IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දෙගුරුන්ට අකීකරු වූ යුවතියකටකරුමය පල දෙයි

ජීවිතය යහ මඟට ගැනීමට නිවැරැදි දැක්මක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


රිකිල්ලගස්කඩ ටී.ඇම්. සෝමපාල මහතා ලියා එවූ කතාවකි.   


අගනගරයක පදිංචි වතු පිටි ඉඩ කඩම් යහමින් ඇති ප්‍රසිද්ධ ව්‍යාපාර කිහිපයක් සාර්ථකව පවත්වාගෙන යන පවුලකට දෙවැනි දරු උපත සිදු වූයේ ගැහැනු දරුවෙකි. ලැබූ එම දරුවා කුඩා අවදියේ සිටම අතිශයින්ම රූමත් දැරියක වූවාය. එමෙන්ම වාසනාවන්ත දැරියක්ම වූවාය. ඇය වෙනුවෙන් පැවැති වැඩිවිය උත්සවයේදී ඒ සඳහා ආරාධනා ලැබූ අනෙකුත් ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් ඇය ලැබූ රන්භාණ්ඩ හා මැණික් ආලේපිත ත්‍යාගවලින්ම ඇය පොහොසත් බවේ පිය ගැටපෙළ පළමු පඩියට සම්ප්‍රාප්ත වූයේ ළමා අවදියේදීමය. 

 
උපතින්ම පංච කල්‍යාණයෙන් රුව ලත් ඇයට උපරිම සැප, නිදහස ලැබුණකි. ඇය නගරයේ ළදරු පාසලකට යවන්න තරම් නව පන්නයේ කාර් රථයක් මිලදී ගත්තේ වෙනත් සැප පහසු වාහන ඔවුන් සතුව තිබෙද්දීය. පාසල් වයස ළඟාවත්ම නගරයේ බාලිකා පාසලකට ඇතුළු කළ ඇය පාසල් පැමිණීම සඳහා ආපසු යාම සිදු කරනු ලැබුවේ ඇය සඳහා වෙන් කළ එම රථයෙනි. විශේෂිත රියැදුරෙක් ඒ සඳහා පමණක් පත් කරනු ලැබීය.   


අධ්‍යාපන කටයුතුවලටත් වැඩි නැඹුරුවක් දක්වන ඇය සෑම පංතියකම පාහේ වාර විභාගවලින් ලකුණු ලැබූවත් පංතියේ ඇයට ලබා ගත හැකි වූයේ දස වැනි හෝ එකොළොස් වැනියා ලෙසය. කෙමෙන් අ​.පො.ස. සාමාන්‍ය පෙළ පංතියට ළඟා වූ ඇය ප්‍රථම වාර විභාගයෙන් පළමු වැන්නා වූවොත් නව පන්නයේ සුඛෝපභෝගී කාර් රථයක් පාසල් යාමට ලබා දෙන බව මාපියන් විසින් කරනු ලැබූ දිරි ගැන්වීම කො​ෙතක් සාර්ථක වීද කිවහොත් අ.පො.ස. උසස් පෙළ සමත් වනවිට ඇය අඛණ්ඩව පංතියේ ප්‍රථම ස්ථානයන්ම රැක ගැනීමට සමත් වුණි.   


උසස් පෙළ විභාගයෙන් උසස් සාමාර්ථයක් ලත් ඇය සරසවි වරම් හිමි කර ගනිමින් වාණිජ අංශ​ෙයන් උපාධියක් හිමි කර ගැනීමට වාසනාවන්ත විය. සරසවි ජීවිතය නිමවා නිවසට පැමිණි දිනම ඇය පෞද්ගලික බැංකුවකට සම්මුඛ පරීක්ෂණයෙන් තෝරාගෙන ඇති බවට ලිපියක් නිවසට ලැබී තිබිණ.   


එතැන් සිට බැංකුවේ සේවය කරමින් කාගෙත් හිත ගත් ඇය කෙටි කලකින් බැංකුවේ ස්ථිර සේවිකාවක් බවට පත් විය. මේ අතර මාපියන් ඇයගේ දියුණුව පතා නැදෑකමින් මස්සිනා වූ සහකාර ප්‍රාදේශීය ලේකම් සමග විවාහ වන ලෙසින් යෝජනා කළ ද ඇය එයට පසුව බලමුයි කියමින් කල්මරන්න පටන් ගෙන තිබුණි. හය කෝටියක පමණ වටිනා ඉඩමක සුවිසල් මන්දිරයක් නව කාර් රථයක් ලබා දෙන අතරතුර එයට අතිරේකව කුරුණෑගලින් පොල් අක්කර පහකුත් මව​ෙග් පාර්ශ්වයෙන් ලැබෙන බව මාපියන්ගෙන් ප්‍රකාශ වුණි. බූදලය පිටත අයෙකුට දෙනවාට වඩා පවුලේ අයකුට ලබා දීම මෙයට හේතුව බව ඇය වෙත කියා සිටියාය.   


මාපිය යෝජනාව කෙසේ වුවත් ප්‍රාදේශීය ලේකම්ගේ සම කළු වර්ණය ඇයට සිත් නොගත්තේය. අනෙක් ලේ ඥාතීන් සමග විවාහ වීමට නුසුදුසු බවට තිබෙන වෛද්‍ය මතයක් එයටම සාධක වුණි. ඇය ප්‍රශ්නය කල් මරන නමුත් මාපියන්ගේ උත්සාහය නතර වූයේ නැත. කාර්යාලීය සේවකයකු සමගින් පළමු ප්‍රේමය ඇය පටන්ගෙන ඇති බව මාපියන් දැන ගත්තොත් සිදු වන අලකලංචිය ගැන ඇය නොදන්නාම නොවේ. සියල්ල රහසක් ලෙස පවත්වන්නට ඇය තීරණය කරමින් කාර්යාලීය හිතවතුන්ගේ සහභාගිත්වයෙන් අැය පෙම්වතා සමග විවාහ ගිවිස ගත්තේ මේ අතරතුරය.   


යෝජිත ප්‍රාදේශීය ලේකම් සමග විවාහයට මසකට පෙර ඇය මව අමතා අම්මේ මට දෙන දෙයක් තියෙනවා නම් විවාහයට කලින් දෙන්න බැරිද? අසත්ම කෝප වූ මව මොකක්ද ඒකේ තේරුම මට ඒක ප්‍රශ්නයක් පවසත්ම, නෑ නෑ අම්මේ මම නිකමටයි එය ඇසුවේ කියා ගැට ගසා ගත්තේ ප්‍රශ්නය අලකලංචියක් නොවන අයුරිනි. දිනය සෙනසුරාදාවකි. යෝජිත විවාහයේ කටයුතු ගැන සාකච්ඡාවට මාපියෝ ඇයගේ කාමරයට පැමිණියෝය.   


විවාහ කටයුතු පිළිබඳ සැලසුම මාපියන් දැනුම්වත් කරන විටත් ඇය ඒ පිළිබඳ කන් නොයවා බිම බලාගෙන කල්පනාවේ සිටිනු දුටු පියා අපි කිව්ව දේ දුවට තේරුණා දැයි ඉතා කාරුණිකව විමසූ ප්‍රශ්නයට පිළිතුරක් දීමටවත් ඇය සමත් නොවුණේ ඒ පිළිබඳව අවධානයට යොමු නොකිරීම හේතුවෙනි. බිම බලා ගනිමින් මම කැමැති කෙනෙක් සමග විවාහ වෙන්න මට අයිතියක් නිදහසක් නැද්ද? මම විවාහ වෙලා ඉවරයි. සති දෙකක් වුණා. කාර්යාලයේ මහත්තයෙක් එක්ක. දෙවරක් විවාහ වෙන්න මට නීතියෙන් ඉඩක් නැහැ. ඇයගේ වේගාත්මක පිළිතුරට ගත ගියේ තත්පර කිහිපයකි. කෝප වූ පියා පාහර බැල්ලී තෝ අපේ පවුලේ නම්බුව කෑවා. මාව විනාශ කළා. මම කොහොමද අර මිනිස්සුන්ට මුහුණ දෙන්නේ? කටයුතු සියල්ල යොදලා ආරාධනා පත්‍රත් බෙදලා. බැල්ලී බැහැපිය ගෙදරින් දොට්ට. තිට කිසිම දෙයක් මේ ගෙදරින් නැහැ. පළ පළ යන්ට. මගේ ඇහට පේන්න නැතුව ඕන දීපංකරේකට පළ. මම කවුද කියලා දන්නවනේ. ජීවිතයට ආසාවක් තියෙනවා නම් බැහැපිය දොට්ට. මාව හිරේ යවන් නැතුව මේ ගෙදර පස් පාගන්නට තිට අයිතියක් මින් ඉදිරියට නැති බව සිතා ගත් කෝප වූ පියාගෙන් පහරක් එල්ල වීමට බො​හෝ ඉඩකඩ ඇති හෙයින් අවේලාව ගැන නොතකා මිතුරියකගේ නිවෙසක් බලා ඇඳිවතින්ම පිටත් වූවාය.   
තරමක පහසුකම් ඇති කුලී නිවසක නව යුවල පළමු කැදැල්ල පටන් ගත්හ. කාලයාගේ ඇවෑමෙන් මේ පුංචි කැදැල්ලට දැරියක් සම්ප්‍රාප්ත වූවාය. ඉන් වසර හතරකට පසු පුතෙකුගේ ආගමනයත් සිදුව කැදැල්ල පුළුල් විය. නාගරික ජීවිතයක් හෙයින් දෙදෙනා ලැබූ වැටුප කළමනාකරණය කර ගත්තේ ඉමහත් කැප කිරීම් හමුවේය. දියණිය බාලිකා පාසලකටත් පුතු කොලීජියකටත් ඇතුළුකොට ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා මුල් තැන ලබා දුනි.   


