මවගේ කිරිත් හිරුගේ කිරණත් නොමැති නම් ලෝකයක් පවතින්නට නොහැකි යන ශ්‍රේෂ්ඨ වැකිය මක්සිම් ගෝර්කි සිය පොතක ලියා තැබුවේය. එම වැකියට වසර සීයක් ගෙවී ගියද අදටත් එය පරම සත්‍යයක්ම සේ පවතී. එහෙත් ඒ සත්‍යය වේදිකාවල කතා සරසන්නට පොත් පිටු සරසන්නට පමණක් මිස කෙතරම් දුරට තමන්ගේ ජීවිතයට කවන්නට සමත්වූවන් සිටින්නේ කීයෙන් කී දෙනෙක්ද කියන ප්‍රශ්නයක් එදිනෙදා වාර්තා වන පුවත් විමසා බැලීමේදී මතු වේ. 


මව සතු වස්තුව උදුරාගෙන ඇය පාරට ඇද දැමූ ඇමති ලේකම්වරයෙක් යැයි කියා ගන්නා පුතෙකු හා ව්‍යාපාරික පුතෙකු ගැන පසුගියදා අපට කොට්ටාව පොලිසියෙන් අසන්නට ලැබිණ. 


දේපළ මිල මුදල් සතුව ජීවත්වීම ජීවිතේ සැපෙන් ගෙවන්නට සමත් වනු ඇතැයි සමාජයේ පවතින සාමාන්‍ය මතය වුවත් එවැනි දේපළක් යනු ජීවිතේ කෙටි කරගන්නට සිදුවන ජීවිතයට දුක් කම්කටොලු කැඳවන වස්තුවක් යන්න අද අපට සමාජය පෙන්වා දෙන යථාර්ථය වී තිබේ. සදාචාර ලක්ෂණ පිරිහී යාම සංස්කෘතිය පිරිහීම සමාජය ජරාජීර්ණ වීමේම ලක්ෂණ මිස අනෙකක් නොවේ. සමාජය පිරිහීම ධනය කේන්ද්‍ර කරගෙන සිදුවන බව සිදුවන සියල්ල පිරික්සා බැලීමේදී වැටහෙනු ඇත. ධනය මූලික කරගත් සමාජයක් තුළ දේපළ මිල මුදල් හමුවේ මිනිසත්කම මානුෂීය බැඳීම් සියල්ල කෙලෙසී යනු ඇත. ‘බල්ලෝ මරලා හරි සල්ලි හොයාපල්ලා’ යැයි පාලකයින්ට පවා කියන්නට සිදුවෙන්නේ ඒ නිසාය. 


මේ අම්මාටද මුහුණ දෙන්නට සිදුවූයේ ඒ යථාර්ථයට ම ය. ඇය සතුව මාසිකව ලැබෙන රුපියල් අනූදාහක මුදලක් හා ලක්ෂ විස්සක තැන්පතුවක් හා කෝටි ගණනක් වටිනා නිවසක් හා ඉඩමක් පැවැතීම ඇගේ ඉරණම තීන්දු කරන්නට සමත් වී තිබේ. ඇයට මෙතරම් වස්තුවක් කොහෙන්ද? ඒවා තියාගෙන ඇයි දුක් විඳින්නේ කියලා කෙනෙකුට සිතෙන්නට හැකිය. 


මේ මව ජීවත්වූයේ කොට්ටාව, පන්නිපිටිය, මොරකැටිය ප්‍රදේශයේය. ඒ ඇය ඇගේ සැමියා සමග මීට වසර විස්සකට තිහකට පමණ පෙර රුපියල් හතළිස් දහසකට මිලදී ගත් ඉඩමේ තනාගත් නිවසේය. ඇගේ මුල් ගම පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේය.

