරපු ගේ වැඩ එතැනමයි. අඩුම තරමේ අපිට නිවාස ණයක් වත් ලැබිලා නැහැ. ණය ඉල්ලුම් කළාම දෙනවා කියනවා. එච්චරමයි. දැං අපිට තියෙන ලොකුම කරදර තමා වල් අලි තර්ජනය. ඒ වගේම බොන්න හරියට පිරිසිදු වතුර ටිකක් නැති එක. 


ඒ වගේම රැකියා ප්‍රශ්නයත් අපේ ආර්ථිකයට බලපානවා. අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අපේ මේ ගැටලු වලට විසඳුම් දෙන්න කියලා. මේ ගමේ අපි අදටත් යුද්ධය නිසා බැටකනවා. ඒ ගැන බලන්න හොයන්න පළාතේ මැති ඇමතිවරුන් කවුරුවත් එන්නේ නැහැ. සමහර අයට අද යුද්ධයක් තිබුනද කියලත් අමතකයි. ඡන්දයක් තියද්දී මේ ගම් වලට පක්ෂ විපක්ෂ අපේක්ෂකයෝ ඇවිත් බොරු ගහලා ඡන්දේ ගන්නවා. ඊට පස්සේ පැත්ත පළාතේ එන්නේ නැහැ. අපි කියන්නේ දැන් ගමට ඇවිල්ලා අපේ ගැටළු වලට විසඳුම් දීපල්ලා කියලා. 

 


ඒ. ලීලාවතී මාතාව එලෙස වේදනා පිරි මුවින් කෑ මොර දුන්නේ යුද්දයට පෙර හා පසුවත් කිසිදු රජයකින් සෙතක් නොලැබුණ බව පවසමිනි. 


කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් එලෙස ඇසෙද්දී බෝවත්ත ගම්මානයේම තම පුතුන් දෙදෙනාත් ස්වාමියාත් කොටින් විසින් ගිල ගැනීමේ සිද්ධියෙන් හුදකලා වු 56 වියැති පී. මැණික්හාමි මාතාව කඳුළු සැළුවේ මෙලෙස පවසමිනි. 


මගේ පුතාලා දෙන්නයි මහත්තයයි කොටි කපලා මැරුවා. මම එදා ගමේ ගිහිල්ලා හිටියේ. ඒ නිසයි. මම බේරුනේ. මම ගමේ ගිය දවසේ  මගේ පුතාලාගේ යාළුවෙක් අපේ ගෙදරට ඇවිල්ලා හිටියා. එයාත් එදා රෑ කොටි මරලා දාලා. මගේ පවුලේ මම විතරයි. ඉතිරි වුණේ. අනුරාධපුර ගමේ ගිහිල්ලා මම කෙළින්ම ආවේ ගමේ සේරම මිනි වළදාන තැනටමයි. 1995 ඔක්තෝම්බර් 21 වැනිදා අපිට ජීවිතේ අමතක වෙන්නැති දිනයක්. එදා කොටි ගමට පැනලා ගමේ 36 දෙනෙක් කපලා කොටලා මරලා දැම්මා. අද මට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. කුඹුරු අඳේට දීලා තමා ජීවත් වෙන්නේ. පුතාලා දෙන්නා මැරෙනකොට වයස අවුරුදු 17 යි. 16 යි. එයාලා වෙනුවෙන් රුපියල් 30,000 ක වන්දියකුත් මහත්තයා වෙනුවෙන් රුපියල් 20,000 ක වන්දි මුදලකුත් රජයෙන් මට දුන්නා. සේරම වන්දි මුදල රුපියල් 50,000 ක් දුන්නා. 


ඒ සල්ලි වලින් මම අනුරාධපුර ඇතුම්ගම පන්සලට ස්පීකර් සෙට් එකයි තඹ පොල්තෙල් පහනකුයි අරං දුන්නා මහත්තයාට පුතාලාට පිං සිද්ධ වෙන්න කියලා. රජයෙන් කියලා මට ලැබිලා තියෙන්නේ සිමෙන්ති කොට්ට දහයක් විතරයි. යුද්දේ නිසා අදටත් මම මානසිකව වද විඳිනවා. සාමය ලැබුණ එකනම් ගොඩක් හොඳයි. ඒත් දැං අවුරුදු හතක් ගෙවුණා. යුද්ධය නතර වෙලා. අපේ ගමට වුණ සෙතක් නැහැ. 


