​ලෝකයේ ලොකුම බහාලුම් නැව් සමාගම එවග්‍රීන්


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි 

 

  • නැවේ හිමිකරු මුලින්ම සේවය කළේ ජපාන නාවික සමාගමක කාර්යාල සේවකයකු ලෙසය
  • ආචාර්ය චැං යන්ග් ෆා යනු එවග්‍රීන් සමූහයේ නිර්මාතෘවරයාය
  • පසුගියදා සුවස් ඇළ මාර්ගයේදී හරස් වූයේ එවග්‍රීන් සතු එවගිවන් යෝධ නෞකාවය

 

එවග්‍රීන් නෞකා සමාගම ගැන ලෝකයේ බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තේ පසුගියදා සුවස් ඇළ මාර්ගයේදී අනතුරකට පත්වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාව නිසාය. කන්ටේනර් හෙවත් බහාලුම් දහසකට වඩා ගෙන යා හැකි මෙම යෝධ භාණ්ඩ ප්‍රවාහන නෞකාව ලෝ ප්‍රකට එවග්‍රීන් නෞකා සමාගමට අයත් වූවෙකි. සමාගමේ නාමය එවග්‍රීන් වුවද මෙම නෞකාවේ නාමය වන්නේ එවර් ගිවන් (Ever given) ය. මෙම එවර් ගිවන් යනු භාණ්ඩ ප්‍රවාහනයේදී දැනට නිෂ්පාදිත නෞකා අතරින් අති විශාල ප්‍රමාණයේ නෞකාවකි. මෙවැනි නෞකා අයත් මෙම එවග්‍රීන් සමාගමේ කතාව ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය වෙතින් අද අපි කියවමු.   


එවග්‍රීන් සමාගමේ උපත  


එවග්‍රීන් නාවික සමාගම ස්ථාපිත වූයේ මීට වසර 53කට පමණ පෙරදී තායිවානයේ ලුෂු දිස්ත්‍රික්කයේ ටායුවාන් නගරයේදීය. එවග්‍රීන් ලොව වඩාත් ප්‍රකටව ඇත්තේ කන්ටේනර් හෙවත් බහාලුම් ප්‍රවාහනය කෙරෙන වෙළෙඳ නාවික සමාගමක් ලෙසය. තායිවානය මූලස්ථානය කරගෙන නැගෙනහිර ආසියාවේ සිට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, දකුණු ඇමෙරිකානු කලාපය මෙන්ම පර්සියානු ගල්ෆ් හා රතු මුහුදු තීරයද එවග්‍රීන් වෙළෙඳ නෞකා බහුලව සේවය ලබා දෙන ගමනාන්තයන් වේ. කන්ටේනර් හෙවත් බහාලුම් ගෙන යා හැකි යෝධ නැව් එකසිය හැටකට වඩා එවග්‍රීන් සතුය. පසුගියදා සුවස් ඇළ මාර්ගයේදී හරස් වූ නැව, ඔවුන් සතු විශාලතම නෞකාවකි. භාණ්ඩ ප්‍රවාහන සේවාවන් ලබා දෙන වෙළෙඳ නාවික සමාගම් අතරින් ලොව සිව්වැනියට විශාලතම සමාගම මෙය බව සඳහන් වේ. එහෙත් තායිවානයේ එවග්‍රීන් සමාගම පවසන්නේ වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේදී සුවිශේෂි දායකත්වයක් නොනැසී ලබාදෙන සමාගම තමුන් බවය. සමාගම පටන්ගත් සමයේ සිට අඛණ්ඩව ලබා දෙන විශිෂ්ට සේවය නිසා එවග්‍රීන් හට ලොකු ප්‍රසාදයක් හිමිව ඇති බවද ඔවුන් සඳහන් කරයි. ලෝකයේ ඉහත සඳහන් කළ කලාප වල ඇති වරායන් 240 කට එනම් රටවල් 80ක පමණ වරාය සඳහා මෙම එවග්‍රීන් නෞකා ගමනාන්ත ගත වේ.  
1975 දී ඇති වූ ලෝක තෙල් අර්බුදයේදී නැව් කර්මාන්තය අඩපණ වුවද බහාලුම් ප්‍රවාහන නෞකා පවත්වාගෙන යාමට එවග්‍රීන් සමත්වූයේ ඊට විසඳුම් ඔවුන් සතු වූ නිසාය. 1984 දී තවත් පියවරක් ඉදිරියට ගියේ, නැගෙනහිර සහ බටහිර ගමනාන්ත කර ගනිමින් ලෝකය ආක්‍රමණය කළ නිසාය. මෙලෙසින් සප්ත මහා සාගරය කලාපීය වශයෙන් ජයගත් එවග්‍රීන්ලා තම නාවික යාත්‍රා සහ නෞකා වෙනුවෙන් සේවා ලබාදීම නැතිනම් නඩත්තු කටයුතු සිදුකිරීම වෙනුවෙන් සේවා ස්ථාන 315ක් පමණ ස්ථාපිත කර තිබේ. රටවල් 114ක සේවා ආවරණයක් ඒ මගින් සිදු කෙරේ. 1999 දී පමණ එවග්‍රීන් මුහුදු යාත්‍රා පුහුණු මධ්‍යස්ථානය පිහිටුවනු ලැබුවේ යාත්‍රා ආරක්ෂිතව යාත්‍රා කරවීමට සැලැස්වීම සහ මුහුදු සීමාවේදී සිදුවිය හැකි දූෂණ වළක්වා ගැනීම වෙනුවෙනි. අති නවීන පහසුකම් රැසක් යටතේ නාවික ක්ෂේත්‍රයට අයත් අංශ ගණනාවකට පුහුණු පහසුකම් සහ සේවා ඒ මගින් ලබා දීම සිදු කරයි. ගෝලීයකරණය වීමත් සමග එවග්‍රීන් ක්‍රියාත්මක වෙන්නේ දියුණු පරිගණක තාක්ෂණයේ සහාය ඇතිවය. ලෝකයේ ඔවුන් සතු ඕනෑම තැනක ඇති නැවක විස්තර නිරන්තරයෙන් විෂ්ලේෂණය කිරීමේ සහ දත්ත යාවත්කාලීන කර ගැනීම ආදි සියල්ල මෙම පරිගණක මෙහෙයුම් මගින් සිදුකරයි. එවග්‍රීන් ලෝකයේ ප්‍රකටව ඇත්තේ වෙළෙඳ නාවික අංශය පමණක් නිසාම නොවේ. බහාලුම් තැනීම, නැව් නිර්මාණය කිරීම, වරාය කළමනාකරණය, ඉංජිනේරු සේවා සහ දේපළ වෙළෙඳාම් සංවර්ධනය ආදි අංශ නිසාය. මෙම එවග්‍රීන් බිහි කළ යකඩ මිනිසා කවුද කියා අපි මොහොතකට විපරම් කර බලමු.   


