‘ඒකාධිපතිවාදය’ පොත ලීවාට සිරබත් කෑ ඤාණසීහ හාමුදුරුවෝ


 ඤාණසීහ නාහිමි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ පළමු වැනි විත්තිකරු වෙයි.  
 සිරගෙදර සිට ලියූ පොතකට රාජ්‍ය සාහිත්‍ය සම්මාන: එහි පාලි පද්‍ය 1106 කි.   
 එම කෘතියට සම්මාන දීමට අගමැති ඩඩ්ලි සහ ඇමැති ඊරියගොල්ලගෙන් අනුමැතිය. 

 

 

‘‘කුමන්ත්‍රණය’’ යනු අන්‍යයකුට නපුරක් කරනු සඳහා කරන රහස් කතාව, පාලකයකුට හෝ පාලක අධිකාරියකට විරුද්ධව කරන රහස් සාකච්ඡාව යනුවෙන් ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගගේ මහා සිංහල ශබ්ද කෝෂයේ අර්ථ ගන්වා ඇත. එම වචනයට පියදාස හෙට්ටිහේවා සහ පර්සි ජයමාන්න විසින් සංස්කරණය කරන ලද සරසවිය සිංහල-සිංහල ශබ්ද කෝෂයේ තේරුම දක්වා අැත්තේ නපුරක් කරනු සඳහා කරන සාකච්ඡාව, රහස් වැඩ පිළිවෙළ යනුවෙනි.   


ලංකා දේශපාලන ඉතිහාසයේ පසුගිය වසර 70 තුළ මෙවැනි කුමන්ත්‍රණ ගැන විටින් විට අපට අසන්නට ලැබී ඇත.   
1966 වසරේ අප්‍රේල් 16 වැනිදා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩුවේ පළමු වැනි විත්තිකරු ලෙස පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ හිමියන් අත්අඩංගුවට ගත් පුවත මින් එකකි. රත්නපුර මුද්දුව ශ්‍රී සුමන මහා පිරිවෙණාධිපති ඤාණසීහ අධිකරණ නායක ස්වාමීන් වහන්සේ පාතකඩ සර්වෝදය භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ අධිපතිව සිටියහ. ‌ඤාණසීහ හාමුදුරුවන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඉතා සමීපව සිටි බව දේශපාලන ක්ෂේත්‍රයේ කවුරුත් දන්නා කරුණකි. දැඩි මතධාරියකු වූ උන්වහන්සේ විසින් ලියූ ඒකාධිපතිවාදය පොත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලන කාලයේ (1960-1965) ලියන ලද්දකි.  


‘‘මම හැම විටකම දැඩි පාලනයට සැලකිලි දැක්වීමි. රටක එක පරපුරක් දැඩි පාලනයෙන් හදා ගත් පසු ඒ පාලනය නිසා හැඩ ගැසුණු පරපුර මුල් කොට පහළ වෙන දෙවැනි පරපුරක් නිරායාසයෙන්ම හැඩ ගැසෙන බව මගේ විශ්වාසය විය. අපහසු වී ඇත්තේ ඒ මුල් පරපුර හදා ගැනීමය. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය කොහෙත්ම නොගැළපෙයි. අවශ්‍ය වෙන්නේ ඒකාධිපති බලයයි. මේ අදහස් ප්‍රකාශ කරමින් මම ඒකාධිපතිවාදය යන ශීර්ෂයෙන් පොතක් ලියා ප්‍රසිද්ධ කළෙමි.’’   
ඤාණසීහ නාහිමියන් අපවත්වීමට ටික කලකට පෙර ලියූ ස්වයං ලිඛිත චරිතාපදානය වූ හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා කෘතියේ මෙසේ විස්තර සඳහන් ව තිබුණි.  
1965 මහා මැතිවරණයෙන් ඩඩ්ලි සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය බලයට පත් විය. එක්සත් ජාතික පක්ෂයේ වගකිව යුතු නායකයන් තුළ තදබල ලෙස කා වැදී තිබුණේ තමන්වහන්සේ විසින් ලියූ එ්කාධිපතිවාදය නමැති පොත මගින් බණ්ඩාරනායක මැතිනිය ඒකාධිපතියකු කිරීමේ පරමාර්ථයෙන් ලියූ එකක් බව කියාය. උන්වහන්සේ ඒ ගැනද මෙසේ ද පවසා තිබූහ.  


‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් වූ මුල් වාරයේ පටන් යුද හමුදාව තුළ ආගමික වූද ජාතික වූද හැඟීම් තහවුරු කරනු සඳහාද ඔවුන් තුළ අවංක බව චරිත පාරිශුද්ධිය ඇතුළු ශිෂ්ට ගුණ වගාව දියුණු කරනු සඳහාද හැම කඳවුරකම වාගේ ධර්මදේශනා සඳහා මා පිටත් කර හැරීම සිරිතක් විය. මේ නිසා පාබළ හමුදාවේ නිලධාරීන් සේවකයන් හා මා අතර දැන හැඳීනීම අනුක්‍රමයෙන් වැඩි දියුණු විය. ඒ දැන හැඳිනීම හා විශ්වාසය ඇතැම් විරුද්ධ පාක්ෂිකයන් (රජයේ වගකිවයුතු) තුළ ඉහත සඳහන් කළ සැකය තහවුරු කරන්නට විය. මේ හේතු නිසා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පිහිට වූ පසු 1966-04-17 වැනි දින මධ්‍යම රාත්‍රියේ මා සිරභාරයට ගන්නා ලදී. එදා මා ගෙන යන ලද්දේ දෙපසින් හමුදා රිය දෙකක් යොදා ඒ මැදින් මෝටර් රථයකිනි. මා කැඳවාගෙන යාම සඳහා පැමිණි නිලධාරී මහතා බෞද්ධයෙකු නොවීය. අප දෙදෙනා කොළඹට යන තුරුම සාකච්ඡා කළේ බෞද්ධ දර්ශනයට පදනම් වූ මූලධර්ම පිළිබඳවය.   


සිරභාරයට පත්වෙන්නට පෙර ඤාණසීහ නාහිමියන් විසින් කෘතීන් 12ක් ලියා තිබුණි.  
සත්වයා, දෙවියෝ, සිංහල මේඝ දූතය (පද්‍ය), අභිධර්ම පරීක්ෂණය, බන්ධක විනය, සද්ධර්මශතකම් (සංස්කෘත පද්‍ය), සිංහල රඝු වංශය, මහරහතන් වහන්සේ, සාහිත්‍යය, සියබස්ලකර විස්තර වර්ණාව, විඥාප්තිමාත්‍රිකා, සිද්ධිවාදය, ඒකාධිපති වාදය මේ කෘතීන්ය.   


ඤාණසීහ නාහිමියන් එදා පන්සලේ සිට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත්‍රිය ගත කොට දෙවැනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබීය. කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක් කාමරයක නතර කරනු ලැබූ උන්වහන්සේ පසුව දා අවදිවෙන විට අතෙහි තිබුණේ පෑන පමණකි. උන්වහන්සේ භාරව සිටි බන්ධනාගාර නිලධාරියා බර්ගර් ජාතික ජෝර්ඩන් මහතාය.   
කරුණාකර මට ලියන්න කඩදාසි ටිකක් දෙන්න පුළුවන්ද මහත්තයා?  
මේ නිලධාරියා බුද්ධිමතෙකැයි උන්වහන්සේ ලියා තිබුණි.   


ඔබ වහන්සේට ලියන්න කඩදාසි සපයා දිය හැකියි.  


උන්වහන්සේ ලිවීමට පටන් ගත්හ. දිගටම ලියූහ. දුටුගැමුණු රජුගේ චරිතය පාලි පද්‍යයෙන් වර්ණනාත්මකව ලිවීමට ආරම්භ කොට මාසයකින් පරිච්ඡේද 18ක් පාලි පද්‍ය 1106 කින් යුතුව ලියා සම්පූර්ණ කළහ. ගාමිණි ගීත නාම ජේට්ට ගාමිණි නම් එම කෘතියට 1967 වර්ෂයේ ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය මගින් පාලි පද්‍ය සඳහා පිරිනමන ලද රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය.   
බන්ධනාගාරයක් තුළ සිට ලියනු ලැබූ කෘතියකට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ලැබීමේ ප්‍රථම දුර්ලභ අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගත වී ඇත. එහි අතුරු කතාවක් එවකට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරයා ලෙස සිටි කීර්තිමත් පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය ලීල් ගුණසේකර මහතා මට කියා ඇත.   
මට මතක් වෙනවා. 1967 සාහිත්‍ය සම්මාන උත්සවය. සංස්කෘතික ඇමැතිවරයා අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා. ඉස්සර සාහිත්‍ය මණ්ඩලයට පත් වුණේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ද්විභාෂික දැනුම ඇති ගිහි පැවිදි උගත්තු, පඬිවරු හිර ගෙදර හිටිය හේන්පිටගෙදර ඤාණසීහ හාමුදුරුවන් ලියපු ගාමිණි ගීත නාම ජේට්ට කෘතියට රාජ්‍ය සම්මානයක් දෙන්න නිර්දේශිත වුණා. මෙයට මණ්ඩලයේ සිටිය හිමි නමක් විරුද්ධ වුණා. රාජ්‍ය කුමන්ත්‍රණයකට සම්බන්ධ හිමිනමකට රාජ්‍ය සම්මාන නොදිය යුතුයි කියලා මණ්ඩලයේ හිටිය ආචාර්ය ආනන්ද ගුරුගේ කිව්වා මට ඊරියගොල්ල ඇමතිතුමා එක්ක බේර ගන්න කියලා. මම ඇමතිතුමාට මේ ප්‍රශ්නය ගැන කිව්වා.  


අයිසේ දක්ෂ යකා හිරේ හිටියත් නිරේ හිටියත් දක්ෂයා. අපි කෝකටත් අගමැතිතුමාටත් මේ ගැන කියමු. කියූ ඇමැතිතුමා මාවත් රැගෙන ඩඩ්ලි සේනානායක මහත්තයා හමුවෙන්න ගියා.   


ප්‍රශ්නයට හොඳට සවන් දී සිට අගමැතිතුමා මගෙන් මෙහෙම ඇහැව්වා.   
මොකද? අධ්‍යක්ෂතුමා මේ ගැන මොකද හිතන්නේ කියලා  
සර් මේ පොත නිර්දේශ වී ඇති නිසා සම්මානය හිමි විය යුත්තේ ඤාණසීහ හාමුදුරුවන්ට. මම කිව්වා.  
එහෙනං සුදුස්සා හාමුදුරුවො නං. මුදල් තෑග්ග බන්ධනාගාරයට ගිහිං දෙන්න. අධ්‍යක්ෂතුමා අතින්ම දෙන්න. අගමැතිතුමා සිනාසෙමින් කිව්වා.   
සර් මමත් අධ්‍යක්ෂතුමාට කිව්වේ දක්ෂ යකා හිරේ හිටියත් නිරේ හිටියත් දක්ෂයා කියලා. ඊරියගොල්ල ඇමැතිතුමාත් කියන කොට අගමැතිතුමා නැවතත් හිනා වුණා.   
ලීල් ගුණසේකර මහතා ඒ අතීතය විස්තර කළේය.   