අපි කියන්නේ රටේ පාරවල් හදනවා. බිල්ඩින් හදනවා. සංවර්ධනය කරනවා. අපි වගේ යුද්ධයෙන් අසරණ වෙච්ච ගම් වලටත් ඇවිල්ලා අපිට කීයක් හරි හොයා ගන්න කර්මාන්තයක්වත් දාලා දෙනවා නම් හොඳයි කියලා අපි කියන්නේ. මොන ආණ්ඩුව බලයට ආවත් යුද්ධයෙන් බැට කාපු අපි ගැන බලන්නේ නැහැ. අද මම කුඹුරෙන් ලැබෙන වී ටික නිසා ජීවත් වෙනවා. නැත්නම් මටත් වෙන්නේ මැරෙන්න තමා. 


යුද්ධයෙන් අසරණව තනි වෙච්චි අපි වගේ ගෑනු අයට රජයෙන් ආධාර ලබා දීලා ආර්ථික වශයෙන් නැගී සිටින්න උදව් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. 


බෝවත්ත ගම්මානයේ 53 වියැති තිදරු පියකු වන ජයන්ත එස්. රෝහණ මහතා ද එදින රෑ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් දිවි බේරා ගෙන ඇත්තේ  පෙර වාසනාවකටය. ගම්මානයේ ප්‍රධාන ආරක්ෂකයෙකු ලෙස සිටි රෝහණ මහතා තම බිහිසුණු අත්දැකීම මෙලෙසින් විස්තර කළේය. 


1995 අවුරුද්දේ අපේ ගමට ලයිට් තිබුණේ නැහැ. 


අපි ගිනිමැළ ගහගෙන බංකර් හදාගෙන සිංහල දෙමළ වැසියෝ එකම බංකරේ ඉඳිමින් ගම රැක්කා. හවස් වෙද්දී කෑම උයලා පහ හය වෙද්දී කෑම කාලා ගෙදර අය කැලේ හැංඟෙන්න යනවා. සමහර දවස් වල ලාම්පු නිවාගෙන ගෙදරම නිදි වරාගෙන ඉන්නවා. එදා ඔක්තෝබර් 21 වැනිදා පාන්දර 1.30 ට විතර වෙඩි ශබ්ද ඇහුණා. ගම මැද්දේ හමුදා කඳවුරක් තිබුණා. ඒත් ආමි එකෙන් නොවේ වෙඩි තිබ්බේ කියලා මට දැනුණා. 


මම බිරිඳට එළියෙන් හැංඟෙන්න කියලා මමත් තුවක්කුව අරං ගේ ඉස්සරහ මඩු ගහයට හැංගිලා හිටියා. දෙමළෙන් කෑ ගහගහ කොටි ගෙවල්වලට පැනලා වෙඩි තියනවා. අල්ලපු ගෙවල් වල අය මර ලතෝනි දීලා කෑ ගහනවා ඇහෙනවා. අපේ ගෙදරටත් කොටි තුන් දෙනෙක් ඇවිත් දොර කැඩුවා. මගේ තුවක්කුව ෂුවර් නැති නිසා වෙඩි තිබ්බේ නැහැ. කොටි දොර ජනෙල් කඩලා මගේ කැමරා දෙකත් අරං ගියා. මම හඳ එළියට මේ සියල්ල දැක්කා. මම දැක්කා එක කොටියෙක් අරං ගිය කැමරා දෙක ආයෙත් ජනේලයෙන් ගෙනත් දානවා. ඔහොම කොටි ගමේ කෙළවරට වෙඩි තියා තියා ගෙවල් වලට පැන පැන කපලා කොටලා යන්න ගියා. මම පාරට ගිහිං මගේ තුවක්කුවෙන් කොටි ගිය පැත්තට වෙඩි තියන්න හැදුවත් තුවක්කුව පත්තු වුණේ නැහැ. පස්සේ මමයි සිරි අයියායි උදේ තුවක්කුවක් අරං තාර පාරට ගිහිං බස් එකක් බලෙන් නවත්වා ගත්තා. මුස්ලිම් අය තමා බස් එකේ හිටියේ. ඒ අය බස්සවලා ගමට බස් එක අරං ඇවිත් කොටි කපලා කොටලා දාපු අයයි. මිනී ටිකයි ලෙඞ්ඩුයි දාගෙන වැලිකන්ද රෝහලට අරං ගියා. පස්සේ තමා ගමට පොලිසිය ආවේ. එදා ගමේ හමුදා කඳවුරේ ඉඳලා තියෙන්නේ හතර දෙනයි. ගමේ අය 36 ක් කපලා කොටලා මරලා දාලා තිබුණා. ලෙඞ්ඩු 10 ක් විතර හිටියා. ඒ අයත් ඉස්පිරිතාලයට අරං ගියා. මමයි සිරි අයියයි තමා සේරම මළ කඳන් බස් එකට පටවලා අරං ගියේ. 


අද මේවා ගමේ සමහරුන්ටත් අමතකයි. එහෙම දුක් වින්ද අතීතයක් අපිට තියෙනවා. දැං අපි කුඹුරු කරන් සතුටින් ජීවත් වෙනවා. අපිට දැං තියෙන එකම කරදරය තමා වල් අලි තර්ජනයය. ගමට පිරිසිදු වතුර නැති එකයි. ඒ වගේම ගමේ අයට රස්සාවල් නැහැ. උප්පැන්න විවාහ මරණ සහතික හැඳුනුම්පත් නැති අයත් ගොඩක් ඉන්නවා. 


ආණ්ඩුවෙන් මේ ගම්මාන ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා ගම්වල තියෙන ගැටලු විසඳලා දෙන්න කියන එකයි අපට යහ පාලන රජයෙන් ඉල්ලන්න තියෙන්නේ. අද අපිට හරියට වගාවක් කර ගන්න බැරි වල් අලි තර්ජනය නිසා. දැන්වත් අපේ දැවෙන ගැටලු වලට විසඳුම් ලබා දෙන්න. 


රෝහණ මහතා සමග එදා රෝහලට මළ මිනී සහ රෝගීන් රැගෙන යෑමට මැදිහත් වු බෝවත්ත ගම්මානයේ පදිංචි දෙදරු පියෙකු වන 63 වියැති ඩී.එම්. සිරිවර්ධන මහතා දැක්වුයේ මෙවන් අදහසකි. 

යුද්ධයේ ප්‍රතිඵල මත අතරමඟ නතර වු නිවසක්

 


මහත්තයෝ හැම රජයකින්ම කරන්නේ අසරණ මිනිසුන් තලා පෙළනවා. යුද්ධය ඉවර වුණාට මේ මිනිසුන් තවම දුක් ගින්දර ගොඩකයි ජීවත් වෙන්නේ.  කොටින් එක්ක යුද්ධ කරලා අපි දිනලා උන් වැනසුණ එක හොඳයි. නමුත් අපේ අයිතින් රජයෙන් ගන්න අපිට වෙනම යුද්ධයක් කරන්න වෙලා. අද රජයේ උසස් නිලධාරීන් දේශපාලනඥයින් ජාවාරම්කරුවන් බවට පත් වෙලා. සාමය ආවට පස්සේ අමුතුවෙන් කියලා මේ ගම් සංවර්ධනය වෙලා නැහැ. අපි තවම එතැනමයි. ගමේ සෞඛ්‍ය, අධ්‍යාපන, ආර්ථික ගැටලු එමටයි. ලොකු ලොකු අය වැලි ගොඩදානවා ජාවාරම් හැටියට. කැලෑ වනසනවා. අලි ගම් වදිනවා. අපි දුක් විඳිනවා. අපි එදා දැක්ක බත්කූරා, ගිරවා, ගේ කුරුල්ලා නැහැ. උන්ගේ පරිසරය අපි වනසනවා. කවදා හෝ මේ රටේ මදුරුවෝයි අපියි විතරක් ඉතිරි වෙයි. 


අද අපේ මිනිසුන් අතර යුද්ධයක් ඇති වෙලා. වෛරය, ඉරිසියාව, ජාවාරම් මංකොල්ලකෑම් රජ වෙලා. මේ රටේ හැම ආණ්ඩුවක්ම කරන්නේ රූප සංවර්ධනය. පාරවල් හැදිය යුතුයි. නමුත් ඊට පෙර මිනිසාගේ කුස පිරවෙන ආර්ථික වැඩපිළිවෙළකට රජය ගමන් කළ යුතුයි. යුද්ධය ඉවර වෙලා දැං අවුරුදු හතයි. ඒත් අපේ ගමට මොන සංවර්ධනය ද වුණේ. අද කොන්ත්‍රාත්කරුවාට ඕන පාරවල් හදලා උපරිම ලාභ හොයන එක වැඩක් වෙලා. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුව මේ කොටි ගහපු ගම්වලට ඇවිල්ලා සමීක්ෂණ කරලා ගමේ මිනිසුන්ට අත්‍යවශ්‍ය දේවල් කරලා දිය යුතු කාලය ඇවිල්ලා. දැං ආණ්ඩුව ආරම්භ කළ යුත්තේ මිනිසුන් කායිකව මානසිකව ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමේ යුද්ධයයි. 


අදටත් යුද්ධය නිසා මානසිකව පීඩා විඳින මිනිසුන් මේ ගමේ ඉන්නවා. ගෙවල් දොරවල් හරියට හදාගන්න ණය පහසුකමක් නැහැ. දරුවාට අධ්‍යාපනය දෙන්න ආර්ථික ගැටලු. මෙන්න මේවාටයි රජය පිළියම් සෙවිය යුත්තේ. ඒ නිසා මේ ගමට ඇවිත් මේවා සොයා බලන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. 


වෙඩි හඬ බෝම්බ බිය, ත්‍රස්ත මරණ තර්ජනය මායිම් ගම් වලින් තුරන් වී වසර හතක් ගෙවී ගොසිනි. කොටින්ගේ සියලු සැහැසිකම්, ම්ලේච්ඡච ප්‍රහාර වලට ගොදුරු වු මිනිසුන් තම ජීිවිත සොඳුරු කර ගැනීමට වෙර වීරය දරමින්  සිටිති. 


බංකර්, මුරපොළවල් වැසි ගොස් සැමට නිදහසේ ගමන් කිරීමට පරිසරයද උදා වී ඇත්තේය. බෝවත්ත ගම්වාසීන්ගේ අහිංසක ඉල්ලීම් මල්ඵල ගැන්වෙන්නේ කෙදිනකද? එකී ගම්වාසීන්ට සැබෑ අයිතීන් ලැබෙන්නේ කවදාද? ඒ ඔවුන්ගේ හදවත් තුළ බුර බුරා නැගෙන ප්‍රශ්නයයි. 


බෝවත්ත ගම්මානයට රජය මගින් කරන සංවර්ධන වැඩ පිළිවෙළ පිළිබඳව අප වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු මෙලෙස පැවසීය. 


අපි මේ ගම්මානයේ යුද්ධයෙන් පීඩා විඳි අසරණ පවුල් 24 ක් තෝරා ගෙන නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ නිවාස 24 ක් ඉදි කරලා ලබා දී තිබෙනවා. 


යුද්ධය නිසා අවතැන් වු පවුල් අටකට නිවාස අටක් ඉදි කරමින් සිටිනවා. ඒ වගේම විශේෂ පානීය ජල යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය නොවන සංවිධානයක් මගින් ගෙවතු වගා සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මකයි. ඒ වගේම ජීවනෝපාය සංවර්ධන වැඩ සටහන යටතේ දැනට පවත්වාගෙන සහ ගම්මානයේ අත්යන්ත්‍ර පේෂකර්ම මධ්‍යස්ථානය වැඩි දියුණු කරනවා. අපි පසුගිය කාලයේ විශේෂ ජංගම සේවයක් පවත්වලා උප්පැන්න විවාහ සහතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩ සටහනක් කළා. ඉදිරියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි බෝවත්ත ගම්මානයට වගේම යුද්ධයෙන් පීඩා විඳි ගම්මාන සංවර්ධනයට විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ ජනතාව මත්ද්‍රව්‍ය වලින් මුදවා ගෙන අධ්‍යාත්මික අතින් වගේම ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමේ විශේෂ වැඩ සටනක් කිරීම ඉතා වැදගත්. 


අපි ඒ සඳහා මැදිහත් වී සෑම අංශයකින්ම කටයුතු කරනවා. 


මෙරටේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී යුද්ධය අවසන් වුවද යුද්ධයෙන් පීඩා විඳි ගම්මාන වල ආර්ථිකය ජය ගැනීමේ යුද්ධය කෙළවර වී නොමැත. තම දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා දී කුසට බත පුරවා ගෙන හිසට සෙවණක් තනා ගැනීමට මේ අසරණයින් තවමත් මහා යුද්ධයකට මැදි වී සිටිති. එකී යුද්ධයත් ජය ගැනීමට මෙකී ගම්වලට රජයේ අවධානය යොමු වේය යන්න ඔවුනගේ ඒකායන ප්‍රාර්ථනයයි. 

සටහන හා ඡායාරූප මනම්පිටිය නිමල් ජයරත්න