‘කැලැන්ඩර්’- ‘ඩයරි’-‘බෝනස්’ නැති අවුරුද්දක්


සිංහල අලුත් අවුරුද්ද ළඟ ළඟ එන බව අපට කියන්නේ කොහාය. උගේ මියුරු කූජනයෙන්, ලතාවකට ඇද පැද කොහෝ.... කොහෝ.... කියමිනි.  එහෙත් වසරක් ගෙවී අලුත් වසරක් ළඟ ළඟ එන බව අපට කියන්නේ කැලැන්ඩර් සහ දිනපොත්ය.   


සාමාන්‍යයෙන් පත්තර කන්තෝරුවේ සිටින අපට කැලැන්ඩර් දිනපොත් එන්නට පටන් ගන්නේ දෙසැම්බරයේ මැදක් ගෙවීමත් සමගය. එතැන් පටන් පෙබරවාරියේ මැදක් ගෙවෙන තුරුම මේ තෑගි ලැබීම සාමාන්‍යයෙන් සිදුවන්නෙකි. විවිධ ආයතනවලින්, බැංකුවලින්, අමාත්‍යාංශවලින්, ව්‍යාපාරික ආයතනවලින් පෝලිමේ එන මේ කැලැන්ඩර් එක එක ආකාර ගනී. ප්‍රමාණයෙන් හැඩයෙන් විචිත්‍රත්වයෙන් වෙනස්ය. සමහර කැලැන්ඩරයක කිසිම පින්තූරයක් නැත. ඇත්තේ මාසයකට නැත්නම් මාස දෙකකට වෙන්වුණු දින ටික පමණි. තවත් කැලැන්ඩරයක ළමයි, මල්, වනසතුන්, භූමි දර්ශන, චිත්‍ර ආදී වූ දර්ශනීය නිමාවක් පවතී.   


අවුරුද්දක් තිස්සේ අපත් සමඟ රැඳී සිටින නිතර දෙවේලේ පෙනී සිටින මේ කැලැන්ඩරය අපි රැගෙන යන්නේ ඉතා සතුටෙනි. ගෙදර ගෙනගොස් බිත්තියක එල්ලා තබන්නේත් කාර්යාලයේ එල්ලා තබන්නේත් යම් දිවි මිතුරකුට දක්වන සෙනෙහස ඇතිවය.   


එහෙත් මාසයෙන් මාසයට පරණ වන කොළය කඩා දමමින් මසින් මසව කෙට්ටු කරන කැලැන්ඩරය සමඟ අපේ ජීවිතවල ආදරණීය දවස් ගෙවී යන බව නම් කල්පනාවට නොගිනිමු.   


අපේ ජීවිතවල පුංචිම දවස්වල කැලැන්ඩරයක් නොලැබුණු අවුරුද්ද තිබූ බව මතකය. එකල අද මෙන් වෛවාරන්න කැලැන්ඩර් තිබුණේද නැත. හේතුව අද මෙන් එදා මුද්‍රණ කලාව වර්ණවත් වී නොතිබීමය. එකල අප නිවෙසකට කැලැන්ඩයක් රැගෙන ආවේ තරගයක් දිනාගෙනය. නගරයේ, පොළේ වීරයකු වන​ වෙළෙන්දෙක් අතේ නොම්මර විස්සක් පමණ තියාගෙන විවිධ දර්ශන සහිත කැලැන්ඩර් තොගයක්ද තියාගෙන සෙනඟ රැස් කරමින් සිටියි. ඔහු ඉදිරිපිට බමරයක් ඇති රවුම් තැටියක්ද තිබේ. එහි වටේට නොම්මර විස්සක් තිබේ. මේ වෙළෙන්දා කැලැන්ඩරයේ ගුණ වයමින් අර නොම්මර විස්ස විකුණා ගනී. එක නොම්මරයක් ශත කීපයක්දැයි මට දැන් මතක නැත. නොම්මර විස්සම විකුණා පසුව වෙළෙන්දු ඒ නොම්මර අතරින් වාසනාවන්ත නොම්මරය තෝරන්නට සැරසෙයි. ඔහු කරන්නේ අර රවුම් තැටියෙහි තිබෙන ඊතලය වේගයෙන් කරකැවීමයි. එය හත් අට වතාවක් රවුමට කැරකී ගොස් අන්තිමේදී හෙමින් හෙමින් ගොස් කිසියම් ඉලක්කමක් උඩ නතර වන්නේ ඒ නොම්මරය කැලැන්ඩරය හිමිවන වාසනාවන්ත අංකය බවට පත්කරමිනි.   
ඊළඟට වෙළෙන්දා මහා උජාරුවෙන් ජයග්‍රාහී අංකය හඬනගා පවසයි. වාසනාවන්තයා තම තුණ්ඩුව දී කැලැන්ඩර් ගොඩෙන් කැමැති කැලැන්ඩරය ලබාගන්නේ සිනා පිරි මුවෙනි.   


