‘බිස්නස්’ දේශපාලනයෙන් වැනසුණු මලාවි


වළපල්ලට ගිය රටවල්  

 

 

බොහෝ රටවල් විනාශ වෙන්නේ මහජනයාගේ සල්ලිවලින් සුරසැප විඳින පාලකයන් නිසා ය. දේශපාලකයන් නිසාය. එම රටවල මහාර්ඝ ආදර්ශනයන් දෙන දේශපාලකයන් විරල ය. එම රටවල ක්‍රියාත්මක වෙන්නේ තීන්දුව කලින් තීරණය කර නඩු ඇසීමේ අධිකරණ ක්‍රියාදාමයකි. ඒ දේශයන්හි පුරවැසියන් අතොරක් නැති දුක්ඛදායෙන් පීඩිත වේ. ඒ රාජ්‍යයන්හි රට කරවන්නන්ට හුරු යක්ෂයාගේ භූමිකාව ය. මේ රඟන යක්කුන්ට මොන ස්ටයිල් ද?   


මම අද ලියන්නේ පාලකයන්ගේ වරදින් වළපල්ලට ගිය තවත් රටක් ගැන ය. මේ රටට කියන්නේ ‘අප්‍රිකාවේ උණුසුම් හදවත’ කියලාය. ඒ මලාවි දේශයයි. දුෂණයෙන් ඉහ වහා ගිය මලාවි ජනරජයයි. දූෂිත දේශපාලකයන් කිසිදු විටෙක ජනතාවට අනුකම්පා හෝ ආදරය නොකරන බව කිව්වේ ​ෙෆඩ්රික් එංගල්ස් ය. මේ කියමන සදාකාලයට ම වලංගු ය. මලාවි රටටත් වලංගු ය.   


රටක විනාශයට මුල 

 
මේ කියන මලාවි රටේ ද ජනතාව දිවි ගෙවන්නේ දේශපාලකයන්ගේ වහලුන් වගේ ය. යමෙකුට වහල් භාවයෙන් මිදීමට අවශ්‍ය නම් පළමුව තමා වහලෙකු බව අවබෝධ කරගත යුතු යැයි කිව්වේ කාල් මාර්ක්ස් ය. අසමත් රාජ්‍යන්හි ජනතාවට මේ බව අවබෝධ වෙන්නේ නැත. ඛේදවාචකය වී ඇත්තේ ඇතැම් දේශපාලකයන් තමන් රවටන බව දැන දැනත් ජනතාව ඔවුන් පසුපස වන්දනාවේ යාමය.   


සැම්බියාව, රුවන්ඩාව, මොසම්බික් යන රටවලට මැදිව පිහිටි වර්ග කිලෝමීටර් 1,18,000ක් හෙවත් ව.සැ. 45,560ක් විශාල එක් කෝටි අසූ ලක්ෂයකට වැඩි (1,80,91,575) ජනගහනයකින් යුත් මලාවි රට ද අද විනාශ මුඛයට පත්වී හමාර ය. 1964 වසරේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාගෙන වසර 54ක් තිස්සේ ජාතික වාත්සල්‍යය පෙරටු කරගෙන රට පාලනය කළ අය රටේ සාරය සිත්සේ උරා බිව් අයුරු දක්නට ලැබේ.   


ආසන 193 කින් යුත් පාර්ලිමේන්තුව ද ආසන 80කින් සමන්විත සෙනෙට් සභාව ද රටේ යහපත තකා ක්‍රියාමාර්ග ගන්නා බවක් පෙනෙන්නට නැත. අංගුත්තර කණ්ඩායම්වල පිංගුත්තර වැඩ කරන බොහෝ දේශපාලකයන්ගෙන් පිරී පවතින මේ ආයතන සුදු අලියන් බවට පත්වී තිබේ. රටේ මුළු ජනගහනයෙන් සියයට 74ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළේ. ඔවුන්ගේ දෛනික ආදායම ඩොලර් 1.25 කට අඩු ය. දළ දේශීය ආදායමෙන් සියයට 35කට වැඩි ප්‍රමාණයක් සාක්කුවේ දමා ගන්නා දේශපාලකයන් හා රජයේ සේවකයන් සිටින රටක් ඉදිරියට යන්නේ කෙසේද? ඇත අතීතයේ සිට ලංකාවේ ද සිදුවූයේ මේ හා සමාන ක්‍රියාදාමයකි.   


කබලෙන් ලිපට වැටුණ මලාවි රට   


මොසැම්බික් හා රුවන්ඩා යන රටවලින් සරණාගතයන් විශාල වශයෙන් මලාවි දේශය කරා ළඟාවීම මේ රට මුහුණ දී ඇති ප්‍රධානම අභියෝගවලින් එකකි. කාන්තා හිංසනය නීති විරෝධී අයුරින් ශ්‍රමිකයන් රට පැටවීම, කුඩා ළමයින් කම්කරු වෘත්තියේ යෙදවීම ආදිය නිසා රට අඳුරු අගාදයකට තල්ලු වී ගියේය. ලිංගාශ්‍රිත රෝගයක් වූ ඒඩ්ස් රෝගය වැළඳී ඇති අයගේ සංඛ්‍යාව ලක්ෂ ගණනකි. ජනපතිවරයාගේ සහෝදරයා පවා මිය ගියේ ඒඩ්ස් රෝගය නිසා ය. අවුරුදු 15ත් 18ත් අතර ළමයින් අතර විවාහ බහුල වශයෙන් සිදුවේ. ජනගහණය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. දිස්ත්‍රික්ක 28කින් විවිධ පහසුකම් ලබාදී ඇත්තේ ප්‍රදේශ කීපයකට පමණකි. ජනතාවගේ පහසුකම් පාලකයින් නිසා මලාවි රට ද කබලෙන් ලිපට වැටී අවසන් ය.   

 

 

පොදු ජනතාව වහල්ලු ද?   


කාලයක් තිස්සේ මලාවි දේශයේ ප්‍රධාන ආදායම් මාර්ගයක්වී තිබුණේ දුම්කොළ අපනයනය කිරීමයි. දුම්කොළ ගොවි පොළවල් රට පුරා තිබුණේ ය. මේ දුම්කොළ රට පැටවීමෙන් රටට ලැබෙන ආදායම යටිමඩි ගසාගැනීම මෙහි දේශපාලකයන් ගජරාමයට සිදු කළහ. දුම්කොළ සල්ලිවලින් ධනවත් වූ ඔවුන් ජනතාව තම වහලුන් බව සිතමින් ක්‍රියා කළහ.  ඔවුහු රජය සතු දුම්කොළ ගොවිපොළවල් හා කම්හල් විදේශ සමාගම්වලට විකුණා දමමින් රට කාබාසිනියා කළහ. උක්, කපු, තේ අර්තාපල් සරුවට වැවෙන රටක් වූ මලාවි අද හිඟාකන තත්ත්වයට පත්වී ඇත්තේ දේශපාලකයන් ගේ හපන්කම් නිසා ය.

   
2007 වර්ෂයේ දී චීනය සමග තානාපති සබඳතා ඇරඹීම තුළින් රට තව තවත් ආපස්සට ගියේ ය. චීන ආයෝජන තුළින් රටට යහපතක් සිදු නොවී ය. චීනය කම්කරුවන් චීන යන්ත්‍ර සූත්‍ර චීන උපකරණ රට තුළට ඇදී එන්නට පටන් ගත්තේය. මේ චීන ආයෝජන තුළින් සිදු වූයේ මලාවි දේශය ද චීන ආක්‍රමණයකට නතු වීමයි. මින් දේශපාලකයන්ට වාසි සිදුවුණා මිස රටට වාසියක් සිදු​ නොවීම ය. මලාවි රටේ හිටපු ජනපතිවරියක් වූ ජොයිස් බණ්ඩා (JOYCE BANDA) චීනය සමග පැවැත්වූ අයථා ගනුදෙනු හේතු කොටගෙන මෙසේ සිදුවී තිබේ. 2014 වසරේ දී බලයෙන් පහවුවත් වසර 4කට පසු දැන් යළිත් ඇය බලය ලබාගැනීමට ප්‍රයත්නයක නිරතවී සිටින්නීය. ඇයට එරෙහිව ඩොලර් මිලියන 31ක මහජන මුදල් අවභාවිතා කිරීම පිළිබඳ චෝදනා එල්ලවී ඇත.   


මලාවි රටේ ඇතුළු පැත්ත 

 
දිවිය උකසට තබා මහා දුක් කන්දකින් ගැළවෙන්නට පොරකන මලාවි පුරවැසියන්ගේ හඬට එහි පාලකයන් කන් දෙන බවක් පෙනෙන්නට නැත. විදුලිය, ගමනාගමනය, ​ෙසෟඛ්‍ය, ජලය ආදී පොදු පහසුකම් නැති ගම්මාන දහස් ගණනකි. කැළිකසළ බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නැති නිසා රට පුරා විවිධ රෝග පැතිරෙමින් පවතී. මෙහිද සිටින්නේ ජාත්‍යන්තර සංවිධාන සපයන ආධාර ගසාකන දේශපාලුවන් නිසා රට මිහිපිට අපායක් වී තිබේ. පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ විසි දහසකට වැඩි බව වාර්තා වේ.   


මීට මාස කීපයකට පෙර ජනතාවගෙන් අල්ලස් ලබාගත් රජයේ ඉහළ නිලධාරීන් 68 දෙනකු සේවයෙන් පහකළ බව මලාවි රජය නි​වේදනය කළේය. ඔවුන්ට දැනට නඩු පවරා ඇතැයි මලාවි ජනපති මුතරිකා කියයි. එහෙත් මහජන මුදල් ගසා කමින් රට ප්‍රපාතයට ඇද දමමින් පවුලේ ඥාතීන්ට රජයේ දේපොළ බුක්ති විඳීමට ඉඩ ප්‍රස්ථාව ලබා දුන් දේශපාලකයන් 65 දෙනෙකුට එරෙහිව ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි විදේශ මාධ්‍යයන් චෝදනා එල්ල කරයි.   


පාර්ලිමේන්තුවේ සම්මත වූ දුෂණ විරෝධී පණන නීතිගත කිරීම සඳහා එහි තම අත්සන යෙදීම පවා කල් දමමින් ඔහු ගන්නා ක්‍රියාමාර්ග දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ. මාධ්‍ය වාර්තා දක්වන්නේ මෙම පණත ක්‍රියාත්මක වුවහොත් තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙන්ම ඇමැතිවරුන්ට ද තනතුරු අහිමිවී සිරදඬුවම් විඳීමට සිදුවුවහොත් බලයෙන් පහවෙන නිසා ඔහු ඊට අත්සන යෙදීම මග හරින බව ය. මලාවි රටේ ද ඉන්නේ පැන්න පය කෝටි වටින දේශපාලකයන් ය.   

 


පැන්න පය කෝටි වටී   


නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම මලාවි දේශය ද විනාශවී යාමට මූලික හේතුවකි. මෙහිදී ක්‍රියාත්මක වෙන්නේ කැලෑ නීතියකි. හිරගෙවල්වල දුක් විඳින්නේ සුළු වැරදිවලට දඬුවම් ලැබූ දුගී දුප්පත් අසරණයන් ය. මහා පරිමාණයෙන් දූෂණ වංචා සිදු කරන අපරාධකරන පාතාල කල්ලි මෙහෙයවන මත්කුඩු ජාවාරම් සිදු කරන ධනවතුන් සහ දේශපාලකයන්ට එරෙහිව මෙහි නීතිය ක්‍රියාත්මක නොවේ. සොරකම් කළ කිසිදු දේශපාලකයකු මෙහිදී බන්ධනාගාරවල යකඩ කූරු ගනින්නේ නැහැ. අප්‍රිකාවේ දූෂිතම පොලිස් සේවයක් පවතින රටකි මලාවි දේශය.   


ජනාධිපතිවරුන් පස් දෙනෙකු විසින් 1964 සිට පාලනය කරනු ලැබූ මලාවි රාජ්‍යය අඳුරේ ගිලී ගියේ බිස්නස් කරන දේශපාලකයන්ගේ උප්පරවැට්ටි නිසා ය. 1964 සිට 1994 දක්වා රට පාලනය කළ හේස්ටින්ස් බණ්ඩාගේ සිට මේ දක්වා රටේ සිදුවූයේ දේශපාලන බල අරගලයකි. මුල්ම පාලකයා වසර 30ක් තිස්සේ ඒකාධිපතියකු මෙන් රට පාලනය කළේය. මෙහි දේශපාලන පක්ෂ 15ක් බලය ලබාගැනීම සඳහා බල අරගලයක නිරතවී සිටී. බොහෝ දේශපාලකයන් මුදලට පක්ෂ මාරු කරන්නන් නිසා රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවී තිබේ. ‘‘පැන්න පැය කෝටි වටී’’ යන කියමන මලාවි රටට ද ගැළපේ.   

 

 

 

 

 

සිරී හීන්පැල්ල   
නිව්යෝර්ක් නුවර සිට ලියයි