“ශ්‍රීලංකන්” ගුවන් සේවයේ පාඩුව ගැන කියන කතා


යහපාලන රජයටත් ශ්‍රීලංකන් එයාර් ලයින් ලාභ උපයන ආයතනයක් බවට පරිවර්තනය කර ගැනීමට නොහැකි වී ඇත. මේ වන විට ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනය නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ලබා ඇති සමස්ත පාඩුවෙන් සියයට 51 ක්ම බැංකුවලින් ලබාගත් ණය මුදල් වෙනුවෙන් වූ පොලිය බව වාර්තා වේ. සියලු ණය වලින් නිදහස් වීමට පියවර ගත හැකි වන්නේ ගමනාන්ත 47 කිනි.  


ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන ආකාරයට ගුවන් යානා නඩත්තුව සහ කල්බදු සඳහා අදාළ පිරිවැය ඉහළ යාම හේතු කර ගෙන ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් වියදම 2015 දී රුපියල් බිලියන 4.9 ක් වී තිබූ අතර 2016 දී එය බිලියන 14.1 ක් දක්වා ඉහළ ගොස් ඇත.  


මේ රජය බලයට පත්වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානා ඇණිය පුළුල් බඳ සහිත ගුවන් යානා 13 කින් හා පටු බඳ සහිත ගුවන් යානා 8 කින් සමන්විත විය.  


ඥා‌ාති සංග්‍රහ විවේචනය කරමින් සිටි යහපාලන රජය ශ්‍රීලංකන් ගුවන් සේවයේ අලාභය අවම කිරීම සඳහා සුරේන් රත්වත්තේ මහතා ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත් කරනු ලැබ ඇත. ඔහු චරිත රත්වත්​ෙත් මහතාගේ සොහොයුරාය. දැන් යහපාලන රජයේ වයස අවුරුදු 3 කට ආසන්නය. ශ්‍රීලංකන් ගුවන් සේවය ලාභදායි ආයතනයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට එංගලන්තයේ පිහිටි ගුවන් සේවා ආයතනවලට උපදෙස් ලබා දෙන ‘නයිරාජ්’ ආයතනයේ සේවය ලබාගෙන ඇත. මෙම ආයතනයට ගෙවිය යුතු මුදල කෙතෙක් දැයි මෙතෙක් අනාවරණය වී නැත. දැන් ඔවුන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ අභ්‍යන්තර වෙනස්කම් සිදුවිය යුතු ආකාරය පිළිබඳව අධ්‍යයනයක යෙදී සිටී. ඒ සඳහා සකස් කරනු ලබන වාර්තාවක් ඔවුන් රජයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මෙ රජයට ඇත්තේ නිල වශයෙන් තවත් වසර දෙකක පමණ කාලයකි. එබැවින් ශ්‍රීලංකන් ගුවන් සේවා ආයතනයේ සංවර්ධනයක් දැකීම හා අලාභය අවම කර ගැනීම තවත් සිහිනයක් වනු ඇද්ද යන සැකය ඇතිවිය හැකිය.  


ඒ අතර ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා සුදුසු විදේශ ආයෝජකයකු සමග සම්බන්ධ වීම කෙරෙහි ද රජයේ අවධානය යොමු වී ඇතැයි ද සඳහන් වේ.  


ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුවට හේතුව මහින්ද රාජපක්ෂ පාලන කාලයේ සිදුකර ඇති මුදල් නාස්තිය බවට චෝදනා ඇත. අවසන් වරට ශ්‍රීලංකන් ගුවන් සේවය ලාභ ලබා ඇත්​ෙත් 2007 වසරේදී බව සඳහන්ය.  
වර්ෂ 2007 දෙසැම්බර් අවසානය වෙන විට එමිරේට්ස් සමාගම ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත් විය. දැනගන්නට ඇති පරිදි ලංඩනයේ සංචාරයක යෙදුණ එවකට ප්‍රධාන දේශපාලනඥයකු ඇතුළු 35 දෙනෙකුගෙන් යුතු පිරිසකට ඉක්මනින් ලංකාවට ඒමට ඕනෑ වී තිබූ බව කියති. ගුවන් සමාගමේ පාලක අධ්‍යක්ෂ වූ පීටර් හිල් මහතා ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක් ලබා නොදීම එමිරේට්ස් ආයතනය ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ඉවත්වීමට හේතු වූ බව කියති.  


මහින්ද රාජපක්ෂ යුගයේ ශ්‍රීලංකන් ගුවන් සේවයට අමතරව ‘අහස අපට’ තේමාව යටතේ මිහින් ලංකා නමින් තවත් ගුවන් සේවා ආයතනයක් 2007 දී මෙහෙයුම් ආරම්භ කරනු ලැබ තිබිණි. වසර දෙකක කාලයක් පැවැති මිහින් ලංකා ආයතනය 2016.10.30 වැනි දින සිට අධික පාඩුව නිසා වසා දැමීමට සිදුවිය. මේ රජය යටතේ මිහින් ලංකා ආයතනය ශ්‍රීලංකන් ගුවන් සේවයට අනුයුක්ත කරනු ලැබුවත් ගොඩ ඒමක් නම් නොවීය. 2012 විගණකාධිපති වාර්තාවට අනුව මිහින් ලංකා පාඩුව ඒ වන විට රුපියල් බිලියන 8.5 ක් වී තිබිණි.  


ශ්‍රීලංකන් පිළිබඳ එල්ල වූ චෝදනා අක්‍රමිකතා සොයා බැලීමට යහපාලන රජය මගින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කමිටුවක් පත් කරනු ලැබුණි.  


වැලිඅමුණ විමර්ශන කමිටුව මගින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනය තුළ සිදුවී ඇති මුදල් නාස්තිය පිළිබඳව පිටු 136 ක වාර්තාවක් රජයට ඉදිරිපත් කර ඇත.  


එම වාර්තාවට අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස පත්කර සිටි නිශාන්ත වික්‍රමසිංහ මහතා මාසිකව ලක්ෂ පහක වැටුපක් ලබා ඇති බව කියති. ඊට අමතරව නිශ්චිත නොවන දීමනා රැසක්ද ඔහු ලබාගෙන තිබිණි. ඔහුගේ පරිභෝජනය සඳහා ජාඇළ, ආඩිඅම්බලම හා සීදුව ප්‍ර​ෙද්ශවලින් සුඛෝපභෝගි නිවාස 3ක් බදු පදනම මත ආයතනය ලබාගෙන ඇතත්, සභාපතිවරයා එම නිවෙස්වල පදිංචිව නොසිටි බව ද කියති.  
තම අවශ්‍යතා පරිදි ගුවන් ගමන් කාල සටහන් වෙනස් කර ඇති බව කියන වික්‍රමසිංහ මහතා වැඩි කාලයක් විදේශ රටවල ගතකර ඇති අතර ඒ සඳහා වන හෝටල් බිල් හා අනෙකුත් සියලු පහසුකම් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවාව බර පැන දරා තිබූ බව කියති.  


තවත් විශේෂත්වයක් නම් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ‘සන්නාම තානාපති’ ලෙස තානාපතිවරයාගේ සමීපතම හිතවතියක් පත් කරගෙන තිබූ අතර ඇය ද බොහෝ අවස්ථාවල විදේශ චාරිකාවල යෙදී ඇති බවත් සඳහන් වේ.  
නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ ‘කාල්ටන් රග්බි සෙවන්’ රගර් තරගාවලියට ශ්‍රීලංකන් ගුවන් සේවය අනුග්‍රහය දක්වා තිබූ බවද සඳහන් වේ. වර්ෂ 2009 සිට 2014 දක්වා මෙම අනුග්‍රහය යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් මිලියන 74.1 ක වියදමක් දරා තිබූ බවද විමර්ශනවලින් අනාවරණය වී තිබිණි.  


‘කාල්ටන් රග්බි සෙවන්’ තරගාවලිය සඳහා පැමිණි විදෙස් කණ්ඩායම්වල පැමිණීම වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම නොමිලේ ගුවන් ටිකට් පත් 660 නිකුත් කර තිබූ බවද සඳහන් වේ.  


කොළඹ නගරයේ වීදි අවහිර කරමින් පැවැත්වූ රාත්‍රී මෝටර් රථ ධාවන තරග සඳහා අනුග්‍රහය දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සේවය රුපියල් මිලියන 12.3 ක් වැය කර ඇති අතර නොමිලයේ ගුවන් ටිකට් පත් 119 ක් නිකුත් කර තිබූ බවද වාර්තා වේ.  


මීට අමතරව හිටපු ඇමැතිවරයකුට මාසිකව රුපියල් 75,000 ක ඉන්ධන බිලක් ගෙවා තිබුණි. ඇමැතිවරයකුගේ දියණිය එකම දිනක් හෝ රාජකාරියට වාර්තා නොකළත් ඇයට මාසික දීමනාවක් ගෙවා ඇති බව ද අනාවරණය තිබුණි.  


නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව එයාර් ටැක්සි මිලදී ගෙන ඇති අතර වසර 40 කට වඩා පැරණි ගුවන් යානා ගෙන්වා තිබූ බවද සඳහන් වේ. සිවිල් ගුවන් සේවා නීතියට අනුව වසර 15 කට වඩා පැරණි ගුවන් යානා ගෙනවීම තහනම් වුවත් ඒ තහනමද නොතකා පාවිච්චි කරන ලද මෙවැනි එයාර් ටැක්සි ලබාගෙන තිබූ බවද වාර්තා වේ.  


විනිවිද භාවයෙන් තොරව ගෙන්වා ගෙන ඇති මෙවැනි එයාර් ටැක්සි නිසා වාර්ෂිකව රුපියල් මිලියන 338 ක පාඩුවක් ලබා තිබූ බවද කියති.  


අලුත් ගුවන් යානා මිලදී ගැනීමට සහ පද්ධතිය නවීකරණය කිරීමට රුපියල් බිලියන 290 ක් යොදවා තිබීම නිසා ආයතනය දරුණු මූල්‍ය පිරිහීමකට ලක්වූ බව ද සඳහන් කර ඇත.  


ශ්‍රීලංකන් ගුවන් සේවාව පාඩු ලැබීමට හේතු වූ තවත් කරුණු ගණනාවක් සඳහන් වේ. වැලිඅමුණ වාර්තාව මූලික ශීර්ෂ හයක් යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවාව පාඩු ලැබීම විමර්ශනය කර තිබිණි. හිටපු සභාපති හා හිටපු ප්‍රධාන විධායක නිලධාරියාගේ කළමනාකාරිත්වයේ අක්‍රමිකතා, මානව සම්පත් පරිහරණයේදී සිදුවූ දූෂණ හා අක්‍රමිකතා, ඉහළ කළමනාකාරිත්වය ගොඩනගා ගත් අයුරු සබඳතා ශ්‍රීලංකන් කේටරින් සේවාව, වෙළෙඳ අනුග්‍රහයන් ලබාදීමේදී සිදුවූ දූෂණ හා එයාර් ටැක්සි සහ ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ දූෂිත ක්‍රියාදාමයන් වශයෙන් මූලික ශීර්ෂ පාඨයන් යටතේ ආයතනයේ දූෂණ, වංචා හා මුදල් නාස්තිය පිළිබඳව සඳහන් කරමින් සකස් කරන ලද මෙම වාර්තාව පිළිබඳව යහපාලන රජය ගෙන ඇති පියවර කුමක්ද යන්න ගැන තොරතුරු වාර්තා නොවේ.  


ජනාධිපති කොමිසමක් මගින් සාක්ෂි කැඳවීම සිදුකරනු ලැබුවත් ඒවායේ තීන්දු තීරණ ගව් ගණනක් දුරින් පවතින බව සඳහන් කළ යුතුව ඇත.  


ගිය රජය කාලයේ පාඩුව පිළිබඳව වත් මේ රජය යටතේ පාඩුව අවම කර ගැනීම පිළිබඳවත් පැහැදිලි තීන්දු තීරණයන් නැත.  


ඒ හේතුව නිසා තවමත් ශ්‍රීලංකන් ගුවන් සේවය රටට බරපතළ බරක් වෙමින් අවසන් හුස්ම හෙළමින් සිටින තත්ත්වයට පත් වී ඇත.  


හෙටත් මේ තත්ත්වය මෙලෙසින්ම පවතිනු ඇත. එය එසේ නොවන්නේ යැයි කාට නම් කිව හැකිද?   

 

 

 

 

 

දයාසීලි ලියනගේ