ලංකාවට විවෘත ආර්ථිකය පැමිණීමත් සමග ව්‍යාපාර බිහිවී, මුද්‍රණ කර්මාන්තය දියුණු වී අද දැකිය හැකි ප්‍රගතිය ඇතිවීමත් සමග කැලැන්ඩරය දුර්ලභ බවින් මිදිණි.   


ඉන්පසු කලෙක අතිශය දර්ශනීය කැලැන්ඩර් මුද්‍රණය විණි. විවිධ පන්සල්, දර්ශනීය ස්ථාන, නළු නිළියන්, සුන්දර කාන්තාවන් යුවතියන්ගේ ඡායාරූප සහිතව මුද්‍රණය වූ කැලැන්ඩර් රට පුරා අලෙවිකරන්නට පටන් ගැනුණි. මගේ මතකය නිවැරදි නම් එකල මල්පියලි ආයතනය විවිධ ඡායාරූප සහිත දර්ශනීය කැලැන්ඩර් වර්ග සිය ගණනක් මුද්‍රණය කර දෙසැම්බර්, ජනවාරි මාසවල රටපුරා අලෙවි කළේය. එම කැලැන්ඩර්ම රටේ යම් යම් කඩවලට තම ව්‍යාපාරයේ නම ලිපිනය මුද්‍රණය කර තම පාරිභෝගිකයන්ට ලබාදීමටද පුළුවන්කම තිබිණි.   


ඒ යුගයේ මතක ගැන මා දයාන් විතාරණගෙන් විමසුවෙමි. ඔහු එකල කැලැන්ඩර්වලට නළු නිළි ඡායාරූප සැපයූ ප්‍රවීණයෙකි. 

 
“මම කැලැන්ඩර් බහුතරයක් කළේ මාධවී පැෂන් කියන ආයතනයට. මම ගත්තේ නළු නිළියන්ගේ පිංතූර. ඒ සඳහා ඒ ගොල්ලන්ට ගෙවීමකුත් කළා. සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම, දිල්හානි අශෝකමාලා, රුවන්ති මංගලා, කාංචනා මෙන්ඩිස්, චමිලා වික්‍රමසිංහ, නිල්මිණී තෙන්නකෝන්, වසන්ති චතුරානි, ගෝතමී පතිරාජ, චමිලා වික්‍රමසිංහ වගේ අයගේ ගත්තු පින්තූර තමා හුඟාක් කැලැන්ඩර්වල තිබුණේ. 1993 අවුරුද්දෙ ඉඳලා 2000 අවුරුද්ද විතර වෙනතුරුම මම ඔය රස්සාවත් කළා.   
ඔය කාලෙම නළු නිළි පිංතූර තියෙන පොකට් කැලැන්ඩර් එහෙමත් බොහෝම ජනප්‍රියව තිබුණා. සමහර වෙළෙන්දෝ මේ පොඩි කැලැන්ඩර් දහස් ගණන් ගොඩගහගෙන තමයි විකුණන්නේ.   
මට මතකයි ඒ කාලෙ ජනප්‍රිය නිළියකගෙ වෙඩින් පොටෝ ඇල්බම් එක මං කරල දුන්නෙ එයාගෙ කැලැන්ඩර් විකුණලා ගත්තු සල්ලිවලින්.”