මේ අතර ස්වාමියා රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී කාර්යාලයේදී හදිසියේ අසනීපව මහ රෝහලට ඇතුළු කරන විටත් හෘදයාබාධයක් නිසාවෙන් අභාවප්‍රාප්ත විය. කුලී නිවෙස් හිමියා මළ සිරුර එම නිවසට ගෙන ඒම ගැන දැඩි විරෝධතාවක් ප්‍රකාශ කරනු ලදුව සමථයකට පත්කළේ බැංකු සේවකයන්ගේ ඉල්ලීම හේතුවෙනි. ඔහුගේ වියෝව ඇයට බරපතළ ප්‍රශ්න රැසකට හේතු විණ. කාර්යාලයේ දැඩි කැපවීම සහ සහයෝගය නොලබා ආදාහන කටයුතු කිරීම පවා සිදු කළ නොහැකි වතාවරණයක් ඇයට උදා වී තිබුණේ ඇය පවුලේ තනි වූ කාන්තාවක හෙයිනි.   


බැංකු සේවකයන් සියලු බර කරට ගනිමින් චාම් ලෙස අවසාන කටයුතු නිමවා දින හතේ දානය ද මහා සඟරුවනට ඇරයුම් කරමින් නිමා කරනු ලැබීය. පිටිසර බද ලෙසින් සැරසුණු ස්වාමියාගේ මාපියන් මළගම දිනවල පැමිණ සිටි අතර ඔවුන් සියල්ලන්ගේම නෙත් යොමු වූ කැපී පෙනෙන පුද්ගලයෝ වූහ.   


ප්‍රධාන කළමනාකාරතුමා තෙමසක කාලයකට ඇයට සේවයට වාර්තා නොකොට පැමිණීම සටහන් කිරීමේ පොත නිවසටම දිනපතා ලැබෙන්නට සලස්වන බවට වූ ප්‍රකාශය ඇයට ශක්තියකි. තෙමස් පූර්ණ කටයුතුත් නිසි අයුරින් අවසානයට පත් විය.   


මේ අතරතුර දිනක් ඇය දරුවන් දෙදෙනා ද කැටුව මාපියන් හමුව සමාව අයදීමට නිවසට ගිය ද ඔවුන් දකිත්ම කෝපයට පත් පියා සේවකයාට ගේට්ටුව විවෘත කරන්නටවත් අවස්ථාව ලබා නොදීමෙන් පෙරලා එන්නට සිදු විය.   


සේවයට වාර්තා කරමින් සිටියදී වරින් වර ප්‍රධාන කළමනාකාරතුමා අවශ්‍ය අනවශ්‍ය සෑම දෙයකටම පාහේ කැඳවීමත් සරාගික බැල්මක් ඇයට බලවත් ප්‍රශ්නයක් නොවුණා නොවේ. තමා බරපතළ අපහසුවකට පත්වන බවට ඇයට කල්පනා වුණි. දිනක් අැය කැඳවා මම උදව් කළේ නැත්නම් මළ මිනියවත් වළලා දා ගන්න බැරි වෙනවා. තනියටත් මම දිවා රෑ නොසලකා සේවකයෝ එව්වා. මුදල් එකතු කිරීමේදී මම රුපියල් 40,000 ක් දැම්මා. දන්නවද දැන් කල්පනා නොකර සියල්ල අමතක කර ජොලියේ ඉන්න හිනා වෙලා හරිද? එහෙම නම් අද හවස තුනට විතර මාත් එක්ක එනවද මගේ කාරෙකින් හෝටලයකට ගිහිල්ල ටිකක් කතා කර කර ඉන්න. හැබැයි කාටවත් කියන්න එපා ඒක රහසක් විදියට තියාගමු.   


තැතිගත් අැයගෙන් සර් මම එහෙම ගැහැනු කෙනෙක් නම් නොවෙයි. මට ඒ ඉල්ලීම නම් කිසිසේත්ම ඉටු කරන්න නම් බැහැ. මළ ගමට උදව් කළ එක මම දන්නවා. ස්තූතියි කියා ඇය පිටව ගි​ෙය් කඳුළු පිරි දෙනෙතිනි.   


නිලධාරීන්ගේ විමසුමට ලක් වුවද ඇයගෙන් පිළිතුරක් නොලැබුණි. පසු දින ඇය සේවයට වාර්තා නොකරන්න තීරණය කළාය. කෙසේ නමුත් සේවයට ගිය දින කාර්යාලයේ ඇයගේ මේසය මත ලියවිල්ලකි. වහා ක්‍රියාත්මක වන පරිදි ඔබ අංක එකේ මුදල් කවුන්ටරය බාරගෙන සේවය කළ යුතු ලෙස සඳහන්ව තිබිණි.   


මුදල් අයකැමි ලෙසින් මාස හතක පමණ සේවාව කරමින් සිටියදී ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් පිරිසක් පැමිණ හදිසියේ ඇයගේ මුදල් කවුන්ටරය පමණක් පරීක්ෂා කරනු ලදුව පනස්දහසක මුදල් අඩුවක් තිබී එයට වැරැදිකරුවෙකු ලෙස වූ චෝදනාව පිළිගනිමින් ඇයට අත්සන් කරන්නට වුණි. සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබීය.   
මාස කිහිපයක්ම කාර්යාලයීය හිතවතුන්ගේ උපකාරයෙන් ජීවත් වූ මෙම පවුලට ආදායම් මඟක් නොමැතිකම හෙයින් ළදරු පංතියක් ඉංග්‍රීසි පන්තියක් ආරම්භ කරනු ලදුව ගෙහිමියා කුලී මුදල් වැඩි කිරීමෙන් අත්වූයේ තවත් ගැටලුවකි. දරුවන්ගේ විය පැහැදම් සඳහා නිවසේ තිබූ භාණ්ඩ අසල්වාසියෙක් හරහා අලෙවි කර ගත් නමුත් ඉන් වැඩි ලාභයක් උපයා ගත්තේ ඇය නොව කපටි අසල්වැසියාය. අවසානය වන විට විකුණා ගත හැකි කිසිවක් නිවසේ නොවීය. සුව පහසු යහනාවන්වල සැප නිදි ලැබූ රස බොජුන් රිසිසේ රස විඳි ගමන බිමන පහසුවෙන් ගිය අති සුඛෝපභෝගී සුන්දර ජීවිතය ඇයගෙන් ඈත් වීමත් දයාබර ළෙන්ගතු මාපියන් හා පවුලේ ඥාතීන් අහිමිව හුදකලා වූ ඇය මාපියන්ගේ අණසකට එරෙහිවීමේ විපාකය තදින් දැනෙන්නට වූයේ එවිටය. වරෙක සියදිවි නසාගන්නට සිතෙන නමුත් දරු දෙනා එයට මහත් බාධාවකි.   


