විනාශ කළ සුන්දර කැදැල්ල

 

ගාල්ල මානවිල උපනන්ද විද්‍යාලීය ප්‍රාථමික විදුහලේ ඉකුත් 04 වැනිදා දහවල් 12.00 පමණ සිදුවූ වෙඩි තැබීමකින් හිටපු නාවික හමුදා සෙබළකු මියගොස් ඇත. එදින දහවල් ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ තම දරුවා රෝගාතුර වූ බවට ලද තොරතුරකට අනුව තම දරුවා පාසලෙන් රැගෙන යාමට පාසලට පැමිණි අවස්ථාවේ දී මෙම වෙඩි තැබීමට ලක් වී ඇත.   


පාසලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළකු විසින් පාසලට ඇතුළුවීමට පැමිණි මෙම පුද්ගලයාට පාසලට ඇතුළු නොවන ලෙසට අවවාද කර ඇති අතර මේ අවවාදය නොතකමින් පාසලට ඇතුළුවීමට උත්සාහ කරමින් පාසලේ දෙවැනි ගේට්ටුව ද (දොරටුව) පසුකර යමින් පාසලට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී හමුදා සෙබළා අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇතැයි කියති.   


වෙඩි වැදුණු පුද්ගලයා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමේ දී මියගොස් තිබිණැයි රෝහල් පොලිසිය පැවසුවේ ය. මෙසේ වෙඩි වැදී ඇත්තේ ගාල්ල පිලාන නාගස් හන්දිය අසල පදිංචි කළුහැන්නදිගේ ප්‍රදීප් උදය කුමාර (39) නමැති තිදරු පියෙකි. මෙම මියගිය තැනැත්තාගේ දරුවන් තිදෙනෙකු 1, 2, වසරවල සහ මානවිල උපනන්ද ජාතික පාසලේ 10 වසර ඉගෙනුම ලබමින් සිටී. සිද්ධිය පිළිබඳව අක්මීමන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. සිද්ධියට අදාළ හමුදා සෙබළාගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කර තිබුණේ ය.   


මේ සිද්ධිය පිළිබඳව කියන තවත් පිරිසක් කීවේ හමුදා සෙබළා පාසලේ ආරක්ෂාවට යොදවා සිටිය දී ඒ අය සමග මෙම පුද්ගලයා පොරකෑ බවයි. තවත් සමහරු කියන්නේ අසල තිබූ ආරක්ෂිත ගේට්ටුවෙන් පනින්නට තැත් කළ නිසා වෙඩි තැබූ බවයි. මේ ආදී කතා රැසකි. ඇත්තටම සිදු වූයේ කුමක් ද යන්න කිසිවෙකු දන්නේ නැත. දැන් සියලුම වැරදි සියල්ලම වෙඩි වැදී මියගිය පුද්ගලයාගේ පැත්තට එකතුවෙමින් පවතින සෙයක් දැකිය හැකි වූයේ මේ වන විට සිදුකරන පරීක්ෂණ පිළිබඳව අසනා දකිනා විටදීය.   


සහරාන් ඇති කළ බෝම්බ භීතිකාව නිසා පාසල් මුර කරන්නට දෙමාපියන් හා සමහර පාසල්වලට යොදවන ලද ආරක්ෂක අංශ සිදු කළ යුතුව තිබුණේ බෝම්බ හෝ පුපුරණ ද්‍රව්‍ය ඇතිද යන්න පුද්ගලයාගේ ශරීරය පරික්ෂා කර බලා තම අසනීප වී සිටින දරුවා බලන්නට මේ තාත්තාට අවසරය දීමය. නමුත් එසේ සිදු වූ සෙයක් දැකිය නොහැකි විය.   


මරන්නට තරම් වරදක් මේ තාත්තා කළේ ද? ගිනි අවිය පත්තු කළේ ඇයි? මේ තාත්තා සම්බන්ධයෙන් අවුලක් ආරක්ෂක අංශවලට තිබුණේ නම් මරන්නටම වෙඩි තැබුවේ ඇයි?   
දරුවාට සරණක් වන්නට පිය සෙනෙහස ද ඇතිව ආ මේ තාත්තාට සිදුවූයේ වෙඩි උණ්ඩයකට ලක්වෙන්නටය.   


මියගිය තාත්තා වූ නාවික සෙබළා වසර ගණනාවක් නාවික හමුද‌ාවේ සේවය කර සිටියේ ය. හෙතෙම නාවික හමුදාවේ තූර්ය වාදක කණ්ඩායම නියෝජනය කළේය.   
හෙතෙම ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ලබන්නේ 2011.11.01 වැනි දින දීය. කුමාරයාගේ වීණාවේ තත්සරයට ආදරය බැඳි කුමරිය වූ මිය ගිය කුමාරගේ බිරිඳ ද නාවික හමුද‌ාවේ සේවය කරන්නීය. ඇය ද නාවික හමුද‌ාවේ සේවය කරන අතරේ හටගත් ආදරයකින් දෙදෙනා විවාහ වූයේ දෙමාපියන්ගේ කැමැත්ත මත හෙළ චාරිත්‍රවලට නිසි තැන දෙමිනි. අද එය නිල් දිය මත බොඳවී ගොසිනි.   


“කේ.ටී. දෙමිණි දෙව්හරා දියණියට අසනීප තත්ත්වයක් ඉක්මනින්ම පාසලට එන්න” කුමාරට උන් හිටි තැන් අමතක විය. හෙතෙම දියණිය සොයා දියකාවෙක් මෙන් උපනන්ද විද්‍යාලයට ගියේය. සිදුවූයේ විපතකි. උණ්ඩයකට බිලි වීමය.   

 

 

 

කුමාරගේ බිරිඳ හිටපු නාවික සෙබළියක වූ පී.එච් අයේෂා මංගලි පවසනුයේ තමා හා තම දරුවන්ට මෙයා හරි ආදරෙයි. අපි පස්දෙනා විතරයි ගෙදර ඉන්නේ. ළමයි පාසලට කුමාර අරගෙන යන්නේ යතුරුපැදියෙන්. දරුවන් එක එක වේලාවට අරගෙන යන්නේ නෑ පාසලට එක්වරමයි අරගෙන යන්නේ. අපිට ලොකු බලාපොරොත්තු තිබුණේ නෑ. අපිටම කියා ගෙයක් දොරක් හද‌ාගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න තමයි අපි කල්පනා කළේ. දරුවන් ලොකු වුණාම මේ අයත් හමුදාවට දාන්න තමයි කුමාර නිතරම කීවේ. නාවික හමුදාවටම දමන්න තමයි මහත්තයාගේ කල්පනාව වූයේ ඒ සියල්ලම මේ අය අපිට නැති කළා. අපි අසරණයි. අපිට කුමාරයෙක් වාගේ සිටි කුමාර අපිට නැති වුණා. දරුවන්ට තාත්තා නැති බව මම කියන්නේ කොහෙමද? ඒ අඩුව පුරවන්නේ කොහෙමද? අපි අසරණයි.   


කුමාරට වූ විපත සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නට 04 දින හැන්දෑවේ ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටියේය.   

 

 

 

සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත
ගාල්ල අමල් වික්‍රමරත්න