IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


එස්.ටී.එෆ්. වෙඩි කෑ පාතාලේ බයිලා සහ ජනා

මහනුවර මඩවල, තෙල්දෙණිය මාර්ගයේ දී ඉකුත් (9) දින විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කණ්ඩායම් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ප්‍රබල පාතාල සාමාජිකයෝ දෙදෙනක් මිය ගියහ.   


 මඩවල ප්‍රදේශය භීතියට පත්කරමින් සිදු වූ මෙම වෙඩි හුවමාරුවෙන් මියගියේ ප්‍රබල පාතාල නායකයන් වශයෙන් හැඳින්වෙන, දැනට රටින් පලාගොස් සිටින මාකඳුරේ මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කා යන අයගේ ප්‍රධානම සහ සමීපතම ගෝලයකු වූ කඩුවෙල විසූ රුමල්ෂ ඉරේෂ් මධුසංක (30) නොහොත් “බයිලා” නමැත්තා සහ බයිලාගේ සමීපතමයකු වන මුල්ලේරියාව උතුර විසූ පොල්වත්තගේ උපාලි (46) නොහොත් “ජනා” නමැත්තාය.   

මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ මෙරට සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම සහ තවත් අපරාධ මෙහෙයවන ප්‍රධාන මෙහෙයුම්කරු වශයෙන් බයිලා නමැත්තා හැඳින්වුණු බව පොලිසිය කියයි.   


මොහුට පමණක් මිනීමැරුම්, කොල්ලකෑම්, ගිනිඅවි ළඟ තබා ගැනීම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් නඩු 18ක් ඇති බව ද පොලිසිය කියයි.   


 තවද 2017.5.9 දින පිළියන්දල සුවාරපොළ දී වැටලීමකට ගොස් සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් කණ්ඩායම වෙත වෙඩි ප්‍රහාර එල්ල කිරීමේ සම්පූර්ණ ක්‍රියාව බන්ධනාගාරයේ සිට සැලසුම් කර ඇත්තේ මෙම බයිලා නමැත්තා බවට පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.   


මාකඳුරේ මධුෂ්ගේ දැනුම් දීම අනුව මොහු මෙය සැලසුම්කර තිබූ අතර එහිදී පොලිස් කොස්තාපල්වරයකු සහ වයස අවුරුදු 11 දැරියක වූ සමාධි රංසිකා පතිරණ මියගිය අතර පොලිස් පරීක්ෂක රංගජීව ද පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තවත් පස් දෙනෙක් ද සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූහ.   


 මිනීමැරුම්, කප්පම් ගැනීම්, ආයුධ සැපයීම්, කොල්ලකෑම්, මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බයිලා නමැත්තා කොළඹින් මිදී මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ ක්‍රියාකාරකම්වල නිරත වන බවට සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාසය වෙත තොරතුරු ලැබී තිබුණි.   


ඒ අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, සංවිධානාත්මක අපරාධ විමර්ශන භාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා යන මහත්වරු බයිලා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට පිඹුරුපත් සකස් කළහ.   


ඒ අනුව විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීහු කණ්ඩායම් වශයෙන් මහනුවර පැමිණ තැන තැන රැඳී සිටිමින් බයිලා පිළිබඳ තොරතුරු රැස්කළහ.   


 බයිලා සම්බන්ධයෙන් තොරතුරු හා ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නිලධාරීන් වෙත තොරතුරු රැසක් ලැබී තිබුණි.   


 ඒ තොරතුරු ඔස්සේ නිලධාරීහු සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ආවේක්ෂණ රාජකාරියේ නිරත වූහ.   


බයිලා නමැත්තා මහනුවර මඩවල ප්‍රදේශයේ නිල් පාට සුඛෝපභෝගී මෝටර් රථයකින් සැරිසරන බවට නිලධාරීන්ට නිශ්චිත තොරතුරු ලැබී තිබුණි.   


 ඒ අනුව මඩවල ප්‍රදේශයෙ පුරා රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක විණි. එදින පෙරවරුවේ සිට බයිලා මෙම මෝටර් රථයෙන් මඩවල ප්‍රදේශයේ සැරිසැරූ අතර දවල් 12.00ට පමණ නිලධාරීන්ට තොරතුරු ලැබුණේ එම වෑන් රථය මඩවල තෙල්දෙණිය මාර්ගය ඔස්සේ පැමිණෙන බවටයි.   


