​ෆොරස්ට් රොක්, ෆාම් ගාඩ්න්, ‘අපේ ගම’ ලෝකයට ගෙන ගිය චන්ද්‍රසිරිගේ කතාව


අභියෝග ජයගත් මිනිස්සු

 

 

බො​හෝ දෙනාට ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට සිදුවෙන්නේ යමක් කමක් ගැන තේරෙන අවදියේ සිටය. නමුදු උපන් දවසේ සිටම ඔහුට මුහුණ දීමට සිදුවූයේ අසීරු අභියෝගයන්ටය. ඔහු උපන්නේ හදගැස්ම නැතිවය. ‘මේ දරුවාගේ හදගැස්ම නැහැ, මෙයා ජීවත් වේවි කියලා අපි විශ්වාසය තබන්නේ නැහැ’ වෛද්‍යවරු එසේ කීහ. මවට තිබුණේ හිත හදා ගැනීම පමණකි. හේ උපදින විට සාමාන්‍ය දරුවකුගේ ප්‍රමාණයට වඩා බෙහෙවින් කුඩා දරුවකු විය. අම්මාගෙ එක අත්ලකට සෑහෙන තරමේ යැයි කිව හැකිය. ඒ දවස්වල අද මෙන් වෛද්‍ය විද්‍යාවේ පහසුකම් ද නොතිබිණ. මේ ලේන් පැටවකු තරමට මෙන් උපත ලැබූ දරුවා එකල හැටියට උණුවතුර බහාලු බෝතල සහිත පරිසරයක තැබීම හැර වෙන කළ හැකි කිසිවක් නොවීය. සියලු දෙනා මේ දරුවා ගැන බලාපොරොත්තු අත්හැර තිබුණද ස්වභාවධර්මයෙන් ඔහුට හුස්මක් ලැබිණි. ඔහු මේ පොළොවට අවැසිම මිනිසකු යැයි ස්වභාවධර්මයට හැඟෙන්නට ඇත. එලෙසින් ජීවය ලද ඔහු කිසිවිටෙක ස්වභාව ධර්මයට පටහැනිව ක්‍රියා කරන්නෙකු නොවීය. එනිසාම ජීවිතය හමුවේ පැමිණි අභියෝග සියල්ලට මුහුණ දීමේ ශක්තියද ඔහුට නිතැතින්ම ලැබී තිබේ. ඒ අපුරු මිනිසා​ෙග් කතාව ඔබ කිව යුතුමය යැයි අපි හඟිමු.   


බාලදුරගේ චන්ද්‍රසිරි ඔහුගේ සම්පූර්ණ නාමය වෙයි. නමුත් අද රටේ පමණක් නොවේ. ලෝකය ඔහු හඳුනන්නේ ෆොරස්ට් රොක්, ෆාම් ගාඩ්න් විලේජ් සහ අපේ ගම නමැති පරිසර හිතකාමී සංචාරක පාරාදීස තැනූ මිහිකතගේ දරුවකු ලෙසිනි. මිනිසා විසින් වනසා දමනු ලබන පරිසරය  රැක ගත යුතු වගකීම ඇත්තේද මිනිසා සතුවය. මේ චන්ද්‍රසිරි හෙවත් ආදරණීයව බොහෝ දෙනා අතර චන්දරේ ලෙස හැඳින්වෙන ඔහු පරිසරය තම ආත්මය කරගත් අපූරු මිනිසෙකි.   