දයාන් අතීත මතක මතුකරද්දී මගේ මතකය දිවගියේ එකල පැවැති වෛවර්ණ පත්තර වෙතටය. සරසි, සත්තර, කුමාරි, අරලිය, සිත්තර, සුවඳ, රස වැනි පත්තර, දෙසැම්බර් මාසයේ පටන්ම පත්තර කවරය කැලැන්ඩරය සඳහා වෙන් කළේය. ජනප්‍රිය නළුවකුගේ හෝ නිළියකගේ පින්තූරයකින් සරසන මේ කැලැන්ඩරය නිසාම පත්තරයේ අලෙවිය වැඩිවූ බවද මතකය.   
එවක සරසි සිනමා පත්තරයේ විශේෂාංග කර්තෘ ලෙසද පසුව රස පත්තරයේ කර්තෘ ලෙසද සේවය කළ ප්‍රවීණ මාධ්‍යවේදී අර්නස්ට් වඩුගේගෙන් මේ පිළිබඳව විමසීමි.   
“කාලෙන් කාලෙට ජනප්‍රිය වෙන නළු නිළියො ඉන්නවානෙ. අපි පත්තරවල කැලැන්ඩර් දෙන්නෙ ඒ ජනප්‍රියම නළු නිළියෝ යොදාගෙන. මට මතකයි නවසිය පනස් ගණන්වල ලංකාවේ ජනප්‍රියම කැලැන්ඩර් දෙකක් තිබුණා. එකක් එළිසබෙත් රැජින. අනික රුක්මණී දේවි. මේ කැලැන්ඩර් දෙක මිනිස්සු එල්ලුවේ සාලේ. දොරෙන් ගෙට ඇතුළු වෙනකොටම පේන විදිහට. ඒ කාලේ මේ කැලැන්ඩරේක මිල වුණේ ශත පහක් දහයක් විතර. ඔප කඩදාසියෙ ලෙටර් ප්‍රෙස් ක්‍රමයට මුද්‍රණය කරල තිබුණෙ. 

 
මට මතක විදිහට මුලින්ම පත්තරේකින් කැලැන්ඩරයක් දුන්නේ විසිතුරෙන්. ඒකාලේ ජනප්‍රිය වෙලා හිටපු සන්ධ්‍යා කුමාරි, ජීවරාණි විජිත මල්ලිකා වගේ නිළියන්ගේ පින්තූර තමයි මේ කැලැන්ඩර්වල තිබ්බෙ. ඊට පස්සේ සරසවියෙනුත් කැලැන්ඩර් දුන්නා. සරසි සත්තර යුගය එනකොට මුද්‍රණය දියුණු වෙලා. ඔප්සෙට් ඇවිත්, ඔප කඩදාසියෙ බොහොම ලස්සනට මුද්‍රණය කරලා විජය කුමාරතුංගගේ, රවීන්ද්‍ර රන්දෙණියගේ, සනත් ගුණතිලකගේ, යශෝදා විමලධර්මගේ, සංගීතා වීරරත්නගේ එහෙම පින්තූර තමා දැම්මේ. මම රස කර්තෘ වෙලා දිල්හානි අශෝකමාලාගේ පින්තූරයක් දාලා කැලැන්ඩරයක් කළා. ඔය කැලැන්ඩර් තිබුණු පත්තරේ ලක්ෂ දෙකක් විකිණුනා. ඒ තරමටම ඉල්ලුමක් තිබුණෙ.   
කලක් කැලැන්ඩර්වලට එකතු වූ ඡායාරූප අතර අගමැතිවරුන්ගේ ඡායාරූපද විය. නවසිය පනස් ගණන් වලදී එළිසබෙත් මහරැජිනගේ පින්තූරය සහිත කැලැන්ඩරයක් නොතිබූ ගෙදරක් නැති තරම්ය. ඊළඟට බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ මැතිණිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස වැනි දේශපාලකයන්ගේ මුහුණු කැලැන්ඩර්වලින් දැකිය හැකිවිය. මේ කැලැන්ඩර් ගෙදර ගෙනගොස් එල්ලාගත්තේ පාක්ෂිකයින් පමණක් නොවේ. පක්ෂ බේදයකින් තොරව හැම රට වැසියෙක්ම මේ කැලැන්ඩර් ගෙදර බිත්තියේ එල්ලා තැබුවේය.   


ඩයනා කුමාරියද තවත් යුගයක කැලැන්ඩරය සැරසූ රුවැත්තියක් විය. ඇයට ලෝකයක් ආදරය කිරීම ඊට හේතුවක්ද විය හැකිය.   
ඒ කාලේ මම බිරිඳ පත්තරේ ඩයනාග් පින්තූරේ දාලා කැලැන්ඩරයක් කළා. ඒකත් නොසිතුව විදිහට අලෙවි වුණා.”   
අර්නස්ට් වඩුගේ කීවේය.   
ඒ කාලේ දේදුනු කැලු‍ම්ගෙ චිත්‍රය තියෙන කැලැන්ඩරයක් සිත්තර පත්තරෙත් එක්ක දුන්නා. ඒ පත්තරේ ගන්න අපි පොර කෑවත් එක්ක.  
මගේ බිරිඳ, පැමිණ කීවාය.  
එකල චිත්‍රකතා පත්තර යනු සල්ලි අච්චු ගහනවා වැනි ව්‍යාපාරයකි. චිත්‍රකතා පත්තර මහ ගොඩක් වෙළෙඳපොළට එක් විය. ඔය අතරතුරේ චිත්‍රකතා ලොව ජනප්‍රියම චරිත වූයේ දේදුනු සහ කැලු‍ම්ය. ඒ දෙදෙනා එකල තරුණ තරුණියන්ගේ පරමාදර්ශී පෙම් යුවළ වූහ. එබැවින් දේදුනු-කැලු‍ම් කැලැන්ඩරය කාමරයේ එල්ලා තැබීම තරුණ තරුණියන්ගේ සතුටක් විය.   


මේ වනවිට කැලැන්ඩරයට උරුමව තිබූ බිත්තිය, මේසයට, සාක්කුවට, පවා මාරු වී තිබේ. අද මේස කැලැන්ඩර්, සාක්කු කැලැන්ඩර් ආදී වශයෙන් විවිධ ප්‍රමාණ ගත් විවිධ හැඩගත් කැලැන්ඩර් තිබේ. බොහෝ විට ටියුෂන් පංති මාස්ටර්ලා තමන්ගේ පංති ප්‍රචාරණය කිරීමට මේ කැලැන්ඩර් කලාවද යොදා ගනී. එක් පැත්තක කැලැන්ඩරයක් අනෙක් පැත්තේ පංතියේ දැන්වීමක් මුද්‍රණය කළ විට එය අතට ගත් තැනැත්තා එතනම බිම දමා යන්නේ නැත. කැලැන්ඩරය අවුරුද්දක් පුරා වටිනා බැවින් එය සාක්කුවට ඔබා ගනී.   
අපේ ලංකාදීපයේ විශේෂාංග අංශයේ සම කතුවරියක ලෙස සේවය කළ චන්ද්‍රිකා විජේසුන්දර ළඟ නිතර පිටු පෙරළන දින දර්ශනයක් තිබිණි. ඒ ලීලා පංචාංග දින දර්ශනයයි. හැම දවසකම යෙදෙන හිරු උදාව, රාහු කාලය, සුබ දවස්, පෝය විස්තරයේ පටන් ලෝකයේ රටේ ඒ ඒ දිනවල සුවිශේෂ ඉතිහාස කරුණ ද මේ දින දර්ශනයේ සටහන් විය. වසර සියයකට කිට්ටු හෝ වැඩි කාලයක පටන් පළවන එම දින දර්ශනය පත්තරකාරයන්ට පමණක් නොව ඉගෙන ගන්නා දරුවන්ටද බෙහෙවින් ප්‍රයෝජනවත් යැයි සිතමි.   
දින දර්ශනය හැරුණු විට අලු‍ත් වසරක ආගමනය හෙළිදරව් කරන අනෙක් දේ දින පොතය. සාක්කු දින පොත, මේස දිනපොත, ව්‍යාපාරික දින පොත ආදී වශයෙන් වර්ග කෙරෙන දින පොත් ද අද ආකර්ෂණීය නිමාවෙන් පළවෙයි. අතීතයේදී පළමු සාක්කු දින පොතක් මා මිලට ගත් දා එහි පැත්තක චූටි පැන්සලක් ද තිබිණි.   


දිනපොත යැයි ලියන්නට පටන් ගත් විටම සිහියට නැගුණේ ඈන් ප්‍රෑන්ක් ය. ඈන් ප්‍රෑන්ක්ගේ දිනපොත තරම් ලෝක ප්‍රසිද්ධ වූ තවත් දින පොතක් නැති තරම්ය. නාසි යුද සමයේදී, නාසි හමුදාවලින් සැඟවෙමින් තම දින පොත ලියූ යුදෙව් දැරිය ඈන් ප්‍රෑන්ක් ය.   
මේ සමගම මට සිහිපත් වූයේ ප්‍රවීණ පරිවර්තක සේනාරත්න වීරසිංහය. බොහෝ කරුණු කාරණා ගැන පැතිරුණු දැනුමක් ඇති ඔහුගෙන් දින පොත් ගැන ඇසූ විටම ඔහු කීවේ සාහිත්‍යය ලෝකයේ වැජඹෙන දින පොත් ගැනය. ඩේවිගේ දින පොත, ලෙනාඩ් වුල්ප්ගේ දින පොත ආදී වශයෙනි. “ඒ කාලේ ප්‍රංශ සාහිත්‍යය පොත් හුඟාක් ලියැවුණේ ඔය දින පොත් ආකෘතියෙන්. එතකොට දොස්තොව්ස්කි පිස්සෙකුගේ දින පොත කියලා නව කතාවක් ලිව්වා.   
චාල්ස් ඩිකන්ස්, බර්නාඩ් ෂෝ, කමලා දාස්, කුෂ්වන්ති සිං වගේ ලේඛකයොත් දින පොත් ආකෘතියෙන් නිර්මාණ කළා. ඔය කුෂ්වන්ත් සිංගෙ දින පොත් එහෙම සාහිත්‍ය ලෝකේ හරි ප්‍රසිද්ධයි.”
සේනාරත්න වීරසිංහ කියාගෙන ගියේය.   
දින පොතට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙතත් සාමාන්‍යයෙන් දින පොත්වල දින සටහන් ලිවීම පුරුද්දක් වශයෙන් කළේ මධ්‍යම පාංතිකයන්ය. ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ වැනි ලේඛකයන් ද දින පොත් ලියන්නන් වශයෙන් ප්‍රසිද්ධය.   


“එතකොට ඔය ජේ.ආර්. ජයවර්ධන එයත් හැමදාම දින පොත ලියපු කෙනෙක්නෙ. නවසිය හතළිස් ගණන්වලදී එයා මරදානේ බුහාරි හෝටලෙන් තේ බීලා තේ ගෙනාපු කොලු‍වටත් සතේක ටිප් එකක් දුන්නා කියලා දින පොතේ ලියලා තිබුණලු‍.”   
ඒ ද සේනාරත්න වීරසිංහය.   
“දින පොත් ලිවිල්ල ගැන මා මුලින්ම දැන ගත්තේ මගේ අයියාගෙනි. එවකට ගුරුවරයෙකු වූ ඔහු වැල් ඉංග්‍රීසි අකුරෙන් දිනයක් පාසාම දින පොතේ ලිව්වේය. ඒ පුරුද්දට මම ද දින පොත් ලියන්නට පටන් ගතිමි. එහෙත් දින සටහන් ඇසුරින් මගේ පරණ ප්‍රේම කතාවක් බිරිඳ දැනගත්දා සිටම මම දින පොත් ලිවිල්ලෙන් වැළකුණෙමි. හැබැයි ඇය නම් අවුරුද්දකට දින පොත් තුන හතරක්ම අවසන් කරන්නේය. ඇගේ අකුරක් කොස් ඇටයක් තරම් වන බැවින් දිනයකට වෙන් කර ඇති පුංචි ඉඩ හසර ඇයට මදි නිසාය.   
ඒ කාලේ කැප්ටන් දිනපොත, සීවලී දින පොත, දවස දිනපොත, රජයේ දිනපොත කියලා දිනපොත් වෙළෙඳපොළේ විකුණන්න තිබුණා. ලියන කියන උදවිය ඔය දින පොත් මිලට ගත්තා.”   
සේනාරත්න වීරසිංහ එකල පැවැති දින පොත් ගැන ද පැවසීය.   
අදටත් වෙළෙඳපොළේ විකුණන්නට දින පොත් තිබේ. එහෙත් බොහෝ දෙනා පුරුදු වී සිටින්නේ කාගෙන් හෝ දින පොතක් ඉල්ලා ගන්නටය. බැංකුවකින්, රක්ෂණ සමාගමකින් ආදී වශයෙනි. අමාත්‍යාංශ, ව්‍යාපාරික ස්ථාන ආදියෙන් ද දින පොත් ප්‍රකාශයට පත් කරන බැවින් දන්නා හඳුනන අය මාර්ගයෙන් දින පොතක් හොයා ගන්නට බැරිකමක් නැත.   


එහෙත් එසේ දින පොත් දෙන්නට යෑමෙන් මිතුරන් තරහ වන අවස්ථා ද උදා වේ. මීට වසර කිහිපයකට පෙර අපේ එක් මාධ්‍යවේදියකුගේ මේසය උඩට දින පාර්සල් කරන ලද දින පොතක් ලැබී තිබිණි. ඒ වනවිට ඔහුට දින පොත් රාශියක් ලැබී තිබූ බැවින් අර දින පොත පෙරළා බැලීමටවත් වුවමනාවක් නොතිබිණි. ඒ නිසා ඔහු පාර්සලය එහෙමම බෑගයට ඔබා ගත්තේය.   
ඔහු ගෙදර යන ගමන් හමු වූ මිතුරකු දින පොතක් ඉල්ලා සිටියේය. ඔහු වහා බෑගයට අත දමා අර දින පොත මිතුරාට දුන්නේය.   
එහෙත් එදායින් පසු අර මිතුරා අපේ මාධ්‍යවේදියා සමග කතා කළේ නැත. හමු වූ විටත් අහක බලාගෙන යන්නට පටන් ගත්තේය.   
එහෙත් එක දවසක ඔහුට මඟහැර යන්නට නොහැකි විය.  
“මොකද ඕයි තමුසෙ මාව මඟහරින්නේ?”   
අපේ මාධ්‍යවේදියා ඇසුවේය.   
“උඹ කරන බලු‍ වැඩවලට යාලු‍ වෙලා ඉන්නද කියන්නේ?”   
මිතුරා ඇසුවේ කේන්තියෙනි.   
“මොකක්ද මං කළ බලු‍ වැඩේ?”   


“බලු‍ වැඩේ... එදා ඩයරියක් ඉල්ලපුවම තමුසෙ මට දීලා තියෙන්නේ පරණ එකක්නේ. මමත් ඒක බලන්නෙවත් නැතුව මගේ හිතවතියකට දුන්නා. ඒ ගෑනි දැන් මා එක්ක තරහ වෙලා.”   
මිතුරා කී විට අපේ මාධ්‍යවේදියාට තරු පෙණිනි.   
“අනේ බං මමත් දන්නේ නෑ. ඕක ඔය මගේ මේසෙ උඩ කවුරු හරි තියපු එකක්. එහෙමනම් අපේ කන්තෝරුවේ එකෙක් විහිළුවක් කරන්න ඇති.”   
මාධ්‍යවේදියා කීවිට අර මිතුරා නැවතත් මිතුරු විය. එහෙත් ඔහුගේ හිතවතිය නම් යළි මිතුරු වූයේ නැත. දිනපොතක අන්තර්ගතයද එකිනෙකට වෙනස්ය. සමහරක දිනපොතක දවසකට වෙන් කළ ඉඩ, පිටුවකි. තවෙකෙක පිටු භාගයකි. ඒ ඉරිදා සෙනසුරාදා දින දෙකටම ඇත්තේ වෙනදා දවසකට තිබූ ඉඩ ප්‍රමාණයටය. එහෙත් ඒ දවස්වලද දවසකට පැය විසිහතරක් තිබෙන බව දිනපොත් නිර්මාණ ශිල්පීන් නොදන්නවා විය යුතුය.   
වර්තමාන දිනපොත්වල එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු ද රැසකි. හදිසි දුරකථන අංක, රෝහල් සහ විශේෂඥ වෛද්‍යවරු, රට රටවල භාවිත වන මුදල් එ්කක, රට රටවල අගනුවරවල්, ලෝක සිතියම, ලංකාවේ සිතියම, ඒ ඒ නගරවලට ඇති දුර ප්‍රමාණ ආදී තොරතුරු රාශියකි.   
පසුගිය කාලයේ කලාකරුවන්ගේ දුරකථන අංක ඇතුළත් කළ දිනපොතක් කීර්ති පැස්කුවල් විසින් මුද්‍රණය කරවනු ලැබිණි. අදටත් මට බොහෝ කලාකරුවන් මුණගස්වන්නේ එකී දිනපොතයි. හැබැයි ඒ දිනපොත දැන් මුද්‍රණය නොවන බව මගේ විශ්වාසයයි. කාලෙකින් එහි පිටපතක් මට නොලැබුණු බැවිනි.  
දිනපොත් ගැන ලියනවිට මතකයට නැගෙන පත්තර විශේෂාංග ද වේ. ඒ අතර කලකට පෙර විජය පත්තරයේ පළවූ දුමීගේ දිනපොත ද මෑතක් වනතුරු කලා පුවත්පතක පළමු තිලාගේ ඩයරිය මේ මොහොතේ මගේ මතකයට නැගේ. පිංපොත නමින් අපේ උපාසක අම්මලා පාවිච්චිය කරන පොතද දින පොතේම තවත් ආකෘතියක් බව කිව හැකිය.   


අවුරුද්දක් අවසන් වනවිට රැකියා කරන්නන්ගේ බලාපොරොත්තුව බෝනස් එකය. සිංහලෙන් පාරිතෝෂික මුදල කිව්වත් නමට හුරු හිතට ප්‍රිය උපදවන වචනය වන්නේ ‘බෝනස්’ ය.   
සාමාන්‍යයෙන් මසකට ලබන වැටුපට වඩා වැඩි මුදලක් අතට ලැබෙන බෝනස් එක නත්තලට කලින් ලැබෙන බැවින් සමහරු කියන්නේ නත්තල් බෝනස් එක කියාය. නත්තල යනු කිතුනුවන්ට සිංහල අවුරුද්ද මෙන්ම උත්සව සමයකි. හමු වී තෑගි බෝග දී කා බී ප්‍රීතිවීම නත්තලේ එක් අංගයකි. මේ නිසා නත්තලට හැමෝටම අමතර මුදලක් අවශ්‍ය වේ. නත්තල් බෝනස් එක ඊට විකල්පයකි.   
“මං දන්න විදිහට මුලින්ම රජයේ සේවකයන්ට බෝනස් එකක් ලැබුණේ වරාය ජනසතුවෙන් පස්සේය.   
ඊළඟට ලංගම ජනසතුවත් එක්ක ලංගම සේවකයන්ටත් බෝනස් හම්බවුණි.”   
සේනාරත්න වීරසිංහ බෝනස් අතීතය ගැනද කරුණු කීවේය.   
අද වනවිට විවෘත ආර්ථිකය යටතේ විවිධ පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන තිබේ. රජයේ සේවකයන්ටත් වඩා වැඩි සේවක පිරිසක් සේවය කරන්නේ පෞද්ගලික ආයතනවලය. මේ ආයතනවලින් ලැබෙන ලාභයෙන් කොටසක් අවුරුද්දේ අවසානයට බෝනස් එකක් ලෙසින් සේවකයන්ට ලබා දෙයි.   
එහෙත් මේ අවුරුද්දේ, බෝනස් ලැබෙන්නේ නැත. හේතුව කොරෝනා වයිරසය හේතුවෙන් බොහෝ ආයතන දුවන්නේ පාඩුපිටය. සේවක වැටුප් ගෙවීමට රජය දුන් අඩු පොලී ණය මුදල්ද ගන්නට බො​හෝ ආයතනවලට සිදුවූයේ මාස ගණන් ආයතන වසා තැබීමට සිදු වූ නිසාය. ඉතින් මෙවැනි වාතාවරණයක මේ අවුරුද්දේ කිසිවෙකුට බෝනස් ලැබෙතැයි සිතිය නොහැකිය.   


මීට දශකයකට එක හමාරකට කලින් මා ‘ඉරිදා ලංකාදීප’යට බෝනස් ගැන ලිපියක් ලීවෙමි. එහි සිරස්තලය ලෙස අපේ කර්තෘතුමාගෙන් පිටවූයේ මේ වචන ටිකයි.   


“අඬලා දෙන හිනැහිලා ගන්න බෝනස්”   


මේ සිරස්තලය මේ අවුරුද්දට කිසිසේත්ම උචිත නොවූවත් මගේ මතකය ඒ අතීතයට දිව ගියේය. කෙසේ වෙතත් මේ බෝනස් එක බොහෝ වටින්නකි. ඇතැමෙක් වසරේ අතරමැද දී කරගන්නා ණයතුරුස් ටික ගෙවාදමන්නේ මේ බෝනස් එකෙනි. මෙදා පාර ඒ හපන්කම කර අවුරුද්ද අවසන් වන්නට කලින් අරුණ ප්‍රබෝධයෙන් සැනසෙන්නට ඔවුනට නොහැකි වනවා ඇත.   


මේ අවුරුද්ද, බෝනස් පමණක් නොව කැලැන්ඩර් ද දිනපොත් ද නැති අවුරුද්දකි. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී හැම මුද්‍රණාලයක්ම අච්චු ගහන්නේ කැලැන්ඩර් සහ දිනපොත්ය. එහෙත් මෙදා පාර බොහෝ මුද්‍රණාලවලට කැලැන්ඩර් ඇණවුම් එන්නේ අඩුවෙනි. වෙනදා කැලැන්ඩර් දාහක් මුද්‍රණය කළ ආයතන මෙදා මුද්‍රණය කරන්නේ සියයකි. දිනපොත් නැත්තටම නැති තරම්ය.   


මේ නිසා මෙදා පාර කැලැන්ඩර්ද දිනපොත්ද අවශ්‍ය නම් දැම්මම බැංකුවට රක්ෂණ සමාගමට කියා තිබිය යුතුය. එහෙත් බැංකුද වෙනදාට වඩා අඩුවෙන් කැලැන්ඩර් දිනපොත් ගැහුවොත් ඔබටත් මටත් ඒවා නොලැබෙන්නට හොඳටම ඉඩ තිබේ.   


මේ වාතාවරණය දන්නා බැවින් සෑම ගෙදරකටම කැලැන්ඩරයක් දෙන්නැයි විපක්ෂය විසින් ආණ්ඩුවට යෝජනා කරන්නට බැරිකමක් නැත.   


එහෙත් බෝනස් දෙන්නැයි පෞද්ගලික අංශයට බලකරන්නට ආණ්ඩුවටවත් විපක්ෂයටත් හැකිවන්නේ නැත.   

 

 

 

ශාන්ත කුමාර විතාන