• මිනිස්සු දොරවල් කඩාගෙන ගේ ඇතුළට ආවා. පොඩි දරුවෝ දෙන්නා බයවෙලා කෑගැසුවා. උන් මාව අල්ලාගෙන හොඳටම ගැහැව්වා. ඇඳගෙන හිටිය ඇඳුම් ඉරලා දැම්මා. මම හඬමින් අත්දෙක උස්සලා උන්ට වැන්ද‌ා කරදර කරන්න එපා කියා. ඒත් උන් කිසිම තැකීමක් නොකර මාව එළියට ඇදලා ගත්තා. මේ සේරම දේවල් සිද්ධ වුණේ පොලිසිය බලාගෙන ඉද්දියි.

 

මුස්ලිම් කාන්තාවෝ ටික කට ඇරියොත් අපේ රටේ මුස්ලිම් ආගමක් නැතිව යනවා

 

 

සිංහල තරුණයකු හා පෙමින් බැඳී ඔහු හා විවාහ වීමේ වරදට අන්තවාදී මුස්ලිම් කණ්ඩායමකගේ අනේකවිධ වූ කරදර හිරිහැර හිංසා පීඩාවලට අදටත් ලක්වෙන මුස්ලිම් කාන්තාවක් ගැන අනුවේදනීය කතාවක් සමාජයට හෙළිකළේ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥ‌ානසාර හිමියන්ය


ඒ කිරුළපන පිහිටි බොදුබල සේනා කාර්යාලයේ දී පසුගිය 2 වැනිද‌ා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 


මේ මුස්ලිම් කාන්තාව මාධ්‍ය හමුවට කැඳවාගෙන ආවේ ගලගොඩ අත්තේ ඥ‌ානසාර හිමියන් විසිනි. 


සිංහල තරුණයකු හා විවාහ වූ බව මුස්ලිම් අන්තවාදීන් දැනගත් දවසේ සිට ඇයට ඔවුන්ගෙන් සිදුවූ හිරිහැර අනන්තය අප්‍රමාණය. 


මහ මෙරටත් වඩා ලොකු දුක් කන්දරාවක් ඉසිලූ අබ්දුල් හසන් ෆාතිමා ෆයිසර් (38) මහත්මිය ඒ දුක් කන්දරාව ගැන මාධ්‍ය හමුවේ කියා සිටියේ හඬා වැළපෙමින්ය. 


ෆාතිමා ෆයිසර් මහත්මිය කළ ඒ හෙළිදරව්ව මුස්ලිම් කාන්තාවන් බහුතරයකට විඳීමට සිදුවී ඇති අප්‍රමාණ වූ දුක්ගැහැටවලින් බිඳක් පමණි. 


මුස්ලිම් කාන්තාවන්ට සිදුවන සමාජ අසාධාරණකම් ගැන ෆාතිමා ෆයිසර් මහත්මිය නොබියව හෙළිකර සිටියේ අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ගෙන් ඉදිරියේ දී එල්ලවිය හැකි ඕනෑම තර්ජනයකට ගර්ජනයකට පමණක් නොව ජීවිත අවද‌ානම ද නොසලකා හරිමිනි. 


මාධ්‍ය සාකච්ඡාවෙන් හෙළිකළ කරුණු කාරණාවලට එහා ගිය දේවල් තිබේ නම් ඒ හා සම්බන්ධව තොරතුරු දැන ගැනීමට ඉරිද‌ා ලංකාදීපයට ෆාතිමා ෆයිසර් මහත්මිය සම්බන්ධකර දුන්නේ බොදුබල සේනා සංවිධානයේ ඩිලන්ත විතානගේ මහතාය. 


ෆාතිමා ෆයිසර් මහත්මිය ඉරිද‌ා ලංකාදීපය සමග සම්මුඛ සාකච්ඡාවට එක්වූයේ තමා සිංහල තරුණයකු හා විවාහ වීම නිසා අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් නිවසට කඩා වැදී ඇඳ සිටි ඇඳුම් පැලඳුම් ඉරා දමා පල්ලියට ඇදගෙන යාමට උත්සාහ කළේ කණුවක ගැට ගසා ගල් ගසා මරා දැමීමට බව පවසමිනි. 


තවමත් වැඩිවියට පවා පත්ව නොමැති 11 හැවිරිදි දියණියව වයසින් වැඩි මුස්ලිම් ජාතිකයකුට විවාහ කරදෙන ලෙස අන්තවාදී මුස්ලිම් කණ්ඩායම තමන්ට තර්ජන ගර්ජන කළ බව ද ෆාතිමා පැවසුවේ හඬමින්ය. 


කාලාන්තරයක් තිස්සේ මුස්ලිම් සමාජයේ සිදුකරගෙන යන බාලවයස්කාර දැරියන් විවාහකර දීමේ අසම්මත ක්‍රියාද‌ාමය වහා නතරකර දැමීමට රජය නීතිරීති පැනවිය යුතු බව ඇය අවධාරණය කර සිටියාය. 


කටේ කිරි සුවඳවත් නොගිය බාල වයස්කාර දැරියන් වයසක අයට විවාහකර දීම ම්ලේච්ඡ තිරිසන් ක්‍රියාවක් බව ඇය කියා සිටියේ ඒ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කරමිනි. 


මෙතැන් සිට පෙළ ගස්වන්නේ ෆාතිමා ෆයිසර් මහත්මිය සමග ‘ඉරිද‌ා ලංකාදීප’ කළ සංවාදයයි. 

 

ප්‍රශ්නය:- ෆාතිමා ඔබගේ පවුලේ හා ගමේ විස්තරවලින්ම මේ කතාබහ ආරම්භ කරමු? 


පිළිතුර:- මගේ තාත්තා මියගිහින්. පවුලේ එකම දරුවා මමයි. මමයි අම්මයි බණ්ඩාරගම අටළුගම ගමේ පදිංචි වෙලා ඉන්නවා. ඒ අපේ උපන්ගම. අම්මා බොහොම දුක් මහන්සිවෙලා මට හොඳට ඉගැන්නුවා. මම තොරතුරු තාක්ෂණය ගැන ඉහළ අධ්‍යාපනයක් ලබා තිබෙනවා. අටළුගම කියන්නේ මුස්ලිම් ගම්මානයක්. සීයට අනූවක්ම ඉන්නේ පස්වැනි ශ්‍රේණියෙන් ඉහළට අධ්‍යාපනය ලැබූ අය නෙමේ. අපේ ගමේ අය හොඳ අධ්‍යාපනයක් ලබා නොතිබීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් විදිහට තමා මම දකින්නේ. 


ප්‍රශ්නය:- ඔබ විවාහ වුණේ සිංහල තරුණයෙක් එක්ක. ඒ හමුවීම ගැන විස්තර කියන්න පුළුවන් ද? 


පිළිතුර:- මම කොළඹ ආයතනයක රැකියාවක් කරද්දී තමා මට සම්පත්ව දැන හැඳින ගැනීමට ලැබුණේ. ටික කාලයක් මිතුරෝ වගේ ආශ්‍රය කළා. ඊට පස්සේ අපේ ඒ මිත්‍රකම ප්‍රේම සම්බන්ධයක් බවට පත්වුණා. සම්පත් ඒ වෙනකොට පෞද්ගලික ආයතනයක රියැදුරු රැකියාවක් කළේ. සම්පත් කුරුණෑගල පදිංචි කෙනෙක්. ඔහු හොඳ ගතිගුණ තිබෙන ගුණයහපත් කෙනෙක් බව ටික කාලයක් ආශ්‍රය කරද්දි මට තේරුම් ගියා. අන්න ඒ නිසා තමා මම එයාට කැමැති වුණේ. මේ වගේ ගුණයහපත් කෙනෙක් ලැබීම ගැන මම ඉන්නේ පුදුම සතුටකින්. ඒ සතුට වචනවලට පෙරළා කියන්න මට තේරෙන්නේ නැහැ. අපි දෙන්නා අතර එද‌ා තිබුණ ආදරය අදටත් එහෙමම තිබෙනවා කිසිම අඩුවක් නැහැ. 


ප්‍රශ්නය:-විවාහයට පවුලේ අයගෙන් විරෝධතා ආවේ නැද්ද? 


පිළිතුර:- මොකද නැත්තේ? අපේ ගෙදරින් විරෝධයක් ආවා. අම්මත් අකැමැති වුණා මම සිංහල කොල්ලෙක් බඳින්න යනවා කියා. අපේ ගමේ මුස්ලිම් පල්ලියටත් දැනගැනීමට ලැබිලා. අපේ අම්මාට වඩා ලොකු විරෝධයක් ආවේ පල්ලියෙන්. සිංහල කොල්ලෙක් එක්ක විවාහ වෙන්න එපා කියා පල්ලියෙන් බලපෑම් ආවා. සිංහල කෙනා මුස්ලිම් ආගම වැලඳ ගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ කියා ඔවුන් කිව්වා. සම්පත්ගේ පවුලේ අයගෙන් වි​ෙරා්ධයක් ආවේ නැහැ. ඔවුන්ගේ මව්පියන්ගෙන් අපිට ආශිර්වාදය ලැබුණා. 


ප්‍රශ්නය:- විරෝධතාවයන් බාධක කොච්චර ආවත් අවසානයේ ඔබ සම්පත් එක්ක විවාහ වුණා? 


පිළිතුර:- ඔව්. අපි දෙන්නා විවාහ වුණා. මගේ යහළුවෝ හා සම්පත්ගේ යහළුවෝ කට්ටියක් එකතුවෙලා පොඩි පාටියක් එහෙම ගත්තා. ඉදිරියේ දී එල්ලවිය හැකි ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දීමට අධිෂ්ඨාන කරගෙන තමා අපි දෙන්නා විවාහ වුණේ. 2008 වසරේ අපි විවාහ වුණා අදටත් අපි දෙන්නා හොඳ ආදරවන්තයන්. 


ප්‍රශ්නය:- විවාහ වුණාට පස්සේ ඔබලා දෙන්නා ඔබගේ ගෙදර ගියා ද? ගමේ ඉන්න අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ගෙන් කරදරයක් එහෙම වුණේ නැද්ද? 


පිළිතුර:- ඔව් අපි දෙන්නා බණ්ඩාරගම අටළුගම ගෙදරට ගියා. අම්මා අපි දෙන්නව ආදරයෙන් පිළිගත්තා. අම්මාගේ ආශිර්වාදය ලැබීමත් අපේ යුගදිවි ගමනට ලොකු ශක්තියක් වුණා. 


මම විවාහ වූ සිංහල තරුණයා එක්ක ගෙදර ගිය දවසේ අන්තවාදී අදහස් දරන මුස්ලිම් කණ්ඩායමක් අපේ ගෙදරට කඩා වැදුණා. එක්කෙනෙක් මගේ බෙල්ලට තියුණු ආයුධයක් තියලා තර්ජනය කළා ඇයි සිංහල කොල්ලෙක් බැන්දේ? කියා. මම කිව්වා මම ආදරය කළා. මම කැමැති නිසා මට ගැළපෙන නිසා බැන්ද‌ා කියා. ගමෙන් අපි දෙන්නට වහාම පිටවෙලා යන්න කිව්වා. ගමේ ඉන්න ඕනෑනම් මහත්තයාව මුස්ලිම් ආගමට හරවා ගන්න කියා ඔවුන් පැවසුවා. 


 මහත්තයා කැමැති වුණෙත් නැහැ. මහත්තයාගේ කැමැත්තක් නැතිව එයාව මුස්ලිම් ආගමට ගන්න මටත් කිසිම වුවමනාවක් තිබුණේ නැහැ. මේ අයගෙන් බේරිලා ඉන්න ඕනෑ නිසා අපි දෙන්නා මාලබේ පැත්තෙන් ගෙයක් කුලියට අරන් පදිංචියට ගියා. 


ප්‍රශ්නය:- සිංහල අය එක්ක විවාහ වෙච්ච වෙනත් අය ගමේ නැද්ද? 


පිළිතුර:- මොකද නැත්තේ ඕනෑ තරම් ඉන්නවා. 


ප්‍රශ්නය:- ඒ අයට කරදර හිරිහැර මුස්ලිම් අන්තවාදීන්ගෙන් සිද්ධ වුණේ නැද්ද? 


පිළිතුර:- මුස්ලිම් තරුණියන් විවාහ කරගත්ත සිංහල තරුණයන් මුස්ලිම් ආගම වැලඳ ගත්තා. මුස්ලිම් තරුණයන් එක්ක විවාහ වුණ සිංහල තරුණියන් ද මුස්ලිම් ආගම වැලඳ ගත්තා. ඒ නිසා එවැනි අයට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට මෙච්චර කරදර හිරිහැර කළේ අදටත් කරන්නේ මගේ මහත්තයා මුස්ලිම් ආගම වැළඳ ගත්තේ නැති නිසයි. එයා මුස්ලිම් ආගම වැළඳ ගත්තා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ මහත්තයා මුස්ලිම් ආගමට ආවොත් වාහනයක් පවා අරන් දෙන්නම් කියා මුස්ලිම් අන්තවාදීන් කිව්වා. ඒත් මහත්තයා ආර්ථික ප්‍රතිලාභ බලාගෙන ආගම වෙනස් කරන්න කැමැති වුණේ නැහැ. 


ඕනෑම ආගමක් ඇදහීමට, ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම හිමි වී තිබෙනවා. ඒත් මුස්ලිම් අන්තවාදීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා අභියෝග කරමින් අමු අමුවේ උල්ලංඝනය කරමින් තිරිසන් විදිහට ක්‍රියා කරනවා. මේක නැවැත්වීමට රජය ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. නැත්නම් වැඩිකල් යන්න ඉස්සර ලොකු විනාශයක් අපේ රටට වෙනවා. 


ප්‍රශ්නය:- මුස්ලිම් කාන්තාවක් වෙනත් ජාතියක ආගමක කෙනෙක් එක්ක විවාහ වුණාම දෙන තවත් දඬුවම් එහෙම තිබෙනවද? 


පිළිතුර:- මොකද නැත්තේ? එහෙම දුන්නු දඬුවමක් මීට අවුරුදු 10-15 කට විතර කලින් මගේ ඇස් දෙකෙන්ම දැක්කා. මේ සිද්ධිය වුණේ බේරුවල පැත්තේ මුස්ලිම් පල්ලියක. මුස්ලිම් තරුණියක් සිංහල තරුණයෙක් බැන්ද‌ා කියා ඇය අල්ලාගෙන ආවා. පල්ලිය ළඟ තියෙන මුස්ලිම් සුසාන භූමියේ වළක් හාරා ඇය ඒ වළේ හිටෙව්වා. තරමක් දුරට පස් දැම්මා. ඊට පස්සේ පොල්පිත්තකින් ඇයට වාර 80ක් ගැහැව්වා. බලන්න ඒ වැඩේ කොච්චර තිරිසන් ක්‍රියාවක් ද කියා. ගෝත්‍රික සමාජයකවත් නැති මේ වගේ දේවල් නූතන සමාජයේ වෙනවා. මේවා තහනම් කරන්න ඕනෑ. 


මුස්ලිම් කාන්තාවන්ට මේ වගේ හිරිහැර හරියට වෙනවා. ඒත් මුස්ලිම් කාන්තාවන් මේවා ගැන ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. අනවශ්‍ය කරදරවලට මුහුණ දෙන්න වෙයි කියා කියන බයට. නිදහසක් නැහැ. සේරම තීන්දු තීරණ ගන්නේ මුස්ලිම් පිරිමින්. බලන්න කොච්චර අසාධාරණ ද කියලා. 


ප්‍රශ්නය:-මහත්තයට වුණ කරදර මොනවාද? 


පිළිතුර:- පළමු වැනි බබා මට හම්බවෙන්න ඉද්දී මාලබේ ඉඳලා අපේ අටළුගම තියන මහ ගෙදරට ආවා. ඒත් මහත්තයාට මුස්ලිම් අන්තවාදීන් ගෙදරට එන්න දුන්නේ නැහැ. හිරිහැර කරනවා. මට පළමු බබා හම්බ වුණාට පස්සේ මහත්තයාට ඒ පොඩි එකාගේ මුහුණ බලන්න එන්නවත් ඉඩ දුන්නේ නැහැ. හොරෙන් තමා මහත්තයා ඒ කාලයේ ගෙදර ආවේ. ඒ අන්තවාදීන් මගේ මහත්තයාටත් ගහලා මරන්න හැදුවා. 


ප්‍රශ්නය:-පසුගිය මාර්තු මාසයේ 24 වැනිද‌ා වෙච්ච සිද්ධිය මොකක්ද? 


පිළිතුර:- මාර්තු 24 වැනිද‌‌ා රෑ මමයි අම්මයි අවුරුදු 11 ක හා අවුරුදු 07ක් වෙන අපේ දියණියන් දෙන්න විතරයි ගෙදර හිටියේ.මුස්ලිම් පල්ලියට සම්බන්ධ විශාල පිරිසක් ගෙදරට කඩා වැදුණා. උඹට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියා ඒ කට්ටිය කිව්වා දඬුවම් දෙන්න පල්ලියට යන්න වරෙන් කියා ඔවුන් කෑ ගැසුවා. මම දොර ඇරියේ නැහැ. බණ්ඩාරගම පොලිසියට හා පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට කතා කරලා ඇතිවෙලා තිබ්බ තත්ත්වය ගැන කිව්වා. 


ප්‍රශ්නය:- ඊට පස්සේ මොකද වුණේ? 


පිළිතුර:- මිනිස්සු දොරවල් කඩාගෙන ගේ ඇතුළට ආවා. පොඩි දරුවෝ දෙන්නා බයවෙලා කෑගැසුවා. උන් මාව අල්ලාගෙන හොඳටම ගැහැව්වා. ඇඳගෙන හිටිය ඇඳුම් ඉරලා දැම්මා. මම හඬමින් අත්දෙක උස්සලා උන්ට වැන්ද‌ා කරදර කරන්න එපා කියා. ඒත් උන් කිසිම තැකීමක් නොකර මාව එළියට ඇදලා ගත්තා. මේ සේරම දේවල් සිද්ධ වුණේ පොලිසිය බලාගෙන ඉද්දියි. 


මාව පාර දිගේ ඇදගෙන ගියේ ගල් ගසමින්. මුළු ගමම පාර දෙපැත්තට වෙලා බලාගෙන හිටියා. පොඩි දෙන්න ම​ෙග් පස්සෙන් හඬ හඬා ආවා. පාර දිගේ ඇදගෙන යද්දී තමා පොලිසිය බේරාගත්තේ. එතකම් කරබාගෙන හිටියා. පොලිසිය මේ සිද්ධිය වෙච්ච වෙලාවෙම කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. පොලිසිය කිව්වේ කරදරවලින් බේරිලා ඉන්න ඕන නම් වෙන ගමකට ගිහින් ජීවත් වෙන්න කියලයි. 


පොලිසියෙන් මේ වගේ කතාවක් අපි බලාපොරොත්තු වුණේ නැහැ. පොලිසියේ ලොක්කා කිව්වා ඔයා මුස්ලිම් ලොක්කන්ව ගණන් ගන්නේ නැති නිසා තමා මේ කරදර වෙන්නේ කියා. ඒ වෙලාවේ මම මුකුත් කියන්න ගියේ නෑ. 