 ඒ අනුව නිලධාරීහු කණ්ඩායමක් මඩවල තෙල්දෙණිය මාර්ගයේ ක්ෂණික මාර්ග බාධක යොදා මාර්ගයේ වාහන සෝදිසියට ලක් කළහ.   


මෙම අවස්ථාවේ එම මාර්ගයේ වාහන විශාල වශයෙන් ගමන් ගත් අතර ඒ සියලු වාහන නිලධාරීන්ගේ දැඩි නිරීක්ෂණයට ලක් විණ.   


 එම තොරතුරු නිවැරදි කරමින් දහවල් 12.15 පමණ “බයිලා” සහ ඔහුගේ ගෝලයා වන “ජනා” නමැත්තා නිල් පැහැති මෝටර් රථයකින් එම මාර්ගය ඔස්සේ ඉදිරියට පැමිණියහ.   


නිලධාරීන්ට කල් තියාම එම වාහනයේ අංකය ලැබී තිබූ හෙයින් ඔවුහු එම වාහනය හඳුනාගෙන එයට පලා යාමට නොහැකි වන පරිදි සූක්ෂම ලෙස හා උපක්‍රමශීලී ලෙස ස්ථානගත වී සිටියහ.   


මෝටර් රථය මාර්ග බාධකයේ ආසන්නයට ළඟා වෙත්ම නිලධාරීහු ඈත තියාම එයට නවතින ලෙසට අණ කළහ.   


එම අවස්ථාවේ මෝටර් රථය පැදවූයේ බයිලා වන අතර ජනා ඔහු සමඟ ඉදිරි අසුනේ වම්පස ගමන් ගෙන තිබුණි.   


නිලධාරීන්ගේ එම අණට කීකරු නොවූ බයිලා මෝටර් රථයේ වේගය වැඩිකර ඉදිරියට ධාවනය කිරීමට උත්සහ ගත් අතර ඔහුගේ අරමුණ වූයේ නිලධාරීන්ගෙන් මිදී පලා යාමයි. 

 
රථය වේගයෙන් ඉදිරියට ධාවනය කළ ද ඉදිරියේ තවත් භට කණ්ඩායම් අවි මානාගෙන රැඳී සිටිනු දුටු බයිලා පලායාමට නොහැකි බවට දැනගෙන මෝටර් රථයේ තිරිංග වේගයෙන් ක්‍රියාත්මක කර මෝටර් රථය නැවැත්වීමට උත්සාහ ගත් අතර එය මාර්ගයේ දකුණු පසට ඇදී ගියේය.   


 ඒ සමග වම්පස සිටි ජනා මෝටර් රථයේ දොර විවෘත කරගෙන ඔහු අත තිබූ මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝලයෙන් නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කළේය. ඒත් සමග බයිලා ද දකුණුපස දොර විවෘත කරගෙන ඔහු අත තිබූ පිස්තෝලයෙන් නිලධාරීන් වෙත වෙඩි ප්‍රහාර එල්ලකර පැනයාමට උත්සාහ කිරීමේ දී එම ස්ථානයේ රැකවල්ලා සිටි විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු ද පෙරළා ඔවුන් වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළහ.   
විශේෂ කාර්ය බළකායේ භට පිරිස් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ සැකකරුවන් දෙදෙනා බරපතළ තුවාල ලැබූ අතර නිලධාරීන් ඔවුන් දෙදෙනා එම අවස්ථාවේදීම කටුගස්තොට රෝහලට ඇතුළත් කළ ද සුළු මොහොතකින් ඔවුහු දෙදෙනාම මියගොස් සිටියහ.   


නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා මොවුන් භාවිත කළ පිස්තෝල දෙක ද එම ස්ථානයේ වැටී තිබියදී නිලධාරීන්ට හමුවී තිබුණි. ඔවුන් පැමිණි මෝටර් රථයේ හොරොයින් ග්‍රෑම් 50ට අධික ප්‍රමාණයක් ද තිබී ඇත.   
මෙම සිද්ධියෙන් මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ විශ්වාසවන්ත ප්‍රධානතම ගෝලයා ඔවුනට අහිමි විය.   


බයිලා නමැත්තාට මිනීමැරුම්, කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ගිනිඅවි සන්තකයේ තබා ගැනීම්, කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් නඩු 18ක් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.   
මොහු අපරාධ රැසක්ම සිදුකළ ද බොහොමයක් අපරාධ ඔහුගේ නම නොගෑවී ගෝලයන් ලවා සිදුකිරීමට ඔහු සුක්ෂම වූ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.   


එම නඩු අතර 2010.1.23 හෝමාගම ප්‍රදේශයේ රුපියල් 117,300ක් වටිනා යතුරුපැදියක් කොල්ලකෑම, 2012.5.26 දින පාදුක්ක ප්‍රදේශයේ දී අවි පෙන්වා වෙළෙඳසලක් කොල්ලකෑම, එදිනම අවි පෙන්වා පාදුක්ක ප්‍රදේශයේම තවත් වෙළෙඳසලක් කොල්ලකෑම, 2012 වසරේම හෝමාගම ප්‍රදේශයේ අවි පෙන්වා වෙළෙඳසලක් කොල්ලකෑම, 2012.5.2 දින පිළියන්දල ප්‍රදේශයේ දී අවි පෙන්වා වෙළෙඳසලක් කොල්ලකෑම, 2012.6.10 දින අවි පෙන්වා නිට්ටඹුව ප්‍රදේශයේ වෙළෙඳසලක් කොල්ලකෑම, එදිනම මොරටුව ප්‍රදේශයේ දී අවි පෙන්වා වෙළෙඳසලක් කොල්ලකෑම, 2015.09.10 දින අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී අවි පෙන්වා රුපියල් ලක්ෂ 26ක් කොල්ලකෑම, ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ 2 සමග කළුතර ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්වීම, කළුතර ප්‍රදේශයේ දී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, ගිනිඅවි පෙන්වා අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී කොල්ලකෑම, පානදුර ප්‍රදේශයේ දී ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තබා මුදල් කොල්ලකෑම, රුවන්වැල්ල ප්‍රදේශයේ දී ස්වයංක්‍රීය ගිනිඅවි පෙන්වා කොල්ලකෑම, 2017.01.18 දින හෝමාගම දී ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, 2017.2.02 දින අතුරුගිරිය ප්‍රදේශයේ දී ටී-56 ගිනි අවියක් හා උණ්ඩ 82, මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, මැගසින් 2 හා එම උණ්ඩ 52ක් සමඟ අත්අඩංගුවට පත්වීම ඉන් කිහිපයකි.   

 

 

2017.1.18 දින හෝමාගම අධිකරණයේ විභාග වන නඩුවක් වෙනුවෙන් පෙනී සිට නැවත යමින් සිටි ඉංගම්මාරුවේ විසූ චමින්ද පෙරේරා නොහොත් චානකට පිටිපන ප්‍රදේශයේ දී ටී-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් වසරේ අප්‍රේල් මස දිනක මොහු පොලිස් අත්අඩංගුවට පත්විණි.   


නුගේගොඩ පොලිස් අධිකාරිවරයා යටතේ එවකට ක්‍රියාත්මක විශේෂ පොලිස් ඒකකයට අයත් අතුරුගිරිය පොලිසියේ පොලිස් සැරයන් පියල්ගේ මූලිකත්වයෙන් ගිය පොලිස් කණ්ඩායමක් විසින් කඩවත ප්‍රදේශයේ සිටියදී මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.   


2017.2.2 දින අතුරුගිරිය ප්‍රදේශයේ දී ටී-56 ගිනිඅවියක්, මැගසින් දෙකක් හා එම උණ්ඩ 82ක්, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් හා එම උණ්ඩ 52ක් ළඟ තබා ගැනීම සම්බන්ධ නඩුවක් වෙනුවෙන් ද මොහු බන්ධනාගාරගත විය. මෙම නඩු දෙක වෙනුවෙන් වසරකට අධික කාලයක් බන්ධනාගාරගතව සිටියේය.   


මෙම නඩු වෙනුවෙන් මොහු තවදුරටත් බන්ධනාගාරයේ සිටි මධුෂ්ගේ ජාවාරම්වලට බාධාවක් වූ අතර මාකඳුරේ මධුෂ් ඔහු බන්ධනාගාරයෙන් එළියට ගැනීමට කටයුතු කළේය.   


ඉහත නඩු දෙක වෙනුවෙන් අවිස්සාවේල්ල මහාධිකරණයෙන් ඇප ඉල්ලා තිබූ අතර ගිනිඅවි ළඟ තබා ගැනීමේ නඩුවේ ඔහුට රුපියල් ලක්ෂ 30ක මුදල් අැප හා ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප නියම විය. හෝමාගම පිටිපන ඝාතනය වෙනුවෙන් ලක්ෂ 20 මුදල් ඇප හා ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප නියම විය.   


මෙම නඩු දෙක වෙනුවෙන් අවශ්‍ය වූ ලක්ෂ 50ක මුදල මධුෂ් විසින් ලබා දී තිබුණි. ඒ අනුව 2018.3.20 දින මොහුට මෙම නඩු දෙක වෙනුවෙන් ඇප හිමි වූ අතර 22 දින ඔහු බන්ධනාගාරයෙන් පිටවිය.   


තමා වෙනුවෙන් අවංකව සේවය කරන ගෝලයන් වෙනුවෙන් මධුෂ් අත දිග හැර වියදම් කරන අයුරු එමඟින් හොඳින් කැපී පෙනුණි.   


බයිලාට නිවෙස් දෙකකි. එක් නිවසක් පනාගොඩ ප්‍රදේශයේ ඇති අතර සෙසු නිවස ඉඹුල්ගොඩ ඉහළයාගොඩ පාරේ විය. පනාගොඩ නිවසේ මව සිටින අතර ඉහළයාගොඩ නිවසේ සිටින්නේ ඔහුගේ බිරිඳ හා දරුවාය.   
හෝමාගම අධිකරණයෙන් ඇප ලබාගත් බයිලා කෙළින්ම යන්නේ පනාගොඩ පිහිටි සිය මවගේ නිවසටයි. එහි සතියක් පමණ ගතකර පසුව ඔහු ඉඹුල්ගොඩ බිරිඳගේ නිවසට ගොස්, එහිදී දින කිහිපයක් ගතකර මහනුවර වත්තේගම ඔහුගේ සොහොයුරාගේ නිවස බලා ගමන් ගන්නේය.   


2018 මැයි මාසේ දිනක මධුෂ්ගේ උපදෙස් මත ඔහු මාතර බලා ගමන් ගන්නා අතර ඔහු ඒ ගමන යන්නේ ආයුධ කිහිපයක් කොළඹට රැගෙන ඒමටය.   


මෙම ගමන සඳහා ඔහු යන්නේ ග්‍රෑන්ඩ්පාස්හි ‘පොඩි උණ’ නමැත්තාගේ මෝටර් රථයෙනි. පොඩි උණ නමැත්තා මේ සඳහා සහභාගි නොවන අතර මෝටර් රථය පමණක් ලබාදෙන්නේය.   


 ඒ අනුව බයිලා මාතරට පැමිණ ටී-56 ගිනි අවි දෙකක් හා පිස්තෝල දෙකක් රැගෙන එදිනම කොළඹට පැමිණෙන්නේය.   


මොහු විසින් මාතර සිට අවි රැගෙන ආ බවට සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාසයට තොරතුරු ලැබුණ අතර 2018 අප්‍රේල් මස 12 වැනි දින ඔවුහු මේ සම්බන්ධයෙන් නඩු අංකය (91546/18) යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රහසිගත වාර්තාවක් ඉදිරිපත් කළහ.   


 මෙම අවි රැගෙනවිත් මොවුන් කොළඹ, කොළඹ අවට, කිරිබත්ගොඩ, මහනුවර යන ප්‍රදේශවල කොල්ලකෑම් සහ අපරාධ සිදුකිරීමට සූදානමින් සිටින බවට ලැබුණු තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් ද සංවිධානාත්මක අපරාධ මර්දන කොට්ඨාසයට තොරතුරු ලැබුණ අතර ඔවුන් මේ සම්බන්ධයෙන් ඉහත නඩු අංකය යටතේම මැයි මස 18 වැනි දින අධිකරණයට නැවත රහසිගත වාර්තාවක් ඉදිරිපත් කෙරිණ.   


බයිලා තමා ඉදිරියේ සිදුකිරීමට නියමිත ජාවාරම් වෙනුවෙන් මඩවල ප්‍රදේශයේ ආරක්ෂක නිවස්නයක් (Safe House) තෝරාගෙන තිබුණි.   


පොලිසියෙන් ආරක්ෂාවීමට මොහු මෙම නිවස තෝරාගෙන තිබුණි. පිට පළාත්වල වෙසෙන පාතාල කල්ලි සාමාජිකයන් මෙම නිවසට නිතර නිතර පැමිණ මොහු සමඟ කාලය ගත කළ බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.   


බයිලා සමග වෙඩි කා මියගිය පොල්වත්තගේ උපාලි නොහොත් ජනා නමැත්තා ද බයිලා සමග එකතුවන්නේ මේ අතරතුරය.   
ජනා නමැත්තා ද අපරාධකරුවෙකි. ඔහුට 2001 වසරේ මුල්ලේරියාව ප්‍රදේශයේ දී පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් නඩුවක් ඇති බව ද පොලිසිය කියයි.   


 බයිලා මියයාමට පෙර දින රාත්‍රියේ මෙම නිවසේ තවත් පාතාල සාමාජිකයන් පිරිසක් සමග එක්ව මත්පැන් සාදයක් පවත්වා ඇති අතර එහිදී ඔවුන් ඉදිරි සැලසුම් කිහිපයක් ගැන සාකච්ඡා කර ඇත.   

 

 

එදින පෙරවරුවේ ඔහු ගොස් ඇත්තේ මහනුවර හා අවට ප්‍රදේශවල මූල්‍ය ආයතන සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීමට බව ද පොලිසිය කියයි. එලෙස ගොස් යළි එන අතරේ මොවුහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ගොදුරු වූහ.   
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසන්නේ බයිලා නමැත්තාට අනියම් බිරියන් කිහිපදෙනකු සිටින බවයි. ඔවුන් වෙනුවෙන් බයිලා අත දිගහැර මුදල් වියදම් කළ බව ද හෙළිවිය.   මෙම සියලු තොරතුරු නිලධාරීන් වෙත ලැබුණේ ඔහුගේ සමීපතමයෙකු මාර්ගයෙනි.   


ඔහු සමග කප්පම්ගැනීම ඇතුළු අපරාධ ක්‍රියාවන්වල නිරත වුවද ඒ වෙනුවෙන් හරිහැටි මුදල් ලබා නොදෙන බවත් එම මුදල්වලින් මධුෂ්ගේ සහ අංගොඩ ලොක්කාගේ කොටස ගෙවීමෙන් පසු ඔවුන්ට දෙන්නේ ඉතාමත් සුළු මුදලක් බව එම සමීපතමයා පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇති බව ද පොලිස් ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කීය.   


මේ හේතුව නිසා සමීපතමයන් ඔහු සමග අමනාප වී ඇති අතර ඔහුගෙන් නිලධාරීන් සූක්ෂම ලෙස ලබාගත් තොරතුරු මත බයිලා කොටුකර ගැනීමට හැකි වූ බව ද ඒ මහතා කියා සිටියේය.   


ඔහුගේ අපරාධ ක්‍රියාකාරකම් සඳහා මහනුවර ප්‍රදේශය තෝරාගෙන තිබුණේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකරන මෙහෙයුම් හේතුවෙන් බව ද හෙළි කළේය.   


බයිලා නමැත්තා මෙලෙස විශේෂ කාර්ය බළකාය වෙත කොටු නොවෙන්නට ඉදිරියේ මහනුවර ප්‍රදේශයේ බැංකු, මූල්‍ය ආයතන රැසක් මොවුන්ගේ ගොදුරු බවට පත්වන්නට ඉඩ තිබූ බවත්, බයිලාගේ අහිමි වීම මධුෂ්ට හා අංගොඩ ලොක්කාට සිය අතක් අහිමි වූ ආකාරයෙන් තදින්ම දැනෙන බව ද ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.   

 

 


සටහන සහ ඡායාරූප 
ඉන්දිකා රාමනායක   



අදහස් (0)

එස්.ටී.එෆ්. වෙඩි කෑ පාතාලේ බයිලා සහ ජනා

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 3487 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 32 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1452 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 451 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 165 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 271 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site