ඇගේ සැමියාද ඒ ප්‍රදේශයේ ජීවත්වූවෙකි. ඇයට ශිෂ්‍ය ගුරු පත්වීමක් ලැබුණේ 1963 දී ය. එහෙත් විවාහ වූ පසු සැමියා පැවසුයේ එය නවතා දමා අපි කොළඹට යමු යනුවෙනි. ඇය ඊට එකඟ වූවාය. කොළඹට පැමිණ කුලී නිවාසවල ජීවත්වෙමින් විවිධ ව්‍යාපාරික කටයුතුවල නියැලුණ මේ තරුණ යුවල ටිකින් ටික මුදල් එකතුකරගෙන ඉඩමක්ද මිලදී ගත්හ. එහි නිවසක්ද තනාගත්හ. ඔවුනට දාව පිරිමි දරුවෝ තිදෙනෙක්ද උපන්හ. මේ දෙමාපියන් තම දරුවන් තිදෙනාට උගන්වා ලොකු මහත් කළේ මහත් බලාපොරොත්තු දල්වාගෙනය. එය ඕනෑම දෙමාපියෙකුගේ ස්වභාවයකි.  දරුවන් ලොකු මහත් විය. එක්කෙනෙක් නිවසට යාබදවම පුංචියට ඇඟළුම් කම්හලක් ආරම්භ කළේය. අනෙකා හමුදාවට බැඳුණේය. වැඩිමලා දේශපාලකයන්ගේ පසුපස වැටී සිටියේය. බාල පුතු හමුදාවට බැඳී සිටියදී මියගියේය. වැඩිමලා විවාහවීමෙන් පසු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචියට ගියේය. දෙවැනි පුතු මහගෙදර නැවතී ඇඟළුම් කම්හල පවත්වාගෙන ගිය අතර ඔහුගේ බිරිඳ සැලූනයක් පටන්ගත්තාය. මේ යුවළ එක්ව මහගෙදර කොටසක් තවත් අලුත් කොටස් එකතුකර අලුත්වැඩියා කර නවාතැන්පොළක් බවට පත් කළහ. 


ඔවුන්ගේ පියා මියගිය පසු ඉතිරි වූයේ මව පමණි. හමුදාවේ සිටියදී යුද සමයේ මියගිය බාල පුතු වෙනුවෙන් වන්දි ලෙස ලක්ෂ විස්සක් ලැබුණ අතර එය මවගේ ගිණුමේ තැන්පත් කරනු ලැබිණ. එසේම මාසිකව පුතා වෙනුවෙන් වැටුපක් ලැබෙන අතර තමන්ගේ මාසික ආදායම රුපියල් අනූදාහක් පමණ වන බව මව පොලිසියට පවසා තිබේ. 


මෙවැනි ආදායමක් ලබන මව බෙදාගැනීමට නොව ඇගේ දේපළ බෙදාගැනීමට දැනට ජීවතුන් අතර සිටින පුතුන් අතර ගැටුම් ඇති විය. මේ ගැටුමේදී තමන් පත්වූ පීඩාව 83 හැවිරිදි මව පොලිසියේදී මෙසේ පවසා ඇත.


“පුතාගේ වාහනයට කියලා හැම මාසෙම මගෙන් රුපියල් හතළිස් දහසක් ගන්නවා. මගේ ඉඩම දැන් රුපියල් කෝටි දෙකක් විතර වටිනවා. ඒ නිසා පහුගිය දවසක දෙවැනි පුතයි ලේලියි මගේ අල්මාරිය කඩලා ඔප්පුව අරන් මා ලවා බලෙන් අත්සන් අරන් ඒක එයාලට ලියවගත්තා. ඊට පස්සේ මට පිස්සු කියලා පිටිපන පැත්තේ කාන්තාවෝ වගයක් ඉන්න තැනකට ගෙනිහින් දැම්මා. පස්සේ දෙවැනි පුතා ඇවිත් මාව එතනින් අරගෙන ගිහින් මාකොළ පැත්තේ ගෙයක් කුලියට අරන් එතන නැවැත්තුවා. පහුගිය 12 වැනිදා හැන්දෑවේ පුතා ඇවිත් වෙන තැනකට යමු කියලා මාව ආපහු මොරකැටියේ ගෙදරට එක්ක ආවා. අපි එනවා දැකලා ලේලි ලයිට් නිවලා දොරවල් වහලා දැම්මා. දෙවැනි පුතා මාව එතනම දාලා යන්න ගියා. මට කරගන්න දෙයක් නැති නිසා පොලිසියට ආවා. අනේ මේ මං වදාපු දරුවොද කියලා හිතෙනවා මහත්තයෝ. මට කොහේ හරි ඉන්න තැනක් හදලා දෙන්න, පිං සිද්ධවෙයි” 
මවගේ කතාවට ඇහුම්කන් දුන් පොලිසිය මේ මවගේ පුතුන් දෙදෙනා පොලිසියට කැඳෙව්වේය. ඒ කොට්ටාව පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒකනායක මහතාගේ මෙහෙයැවීමෙන් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක එච්.ඒ. සුජිත්, පොලිස් සැරයන් 28041 මණ්ඩුල, කාන්තා පොලිස් කොස්තාපල් විහංගා යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙනි. 


එසේ පුතුන් කැඳවීමට දුරකථනයෙන් කතා කරද්දී එක් පුතෙක් තමන්ගේ බලපුළුවන්කාරකම කියා පෑවේය. ඒ තමන් අහවල් ඇමැතිගේ ලේකම් බව පවසමිනි. තමන්ගේ ප්‍රශ්නයට මැදිහත්වීම අනවශ්‍ය ගැටලු ඇතිකරන්නක් බවට ඇඟවෙන පරිදි ඔහු කතාකළේය. එහෙත් පොලිසිය ඔවුන් දෙදෙනාම කැඳවා මව බලාගන්නා ලෙස අවවාද කළේය. ඒ අවවාද වම් කනින් අසා දකුණු කනින් පිට කළ දෙපුතනුවෝ මව බලාගැනීමට තමන්ට නොහැකි බවත් ඇය වැඩිහිටි නිවාසයකට ඇතුළත් කරන බවත් පවසා ආපසු රැගෙන ගියහ. 


දරුවන් විසින් රැගෙන ගිය ඇයට කුමක් වී දැයි පොලිසියට අදහසක් නැත. කෙසේ වුවද මේ මව සතු දේපළවලට තණ්හා කරන්නේ කිසිදු දේපළක් ධනය ඉපයීමේ මාර්ගයක් නොමැති දරුවන් නොවේ. එසේම මේ දරුවන් සමග එක්ව මේ මවට කෙනෙහිලිකම් කරන්නට ලේලියන්ද එක්ව සිටී. මේ ලේලියන්ද අද මවක් සේම හෙට දවසේ නැන්දම්මා කෙනෙක් වනු ඇත. තම කුසින් වැදූ දරුවන් තමන්ට එලෙස සැළකුවහොත් තමන්ට දැනෙන වේදනාව ගැන ඔවුන් මඳකට වත් නොසිතන්නට ඇත. කෙසේ වුවද තමන් සපයන හොඳ ආදර්ශයන්ට වඩා දරුවන් වඩාත් පහසුවෙන් අත්පත් කරගන්නේ නරක ආදර්ශයන් වන බැවින් මේ පුතුන්ගේ දරුවන්ද ඔවුන් මේ ආකාරයටම නොසලකා සිටීවි යැයි කිව හැක්කේ කාටද?


බෞද්ධකම රැකගන්නට, බුදුසසුන රැකගන්නට කෑගසන, හෙළ බොදු යැයි කියන රටක පුර පෝය දවසේ මෙවන් ඉරණමකට මුහුණ දෙන්නට මවකට සිදුව ඇත්නම් ඒ බොදු රටේ යථාර්ථය කෙබඳුදැයි අනෙක් ආගම් හෙළා තලා බොදුකම ඉහළින් තබා  කතා කරන්නන්ට යළිත් සිතන්නට සිදුවනු ඇත. 

මුදිතා දයානන්ද
මත්තේගොඩ- ශාන්ත ප්‍රදීප් කුලරත්න