 

  • මම විවාහ වූ සිංහල තරුණයා එක්ක ගෙදර ගිය දවසේ අන්තවාදී අදහස් දරන මුස්ලිම් කණ්ඩායමක් අපේ ගෙදරට කඩා වැදුණා. එක්කෙනෙක් මගේ බෙල්ලට තියුණු ආයුධයක් තියලා තර්ජනය කළා ඇයි සිංහල කොල්ලෙක් බැන්දේ? කියා. මම කිව්වා මම ආදරය කළා. මම කැමැති නිසා මට ගැළපෙන නිසා බැන්ද‌ා කියා. ගමෙන් අපි දෙන්නට වහාම පිටවෙලා යන්න කිව්වා. ගමේ ඉන්න ඕනෑනම් මහත්තයාව මුස්ලිම් ආගමට හරවා ගන්න කියා ඔවුන් පැවසුවා. 

 


ප්‍රශ්නය:- අන්තවාදීන් ඔබව පල්ලියට බලහත්කාරයෙන් අරගෙන යන්න උත්සාහ කළේ මොකටද? 


පිළිතුර:- පල්ලියට අරගෙන ගිහින් කණුවක ගැට ගසා ගල් ගසා මාව මරා ද‌ාන්න තමා අන්තවාදීන් කණ්ඩායම සූද‌ානම් වෙලා තියෙන්නේ. ඒ බව පසුව මා දැනගත්තා. ලංකාවේ ගල් ගහලා මරන්න නීතියක් නැහැනේ. 


ප්‍රශ්නය:-මේ සිද්ධියට කිසිවෙක් අත්අඩංගුවට ගත්තේ නැද්ද?

 
පිළිතුර:- මුස්ලිම් හය දෙනෙක් අත්අඩංගුවට ගත්තා. මාර්තු මාසයේ වෙච්ච සිද්ධියට ඒ හය දෙනාට ජූනි මාසයේ උසාවියේ නඩු පැවරුවා. ඒ නඩුව තවමත් විභාග වෙනවා. අධිකරණයෙන් සාධාරණයක් අපට ඉටුවෙයි කියා බලාපොරොත්තු වෙනවා. 


පානදුර නීති ආධාර කොමිසමේ නීතිඥ සංජීවනී මැඩම් අපිට ගොඩක් උදව් කළා. සංජීවනී මැඩම් නිසා තමා අපට සාධාරණයක් ඉටුවුණේ. පොලිසියේ සමහර අයත් ඔය ගෑනිට උදව් කරන්න එපා කියා බණිනවා මට ඇහිලා තියෙනවා. සංජීවනී මැඩම් අපි වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළේ. අපිට නඩු කියන්න තරම් වත්කමක් නැහැ. නීති ආධාර කොමිසම තමා අපට පිහිට වුණේ. ඥ‌ානසාර හාමුදුරුවෝ හා ඩිලන්ත මහත්තයාත් අපිට මුල ඉඳලාම උදව් කළා. 


ප්‍රශ්නය:- ඔබ තවම අදහන්නේ මුස්ලිම් ආගම ද? 


පිළිතුර:- මාර්තු මාසයේ 24 වැනිද‌ා වෙනකම් මම අදහනු ලැබුවේ මුස්ලිම් ආගම. මේ සිද්ධියෙන් පස්සේ බෞද්ධාගම අදහන්න පටන්ගත්තා. දැන් පන්සල් යනවා. දරුවෝ දෙන්නත් බෞද්ධ ආගමේ. සිංහල ඉස්කෝලෙකට යවන්න එපා කියනවා ගෙදර සිංහලෙන් කතා කරන්න එපා කියා තර්ජනය කරන අවස්ථා තිබෙනවා. මුස්ලිම් කාන්තාවන් හැම දෙනෙක්ම පුදුම පීඩනයකට ලක්වෙලා ඉන්නේ. මුස්ලිම් කාන්තාවෝ ටික කට ඇරියොත් අපේ රටේ මුස්ලිම් ආගමක් නැතිව යනවා. 