තමාගේ ජීවිත කාලය තුළ සාර්ථක ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කළ කාලය කවර කාලයක්දැයි කිසිවෙකු ඇසුවොත් තමන් වහන්සේ පිළිතුරු දෙන්නේ මැගසින් බන්ධනාගාරය තුළ ගත කළ අවුරුදු 3 හා මාස කිහිපය බව ඤාණසීහ නාහිමියෝ පවසා තිබූහ. එයට හේතුව ලෙස උන්වහන්සේ දක්වා ඇත්තේ නඩුවට උසාවියට යන එන හා එහි ගෙවන කාලය හැරුණු විට හැම මොහොතක්ම ධර්ම ශාස්ත්‍රීය සේවය සඳහා ඒ හිමියන් ගත කරමින් බන්ධනාගාරය තුළ දින 1226 ක් ගත කළ බවය. උන්වහන්සේ මෙසේද ලියා තිබූහ.   
මා මැගසින් බන්ධනාගාරයට ගොස් නතර කළ වාට්ටුවේ එදා මා හැර අන් කිසිවකු නොවීය. ඊට පසු යුද හමුදාවේ සිටි කැප්ටන් ඇල්.ජී. සිගේරා මහතා සහ සුනිල් හේවගේ ජේ.එම්. වික්‍රමසිංහ යන මහත්වරු ද ගෙනෙනු ලැබූහ. සියලු දෙනාටම. පසුව හමුදාපතිව සිටි රිචඩ් උඩුගම මහතාද බන්ධනාගාරයට ගෙනනු ලැබීය. පිටරට ගොස් අහස් යානයෙන් බැස්ස මොහොතේම සිරබාරයට ගනු ලැබූ උඩුගම මහතා තමා සිරභාරයට ගනු ලැබුවේ කවර වරදකටද? යන්න නොදත්කම නිසා අන්දුන් කුන්දුන් වී හඬමින් සිටි නිසා වෙනත් සිරමැදිරියක දමා සිටියේය. ජෝර්ඩන් මහතා මා හමුවී එතුමා සනසනු පිණිස කුමක් හෝ කරන ලෙස මගෙන් ඉල්ලා සිටියේය. මම එහි ගොස් එතුමාට කරුණු කියා සනසා අප සිටි වාට්ටුවටම කැඳවා ගෙන අාවෙමි.   
ඤාණසීහ නාහිමියන්ට මාස කිහිපයකට පසු පිටින් පැමිණෙන අමුත්තන් දැක ගැනීමටත් අවශ්‍ය දේ ගෙන්වා ගැනීමටත් අවසර ලැබී ඇත. උන්වහන්සේ ටයිප්රයිටරය හා අවශ්‍ය පොත පත ගෙන්වා ගෙන මුළු කාලය පොතපත ලිවීමට ගත කළහ. මැගසින් බන්ධනාගාරය තුළ දී උන්වහන්සේ ලියූ මුද්‍රණය වූ පොත් ගණන 15කි. ඒවා නම් ගාමිණි ගීතා, බෞද්ධ දර්ශනය, මහ පැරකුම් සිරිත (පද්‍ය 1124යි), මිනිසා සහ ජීවිත පරමාර්ථය, ලෝකය, සසර, කලාව කුමක් පිණිස ද?, රූපා (නවකතාවකි), ශූන්‍යතා දර්ශනය, සත්වයා පිරිසිදු වෙන්නේ කෙසේද, හැඩ ගැසෙන චරිත, ගැටළු තැන්, දර්ශනය විද්‍යාව හා බුදු දහම, ඥානප්‍රස්ථානය, උපාධියෙන් පසු. බන්ධනාගාරයේදී ලියන ලද මුද්‍රණය නොවූ (1982 තෙක්) තව පොත් 13ක් ද වෙයි.   


ඤාණසීහ නාහිමියන් තම ස්වයං ලිඛිත චරිතාපදානයේ බන්ධනාගාරයේ සිටියදී වූ රසවත් සිද්ධීන් කිහිපයක්ද විස්තර කර තිබුණේ මෙසේය.   
මම නිතර බුලත් සපන කෙනෙක් වෙමි. ඒ නිසා මා බලන්නට එන හැම දෙනාම පාහේ බුලත් පුවක් හුනු දුම්කොළ මිටි බැඳගෙන පැමිණෙති. පුවක් වේළෙන නිසා මම ලොකු මැටි හැළියක් ද ගෙන්වා ගෙන අප සිටි වාට්ටුවට පිටු පස මඩ පුවක් හැළියක්ද දමා ගතිමි. අදත් එය එසේම ඇතැයි සිතමි.   
කැවිලි වර්ග, පලතුරු වර්ග වලින් මගේ කාමරය නිතරම පිරී ඇත. කෑමෙන් පසු සිරකරු පිරිස මා සිටින කාමරයේ ජනේලයෙන් අත පෙවීම සිරිතක් විය. මම ඔවුන්ට කැවිලි පලතුරු බෙදන්නෙමි. බුලත් ඉල්ලා එන්නවුන්ගේ ගණනද ඉතා විශාල විය. සිරකරුවන්ට බුලත් සැපයීමට අවසර නැත. එහි අැති නීතියකි. ජේලර් මහත්වරු ඔවුන්ට බුලත් නොදෙන ලෙස මට කියති. මම සිනා සී අනේ ඔබලා අහක බලා ගන්න කියමින් හැම දෙනාටම මම බුලත් බෙදා දෙමි. කෑම වර්ගද එසේම දුන්නෙමි.   
ඤාණසීහ නාහිමියන් පොත් ලියමින් සිටින විට උඩුගම මහතා සහ සිගේරා මහතාද නාහිමියන්ට කරදර කළහ. ඔය වැඩේ පොඩ්ඩක් නතර කරලා මෙහාට එන්න... ටිකක් සාකච්ඡා කරන්න ඕනෑ නොවැ.  


කරදරවලින් බේරීමට නැති තැන නාහිමියෝ ලිවීම නතර කොට සාකච්ඡාවට සහභාගි වෙති.​ මේ පිළිබඳව උන්වහන්සේ මෙසේ ලියා තිබුණි.   
විදුලි පංකාවක්, මදුරු දැලක් මට තිබේ. මගේ දානය ඉතාම සැලකිල්ලකින් සකස් වෙයි. ගෙදරක සංග්‍රහයක් කෙරෙන විටක සකස් වෙන පරිදි මාළු පිනි වර්ග සහිතව මගේ දානය පිළියෙල වී තිබිණි. අනිත් කීප දෙනා ද (සිගේරා, හොඳමුණි, වික්‍රමසිංහ, හේවගේ) මගේ පලතුරු හා කැවිලි වර්ග බඩ පුරා කා දමති. ඒ ගැන මගේ තහනමක්ද නැත.   
මැගසින් බන්ධනාගාරයේ ගත කළ ඤාණසීහ නාහිමියන්ගේ සම්පූර්ණ කාලය ඉතාම සාර්ථක බව පුන පුනා කියා සිටිති. හිටපු හමුදාපති රිචඩ් උඩුගම මහතාද බුදුදහම ගැන හොඳින් දැන සිටි නිසා විටින් විට නාහිමියන් සමග වාද තර්ක කරමින් සිටි බවට හොඳම සාක්කියක් ස්වයං ලිඛිත චරිතාපදානයේ එයි. මේ එවැනි අවස්ථාවක් නාහිමියන් විස්තර කළ අයුරුය.   
අපට ගුවන් විදුලියට පවා ඇහුම්කන් දීමට රෙඩිෆියුෂන් එකක්ද සවිකර දුන්නේය. සඳට පළමු වරට මිනිසා ගොඩ බැස්සේ අප බන්ධනාගාරයේ නතර වී සිටි කාලය තුළය. ඒ පිළිබඳ විස්තරය ගුවන් විදුලියෙන් ප්‍රකාශ කළ දා මධ්‍යම රාත්‍රිය ගත වෙන තුරුම ඒ පිළිබඳ විස්තරයට අපි ද ඇහුම්කන් දී ගෙන සිටියෙමු ප්‍රවෘත්තිය අවසන් වූ පසු උඩුගම මහතා ඔන්න බුද්ධාගමට තට්ටු වුණා නේ දැයි ඇසීය.   
මොකක්ද තට්ටු වුණේ?  
ඇයි ඉර හඳ දිව්‍ය විමාන කියල නේද පොතේ තියෙන්නේ.  
කොහේද?  


අැයි චන්ද පිරිත සූරිය පිරිත කියලා පිරිත් දෙකක් තියෙනවා නේද? ඒකේ ඉරයි හඳයි රාහු අල්ල ගත්ත කියලා තියෙනවා නොවැ....  
ඒ මේ ඉර හඳ දෙකයැ. දෙවියොත් අසුරයොත් යුද්ධ කළ වෙලාවේ චන්දිම සූරිය කියන දේවතාවන් දෙන්න රාහු කියන අසුරය මේ අය වගේ සිරබාරයට ගත්තා. ඒ දෙන්න බුදුන් සිහි කරල පිහිට ඉල්ලුව. ඒ ගමන බුදුහාමුුදුරුවෝ රාහු අසුරයට වදාළ එ් දෙන්න නිදහස් කරන්න කියලා. රාහු අසුරය බයවෙලා ඒ දෙන්න නිදහස් කළා. ඒ මේ ඉර හඳ දෙක නොවෙයි. දේවතාවෝ දෙන්නෙක්. දැනුත් රටේ ඉන්නේ චන්ද්‍ර සූරිය නම් දමාපු මිනිස්සු දැන් නිදා ගනිමු. හෙට කථා කරමු.   
අපි නිදා ගතිමු. පසුවදා උදේ මේ ගැන දීර්ඝ සාකච්ඡාවක්ද විය. එහිදී මම හඳ ගිනි ගෙන දැවී අවසන් වූ තවම වාතය ජලය හා ජීව ශක්තිය ඇති නොවූ ග්‍රහයෙකු බවත් පැහැදිලි කළෙමි. එහි දී පැන නැඟුණු තර්කය අනුව මම අනාගත වාක්‍යයන් කීවෙමි. එය මෙසේය.  
දැන් හඳෙන් පස් ගෙන එනව ඇති. එ් ගෙනෙන පස් කොහොම පස්ද කියලා මම කියන්නම්..... විශාල ගින්නකට අසුවී පිලිස්සුණු ගල් කැට හා අළු වැනි පස්....  
පසුව මගේ කීම සැබෑ විය. මෙබඳු විවිධ සාකච්ඡා අප අතර පැවතිණි.   


නඩුවෙන් අප සියලු දෙනාම නිදහස් වීමු. මගේ ඒකාධිපති වාදය නමැති පොත විනිශ්චයකාර මණ්ඩලය ඉදිරියේ කියවන ලදී.  
1969 අගෝස්තු 30 වැනිදා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය නඩුවේ පළමු වැනි විත්තිකාර වූ පණ්ඩිත හේන්පිටගෙදර ඤාණසීහ නාහිමියන් වහන්සේ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක් මහාධිකරණය රජ තුන් කට්ටුව විසින් නිදහස් කරනු ලැබූහ. ඤාණසීහ නාහිමියන් ඇතුළු පියසේන අබේවික්‍රම, මුදලිගේ පියදාස නිදහස් කරන ලෙස කුමන්ත්‍රණ නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ නීතිපති රාජ නීතිඥ ඒ.සී.එම්. අමීර් මහතා උසාවියට දන්වා සිටියේය.   
දවස පුවත්පතේ මාණ්ඩලීය ලේඛක බෙනී ජයසුන්දර සහ සරත් ධර්මසේන වාර්තා කොට තිබුණේ ඤාණසීහ හිමියන්ට විරුද්ධව ඉදිරිපත් වී ඇති සාක්කි පිළිබඳ පැයක පමණ වේලාවක් රජ තුන් කට්ටුව සමග සාකච්ඡා කිරීමෙන් පසු එ් හිමියන් නිදහස් කර යැවීමට කැමැත්ත පළ කර සිටි බවය.   
අප මෙතෙක් වේලා නීතිපතිවරයා සමග පැවති සාකච්ඡා ඔබවහන්සේට ඇසෙන්නට ඇති. ඔබ වහන්සේට විරුද්ධව සියලුම චෝදනා වලින් නිදහස් කර යැවීමට නීතිපතිවරයා කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා. එම නිසා ඔබ වහන්සේ දැන් නිදහස් ය. විත්ති කූඩුවෙන් පිට වී යන්නට අවසරයි. සභාපති විනිශ්චයකාරතුමා ඤාණසීහ හිමියන්ට දැන්විය.   
ඤාණසීහ හිමියන් නිදහස් කිරීම ගැන රජ තුන් කට්ටුවටත් නීතිපතිවරයාටත් මේ අවස්ථාවේ ස්තූතිය පළ කළ එ් හිමියන් වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා සහ අධිනීතිඥ කේ.සී. ද සිල්වා මහතා සමඟ ඤාණසීහ හිමියන් සමඟ උසාවියෙන් පිටව ගොස් ඇත.   

 


දවස පුවත්පතේ මාණ්ඩලීය ලේඛක දයා විජේසේකර වාර්තාකොට තිබුණේ. නිදහස ලැබූ ඤාණසීහ හිමියන් මහා පෙරහරකින් රත්නපුරයට වැඩම කළ බවත් අතරමග උන්වහන්සේව මහත් හරසරින් පිළිගත් බව ය. නිදහස ලැබීමෙන් පසු උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ කේ.සී. ද සිල්වා මහතාගේ ගෙදරට වැඩම කළ උන්වහන්සේ පසුව පැවිදි සහෝදර විද්‍යොදය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හේන්පිටගෙදර ඤාණවාස හිමියන්ගේ කුටියට වැඩම කළ බවය. ඉන්පසු ඤාණසීහ හිමියන් ගුරු හිමියන් වූ හිස්සැල්ලේ ශ්‍රී ඤාණෝදය මහනායක මාහිමියන් වැඩ විසූ බලගල්ලේ සරස්වතී පිරිවෙනට වැඩම කර ඇත. 

 
1969 සැප්තැම්බර් 08 වැනිදා හිටපු හමුදාපති සෙන්පති රිචඩ් උඩුගම මහතා ද නිදහස් කර යැවූහ. ඒ මහතා තමා වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ තිස්ස විජේරත්න මහතා සමඟ උසාවියෙන් පිටව ගොස් ඇත. 1970 ජනවාරි 02 වැනිදා රාජ්‍ය වි​රෝධී කුමන්ත්‍රණ නඩුවේ ඉතිරි විත්තිකරුවන්ද නිදහස්කරුවන් ලෙස කොළඹ මහාධිකරණයේ රජ තුන් කට්ටුව ඒකමතිකව තීරණය කර අැත.   
මහාධිකරණය ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර ජී.පී. ද සිල්වා පසුව අග්‍ර විනිශ්චයකාර (සභාපති) වී. සිවසුබ්‍රමනියම් සහ වික්ටර් තෙන්නකෝන් යන විනිශ්චකාරවරුන් ගෙන් රජ තුන් කට්ටුව සැදුම් ලදහ.   


(1) හේන්පිටගෙදර ඤාණසීහ හිමි (2) පතිරගේ ටයිටස් ප්‍රනාන්දු හෙවත් සුනිල් හේවගේ (3) ජයසුන්දර මුදියන්සේලාගේ වික්‍රමසිංහ (4) හිටපු හමුදාපති ඇලෙක්සැන්ඩර් රිචඩ් උඩුගම (5) කපිතාන් ලියනගේ ගුණසෝම සිගේරා (6) ලාන්ස් කෝප්රල් ඒ.ඒ.වයි. අමරතුංග (7) සැරයන් හොඳමුනිගේ මාරිස් හොඳමුනි (8) මාණ්ඩලීය සැරයන් එච්.එම්. අමරසේකර බණ්ඩාර (9) ලාන්ස් කෝප්රල් අබේරත්න මායාදුන්න. (10) සැරයන් එච්.ඒ. ආනන්ද ද සිල්වා (11) සැරයන් කේ.ඩී. සිරිසේන (12) කෝප්රල් ඩබ්ලිව්.ඒ. ලොකු බණ්ඩා (13) කෝප්රල් ජිනසිරි ධර්මසේන (15) කෝප්රල් සිල්වෙස්ටර් බටුවත්ත (16) සැරයන් නෝරිස් කෝරළගේ (17) සැරයන් හෙන්ද්‍රික් සිංඤෝ (18) කෝප්රල් රණසිංහ (19) කෝප්රල් අබයනාග විජේකෝන් (20) ඊ.ඇම්. විජේරත්න (21) මාණ්ඩලීය සැරයන් ඇස්.ඩබ්ලිව්.කේ.ඩී. සිරිසේන ජයසුන්දර (22) මහ සැරයන් ඇල්.බී. පියසේන (23) කෝප්රල් පියසෙන් අබයවික්‍රම (24) ඒ. පියදාස (25) මාණ්ඩලීය සැරයන් පීටර් ඩයස් ගුණසේකර (26) මැනිසන් සොයිසා (27) කේ.ඒ. ඥානපාල (28) ටී.ඩී. නන්දපාල අය විත්තිකරුවන්ව සිටියහ. 

 

 

 

ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම 
ලාල් සෙනරත්