‘මම උපන්නේ අනුරාධපුරයේ පැරණි නගරයේ දීයි. ඒ කාලයේ හැටියට එය ඉතා දුෂ්කර පළාතක්. පවුලේ අම්මා, තාත්තා, අයියලා දෙන්නා, අක්කලා දෙන්නා සහ මම. තාත්තා බන්ධනාගාර සේවයේ රියැදුරෙකු ලෙස රැකියාව කළා. නමුත් එයින් ලැබුණ වැටුප පවුලේ නඩත්තුවට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා අපි වෙනුවෙන්ම කැප වෙලා අම්මයි - තාත්තයි අපි කට්ටිය රැගෙන අනුරාධපුරයෙ නව නගරයට ආවා. අලුත් නිවසක සිට එයාලා පොඩි කඩයකුත් එහිදී පවත්වාගෙන ගියා. හැබැයි අපට ස්ථාවර වෙන්න ලැබුණෙ නැහැ. තාත්තාට මාතරට මාරුවක් ලැබුණා. අනුරාධපුරයෙ ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන්. පසුව ඒ නිසා ටික කාලයක් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට යාමට මට සිද්ධ වුණා. මේවා ඇත්තටම අභියෝග වුණා. මේ විදියට ජීවිතයේ ඉදිරියට ගියා කියමුකො. හය වසරෙන් පසුව ආයෙත් අනුරාධපුරයට එන්න සිද්ධ වුණා. එතැන් සිට හැදී වැඩුණේ ආච්චි අම්මලගෙ ගෙදර. අම්මා - තාත්තාගෙන් ඈත්ව විසී​මේ දරුවකුට ගෙන දෙන පාළුව මටත් හොඳ හැටි දැනුණා. ඒ පාළුව - යාළුවනට වඩා හොඳින් මාව සැහැල්ලු කළේ පරිසරයයි. ඇළට - දොළට ගිහින් නාන්න පුරුදු වුණා. වැවට පැන්නාම ගිලෙන්නෙ නැතුව නැවත ගොඩට එන්න කවුරුවත් කියලා දුන්නේ නැහැ. ගස් උඩ, ගල් උඩ නැග්ගහම වැටෙන්න නැතුව බේරෙන හැටි පුරුදු පුහුණු වුණේ තනිවමයි.   


චන්දරේ ළමා වියේ මතකය එලෙස ගෙන හැර දක්වයි. ඔහුට එලෙසින් කීමට ඇවැසි වූයේ එදා ළමා වියේදී ළමයෙකුට ස්වාධීනව අත්දැකීම් ලැබීමට තිබූ අවකාශය ගැන වත්මනට කියා පෑම වෙනුවෙනි. වත්මනෙහි ළමුනට ළමා විය ගත කිරීමට සිදුව ඇත්තේ නීති පද්ධතියක සිරගතව යැයි ඔහුගේ හැඟීමය. ළමුන් අද තාක්ෂණය සමඟ පමණක් කාලය ගෙවා දමන බව ඔහුගේ හැඟීමයි.   


කුරුම්බැට්ටි මැසිම තමයි එදා මට තිබුණ ලොකුම සෙල්ලම්බඩුව. ටයර් එකක් අතින් පදවමින් ගෙවල් වටේ දිව්වා. ගොරහැඩි - කටුක පරිසරයක සිටි නමුත් සොබාදහම සමග එකි අසිරිය විඳිමින් අපි පරිසරයට ආදරය කරන්න පුරුදු වුණා. ඒ පරිසරය අපට ලබා දුන්නේ නිදහස් මානසිකත්වයක්. වැටුණත් තනියම නැගිටින්න මිස නැගිට්ටවන්න කවුරුත් හිටියෙ නැහැ. මේ විදියට ගෙවූ ළමා කාලයෙන් පසුව පාසල් ජීවිතයේ ප්‍රථම විශේෂ කඩඉම වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුන දීම විශාල අභියෝගයක් වුණා. ඊට මුහුණ දුන්නත්, එවකට රටේ තිබුණු වාතාවරණය නිසා, එනම් එක පැත්තකින් ත්‍රස්තවාදි යුද්ධය, තවත් පැත්තකින් දකුණේ භීෂණය. මේ ගැටුම්කාරී වාතාවරණය නිසා රටේ ආර්ථිකය හොඳටම පල්ලෙහාට වැටිලා තිබුණෙ. පාරටකවත් බැහැලා නිදහසේ යාමේ පරිසරයක් තිබුණෙ නැහැ. ගිහින් නැවත ගෙදර එන්න ලැබේවිද කියන බිය නිරන්තරයෙන් මතු වුණා. මෙවැනි තත්ත්වයක් යටතේ බොහෝ දෙනා විදෙස් ගත වෙන්න පටන් ගත්තා.   


