​​​​​ජනගහනයෙන් සියයට තිහකට ප්‍රෝටීන මන්දපෝෂණය


වර්තමාන ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට තිහක ප‍්‍රමාණයක් ප්‍රෝටීන මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. මෙම ප්‍රෝටීන මන්දපෝෂණයට විසඳුමක් ලෙස බ්‍රොයිලර් ඇතුළු මස් සහ බිත්තර හැටේ දශකයේදී පමණ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නද එම විසඳුම තවමත් සාර්ථකව ජනතාව අතරට ගොස් නැති බව සියයට තිහක සංඛ්‍යාවක් තවමත් ප්‍රෝටීන මන්දපෝෂණයෙන් පෙළීමෙන් පැහැදිලිවේ.   



මෙම තත්ත්වය පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ හිටපු පීඨාධිපතිවරයකු සේම එම පීඨයේ සත්ත්ව පාලන දෙපාර්තමේන්තුවේ වත්මන් මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන මහාචාර්ය කේ. සමරසිංහ මහතා සමග කරන ලද සාකච්ඡාවකින් මෙම ලිපිය සකස් කෙරිණි.   


මනුෂ්‍යයාගේ ජීවිතයට ප්‍රෝටීන අත්‍යාවශ්‍යම සාධකයකි. ප්‍රෝටීන නොමැතිව මනුෂ්‍යයාට ජීවත්වීමට නොහැකියි. ප්‍රෝටීන අවශ්‍යතාව පහසුවෙන්ම සපුරාගත හැකි ආහාරයක් ලෙස මස් සහ බිත්තර හඳුන්වා දිය හැකිය.


මනුෂ්‍යයා පරිණාමවාදයේ මුල් අවධියේ කැලෑවේ ජීවත්වූ අවස්ථාවේදී ආදිවාසීන් ලෙස ප‍්‍රධාන වශයෙන්ම පරිභෝජනයට යොදාගත්තේ දඩයමෙන් ලබාගත් මස් පමණයි. ඉන්පසුව තමයි මනුෂ්‍යයා ගොවිතැනට පිවිසුනේ. මස්මාංශ වලින් බතට සහ එළවළුවලට පිවිස අද වන විට මිශ‍්‍ර ආහාර වේලකට මනුෂ්‍යයා යොමුවී සිටිනවා.   
අපේ මිනිස් සිරුරේ ව්‍යුහච්චේදය ගත්විට එය සම්පූර්ණයෙන්ම හැඩ ගැසී පවතින්නේ මස් මාංශ අනුභවය සඳහා සුදුසු වන ආකාරයටයි.   


කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය කර්මාන්තයක් විදිහට ලංකාවේ ආරම්භ වුණේ 1954 වසරෙන් පසුවයි. මේ කාලය වෙනතෙක් අපේ රටේ වානිජ කර්මාන්තයක් ලෙස කුකුළු කර්මාන්තය තිබුණේ නැහැ. එම කාලයේදී බොහෝ නිවෙස්වල ගෘහාස්ශ‍්‍රිතව ඇතිකරන සතුන් ගම් කුකුළන් පමණයි සිටියේ. ඒ කාලයේ ගම් කිකිළියන් දමන ලද සියයට 17 ක බිත්තර ප‍්‍රතිශතය එම කාලයේදී රටට ප‍්‍රමාණවත් වුණා. ඊට හේතුව වුණේ එම කාලයේදී බිත්තර පරිභෝජනය සඳහා ඒතරම්ම අවධානයක් යොමුවී නොතිබීමයි.   


ඒ කාලයේදී ජනතාවට අවශ්‍යවූ විටෙක මස් පිණිස නිවෙසේ ඇතිදැඩි කරන කුකුළෙකු මරාගත්තා මිසක කුකුළු මස් අලෙවිය සඳහා වෙළෙඳපොළක් තිබුණේ නැහැ. ගම් කුකුළන්ගේ මස් හා බිත්තර නිෂ්පාදනය ඉතාම අඩුයි. ගම් කුකුළකු මස් සඳහා ගැනීමට ඇතිදැඩිවීම අඩුම වශයෙන් මාස 10 ක පමණ කාලයක්වත් ගතවෙනවා. මෙය ඉතාම දීර්ඝ කාලයක්.   


වර්ෂ 1954 දී එවකට පැවැති රජය අවබෝධ කරගත්තා කුකුළු මස් සහ බිත්තර එම කාලයේදී ප‍්‍රබල ලෙස රට පුරා පැවැති මන්දපෝෂණ තත්ත්වයට ඉතාම හොඳ විසඳුමක් කියලා. මන්දපෝෂණය සඳහා ජනතාවට සැපයිය හැකි පහසුම විසඳුම වුණේ මේ කුකුළු නිෂ්පාදනයයි. ඉක්මනින්ම මස් සහ බිත්තර ජනතාවට සැපයිය හැකි නිසා වානිජ නිෂ්පාදනයක් විදිහට බ්‍රොයිලර් කුකුළු නිෂ්පාදනය රටපුරා ඇරඹීමට රජය පියවර ගත්තා. අද වන විට රටපුරා ව්‍යාප්තව තිබෙන මේ ව්‍යාපාරයේ ආරම්භය එයයි.   


ඒ අනුව තමයි මහනුවර කුණ්ඩසාලේ මධ්‍යම කුකුළු අභිජනන මධ්‍යස්ථානය පිහිටුවලා මස් සහ බිත්තර සඳහා උසස් සතුන් පිටරටවල් වලින් ආනයනය කරලා මේ සඳහා ජනතාව උනන්දු කරලා කුකුළු ගොවිපළවල් ඇති කරන්න රජය කටයුතු කළේ.   


බොහෝ විට අද මෙන් නොවෙයි එදා මෙම ගොවිපළවල් සතුන් 50 ට, 100 ට පමණ සීමා වුණා. මුලින්ම ආරම්භ වුණේ බිත්තර නිෂ්පාදනයයි. වර්ෂ 1954 සිට 1963 වෙනතෙක් ලංකාවේ බ්‍රොයිලර් කියලා සත්තු වර්ගයක් සිටියේ නැහැ. එම වකවානුව වන විට බොහෝ විට ආනයනය කළ මස් පමණයි වෙළෙඳපොළේ තිබුණේ. ඒවාත් තිබුණේ සුදු ජාතික වතු පාලකයන්ගේ අවශ්‍යතාවය සඳහා පමණයි.   


ආරම්භ වී වසර 10 ක පමණ කාලයක් ගතවනවිට මේ බිත්තර නිෂ්පාදනය ක‍්‍රමයෙන් ඉහළ යාම සිදු වුණා. බිත්තර නිෂ්පාදනය අවශ්‍ය පමණට පැමිණ තිබූ බව දුටු එවකට පැවැති රජය ඉන්පසුව කුකුළු මස් නිෂ්පාදනය සඳහා අවධානය යොමුකරනු ලැබුවා. මේ ආකාරයට තමයි ශ්‍රී ලංකාව තුළ බ්‍රොයිලර් කුකුළු මස් සහ බිත්තර වානිජ නිෂ්පාදනයක් ලෙස ආරම්භය සිදුවූයේ.   


මනුෂ්‍ය පරිභෝජනය සඳහා මිල අඩුම ප්‍රෝටීන අධික සමබල ආහාරයක් ලෙසයි කුකුළු බිත්තරය හැඳින්වෙන්නේ. ලාබෙටම මිලදී ගත හැකි සුරක්ෂිතම ප්‍රෝටීන සහිත ආහාරය ලෙසද මෙය හැඳින්වීමට පුළුවන්.   


කුකුළු බිත්තරයක මිනිස් සිරුරට ලබාගත යුතු ප්‍රෝටීන පමණක් නොවෙයි අවශ්‍ය පෝෂක සියල්ලම තිබෙනවා. සංසේචිත බිත්තරයක් දින 21 කදී කුකුළු පැටියෙකු දක්වා වර්ධනය වීමට තරම් අවශ්‍ය විශාල පෝෂක ප‍්‍රමාණයක් බිත්තරයක අඩංගු බව අමතක නොකළ යුතු කරුණක්. අළුතින්ම සතෙකු වර්ධනය වීම සඳහා අවශ්‍ය ප්‍රෝටීන, ඛනිජ ලවන ආදී සියලූම පෝෂක ගුණාංග බිත්තරයක අඩංගු බව මෙයින් මනාව පැහැදිලි වෙනවා.   


