IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පරිගණකයෙන් ලොවම ඇල්ලූ බිල් ගේට්ස්

ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

 

පරිගණක සහ අන්තර්ජාල ක්‍රියාවලිය නොමැති නම් අද මිනිසා හට කිසිවක් කරගත නොහැකි තරම්ය. අද මෙලෙසින් තොරතුරු තාක්ෂණය සමග පරිගණක ක්‍රියාවලිය ස්ථාපිත වී ඇත්තේ ගසට පොත්ත මෙනි. එය විටෙක මහා පුදුමයකි. මේ පුදුමය හමුවේ අරුම පුදුම වූ සමාගම වන්නේ ‘මයික්‍රෝසොෆ්ට්’ සමාගමය. අතිශයෝක්තියකින් තොරව ඒ ගැන ඉහළින්ම කතාකළ හැකිය. මීට වසර හතළිස් පහකට පමණ පෙරදී මෙම මයික්‍රෝසොෆ්ට් සමාගම ලෝකයට විවර නොවන්නට ලෝකය මේ තරම් දිගු තොරතුරු තාක්ෂණ ක්‍රියාවලියක නිරත නොවීමට ඉඩ තිබිණි. එමෙන්ම අන්තර්ජාල කටයුතු සහ පරිගණක ක්‍රියාවලියද මේ තරම් දියුණු ගමනක් නොඑන්නට ඉඩ තිබිණි. 


කෙසේ වෙතත් මෙම මයික්‍රෝසොෆ්ට් සමාගමට පිංසිදු වෙන්නට අද ලෝකය වඩාත් කාර්යක්ෂම ක්‍රියාවලියක නිරතව තිබෙන බව සඳහන් කළ හැකිය. නිරන්තරයෙන් වෙනස් වෙන ලෝකයේ ඒ වෙනස හඳුනාගෙන ඊට අනුගතව ලෝකය වෙනස් කරන සමාගම මෙම මයික්‍රෝසොෆ්ට් යැයි කිව හැකිය. බොහෝ සමාගම් පවතින්නේ ඒ සමාගමට අනුගත වූ ස්වරූපය සමග ලබාදෙන සේවාව මුල්කර ගෙනය. එහෙත් මෙම මයික්‍රෝසොෆ්ට් සමාගමේ වෙනස වෙන්නේ ඔවුන් නිරන්තරයෙන් වෙනස් වීමය. එසේ ඔවුන් වෙනස් නොවන්නට පරිගණක හා අන්තර්ජාල කටයුතු අවුල් ජාලයක් වෙන්නට පුළුවන. එද‌ා වසර හතළිස් පහකට පමණ පෙරදී ලෝකයට විවර වූ මෙම මයික්‍රෝසොෆ්ට් සමාගම යනු සමස්ත පරිගණක ක්‍රියාවලිය හා සම්බන්ධ වූ මහා වෘක්ෂය ලෙස නම් කිරීම වඩා උචිතය. ලොව බොහෝ ප්‍රකට සමාගම්, ලෝකයේ හොඳම සමාගම් 5 අතර පවතින්නේ කලාතුරකිනි. සමහර සමාගම් හොඳම තැනට ඇවිත් යළි ඒ තැනට පත් නොවන අවස්ථා තිබේ. එහෙත් මෙම මයික්‍රෝසොෆ්ට් සමාගම හට එය බිහි වූ ද‌ා සිට ලොව හොඳම සමාගම් 5 අතර නිරන්තරයෙන් වැජඹීමට හැකිවිය. මෙම පරිගණක ක්‍රියාන්විතයේදී ලෝකයට අත්‍යාවශ්‍ය වෙනස සහ ආරක්ෂණය සම්බන්ධයෙන් වූ වෙනස් කළ යුතු දේ, වෙනස් කරමින් ගමනක් යන මෙම අරුම පුදුම සමාගම බිහිකළ විශිෂ්ටයා වන්නේ අන් කවරකුවත් නොවේ. ලොව අංක එකේ පොහොසතා වන බිල් ගේට්ස්ය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අපි මෙම මයික්‍රෝසොෆ්ට් සමාගම ගැන සහ ලෝකයේ අංක එකේ ධනවතා යැයි හැඳින්වෙන බිල්ගේට්ස් ගැන විස්තර කියවමු. 


