දකුණු කොරියාවේ ගුන්චි ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගින්නකට මැදිවි මරණය පෙනි පෙනී ජීවිතය යදිමින් සිටි 90 හැවිරිදි වයෝවෘද්ධ මාතාවකගේ ජීවිතය, සිය ජීවිතය පරදුවට තබා බුර බුරා නගින ගිනිදැල් අතරින් ගොස් බේරාගත් එරටේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික වීරවරයෙක් නිසා අපේ මව්බිමට විශාල කීර්තියක් හා අභිමානයක් හිමිවී ඇත. 


මේ සිද්ධියට එරටේ මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන් නිසා අපේ මව්බිම ජාත්‍යන්තරයේ පවා විශේෂ  අවධානයට පාත්‍රවී තිබේ. 
තම ජීවිතය දෙවැනි කොට සලකා 90 හැවිරිදි දකුණු කොරියානු මාතාවකගේ ජීවිතය බේරාගත් මේ ශ්‍රී ලාංකික වීරවරයා කමලසිරි බණ්ඩාර මහතාය. 


බණ්ඩාර මහතා පදිංචිව සිටින්නේ, මිනිපේ රන්දෙණිගල පාරේය. 


39 වැනි වියේ පසුවන බණ්ඩාර මහතා ආදරණීය දියණියකගේ හා පුතෙකුගේ  දයාබර පියෙකි. 


ශ්‍රී ලාංකික වීරවරයාගේ  දයාබර බිරිඳ  ජීවනී පුෂ්පමාලා වන්නීය. 


බුර බුරා නගින ගිනි දැල් අතරින් රිංගා 90 හැවිරිදි මාතාවකගේ ජීවිතය බේරා ගැනීමට ගොස් දැඩි ලෙස රෝගාතුර වූ බණ්ඩාර මහතාට එරටේ රෝහලක දවස් 23ක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිය. 


මෙම දින 23ක කාලය අතර ඔහු දින කිහිපයක් පමණ ගතකර ඇත්තේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රතිකාර ලබමිනි. 
පිලිස්සීම සහ අධික දුමාරයට අසුවීම  නිසා පෙනහලු ආබාධයකට ලක්වීම හේතුවෙන් හුස්ම ගැනීම අපහසුවී මෙපමණ කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනිමට සිදුවූ බව බණ්ඩාර මහතා දකුණු කොරියාවේ සිට ඉරිදා ලංකාදීපය සමග දුරකථන විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. 


දිවි පරදුවට තබා කළ මේ වීර ක්‍රියාවට එරටේ ඉහළම ඇගයීමකට ලක්වී බණ්ඩාර මහතාට සම්මාන පවා පිරිනමා ඇත.
බණ්ඩාර මහතා එරටේ ඇපල් වත්තක සේවයේ නිරතව සිටින අයෙකි. 


ඉරිදා ලංකාදීපය සමග බණ්ඩාර මහතා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් වයෝවෘද්ධ මාතාවකගේ ජීවිතය බේරාගත් ඒ ලොමු ඩැහැගැන්වෙන කතාව කිව්වේ එරටේ වේලාවෙන් රාත්‍රී 9.30ට පමණය. 


ඔහු ඒ කතාව කියන්නට මුලපිරුවේ “මේ දැනුත් උහුලන්න බැරි සීතලක් තියෙන්නේ.” සීතලේ ගැහෙමින් තමා මම ඔබත් එක්ක කතා කරන්නේ යැයි පවසමිනි. 


මේ ඔහු කියන කතාවයි. 


මම වැඩ කරන්නේ ගුන්චි කියන ප්‍රදේශයේ තියෙන විශාල ඇපල් වත්තක. මේ සිද්ධිය වෙච්ච දවසේ දහවල් 1.20ට විතර මම වැඩ නවත්වලා දහවල් කෑම කන්න වෙනදාටත් කෑම කන්න යන හෝටලයට පයින් ආවා. එනකොට  තැපැල් කන්තෝරුවේ ලියුම් බෙදන මහත්තයා කෑගසාගෙන ඇවිත් කිව්වා පහළ තියෙන ගෙයක් ගිනි ගන්නවා කියලා. මම කෑම කන්න එන හෝටලය වැඩිහිටියන්ට කෑම කන්න තියෙන එකක්. වැඩිහිටියෝ පිරිසකුත් ඒ වෙලාවේ හෝටලයට ඇවිත් සිටියා. පියුම් මහත්තයා කිව්ව ඒ කතාව අහපු ගමන් අපි කට්ටියක් ගිනි ගන්න ගේ හොයාගෙන දිව්වා. 


එතැනට ගිහින් බලද්දී ගේ හතර පැත්තෙන්ම ගිනි ගන්නවා. ගේ ඇතුළෙ කිසිම කෙනෙක් නැති බව පෙනී ගියා. ඒත් එක්කම මැදිවියේ දකුණු කොරියානු ගැහැනු කෙනෙක් ආවා. එයා  කොරියන් භාෂාවෙන් අපත් එක්ක කිව්වා අපේ අම්මා ගේ ඇතුළෙ ඉන්නවා. එයා ගොඩක් වයසයි ඇවිදින්න පවා අමාරුයි කියා. ඒ ගැහැනු කෙනා හඬන්න  පටන් ගත්තා. දකුණු කොරියාවේ ගොඩක් ගෙවල් හා බිල්ඩිං හදලා තියෙන්නේ  රිජිෆෝම් දෙපැත්තට තියා මැද්දට තහඩු තබා. මේ රිජිෆෝම්වලට ගිනි ඇවිලිලා තියන නිසා ලොකු දුමාරයක් ද තිබුණා. කිසිම කෙනෙක්  ගින්න නිසා කිට්ටුවට යන්නේ නැහැ. ගැහැනු කෙනා “අනේ අපේ අම්මා” කියා හඬනවා. මට නම් තවත් බලා ඉන්න බැරිව ගියා. කාගේ වුණත් ජීවිතයක් නේද කියන සිතිවිල්ල එකපාරටම මගේ හිතට ආවා. ගෙය ඉස්සර පැත්තෙන් කොහොමටවත් ඇතුළු වෙන්න බැරි බව මට තේරුම් ගියා. ඒ නිසා මම ගෙයි පිටුපස පැත්තට ගියා. ඒ පැත්තේ ඉස්සරහා පැත්තේ තරම්ම ගින්න තිබුණේ නැහැ. මගේ පිටුපස්සෙන් අර ගැහැනු කෙනා හඬමින් ආවා. සැලකිය යුතු කට්ටියක් ඈතට වෙලා මේ වෙනකොටත් බලාගෙන ඉන්නවා. 


ගැහැනු කෙනා  මට කිව්වා ගෙයි ඇතුළෙ ඉන්නේ මගේ මහත්තයාගේ අම්මා කියා. මම වැඩ කරන ඇපල්වත්තේ අයිතිකාර මහත්තයා සහ මේ ගෙදර ගෘහ මූලිකයා හොඳම යහළුවෝ. ඒ වෙනකොට මේ දෙන්නා ගමනක් ගිහින් ඉඳලා තියෙන්නේ. ගින්න හට ගන්නා අවස්ථාවේ ගෙදර ඉඳලා තියෙන්නේ ගෙදර අයිතිකාරයාගේ වයෝවෘද්ධ අම්මා විතරයි. හිත හිතා ඉන්න වෙලාවක් නැති බව මට තේරුම් ගියා. මොහොතක් හෝ ප්‍රමාදවීම අර ගේ ඇතුළෙ ගිනි දැල්වලට මැදිවෙලා ඉන්න අහිංසක ගැහැනු කෙනාගේ ජීවිතය අනතුරේ බව මට තේරුම් ගියා. ඒත් හරියටම ගේ ඇතුළෙ ඒ ගැහැනු කෙනා කොයි කාමරයේ ඉන්නවාද කියන්න මම දන්නේ නැහැනේ. ගැහැනු කෙනා  බේරා ගන්න මාත් එක්ක උදව්වට යන්න ඒ වයෝවෘද්ධ ගැහැනු කෙනාගේ ලේලිය ඉදිරිපත් වුණා. 


ප්‍රශ්නය: ඊට පස්සේ  මොකද වුණේ මම විමසුවෙමි. 


බණ්ඩාර මහතා: පිටුපස  දොර  ඇරගෙන නිවසට  අපි දෙන්නම ඇතුළු වුණා. මුළු ගේම දුමාරයෙන් පිරිලා තිබුණා. ගින්න නිසා විදුලි බුබුළු නිවිලා තිබුණා. කළු දුමාරයෙන් පිරිලා තිබුණ නිසාත් කළුවර නිසාත් ගෙයි ඇතුළෙ කිසිම දෙයක් පේන්නේ නැහැ. ගෙට ඇතුළු වුණාට පස්සේ අපට හුස්ම ගන්න හොඳටම අමාරු වුණා. ඒ තරමට දුමෙන් මුළු ගේම පිරිලා. කාමර හතරක්ම  බොහොම අමාරුවෙන්  පරීක්ෂා කර බැලුවත්  ආච්චිව සොයාගන්න බැරිව ගියා. ඊළඟ  කාමරයේ ආච්චි ඉද්දි සොයා ගත්තා. මම ආච්චිව   උස්සාගෙන එළියට  පැන ගත්තා. එතකොටත් අච්චිට කතා කර ගන්න බැරිව  හිටියේ. තව පොඞ්ඩක් පරක්කු වුණානම් ආච්චිගේ ජීවිතය නැතිවෙන්න ඉඩ තිබුණ බව මට තේරුම් ගියා. 


මේ වෙනකොට ගිනි නිවීමේ හමුදාවත් ඇවිත් තිබුණා. මට හුස්ම ගන්නත් හොඳටම අමාරුයි. සිහි කල්පනාව නැතිවීගෙන එන බව තේරුම් ගියා. ඊට පස්සේ ගිනි නිවන හමුදාවේ රථයකින් මාව යෙන්ටොන් කියන රෝහලට අරගෙන ගියා. ඒ රෝහලෙන් මාව බේර ගන්න බැහැයි කියා තිබෙනවා. ඊට පස්සේ තමා මාව බෙගෝ කියන රෝහලට අරගෙන ගිහින් තියෙන්නේ. 


ප්‍රශ්නය: ඔබ කොච්චර කාලයක් රෝහලේ ප්‍රතිකාර ලැබුවාද?
පිළිතුර:
මම දවස් 23 ක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා. එයින් දවස් හයක් විතර කාලයක් දැඩි සත්කාර ඒකකයේ ඉඳලා තියෙන්නේ. ඊට පසු තමා සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තියෙන්නේ. 


ප්‍රශ්නය: ඔච්චර කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ගන්න වුණේ මොකද? 
පිළිතුර:
ගෙයි ඇතුළේ තිබුණ දුමාරය  ආඝ්‍රාණය වීම නිසා පෙනහලුවලට දුම් ඇතුළුවෙලා පෙනහලු ආබාධයකට ලක්වෙලා තිබෙනවා කියා වෛද්‍යවරුන්ගෙන් පස්සේ දැන ගත්තා. පිළිස්සුම් තුවාලත් තිබුණා. ඒකයි ඔච්චර කාලයක් රෝහලේ ඉන්න සිද්ධ වුණේ. 


ප්‍රශ්නය: ඔබ බේරා ගත්තු ආච්චියි ඔබත් සමග ගෙට ඇතුළුවුණ කාන්තාවත් රෝහල් ගත කළාද?
පිළිතුර:
ඔව්. ඒ දෙන්නත් රෝහල් ගත කර ප්‍රතිකාර ගෙන තිබුණා. ඒත් ඒ දෙන්නා මට කලින් වෛද්‍ය ප්‍රතිකාර  ලබාගෙන පිටව ගොස් තිබුණ බව දැන ගත්තා. 


ප්‍රශ්නය: මේ වගේ ලොකු ජීවිත අවදානමක් අර ගන්න බියක් එහෙම ඇතිවුණේ නැත්ද?
පිළිතුර:
ඒ වෙලාවේ නම් එහෙම කිසිම බයක් දැනුණේ නැහැ. මට ඕනෑකම තිබුණේ කොහොම හරි ජීවිතයක් බේරා ගන්න ඕනැ කියන සිතිවිල්ල විතරයි. ජීවිතයක් අමු අමුවේ පිච්චෙනවා බලාගෙන ඉන්නේ කොහොමද මහත්තයෝ. ඒ නිසා තමා මගේ ජීවිතය ගැනවත් ඒ වෙලාවේ හිතුවේ නැතිව වයෝවෘද්ධ කාන්තාවගේ ජීවිතය බේරා ගන්න ඉදිරිපත් වුණේ. 


ප්‍රශ්නය: පස්සෙවත් කල්පනා වුණේ නැත්ද ඔබ කළේ ලොකු ජීවිත අවදානමක් ගත්තු වැඩක් කියා. 
පිළිතුර:
අපෝ මොකද නැත්තේ. මට අවුරුදු 11 දුවෙක් හා අවුරුදු 6ක පුතෙක් ඉන්නවා. ඒ දරු පැටව් දෙන්නව බිරිඳව මතක් වුණා. මට මොනවා හරි වුණා නම් ඒගොල්ලන්ට මොකද වෙන්නේ කියලා සිතුන වාර නම් අනන්තයි. අප්‍රමාණයි. ආර්ථික දුෂ්කරතා නිසා තමා දකුණු කොරියාවේ රස්සාවකට ආවේ. මෙහේ රස්සාවට ඇවිත් අවුරුදු පහයි මාස අටක් විතර වෙනවා. ඒත් තවම ගේ වත් හදාගෙන ඉවරවෙලා නැහැ. 


ප්‍රශ්නය: රෝහලේ නැවති ප්‍රතිකාර ගත්තාට ලොකු ගාණක් යන්න ඇති නේද? ඒවා ගෙව්වේ කෙහොමද?
පිළිතුර:
ඔව්. අපේ රටේ මුදල් වලින් ලක්ෂ 19 1/2ක් විතර 
ගිහින් තිබුණා. ඒ සේරම බිල රෝහලට ගෙව්වේ මම වැඩ කරන  ඇපල්වත්තේ  අයිතිකාර මහත්තයා සහ මම ජීවිතය බේරා ගත්තු ආච්චිගේ පුතා. ඒ කියන්නේ ගිනි ගත්තු ගෙදර  අයිතිකාරයා. මට රක්ෂණයෙන් වන්දි මුදලක් ගන්න  අයිතිවාසිකමක් නැහැ. ඒ මොකද මට මේ රටේ ඉන්න තවම වීසා ලැබිලා නැහැ.


ප්‍රශ්නය: ඔබ ජීවිතය බේරා ගත්ත ආච්චිගේ පුතා  හා ඔබ වැඩ කරන ඇපල්වත්තේ අයිතිකාරයා  මොකද කිව්වේ. 
පිළිතුර:
ඒ දෙන්නත් මා බලන්න නිතරම රෝහලට ආවා. මගේ සෑම අවශ්‍යතාවක්ම සොයා බැලුවා. ඔවුන් දෙන්නා මම කළ වැඬේ ගැන ඇගයීමකට ලක් කරලා ස්තුතිය පුද කළා. මට ලොකු සතුටක් ඒ වෙලාවේ දැනුණා. එතකොටත් මම හිටියේ බොහොම අමාරුවෙන්. 


ප්‍රශ්නය: ඔබව බලන්න රෝහලට එහෙම කට්ටිය ආවද? ඒ අය මොනවද කිව්වේ. 
පිළිතුර:
අපොයි ඔව්. මේ රටේ රස්සාවලට ඇවිත් ඉන්න ශ්‍රී ලාංකිකයෝ ගොඩක් දෙනෙක් ආවා. මාව කවදාවත් දැකලා නැති අපේ රටේ අයත් මේ අතර හිටියා. ඔබ කළ ක්‍රියාව නිසා අපේ ලංකාවට ලොකු ගෞරවයක් ඇතිවුණා. අද ලංකාව ගැන මේ රටේ ඉන්න හැමෝම කතා වෙනවා. එක අපට ලොකු ආඩම්බරයක් කියාත් ඔවුන් මාත් එක්ක කිව්වා. කොරියා ජාතිකයෝ පවා ආවා. ඒ සේරම දෙනාටම මම හදවතින්ම සුබ පතනවා. මම සේවය කරන ඇපල් වත්තේ බොස්වද මෙහිදි විශේෂයෙන්ම සිහිපත් කරන්න කැමැතියි. 


ප්‍රශ්නය: ඔබ ජීවිතය බේරාගත් වයෝවෘද්ධ මාතාවගේ ඒ පවුලේ අයව හඳුනනවාද?
පිළිතුර:
මම ඒ අයව හඳුනන්නේ නැහැ. කතාබහ කරල නැහැ. වයසක ආච්චි අම්මාව දැකලාවත් නැහැ. 
එහෙම නූනා කියා කෙනෙක් කරදරයක වැටිලා ඉද්දී අහක බලාගෙන ඉන්න බෑනේ. ඒක ශ්‍රී ලාංකිකයන්ගේ තවමත් තියෙන ගතියක් නේ. ඒ ගතිය මටත් ආවා. මම මේ රටට ආවේ රැකියාවක් කරන්න නිසා ඕනෑ නම් අහක බලාගෙන ඉන්න පුළුවන්කම තිබුණා. 


ප්‍රශ්නය: ගෙදර බිරිඳ ඇතුළු ගෙදර අය මේ ගැන දැන ගත්තාම මොකද කිව්වේ. 
පිළිතුර:
කොරියාවේ  ඉන්න මගේ මිතුරන්ගේ මාර්ගයෙන් තමා දැනගෙන තියෙන්නේ. මගේ හෑන්ඞ් ෆෝන් එකට  බිරිඳගෙන් ඇමතුම් ගණනාවක් ගලාගෙන ආවා. මම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හිටිය නිසා ඒ ඇමතුම් වලට කතා කරන්න බැරුව ගියා. බිරිඳගෙන් විතරක් මිස් කෝල් 300කට වැඩි ප්‍රමාණයක් තිබුණා. පස්සේ මම බිරිඳට කතා කළා.  ඇයි. අපි ගැන හිතන්නේ නැතිව මේ වගේ ජීවිත අවදානමක් තිබෙන දෙයක් කළේ කියලා ඇසුවා. ඇය හොඳටම බය වෙලා හිටියේ. මම කිව්වා බය වෙන්න එපා කියා. ඇයගේ හිත සැනසුවා. දැන් මට හොඳටම සුවයි කියා පැවසුවා. මම කළ ක්‍රියාව ගැන ඇය ඇතුළු අපේ පවුලේ හැමෝම සතුටු වෙනවා. 


ප්‍රශ්නය: ඔබට දකුණු කොරියාවෙන් ලැබුණු වෙනත් ප්‍රතිචාර එහෙම කොහොමද? 
පිළිතුර:
දකුණු කොරියාවේ ගිනි නිවීම් සේවා අංශයෙන් මම කළ සේවය  අගයා සම්මානයක් දුන්නා. ගිනි නිවීම් අංශයෙන් මේ වගේ සම්මානයක් දෙන්නේ බොහොම කලාතුරකින් කියා දැන ගැනීමට ලැබුණා. දකුණු කොරියාවේ තිබෙන විශාලම හොඳම කර්මාන්ත ශාලා ගණනින් එකක් වන එල්.ජී. කොම්පැනියෙන් මට මීට දවස් දෙක තුනකට කලින් සම්මානයක් ලබාදී මුදල් පරිත්‍යාගයක් ද කර මා කළ සේවය ඇගයීමට ලක්කළා. 


මේ වෙනකොට එරටේ තියන රූපවාහිනි නාළිකා  හතරක විතර මගේ විස්තරයක් එක්ක වැඩසටහන් ප්‍රචාරය කර තියෙනවා. තවත් එවැනිම වැඩසටහන් කිහිපයකම එම රූපවාහිනි නාළිකාවලින් ආරාධනා ලැබ තියෙනවා. එරටේ පුවත්පත්වලත් ලොකු ප්‍රචාරයක් මට මේ සිද්ධිය මුල් කරගෙන ලබා දුන්නා. තවත් රටවල් ගණනාවක්ම මේ සිද්ධිය දැන ගත්තා. අපේ මව් බිමට ගෞරවයක් කීර්තියක් ලබාදීමට දායකවීමට ලැබීම ගැන නිහතමානීව සතුටු වෙනවා. 


දකුණු කොරියාවේ රස්සාවලට ඇවිත් විවිධ නීති විරෝධී ක්‍රියා සිදුකර හිරේ විලංගුවේ වැටිලා ශ්‍රී ලාංකියෝ  ඕනෑ තරම් ඉන්නවා. මේ නිසා යම් තරමක අපකීර්තියක් අපේ රටට ඇතිවී තිබුණත් ඒ තත්ත්වය මේ නිසා යම් තරමක් හෝ පහව ගියා කියා තමා සිතෙන්නේ. මම බස් එකේ ගියත් කෝච්චියේ හෝ පාරක ගියත් හැමෝම මාව හඳුනගෙන කතාබස් කරලා සුබ පතනවා. ඒ රටේ රූපවාහිනි හා පුවත්පත් වලින් මේ සිද්ධියට ලොකු ප්‍රචාරයක් ලබා දී තිබූ නිසා මාව ඔවුන් හඳුනා ගත්තා. 


මට ජීවිතයක් බේරා ගැනීමට ලැබුණු එක ගැන ඇත්තේ අපමණ සතුටක්. මම මේක කළේ කිසිම ප්‍රසිද්ධියක් බලාපොරොත්තුවෙන් නම් නොවේ. ඒ මොහොතේ ඒවා මතක් වුණෙත් නැහැ. මගේ ඒකායන අරමුණ වී තිබුණේ 
ගින්නකට මැදිවෙලා ඉන්න කෙනෙක් බේරා ගන්න එක විතරයි යැයි බණ්ඩාර මහතා කීය. 


නව සති දෙක තුනකින් මම ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. දිගටම දකුණු කොරියාවේ රැඳී ඉන්න කියාත් ඉල්ලීම් ලැබී තිබෙන බවද ඔහු පවසයි. 

සංවාද සටහන ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය