​ෙද්ශපාලකයන් නිසා විනාශ වූ අප්‍රිකාවේ ‘ රිදී නිම්නය ’


වළපල්ලට ගිය රටවල්  

බුරුන්ඩි දේශයේ දිළිඳු රටවැසියන්  

 

 

ජනාධිපති ධුරය වූ කලී දරුණු ව්‍යාඝ්‍රයෙකුගේ පිටේ යන ගමනකට සමානය. මෙහෙම කිව්වේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වූ හැරී එස්. ටෲමන් ය. අද ලොව රටවල බොහෝ පාලකයින් මෙය දන්නේ නැත. ඇතැම් පාලකයින් සිතන්නේ පාලන බලය ලැබීම විනෝද ගමනක් වශයෙනි. විනාශයට පත්වෙන්නේ එවැනි පාලකයින් සිටින රටවල්ය. එවැනි රටවල් කළු වලාවෙන් යටවෙයි. අසිරිමත් ලෙස ඇදුණු දේදුනු එම කළු වලාවන්ගෙන් වැසී යයි. ජනතාවගේ හදවත් ගොළුවෙයි. සාගරය වැනි වේදනාවක් ඔවුන්ගේ ජීවිත තුළට කඩාපාත් වෙයි. මා මේ ලියන්නේ රටක් වින්නැහියකට පත්වීමේ ආදීනව ගැනය. දේශයක් වළපල්ලට යාමේ ක්‍රමවේදය ගැනය.   
වළපල්ලට ගිය රටවල් තීරයෙන් අද හඳුන්වන්නේ බුරුන්ඩි (BURUNDI) රාජ්‍යයයි. එය තවත් අප්‍රිකානු රටකි. නැගෙනහිර අප්‍රිකාවේ පිහිටි කුඩාම රටයි. රුවන්ඩාව, ටැන්සානියාව සහ කොංගෝවට මායිම්ව පිහිටි බුරුන්ඩි රට ලොව දිළිඳුම රටවල් 10 ලැයිස්තුවට ඇතුළත්ය. ප්‍රධාන ජන වර්ග 2ක් සහ රාජ්‍ය භාෂා 3ක් භාවිතා කරන මේ රට තවත් නරකාදියකි. රජය හෝ ජනතාව කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා නයිල් ගඟ මේ රට හරහා මුහුදට ගලා බසී.   


බල අරගලය   


මේ රට ද ප්‍රපාතයට ඇද වැටුණේ කාලාන්තරයක් මුළුල්ලේ එහි පවතින ජනවාර්ගික ආරවුල්, අර්බුද නිසාය. දේශපාලන පක්ෂවල බල අරගලය නිසාය. ජාතීන් අතර සමගිය පලුදු වීම නිසාය. දේශපාලන ඝාතන රැල්ල එන්න එන්නම උග්‍රවීමෙන් පසුගිය දශක කීපය තුළ රට අාරාජික විය. බහුතර ජනතාවට රටට හිතැති ජාතිහිතෛෂී ජාති මාමක, දූරදර්ශී දේශපාලකයින් තෝරා පත්කර ගැනීමට තරම් දැනුමක් තේරුමක් බුද්ධියක් නොමැතිවීම හේතුකොටගෙන දිගටම පාලන බලය ලැබුණේ දූෂිතයින්ගේ අතටය. රට වැටෙන්නට පටන් ගන්නේ මේ නිසාය.   


වර්ග කි.මී. 27,834 ක් විශාල මේ රටේ මුළු ජනගහනය එක්කෝටියකට මඳක් වැඩිය. (10,524,117). මෙහි ජනගහනයෙන් සියයට 85ක් හුටු ජාතිකයින්ය. සියයට 15ක් ටුට්සි ජාතිකයින්ය. මෙම ජනවාර්ගික ​ෙකාට්ඨාස දෙක අතර කාලාන්තරයක් මුළුල්ලේ පවතින ගැටුම තවමත් නිමාවී නැත. මේ දක්වා ජනාධිපතිවරුන් 8 දෙනකු බුරුන්ඩි රට පාලනය කර තිබේ. මොවුන්ගෙන් 5 දෙනකු හුටු ජාතිකයින් වූ අතර 3 දෙනකු ටුට්සි ජාතිකයින්ය. පාලකයින් 2කු ඝාතනය කෙරුණි. 1 අයකු ජනතා අරගලයකින් බලයෙන් පහ කරන ලදී. කලක් හමුදා පාලනයට ද නතුවී තිබුණ රටකි.   


දේශය වනසන බුරුන්ඩි රටේ දේශපාලකයෝ   


බුරුන්ඩි රාජ්‍යයේ ජනාධිපතිවරයකුගේ ධුර කාලය අවුරුදු 5 කි. ඔහුට 2 වරක් තනතුරු දැරිය හැක. මෙම වාර සංඛ්‍යාව වැඩිකර ගැනීමට උත්සාහ කළ ජනාධිපතිවරුන්ට අතීතයේදී ජනතාව පාඩම් ඉගැන්වූ හැටි ලොව බොහෝ පාලකයින්ට අමතකවී ඇත. පාර්ලිමේන්තුවේ ඇති ආසන සංඛ්‍යාව 170 කි. මෙම ආසන සංඛ්‍යාව තව තවත් වැඩිකර ගැනීමට එහි දේශපාලන පක්ෂ 21ක් කාලයක් තිස්සේ කරන අරගලය තවත් නිමවී නැත. දේශපාලකයින් තම වරප්‍රසාද වැඩිකර ගැනීමට වෙර දරනවා පමණකි. ඔවුන් ජනතාවගේ බඩගින්න නිවීමට නිසි ක්‍රියාමාර්ග නොගනී. නිවාස, ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපන, ගමනාගමන, විදුලිය වැනි දැවෙන ප්‍රශ්න විසඳනවා වෙනුවට තමා හා තම පවුල්වල අභිවෘද්ධිය තකා කැපවෙන දේශපාලකයින්ගෙන් පිරී පවතින බුරුන්ඩි රාජ්‍යය මේ කපේදී ගොඩ එන පාටක් පෙනෙන්නටවත් නැත.   


නෙල්සන් මැන්ඩෙලා, බිල් ක්ලින්ටන් වැනි විදේශ පාලකයින් ද අතීතයේදී මේ දේශය ගොඩනැගීමට විවිධ සැලසුම් යෙදුවත් ඒවා අසාර්ථක විය. අද ලොව දිළිඳු රටවල් 186කින් 180 වැනි ස්ථානය හිමි වී ඇත්තේ බුරුන්ඩි රටටය. රටේ මුළු ජනගහනයෙන් සියයට 89ක්ම දරිද්‍රතාවයෙන් පෙළේ. ජනවාර්ගික ගැටුම්වලින් පමණක් මෙහි මියගිය සංඛ්‍යාව ලක්ෂ 3කට වැඩිය. කාලයක් තිස්සේ ජර්මනිය හා බෙල්ජියම යන රටවල් බුරුන්ඩි දේශය පාලනය කරන ලදී. මේ රටට නිදහස ලැබුණේ 1962 දීය. නිදහස ලැබීමෙන් පසු පත්වූ පළමු පාලකයා වූ පියරේ (PIERRE) 1965 ජනවාරි 15 දා ඝාතනය කරනු ලැබීය. එදා සිට ඇරඹුණු දේශපාලන ඝාතන රැල්ල තවමත් නිම වී නැත.   

 

 
බුරුන්ඩි දේශයේ දිළිඳු රටවැසියන්  

 

 

විදේශ මැදිහත්වීම   


එදා සිට මේ දක්වා රටේ සිදුවූයේ දේශපාලන කුමන්ත්‍රණ ය. දේශපාලන බල අරගල ය. ජාතීන් දෙක අතර ගැටුම් ය. මේ සියල්ලටම විදේශ මැදිහත්වීම් බලපෑවේය. 1962 සිට 1983 දක්වා ජනවාර්ගික අර්බුදවලින් ලක්ෂ ගණනින් ඝාතනය වීම, යුද අපරාධ, ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් පාලකයින් විසින් කඩ කිරීම, අතුරුදන් කිරීම්, පැහැර ගැනීම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් අාදීන් හේතුකොටගෙන මෙය අස්ථාවර රාජ්‍යයක් බවට පත්වුණේය.   


1994 දී බලයට පත් සයිප්‍රෙන් (CYPRIEN) රට ගොඩ ගැනීමට සියලු දේශපාලන පක්ෂ සමඟ සම්මුතියක් ඇති කර ගත්තේය. ඔහු කිසියම් ක්‍රියාමාර්ග රැසක් ගන්නට සැරසුණා පමණකි. ඔහු හෙලිකොප්ටරයකින් ගමන් ගනිද්දී වෙඩි තබා හෙලිකොප්ටරය සමඟ ඔහු ද විනාශ කරන ලද්දේ දේශපාලන කුමන්ත්‍රණයකිනි. විදේශ මැදිහත්වීම්වල මඟපෙන්වීම යටතේ මෙය සිදුවූ බව පසුව වාර්තා විය. බොහෝ රටවල් වළපල්ලට ගියේ මෙවැනි විදේශ මැදිහත්වීම් නිසාය. අල්ලපු රටවූ කොංගෝවේ හිටපු පාලකයකු වූ ලුමුම්බා ඝාතනය කළේ ද ඇමෙරිකාවේ සී.අයි.ඒ. ඔත්තු සේවය මගින් බව මාධ්‍ය සඳහන් කරයි.  


බුරුන්ඩි දේශයේ ඇතුළු පැත්ත  


බුරුන්ඩි රට ද විනාශ වුණේ මනුෂ්‍ය සංහාර, යුද අපරාධ මානුෂිකත්වයට එරෙහි භීෂණය ආදිය නිසාය. පාලකයින්ගේ වරදිනි. 450,000 ක් පමණවූ අසරණ ජනතාවට හව්හරණක් නැතිව ඝන කැලෑවල අනාථ කඳවුරුවල දුක්විඳින්නට සිදුවුණේ මේ නිසාය. මේ සඳහන් කළේ මේ රටට සිදුවූ වින්නැහියෙන් බිඳක් පමණකි. මෙහි මිලියන 10ක් වූ මුළු ජනගහනයෙන් 3/4 ක් පමණ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් බව වාර්තාවීම කොතරම් ශෝචනීය ද?  


පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 25ක් පමණ වේ. අධ්‍යාපනය සඳහා පාලකයින් වෙන්කරනුයේ සොච්චම් මුදලකි. සෞඛ්‍ය තත්ත්වය අන්තයටම පිරිහී ඇත. බෝවෙන රෝග රට පුරා පැතිරෙමින් පවතී. පන් ලක්ෂයක පමණ ජනගහනයකට ඇත්තේ කුඩා රෝහලකි. පළාත් 18ක තත්ත්වය මෙයයි. ගමනාගමන පහසුකම් ඇත්තේම නැත. බයිසිකලය පොදු වාහනයයි. විදුලිය නැති ගම්මාන 8000කට වැඩිය. පාලකයින් සියලුදෙනාම සිටින්නේ බුජුම්බරා (BUJUMBARA) අගනුවර මහ මැදුරුවල ය. ඔවුන්ට රටේ ජනතාවගේ දුක නොතේරේ. පසුගිය වසර කීපය තුළ කුසගින්න නිවා ගැනීමට බුරුන්ඩි සිට අල්ලපු රටවලට ගිය අයගේ සංඛ්‍යාව 190,000 කට වැඩි බව වාර්තා වේ. මේ බුරුන්ඩි රටේ ඇතුළු පැත්තයි.  

 

 
බුරුන්ඩි රටේ මහජන උද්ඝෝෂණයක්  

 

 

බුරුන්ඩි රට නැතිවුණ රිදී මංකොල්ලය  


ඉකුත් සතියේ මේ තීරයෙන් මා ලිව්වේ ලයිබීරියාවේ සිදුවූ දියමන්ති මංකොල්ලය ගැනය. ලයිබීරියාවේ දේශපාළුවන් තම රටේ දියමන්ති රට පටවා මුදල් විශුද්ධිකරණයෙහි නිරත වූ ආකාරය ගැනය. එහි හිටපු පාලකයකුට රතු දියමන්තිය යන නම පටබැඳුණ හැටිය.  


බුරුන්ඩි රට රිදී ලෝහය බහුල වශයෙන් ඇති රටකි. මෙහි ඇති රිදී පාලකයින් විසින් පිටරට පැටවූ හැටි අප්‍රිකාවට රහසක් නොවේ. බුරුන්ඩි රටේ රිදී කොල්ලය කාලයක් තිස්සේ ගජරාමයට සිදුවිය. ජනතාවගේ හිත් රිදෙන්නේ මේ රිදී කොල්ලය ගැන කියන කතා අහලාය. මේ රිදී කොල්ලය එහි දේශපාලකයින්ට ධන උල්පතකි. බුරුන්ඩි රටේ රට වැසියන්ට තම ර​ෙට් රිදී දැක ගන්නට ලැබෙන්නේ නැත. මේ රටේ ද ඉන්නේ රිදී කුණු කොල්ලයට පිටරටට විකුණා රත්රන් මැණික් මිණිමුතු ඩොලර් උපයා ගන්නා කූට දේශපාලකයින්ය.  


ඡන්ද දූෂණ වැඩි වශයෙන්ම සිදුවන රටකි. කෝපි, තේ, කජු, කෙසෙල්, පරිප්පු කලකට පෙර රට පැටවූ මේ රටේ දැන් එම කටයුතු සිදු නොවේ. බොහෝ කම්හල් වැසී ගොස්ය. යුරේනියම්, තඹ, ප්ලැටිනම් වැනි ලෝහ වර්ග බහුල නමුත් ඒවා කැනීමට රජයට අවශ්‍යතාවක් නැත. මෙහි රෝගවලින් මිය යන සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙයි. පොලිසිය හා අධිකරණය දූෂණයෙන් පිරී ගොස්ය. මේ ආයතනවලින් ඕනෑම දෙයක් කර ගැනීමට අල්ලස් දීමට රටවැසියන්ට සිදුවේ. පගා ගන්නා පොලිසියක් හා අධිකරණයක් ඇති රටක් ඉදිරියට යන්නේ කෙසේද? බුරුන්ඩි වළපල්ලට නැතිව කොහි යන්නද?  

 

 

 

 

සිරි හීන්පැල්ල
නිව්​ෙයා්ර්ක් නුවර සිට ලියයි