එනයින් චන්දරේටද විදෙස් ගතවීමේ අවස්ථාවක් එදා ලැබිණි. එවිට ඔහුගේ වයස අවුරුදු 19ක් පමණ වීය. රටේ ලෝකෙ යාම ​ෙකසේ වෙතත් කොළඹවත් හරි හැටි කරක් නොගැසූ මේ කොලු ගැටයා හට සිදු වූයේ ජර්මනිය බලා පිටත් වීමටය.   


‘මගේ අයියා තමයි මට ඒ අවස්ථාව හොයලා දුන්නේ. එයාගෙ යාළුවෙක් කළ ආරාධනයකට අනුව අයියා මට ඒ අවස්ථාව සලස්වා දුන්නා. එය සැබැවින්ම අතිවිශාල අභියෝගයක් වුණා. මට කිසිසේත්ම හුරු නැති පරිසරයකට යාම කෙසේ නම් විඳ දරා ගන්නද? ඒත් ඒ අභියෝගයට මුහුණ දිය යුතුම වුණා’ සත්තකින්ම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ඒ ගමනයි.   


එදා එලෙසින් චන්දරේ ජර්මනියට ළඟාවෙන විට එළැඹ තිබුණේ ශීත සෘතුවය. මෙම ශීත සෘතුවේදී පිට රැටියනට කෙසේ වෙතත්, යුරෝපීයන්ට පවා ඊට මුහුණ දීම යනු අතිශය අසීරු කාලගුණික තත්ත්වයකි. ඒ හැරත් ඉර මුදුන් වෙච්චි, ඊට පිච්චි පිච්චි කර්කශ පරිසරයක දිවි ගෙවමින් සිටි මෙහි පැමිණ සිටි මේ කොලු ගැටයා මේ අධික ශීත කාලගුණයට මුහුණ දුන්නේ කෙසේද?   


අද වගේ ඉන්ටර්නෙට් පහසුකම් එදා අපේ ගමේ තිබුණේ නැහැ. රටින් පිටවීම හැර ජර්මනිය ශීතලද සුදුද කළුද? කිසිවක් දැනගෙන හිටි​ෙය් නැහැ. ලංකා​ෙවන් යන විට ඇඳගෙන ගිය කලිසම සහ ටී ෂර්ට් එකයි. ශීතලට ඔරොත්තු දීම සඳහා ඇඳිය යුතු කබා හෝ ඊට සරිලන කිසිදු ඇඳුමක් මා සන්තකයේ තිබුණේ නැහැ. කර්කශ පරිසරයක ගිනියම් අව්වට පිච්චි පිච්චි සිටි මට සිද්ධ වුණේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක්.   


අම්මපා ලංකාවෙ රස්නෙ තව හොඳනෙ කියලා මම මටම කොඳුරා ගත්තෙ තරහින්. ශීතලට ​ඔරොත්තු දීමට නොහැකි වූ නිසාම මම අසනීප වුණා. ජර්මනියට ගිහින් මේ දුක දරාගෙන සිටියත් වීසා ගැනීමේ ප්‍රශ්නයකට මුහුණ දුන්නෙ ඒ අතරවාරයේදීය. ඉන්පසුව කුමක් කරන්නද? යන්න කල්පනා කරමින් සිටියදී අයියා එයාගෙ මිත්‍ර සබඳතා මත ජර්මනියේ සිට ඉතාලියට යාමට නැවතත් මට අවස්ථාව උදාකර දුන්නා. මම හිතන්නේ මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයේ ගමනාන්ත තොටුපළ ඉතාලියේ වෙරෝනාව කියලයි.   