බැංකු කළමනාකරුට එරෙහිව අධිකරණයේ ගොනු කළ නඩුවෙන් සහනයක් ලබා ගත නොහැකි යයි සිතූ වාර අනන්තය. කළමනාකරුට මැති ඇමැතිවරුන් නීතිඥයන් වෛද්‍යවරුන් ප්‍රභූන් වැඩි පිරිසක් ළඟම මිතුරන් වන බව නොදන්නවා නොවේ. ඇය හැප්පුණේ විශාල කළු ගලක් මත බව සිතමින් දුක කියා ගත්තේ ඇයටමය. දරුවන්ට නිවසේ අඩුපාඩු නොකියා ඔවුනගේ අවශ්‍යතා ඉටු කරලමින් දරු දුක වෙනුවෙන් නිරාහාරව පවා සිටින්නට ඇයව සිදු විණ. තම දුක පවසා සිටියේ හිතවතියකුටය. විසඳුමක් ලෙස බුදු පිළිමයක් ලබා දෙමින් ඇය උපදෙස් දෙනු ලැබුවේ මල් පහන් පුදා පිළිම වහන්සේ ඉදිරියේ දුක කියමින් සත්‍යග්‍රහයක යෙදෙන ලෙසටයි.   


වසර හතරක් පුරා ඇදී ගිය නඩුවේ අවසාන විභාගයට දින නියම විණ. උසාවි යාමට ඇයට තිබුණේ එකම සාරියකි. එය දිරා යමින් පැවැති අව පැහැ ගැන් වූ සාරියකි. දරුවන් දෙදෙනා ද කැටුව උසාවියට ගියේ අසල්වැසියෙකුගෙන් ණයට ඉල්ලා ගත් මුදලකිනි. තම නීතිඥවරයා වෙත ගොස් කරුණු සැලකර සිටිය ද දෙවරක්ම ගාස්තු නොගෙවා සිටීම හේතු​ෙවන් ඇය වෙනුවෙන් ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප විණ.   


ජීවිතය පිළිබඳ අවසාන තීරණයක් ගැනීම වෙනුවෙන් ඇය උසාවි බංකුවක් මත අසුන් ගත්තේ ජය පරාජය කුමක් වේ දෝයි සැකයෙනි.   


විත්තියේ නීතිඥයා මුදල් වංචාවක් සිදු කර ඇති බවට උසාවියට කරුණු ඉදිරිපත් කරනු ලදුව වගා නැගිට නීතිඥවරයෙක් ඇයගේ සැබෑ විස්තර ඉදිරිපත් කරනු ලැබුවේ දෑසින් දුටු අයුරිනි. බැංකු කළමනාකරු රත්නපුර බැංකුවේ නිලධාරිනියකටත් මෙවැනිම යෝජනාවක් සිදුකොට දඩයකට යටත් වූ බව උසාවියට පෙන්වා දුන් නීතිඥයා සිදුවීම පිළිබඳ ඇයගේ ප්‍රකාශනය ද ලැබ සේවය අහිමි කළ දින සිට වැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවන ලෙස නඩුකාරතුමා විසින් නියෝගයක් පනවන ලදී.   


උසාවි කටයුතු අවසන් වූ වහාම තමා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාට ස්තූති කරනු වස් වහා ගිය ද අසුන හිස්ව තිබුණි. එතුමා සමග සමීපව වාඩි වී සිටි නීතිඥ මහතාගෙන් සියලු විස්තර ලබා ගත් ඇය උසාවිය පුරා අධිනීතිඥවරයා සොයා බැලුවත් හමු නොවීය. අවසානයේ නීතිඥවරයාගේ නිවස සොයා පිටත් විය.   


නිවසේ සීනුව නාදවත්ම තරුණයෙක් පැමිණ අැයටත් දරුවන්ටත් අසුන් ගන්නා ලෙසින් උපදෙස් ලැබිණ. අද දින උසාවියේදී කරනු ලැබූ සේවයට ස්තූති පළ කිරීමටත් නීතිඥ ගාස්තු පසුව ගෙවන බවට පොරොන්දු වීමටත් අධිනීතිඥතුමා සොයා පැමිණි බව ඇය කියා සිටියාය. අප්පච්චි අද උසාවි ගියේ නැහැ. තරුණයාගේ පිළිතුර විය. එහෙත් ඇයගේ ප්‍රකාශය සනාථ කරනු වස් දුරකථනයෙන් උසාවිය ඇමතුමක් ලබා ගත් විට අධිනීතිඥවරයා උසාවියට අද දින පැමිණ එක නඩුවකට පෙනී සිටි බවට සනාථ විය. අප්පච්චි දැනට දවස් තුනකට පෙර කොළඹ නවලෝක රෝහලට ඇතුළු කළා. ඔපරේෂන් එක කරන්නේ අද හින්දා අම්මත් අයියත් එහි ගියා.   