එසේම එක් කුකුළු බිත්තරයක මිනිසෙකුට අවශ්‍ය විටමින් ඒ පෝෂකය සියයට සීයක්ද විටමින් බී 12 පෝෂකය සීයට එකසිය හැටක්ම අඩංගු වී තිබීම විශේෂත්වයක්. මීට අමතරව ෙසෙල වර්ධනයට අවශ්‍ය පොස්පොලිපිඩද සීයට සීයක්ම අන්තර්ගත වෙනවා. සමහර පෝෂක වර්ග මේ අනුව මනුෂ්‍යයාගේ දෛනික අවශ්‍යතාවටද වඩා බිත්තරයක අඩංගු වී තිබෙනවා.   


ප්‍රෝටීන පමණක් ලැබේයැයි සිතා අප බිත්තර අනුභව කළද ඊට වඩා පෝෂණ අවශ්‍යතාවක් සිරුරට ලැබෙන බැවින් කුකුළු බිත්තරය ඉතා හොඳ සමබල ආහාරයක් විදිහට හැඳින්වීමට පුළුවනි.   


බ්‍රොයිලර් මස්වලද ප්‍රෝටීන, මේද හා විටමින් අඩංගු වෙනවා. මීට අමතරව ඛනිජ ද යම් ප‍්‍රමාණයකට තිබෙනවා. නමුත් ඒකක බරකින් සැලකූ විට බිත්තරයකට වඩා කුකුළු මස්වල ප්‍රෝටීන අඩංගු වී තිබෙනවා. මීට හේතුව මස්වල බිත්තරයකට වඩා අඩංගු ජල ප‍්‍රතිශතය අවම වීමයි.   


 ඕනෑම සතෙකු පරිණත වන විට සිරුර තුළ මේද තැම්පත් වීමේ ප‍්‍රතිශතය ඉහළ යාම අනිවාර්යයෙන්ම සිදුවේ. ඕනෑම මස් වර්ගයක ඊට ආවේණික රසකාරකය තැම්පත් වී තිබෙන්නේ මේදය තුළයි. මේදය ඉවත් කළහොත් එම මස් වර්ගයෙහි රසය අඩුවීම සිදුවේ. වයස වැඩිවීම හේතුවෙන් ගම් කුකුළන්ගේ තැම්පත්වන මේදය වැඩිවීමෙන් ගම් කුකුළු මස්වල රසය බ්‍රොයිලර් කුකුළු මස්වලට වඩා වෙනස් වීම සිදුවේ. එසේම ගම් කුකුළාට වයස වැඩිවීම හේතුවෙන් බ්‍රොයිලර් මස් වලට වඩා මස ඝනකමින්ද වැඩිවේ.   


වර්ග දෙකක් දෙමුහුන් කිරීමෙන් බ්‍රොයිලර් සතා බිහිවීම සිදුව තිබෙනවා. වර්ග දෙකක් එකට මුහුන් කළ විට එම සතුන්ට මව්පිය සතාට වඩා වැඩි වර්ධන වේගයක් හෙවත් දෙමුහුන් දිරියක් ලැබීම සිදුවෙනවා. එසේම වැඩි නිෂ්පාදන හැකියාවක්ද ඊළඟ පරම්පරාවට ලැබෙනවා. මේ නිසා තමයි බ්‍රොයිලර් සතුන් ගම් කුකුළන්ට වඩා වේගයෙන් වර්ධනය වීම සිදුවන්නේ. මෙසේ අඩු කාලයකින් ඉක්මන් වර්ධනයක් පෙන්වීම ප‍්‍රවේනික දියුණුව ලෙසද හැඳින්වීමට පුළුවන්.   
සතුන්ගේ ජානමය ලක්ෂණ වෙනස්වීම සේම උන්ට හොඳ පෝෂණයක් ලැබීම, මනා පාලනයකට ලක්වීම ආදී කරුණු සියල්ලම වර්තමානයේ අඩු කාලයකදී බ්‍රොයිලර් කුකුළකුගේ වර්ධනය වීම සඳහා බලපා ඇති බව පෙන්වා දිය යුතුයි.   
 අඩු වයසින් පරිණත වීම නිසාම අඩු වයසින් ඝාතනයට ලක්වන බ්‍රොයිලර් කුකුළාගේ මේද ප‍්‍රතිශතය බෙහෙවින් අවම මට්ටමක පවතී. මේ නිසාම මෙම මස්වල ඝනකමද අඩුවී ගම් කුකුළු මස්වලට වඩා රසයෙන් අඩුවීමද ස්වභාවයෙන්ම සිදුවන්නකි.   


ශ්‍රී ලංකාවේ ඇති කරන බ්‍රොයිලර් කුකුළන් සහ පිටරටවල ඇතිකරන බ්‍රොයිලර් කුකුළන් අතර කිසිදු වෙනසක් නැති බවද මෙහිදී පැවසිය යුතුයි. මීට හේතුව නම් අපිට අවශ්‍ය මවු සතුන්ද ගෙන්වීම පිටරටින්ම සිදු කිරීමයි.   


ලෝකයේ කුකුළු අභිජනකයන් සිටින්නේ බොහෝම අතළොස්සයි. මේ අභිජනකයන්ගේ නිෂ්පාදිත මවු සතුන් පමණක් ලොව පුරාම අලෙවි කිරීම සිදුවන අතර අප රටටද ලැබෙන්නේ එසේ නිෂ්පාදිත සතුන්ම පමණකි. මේ නිසා ප‍්‍රවේණිය අතින් ලොව පුරා සිටින සියලූම බ්‍රොයිලර් සතුන් බොහෝදුරට සමානව පවතී. කුකුළු ආහාර වර්ගද බොහෝ විට එක හා සමානව පැවති නිසාම ලොව පුරා සියලු කුකුළු මස්වල සංයුතිය එක හා සමානයි.   


ජානමය වශයෙන් එක හා සමාන නිසා උත්සාහ කළහොත් යුරෝපීය රටවල නිෂ්පාදන හැකියාව අප රටටද ලබාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් කාලගුණ සාධක මේ සඳහා බලපෑම් ඇතිකිරීම අපේ රටට ගැටලුවක්වී තිබෙනවා.   


විදෙස් රටවල් සමග සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ කුකුළු මස් සහ බිත්තර පරිභා්ජනය අඩු මට්ටමක පවතිනවා. නමුත් සමස්ථයක් ලෙස අනෙකුත් මස් වලට වඩා කුකුළු මස් මිළ අඩු මට්ටමක පැවතීම නිසා ලංකාවේ වැඩිම මස් පරිභෝජනය කුකුළු මසයි. අද ගමේ කඩෙන් පවා බ්‍රොයිලර් කුකුළු මස් මිලදී ගැනීමේ හැකියාව ජනතාවට ලැබී තිබෙනවා.   


ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල කුකුළුමස් පරිභෝජනය කිලෝග‍්‍රෑම් හත හමාරයි. මෙය අනෙක් රටවල ඒක පුද්ගල පරිභෝජනය හා සැසඳීමේදී ඉතාම අවම තත්ත්වයක්. අපි බොහෝම කුකුළු මස් කනවා නේද කියා සිතුවත් සත්‍ය තත්ත්වය එය නොවෙයි.   


මේ තත්ත්වයට බලපාන සමාජ හා ආර්ථික හේතුන්ද තිබෙනවා. අපේ ආහාරවේල ලොකු බත් පිඟානක් මූලික කරගත් ආහාරවේලක් වෙනවා. ඒකට අපි පුංචි කුකුළු මස් කෑල්ලක් දමාගන්නවා. පිටරටවල වෙන්නේ ඒකේ අනික් පැත්තයි. ඔවුන් විශාල කුකුළු මස් ප‍්‍රමාණයක් සමග බත් හෝ එළවළු ස්වල්පයක් ආහාරයට ගන්නවා.

එසේම මේ සඳහා සමාජය තුළ පවතින විවිධ දුර්මතද බලපා තිබෙන බව පෙන්වා දිය යුතුයි. මේ වාගේ දුර්මත සමාජය තුළ පැතිරවීමට වගකිවයුත්තෝ රටේ සිටින යමක් කමක් දන්නා උදවියයි. ගම්වල සිටින ජනතාව ඔවැනි දුර්මත ප‍්‍රචලිත කිරීම සිදුකරන්නේ නැහැ. නොදන්නා මිනිසුන්ගේ මනසට දුර්මත ඇතුළු කරන්නේ දන්නා අයයි. ඇත්තෙන්ම මෙය සිතාමතා කරන අපරාධයක් ලෙස සලකන්න පුළුවන්. විශේෂයෙන්ම වෛද්‍යවරු, ගුරුවරු, ආගමික නායකයෝ කියන පිරිස් නොදැක දන්නවා වගේ කියන බොහෝ දේවල් ජනතාව පිළිගන්නවා. මේක කට කතා පැතිරවීමට සමානයි. කිසිදු මතයක් සනාථ කිරීමකින් තොරව ප‍්‍රචලිත කිරීම තහනම් ක‍්‍රියාවක්.   


විශේෂයෙන්ම වෛද්‍යවරු කියන දේ ජනතාව පිළිගන්නවා. අතීතයේ පටන් අපිට හොඳ ආහාර කාරකයක් වුණු පොල්තෙල් නිසා සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නගිනවා කියන දුර්මතයත් ජනතාව අතරට ගියෙත් ඔය ආකාරයෙන්මයි. නමුත් අද පොල්තෙල් භාවිතයෙන් එවැනි හානියක් සිදුනොවන බව අනාවරණය වී තිබෙනවා. බොහෝවිට මෙවැනි දුර්මත පැතිරවීම වානිජ අරමුණු මුදුන්පත් කරගැනීම සඳහාද සිදුවන බව පැවසිය යුතුයි. මේවා විද්‍යානුකූලව සනාථ වී නැහැ.   


මේ දුර්මත වලට කිසිම පදනමක් නැහැ. එවැනි පදනමක් නැති දුර්මතයක් තමයි බ්‍රොයිලර් කුකුළු මස් අනුභව කිරීමෙන් කුඩා ගැහැනු ළමුන් ඉක්මනින් වැඩිවියට පත්වෙනවාය කියන කතාව.   


ගැහැනු දරුවෙකු වැඩිවියට පත්වීම සඳහා බලපාන මූලිකම සාධකය තමයි පෝෂණය. දෙවැනි සාධකය තමයි ආලෝකය. වැඩිවියට පත්වීමට බලපාන ලිංගික හෝමෝන ශ‍්‍රාවයට ආලෝකය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ආලෝකය තුළ වැඩි කාලයක් සිටීමෙන් හෝමෝන වැඩිපුර සිරුර තුළ නිපදවෙනවා. ඒ තුළින් දරුවා ඉක්මණින් වැඩිවියට පත්වෙනවා. අනෙක් සාධකය තමයි මානසික සිතුම් පැතුම්. එයින්ද දරුවාට උත්තේජනයක් ලැබෙනවා.   
වර්තමාන සමාජය තුළ මීට වසර පනහකට පමණ පෙර කාලයට වඩා ඉක්මනින් ගැහැනු දරුවන් වැඩිවියට පත්වෙනවා. මේ හැමෝම බ්‍රොයිලර් මස් කන අය නොවෙයිනේ. බ්‍රොයිලර් මස් මේ තත්ත්වයට වගකිව යුතු නැහැ. වර්තමාන දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ යාම ඉස්සර කාලයට වඩා ආලෝකයට නිරාවරණය වීම වැඩිවීම සහ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වලින් ලබාගන්නා මනස උද්දීපනය කෙරෙන වැඩසටහන් තුළින් ඇතිවන ලිංගික උත්තේජනය යන කාරණා වර්තමානයේ ගැහැනු දරුවන් අඩු වයසින් වැඩිවියට පත්වීම කෙරෙහි බලපානවා.   


මේක ස්වභාවික තත්ත්වයක්. මේකට බ්‍රොයිලර් කුකුළෝ වගකිවයුතු නැහැ. මේ නිසා බ්‍රොයිලර් මස් අනුභවයෙන් ගැහැනු දරුවන් අඩු වයසින් වැඩිවියට පත්වෙනවා යැයි සමාජය තුළ ඇතිවී තිබෙන මතය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. අද වනතුරු මේ දුර්මතය කිසිවෙකු විද්‍යානුකූලව සනාථ කරලත් නැහැ.   


මීට අමතරව බිත්තර අනුභවයෙන් සිරුරේ කොලෙස්ටරෝල් ඉහළ යන බව සඳහන් දුර්මතයද සමාජය තුළ පැතිර තිබෙනවා. මේ කතාවටත් කිසිම පදනමක් නැති බව කිව යුතුයි. එය අසත්‍ය කතාවක් බව අවධාරණයෙන් කිව යුතුයි.   
බිත්තරයක සාමාන්‍යයෙන් මිලිග‍්‍රෑම් 200 ක ප‍්‍රමාණයක කොලෙස්ටරෝල් අන්තර්ගත වෙනවා. නමුත් මේ කියන කොලෙස්ටරෝල් මිනිස් සිරුරට අත්‍යවශ්‍යම සංඝටකයක් වෙනවා. අපි අකමැති වුණත් මිනිස් සිරුරේ දිනකට කොලෙස්ටරෝල් මිලිග‍්‍රෑම් 2000 ක පමණ ප‍්‍රමාණයක් ස්වාභාවිකවම නිෂ්පාදනය වෙනවා. මිනිසකුගේ පැවැත්මට දිනකට කොලෙස්ටරෝල් මිලිග‍්‍රෑම් 1200 ක් පමණ අවශ්‍ය වෙනවා. මේ අවශ්‍ය ප‍්‍රමාණය ආහාරයකින් නොගතහොත් එය ඉබේම සිරුරේ නිපදවෙනවා. එසේ හැදෙන්නේ කොලෙස්ටරෝල් සිරුරට අත්‍යවශ්‍යම නිසයි. මේක යක්ෂයෙක් නොවෙයි සිරුරට අවශ්‍යම දෙයක්. මේ සඳහා දිනකට බිත්තර දෙකක් කෑවොත් ශරීරයේ සෑදෙන කොලෙස්ටරෝල් ප‍්‍රමාණය අඩුවෙනවා.   


ඒවගේම කුකුළු මස් වලින් පිළිකා කාරක සෑදෙනවා කියන කතාවද සමාජය තුළ පැතිරිලා ගිය දුර්මතයක්. එවැන්නක් වෛද්‍ය විද්‍යානුකූලවද සනාථ වී නැහැ. එහෙම දෙයක් තිබේ නම් පිළිකාව මුලින්ම වැළඳෙන්නේ කුකුළාටයි. නමුත් කුකුළු මස් හෝ වෙනත් මස් වර්ග විවිධාංගීකරණයට ලක්කරලා සිදුකරන යම් යම් නිෂ්පාදනවලින් පිළිකා වැළඳීමේ තත්ත්වයක් උදාවීමට හැකියාව තිබෙනවා.   


මේ දුර්මත ප‍්‍රචාරයවීම වැළැක්වීමේ වගකීමත් රජයට පැවරෙනවා. එසේම රජයට අමතරව මෙම කර්මාන්තයේ යෙදී සිටින පිරිසටත් මේ පිළිබඳ වගකීම පැවරෙනවා. එසේම මේ රටේ මාධ්‍යයටත් මේ පිළිබඳව සුවිශේෂී වගකීමක් පැවරී තිබෙනවා. මොකද මාධ්‍ය මගින් නිවැරදි දේ සොයාබලා ජනගත කිරීම මාධ්‍යයට පැවරෙන ප‍්‍රබල වගකීමක් බව කිවයුතුයි. එවිට සමාජයට නිවැරැදි මගක ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා. 

සාකච්ඡා සටහන
පුෂ්පකුමාර ජයරත්න