ජර්මනියෙන් ඉතාලියට ගිය මට වෙනස්ම පරිසරයක සිට ජීවිතය නව ගමනක් කරා යාමේ අභියෝගයට මුහුණදීමට ඊළඟට සිදු වුණා. එහිදී මගේ නවාතැන වුණේ වෙරෝනාවේ පල්ලියක් සහිත පරිසරයයි. ඒ පරිසරයට අනුගත වෙමින් සිටි මට ඊළඟට මුහුණ දීමට සිදුවූ ලොකුම අභියෝගය වුණේ භාෂා ප්‍රශ්නයයි. මා කියන දේ එයාලට තේරුණේ නැහැ. එයාලා කියූ දේ මට තේරුණෙත් නැහැ. අදහස් හුවමාරු කර ගත්තෙ අතින් සංඥා කරමින්. පල්ලියේ නේවාසිකාගාරයේදී මම කළේ නිදා ගැනීම නොවෙයි. සීතල ඊතල වගේ ඇවිත් ඇඟ රිදවද්දී, එළිවෙනතෙක් නිදි වරාගෙන මම ටී.වී බැලුවා. ඉතාලි භාෂාව වචනෙන් වචනයට ලියා ගෙන පාඩම් කරන්න පටන් ගත්තා. මේ ආ ගමනේ අභියෝගය ජය ගැනීමට නම්, මට එය කළ යුතුවම තිබුණා.   


චන්ද්‍රසිරි හෙවත් ආදරණීය චන්දරේ කියන විදියට ජීවිතය ජය ගැනීමට නම් ​ෙපාඩි පොඩි අභියෝගවලට මුහුණ දීම කළ යුතු බවය. භාෂාව ප්‍රගුණ කිරීමේ අභියෝගය මාස තුන හතරක් ගෙවෙන විට අප්‍රහිතක වූ ධෛර්යයෙන් යුතුව ඉතාලි බස ප්‍රගුණ කරමින් සිටි නිසා යම්තාක් දුරකට ඒ බස හැසිරවීමට ඔහුට පුළුවන් විණි. වයස අවුරුදු දහනවය කෙසේ වෙතත්, විසි පහත් - තිහත් පසුවී සිටින සමහර තරුණයින් ජීවිතය පණ ගසා ගැනීමට මං පෙත් සොයමින් සිටින සමාජයක, චන්ද්‍රසිරි තමුන්ගේ ජීවිතයට ආලෝකය සොයා යන මගට 19 වියැති වයසේදීම සේන්දු වීම තාරුණ්‍යයේ බොහෝ දෙනාට ආදර්ශයක්ම නොවන්නේද?   


වෙරෝනාව හරියට කලාගාරයක් වගෙයි. ඒත් ඒ කලාගාරයේ රිසිසේ ඇවිදීම වෙනුවට මට දැනුණෙ ලොකු පාළුවක්. ඒ කාලයේ අදමෙන් ශ්‍රී ලාංකික පිරිස් බොහෝ සෙයින් දැක ගන්නත් ලැබුණෙ නැහැ. ඒ නිසා ලොකු හුදෙකලාවක් මට දැනුණා. ඉතාලි ජාතික පවුල්වලට අයත් ඒ උදවිය සෑම ඉරිදාවකම පල්ලියට ගිහින් ඊළඟට යන්නේ තමුන්​ෙග මව්පියන්ගෙ ගෙදරටයි. දරුවෝ සියලු දෙනාම ඒ විදියට ගිහින් හරි එකමුතුව කාබී විනෝද වී සතුටු වෙනවා. ඒ පවුල් හරිම එකමුතුයි. මට ඒවා දකිද්දී පපුව පැලෙන තරමට වේදනාවක් ඇති වුණේ. මගේ අම්මා - තාත්තා සහෝදර සහෝදරියන් මේ කවුරුවත් නැතිව තව කොච්චර දුරක් මේ විදියට යන්නද කියලා හිතපු වාර අනන්තයි.   


මුලින්ම මගේ සේවය ලබා දුන්නේ පල්ලියකට අයත් මධ්‍යස්ථානයක ස්වේච්ඡා සේවය සඳහායි. එතැන දුප්පතුන්ට උදව් කරන මධ්‍යස්ථානයක් වුණා. පසුව රැකියා සඳහා මම අවස්ථා කීපයකදීම සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වුණා. ඊට යාමට පෙර පියතුමාගෙන් අවසර ගනිද්දි, එතුමා මගෙන් ඇහුවෙ මොකක්ද ඔයා කරන්නෙ කියලයි. මට නිශ්චිතව කියන්න දෙයක් තිබුණෙ නැහැ. හැබැයි චිත්‍ර ඇඳීමේ සහ කලාවට සම්බන්ධ හැකියාවක් මා සතු බව වටහාගෙන හිටියෙ. මං කැමතියි කලාත්මක පැත්තෙන් යමක් කරන්න’ කියලා මම පියතුමාට කිව්වා. ඉන්පස්සෙ ගෘහ අලංකරණ කටුයුතු ගැන ඉගෙන ගනිමින් වැඩ කිරීමට කැමතිදැයි කියා මගෙන් ඇසුවා.   
මං හරිම ආසයි කියලා එක් සැණින්ම කිව්වා’   


කිලෝමීටර් පහ හයක් දුර ගෙවා එතැනට යන්න පුරුදු වුණා. ශීත කාලයේදීත් රස්නෙ කාලයේදීත් ම​ෙග් ප්‍රවාහන මග වුණේ මා සතුව තිබූ මෝටර් සයිකලයයි. හිම වැටෙන කාලයේදී හිම තට්ටු මත ලිස්සා යමින් මෝටර් සයිකලය පැදවූ හැටි අදත් මට සිහියට නැගෙන දෙයක්. ඒත් මේ රස්සාව දිගටම කිරීම මගේ අරමුණ වුණේ නැහැ. පල්ලියේ තිබුණු රැස්වීමකදී ප්‍රකට ගෘහ නිර්මාණශිල්පියකු මට මුණ ගැසුණේ මේ අවස්ථාවේදීයි. ඔහු නිසා වැනීසියේ ඇති සරසවියකට සමවූ ආයතනයක සිට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදාවුණා. ගෘහ නිර්මාණ ශිල්පය සහ ගෘහ අලංකරණය සඳහා එය ප්‍රකට තැනක්. මගේ ජීවිතයේ දැවැන්ත හැරවුම ඇතිවුණේ මෙතැනින්. එතැන ප්‍රකට කලාගාරයක ගෘහ නිර්මාණශිල්පීණ් හා එක්වී ආධුනිකයකු ලෙස කටයුතු කරන්න වාසනාව පෑදුණා. එයාලා අඳින නිර්මාණවල පොඩි පොඩි වෙනස්කම් අඩුපාඩු සැකසීම මා සතු වගකීම වුණා. මම මගේ හැකියාව ගැන වටහා ගෙන සිටි නිසා තමයි මට ඒ අපූරු අවස්ථාව ලැබුණෙ.   


එන්ද්‍රසිරි, චන්දරේ එසේ ප්‍රකාශ කරන්නේ අභියෝග ජයගැනීමටත් වඩා තමුන්ගේ හැකියාව සහ තමුනට කළ හැකි දේ ගැන වටහා නොගන්නේ නම්, නිශ්චිත ඉලක්කයකට යා නොහැකි බව සඵත කිරීමටය. කුඩා කාලයේ සිටම ගෘහ නිර්මාණශිල්පියකු වීමට මෙන්ම ගෘහ අලංකරණ කටයුතු කිරීමේ ආසාව තිබුනද ​ඔහුට ඒ අංශයෙන් ඉගෙනීමට අවකාශය නොලැබිණි. නමුත් දෛවය විසින් ඔහුට ළඟා කර දුන්නේ අධිෂ්ඨානයෙන් යුතුව ආ ගමන නිසා යැයි ඔහු තදින්ම විශ්වාස කරන දෙයකි. තමුන් කැමති දේ ඉගෙනීමට එදා අධ්‍යාපනය හරස් වූවද ඔහු සතුවූ අධිෂ්ඨානය ඔහු යා යුතු මගට ගෙන ගියේය.   


ටිකෙන් ටික තම රාජකාරී ගමන් මග එළිපෙහෙළි කරගත් චන්ද්‍රරේ වැනීසියේද, වෙරෝනාවේද ප්‍රකට ප්‍රවීණ ගෘහ නිර්මාණශිල්පීන් සමඟ මුහුණට මුහුණ සාකච්ඡා, කරමින් කරට කර වැඩ කරමින් එලෙස පන්නරය ලැබ සිටියේය. මේ වන විට ලංකාවෙන් පිටව ගොස් සිව් වසරක් ගතව තිබුණි.   


මේ ගෙවී ගිය කාලයේදී ඉතාලියේ අනෙකුත් වැසියන් මෙන් තමුනටම කියා වාහනයක්, ගෙයක් දොරක් ඇතුළු සියල්ල සපුරා ගෙන සිටියද, මගේ හිතේ කොනක තිබුණෙ ගහට කොළට නිලට, විලට, දොළට ආදරය කළ අරුමයයි. කවදාද මම මගේ පරිසරයට යන්නේ? යටි හිත නිතර මතුකළේ එයයි. ගහ කොළ තුරු සෙවණ නොමැතිව ජීවත් වීම හරි අසීරු දෙයක් වුණා. මේ පාළුව මකා ගන්න මම මගේ කාමරය පුරා පාරේ යන එන විටදි ගලවා ගෙන ඇවිත් යෝගට් කෝප්ප ඇදි පුංචි පුංචි බදුන්වල පැල රෝපණය කර තිබුණා. ඉතාලියෙ මා විසූ ඒ පරිසරයේ සිටි අයත් මට ඒකට උදව් කළා. මම හීන මැව්ව මගේ ලංකාවේ පරිසරයට යන්නෙ කවදාද යන අරමුණ ඇතිවයි.   


චන්දරේ ලංකාවට පැමිණීමේ අරමුණ ඇතිව එලෙසින් සිටියදී ඒ අරමුණ තවත් දුරස්ථ වෙන්නට හේතුවක් විණි. සඳුට තාරකාවක සමීප වී සිටීම ඊට හේතුවය. ඔහුට ඇය හමුවුණේ වැනීසියේ පෙර කී පාසලට උගෙනීමට යන අවස්ථාවේදීය   


‘මම පාර දන්නේ නැහැ’ පුළුවන්ද ඔයාට ඒ ගැන විස්තර කරන්න’ ඔහු ඇයගෙන් ඇසීය.   


නොපැකිළිව ඇයද ඔහු එතැනට රැගෙන ගියාය.   


මං මුළා වී හසරක් නොමැතිව යන ගමනක් නොවූ එ් ගමන නිමා වූයේ ඔහු ඇය විවාහ කර ගනිමිනි. වසරකට දෙකකට පමණ සීමාවූ ප්‍රේම සම්බන්ධයක ඵළ සපුරාලූයේ එලෙසිනි. ඉනික්බිතිව චන්දරේ හට ලංකාවට ඒමට සිදුවීය. ආදරණීය මව රෝගාතුරව සිටි අතර ඇයගේ මරණයද සිදුවිණි. මවගේ පිංකම් කටයුතු වලින් පසුව නැවතත් ඔහු ඉතාලියට ගියේය. ගිහින් බිරිඳ ළඟට ගොස් මෙලෙස මිමිණුවේය.   


‘මම ඉතාලියට ආදරෙයි ඉතාලියේ මිනිස්සුන්ට ආදරෙයි ඔයාටත් ගොඩාක් ආදරෙයි. හැබැයි මගේ ආත්මය තියෙන්නේ ලංකාවේ. ලංකාවේ ගහ කොළත් එක්ක. ඒක හරි පුඳුම බැඳීමක්’   


ඒ වෙන විට ඉතාලි ජාතික බිරිඳට ඔහුට දාව දරුවකු බිහිව සිටියේය. ඒ පුතු චන්ද්‍ර​රේගේ. සෑම සුසුමක්ම කඳුලක්ම වටහා ගෙන සිටියේය. එතකොට එය පුදුමාකාර පිය පුතු බැඳීමකි. කෙසේ වෙතත් යා යුතුය තමාගේ මව් බිමට, නොඑසේ නම් උමතු වේවි. පරිසරයට කොච්චර නම් ආදරේද. ඒක දන්නේ මම විතරමයි චන්දරේ තමාටම කියා ගත්තේය ඉනික්බිතිව 91 වසරේදී පුතු - බිරිඳ සමඟ ඔවුන් ලංකාවට ආහ. හැබැයි හිස් අතින් නම් නොවේයි. චන්දරේ මොන දේ කළත් ඒ සියල්ල කරන්නේ සැළසුමකට අනුවය. ජීවිතය ටිකෙන් ටික ලිහා දමන්නේ ඒ සැළසුමේ ආකෘතියට අවනතවය.   


‘ෆාම් ගාඩ්න්’ සංචාරක හෝටලය නිමැවෙන්නේ ඔහු සතු වූ ඒ සැලැස්ම හේතුවෙනි. මෙවැනි දෙයක් තැනීම සඳහා ඉඩමක් සොයා තියන්නැයි ලංකාවට ඒමට පෙර ඔහු තාත්තාට කියා තිබිණි. තාත්තා ඒ අනුව ඉඩමක් තෝරා ගෙන තිබුණද, එය මුඩු බිමක් විය. චන්දරේට දවල් තරු පෙනුණේ ඒ ශුෂ්ක මුඩු බිම දැකීමෙනි. දහ අතේ කල්පනා කරමින් දින කීපයක් ඒ පරිසරයේ ඇවිද ගිය ඔහු අවසාන නිගමනයට ආයේය. සියල්ල සැළසුම් කළේ ඉන් පසුවය. අද ෆාම් ගාඩ්න් පරිසර හිතකාමී සංචාරක හෝටලයක් ලෙස ජාත්‍යන්තර සම්මාන ලබමින් ලෝකයේ ප්‍රකටව තිබෙන්නේ මේ චන්ද්‍රසිරි ප්‍රායෝගික කළ දර්ශනය හේතුවෙනි.   


කාමර සිය ගණනකින් සමන්විත සිමෙන්ති තට්ටු මාළිගා සහිත හෝටලයක් ඉදිකර යහමින් මුදල් හම්බ කරනවාට වඩා ඔහුගේ ඒකායන අරමුණ වූයේ පරිසර හිතකාමී නිර්මාණ කිරීම බව ඉඳුරාම පවසයි. ෆාම් ගාඩ්න් සංචාරක නිර්මාණයෙන් අනතුරුව රොක් ගාඩ්න් නමැති හරි අපූරු ප්‍රෞඩ නිර්මාණය කිරීමටද ඊළඟට ඔහුට හැකිවිණි. අනතුරුව ඉන් නොනැවතී අපේ ගම නමැති සංචාරක නිම්නයද නිර්මාණ්ය කළේය.   


හැබැයි ඒ සියල්ල නිර්මාණය කරද්දී ඔහුට මුහුන දීමට සිදුවූ බාධක අවහිරතා නම් ඉහටත් උඩිනි. පක්ෂ පාට බෙදා ගත් දේශපාලනය වේවා, අනෙකුත් සමාජීයීය කුහකත්වය වේවා, මේ මිනිසා​ෙග් ගමනට හෙළු අකටයුතුකම්, බාධක අප්‍රමාණය.   


මේ සියල්ල වෙතින් මට මෙගේ රට සංචාරක ක්ෂේත්‍රයේ ඉහළින් ඔසවා තැබීමටයි ඕනෑ වුණේ. හරි නම් මේ වගේ දේ ලෝකයට ගෙන යාමේදී වග කිවයුත්තන්ගෙන් ආධාර අනුබල ලැබීය යුතුයි. ඒත් අදටත් විටෙක මට සමහර මාද්‍යයෙන් පවා එල්ල වන්නෙ චෝදනා’   


චන්දරේ - හීන් සැරේ මුමුණයි. ඒත් ඒ කිසිවක් නිසා ඔහු සැලෙන - තැවෙන මිනිසෙකු නම් නොවේ. පරිසර හිතකාමීත්වය රැගෙන ෆාම් ගාඩ්න්, ෆොරස්ට් රොක්, අපේගම අද ජාත්‍යන්තරව නිරන්තරයෙන් සම්මාන සහ ගෞරවයට පාත්‍ර වූ සංචාරක නිම්නයන්ය. ඊටත් එහා ගිය අපූරු නිර්මාණාත්මක නිර්මාණයන්ය. සිය ගණනකට අද මේ නිසා රැකියා උත්පාදනය වී තිබේ. මේ සියල්ල යථාර්ථයක් කිරීමේදී චන්දරේ නැතහොත් චන්ද්‍රසිරි නමැති මිනිසා තමාට එල්ල වූ අභියෝග තමාගෙ හිසට ගත්තේ නම්? අද මේ කිසිවක් මෙලෙසින් නිර්මාණය වන්නේ නැහැ.   


අභියෝග එන තරමට චෝදනා - බාධක එන තරමට මට ගහන - ගහන තරමට මේ ගමන අඩාල කරන තරමට අවහිරතා ආවත් මා සැළුනේ නැහැ. අභියෝග එන තරමට මා ඒව බාර ගත්තේ උපේක්ෂාවෙනි. ඒ මිසෙක එයින් පැන නොගියේය.   


චන්ද්‍රසිරි නිහතමානීව එලෙස ආත්මයේ සිරගතව තිබූ අදහස් මුදා හැරියේය. ජීවිතයට වඩා ඔහු විශාල මිනිසකු නොවේද? අප මේ හෙළි කළේ ඔහු අභියෝග ජයගත් ජීවිත කතාවේ සමස්ථය නොවේ. මිහිකතගේ සැබෑ දරුවකු වන ඔහු විටෙක කවියෙකු වන්නේය. ‘ජීවිතය’ කවි ගී එකතුව චන්දරේගේ සිත කියවීමට තවත් කදිම උදාරණයකි.   


මේ හුස්ම අපට දුන්නේ පරිසරයයි.   

අම්මා තාත්තා අප බිහිකළා තමයි,   

ඒත් අපට ජීවිතය දුන්නේ   

මේ පරිසරය ඉතින් අප එය රැකිය යුතු නොවේද?   


එදා ඉපදුණු මොහොත් කිරි උරා බොන්නට තරම්වත් ප්‍රාණයක් නොතිබුණ චන්ද්‍රරේට කිරි පොවා ඇත්තේ පහන් තිරයකිනි. එලෙසින් ජීවය ලද ඔහු අද හුස්ම ගන්නේ කිරි කළ හතක් බිවු මිනිසකුටත් වඩා ජව සම්පන්න වූ මිනිසෙකු විලසිනි.   

 

 

 

 

 

 

සටහන : සඳුන් ගමගේ