‘මයික්‍රෝසොෆ්ට්’ බිහිකළ මෙම බිල් ගෙට්ස් කවුද? 


මයික්‍රෝසොෆ්ට් සමාගමේ කතාවට පෙර එම සමාගම බිහිකිරීමට පුරෝගාමී වූ මෙම බිල් ගේට්ස් කවුද කියා අපි මුලින්ම දැන ගනිමු. බිල් යන නාමයෙහි තේරුම තිරසාර හෝ නිශ්චිත ආරක්ෂණය යැයි සඳහන් වේ. එය එසේ වී නම් බිල් ගේට්ස් යනු තිරසාර දොරටුවක් ලෝකයට විවර කර දුන් අරුම පුදුම මිනිසකු වෙයි. ඔහුගේ සම්පූර්ණ නාමය වන්නේ විලියම් හෙන්රි ගේට් iii (තුන්වැනි) යන්නය. 1955 වසරේ ඔක්තෝබර් 28 වැනිද‌ා බිල් උපත ලැබුවේ ඇමෙරිකාවේ වොෂිංටන් ජනපදයේ සියැටල් හිදීය. ඒ බිල් ගේට්ස් (ජ්‍යෙෂ්ඨ) සහ මේරි මැක්ස්වල් යුවළගේ වැඩිමහල් පුත්‍රයා ලෙසය. ඔවුනගේ පෙළපත පැවත එන්නේ ඉංග්‍රීසි - ජර්මානු අයිරීස් සහ ස්කොට්ෂ් යන සම්භවය ඇතුව යැයි සඳහන් වේ. බිල්ට වැඩිමහල් සහෝදරියක සහ බාල සහෝදරියක වෙයි. ගේට්ස් යනු හොඳ පරම්පරාවකින් පැවත එන චරිතයක් ලෙස සඳහන් කළ හැකිය. පියා කටයුතු කර ඇත්තේ නීතිඥවරයකු ලෙසය. මව බැංකු සේවයේ නිරත වූවාය. පියා ප්‍රකට නීතිඥවරයකු වූ අතර මව අන්තර් රාජ්‍ය බැංකු සේවාවේ ප්‍රථම අධ්‍යක්ෂවරිය වූවාය. මවගේ පරපුරේ සීයා ජාතික බැංකු ප්‍රවාහයේ සිටි සභාපතිවරයකු විය. මෙලෙසින් පැවත එන බිල් සහ මව පියා මෙන්ම සහෝදරියන් දෙදෙනා එවකට ජීවත් වූයේ සියැටල්හි සෑන්ඩ් පොයින්ට් හිදීය. අග හිඟකම් වලින් තොර පවුලක් වුව ද, වයස අවුරුදු 7 දී පමණ අමතක නොවන සිදුවීමකට මුහුණ දීමට බිල් හට සිදුවිණි. එනම් ටොනේඩෝ සුළි කුණාටුවකට හසුව ඔවුනගේ නිවස සුන්බුන් ගොඩක් බවට පත්වීමය. ඒ නිසා පුංචි බිල් සියුම් තැති ගැන්මකට ලක් වූවේය. පාසල් ජීවිතය ඇරඹූද‌ා සිට බිල්ගේ මව් පිය දෙදෙනා ඔහුට කියා සිටියේ කවද‌ාක හෝ නීතිඥවරයකු වෙන්න කියාය. නීති විෂයය හැදෑරීමට ඔවුන් බලකර සිටි බව පැවසේ. එසේ වීද, බිල් නම් සිටියේ නීති විෂයට ආදරයකින් නම් නොවීය. ඔහු නීති විෂය කෙරෙහි උනන්දුවක් නොදැක්වීය. තම පවුලේ උදවිය නිතිපතා රෙපරමාදු නිකාය පැවැත් වූ පල්ලියේ වැඩසටහන්වලට සහභාගි වුව ද පුංචි බිල් හට එවැනි දේ කෙරෙහි එතරම් රිසි බවක් නොතිබිණි. මෙකී ස්වරූපය යටතේ ළමා කාලය ගෙවමින් සිටියදී වයස අවුරුදු 13 දී පමණ ලේක්සයිඩ් පුද්ගලික පාසලට ඇතුළත් වීමට ඔහුට හැකිවිණි. මව්පියන් ඔහු ඒ වෙත යොමු කරවන්නට ඇත්තේ ද ඔවුනගේ අනාගත අපේක්ෂාව වූ පුතු නීතිඥවරයකු කරවීමේ අරමුණ ඇතිව විය හැකි වුව ද බිල් එතැනදී තමාගේ අනාගත ගමනාන්තය වෙත ප්‍රථම පියවර තැබීමට සමත් විණි. 
ඒ කතාව පසුව කීමට තබා බිල්ගේ ළමා විය ගැන යමක් කිව යුතුමය. කුඩා කාලයේදී ඔහු වයසේ තරමට හැදී වැඩුණු දරුවකු නොවීය. මේ නිසා අනෙකුත් ළමුන් අතර නිරන්තර උසුළු විසුළුවලට ලක්වූ දරුවකු විය.

 
‘ඒයි මිට්ටා, කොටා, කෙසඟයා, කණ්ණාඩි පොළඟා’ මේ විදියට අනෙකුත් ළමුන් ඔහුව පීඩනයට ලක් නොකළේද නොවේ. මෙවැනි පරිසරයකදී කුඩා බිල් ගත කළේ ඉතා ලජ්ජාශීලිවය. එමෙන්ම ඉතා සංයමයකින් යුතු දරුවකු වීය. ඔහුගේ ප්‍රියතම විනෝදාංශය වූයේ තමාගේ කාමරයට වී වැඩි කාලයක් ගත කිරීමය. එහි සිට ඔහු කළේ පොත් කියවීමය. ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි නම්, බිල් තම ශරීරය උස් මහත් කරවා ගත්තේ ආහාරපාන වලින් පමණක් නොවීය. ඊට වඩා ඔහුගේ ආධ්‍යාත්මය රැඳී තිබුණේ ආත්මයෙන්ම ගෙනා පොත් කියැවීමේ විනෝදාංශය වෙතය. වරු ගණනක්, පැය ගණනක් තිස්සේ පොත් කියවීම පුංචි බිල්ගේ අනිවාර්ය පුරුද්දක් විය. මෙලෙසින් හැදී වැඩුණු බිල් යනු ළමා වියේදී සමාජගත වූ චරිතයක් නොවීය. උසස් පාසලේ අධ්‍යාපනයෙන් පසුව ඔහුගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ ගණිත විෂය උගැන්වීමටය. 


 ‘මට ආසා ගණිත විෂය උගන්වන ගුරුවරයකු වෙන්නැයි’ විටෙක ඔහු උසස් පාසලේදී මිතුරකු වූ පෝල් ඇලන් හට කියා සිටියේය. පෝල් ඇලන් යනු බිල්ගේ ළමා කාලයේ සිටි හොඳම මිතුරා විය. 


‘පිස්සුද අයිෂෙ, ඔය මොන රස්සාවක්ද’ යන්න තරමේ බැල්මක් පෝල් - බිල් වෙත හෙළීය. ඔහු ඒත්තු ගැන්වූයේ මෙවැනි දෙයක් නොකර පරිගණක අංශය ඔස්සේ යමක් කරන්න යනුවෙනි. 


‘තම මිතුරා දුන් අදහස ඔහු එක්වරම තම ජීවිතයට බද්ධ කර ගත්තේය.’ 


‘ඔව් මගේ යාළුවා හරි මම එය කර පෙන්වමි.’ යන අදිටනින් යුතුව බිල් නිශ්චිත අරමුණකට එළැඹියේය. 


ඒ අනුව තමා උගත් පාසලේ (ලේක්සයිඩ්) ස්වකීය ප්‍රථම මෘදුකාංග වැඩසටහන නිර්මාණය කිරීමට ඔහු හට හැකිවිණි. එවිට ඔහු උගෙනුම ලබමින් සිටියේ අටවැනි ශ්‍රේණියේය. 
‘අපේ පාසලට මාර පුංචි හපනෙක් ඇවිල්ලානෙ. පුදුම වැඩකාරයෙක්. බලන්නකො කරලා තියෙන හපන්කම්’ මේ ආදී විදියට පාසලට පැමිණෙන අනෙකුත් දරුවන්ගේ මව්වරු මෙන්ම ගුරුවරු ද නිතර කතාබහා කරන්නට වූයේ ‘බිල්’ ගැනය. කටින් කට මේ දරුවා ගැන බොහෝ දෙනා අතර තොරතුරු හුවමාරු විය. ස්වකීය ප්‍රථම මෘදුකාංගය නිර්මාණය කිරීමෙන් ලද මුදලින් ටෙලි ටයිප් මොඩල් - 33 නමැති පරිගණක පුවරුව මිලදී ගැනීමට මෙන්ම තවත් සාමාන්‍ය යන්ත්‍රයක් මිලදී ගැනීමට පාසලට හැකිවිණි. ඔහු ඒ මගින් ‘ටික් ටැක් ටෝ’ ක්‍රීඩාව පරිගණකය ඔස්සේ කළ හැකි මෘදුකාංගය සකසා ගත්තේය. 


‘බිල් ගේට්ස්’ තම වයසට වඩා මුහුකුරා ගිය දැනුමින් පොහොසත් යෞවනයකු සේ මෙම ක්‍රියාව සිදුකළ ද, ඔහුගේ මව්පියෝ නම් ඒ ගැන එතරම් තැකීමක් නොකළහ. 
‘අනේ ඔයාගේ පුතා හරිම වැඩකාරයෙක්නෙ.’ කියා අනෙකුත් අම්මලා ඇවිත් කීව ද බිල්ගේ මවට හෝ පියාට එය එතරම් වැදගත් නොවූයේ ඔවුනගේ අරමුණ වී තිබුණේ පුතා නීතිඥවරයකු වීමේ සිහිනය මත වීම නිසාය. 


මව්පිය දෙපළ සතුටු කරවීමට බිල් හාවඩ් සරසවියට යාම 


ඉගෙනීම ආසාවෙන් කරන ලොව බොහෝ දරුවන්ගේ ආසාව වෙන්නේ ලොව ප්‍රමුඛතම සරසවි අධ්‍යාපන ආයතනයක් වෙන හාවඩ් සරසවිය වෙත උසස් අධ්‍යාපනය සඳහා යාමටය. එසේ වුව ද, බිල් ගේට්ස් එද‌ා හාවඩ් සරසවියට බැඳුණේ තම මව්පිය දෙපොළ සතුටු කරවීම වෙනුවෙනි. හාවඩ් සරසවිය සතු හාවඩ් නීති පාසලට එද‌ා ඔහු ඇතුළත් වීය. නීති විෂය ගැන උගෙනීමට ඇති පොත් අතට ගෙන ඒ වැඩේට අවතීර්ණ වුව ද බිල්ගේ මනස ඇදී ගියේ පරිගණක අංශය වෙතය. ඔහු උදේ, දිවා, රාත්‍රී දුටු සිහිනය එයම විය. නීති විෂය ඔහුට අල්ලා නොගිය බැවින් ඔහු නිර්භීත පියවරක් ඉදිරියට තැබුවේය. 

 

 


‘එනම් හාවඩ් එක අතහැර යාමය’ 


ඉනික්බිතිව කුඩා කල සිට ඔහු මැවූ සිහිනය ප්‍රායෝගික කරගැනීම උදෙසා කටයුතු කරන්නට විය. එනම් ඔහු ඔහුගේ ඉලක්කය ලුහුබැඳ යන්නට විය. තම මිතුරා වූ පෝල් ඇලන් සමග මයික්‍රෝසොෆ්ට් ආයතනය ස්ථාපිත කිරීමට ඔහුට හැකි වූයේ ඒ ලුහුබැඳ යාම නිසාය. 


මයික්‍රෝසොෆ්ට් සමාගම බිහිකිරීම 


1975 අප්‍රේල් 4 වැනිද‌ා මයික්‍රෝසොෆ්ට් සමාගම බිහි කිරීමට බිල් ගේට්ස් සහ පෝල් ඇලන් හට හැකිවිණි. හැබැයි ඒ සියල්ල සිදුවූයේ හොඳටම නොවීය. එනම් සියල්ල නිසි ලෙසටම සිදු නොවීය. වයස 20 තරුණයකු වූ බිල් ගේට්ස් හට පළමුව ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවිණි. ඊට හේතුව වූයේ ඔවුනගේ වරද නොවීය. ඔවුන් සේවා සැපයූ යෝධ ආයතන බොහෝමයක් බංකොළොත් වීම නිසාය. එලෙසින් බිල් ගේට්ස් යනු බොහෝ අභියෝගවලට මුහුණ දුන් තවත් චරිතයක්ම විය. ඒ අභියෝග හමුවේ ඔහු විශ්වාස කළ දෙයක් තිබිණ. එනම් පරිගණක වින්ඩෝස් (Window) තිරය මත විශ්වාසය තැබීමය. එය නිර්මාණය වෙතින් පරිශීලකයන් 90% ක් පමණ තම ආයතනයට ග්‍රහණය කරගත හැකිවේ යැයි සිතුවද සිදුවූයේ එහි අනෙක් පැත්තය. 90% ක් වෙතින් එය ප්‍රතික්ෂේප විය. 


‘මම හරිම නැහැ. මම ඉක්මනට නිවැරදි වෙන්න ඕනෑ.’ වින්ඩෝස් ක්‍රියාකාරකම අසාර්ථක වීම හමුවේ ඔහු විශ්වාස කළේ එලෙසිනි. කෙසේ වෙතත් අසාර්ථක වීම් හමුවේ ඔහු කනස්සල්ලට පත්විය. ඒ අසාර්ථක වීම නිසා තමාට තමා ගැන නැවත මැන බැලීමට හැකි වූ බව ඔහු පසු කලෙක පවසා සිටියේය. 


‘ළිඳේ වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ ආ යුතුය.’ 


එලෙසින් මයික්‍රෝසොෆ්ට් ඇරඹි බිල් ඒ වෙතින්ම ගොඩ යා යුතුව තිබිණි. 


ඉතා දුෂ්කර දෙවැනි කාල පරිච්ජේදයකින් පසුව බිල් සෑහෙන වෙහෙස මහන්සියට පත්ව සිටිය ද උත්සාහය අත් නොහැරීය. ‘වින්ඩෝස් - 2’ (Windows-2) කරළියට ගෙන ඒමට හැකිවූයේ එහි ඵලයක් ලෙසය. 


‘හෙලෝ වර්ල්ඩ්’ 


ඔන්න මං ආවා. යනුවෙන් වින්ඩෝස් - 2 ලෝකයට ආමන්ත්‍රණය කළේය. ඒ හැරත් ඒ වෙනුවෙන් අවද‌ානමක් ගෙන බිල් විශාල ආයෝජනයක් කර තිබිණ. මයික්‍රෝසොෆ්ට් වර්ඩ් සහ එක්සෙල් ඉන්පසුව කරළියට ගෙන ඒමට මයික්‍රෝසොෆ්ට් ආයතනයට හැකි විය. ‘වින්ඩෝස්’ ක්‍රියාවලිය සැබැවින්ම ගෙන දුන්නේ විප්ලවීය වෙනසකි. පරිගණක ලෝකයේ විප්ලවය එයම බැව් සඳහන් කිරීම වටී. බිල්ගේ ප්‍රයත්නය හමුවේ අවසන මුළු ලෝකයේම 90% ක් දෙනා හට මේ වින්ඩෝස් මුහුණුවර නැතුව බැරි වූයේ එය අන්තර්ජාලය දකින නෙත් යුග මෙන් වූ නිසාය. කැඩපත මෙන් වූ නිසාය. 


31 වෙද්දී ලෝක ධනවතකු බවට පත්වීම 


මෙම ක්‍රියාවලිය අවසන බිල් නතර වූයේ වයස අවුරුදු 31 වෙන විට ලොව ප්‍රකෝටිපතියකු බවට පත් වෙමිනි. බොහෝ දෙනා හට ඇටෙන් පොත්තෙන් ඒමට පෙර විවාහයක් ගැන සිතිවිලි තිබිය හැකිය. බිල් විවාහය ගැන කිසිවිටෙකත් ප්‍රශ්නයක් කර ගත්තෙකු නොවීය. 1994 මෙලින්ඩා ඈන් ෆ්‍රෙන්ච් සමග විවාහ වෙන විට ඔහුගේ වයස අවුරුදු 39 ක් පමණ විය. ඉනික්බිතිව දරුවන් තිදෙනෙකුගේ වාසනාවන්ත මව්පිය යුවළ මේ ගේට්ස් යුවළම විය. ජෙනිෆර් කැතරීන්, රෝරි ජෝන් ගේට්ස් (එකම පුතු) සහ ෆෝබ් ආඩෙල් යනු බිල්ගේ වාසනාවන්ත දරුවෝ වෙති. වයස 31 න් පසුව ඔහු විවාහය තෙක් යන ගමනේදී කිසිදු තැනක නතර වීමක් නොකළේය. එනම් නව සොයා ගැනීම් කරා බොහෝ සෙයින් සෙවුම් බැලුම් කරමින් පර්යේෂණාත්මක ගමනක නිරත විය. ඒ නිසාම විවාහයට පෙර බිල් හට ලොව අංක එකේ ධනවතා වීමට හැකිවිණි. 


ලොව විශාලතම පුණ්‍යායතනය 


විශ්වාස කරන්න, ලෝකයේ විශාලතම මුදල් පරිත්‍යාගයක් කරමින් ස්ථාපිත කළ පුණ්‍ය ආයතනය, එනම් සමාජ සත්කාරක ආයතනය වෙන්නේ බිල්ගේ බිරිඳ මෙලින්ඩා ගේට්ස්ගේ මූලිකත්වයෙන් ඇරඹි ‘බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමය.’ ඩොලර් මිලියන 45 ක මුදලක් ඒ වෙනුවෙන් බිල් සහ බිරිඳ මූලික පිරිවැය ලෙස පරිත්‍යාග කර තිබේ. බිල් ගේට්ස්ගේ ධනය ගැන මැන බැලීමට එය කදිම උද‌ාහරණයකි. බිල් නිතරම මෙලින්ඩා හට ගරු කරන අතර ලොව බලගතුම කාන්තාව ඇය බව ඔහු විශ්වාස කරන්නේ ඇය හොඳ දර්ශනයක් ඇති නුවණැත්තියක වෙන බැවිනි. 


මයික්‍රෝසොෆ්ට් අද 


මයික්‍රෝසොෆ්ට් සමාගම යනු අද ලෝකයේ සමස්ත පරිගණක ක්‍රියාවලියේ අනාගතය දකින්නාය. මයික්‍රෝසොෆ්ට් ලෝකයට අලුත් අරුතක් කියා දෙමින් සිටින සමාගමකි. ඔවුනගේ අඛණ්ඩ සාර්ථකත්වයට හේතුව ද එයමය. දෑස් නොපෙනෙන අයට එය ප්‍රශ්නයක් කර නොගෙන ලෝකය දකින්නට මෙන්ම එලෙසින් ආබාධයන්ට නතුව උපන් මිනිසුන්ට ආලෝකයක් වීම උදෙසා ස්වකීය තාක්ෂණය වෙතින් මහාර්ග නිර්මාණ ක්‍රියාවලියක් උත්පාදනය කිරීම ඔවුනගේ අරමුණය. ඒ නිසා භාෂා ප්‍රශ්න, ප්‍රශ්න නොවන්නේය. තමා කැමැති භාෂාවෙන් අනෙකා හා සංවාදයේ යෙදීමට පවා ඔවුනගේ තාක්ෂණය ලොවට ද‌ායාද කරමින් සිටී. ආගම, ජාතිය, වර්ණය, කුලය, මේ කිසිවක් ප්‍රශ්න කර නොගෙන අප ලෝකය හා සමීප කරවීම වෙනුවෙන් ලොව සමාජ සවිබල ගන්වන්නා ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගම, ක්‍රියා කරමින් සිටී. එහිදී වත්මනෙහි එහි ප්‍රධාන විධායක නිලධාරියා වන ඉන්දීය සම්භවය ඇති සත්‍යා නඩෙල්ලා ගැන ද කිව යුතුමය. එම සමාජ සවිබල ගැන්වීමේ තාක්ෂණික මෙහෙයුම පිටුපස නව ලෝකයට බොහෝ දේ ද‌ායාද කරවීම උදෙසා වත්මනෙහි දිරිදුන් මිනිසා මේ සත්‍යය නඩෙල්ලාම වෙයි. ඔහු ගැන අපි වෙනම කතාකළ යුතු වන්නේ ඔහුද සාමාන්‍ය මිනිසකු අබිබවා ගිය අපරිමාණ චරිතයක් වන බැවිනි. 

 

 


බිල්ගේ ජීවිතයෙන් ගත හැකි දේ 


ලෝක ධනවතා වෙන මම බිල් ගේට්ස් යනු ධනයට වඩා මොළය වඩවා ගත් චරිතයකි. ඔහුගෙන් සමාජයට ගත හැකි දේ බොහෝය. ඉගෙන ගත යුතු දේ බොහෝය. ඔහුගේ ජීවිතය දිහා විපරම් කර බලා සාර්ථකත්වයෙන් ගත හැකි දේ බොහෝය. 


‘මම ඔබට කියන්නේ නැහැ මම වගේම පාසලින් අයින්වෙලා (නීතිය අත්හැර) ඊළඟ බිල් ගේට්ස් වෙන්න කියලා. 


එවිට ඔබට අසහාය චරිතයක් විය නොහැකියි. 'do with passion, have a vision' ඔබට ඔබගේම රිද්මයකට අනුව ඔබගේම දර්ශනයක් ඇතිව ගමනක් යාම වඩා සුදුසුය. 
ඔව් මට එය කළ හැකිය යන මානසික ශක්තිය ඔබට තිබිය යුතුය. නමුත් කරන කුඩා ව්‍යාපාරයකින් හෝ වේවා එවිට ඔබට සාර්ථක විය හැකිය. එය ඔබ ගෙදර සිට කරන ව්‍යාපාරය විය හැකිය. වාදනය විය හැකිය. ක්‍රීඩකයෙක් විය හැකිය. කුමක් හෝ වේවා ඔබ නියැලෙන දේ කෙරෙහි තදින්ම විශ්වාසය තබන්න. 


මම ජීවිතයේ කී වතාවක් නම් වැටිලා තියෙනව ද? ඒත් අසාර්ථක වීම්වලට මාව වට්ටවන්න මම ඉඩ තැබුවේ නැහැ. ඒ නිසා අසාර්ථකවීම්වලට ඔබව වට්ටවන්නට ඉඩ නොදෙන්න.’ 
දර්ශනයක් ඇති ඒ මහා මිනිසා වන බිල් ගේට්ස් අපට කියා සිටින්නේ එලෙසින්මය.

 

 

 

සටහන - සඳුන් ගමගේ



අදහස් (1)

පරිගණකයෙන් ලොවම ඇල්ලූ බිල් ගේට්ස්

sachith Monday, 30 March 2020 11:58 AM

ඉතාමත් හොද පුවතක්. මේ වගේම ලෝකේ දෙවනියට වැඩියෙන් පාවිච්චි වෙන සර්වර්, සුපිරි පරිගණක වල පාවිච්චි වෙන්න ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය ,එකේ නිර්මාතෘ ලිනස් ට්‍රුවොඩ්ස් ගැනත් මේවගේම ලිපි පළකරන්න. ඒ වගේම පරිගණක අංශයේ ආරම්භකයන් වෙන ඇලන් ටියුරින් වගේ අය ගැනත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2859 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 13 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1413 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 420 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 162 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site