IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


උතුරේ මොකද වෙන්නේ ?

ගෙවුනු වසර කිහිපයට වඩා මේ වසරේ නොවැම්බර් මාසය තුළ උතුර උණුසුම් වී ඇත. එක් පැත්තකින් තියුණු ආයුධ ගත් මැර කල්ලි වල පහර දීම්ද අනෙක් අතින් කොටි මහවිරු සැමරුම් වගේම කොටි නායකයාගේ උපන්දිනය සැමරීමට නියමිත වෙද්දී දේශපාලනික උණුසුමත් පක්ෂ බෙදීම් හා ජාතික කොඩියේ උණුසුමත් එක්ක උතුරේ වැසියන්ට ප‍්‍රශ්න රැසකට මුහුණ පාන්නට සිදුව ඇත.   

උතුරු පළාත යාපනය දිස්ත‍්‍රික්කය ගත් විට අාවා කල්ලි රැයක් දවාලක් නැතිව මහාමාර්ගවලදී මෙන්ම ගෙවල්වලට පැන තියුණු ආයුධවලින් සිදු කරන අමානුෂික පහර දීම් නිසා යාපනයේ ජනතාව වගේම උතුරේ ජනතාවත් බියට පත්ව ඇති බව උතුරු මහ ඇමති විග්නේෂ්වරන් වගේම සිවිල් සංවිධාන කිහිපයක්ම පවසා ඇත.   


එමෙන්ම උතුරේ ජනතාව පවසා සිටින්නේ කොටි සංවිධානය යලි හිස එසවීමට පටන් අරන් කියාය. නමුත් උතුරේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කියා සිටියේ මෙම ක‍්‍රියාකාරකම් හුදෙක් එල්.ටී.ටී.ටී.ඊ. සංවිධානයේ නොවන බවත් ඇතැම් කල්ලි කිහිපයක් විසින් සිදු කරන පහරදීම් පමණක් බවටයි. එම කල්ලි මැඩ පැවත්වීමට ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවටත්ය.   
මේ වෙන විටත් යාපනයේ සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත වූ 50කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම් සිදු කර ඒ අතරින් ආවා කල්ලියේ ප‍්‍රබල සාමාජිකයින් පස් දෙනෙකු පමණ බන්ධනාගාරගත වෙලා. ඒ අතර ආවා කල්ලියේ ප‍්‍රබලයෙකු වූ වික්ටර් නිශාන්ද ඇතුළත්.   


 පසුගිය දිනක යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන් මහතා විසින් උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප‍්‍රනාන්දු මහතා ඇතුලු නිලධාරීන්ට දැනුම් දී තිබුණේ සැක පිට ප‍්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගත්නා සියලු සැකකරුවන් අධිකරණයට යොමු කරවන ලෙසටයි. මහාධිකරණ විනිසුරුතුමන්ගේ එම දැනුම් දීමත් සමඟ පොලීසිය වගේම පොලිස් විශේෂ කාර්ය බලකායත් මේ දිනවල යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුම් මෙන්ම ආරක්ෂිත වැඩපිළිවලක් දියත් කර ඇත.   


කව්ද මේ කල්ලි කියන පිරිස් ගැන සෙවිය යුතුය. කල්ලි කියූ සැනින් කටින් පිටවෙන්නේ අාවා කල්ලියයි. එහි සත්‍යක් ඇත. යාපනයේ මීට පෙර තිබූ කල්ලි කිහිපයක්ම දැන් එක් කල්ලියක් වශයෙන් ක‍්‍රියාත්මක වනවා වන්නට හැකිය. මේ නිසාම අද අාවා කල්ලියේ ප‍්‍රධානියෙකු අත්අඩංගුවට ගතහොත් හෙට තවත් ප‍්‍රධානියෙකු පත් වෙන බව පෙනෙන්නට ඇත. ඒ වගේම මේ කල්ලියේ ප‍්‍රධානියා වෙච්ච ‘සන්නා’ මේ වන විටත් මෙරට නැති බව සිහියේ තබා ගත යුතු කරුණක් වෙයි. ඔහු ස්විට්සර්ලන්තයට පැනගොස් ඇති බවට දැනට වාර්තා වී ඇති අතර අනෙක් අන්තයෙන් දෙමළ ඩයස්පෝරාව ගැනත් සඳහන් කළ යුතුය. ඒ වගේම ඇතැම් දේශපලනඥයින් හා නීති උපදේශකයින් පිළිබඳවද සිහිපත් කළ යුතුය. දැනට දැනගන්නට ඇති ආකාරයට අනුව ආවා කල්ලියේ කොඳු නාරටි වී ඇත්තේ මේ ‘සන්නා’ වගේම ඉහතින් සඳහන් කළ පිරිස්ය.   

 

 

යාපනයේ ක‍්‍රියාත්මක ආවා කල්ලියට මුදල් කොහෙන්ද යන්න අවධානය යොමු විය යුතුය. කල්ලියට සම්බන්ධ තරුණයින් අත්අඩංගුවට ගන්නවාට වඩා මුදල් ලැබීම් නවතන්නේ නම් ආවා කල්ලි නිකම්ම විනාශ වෙයි.   


මුදල් ලැබෙන ක‍්‍රමය නම් යුද සමයේදී සිටම ආණ්ඩුවටද නැවත්වීමට නොහැකි වූ බවටයි යාපනයේ සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙන්නේ. එම සිවිල් සංවිධාන පෙන්වා දෙන අයුරින් යාපනයේ කල්ලි වලට මුදල් ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම “උණ්ඩියල්” ක‍්‍රමයටය. උණ්ඩියල් යනු වත්මන් ‘මණි එක්ස්ප‍්‍රස්’ වගේ ක‍්‍රියාවකි. මෙය සිදු වන්නේ පිටරට සිට යාපනයේ සිටින වෙළෙන්ඳන්ට රත‍්‍රන් සාප්පු හිමියන් හරහා සිදුවන ක‍්‍රියාදාමයකි. මේ හිමියන්ට විදෙස් පුද්ගලයින් විසින් මුදල් ලැබිය යුතු අයගේ අංක යොදා විවිධ වූ සන්නිවේදන ක‍්‍රම ඔස්සේ පණිවිඩ ලැබීමට සලස්වයි. අද ලැබෙන වෙළෙන්ඳට නෙවෙයි හෙට ලැබෙන්නේ. මේ අයුරින් තමයි යුද සමයේදී පවා රජයට නොදැනෙන්න විදෙස් මුදල් කොටි සංවිධානයට ලබා දුන් බවට යාපනයේ සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ මෙය අදටත් නවත්වා ගැනීමට හැකි වී නොමැත.   


අනෙක් අන්තයෙන් ස්විට්සර්ලන්තයේ ඉන්න සන්නා වගේම තමයි දෙමළ ඩයස්පෝරාවත්. මේ අයගේ පැවත්ම ඇත්තේද උතුරේ යම් කලබලයක් ඇත්නම් පමණි. එයට හේතුව වී ඇත්තේ විදෙස් බලධාරීන් ඩයස්පෝරාව වෙතට දැනුම් දී ඇත්තේ දැන් ශ‍්‍රී ලංකාවේ යුද්දයක් හෝ කලබලයක් නැති හෙයින් නැවත ශ‍්‍රී ලංකාවට යන ලෙසටයි. එහෙයින් ඔවුන්ට එම විදෙස් රටවල විසීමට නම් නැවත කලබල කිරීම මේ අයගේ එකම අරමුණ වී ඇත.   


මේ සඳහා ඇතැම් බංකොලොත් වූ දේශපාලන පක්ෂ නියෝජිතයින්ද ඩයස්පෝරාව විසින් බිලිබා ගනියි. මේ දේශපාලනඥයින් විසින් බල ලෝභීව යාපනයේ තරුණයින් බිලිබාගන්නේ මුදල් මාර්ගයෙනි.   


බිලීබාගැනීම සිදුවන්නේ බොහෝ විට ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනවලදී වගේම විවිධ වූ උත්සව අවස්ථාවලදීය. ඒ වෙනකකින් නොව ඉතා දුප්පත් තරුණ පිරිස් තෝරා ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කොට හැකි තරම් ඒ වෙනුවෙන් මුදල් යෙදවීමය.   


දිනය පුරා ඉබාගාතේ ඇවිදිමින් සිටි මේ තරුණයින්ට ලැබුණු ස්වීප් එකක් යැයි සිතා ඔවුන් තවත් ආගාධයටම යන්නේ මෙහි ආදීනව නොදැනය.   


අාවා කල්ලි පිටුපස දේශපාලනය හා නීති උපදේශනය ඇති බව පෙනී යන ප‍්‍රධාන කරුණ වන්නේ මේ වන විට ගත වූ මාස දෙක තුනේදී පොලිස් නිලධාරීන්ට මෙන්ම සාමාන්‍ය වැසියන් 20 කට ආසන්න පිරිසකට තියුණු ආයුධවලින් සිදු කළ පහර දීම්ය. මෙසේ පහර දීමට පැමිණි කල්ලිවලට හොඳාකාරවම පහර කෑ පුද්ගලයා මිය යාමට තරම් පහර දීමට අවස්ථාවන් වගේම ආයුධ තිබුණි. නමුත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වෙනත් යමක් බව හැඟේ. දේශපාලනික බල ලෝභීත්වය උදෙසා ජනතාව තුළ කැලඹීමක් ඇති කිරීම මෙහි අරමුණක් බවට පෙනී යයි. යම් විටක පහර දීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට පත් වුවහොත් එම පුද්ගලයාට වැඩි කල් නොයා ඇප ලබා දිය හැකි අයුරකින් කැපීම් කෙටීම් සිදු කරන ලෙසට නීති උපදෙස්ද ලැබී ඇති බවට පෙනී යන අනෙක් කරුණ වෙයි.   


තාවකාලික පැල්පත් වල ඉන්න අවුරුදු 15 සිට 25 දක්වා වූ තරුණයින් හිටි හැටියේම රුපියල් ලක්ෂ 6කට වැඩි වටිනා යතුරුපැදි ගෙන ඒම, දිනපතා මත්පැන් පානය කිරීම, දින චරියාව වගේම කල්කිරියාව වෙනස් වෙන පුද්ගලයින් පිළිබඳව දැන් දැන් යාපනයේ ජනතාවත් සෙවිල්ලෙන් සිටිය යුතු බවට යාපනයේ සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙන අනෙක් කරුණ වෙයි.   


අත්අඩංගුවට පත් ආවා කල්ලි ප‍්‍රබල සාමාජිකයින් ළඟ තිබුණ ජංගම දුරකතනවල කොටි නායකයින්ගේ ඡායාරූපද පොලීසියට හමු වූ බව අසන්නට දකින්නට ඇත. සමහර විට කොටි සංවිධානයේ හිටපු පිරිසුත් මේ අතර සිටිනවා වෙන්නට පුලුවනි. කපන කොටන සිදුවීම් ඒ අයට අත්දැකීමත් සමඟ හොඳ පල පුරුද්දක්ද ඇත.   


උතුරේ බලය ඇති දෙමළ නායකයින්ටත් මේ කල්ලි දැන් එපා වී ඇති බව කිව යුතුයි. පසුගිය දින කිහිපයේදී දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ද උතුරේ පොලිස් නිලධාරීන් හමු වී කියා සිටියේ මේ කල්ලි ගොඩින් හරි මඩින් හරි නැති කරන්න කියලයි. එය ඔවුන්ගේ දේශපාලන ජවනිකාවටත් මේ වන විට බාධාවක් වෙලා.   


උතුරේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු දින නියමයක් නොමැතිව අවලංගු කිරීමටත් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමන් පියවර අරන් තිබුණා. ඒ මේ අායුධ කල්ලි මඩින්න වගේම එළඹෙන මහවිරු දිනයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවලක් දියත් කිරීමටය.   


දැන් දැන් ආවා කල්ලි සාමාජිකයින් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සිදුවෙයි. නමුත් විය යුත්තේ ගසේ මුල ඉවත් කිරීමය. එසේ නොවන්නට තවත් තැන් වලින් අතුපතු මතුවීම වැළැක්විය නොහැක.   


මේ නොවැම්බර් මාසයේ එළඹෙන කොටි මහවිරු දිනයත් කොටි නායකයාගේ උපන්දිනය ගැනත් අප පසුගිය සතියේ ඔබට සිහිපත් කළෙමු. මේ සතියේ කියන්නට ඇත්තේද මහවිරු සතිය ආරම්භයත් සමඟ අප පසුගිය සතියේ කියූ පරිදි යාපනය සරසවියේ මහවිරු ස්මාරකයේ පහන් දැල්වීම සිදු වූ බවය. එමෙන්ම කිලිනොච්චියේ කනකපුරම් කොටි සුසාන භූමියේ මීට පෙර ඉවත් කරන ලද මහවිරු සොහොන් කොත් කෑලි එක් කොට මහවිරු ස්මාරකයක් ඉදිකොට ඇති බවයි. මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් වගේම තවත් බොහෝ පිරිස් ප‍්‍රමුඛත්වය දී කටයුතු කරන අයුරු දැක ගන්නට ලැබුණි.   


මේ අතරතුර උතුරු නැගෙනහිර බලය ඇති ටී.එන්.ඒ. පක්ෂය දෙදරන්න ගත්තේය. ඒ දෙමළ ජාතික සන්ධානයට අයත් ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය සන්ධානයෙන් ඉවත්වීමයි. ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා පවසා සිටියේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයත් සමඟ තමන්ට එක්ව දේශපාලනික කටයුතු සිදු කිරීමට නොහැකි බවටත් ඉදිරියේදී වෙනත් දෙමළ සන්ධානයකින් උතුරු නැගෙනහිරින් මැතිවරණයන් වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් බවටයි. මේ කරුණත් සමඟ දෙමළ ජාතික සන්ධානයට වැදුණු අකුණු සැරක් මෙන් විය. හදිසියේම යාපනයේදී දෙමළ ජාතික සන්ධාන නායකයින් රැස්වී තීරණාත්මක සාකච්ඡා කිහියක් පැවත්විය. අනතුරුව ගැටේ ලිහා ගැනීමට මන්නාරම් රදගුරු නිවසේදී රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හමු වී සාකච්ඡා කළහ. ඉන් පසුව වව්නියාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් දවසක් පුරා සාකච්ඡ​ා වටයක් පැවත්වුණේ උතුර පුරා සිටි දේශපාලනික ක‍්‍රියාකාරීන්ගේද සහභාගීත්වයෙනි.   


නමුත් සාකච්ඡ​ා වූ කිසිවක් මාධ්‍යට ඔවුන් නොපවසා ලිස්සා ගියේ ඉදිරි මැතිවරණයන් වෙනුවෙන් වෙන සූදානම ගැන සාකච්ඡා වූ බවටත් ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය ගැන විමසීමේදී එම පක්ෂය ඉවත්වීම ගැන ලිඛිතව කිසිවක් දැනුම් දී නොමැති බවත් පවසමිනි.   


කෙසේ වුවත් දැන් දෙමළ ජාතික සන්ධානය විසින් ඉවත්ව ගිය ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ සාමාජිකයින් බිලිබා ගැනීමේ දැවන්ත උත්සාහයක යෙදී ඇත. පළමු බිලිබා ගැනීම වුණේ මුලතිව් දිස්ත‍්‍රික් ඊ.පී.ආර්.එල්.එෆ්. පළාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ සාමාජිකත්වය මාවේ සේනාධිරාජා හමුවේ ලබා ගැනීමය. මෙලෙසින් යාපනයේ පළාත් සබා මන්ත‍්‍රීවරුන් තවත් දෙදෙනෙකු හා නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකුද බිලී බාමින් සිටින බවට තොරතුරු දැනගන්නට ඇත.   


දෙමළ ජාතික සන්ධානය උතුර පුරා රැස්වීම් තිබ්බත් මේ කිසිදු රැස්වීමකට සහභාගී නොවූ උතුරු මහඇමති සී.වී. විග්නේෂ්වරන් නිහඬ පිළි​ෙවතක් අනුගමනය කොට ඇත. වවුනියාවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් රැස්වීම තියන අතරතුර උතුරු මහඇමති යාපනය පුස්තකාලයේදී රැස්වීමක් තිබුණේ දෙමළ ජනතා සභාවේ සාමාජිකයින් සමඟය. එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් උතුරු මහඇමති කියා සිටියේ.   


‘දෙමළ ජනතා සංසදය ඇතිකරගත්තේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනීසිටීමට. මේ සංසදය පක්ෂයක් වශයෙන් මැතිවරණයකට කිසිසේත් ඉදිරිපත් වෙන්නේ නැහැ. සංසදය තුළ දෙමළ ජාතික සන්ධානයේ එක් එක් පක්ෂවල ක‍්‍රියාකාරීනුත් ඉන්නවා. පක්ෂයක් වශයෙන් මැතිවරණවලට ඉදිරිපත් නොවුණත් ඉදිරියේදී ඇතිවෙන දේශපාලන කටයුතුවලදී මැදිහත් වී කටයුතු කරන්න අපි තීරණය කරල තියෙන්නේ. යනුවෙනි.   


අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍ර මහතා මෙසේ කියා සිටියේය.   


රජය විසින් ඉදිරිපත් කර ඇති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අතුරු වාර්තාවෙන් දෙමළ ජනතාවගේ සිතුම් පැතුම් බොඳවෙලා යන විදිහේ එකක්. ඒ නිසා අපි අතුරු වාර්තාවට විරෝධය පළ කළ යුතුයි. දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන පක්ෂයක් වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය අද වෙනකම් දෙමළ ජනතාව වෙනුවෙන් විශේෂයෙන් කරපු දෙයක් නැහැ. ඒ නිසා ඉදිරියේදී පැවත්වෙන පළාත් පාලන මැතිවරණයන් වෙනුවෙන් අපේ පක්ෂයත් දෙමළ ජාතික පෙරමුණ ඇතුලු පක්ෂ කීපයක් එක් වී පොදු ලකුණකින් තරග කරන්න බොහෝ දුරට ඉඩ තියනවා යනුවෙනි.   


මේ දෙමළ නායකයින්ගේ කාකොටා ගැනීම් ජරමර අස්සේ උතුරු මහඇමති වෙනත් ගමනක් හීන් සැරේ යන්නට මාන බලනවා වෙන්නටද පුලුවන.   


උතුරේ දේශපාලනික උණුසුම එහෙම වෙද්දී දේශපාලනඥයෙකුගේම මැදිහත් වීමෙන් රට පුරාම ඇවිලුණු ගින්නක් වුණේ අපේ රටේ ජාතික කොඩියත් එක්ක බැඳුනු සිද්ධි මාලාවකටයි.   
ආරම්භය වුණේ වව්නියාව ඉරට්ටපෙරියකුලම් පාසලේ උත්සව අවස්ථාවකට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් උත්සවය ආරම්භක අවස්ථාවේදී ජාතික කොඩිය එසවීම ප‍්‍රතික්ෂේප කිරීමය. එය මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන් වීමත් සමඟ ඉන් උතුර දකුණ අස්සක් මුල්ලක් නෑර ගිනිගත්තේ වගකිව යුතු නිලධාරියෙකු ජාතික ධජයට ගරු නොකරන රටක් වශයෙනි.   


ඇත්ත වශයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මෙම ප‍්‍රතිපත්තිය මීට පෙරද දකින්නට ලැබුණි. උතුරේ පැවති බොහෝ උත්සව අවස්ථාවලදී උතුරු මහඇමතිගේ සිටම ජාතික ධජය එසවීම ප‍්‍රතික්ෂේප කරන අයුරු දැනගන්නට ඇත. නමුත් පත්තු වුණේ ඉරට්ටපෙරියකුලම් පාසලේදීය. කොහොමින් හරි ජාතික ධජය එසවීම ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විමසීමට කන්දයියා සර්වේස්වරන් මහතා අවස්ථා කිහිපයකදීම සම්බන්ධ කර ගැනීමට උත්සහ දැරුවද ඔහු මගහැරීය. නමුත් තත්ත්වය බරපතල වූ බැවින් කන්දයියා සර්වේස්වරන් උතුරු පළාත් අමාත්‍යවරයා මාධ්‍යට කියා සිටියේ මෙවැන්නකි.   


‘1950 ගණන්වල ඉඳලා චෙල්වනායගම් කාලයේ ඉඳලා අපි මේ ජාතික කොඩිය ප‍්‍රතික්ෂේප කළා. 1987 ඉන්දු - ලංකා ගිවිසුමේදී පිළිගත්තා මේ රටේ ජාතීන් 3ක් ජීවත් වෙනවා කියලා. ඒ වුණත් ජාතික කොඩිය තුළින් වැඩි ප‍්‍රමාණයක් බහුතරය වන සිංහල ජනතාව නියෝජනය වෙනවා. ඒකට අපි විරුද්ධයි. චන්ද්‍රිකා ජානාධිපතිනිය සමයේ අලුත් ව්‍යවස්ථාවක් ගේන අවස්ථාවේදී මේ ප‍්‍රශ්නේ අපි ඉදිරිපත් කළා. ඒත් ගණන් ගත්තේ නැහැ. දැන් හදන නව ව්‍යවස්ථාවෙනුත් මේකට උත්තරයක් නැහැ. ඒ නිසා චෙල්වනායගම් මහතාගේ මගපෙන්වීම යටතේ අපි තාම මේ ජාතික කොඩි ඔසවන්න අකමැතියි. ඒ කොඩියේ ලංකාවේ ඉන්න ජාතීන් 03 ම සමානව නියෝජනය වෙනවා නම් අපි කැමතියි. යනුවෙනි.   


මේ කතාවත් එක්ක ගින්න කොයි තරම් ඇවිලූනේද කියනවානම් පසුගියදා පුවත් පත් කාටුනයක දකින්නට ලැබුණේ ජාතික ධජයේ සිංහයා වෙනුවට කොටියෙකු සිටීනම් ඒ අය කැමති වේවී නේද යන රූප පෙළකි. මේ අයුරින් දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨයින් වෙච්ච උතුරු මහඇමති මාධ්‍යයට කියා ඇත්තේ ජාතික ධජය පිළිබඳව ගැටලු ඇති බවටත් එම නිසා 1959 වසරෙන් පසුව නිදහස් උත්සව සඳහා සහභාගී නොවුණත් ජාතික ධජයට අගෞරව කිරීම රටටම කරන අවමන් කිරීමක් හෙයින් කන්දයියා සර්වේස්වරන් මහතාගේ ක‍්‍රියාකලාපය ප‍්‍රතික්ෂේප කරන බවටයි,   
එමෙන්ම එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේ ‘ජාතික ධජය සම්බන්ධයෙන් මගේ කැමත්තක් නැහැ. ඒක වෙනස් කළ හැකිනම් ඒක වෙනස් කරන එක හොඳයි කියල මමත් හිතනවා. නමුත් ඒක එක රටක ජාතික කොඩියක්. අපේ රටවල ජාතික කොඩිවලට ගරු කරන්න ඕනෑ. මේ කොඩියට එකඟවෙලා තියනවා එවකට හිටපු පොන්නම්බලම් වැනි දෙමළ නායකයින්. පොන්නම්බලන්ගේ අනුගාමිකයින් මේ ජාතික කොඩිය පිළිගන්නැහැයි කියලා බොරුවට කතා කරලා අනවශ්‍ය ගැටලු ඇති කළ යුතු නැහැ,   


මාවෙයි සේනාධිරාජා කියා සිටියේ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය ආරම්භයේදී ගත් තීරණයක් තමයි මේ ජාතික ධජය පිළිනොගන්න එක. මොකද එ්කේ දෙමළ ජනතාව හා අනෙකුත් සුලු ජනතාව නියෝජනය නොවන නිසා. නමුත් සම්ප‍්‍රදායක් වශයෙන් ජාතික ධජය ඔසවනවා. නව ව්‍යවස්ථාව නිර්මාණය කරන විට දෙමළ ජනතාව හා සුලු ජාතික ජන කොටස් නියෝජනය වෙන පරිදි ජාතික කොඩියද වෙනස් වනවනම් හොඳ බවටයි ඔහු කියා සිටියේ,   


උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මේ ක‍්‍රියාවට දැඩි ප‍්‍රතිපත්තියකින් ඉන්න උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ,   
“ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව ඔහු හැසිරුණේ. ඒ නිසා ඔහු පිළිබඳව යම්කිසි විනය ක‍්‍රියා මාර්ගයක් ගත යුතුය. ඇතැම් අවස්ථාවලදී කියලා තියෙනවා ඔහු අමාත්‍ය ධුරයෙන් නෙරපා දැමිය යුතුය කියලා. මේ වගේ මත ප‍්‍රකාශ වෙනවා. මේ පිළිබඳව මා විසින් ගනු ලබන ක‍්‍රියා මාර්ගය පිළිබඳව දැනුවත් කිරීමටයි මේ සාකච්ජාව. පළමුවෙන්ම මේ සිදුවීම පිළිබඳ සියලු එකතු කරගත් කරුණු මම නීතිපතිවරයාට යොමු කරනවා. ඒ කියන්නේ එම වීඩියෝ දර්ශන, පුවත්පත් ප‍්‍රකාශ, ඊට පස්සේ එතුමා විසින්ම කරන ලද ප‍්‍රවෘත්ති සාකච්ජාවේ තොරතුරු මේ සියල්ල එතුමා වෙත යොමු කළහම නීතිපතිතුමා විසින් දෙන උපදෙස්වලට අනුව තමයි ඊළඟ ක‍්‍රියා මාර්ගය ගන්න මට සිද්ධ වෙන්නේ.”   


“මං එහෙම කරන්නේ දැන් මෙම ක‍්‍රියාමාර්ග ගැනීම එතැනින්ම අවසාන වෙන්නේ නැහැ. ඊට එරෙහිව නොයෙකුත් නෛතික ක‍්‍රියා මාර්ග තවත් සිදු වෙන්නට පුළුවන්. එතකොට ඒ නෛතික ක‍්‍රියා මාර්ගවලදී ශක්තිමත්ව එයට මුහුණ දීමට, නැත්තම් අපි ගත්තා වූ තීන්දුව පිළිබඳ ඉතාමත්ම නීත්‍යානුකූල ස්වරූපය ශක්තිමත්ව තිබෙන්නට අවශ්‍ය නිසා තමයි නීතිපති උපදෙස් මම ලබා ගන්නේ. ඒ නිසා මේ සිදුවීමට විසඳුම් ඉදිරියේදී ඇතිවන නඩුවකින් ඇතිවන තීන්දුවක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට විතරක් නෙවෙයි, අනිකුත් පළාත් සභා සියල්ලටමත් ඒ වගේම පළාත් සභා ඇමතිවරුන් සම්බන්ධයෙනුත්, ජාතික කොඩිය සම්බන්ධයෙනුත් ඉතාම තීරණාත්මක තීන්දුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම අද දිනය ඇතුළත එතුමාගෙන් එම නීති උපදෙස් ලබා ගෙන ඉදිරියට කටයුතු කරනවා.” යනුවෙනි.   


උතුරේ වෙසන සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන්ට උතුරට මේ වෙන්නේ මොකද්ද උතුර යන දිසාව කොයිබටද යන්න අන්ද මන්ද වී ඇත. මුලින් කී පරිදී විසඳුම විනාශකාරී ගසේ මුල්ද සොයා විනාශ කළ යුතු නොවේද යන්න අප කාටත් සිතීමට යමක් ඇති බව කිව යුතුය.

 

 

 

 

 

වන්නි - රොමේෂ් මධුෂංඛ



අදහස් (0)

උතුරේ මොකද වෙන්නේ ?

ඔබේ අදහස් එවන්න

පුවත්

ජනපති ඡන්දෙට ලෑස්තියි: මැ.කො. කෝටි දාහක් වෙන් කරයි
2024 අප්‍රේල් මස 01 321 0

ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු‍ කටයුතු සූදානම් කර ඇතැයි එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.


ඥානසාර හිමි නිදහස් කරන්නැයි අභියාචනාධිකරණයට ඇපෑලක්
2024 අප්‍රේල් මස 01 528 0

ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාවන්ට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය ප්‍රතිශෝධනය කර උන්වහන්සේ නිදොස්


රුසියන් - යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලංකීය කුලී හේවායන් ගැන තොරතුරු නෑ
2024 අප්‍රේල් මස 01 574 0

රුසියා-යුක්රේන යුද්ධයේදී කුලී හේවායන් වශයෙන් කටයුතු කරමින් සිටියදී මියගිය ශ්‍රී ලාංකිකයන් ගැන ඒ රටවල තානාපති කාර්යාල ඔස්සේ ආරක්ෂක අමාත්‍යාංශයට මෙත


2029 වෙන විට තත්පරයක් අඩුවෙයි
2024 අප්‍රේල් මස 01 90 0

පෘථිවිය කැරකෙන වේගය එසේත් නැති නම් භ්‍රමණය ​ෙවන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩු​ ෙවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.


අඩු වැටුප් නිසා 250 දෙනෙක් හෙද සේවය හැර ගිහින්
2024 අප්‍රේල් මස 01 114 0

ප්‍රමාණවත් වැටුපක් නොලැබීම නිසා මේ වසරේ ගෙවීගිය කාලය තුළදී මධ්‍යම රජයේ රෝහල්වල සේවය කළ හෙද නිලධාරීන් හා නිලධාරිනියන් 250 දෙනෙකු සේවයෙන් ඉවත්ව ගොස් තිබ


ලංකාවේ ලූනු ගෙඩිය පල්ලම් බැහැලා
2024 අප්‍රේල් මස 01 121 0

පසුගිය වසර තුනක කාලයේදී රටේ බී ලූනු වගාකරුවන් සංඛ්‍යාව සියයට අසූ හයකින් පහළ බැස ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වන බව පේරාදෙණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1350 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site