​වැටි වැටි නැගිට ටෙලිවීව් හදපු හැටි


අභියෝග ජයගත් මිනිස්සු

 

ජපානයේ පැනසොනික් කර්මාන්තයේ නිර්මාතෘ මත්සුෂිතා මහතාගේ ජීවන චරිතය අපට බොහෝ දේ කියා දෙනවා. මම ඒ චරිතයට බෙහෙවින් ප්‍රිය කරන්නෙක්. එදා ලෝක යුද සමයේදී ජපානයට බෝම්බ වැටෙද්දී මත්සුෂිතා ජීවිතය බේරා ගැනීමේ අටියෙන් ඉඳලා තියෙන්නේ පොළව යට ගුහාවක වැනි තැනකයි. එක්කෝ මම මැ​ෙර්වි, එසේ නොමැරී ජීවත් වුණොත්? මම මොනවද කරන්නේ යැයි ඔහු ඊළඟට කල්පනා කළා. නොමැරී ජීවත් වුණොත් මම කරන්නේ ලෝකයට මේ ​ඉලෙක්ට්‍රොනික උපාංග හඳුන්වාදීමයි. එලෙසින් විශ්වාස කළ ඔහු පැනසොනික් සංකල්පයට අවතීර්ණ වූයේ ඒ විදියට බව සඳහන්ය. පසුව ඔහු මෙම කටයුත්ත අරඹා තිබෙන්නේ බිරිඳ සමඟ එක්වී නිවසේ ගරාජයක වැනි තැනකදී ඉතා සුළුවෙන්. ඒ විදියට එදා සුළුවෙන් පටන්ගත් පැනසොනික් නාමය සහිත ඉලොක්ට්‍රොනික් උපාංග අද ලෝකයේ මොන රටේද නැත්තේ?   


කුඩා කාලයේදී මම හැදී වැඩුණේ අග හිඟකම් සහ දුෂ්කරතා එක්කයි. හැබැයි එහෙම වුණාට මගේ හිත දුප්පත් වුණේ නැහැ. ඒ අගහිඟකම් එක්ක මාත් මත්සුෂිතා වගේ සිහින දුටුවා. ඒ සිහින සෑබෑ කරගෙන ජීවිතය ජයගන්න හැටි ගැන නිරන්තරයෙන් කල්පනා කළා. කුඩා කාලයේදීම මම විවිධ දේ වෙනුවෙන් දක්ෂ වුණා. හැබැයි කසළ ගොඩක තිබුණු මැණික් අහුලාගෙන ඒක ඔප දමා වටිනාකමක් ලබාදී ලෝකය හමුවේ ප්‍රචලිත කළ කෙනෙක් මෙන්, මගේ දක්ෂතා මුලින්ම දැන ගත්තේ ‘රත්නායක’ ගුරුමෑණියන් විසිනුයි.   


‘‘පුතා ඔයා ගොඩක් දේට දක්ෂයි. ඒවා වැඩි දියුණු කරගන්න. ඔයා ලෝකයටම අවශ්‍ය මිනිහෙක් වෙනවා. මට ඒක විශ්වාසයි’’   


පංතියේ ගුරුතුමියගේ මේ කතාවෙන් පස්සේ මට අවැසි වුණේ රටට දැනෙන චරිතයක් ලෙස හැදෙන්න ඕනෑ කියලයි. ටීචර්ගේ ඒ වදන් මාව වඩාත් ප්‍රබෝධමත් කළා. එතැන් සිට මා කළේ අලුත් අලුත් දේ කිරීමට පෙලඹීම සහ නිරන්තරයෙන් ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ ඒකායන අටියෙන් කටයුතු කිරීමයි.   


ඉහළට ගත් හුස්ම පොද පහළට නොහෙළාම ඔහු කතා කරගෙන ගියේය. ඊළඟට ඔහු හද ගැස්මේ රිද්මයට අනුව කතා බහට එක් වූයේ ජීවිතයේ බොහෝ ජයග්‍රහණ අත්පත් කරගත් මිනිසකු විලසිනි. සුනිල් රත්නායක යනු ඔහුගේ නාමයයි. ‘ටෙලිවීව්’ ආයතනය බිහි කළ පුරෝගාමියා ඔහු වෙයි. දුෂ්කර පළාතක ගමක සිට නගරයට ඇවිත් ඉන්පසුව රටට චරිතයක් වී, ජීවිතයට ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් ඔහුගේ අද අභිලාෂය වෙන්නේ ජාත්‍යන්තරය ජය ගැනීමය. ඒ වෙනුවෙන් සැලසුම්, නිමැවුම්, කරමින් සිටින මොහොතකදී අභියෝග ජයගත් තවත් මිනිසකු වන ඔහුගේ ජීවන චරිතයෙන් ආ මග තොරතුරු එකිනෙක ලිහා දැමුවේ මෙලෙසිනි.   
අපේ තාත්තා දුම්රිය ගබඩා පාලකවරයකු ලෙස සේවය කළා. අම්මා රැකියාවක් කළේ නැහැ. තාත්තා දුම්රිය සේවයේ නිරත වූ නිසා රටේ විවිධ පළාත්වලට මරුවීම් ලැබුවා. ඒ නිසා අපටත් රට වටේ යන්න සිද්ධ වුණා. අම්මගෙ ගම නූපේ. පවුලේ අයියා, අක්කා, මා සහ මල්ලිලා දෙන්නයි. මාතර රාහුල විද්‍යාලයෙන් මගේ පාසල් ගමන පටන් ගත්තෙ. ඉන්පසුව බදුල්ලේ ධර්මදූතයට සහ අන්තිමට කුරුණෑගල මලියදේවයෙන් පාසල් අධ්‍යාපනය හමාර කළා. සාමාන්‍ය පෙළ ලිව්වේ බදුල්ලෙ ධර්මදූතයේදීයි. එදා සම්මාන 7ක් එක්ක විභාගය සමත් වුණා.   


කුඩා කාලයේ සිටම ඉගෙනීමට දක්ෂතාව වගේම බාහිර ක්‍රියාකාරකම්වලද දක්ෂ වුණා. ඒ වගේම සමිති සමාගම්වලත් හිටියා. හැබැයි එදා අපේ පවුලේ ආර්ථිකය එතරම් පොහොසත් වුණේ නැහැ. එනිසා දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදු වුණා. පාසලේ විනෝද ගමන් යන්න අනිත් ළමුන් වගේ මාත් ආසා කළා. ඒත් මට ඒකට අවස්ථා ලැබුණෙ නැහැ. ආච්චි මගේ දුක තුනී කළේ ආප්ප දෙකක් අරන් දීලයි. පසුව හැකියාවක් තිබියදීත් විනෝද චාරිකා අධ්‍යාපන චාරිකා සංවිධානය වෙද්දී, මට තිබුණේ බයක්. චාරිකාවට මුදල් බැඳලත් මම හිටියෙ චකිතයෙන්. මොකද ඒ සල්ලි වලින් අඩුපාඩු පුරවා ගන්න පුළුවන්නෙ කියන අදහස ආවා. මගේ නැතිබැරිකම ගැන වටගාගෙන සිටි රත්නායක ගුරු මෑණියන් මගේ නිර්මාණශීලි හැකියාව නිතර අගය කළා.   


‘ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද ආසා’   


ටීචර් දවසක් පංතියෙ ළමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ කාලයේ හැටියට ලිපිකරු ඉංජිනේරු, වෛද්‍ය, ලෝයර් ඔය වගේ රැකියා සහ ගුරුවරු වෙන්නත් බොහෝ දෙනා ආසා කළා. එම රස්සාවලට රටේ තිබුණේ හොඳ පිළිගැනීමක් යන මතය විශ්වාස කළා.   


‘මට ඕනෑ පයිලට් වෙන්න’ කියලා මම කෑ ගහලා කිව්වා.   


‘ෂාහ්, හරි විශිෂ්ටයිනෙ’ කියලා එවිට ටීචර් කිව්වා. මුළු පංතියෙම ළමුන් මා දිහා වික්ෂිප්තව බලාන හිටියා. හැබැයි දෙයිහාමුදුරුවනේ මේ පයිලට් කියන්නේ මොන වගේ රස්සාවක්ද කියලා එදා මම දැනගෙන හිටියෙ නැහැ. කොහෙන්දෝ අහලා තිබුණු දෙයක් මම කිව්වෙ. ඒක කීවාම, විවේකයේදී පංතියේ ළමුන් ඇවිත් මාව වට කරගත්තා.   


‘මේ මොකක්ද ඔයා කරන්න හදන ඒ රස්සාව? අනේ අපටත් කියනවකො?’ කියලා ඔවුන් මට ඇවිටිලි කළා.   


‘හරි හරි පොඩ්ඩක් ඉන්නවලකො කරදර කරන්නෙ නැතුව’ මම පස්සේ ඒ ගැන කියන්නම්, කියලා යාංතමට ඔවුන්ගෙන් ගැලවිලා එදා මම යන්න ගියා. හැබැයි පහුවදා වෙද්දී පයිලට් කියන්නෙ කාටද යන්න මම සොයා ගත්තා. පයිලට් වෙන්න නම් ගණිතය විද්‍යාව කළ යුතු බවත් දැන ගත්තා. ඊළඟට මගේ අභියෝගය වු​ෙණ් එයයි.   


සුනිල් මොහොතකට අතීතයට අවතීර්ණව අතීතයේදී විඳි ගැහැට සහ අභියෝග ගැන වූ මතක මල්ල ටිකෙන් ටික දිගහැර පාමින් සිටී. පවුලේ මද්දුමයාට බොහෝ විට ලැබෙන ආදරයද ලොක්කාට සහ බඩපිස්සාට තරමට නොලැබෙන බව ඔහු හඟියි. ඒත් නොලැබීම් සහ දුෂ්කරතා නිසා කිසි විටෙකත් තමා දුර්වල නොවූ අතර දුක්බර නොවීමටද වග බලා ගත් බැව් හඟවයි. සැතැපුම් තුනක් දුර ගෙවා පාසලට යාමට සිදු වූ අතර ඒ ගමන බසයේ යාමට එදා මට සත දහයක්වත් තිබුණේ නැහැ.’ නොපැකිළව ඔහු කියයි.   


‘මට අතීතයේ මා විඳි දුෂ්කරතා ගැන කියන්න ලජ්ජා වෙන්න ඕනෑ නැහැ’ ඒ සියල්ල වෙතින් මම ජීවිතය මුවහත් කරගත්තා’   


තම අව්‍යාජකම විදහාපාමින් අභියෝග ජයගත් අරුමය ගැන සුනිල් එලෙසින් වදනින් වදනට කියාගෙන යයි.   


එක් සහෝදරයෙක් අපෙ අම්මාට කරදර ගොන්නක් පටවද්දී මම ගෙදරට කරුමයක් වෙන්න ගියේ නැහැ. ජීවන ගමන ශක්තිමත් කර ගන්න නම් ඉගෙන ගන්නම ඕනෑ කියන අදහස දැඩිව හිතට ගත්තා. මම වඩාත් ආසා කළ රසායන විද්‍යාව ටියුෂන් පංතියට යන්න පවා මට අමතර සල්ලි තිබුණේ නැහැ. එහෙමයි කියලා මම බය වුණෙත් නැහැ. ඒ දිනවල බදුල්ලෙ හිටපු රසායන විද්‍යාව උගන්වපු හොඳම ගුරුවරයා ළඟට දවසක් මම ගියා.   
‘සර් මම හරි ආසයි රසායන විද්‍යාව ඉගෙන ගන්න. ඒත් මට ගෙදර ප්‍රශ්න. විටෙක මම සර්ට කිව්වා.   


‘හරි මම ඔයාට උදව් කරන්නම්, ඔයත් මට උදව් කරන්න ඕනෑ’ එවිට සර් කිව්වා.   


සමහර ළමුන් ටියුෂන් සල්ලි දෙන්නෙ නැහැ. ඒ අයගෙන් එම මුදල් එකතු කරලා දෙන්න කියලා සර් මට කිව්වා. මම එක පයින්ම ඒ වැඩේ බාර ගත්තා. මේ සල්ලි නොදෙන සමහර ළමයින් අතර චණ්ඩිපාට් දාපු අයත් හිටියා. ඒත් මම නොවේ බය වුණේ.   


මේ දෙනවලකො අයිසේ වෙලාවට සල්ලි කියලා මාත් උන්ට පාට් එක දැම්මා. ඒ වැඩේ සාර්ථක වුණා. සර්ට හැමෝගෙන්ම ටියුෂන් සල්ලි වෙලාවට ලැබුණා. මේ නිසා සර් මට රුපියල් දෙකකුත් මාසයකට ගෙව්වා. එදා හැටියට එ්ක මහා ලොකු මුදලක්, ඒ මුදලින් මම මගෙ අඩුපාඩු සපුරා ගන්නා අතරේ ආසා කළ කෑම ජාතික් කෑවා. සමහර දාට තෝසේ කඩේට ගිහින් බඩ පැලෙන්න සාම්බාරු එක්ක තෝසෙ කෑවා. ඇයිද කිව්වොත් ටියුෂන් යන කාලයේදී දවල්ට කෑම නොගත්ත අවස්ථාද තිබුණා. සමහර දාට විවේකයේදී කළේ ටැප් එකට කට අල්ලා බඩ කළ ගෙඩියක් තරමට පිරෙන්න වතර බිව්ව එකයි.   


අපි බදුල්ලෙ පදිංචිව සිටියදී බදුල්ලේ ගේ හැදුවෙත් මේ කාලයේදීයි. ගේ හැදුවෙ ආණ්ඩුවෙන් ලැබුණු ඉඩමක. ගේ හදන්න මෝඩ ගඩොල් කපන්න සිද්ධවුණා. අම්මා තමයි මෝඩ ගඩොල් හැදුවෙ. දිවා රෑ නොබලා - ​ෙනාකා නොබී මහන්සි වුණේ. මට ඒක දරා ගන්න බැරි දෙයක්. ඒ හන්දා මම අම්මාට ​ෙබා​හෝ උදව් කළා. මේ අතරේ අපට අයත් කිතුල් ගහක සරුවට තෙලිජ්ජ ගලා ආවා. අම්මා ඒවා පැණි හදන්න විකුණුවා. දවසක් මේ මුට්ටිය විකිණීමට යද්දී මගේ පය පැටලිලා මුට්ටිය බිඳුණා. ඒ විදියට බිඳුණේ මුට්ටිය නෙවෙයි. සතියක පවුලේ බලාපො​ෙරාත්තුයි බිඳිලා ගියේ. ඒක මට මහා පන්නරයක් ගෙන දුන් අවස්ථාවක් වුණා.   


ඔහුගේ අනාගතය ගැනද පවුලේ අනාගතය ගැනද එලෙස සිතමින් සුනිල් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව කටයුතු කරමින් සිටියේය. මේ අතර වාරයේදී පවුලේ එකම කෙල්ල වූ අක්කාට ගෙදරින් මනමාලයෙක් තීන්දු කර තිබිණි. එ්ත් විවාහය ගැනීම සඳහාවත් ගෙදර ආර්ථිකය ශක්තිමත් නොවූ බැවින් මව්පියන්ගෙ බර මද්දුමයා වූ සුනිල් කරට ගත්තේය. මොහොතකට සරසවි යාමේ බලාපොරොත්තුව ඈත ක්ෂිතිජයට විසීකර දැමූ ඔහු ගොඩනැගිලි සුපවයිසර්වරයකු ලෙස කටයුතු කරමින් මුදලක් හම්බ කළේය. මේ කාලයේදී තවත් දෙයක් නිසා ඔහු බදුල්ලේ ප්‍රකට වීය.   


මේ කාලයේදී මම රසායන විද්‍යාව, භෞතික සහ ජීව විද්‍යා විෂයන් උගන්වන ටියුෂන් ගුරුවරයකු ලෙස කටයුතු කරමින් සිටියේ.   


ගුරුවරයෙක් නොවන ගුරුවරයෙක් නමින් මම පළාතේ ප්‍රකට වුණා. වාසනාවකට වගේ මම ටියුෂන් පංතියේ ඉගැන්වූ ප්‍රශ්න උසස් පෙළ විභාගයටත් එකක් - දෙකක් අනිවාර්්‍ය‌යෙන්ම වගේ ආවා. මේ නිසා වැල නොකැඩී ළමුන් මා ළඟට එන්න පටන් ගත්තා. ඒ ටියුෂන් ඉගැන්වීම මට සාමාන්‍ය ආදායමක් ගෙන දුන්නා. එදා අපේ ගේ තැනීමට රුපියල් 1000ක් අවශ්‍ය වෙලා තිබුණු නිසා මා කළේ ‘නිධානය’ චිත්‍රපය ගෙන්වා ආධාර දර්ශනයක් ලෙස ප්‍රදර්ශනය කිරීමට සැලැස්වීමයි. එයින් ලැබුණු ආදායමෙන් තමයි අපේ මුල්ම ඉඩම එදා ගත්තෙ. මම යමක් අරමුණු කර ගත්තොත්, එය ඉටුවෙන තෙක් ක්‍රියාත්මක වෙනවා. අක්කාගේ විවාහය කර දුන්නෙත් ඒ විදියෙ අරමුණක් තිබුණු නිසයි. 

 
අයියා කෙනෙක් වගේ වෙලා මල්ලි මට මගේ විවාහය කරන්න මේ වෙච්ච උපකාර කවදාවත් මම අමතක කරන්නේ නැහැ. ඒ ආශිර්වාදය හැමදාම මගේ ජීවිතයට ආලෝකයක්ම වේවි” අක්කා ඉහවහා ගිය සතුටින් එදා මට කිව්වේ එහෙමයි.   


අාත්මාර්ථකාමීත්වයට වඩා පරාර්ථකාමී වීමට රිසි වූ සුනිල්, අක්කාගේ විවාහයෙන් පසුව හොඳ හුස්මක් ගත්තේය. උසස් අධ්‍යාපන කටයුතු නිමා කිරීමට පෙර ඔහුට රස්සා තුනකට අවස්ථා ලැබිණි.   

 

ටෙලිවීව් වෙත රන්දොරටුව - රන් මාවතක් විවර කරදුන් අරුමය සමඟ ට්‍රැක්ටර් සංස්ථාවට අපි ටෙලි නාට්‍ය කරන්න පටන් ගත්තා. ‘සමන්තැන්න’ අපේ පළමු නිර්මාණය වුණා. ඉන්පසුව වෙද හාමිනේ, දඬුබස්නාමානය, භවත්‍රා, අකාල සන්ධ්‍යා ඇතුළු සම්මාන වාර්තා හිමිකර ගත් නාට්‍ය රැසක්ම නිෂ්පාදනය කළා. මේ දක්වා ඔක්කොම 87ක් නිර්මාණය කර තිබෙනවා.

 


‘උඹ ගුරු වෘත්තියට පලයං මගේ පුතේ’ අම්මා කීවාය. නමුදු ගුවන් නියමු අංශය ගැන එදා කුඩා කල හීන මැවූ ඔහුගේ අරමුණ ඉංජි​නේරු අංශය වෙත ඇදී ගොස් තිබිණි. ගොඩනැගිලි ද්‍රව්‍ය දෙපාර්තමේන්තුවේ වැඩ පරීක්ෂක, උපපරීක්ෂක, පරීක්ෂක ලෙස ඉහළට ගිය ඔහු විටෙක ලංගම විශේෂ ආධුනික ඉංජිනේරු අංශයේ කටුයතු කළේය. ඒ වෙනුවෙන් වූ විභාග එකිනෙක සමත් වෙමින්, අධ්‍යාපන අංශයේ ප්‍රතිඵලද නෙළා ගැනීමට හේ සමත් විය. සියලු කටයුතු අතරේ පොත් පත් පරිශීලනය ඔහු කළේ අපමණ භක්තියකින් බව කියයි.   


මෙලෙසින් ගලා යන ජීවිතයේ ඔහු බලාපොරොත්තු වූයේ මුදල් හම්බ කිරීමටද? නැත්නම් කුමක්ද?   


මේ කාලයේදී තමයි මම විවාහ වුණේ. ඒක හරිම සරල විවාහයක්. ඇය මගේ ටියුෂන් පංතියේ ඉගෙන ගන්න ආව තරුණියක්. අද මම මේ සිටින තැනට ඒමට ඇයගෙන් ලද අත්වැල මහමෙරක් තරම්. ඒ වගේම එදා සිට මා සමඟ කටයුතු කළ මගේ සේවක පිරිසටත් ප්‍රණාමය පුදකළ යුතුයි. ඒත් සියලු දෙනා අතරින් මගේ බිරිඳට හිමිවෙන්නේ සුවිශේෂී තැනක්’   


බිරිද ගැන වූ අපමණ ස්නේහය ඇතිව සුනිල් එසේ පවසන්නේය. එය හරියට ගුරුගීතයේ දුයිෂෙන් ගුරුවරයා සහ අල්තීතායි දැරියගේ අන්දරයට එහා ගිය එකක් මෙනි.   


ශීත කාලය පැමිණේවි   
තද ශීත කුණාටු හමාවි   
හිම කැටි සහිත දරුණු   
සුළි සුළං හමාවී   


එහෙත් වසන්තය එනවා සත්තයි. අල්තීනායි සහ ඇදුරුතුමා අතර වූ ඒ දෙබස මා මතකයට නැගේ. සුනිල්ගේ ජීවිතයට වසන්තය ගෙන ආ ඇය සිරිමා කංචනීය.   


ඔබ විමසුවනෙ මගේ ජීවිතයේ අරමුණ වුණේ මුදල් හම්බ කිරීමද කියලා? මගේ ජීවිතේ ප්‍රස්තාරගත ක​ෙළාත්? ඒක සමාන්තර නැහැ උඩට - පල්ලෙහාට ඇඳි රේඛා කඳු බෑවුම් පෙන්නුම් කරන්නක්. මොන දේ කරමින් සිටියත්, ඒ හිටපු තැනට වඩා තැනකට ඇවිත් රටට දැනෙන්න මැරෙන්න තරමේ මිනිසකු විය යුතු වුණා. මේ නිසා ගත්ත සමහර තීරණ නිසා ප්ලේන්ටියක් බොන්න නැති තරමට පල්ලෙහාට වැටුණ අවස්ථාද නැතුවාම නොවෙයි. හැබැයි මම නිතරම ඉගෙන ගත්ත දෙයක් තිබුණා. ඒ තමයි වැටුණ තැනින් ඊට වඩා හොඳට නැගිටින්න ඕනෑ කියන දර්ශනය.   


ටෙලිවීව් බිහි කිරීමේ අදහස ආවේ දිනපතා මා දුටු සිහිනයක ඵලයක් ලෙසයි. ටෙලිවීව් ආයතනයේ දෙවැනියා වෙන ශාන් දිසානායක එක්ක මම දිනකට ව්‍යායාම් වෙනුවෙන් හැතැප්ම හතරක් විතර දිවීමේ පුරුද්දක් තිබුණා. ඒ වගේ අවස්ථාවකදී දුවලා දුවලා හැල්මේ නතර වෙච්ච මොහොතකදී රූපවාහිනී වැඩ සටහන් නිෂ්පාදනය කිරීමේ ආයතනයක් පටන් ගනිමුය යන අදහස ගැන සාකච්ඡා කළා. නමුත් ටෙලි නාට්‍ය හදන ආයතනයක් පටන් ගැනීමේ අදහසක් තිබුණේ නැහැ. 1983 දී ‘සුරසි (සුනිල් රත්නායක සහ සිරිමා) මුල් අකුරු සමඟ කිසිදු ප්‍රාග්ධනයක් නොමැතිවයි පටන් ගත්තේ. මහජන බැංකුව පසුව පුංචි ණය මුදලක් මට දුන්නා. සුරසි කියන නම මට එච්චර අල්ලා ගියේ නැහැ. කොළඹට එනවිට ඊට ගැළපෙන නමක් ඕනෑ වුණා. ටෙලිවීව් බිහිවුණේ ඒ අනුවයි. 86 දී අපි එ් නමට මාරු වුණා. එ් වෙන විට රූපවාහිනියෙ දිස්ත්‍රික් ප්‍රවෘත්ති වාර්තාකරු ලෙසත් කටයුතු කරමින් සිටියෙ. මේ නිසා රූපවාහිනියට ගිහින් මිත්‍ර සබඳතා අැතිකර ගැනීමටත්, තාක්ෂණය ගැන ඉගෙන ගැනීමටත් එතැන තෝතැන්නක් වුණා. ප්‍රකට නීතිඥවරයකු වූ උපුල් ජයසූරිය මහතා එවකට ට්‍රැක්ටර් සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළා. මේ නිසා මහපොළ සඳහා අපට වාර්තාමය වැඩ සටහන් කිරීමේ අවස්ථාව ලැබුණා. මහපොළ පිළිබඳව අප නිර්මාණය කළ රන්දොරටුවට’ අතිවිශාල ජනප්‍රියත්වයක් ලැබුණා. මේ නිසාම දිවංගත ලලිත් ඇතුලත්මුදලි ශ්‍රීමතාණන් අපව ගෙන්වා භෝජන සංග්‍රහයකුත් දීලා සම්මාන දුන්නා.   


 ටෙලිවීව් වෙත රන්දොරටුව - රන් මාවතක් විවර කරදුන් අරුමය සමඟ ට්‍රැක්ටර් සංස්ථාවට අපි ටෙලි නාට්‍ය කරන්න පටන් ගත්තා. ‘සමන්තැන්න’ අපේ පළමු නිර්මාණය වුණා. ඉන්පසුව වෙද හාමිනේ, දඬුබස්නාමානය, භවත්‍රා, අකාල සන්ධ්‍යා ඇතුළු සම්මාන වාර්තා හිමිකර ගත් නාට්‍ය රැසක්ම නිෂ්පාදනය කළා. මේ දක්වා ඔක්කොම 87ක් නිර්මාණය කර තිබෙනවා.   


එදා සුනිල් රත්නායක ටෙලිවීව් ආරම්භ කරන විට ටෙලිනාට්‍ය නිෂ්පාදන අංශයේ ආයතන දෙකකුත් තිබුණු අතර ඒවා පවත්වාගෙන ගියේ කොළඹ හතේ ගම් බිම්වූ චරිත විසිනි. ‘මම ඒ අය අතරට ගමෙන් ආව හද්දා ගැමියා’ නමුත් මම ඒ ගැමියා කියලා කියන්න කිසි විටෙකත් පසුබට වුණේ නෑ. එලෙසින් සුනිල් තමා කවුද යන්න සමාජයට ​නොසැඟවූ නිසා තම කටයුතු කරගෙන යාමට බොහෝ දෙනා වෙතින් විශ්වාසය දිනා ගැනීමට ඔහුට හැකි විණි. විටෙක ව්‍යාපාර කළමනාකරණය උදෙසා ශිෂ්‍යත්වය ලැබ ජපානයේ නගොයා වෙත ගොස් පුහුණුව ලැබූ අතර සහභාගී වූවන්ගෙන් දෙවැනියා වීමටද හැකි වූ බව සඳහන් කරයි. මේ අතරවාරයෙදී ව්‍යාපාර පරිපාලනය සඳහා වෙන උපාධිය හිමිකර ගැනීමටද හේ සමත් විය. මෙකී දේ අතරේ විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් මෙන්ම පද්‍ය එකතුවක්ද එළිදැක්වීමට ඔහු සමත් විණි.   


මෙලෙසින් ආ තිස් වසරක ගමන සනිටුහන් කරමින් පසුගියදා ​ඔහු වෙනුවෙන් උපහාර උලෙළක්ද පැවැත්වූ අතර ටෙලිවිව් සහ ඒ කලා කර්මාන්තය ආශ්‍රීතව ඔහු සමඟ එදා සිට කටයුතු කළ සුළු සේවකයාගේ සිට විධායකයා දක්වා කෘතගුණ සැලකීමටද සුනිල් රත්නායකයන් අමතක නොකළේය.  


‘මේක මම තනිව ආ ගමනක් නොවෙයි’ ටෙලිවිව් අායතනයෙන් බිහි වූ ටෙලිව්වි පරපුර නොබෝදා එක්ව මට ලබාදුන් සම්මානය මේ ලෝකය තරමටම මට වටිනවා.  

 

 

ඔහුගේ 30 වසරක සේවය අගයා සගයින් කළ උපහාරය හමුවේ සුනිල් වඩා හැඟුම්බරව ප්‍රකාශ කරයි. වත්මන් ජනපති පවා සුනිල් සොයා ඔහුගේ නිවසටම පැමිණ මේ ආ ගමන අගැයීම තමාට කළ ලොකු ගෞරවයක් ලෙස සඳහන් කරයි.  


මේ විදියට බුහුමන් ලබමින්, සම්මාන ගොන්නක හිමිකරු වූ ඔහු ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන බව පවසයි.  


‘මට මේවා ලැබුණා කියා ​ෙලාකු සතුටකුත් නැහැ. නොලැබුණාය කියා දුකකුත් නැහැ.  


එසේ නම් දැන් ඔබගේ අරමුණ කුමක්ද? ඒ අව්‍යාජ මිනිසාගෙන් අපි විමසීමු.  


මොන දේ කළත් විශිෂ්ටයකු ලෙස සදාකාලික වෙන්න කාටවත් බැහැ. අපි ඒ දහම තේරුම් ගන්නට ඕනෑ. යම්කිසි ක්ෂේත්‍රයක එක දිගට සිටින විට අලුත් නොවුණොත් ඒ මිනිසා රටට දැනෙන මිනිසකු වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි අලුත් ඉමකට අපේ ගමන හැරවුවා. ජාත්‍යන්තර සිනමා නිර්මාණ කරමින් ලෝකය ජය ගැනීම දැන් අපේ ප්‍රයත්නයයි. අපට විශිෂ්ට නිර්මාණකරුවන් සිටිනවා. ලෝකයේ වත්මනෙහි සිනමා නිර්මාණ කරන උසස්ම තාක්ෂණයෙන් යුතු ultra Fine (අල්ට්‍රා ෆයින්) කැමරා කාච සහ ආම්පන්න ඒ වෙනුවෙන්ම මිලියන 100කට වඩා වැය කොට ආනයනය කළා.  


දැන් ඒ විලසින් ජත්‍යන්තරය ජය ගැනීමට සහ ශ්‍රී ලංකාවට එමගින් කීර්තියක් ගෙන දීමට විශ්වාසය තබා ඇති සුනිල් රත්නායක තමා අභියෝග ජයගත් අරුමය සහ එලෙසින් තවත් කෙනෙකුට අභියෝග ජය ගත හැකි මාවත ගැන සඳහන් කළේ මෙලෙසිනි.  


කුඩා කාලයේදී මා ලැබූ අසීරුතා, කොන්වීම්, නොලැබීම් අාදී සියල්ල අත්දැකීම් කරගත්තා. ඒත් කිසි විටෙකත් මම දුර්වලයෙක් මට නොහැකියි කියලා හිතුවෙ නැහැ. යම්කිසි දෙයකින් පරාජය වුණාම, එය තාවකාලික පරාජයක් කර ගත්තා. එය ජයග්‍රහණයේ මඟට මා හරවා ගත්තා. අනෙක් අය වගේම මාත් මනුෂ්‍යයෙක්, මට පුළුවන් වුණා වගේම තව කෙනකුටත් පුළුවනි. සෑම මනුෂ්‍යයකු තුළම නිද්‍රාසහගත විශිෂ්ටයකු සිටිනවා. ඒ විශිෂ්ටයා නිද්‍රාවෙන් අවදිකරවා ගැනීමට පුළුවනි. අපට අභියෝග හමු වෙනවාමයි. ජීවිතයේ ස්වභාවය එයයි. ඊට මුහුණදීම හැර වෙනත් විකල්ප හෝ විසඳුම් නැහැ. ජීවිතය යනු ප්‍රශ්න ගොන්නකට උත්තර සොයා යා යුතු ගමනක්. සංකල්ප සිරුරට බද්ධ කරගෙන ඊට මුහුණදිය යුතුමයි. මේ ජීවිතයේ සියයට සියයක්ම මම සම්පූර්ණ නැහැ. දැන් මගේ ප්‍රයත්නය වෙන්නේ රට ජාත්‍යන්තරයට ගෙන ගොස් රටට දැනෙන මිනිසකු වී ජීවිත ගමනාන්තයට මුහුණදීමටයි. මේ මොන දේ කළත් තමුන්ගේ හෘද සාක්ෂියට එකඟව කරන්න. එවිට ඒ තරම් සැනසීමක් තවත් නැහැ.

 

 

 

 

සටහන සඳුන් ගමගේ