“වසරේ ඕස්ට්‍රේලියානුවා” සම්මානය දිනූ ලාංකික දොස්තර


ආබාධිත තත්ත්ව නොසලකමින්, ලෝකය ජයගත් අසහාය මිනිස්සු බොහෝ වෙති. ඔවුහු හුදෙක් තම ජීවිත ජයගත්තා පමණක් නොව, අන් අයට ද ජීවිත ජයගන්නට නව ජවයක් ලබා දී ඇත. සමහරු ජීවිත ජයගත්තේ බරපතළ රෝගාබාධ තිබියදීය. තවත් සමහරු ආබාධිතව සිටියදී බව අප අමතක කළ යුතු නැත. 


 මේ කියන්නට යන්නේ එවැනි සුවිශේෂ ලාංකිකයන් අතුරින් එක් පුද්ගලයෙකු ගැනය. ඔහු නමින් වෛද්‍ය දිනේෂ් පලිපානය. තවමත් තුරුණු වියේ පසුවන ඔහු ලාංකික මවුපිය යුවළකට දාව මෙරටදී උපන්, ඕස්ට්‍රේලියාවේ සිටින ඉතා කීර්තිමත් වෙද්‍යවරයෙකි ඔහුගේ අගය ගැන ලංකාවටත් වඩා හොඳට දන්නේ ඕස්ට්‍රේලියානුවන්ය. 


ඒ වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ “2021 වසරේ ඕස්ට්‍රේලියානුවා” ලෙස නම් කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත බලධාරීන් පියවර ගැනීමත් සමගිනි. පසුගිය දා පැවැති ඕස්ට්‍රේලියානු ජාතික දින සම්මාන උළෙලට සමගාමීව ක්වීන්ස්ලන්තයේ ප්‍රාන්ත ප්‍රධාන ඇමැති ඇනස්ටේෂියා පලසුක් විසින් වෛද්‍ය පලිපාන මහතාට මෙම සම්මානය පිරිනැමීම වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක්ද සිදු කළාය. 
 “දිනේෂ් පලිපාන කිසිදු බාධකයක් නොදන්නා පුද්ගලයෙකි. ඔහු සැබැවින්ම ආනුභාවසම්පන්න පුද්ගලයෙකි. ඕස්ට්‍රේලියාවේ ආබාධිත වෛද්‍යවරුන්ගේ සමාරම්භකයා වශයෙන් ඔහු වෛද්‍ය අධ්‍යාපනය සහ රැකියාව ද ඇතුළත්ව ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීම සඳහා විශාල මෙහෙයක් සිදුකර ඇතැයි” ප්‍රධාන ඇමැතිවරිය එහිදී පවසා තිබේ. 


වෛද්‍ය පලිපාන සිය වෛද්‍ය දේශන මගින් අන්තර්ජාතික සබඳතා ගොඩනගාගෙන ඇති අතර එරට කොඳුඇටපෙළ ආශ්‍රිත රෝග සඳහා කෙරෙන පර්යේෂණ වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දී ඇති අයෙකු ද වේ. ඒ සියල්ල ඔහුට මෙම සුවිශේෂී සම්මානය හිමිවීමට බලපා ඇත. 


අදාළ සම්මානය හිමිවීමත් සමග ඕස්ට්‍රේලියා මාධ්‍යවලට අදහස් දැක්වූ වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා මෙසේද කීය. 


“මගේ මිතුරා සැමවිටම මට කියන දෙයක් තමයි ජීවිතය කියන්නේ නොනවත්වා උච්චාවචනය වෙන දෙයක්. සාර්ථකවීම් මෙන්ම අසාර්ථකවීම් ද වෙනවා. ජීවිතය හොඳින් ගෙවෙන විට අපි හැමවිටම එහි රැඳෙන්න උත්සාහ දැරිය යුතුයි. එසේම යම් හෙයකින් යම් ගැටලුවක් ආවොත් ජීවිතය නැවත සාර්ථක වෙයි කියලා අපේක්ෂාවෙන් සිටිය යුතුයි. 


මහනුවර පදිංචිව සිටි සනත් පලිපාන සහ චිත්‍රානි පලිපාන යන මවුපිය යුවළට දාව උපත ලබා ඇති ඔහු 1994 වසරේදී දී සිය පවුලේ අය සමග එරට බ්‍රිස්බේන් නුවරට සංක්‍රමණය වූයේය. දැනට 36 හැවිරිදි වියේ පසුවන වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා එරට ඕ.එම්.ඒ. (OMA) ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ නේවාසික වෛද්‍යවරයෙකි. එසේම මෑතකදී එනම් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහු සිය නීති උපාධිය ද අවසන් කළ අයෙකු ද වේ. 

 


2010 දී බ්‍රිස්බේන් පාලම අසලදී සිදුවූ රිය අනතුරකින් වෛද්‍ය පලිපාන මහතා නොසිතූ ලෙසින් බරපතළ තුවාල ලැබීම ඔහුගේ මෙම අාබාධ සහිත තත්ත්වයට හේතුව විය. එවකට ඔහුට වයස අවුරුදු 25 ක් වූ උසස් අධ්‍යාපනය හැදෑරූ තරුණයකු වූ අතර එම අනතුරේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ දෙපා අක්‍රීයවීමට අමතරව ඔහුගේ දෑත්වල ක්‍රියාකාරිත්වයද ඉන් සීමාසහිත වී ඇත. අනතුරකට ලක්ව සිටි මුල් කාලයේදී එනම් 2013 වසරේදී ඔහු සිය මුල් මාතෘභූමිය වූ මෙරට සංචාරයකට පැමිණ මෙරට සිටින කොඳුඇට පෙළ ආශ්‍රිත රෝගාබාධවලට ලක්ව සිටින අයට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක්ද පිරිනමා ඇත. ඒ එවකට මෙරට සෞඛ්‍ය ඇමතිව සිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අනුදැනුම ඇතිවය. 
වසර දහයකට ආසන්න කාලයක් ආබාධ සහිතව රෝද පුටුවක රැඳී සිටිමින් සිය එදිනෙදා කටයුතු සිදුකරන වෛද්‍යවරයකු බවට පත්වීමට දිනේෂ් පලිපාන මහතාට හැකි වූයේ මහත් වූ කැපකිරීම්ද සමගිනි. ආබාධ සහිත ගෙවන ජීවිතයේ වේදනාව තුට්ටුවකටවත් මායිම් නොකරමින් ඔහු ලැබූ සියලු ජයග්‍රණයන් පසුපස ඔහුගේ ආත්ම ධෛර්යය මෙන්ම ඔහුගේ මව වන චිත්‍රානි පලිපාන මහත්මිය ද විය. ඒ අතර ඔහු ගේ පෙම්වතිය වන රැචෙල් අන්ටෝනි ද වේ. 2019 වසරේදී ඔවුන් දෙදෙනා විවාහ ගිවිසගත් බවද කියැවේ. 
ඒ ප්‍රබල චිත්ත ධෛර්යය මැද අංශ ගණනාවකින් ඉදිරියට ආ වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා ගෝල්ඩ් කෝස්ට් ටයිටන්ස් ආබාධ සහිත වූවන්ගේ රග්බි කණ්ඩායමේ නිල වෛද්‍යවරයා ලෙසද කටයුතු කරයි. 
ඕස්ට්‍රේලියාවේ ඩොක්ටර්ස් විත් ඩිසේබිලිටීස් (Doctors With Disabilities Australia) සංවිධානයේ නිර්මාතෘවරයා වන වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා 2019 දී නව පර්යේෂණයක් ඇරඹීය. ඒ, ආබාධිත පුද්ගලයින්ට ඇවිදීමට හෝ පාපැදියක් පැදීමට උදව් විය හැකි උපකරණයක් නිපදවීම සඳහාය. ඊට අමතරව ඔහු තවත් ගවේශකයින් පිරිසක් සමග එක්ව කෘත්‍රීම කොඳු නාරටියක් වර්ධනය කිරීම ගැනද පර්යේෂණ පවත්වයි. අාබාධිත පුද්ගලයාගේ කොඳු නාරටියක් මගහැර ඔහුගේ පාදවලට විදුලි සංඥා නිකුත් කිරීම සම්බන්ධයෙන් එම පර්යේෂණය හරහා සිදුකෙරේ. 


මේ සියලු පර්යේෂණයන් හමුවේ වෛද්‍ය පලිපාන මහතාට නිරන්තරයෙන් එරටින් විවිධ සම්මාන හා ගරුබුහුමන්ද හිමිවිය. ඒ අතර 2019 වසරේ ඔහුට සම්මාන පිට සම්මාන ලැබුණු වසරක් විණි. ඒ අතර එරට වෛද්‍ය සේවය වෙනුවෙන් කළ විශිෂ්ට සේවාව වෙනුවෙන් වන “මෙඩල් ඔෆ් ද ඕඩර් ඔෆ් ඕස්ට්‍රේලියා” සම්මානයද, ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ තරුණ වෛද්‍යවරයාට හිමි සම්මානයද, ආබාධ සහිත වූවන් වෙනුවෙන් කරන නායකත්ව වෙනුවෙන් පිරිනමන ජාතික සම්මානයද සුවිශේෂී වේ. 
මෙලෙස සම්මාන හා ඇගැයුම් ලබන වෛද්‍ය දිනේෂ් පලිපාන ඕස්ට්‍රේලියානුවන් ගේ ජීවිතවලට නව මං පිටු එකතු කර අවසානය. එකතු කර ඇත. ඒ අනෙකක් නිසා නොව, ජීවත්වීමේ සහ ජීවිතය ජයගැනීමේ කලාව ඉගෙන ගන්නට ඔහුගේ ජීවිතයෙන් ලද හැකි පාඩම් අපමණ බැවිනි. 


රෝද පුටුවට සීමා වුණු ජීවිතයක් ගතකරමින් වුව, දැනුමෙන් ලෝකයට අභියෝග කළ හැකි වග ඔහු ලෝකයට පසක් කර ඇත. සිය ජයග්‍රහණයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වරෙක එරට ඒ.බී.සී. පුවත් සේවය වෙත මෙසේ පවසා තිබිණ. “... කෙතරම් දුරට චලනය වන්නේද යන්න නොසලකා හැර මටත් සාර්ථක වෙන්න, ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් බව මා දැනගත්තා. මම හැම විටෙකම සන්තෝෂ වෙන්නේ, අප වැන්නවුන් සාමාන්‍ය අය ලෙස අනෙක් අය සලකනු දැකීමෙනුයි. ...” අඩුපාඩු තිබුණ පමණටම ජීවත්වීම අත්හැර දමන මිනිසුන්ට, ඔහුගෙන් ලබාගත හැකි ආදර්ශය කෙතෙක්ද? 


‘නැති බැරි දේ’ නිසා තමන්ට බොහෝ පසුබැසීම් සිදු වූ බව කියා පෑම ලෝකයේ බොහෝ කොට දකින්නට පුළුවනි. බොහෝ විට ලෝකය තමන්ගේ අභියෝගය කියා සලකන්නේ ද ඒ නැති සහ බැරි දෙය යි. අහිමි දෙය ගැන දොස් නැගීම වෙනුවට, ඇති හැකි දෙයින් නැගී සිටීම අභියෝගය ලෙසින් ගෙන කටයුතු කරන මිනිසුන් විරලයි. එවන් මිනිසුන් ගැන කිව යුත්තේ ජීවිතය ජය ගනිමින් ලෝකය වෙනස් කරන්නවුන් කියා යි. එවැනි මිනිසුන් වන වෛද්‍ය දිනේෂ් පලිපාන වැනි ශ්‍රේෂ්ඨයින්ද මව්බිමට නෑකම් කීමද අපට ආඩම්බරයක් නොවන්නේද.

 

සටහන 
තිළිණි ද සිල්වා