උසාවියෙනුත් කියනවා අප්පච්චි උසාවියට ආවා කියලා. ලෙඩ ඇඳේ සිට අප්පච්චි කොහොමද උසාවි ආවේ. මේක මහා පුදුමයක්. අංකල් සේනාරත්නත් කියනවා අප්පච්චි උසාවියේදී අද වාඩි වී සිටියේ අංකල් එක්ක බව.   


ප්‍රශ්නය මෙයයි. නඩුව විසඳීමට අධිනීතිඥවරයා ලෙසින් පැමිණ සිට ඇත්තේ කවරෙක් ද? තීරණය ඔබ අතේය. මෙම සත්‍ය කථා පුවත එයට මුහුණ දුන් කාන්තාව විසින් උත්සව අවස්ථාවක දී මුණ ගැසී දැන හැඳින මට පැවසූ එකකි. පිළිගැනීම හෝ නොපිළිගැනීම ඔබ සතු කාර්යයක්ය. 


අකුරැස්ස පහළ මළිඳුව, චිත්‍රානන්ද ගුණවර්ධණ මහතා ලියා එවූ කතාවකි.   


මසුන් මැරීමට දැමූ ඩයිනය පුපුරා අවසන් ගමන් ගිය මාළු සිරා 
 


මීට දශක කීපයකට පෙර ඈත දුෂ්කර ගම්මානයක දිවි ගෙවූවෙකි සිරිනන්ද. කුලීකරුවෙකු ලෙස තම ජීවනෝපාය සරිකර ගත් ඔහු තිදරු පියෙකු විය. කුලී වැඩට අමතරව ගස්වල ගෙඩි කැඩීමෙන් ද මුදලක් උපයා ගත්තේ ජීවිතය ගෙන යාමට දැඩි සටනක් කිරීමට සිදුව තිබීම නිසාමය. මහත් උත්සාහවන්තයෙක් සේම කිසිවකුටත් කරදරයක් නැතිව දිවි ගෙවූ සිරිනන්ද අහිංසකයෙකුම විය. දිනපතාම කුලී වැඩ ලැබුණේ නැත. එසේ කුලියක් කර ගැනීමට නොහැකි දිනවල කීයක් හෝ මුදලක් සොයා ගැනීමට ඔහු ඉතා පහසු මඟක් සොයා ගෙන තිබුණි. එහෙත් එය ධාර්මික මඟක් නම් නොවීය. එය මහා පව්කාර වැඩක්ම විය. ඒ නම් ගමේ ඇති ඇළකට දොළකට හෝ වළකට ඩයිනමයිට් නම් වෙඩි දමා මාළු ඇල්ලීමයි. එසේ අල්ලා ගන්නා මාළු විකිණීමෙන් ද ඔහු අතමිට සරු කර ගත්තේය. මේ නිසාම ගමේ බොහෝ දෙනා සිරිනන්ද මාළු සිරා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට පුරුදුව සිටියහ.   


ඩයිනමයිට් දමා මාළු ඇල්ලීම යනු ඉතා අවදානම් සහිත ක්‍රියාවකි. සුළු පමාවකින් ජීවිතය අහිමිව යා හැකි තරමේ කටයුත්තකි. හොඳ පළපුරුදු කාරයකුට හැර හැම කෙනෙකුටම කළ නොහැකි දෙයකි. මේ සඳහා ඉතා හොඳින් ඉවසීම, සංයමය මෙන්ම හොඳ සිහි කල්පනාව තිබිය යුතුම විය. මාළු සිරා නම් මේ සියලු කාරණාවලින් යුතු අති දක්ෂයෙකුම විය.   
වීදුරු බෝතලයකට හෝ ප්ලාස්ටික් බට කැබැල්ලකට ඩයිනමයිට් නම් වෙඩි බෙහෙත් පුරවා සේවා නූලක් සම්බන්ධ කර මසුන් සිටින ස්ථානයක දී එය දල්වා ජලයට දැමූ විට දිය යට දී පුපුරා යාමෙන් පිට වන අධික ශබ්දය හේතුවෙන් දිය යට සිටින ඕනෑම සතෙකුගේ කන් අඩි පුපුරා යන්නේ දැඩි කම්පනය හේතුවෙනි. ටික වේලාවකින් ඒ සියලු සතුන් දිය මතු පිට පාවී යන්නට පටන් ගත්තේ ජල තලය තුළ සුදු රෙද්දක් එළුවාක් මෙනි. ඉන්පසු සිත් සේ මසුන් එකතු කර ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවේ.   


මිරිදිය මාළු කෑමට දැඩි ලෙස කෑදරකමක් ඇති ගමේ බොහෝ දෙනා මාළු සිරාට කුලී වැඩක් නැති වන දවසක් එන තෙක් බලා සිටින්නේ ඇඟිලි ගනිමිනි. ඒ කීයක් හෝ අඩු මුදලකට ඇති තරම් මාළු කෑමට හැකි වන නිසාවෙනි.   


මේ උදා වූයේ ද එවැනි පව්කාර දිනයකි. කුලී වැඩක් සොයා ගැනීමට කොතෙක් උත්සාහ කළ ද එදින කිසිදු වැඩක් සොයා ගැනීමට නොහැකි වූ සිරා නිවසට පැමිණියේ මහත් කනස්සල්ලෙනි. එහෙත් එදින නිකරුණේ අපතේ යවන්නට ඔහුගේ සිත කිසිසේත් ඉඩ නොදුණි. සුපුරුදු පව්කාර අදහස සිතට එන්නට විය. එය ක්‍රියාවට නංවමින් අඩියක් පමණ දිග ප්ලාස්ටික් බට කැබැල්ලක් ගෙන වෙඩි බෙහෙත් පුරවා වෙඩිල්ලක් සාදා ගත්තේය. ගිනි පෙට්ටිය ද ඉණේ ගසා ගත් මාළු සිරා තවත් ​ෙමාහොතක්වත් පමා නොවී ගම කෙළවරින් ගලා ගිය ඇළ දෙසට ගමන් ගත්තේය. ඒ ඔහුගේ අවසන් ගමන බව ඔහුවත් නොසිතන්නට ඇත.   


කඩිනමින් ඇළ ඉවුරට පැමිණි මාළු සිරා ලහි ලහියේ ගිනි පෙට්ටිය ගෙන ගිනි කූරක් දල්වා වෙඩිල්ලේ සේවා නූලට අල්ලා එය දැල්වූයේ මහත් කලබලයෙනි. ඉතා කඩිනමින් කළ යුතු වූ මේ කාර්ය වෙනදා ඉතා සීරුවට සිදු කළත් එදින ඔහුට වැරදිනි. මරුවා ඉස්සර විය. කලබලය කෙතරම් ද යත් එක්වරම ගිනි පෙට්ටිය ඇළට විසි කර ගිනි පෙට්ටිය වෙනුවට වෙඩිල්ල ඉණේ ගසා ගෙන තිබුණි. ගත වූයේ තත්පර ගණනකි. මහා හඬක් නගමින් වෙඩිල්ල පුපුරා සිරාගේ මුළු සිරුරම කැබලි වී විසිර ගොස් තිබුණේ කෙඳිරියක්වත් නැගීමට ඉඩ නොතබමිනි.   


වෙනදාට වඩා අධික ශබ්දයකින් වෙඩිල්ල පුපුරා යාම නිසා කුමක් හෝ අසාමාන්‍ය දෙයක් වී ඇති බව අනුමාන කළ ගැමියෝ ඒ දෙසට දුව එන්නට වූහ. කරුමයක මහත! ඔවුන් ඈතදීම දුටුවේ බැලීමට වත් නොහැකි ලෙස කැබලි වී ගිය මාළු සිරාගේ සිරුරු කොටස්ය. ඒ දුටු වැඩිහිටියන් පැවසුවේ කළ පව්වලට මාළු සිරා පොලියත් සමග මෙලොවදීම වන්දි ගෙවා ඇති බවය.  


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.   

 

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

දෙගුරුන්ට අකීකරු වූ යුවතියකටකරුමය පල දෙයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3502 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 32 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1454 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 451 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 165 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site