ප්‍රශ්නය:- ඔබේ දරුවන්ට අන්තවාදීන් කරදර කරනවා ද? 


පිළිතුර:- මගේ ලොකු දුවගේ වයස අවුරුදු 11ක්. අන්තවාදීන් මට කියනවා උඹේ දුවව මුස්ලිම් කෙනකුට විවාහ කර දෙන්න කියා නිතර තර්ජන ගර්ජන කරනවා. මගේ දුව තවම වැඩිවියට පත්වෙලාත් නැහැ. මේ කිරි සප්පයාව විවාහ කරදෙන්න කියන්න තරම් මේ මිනිස්සු මොන තරම් තිරිසන්නුද? බාලවයස්කාර දැරියන් විවාහ කිරීම නතර කරන්න ඕනෑ. මේක මහා අපරාධයක්. 


ප්‍රශ්නය:- මුස්ලිම් පල්ලිවලට යන පිරිමි අයට දරුවන් වැඩිපුර හදන්න කියා උපදෙස් දෙනවා කියා කතාවක් තිබෙනවා. ඒ කතාවේ ඇත්තක් තිබෙනවා ද? 


පිළිතුර:- කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. සිකුරාද‌ා පල්ලියේ දී කියන්නෙම පුළුවන් තරම් දරුවෝ හදන්න කියා. මුස්ලිම් ජනගහණය ව්‍යාප්ත කරන්න තමා පල්ලිය නිතරම උත්සාහ කරන්නේ. රටේ තිබෙන නීතිය ගැන අවබෝධයක් මුස්ලිම් ජාතිකයන් හුඟ දෙනෙකුට නැහැ. පල්ලියෙන් උගන්වන්න ඕනෑ රටේ නීතිය ගැනයි. දරුවෝ පුළුවන් තරම් හදන්න කියන එක ගැන නෙමේ. මෙහෙම ගියොත් නම් රට කොයි පැත්තකට යයි ද කියන්න බැහැ. ඒ නිසා ආණ්ඩුව මේවා ගැන මීට වඩා තදින් සොයා බලන්න ඕනෑ. එහෙම නොවුණොත් වැඩි කාලයක් යන්නට මත්තෙන් රටම සෞදි රටක් වෙයි. 


ප්‍රශ්නය:- ෆාතිමා ඔබට අවසාන වශනේ තව යමක් කියන්න තිබෙනවා ද? 


පිළිතුර:- අපිට සිංහල ගමකින් ඉඩමක් ගෙයක් ලබාදෙන්න කවුරුහරි ද‌ානපතියෙක් ඉදිරිපත් වෙනව නම් ඒක ලොකු පිනක්. මේ ගමේ ඉන්න එක අපේ විතරක් නෙමේ දරු දෙන්නගේ ජීවිතවලටත් ලොකු තර්ජනයක්. අන්තවාදීන් අපිට කොයි වෙලාවේ හරි අනතුරක් කරන්න පුළුවනි. අපි දැන් පදිංචි වෙලා ඉන්න ඉඩමයි ගේයි කවුරුත් මිලදී ගන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්තවාදීන්ට තියෙන බය නිසා. අපි අසරණ වෙලා ඉන්නේ. මහත්තයා මාස දෙකකින් විතර රස්සාවට ගියේ නැහැ. ඥ‌ානසාර හාමුදුරුවන් අපට ළඟදී වෙච්ච තවත් දේවල් ගැන ගොඩක් තොරතුරු ළඟදීම හෙළිදරව් කරාවි. ඒවා ගැන දැන් මුකුත් කියන්න බැහැ. 


මුස්ලිම් කාන්තාවන්ට අපේම අයගෙන් වෙන හිරිහැර කරදර ඉදිරියේ දී කතා කරනවා.

 

 

 

සංවාද සටහන 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය