ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තවත් පුළුල් කරමින් ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම්වල මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. මින් පෙර “උතුරු අධිවේගී මාර්ගය” ලෙස නම් කෙරුණු මෙම ව්‍යාපෘතිය පසුව මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නම් කෙරුණි එහි ඉදිකිරීම් කටයුතු ප්‍රධාන අදියර දෙකක් යටතේ සිදු කිරීමට යෝජනා කර තිබේ. එහි පළමු වැන්න යටතේ කඩවත සිට දඹුල්ල දක්වා මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර දෙවැනි අදියර යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු උතුර, නැගෙනහිර පළාත් දක්වා දීර්ඝ කිරීමට යෝජිතය.


මෙහි පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු වසර හතරක් ඇතුළත නිම කිරීමට යෝජනාවී ඇති අතර මෙම අදියරේ ඉදිකිරීම් කටයුතු උප අදියර හතරකට බෙදා ඇත. ඒ අනුව පළමු අදියර කඩවත සිට මීරිගම දක්වා කිලෝ මීටර් 37.1ක දුර ප්‍රමාණයකින් යුක්තවන අතර මීරිගම සිට කුරුණෑගල තෙක් දිවෙන දෙවැනි අදියරේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 76.8කි. ඊට තවත් කිලෝ මීටර් 9.3ක් එකතු වන්නේ අඹේපුස්ස නගරයට සම්බන්ධ වන මාර්ග කොටසක්ද ඉදිවන බැවිනි. පොතුහැර සිට ගලගෙදර (නුවර) දක්වා දිවෙන තෙවැනි අදියරේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 32.5කි. මෙහි අවසන් අදියර වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 137.1කි. ඵැඒකකමරටසජ්ක ක්‍දරචදර්එසදබ දf ක්‍යසබ් ඛඑාග නමැති චීන සමාගම මෙම අදියරේ ඉදිකිරීම් කටයුතු සිදු කරයි. 


මේ වනවිට මෙහි පළමු අදියර වන කඩවත සිට මීරිගම දක්වා දිවෙන මාර්ගයේ මූලික ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇති අතර ඒ අනුව අධිවේගී මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය බඩු බාහිරාදිය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගන්නා සේවා මාර්ගයෙහි  :ීැරඩසජැ ඍද්ා* ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙමින් තිබේ. අප කළ කරුණු සොයා බැලීමකදි අනාවරණය කර ගැනීමට හැකිවූ තොරතුරුවලට අනුව මධ්‍යම අධිවේගී මාර්ගයේ අදාළ සේවා මාර්ගයේ  කටයුතු මේ වනවිට කොටස් කීපයක් යටතේ සිදුවෙමින් පවතී. ඒ අනුව ගනේගොඩ සිට ඉදිපරපෙ දක්වාත් වඳුරව සිට කීනවල දක්වාත්, බෙම්මුල්ල සිට මගලෙගොඩ දක්වාත් ගම්පහ සිට දාරලුව දක්වාත් එහි ඉදිකිරීම් කටයුතු සිදුකර තිබේ. ඒ අනුව දැනට ඉදිවී ඇති සේවා මාර්ගයේ දුර කිලෝ මීටර් 7ක් පමණ වේ. මෙම සේවා මාර්ගය ඉදිකිරීමේදී විශාල වශයෙන් පස් පිරවීම සිදුවන අතර ජලය ගලාගෙන යන (බෝක්කු) ස්ථානවල සිදුකරන පස් පිරවීමේ කටයුතුවලට සමහර ප්‍රදේශවාසීහු දැඩි විරෝධයක් පළ කරති. ඔවුන් අවධාරණය කරන විශේෂ කාරණයක් වන්නේ එවැනි ස්ථානවල පස් පිරවීම නිසා වැසි කාලවලදී සිය ගම් බිම් ජලයෙන් යටවීමට ඇති ඉඩකඩ වැඩි බවය.


ගම්පහ, පහළගම ප්‍රදේශවාසියකුවන ලක්ෂ්මන් මහතා ඒ සම්බන්ධයෙන් පළකර සිටියේ මෙවැනි අදහසකි.


“පස් පිරෙව්වහම වෙන්නෙ මේ පැත්ත නිතරම යට වෙන එක. ඒගොල්ලො පස්දාලා යන්න යයි. මේවා වතුරෙන් යටවුණහම කවුරුත් බලන්න එන්නෙ නෑ. අපි මේ හරියෙ පස්දාන්න දෙන්නෙ නෑ. මොකද තවම අපිට වන්දි මොකුත් දීලා නෑ. මිනිස්සු කියන්නෙ වන්දි දෙන්න, ඊට පස්සෙ පස්දාන්න කියලා. වන්දි දෙනවා කියලා අපේ ඉඩම්වල ඔප්පුත් අරගත්තා. ඔප්පු අරන් අවුරුදු තුනකට වැඩියි. ඒත් අපිට තවම දෙන වන්දි මුදල කොච්චර ද කියලවත් කියලා නෑ. අපි අවුරුදු විස්සක් තිස්සේ මෙතන ජීවත් වෙනවා.” 
ප්‍රදේශවාසී කාන්තාවක වන මාලනී ආරියලතා මහත්මියද ඒ ගැන සිය අදහස් එක් කළාය.


“මාස දෙකකට විතර කලින් මේ පැත්තට පස්දාන්න ආවහම අපි කිව්වා ඒක කරන්න දෙන්න බෑ කියලා. පස්සෙ ඒගොල්ලො පස් ටිකත් අරගෙන ගියා. අපි එවෙලෙ පස් දාන්න දුන්නෙ නැත්තෙ අපිට සල්ලි දීලා නොතිබුණ නිසා. නිලධාරි මහත්තුරු ඇවිල්ලා අපේ ඉඩ කඩම් ගහකොළ මැනගෙන ගියා විතරයි. තක්සේරු මුදල් කොච්චරක් දෙනවද කියලවත් තවම කිව්වෙ නෑ. මේවා අපි උපන් ගම්. අපේ ඉඩම් හයිවේ එකට යට වෙනවා. අපිට මේ වගේ ඉඩම් ආයෙ ලැබෙන්නෙ නෑ.


මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර යටතේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන කඩවත සිට මීරිගම දක්වා වන කොටසට මහර, ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, දිවුලපිටිය හා මීරිගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන අතර අපට දැන ගන්නට ලැබුණු තොරතුරුවලට අනුව එම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අයත් ප්‍රදේශවල සේවා මාර්ග ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී මේ ආකාරයේ ගැටලු මතුවී තිබේ. පස් පිරවීමේ කටයුතුවලදී එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඊට විරෝධය පා ඇත්තේ සිය ඉඩකඩම්වලට අදාළ තක්සේරු මුදල් මෙතුවක් කල් නොගෙවීම නිසාය. මේ පිළිබඳ කරුණු විමර්ශනය කිරීමේදී අනාවරණය වූයේ අධිවේගී මාර්ගය නිසා ඉඩකඩම් අහිමි වන ජනතාවගේ ඉඩම් සඳහා තක්සේරු කර තිබෙන මුදල් ඔවුන්ට ලබාදීම සඳහා මේ වනවිට මුදල් අනුමත වී ඇති බවත් ඒ අනුව එක් මාසයක් සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වියදම් කිරීමට අනුමැතිය ලැබී ඇති බවත්ය. තක්සේරු මුදල් මෙතෙක් ගෙවා නොමැති පදිංචිකරවැන් සඳහා එම මුදල් සම්පූර්ණයෙන්ම ගෙවීමෙන් පසු ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර ඉදිරි මාස දෙක තුනක කාලයක් ඇතුළත මේ ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවනු ඇති බවද පැවසේ.!


සේවා මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව ප්‍රදේශවාසී ජනතාව නගන අනෙක් ප්‍රධාන චෝදනාව වන්නේද බෝක්කු, පාලම් වැනි ජලය ගලාගෙන යන ස්ථානවල සිදුකෙරෙන පස් පිරවීම් කටයුතු නිසා සිය ඉඩකඩම් ජලයෙන් යටවීමට ඇති අවදානම ඉහළ බවය. මේ පිළිබඳව කළ කරුණු සොයා බැලීමකදී අපට දැන ගන්නට ලැබුණේ පස් පිරවීමේ කටයුතු සිදුකරන ස්ථානවල එම කටයුතු සිදුකිරීමට ප්‍රථමයෙන් අදාළ ප්‍රදේශයේ සිටින ග්‍රාම නිලධාරී, ගොවි සංවිධාන හා වෙනත් පුරවැසි සංවිධාන සමග ප්‍රදේශයේ පිහිටීම ඇතුළු පාරිසරික කාරණා ගැන අදාළ බලධාරින් සාකච්ඡා කරන බවත් එම පාර්ශ්වවලද අදහස් ලබාගෙන එම ඉදිකිරීම් කටයුතු සිදු කරන බවත්ය. ඒ අනුව බෝක්කු ආදිය දැමිය යුතු ස්ථාන තීරණය කරන බවත්ය. සේවා මාර්ගයට අදාළ පාලම් ඉදි විය යුතු තැන් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් තීරණය කරන අතර ජලය ගලාගෙන යන පාලම් හරහා සේවා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු නොවන බවද සඳහන්ය. ඇළ මාර්ග හරහා සේවා මාර්ගය ඉදිකිරීමේදී ඊට අදාළ මාර්ග සකස් කර වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ඇතුළු රාජ්‍ය ආයතන කීපයක නිර්දේශ සහිතව සිදුවන බව මේ පිළිබඳව කළ කරුණු විමසීමකදී දැන ගන්නට ලැබිණි. 


බෙම්මුල්ල, මගලෙගොඩ ප්‍රදේශයේ පදිංචි ජනතාවටද මේ ආකාරයේ ගැටලු ගණනාවක් පවතින බව ඔවුන් සමග කළ කතාබහේදී අපට අවබෝධ විය. විශේෂයෙන්ම සේවා මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලදී සිදු කෙරෙන පස් පිරවීමේ කටයුතු නිසා මතුවිය හැකි පාරිසරික අර්බුද පිළිබඳව මෙන්ම නියමිත පරිදි තක්සේරු මුදල් ලබා නොදීමේ ගැටලුව ගැනද ඔවුහු මැසිවිලි නැගූහ.
මගලෙගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සමන් මහතා ඒ සම්බන්ධව පළකර සිටියේ මෙවැනි අදහසකි. 


“වැස්සක් වැස්සහම දැනටත් මේ පැත්ත ඉක්මනට යටවෙනවා. මේ පාර හදන්න පස් පිරෙව්වට පස්සෙ ඒක ඩබල් වෙයිද කියලා අපිට සැකයි. හයිවේ එකට යටවෙන අපේ ඉඩම්වලට වන්දි දෙනවා කියලා කිව්වට තවම ඒවා දුන්නෙ නෑ. අපි එක පර්චස් එකකට ලක්ෂ පහක් විතර බලාපොරොත්තු වෙනවා.


මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවල ඇති තවත් විශේෂත්වයක් වන්නේ සැලකිය යුතු දුර ප්‍රමාණයක් කණුමත දිවෙන සේ මාර්ගය ඉදිකිරීමය. ගොඩබිම් මාර්ගය වෙනුවට මේ ආකාරයට උසට සිටුවන කණු මත මෙම අධිවේගී මාර්ගයේ සමහර කොටස් ඉදිකිරීමට යෝජනාවී තිබෙන්නේ එම ප්‍රදේශ ජලයෙන් යටවීමට ඇති ඉඩකඩ ආදී පාරිසරික කාරණා රැසක් සැලකිල්ලට ගැනීම නිසා බවද පැවසේ. බෙම්මුල්ල, මගලෙගොඩ ප්‍රදේශවාසීන් සිය ගම් ප්‍රදේශ හරහා ඉදිවන අධිවේගී මාර්ගය ගොඩබිම් මාර්ගයෙන් ඉදිකිරීමට විරුද්ධව පෙත්සම් පවා සකස් කර අදාළ බලධාරීන් වෙත යොමු කර ඇති අතර ඒ අනුව එම ප්‍රදේශය හරහා දිවෙන අධිවේගී මාර්ග කොටසද ඇතුළුව තවත් ස්ථාන කීපයක් කණු මත ඉදිකිරීමට තීරණය වී තිබේ.


“කලින් කිව්වෙ මේ පැත්තෙන් ගොඩබිම හරහා අධිවේගී මාර්ගය යනවා කියලා. වැස්සට යට වෙන්න ඉඩ තියෙන නිසා අපි ඒකට විරුද්ධ වුණා. පස්සෙ අපි පෙත්සම් පවා ගැහුවා. දැන් බලධාරින් කියන්නෙ කණු උඩ මේ හරියෙන් පාර හදනවා කියලා. සමන් මහතා යළිත් කතා කළේය.


“මගේ ගේ සම්පූර්ණයෙන්ම හයිවේ එකට යනවා. කලින් කිව්වෙ ඉඩම් ගොඩ කරලා හදනවා කියලා. අපි ඒකට විරුද්ධ වුණාට පස්සෙ කණු උඩ හදන්න තීරණය කරලා තියෙනවා. වන්දි සල්ලි කීයක් දෙනවද කියලා තවම අපිට කියලා නෑ. මම ඇත්තටම මගේ ඉඩම දෙන්න අකමැතියි. රට සංවර්ධනය කරන්න ඉඩම ඉල්ලපු නිසා දුන්නා. මගලෙගොඩ ප්‍රදේශවාසියකු වන ශ්‍යාමලී රේණුකා කීවේ එවැනි කතාවකි.


“වැස්සහම වතුර බැස යාමේ ප්‍රශ්නය මේ පැත්තෙ දරුණුවට තියෙන නිසා පාර උඩින් යන එක තමයි හොඳ. මොකද මේ පැත්තට වැස්සහම ඉක්මනට යටවෙනවා. මහේෂා මහත්මියද මේ කතා බහට එක්වෙමින් සිය අදහස් ඉදිරිපත් කළාය.


භූමියේ ස්වභාවය සැලකිල්ලට ගෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතුවලට අදාළව කණු මත ඉදිකිරීම් කළ යුතු ස්ථාන මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඒ අනුව එලෙස කණු මත දිවෙන අධිවේගී මාර්ගයේ මුළු දුර ප්‍රමාණය කිලෝ මීටර් 12.2කි. අධිවේගී මාර්ග සැලසුම් කාර්යාලය මගින් සකස් කර ඇති මාර්ග සැලසුම අධ්‍යයනය කරමින් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අධිවේගී මාර්ගයේ කණු මත කළ යුතු ඉදිකිරීම් යෝජනා කර තිබේ. ගොඩබිම් මාර්ගය වෙනුවට කණු මත සිදුකරන ඉදිකිරීම් සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවද පැවසේ.

 

සටහන
උපුල් වික්‍රමසිංහ
ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය