සෝමාලියානු කොල්ලකරුවන් විසින් ශ්‍රී ලංකාවේ කාර්ය මණ්ඩලයක් සහිත එරිස් 13 නමැති නෞකාව අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය විශේෂ ප්‍රවෘත්තියක් විය. මින් ඉහතදී ද ශ්‍රී ලංකාවේ කපිතාන්වරයකු යටතේ යාත්‍රා කෙරුණු නෞකාවක් සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වූයේය. මාස තුනකට ආසන්න කාලයක් කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ තිබූ එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම දිවි ගලවාගෙන යළි පැමිණෙන්නට එම කපිතාන්වරයා සමත් විය. ඔහු නාකුළුගමුව සියඹලාගස්ආරේ උපත ලද අන්ද්‍රාහැන්නැදිගේ ඇක්මන් ද සිල්වා මහතාය.


කපිතාන් සිල්වා මහතා එවක සේවය කරනු ලැබුවේ කෙන්යාවේ මොටාගෝ ෂිපිං පෞද්ගලික සමාගමට අයත් එම්. බී. ටොබිලෝ නම් නෞකාවේය. එහි කාර්ය මණ්ඩලය 14 දෙනකුගෙන් සමන්විත වූ අතර ඔවුන් සියලු දෙනා කෙන්යානුවෝ වූහ. එහි සිටි එකම ශ්‍රී ලාංකිකයා වූයේ කපිතාන්වරයා වූ ඇක්මන් ද සිල්වා මහතා පමණි.  


දිනය 2004 ඔක්තෝබර් 11 වැනිදාය. එදින ඔහුගේ නෞකාව ඩොලර් ලක්ෂ 40ක් පමණ වටිනා තේ කොළ,  සිගරට්,  ඖෂධ හා ආහාර ද්‍රව්‍ය තොගයක් පටවාගෙන කෙන්යාවේ මොම්බාසා සිට සෝමාලියාව හරහා ඕමානය වෙත යාත්‍රා කිරීම ඇරඹීය. එකල මොගඩිෂු වරාය වසා දමා තිබූ හෙයින් එම්. බී. ටොබිලෝ නෞකාව සෝමාලියාවේ එල්මාන් වරායේ නැංගුරම් ලෑමට නියමිතව තිබිණි. නෞකාව කෙන්යානු මුහුදු සීමාව පසුකොට සෝමාලියානු මුහුදු කලාපයට ඇතුළු විය. එය යාත්‍රා කරමින් තිබුණේ සෝමාලියානු වෙරළ තීරයේ සිට සැතපුම් 35ක පමණ දුරකිනි. නැව ස්වයංක්‍රීයව :්මඑද ඡසකදඑ* මෙහෙය වුණු අතර කපිතාන් ඇක්මන් සිල්වා මහතා සහ කෙන්යානු ජාතික ජෝජ් මොවිටොබෝ නම් සහයක නිලධාරියා නියමු මැදිරියේ දෙපස වාඩි වී සිටියහ. 
ඈත සිට කුඩා මෝටර් බෝට්ටුවක් නෞකාව ඉදිරියට පැමිණෙනු කපිතාන්වරයාට හා ඔහුගේ සහයක නිලධාරියාට දිස්වූයේ මේ අතරය. සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් එම කලාපයේ ගැවසෙන බැව් දැන සිටි කපිතාන් සිල්වා මහතා නැවේ වේගය වැඩිකොට එය දෙපසට හරව හරවා (සිග්සැග් ආකාරයට) පදවන ලෙසට සහයක නිලධාරියාට පැවසීය. ඉදිරිපසින් පමණක් නොව නැවේ අනෙකුත් පැතිවලින් ද කුඩා බෝට්ටු පැමිණෙන ආකාරය ඔවුනට දැකිය හැකි විය. මොවුන් සෝමාලියානු කොල්ලකරුවන් බවට සැක සිතූ කපිතාන්වරයා ඔවුන්ගෙන් ගැලවීම සඳහා නැව සිග්සැග් ආකාරයට යාත්‍රා කරමින් ඔවුන් මග හැරීමට උත්සාහ කළේය. මේ අතර අශ්වබල 50 පමණ එන්ජින් ධාරිතාවකින් යුතු බෝට්ටුවක් වේගයෙන් නැවට ආසන්න වෙමින් තිබිණි. එහි සිටි පිරිස ඒ.කේ. 47 සහ ආර්.පී.ජී. අවිවලින් සන්නද්ධව සිටි අතර නෞකාව නවත්වන ලෙසට කෑගසමින් ඒ දෙසට වෙඩි තබන්නට වූහ. එහෙත් කපිතාන්වරයා තවත් වේගයෙන් යාත්‍රා කිරීමට පියවර ගත්තේය. කොල්ලකරුවෝ නැව දෙසට ආර්.පී.ජී. ප්‍රහාරයක් එල්ල කළ ද වාසනාවට එය නැවට හානියක් නොකරමින් මුහුදට පතිත විය. නොනවත්වා එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ගැලවීම සඳහා කාර්ය මණ්ඩලය බිම දිගා වී සිටියහ. තම හිසට ඉහළින් පියඹා යන වෙඩි උණ්ඩ ඔවුනට පෙනිණි. වෙඩි ප්‍රහාරයෙන් නැවේ වීදුරුවලට හානි සිදු විය.


මුහුදු කොල්ලකරුවෝ නැව් අල්ලා ගැනීම සඳහා යාත්‍රා කරනුයේ ෆයිබර්ග්ලාස්වලින් තනන ලද මව් යාත්‍රාවකට අමුණා ගත් සැහැල්ලු බෝට්ටුවලිනි. මව් යාත්‍රාව මදක් විශාල බෝට්ටුවක් වන අතර ඔවුන් මුහුදේ ජීවත් වන කාලය තුළ අවශ්‍ය ආහාර, ජලය, ඉන්ධන හා අවි ආයුධ ගබඩා කර ඇත්තේ එහිය. එයට ඈඳූ කුඩා බෝට්ටු හතරක් පහක් දැකිය හැකි වන අතර කිසියම් නෞකාවක් එම මුහුදු සීමාවෙන් ගමන් ගන්නා විට එම මව් යාත්‍රාවේ ඈඳා ඇති කුඩා බෝට්ටුවල නැගී වේගයෙන් නැවට සමීප වී සැහැල්ලු ඉණිමං ආධාරයෙන් නැවට ගොඩ වී ඒවා අත්අඩංගුවට ගැනීමට මොවුහු දක්ෂයෝය. එසේ අත්අඩංගුවට ගන්නා නැව් ඔවුන්ගේ වරායකට රැගෙන ගොස් නැව් සමාගම්වලින් කප්පම් ඉල්ලා සිටිති. 


එම්. බී. ටොබිලෝ නෞකාව ද පැහැර ගැනුණේ ඒ අයුරිනි. කපිතාන් ඇක්මන් ද සිල්වා මහතා තමා මුහුණ දුන් අත්දැකීම මේ අයුරින් විස්තර කළේය. 


“අපිට ඉදිරියෙන් සහ දෙපසින් ගමන් ගත් බෝට්ටු මගහරිමින් වේගයෙන් යාත්‍රා කරන්න මා උත්සාහ ගත්තා. එක්වරම මා වෙත දුවගෙන ආ මගේ කාර්ය මණ්ඩලයේ කෙනෙක් කිව්වා පිටිපස්සෙන් ආපු බෝට්ටුවේ සිටි කොල්ලකරුවන් නැවට නැගල කියලා. ඔවුන් එකොළොස් දෙනෙක් නැවට ඇතුළු වී තිබුණා. ආයුධ එල්ල කරගත් ඔවුන් නියමු මැදිරියට ආවේ ‘වෙයාර් ඊස් කැප්ටන්’ කියමින්. ‘අයි ඈම් ද කැප්ටන්’ කියා මම ඔවුන්ට පිළිතුරු දුන්නා. එවිට එක් අයෙක් මට තුවක්කු බඳෙන් පහරක් ගැහුවා. ඒ, ඔවුන් මුහුදේදී නැව නවත්වන්න යැයි කී විට මම එය නොනැවැත් වූ නිසා. මා දෙසට තුවක්කු එල්ල කරලා නැව නතර කරන ලෙසට ඔවුන් බල කළා. මා නැවේ එන්ජිම ක්‍රියා විරහිත කළා. අප සියලු දෙනාටම නැවේ ඉදිරිපසට යන ලෙසට අණ කළ ඔවුන් නාවිකයන්ගේ කැබින්වල තිබූ මුදල් හා වටිනා භාණ්ඩ සියල්ල කොල්ල කෑවා. මා සතුව තිබූ දුරකථන දෙකක් සහ සැටලයිට් දුරකථනය ද ඔවුන්  අරගත්තා. එහෙත් අප විසින් ප්‍රවාහනය කරමින් තිබූ කිසිදු භාණ්ඩයක් කොල්ල කෑවේ නැහැ.”


භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වෙනත් රටකට යාත්‍රා කිරීමේදී විවිධ ගෙවීම් කිරීමට සිදුවන හෙයින් සෑම නෞකාවකටම නැව් සමාගම මඟින් ඩොලර් දසදහසක මුදලක් ලබාදීම සාමාන්‍ය පිළිවෙතය. මේ බැව් දන්නා කොල්ලකරුවෝ එම ඩොලර් දසදහස තමන්ට දෙන ලෙසත් එය නොදෙන්නේ නම් මරා දමන බවටත් පවසමින් කපිතාන්වරයාගේ හිසට තුවක්කු එල්ල කර තර්ජනය කළෝය. වෙනත් ගමන්වාරවලදී එම මුදල කපිතාන් සිල්වා මහතා රැගෙන යන මුත් මෙවර එය රැගෙන නොගියේ එම්. බී. ටොබිලෝ නෞකාව සඳහා ගෙවිය යුතු මුදල් නැව් සමාගම මඟින් ගෙවා තිබූ හෙයිනි. තමා සතුව මුදල් නොමැති බවත්, සියලු ගෙවීම් නැව් සමාගම මඟින් ගෙවා ඇති බවත් සිල්වා මහතා පැවසුවද එය විශ්වාස නොකළ කොල්ලකරුවෝ ඔහුට තර්ජනය කරමින් මුදල් ඉල්ලා සිටියහ.

වරින්වර ගොඩබිම සමග ගුවන්විදුලි තරංග ඔස්සේ පණිවිඩ හුවමාරු කර ගැනීමට ද ඔවූහු කටයුතු කළහ. කොල්ලකරුවන්ගේ තර්ජනවලින් ගැලවීම සඳහා කපිතාන් සිල්වා මහතා තම කුටියේ යතුරු ඔවුනට ලබා දී තමා සන්තකයේ ඇත්තේ ඩොලර් 400 වැනි මුදලක් බවත් අවශ්‍ය නම් එය ගන්නා ලෙසටත් කියා සිටියේය.


කොල්ලකරුවන් නැව අත්පත් කරගත්තේ 2004 ඔක්තෝබර් 13 වැනි දින දහවල් 11.30ට පමණය. අත්පත් කර ගන්නා සියලු නැව් රැගෙන එන ලද්දේ ඔවුන්ගේ ආරක්ෂිත තිප්පොලක් වෙතය. එම ස්ථානය හැඳින්වූයේ හර්බෙරා නමිනි.  කොල්ලකරුවන් පැමිණි බෝට්ටු ද නැවට අමුණා ගත් ඔවූහු හර්බෙරා කරා යාත්‍රා කරන්නට වූහ. ඔක්තෝබර් 13 වැනි දින අත්අඩංගුවට පත් නෞකාව හර්බෙරා වෙත ළඟාවන විට දින එකහමාරක් පමණ ගත වී තිබිණි.


සාමාන්‍යයෙන් දිනපතා දහවල් 12 පමණ නැව් සමාගම සමග දුරකථන මඟින් හෝ රේඩියෝ මඟින් හෝ සන්නිවේදනයේ යෙදීම සිරිත විය. එම වෙලාවට සන්නිවේදනය සිදු නොවුනහොත් නැව සම්බන්ධයෙන් සොයා බැලීම නැව් සමාගමේ සිරිතය. නැව් සමාගම සුපුරුදු වේලාවට එම්. බී. ටොබිලෝ නෞකාව සමඟ සන්නිවේදනය කළ ද නැවෙන් පිළිතුරු නොලද හෙයින් එය කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වන්නට ඇතැයි සමාගම සැක කළේය. නැව් සමාගම සෝමාලි බලධාරීන් දැනුම්වත් කළ අතර ඔවුන් ඇමෙරිකානු හමුදාවට ඒ පිළිබඳව වාර්තා කර තිබිණි. 


සවස 5ට පමණ ඇමෙරිකානු හෙලිකොප්ටර් යානයක් නැවට ඉහළ අහසේ රවුම් ගසනු කපිතාන්වරයාට පෙනිණි. හෙලිකොප්ටර් යානයෙන් කපිතාන්වරයාට ඇමතුම් ලැබුණ ද නැව අත්පත් කරගෙන සිටි කොල්ලකරුවෝ ඇමෙරිකානුවන්ට ප්‍රතිචාර දැක්වීමට කපිතාන්වරයාට අවසර දුන්නේ නැත. මේ වනවිට නැවේ පාලනය පැවතියේ කොල්ලකරුවන් අතය. ඔවූහු ඇමෙරිකානු හෙලිකොප්ටර් යානයෙන් කෙරුණු සන්නිවේදනයට පිළිතුරු දෙමින් යළි කථා නොකරන ලෙසට තර්ජනය කළහ.


හර්බෙරාහි නැංගුරම් ලෑමෙන් පසු කොල්ලකරුවන්ගේ නායකයා සහ තවත් දෙදෙනෙක් බෝට්ටුවකින් ගොඩබිම වෙත ගියහ. පැයක් පමණ ගත වන්නට ඇත. නැවේ සිටි කොල්ලකරුවෝ එක්වරම බියට පත් වී වහා නැවේ එන්ජිම ක්‍රියාත්මක කරන ලෙස කපිතාන්වරයාට අණ කළහ. ඔවුන් තුළ වූයේ තැතිගත් ස්වභාවයකි. නැවේ එන්ජිම පණ ගැන්වීම සඳහා සුළු කාලයක් අවශ්‍ය වෙයි. එම කාලය පවා නොඉවසූ කොල්ලකරුවෝ නාවිකයන් දෙසට තුවක්කු එල්ල කරමින් වහා එය පණ ගන්වන ලෙසට තර්ජනය කළහ. නැව පණ ගන්වා ගත් කොල්ලකරුවෝ එය සැතපුම් 50ක් පමණ දුරින් පිහිටි වෙනත් ස්ථානයක නැංගුරම් දමන ලෙසට අණ කළෝය. 


එහි දිනක් නවතා තිබූ නෞකාව තවත් සැතපුම් 100ක් පමණ ඈතින් පිහිටි ඒර් දිනෝඩා ඩිග්ගිලි නමැති ස්ථානයකට රැගෙන යනු ලැබිණි. එය රැගෙන යන අතරවාරයේ ඔවූහු නැවේ ඇති භාණ්ඩ පිළිබඳ වාර්තාව කපිතාන්වරයාගෙන් ඉල්ලා සිටියහ. එහි එම භාණ්ඩවල හිමිකරුවන් පිළිබඳ සියලු තොරතුරු ඇතුළත්ය. සෝමාලියාවේ එල්මාන් වරායෙන් ගොඩබෑම සඳහා රැගෙන එන ලද භාණ්ඩ තොගයක් එහි විය. නැව් භාණ්ඩ වාර්තාව පරීක්ෂා කරන අතර ඔවුන්ගේ මුහුණට නැගුණු සිනාවෙන් හා කතාබහ කළ ආකාරයක්  ඔවුන් දන්නා පුද්ගලයන්ට අයත් භාණ්ඩ ද එහි ඇතැයි කපිතාන්වරයාට හැඟිණි.


ඔවූහු වරින්වර මුදල් ඉල්ලා කපිතාන්වරයාට හිරිහැර කළහ. අවසානයේ ඔහු සතුව මුදල් නොමැති බැව් ඔවුනට වැටහිණි. කපිතාන්වරයාට තම කැබින් කාමරයට යෑමට අවසර ලැබිණි. රේඩියෝ කාමරය පැවතියේ කොල්ලකරුවන් අත බැවින් කිසිදු පණිවුඩ හුවමාරුවක යෙදෙන්නට සිල්වා මහතාට නොහැකි විය. 


නෞකාවේ මාස තුනකට පමණ සෑහෙන ආහාර තොග හා ජලය තිබූ බැවින් නැවේ කාර්ය මණ්ඩලයට ආහාර පිළිබඳ ගැටලුවක් පැන නැගුණේ නැත. කොල්ලකරුවෝ ද නැවේම ආහාර උයා පිහා ගනිමින් දවස ගෙවූහ. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත්, එළු මස් සහ එළු සුප්ය. එහෙයින් දෙතුන් දිනකට වරක් ගොඩබිමට ගොස් එළුවන් රැගෙන එන ඔවූහු නැවේදී ඔවුන් මරා ආහාරයට ගත්හ. කොල්ලකරුවන්ගේ විනෝදාංශය වූයේ වීඩියෝ චිත්‍රපට නැරඹීම සහ මිරා නමැති මත්වන කොළ වර්ගයක් අනුභව කිරීමය.
නැව දින 80ක් කොල්ලකරුවන් භාරයේ තිබිණි. එම කාලය තුළ නැවේ කාර්ය මණ්ඩලය නැවේ සිරකරුවන් බවට පත්ව සිටි අතර ගොඩබිමකට පය ගැසීමට අවකාශ නොලැබිණි. නෞකාව වරින්වර විවිධ ස්ථානවලට ගෙනයෑමට ඔවුන් පියවර ගනු ලැබුවේ මන්දැයි යන්න අනාවරණ වූයේ නාවිකයන් නිදහස ලැබීමෙන් පසුවය. සෝමාලියාවට භාණ්ඩ ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාව ද ඉතා බලවත් කණ්ඩායමකි. කොල්ලකරුවන්ගෙන් තම භාණ්ඩ ආරක්ෂා කර ගැනීම සඳහා පෞද්ගලික ආරක්ෂක භට කණ්ඩායම් පවත්වාගෙන යෑමට ඔවූහු පුරුදු වී සිටිති. හර්බෙරා කරා නෞකාව රැගෙන ඒමෙන් පසු කොල්ල කල්ලි නායකයා හා තවත් දෙදෙනකු ඉන් බැස ගොඩබිමට ගිය අවස්ථාවේ මෙම ආරක්ෂකයන් පිරිසක් හා කොල්ලකරුවන් අතර ගැටුමක් ඇති විය. එහිදී කොල්ල කණ්ඩායමේ නායකයා සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට පත් වූ අතර අනෙකා වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වූයේය. නෞකාව විවිධ ස්ථාන කරා රැගෙන යන ලද්දේ ආරක්ෂක භට කණ්ඩායම් විසින් අත්පත් කර ගනු ඇතැයි යන බිය නිසාය. 


ඒර් දිනෝඩා ඩිග්ගිලිහි නැංගුරම් ලෑමෙන් දෙදිනකට පසු කොල්ලකරුවෝ කපිතාන්වරයාගෙන් පෙට්‍රල් හා ඩීසල් බැරල් කිහිපයක් සහ ජලය ඉල්ලා ගත්හ. ඉන්පසු තමන්ගේ බෝට්ටුවල නැගී දියඹ මුහුදට යාත්‍රා කළහ. ඔවුන් විශාල නෞකාවක් අල්ලාගෙන තිබිණි. එය ගල්අඟුරු ප්‍රවාහනය කළ රුසියානු නෞකාවකි. එහි කාර්ය මණ්ඩලයේ සියලු දෙනා බීමත්ව සිටි හෙයින් එතරම් අපහසුවකින් තොරව එය අත්පත් කර ගැනීමට ඔවුනට හැකි වී තිබිණි.


නැව් සමාගම හා කිසිදු සන්නිවේදනයක් නොතිබිණි. නැව් සමාගම තමන් අත්හැර දමා ඇතැයි කපිතාන්වරයාට සිතිණි. දිනක් කොල්ලකරුවෝ කපිතාන්වරයා කුඩා බෝට්ටුවක නංවාගෙන ඔවුන් අත්පත් කරගෙන සිටි රුසියානු නැවට රැගෙන ගොස් එහි සැටලයිට් දුරකථනය ඔස්සේ නැව් සමාගමට කතාකොට තමන්ට ඩොලර් ලක්ෂ පහක කප්පම් මුදලක් අවශ්‍ය යැයි පවසන ලෙසට ඔවූහු කපිතාන්වරයාට කීහ. මෙම නැවේ ඇත්තේ සෝමාලියාවේ ව්‍යාපාරිකයකුට අයත් භාණ්ඩ බවත් ඔවුන්ගෙන් මුදල් ලබා ගන්නා ලෙස පවසන ලෙසටත් නැව් සමාගම කපිතාන්වරයාට කීය.


කණ්ඩායමේ සිටි පුද්ගලයන් අතර කිසියම් ගැටලු සහගත තත්ත්වයක් මතු වී තිබිණි. ඔවුන් එකිනෙකා සමඟ වචන හුවමාරුවක් සිදුවන බැව් කපිතාන්වරයාට පෙනිණි. ඔවුන්ගේ නායකයා අත්අඩංගුවට පත්ව සිටි හෙයින් ජනරාල්වරයකු බඳු  ඔහුට වඩා ඉහළ පුද්ගලයකු වරින්වර නැවට පැමිණ එහි සිටි කණ්ඩායම සමඟ සාකච්ඡා පැවැත්වීය. ඔහු ආපසු යන විට ‘උඹලට ලබන සතියෙ ගෙදර යන්න පුළුවන්’ යනුවෙන් පැවසුව ද එය ඉටුවූයේ නැත. ඔහු හැමවිටම පැවසුවේ ‘ඊළඟ සතියේ, ඊළඟ සතියේ’ යනුවෙනි. 
දින කිහිපයකට පසු වෙනත් නායකයෙකු හා තවත් පිරිසක් නැවට පැමිණි අතර එතෙක් නැව අත්පත් කරගෙන සිටි අයගෙන් කිහිප දෙනෙක් යළි ගොඩබිමටත් අත්පත් කරගත් රුසියානු නෞකාවටත් ගොස් තිබිණි. නව නායකයාගේ අණ පරිදි නෞකාව යළි හර්බෙරා කරා රැගෙන යෑමට කපිතාන්වරයාට සිදු විය. එහිදී නායකයා හා කොල්ලකරුවෝ පිරිස බෝට්ටුවල නැගී ගොඩබිමට ගියහ. ඔවුන් යළි පැමිණියේ නැත. 


දින අසූවකට ආසන්න කාලයක් කොල්ලකරුවන් භාරයේ පැවැති එම්. බී. ටොබිලෝ නෞකාව ඔවුන්ගෙන් ගැලවුණේ අපූරු ආකාරයකටය. කොල්ලකරුවන් පිරිස ගොඩබිමට ගිය දිනයේ සවස් යාමයේ ආරක්ෂක භට කණ්ඩායමක් නැවට පැමිණියහ. ඔවුන් නැවට ආරක්ෂාව සපයමින් එය එල්මාන් වරායට යාත්‍රා කරන ලෙසට පැවසූ අතර කපිතාන්වරයා වහ වහා එය යාත්‍රා කරවීය. එල්මාන් වරායට පැමිණ නැංගුරම් ලෑමෙන් පසු නැව් ඒජන්තවරයාගේ ආරක්ෂක හමුදාවක් පැමිණ නැවේ සිටි පිරිස රෝහලක් කරා රැගෙන ගොස් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කෙරිණි. පසුව හෝටලයක නතර වීම සඳහා පහසුකම් සලසා තිබිණි. 


පසුදින යළි නෞකාවට පැමිණි කපිතාන්වරයා හා කාර්ය මණ්ඩලය එහි තිබූ භාණ්ඩ ගොඩබෑමෙන් පසු යළි කෙන්යාව බලා යාත්‍රා කළේය. නැව හිමිකරුවන් වෙත භාර දුන් කපිතාන්වරයා දින කිහිපයකට පසු ශ්‍රී ලංකාවට පැමිණියේය. නැව් සමාගම, යළිත් සේවය පිණිස එහි පැමිණෙන ලෙසට සිල්වා මහතාගෙන් ඉල්ලා තිබිණි. දෙමසක පමණ කාලයක් විවේකයෙන් සිටි කපිතාන් සිල්වා මහතා යළි සේවය පිණිස පිටත්ව ගියේය.


කපිතාන් ඇක්මන් සිල්වා මහතා දැනට මැක්ලර්න්ස් ෂිපිං සමාගමේ ඉන්ටර් ඕෂන් එනජි සමාගමට අයත් ඕෂන් ටි්‍රන්කෝ නෞකාවේ කපිතාන්වරයා වශයෙන් සේවය කරයි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා