IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කීත් නොයාර් පැහැරගෙන වධ හිංසා කිරීමේ සුලමුල

 

කාලයේ වැලිතලා අතර සැඟව යන්නට තිබූ තවත් එක් අපරාධයක සුලමුල පසුගිය සතියේ දිග හැරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟය. වසර අටක් තිස්සේ සැඟවී තිබූ තොරතුරු රැසක් එකිනෙක ගලා එන්නට වූයේ රහස් පොලිස් විමර්ශකයන්ට තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි ඉඟි මතු කරමිනි.


දශක තුනක් තිස්සේ දිග්ගැස්සුණු සිවිල් යුද්ධය යුදමය වශයෙන් පරාජය කිරීමට තිබුණේ හරියටම වසරක් පමණි. ඒ 2008 වසරයි. උතුරුකරයේ වෙඩි හඬ නිතර දෙවේලේ ඇසෙද්දී දකුණද වරින් වර ගිනියම් විය. 


කීත් ලෙරෝයි නොයාර් මහතා එවකට ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා විය. ඔහු ප්‍රසිද්ධව සිටියේ විවිධ මාතෘකා ඔස්සේ විචාරශීලි ලිපි ලියන මාධ්‍යවේදියකු ලෙසය.


දිනය 2008 මැයි 22 වැනිදා ය. කීත් නොයාර් මහතා කොළඹ මරදානේ පිහිටි රිවිර මීඩියා කෝපරේෂන් පුද්ගලික සමාගම වෙත ගියේ සුපුරුදු පරිදි රාජකාරි සඳහාය. දෛනික වැඩ කටයුතු නිමවී කාර්යාලයෙන් පිටත්වූ ඔහු තවත් වැඩකටයුතු කිහිපයකටද සහභාගී වී බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ආපන ශාලාවකට ගියේය. ඔහු ගියේ රිවිර මීඩියා කෝපරේෂන් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත කුරේ සහ ද නේෂන් පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන් මහතා ද සමඟය. එම ආපන ශාලාවේදී තිදෙනාම රාත්‍රී ආහාරය ගත්හ. 


ඉන්පසු කීත් නොයාර් මහතා සිය නිවස බලා පිටත් විය. ඔහු ගියේ ඔහු විසින් පරිහරණ  කරන ලද පී.සී. 3023 අංක දරණ කාර් රථයෙනි. රාත්‍රී 11ට පමණ දෙහිවල නිවසට ළඟා වූ ඔහු කාර් රථයෙන් බැස නිවසේ ගේට්ටුව විවෘත කළේය.  වැඩි වේලාවක් ගත වූයේ නැත.  සුදු  වෑන් රථයකින් බැස පැමිණි පිරිසක් කීත් මහතා වටකර ගත්හ. පිස්තෝල හා පොලු_වලින් ඔහුට පහර දෙන්නට පටන් ගත්හ. කීත් නොයාර් මහතා ද ඔහුට හැකි පමණින් ඔවුන් සමඟ පොර බැදීය. 


සුදු වෑන් රියෙන් පැමිණි කල්ලියේ සිටි කළු, ශක්තිමත් ඇඟපතක් ඇති අයෙක් පිස්තෝලයකින් නොයාර් මහතාගේ හිසට පහර දුන්නේය. ඉන්පසු ඔවුහු නොයර් මහතා වෑන් රියට දමාගෙන යන්නට ගියහ.


වෑන් රථයේදී මාධ්‍යවේදියාගේ ඇස් බැඳ දෑත් පිටුපසට තබා අත්විලංගු (හෑන්ඞ්කෆ්)  දැමිණි. රුපියල් 2000ක් පමණ තිබූ ඔහුගේ මුදල් පසුම්බියද පැහැර ගත්හ. කීත් නොයාර් මහතා පැලඳ සිටි පවුමක රන් මුද්ද ගලවාගෙන තිබුණේ ඔහුට පිස්තෝලයකින් හිසට පහර දුන් පුද්ගලයාමය. වෑන් රථය තුළදීත් තමාට පහර දෙනු ලැබූ අතර පැයක පමණ ගමනකින් පසුව තමා වෑන් රියෙන් බැස්සවූ බවත්, අත් මාංචුවල හරහට පොල්ලක් දමා එම පොල්ලෙන් තමා ඔසවාගෙන විශාල කාමර රැසක් සහිත නිවසකට ගෙන ගිය බවත් නොයාර් මහතා රහස් පොලිසියට ප්‍රකාශ කර තිබේ.


එම නිවසේ කාමරයකට ගෙන ගොස් මාධ්‍යවේදියාගේ ඇඳුම් ගලවා පහර දෙද්දී ඔහු වේදනාවෙන් කෑ ගැසීය. ඔහු බේරා ගැනීමට තරම් සමතකු සිටියේ නැත. 


‘එල්ටීටීඊ එකත් එක්ක උඹේ තියෙන සම්බන්ධය මොකක්ද? උඹට පත්තරේ දාන්න තොරතුරු දෙන්නේ කවුද?’ සාහසිකයෝ දිගින් දිගටම ප්‍රශ්න කළහ.


කරුණු මෙසේ සිදුවෙද්දී කීත් නොයාර් මහතා පැහැර ගත් පුවත ඔහුගේ ළඟම හිතවතුන්ගේ කනට යන්නට වැඩි වේලාවක් ගියේ නැත. නොයාර් මහතා සමග රාත්‍රී ආහාරය ගත් ක්‍රිෂාන්ත කුරේ මහතා සහ ලලිත් අලහකෝන් මහතා නොයාර් මහතාගේ දෙහිවල නිවසට ගියහ. එවකට ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂවරයාව සිටි රංග කලංසූරිය මහතා සහ ඔහුගේ මිතුරෙක් ද නොයාර් මහතාගේ නිවසට ගියහ.


කීත්ගේ දුරකථනය ද අස්ථාන ගත වී තිබුණු අතර  මිතුරන් සාකච්ඡා කළේ ඔහු පැහැරගත් පිරිස ගෙන යන්නට ඇතැයි කියාය. එතැන් පටන් මොහොතින් මොහත පිරිස ඔහුගේ දුරකථනයට ඇමතුම් ගන්නට වූහ. 


මේ අතර කීත් නොයාර් මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලලිත් අලහකෝන් මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ද දැනුම් දුන්නේය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක එම ස්ථානයට පැමිණ පැමිණිල්ලක් දැමීමට දෙහිවල පොලිසියට එන ලෙස දැනුම් දී පිටව ගියේය.


තම සැමියාට කුමක් සිදුවීදැයි නොදත් බිරිය විලාප නඟන්නට වූවාය. වරින්වර සුරුවම අසලට ගොස් හඬමින් යාඥා කරන්නට වූවාය. ඒ තම ආදරණීයා සොයා දෙන ලෙසටය. 


අනුර සේනානායකගේ දැනුම් දීම අනුව කීත්ගේ නිවසේ සිටි දෙදෙනෙක් දෙහිවල පොලිසියට ගියහ. ඔවුන් පොලිසියට යද්දී ස්ථානාධිපතිගේ පුටුවේ වාඩිගෙන සිටියේ අනුර සේනානායක මහතාය. 


‘බය වෙන්න එපා. කීත් නොයාර් ප්‍රශ්නයක් නැතිව එයි.’ අනුර සේනානායක කීවේය. අනුර සේනානායක සමඟ කතා කරද්දී  පිරිස වරින් වර නොයාර්ගේ දුරකථනයට ඇමතුම් ගනිමින් සිටියහ. එක්වරම දුරකථනය නාද වන්නට විය. එහෙත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. හිතවත් මාර්ගයකින් දුරකථන සේවා සමාගම සමඟ සම්බන්ධ වී එම දුරකථනය තිබෙන ප්‍රදේශය සොයා බැලීය. එවිට හෙළි වූයේ එය දොම්පේ  ප්‍රදේශයේ ඇති බවයි. 


‘කීත් ගිනිහිං තියෙන්නේ දොම්පෙට.’ යැයි පුද්ගලයෙක් කීවේය. ඒ සමග පොලිසියේ කණ්ඩායමක් සමග කීත්ගේ මිතුරෙක් ද දොම්පේ ප්‍රදේශයට යන්නට පිටත් වූහ.


දෙහිවල පොලිසියේ කටයුතු එසේ සිදුවෙද්දී කීත් සාහසිකයෝ නොයාර් මහතාට පහර දෙමින් ප්‍රශ්න කරමින් සිටියහ. ඒ සමඟ එම ස්ථානයේ සිටි පුද්ගලයකුට දුරකථන ඇමතුමක් ආ අතර ‘සර්.. සර්..’ කියමින් ඔහු ඊට ප්‍රතිචාර දැක්වීය. දුරකථන ඇමතුමෙන් පසු ඔවුන් මාධ්‍යවේදියාට දැනුම් දුන්නේ ඇඳුම් ඇඳගෙන මඩ සෝදා ගන්නා ලෙසයි.


ඉන්පසු යළි වාහනයට දැමුණු කීත්ගේ දෑස් බැඳ දැමිණි. කිත් නොයාර් මහතා දෙහිවලින් වාහනයෙන් බැස්සවූයේ ‘කාටවත් කියලා තිබුණොත් මරනවා.’ යනුවෙන් තර්ජනය කරමිනි. 


වේදනාවෙන් සිටි ඔහු නිවසට ගියේය.  දරුණු ලෙස පහරකෑමට ලක්ව සිටි නොයාර් මහතා රෝහල් ගත කැරිණි. අවසානයේ ඔහුට සිදුවූයේ ආරක්ෂාව පතා රටින් පිටවීමටය.


සුපුරුදු පරිදි විමර්ශන නැවතිණි. කීත් නොයාර් පිළිබඳ විමර්ශන ගොනුවල දූවිලි පිසදමා යළි එළියට ගත්තේ 2015 වසරේදීය. එතැන් පටන් රහස් පොලිසිය ඉතා දුෂ්කර කාර්යයක නියැලුණේය. ඒ පරිවේශනීය සාක්කි ඔස්සේ අපරාධය හෙළිදරව් කර ගැනීම සඳහාය. 
එකල ආරක්ෂක අමාත්‍යංශයේ සිටි ප්‍රධානියකුට දුන් දුරකථන ඇමතුමක් ඔස්සේ යමින් රහස් පොලිසිය මූලික වශයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. 


රහස් පොලිසිය කළ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ඉහළ නිලධාරියකුට ලද දුරකථන ඇමතුමෙන් පසු ඔහුගේ දුරකථනයෙන් එවක පොලිස්පතිට ඇමතුමක් ලැබී ඇති බවයි. ඉන් පසු ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරියාගේ දුරකථනයෙන් එවකට ජාතික  බුද්ධි  අංශයේ ප්‍රධානියකු භාවිත කළ දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇති බව ද අනාවරණය වී තිබෙන බව රහස් පොලිස් ආරංචි කියයි.


ආරක්ෂක අමාත්‍යංශ උසස් නිලධාරියාගේ දුරකථනයෙන් පොලිස්පතිට  ඇමතුමක් ලැබීමෙන් පසුව පොලිස්පතිවරයා කුප්‍රකට පොලිස් නිලධාරියකුගේ නිවසේ දුරකතනයට රාත්‍රී 11.51ට පමණ  ඇමතුමක් ලබා ගෙන තිබෙන බව ද ඉන්පසු කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයකු  සහ නියෝජ්‍ය පොලිස්පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ වී ඇති බව ද දුරකථන වාර්තා විශ්ලේෂණයේදී රහස් පොලිසිය  අනාවරණය කරගෙන තිබේ.


ආරක්ෂක අමාත්‍යංශයේ එම උසස් නිලධාරියා ජාතික බුද්ධි ඒකකයේ පෙර කී ප්‍රධානියාට ඇමතුම ගැනීමෙන් පසු රාත්‍රී 11.41ට පමණ ඔහු භාවිත කළ දුරකථනයෙන් එවකට යුද්ධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියකුට යුද හමුදාවෙන් ලබා දී තිබුණු අංකයට ඇමතුමක් ගෙන ඇතැයි රහස් පොලිසිය සඳහන් කරයි.  ඉන්පසු යුද්ධ හමුදා  බුද්ධි අංශයේ පෙර කී නිලධාරියා විසින් ඔහු භාවිත කරන ලද දුරකතනයෙන් රාත්‍රී 11.47ට පමණ මරදාන ටි්‍රපොලි කඳවුරේ පිහිටුවා තිබූ යුද්ධ හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද්ධ හමුදාව මගින් නිකුත් කර තිබූ දුරකථනයට ඇමතුමක් ලබා ගෙන තිබිණි.


පෙර කී යුද හමුදා බුද්ධි ප්‍රධානියා වෙත යුද්ධ හමුදාවෙන් ලබා දී තිබූ අංකයෙන් රාත්‍රී 11.58ට පමණ ටි්‍රපොලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරියකුගේ පෞද්ගලික දුරකථන අංකයට ඇමතුමක් ලබා ගෙන ඇති බවත්, ඒ වන විට එම අණදෙන නිලධාරියාගේ නමින් ඇති දුරකථනය, දුරකතන සේවා සමාගමක දෙකටන කුලුනේ ආවරණ ප්‍රදේශයේ තිබූ බවත් දුරකථන විශ්ලේෂණ අනුව රහස් පොලිසියට පෙනී ගොස් තිබේ.


මෙම ඇමතුම් විශ්ලේෂණයෙන් පසු රහස් පොලිසිය මරදාන ටි්‍රපොලි යුද්ධ හමුදා කඳවුරේ පිහිටි බුද්ධි අනුඛණ්ඩය සඳහා යුද හමුදාව විසින් නිකුත් කරනු ලැබ තිබූ රාජකාරි දුරකථනවල විශ්ලේෂණයක් ලබා ගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර් මහතාගේ දුරකථනයට සමගාමීව ටී්‍රපොලි කඳවුරේ බුද්ධි අනු ඛණ්ඩය සතු දුරකථන අංක පහක් එදින අදාළ කාලයේ ගමන් කර ඇති බවයි. 


නොයාර් මහතාගේ කාර්යාලයේ සිට සහ නිවස අතර ප්‍රදේශයේ ද, පැහැර ගැනීමෙන් පසු දොම්පේ දෙකටන ප්‍රදේශයේ ද නොයාර් මහතාගේ දුරකථනයට සමපාතව එම අංක ක්‍රියාත්මක වී ඇතැයි අනාවරණ වූ බව රහස් පොලිස් ආරංචි පවසයි.


කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක්වූ වකවානුවේ එම දුරකථන භාවිත කර ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව විමර්ශන සිදු කර ඇති රහස් පොලිසිය එම පිරිස අනාවරණය කර ගෙන තිබේ.  ඉන්පසු රහස් පොලිසිය එම දුරකතන භාවිත කළ පිරිස තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා තවත් පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි.


වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබුණේ හමුදා බුද්ධි අංශයේ පිරිසක් දොම්පේ ලංසියාවත්ත නිවසක් සහ දොම්පේ බදුවත්ත වලව්ව  කුලියට ලබාගෙන භාවිත කර ඇති බවයි. 2007 වසරේ අවසාන කාලයේ සිට 2008 වසරේ මුල් කාලය දක්වා දොම්පේ ලංසියාවත්ත නිවස භාවිත කර ඇති අතර එම නිවසින් පිටව යෑමෙන් පසු 2008 මාර්තු මාසයේ දොම්පේ බදුවත්ත වලව්ව බද්දට ගෙන තිබේ. 2009 මාර්තු දක්වා වසරක කාලයක් ඔවුන් එම වලව්ව පරිහරණය කළ බව අනාවරණය වී ඇත. එලෙස එම වලව්ව භාවිත කර ඇත්තේ මරදාන ටි්‍රපොලි කඳවුරේ බුද්ධි අනුඛණ්ඩයේ රාජකාරි කළ පිරිසක් බව ද රහස් පොලිසිය කියයි.


පැහැර ගැනීමට ලක් වූ කීත් නොයාර් මහතා රැගෙන යන්නට ඇත්තේ දොම්පේ බදුවත්ත වලව්වට බවට රහස් පොලිසිය සැක කරයි.
රහස් පොලිසිය දීර්ඝ කාලයක් තිස්සේ කළ විමර්ශනයකින් පසු කීත් නොයාර් මහතා පැහැර ගෙන යෑම, ගිනි අවිවලින් පහර දී බරපතළ තුවාල සිදු කිරීම, අයුතු ලෙස සිර කර තබාගැනීම, කෲර වධහිංසා සිදු කිරීම යන චෝදනා යටතේ යුද හමුදාවේ පස්දෙනෙක් පසුගිය සෙනසුරාදා සහ ඉරිදා (18-19) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.


ඔවුහු  1535/2008 අංකය යටතේ බී වාර්තාවක් මගින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර මාර්තු තුන්වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.


පරීක්ෂණ පවත්වන අතරතුර රහස් පොලිසිය ඕස්ටේ්‍රලියාවට ගොස් කීත් නොයාර් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි. ඔහු කියා තිබුණේ පහරදුන් සැකකරුවන් යළි දුටුවහොත් හඳුනා ගැනීමට හැකි බවයි. ඒ අනුව සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට තීරණය කළ රහස් පොලිසිය අධිකරණයෙන් එම ඉල්ලීම කළේය.  හඳුනා ගැනීමේ පෙරෙට්ටුව පසුගිය බ්‍රහස්පතින්දා (23) පැවැත්වීමට නියමිතව තිබුණත් නොයාර් මහතා පැමිණ  සිටියේ නැත. ඒ මෙම ප්‍රහාරයෙන් පසු ඔහු විදෙස් ගතව සිටින බැවිනි. 


කාලයේ වැලිතලා අතරේ සැඟව යන්නට ගිය තවත් අපරාධයක තොරතුරු ඉදිරියේදී හෙළිදරව් වනු ඇත. 
අත්අඩංගුවට පත්ව සිටින හමුදාවේ පස්දෙනා තවමත් සැකකරුවන් පමණි. ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර නැත. නඩු විභාගය අතරතුර තවත් තොරතුරු රැසක් අනාවරණය වනු ඇතැයි රහස් පොලිසිය කියයි.

තරිඳු ජයවර්ධන සහ 
බිඟුන් මේනක ගමගේ



අදහස් (2)

කීත් නොයාර් පැහැරගෙන වධ හිංසා කිරීමේ සුලමුල

Pa-ra Sunday, 05 March 2017 06:23 AM

ශ්‍රී ලංකාවේ යුද්ධය කල් මැරුණේ දික්වුණේ ජනමාධ්‍ය නිසයි. එයින් වුණේ ජනමාධ්‍ය කරුණු අදහස් ත්‍රස්තවාදීන්ගේ වැඩකටයුතු විනාශකාරී දේවල්වලට අදහස් ක්‍රම වලට ශක්තියක් දීමයි.

:       10       22

kasun dharmawansha Tuesday, 07 March 2017 12:07 PM

කව්රු මොනවා කිව්වත් මේ පහරදීම කරලා තියෙන්නේ රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ හේතුවක් ඇතුව . මේවා මෙහෙම නොකලානම් අපි තාමත් යුද්ධ කරනවා.

:       36       2

ඔබේ අදහස් එවන්න

පුවත්

සමගි ජන සන්ධානය එළි දකී
2024 අප්‍රේල් මස 08 403 0

සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.


අප්‍රේල් 12 වැනිදාට ණය ගෙවීම පැහැර හැර අවුරුදු දෙකයි
2024 අප්‍රේල් මස 08 78 0

ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ


දේශපාලන පලිගැනීම්වලට ලක්වූ එ.ජා. පාක්ෂිකයන්ට මැයි මස සිට වන්දි
2024 අප්‍රේල් මස 08 174 0

දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.


බාල ඖෂධ ගෙනත් කෝටි 15ක් වතුරේ
2024 අප්‍රේල් මස 08 38 0

ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා


දුප්පතුන් සංඛ්‍යාව ලක්ෂ 57 කට නැගලා
2024 අප්‍රේල් මස 08 11 0

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලු‍ත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප


උසස් පෙළ ප්‍රතිඵල මැයි මුල
2024 අප්‍රේල් මස 08 13 0

අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 319 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site