Yung - Fa Chang  
යන්ග් ෆා චැං  


1968 සැප්තැම්බර් 1 වැනිදා යන්ග් ෆා චැං විසින් මෙම සමාගම ආරම්භ කළේ සෙන්ට්‍රල් ට්‍රස්ට් නම් වූ තනි භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඇතිවය. එක් නෞකාවකින් පටන් ගත් ගමන ඔහු තේමා කර ගත්තේ ඕනෑම තැනකට යන්න. යන තේමා පාඨය සමඟය. කවුද මේ යන්ග් ෆා චැං?   


චැං යන්ග් ෆා නමින් ඔහු උපත ලැබුවේ 1927 ඔක්තෝම්බර් 6 වැනිදා තායිවානයේ සුආඹ් (su'ao) නුවරදීය. තායිවානය එවකට පැවතියේ ජපාන අණ පනත්වලට නැතිනම් ජපාන අධිරාජ්‍යයට නතුවය. සුආවෝ නගරයේදී උපත ලබා කුඩා කාලය ගෙවමින් සිටි ෆා හත්වැනි වියේදී කීලංග් නගරයට සේන්දු වූයේ ඔහුගේ පවුලේ උදවිය එහි පදිංචියට ආ බැවිනි. Keelung (කීලංග්) යනු වරාය නගර කලාපයකි. මේ වරාය නගරයේ සිදු වෙන්නා වූ බොහෝ දේ කුඩා ෆා සියැසින් දැක ගත්තා පමණක් නොවීය. මටත් කවදාහරි දවසක මේ වගේ නැව් යන එන තැනැක් හදාගන්න පුළුවන් නම් යන සිතිවිල්ල ඇතිව හැදී වැඩිණි. වයස අවුරුදු 18 දී උපාධිය ලද හේ සුආඹ් සිට තායිපේ අගනගරය බලා ආයේය. ඇවිත් නාවික සේවා ලබා දුන් ජපාන සමාගමක කාර්යාලයේ සේවකයකු ලෙස රස්සාවක් කිරීමට පෙළැඹිණි. රැකියාව කරන අතරේ දිගින් දිගටම උසස් අධ්‍යාපනයෙහි නිරත වූ ඔහු තායිපෙහි වෘත්තීය පුහුණු පාසලකට ගොස් උගත්තේ රාත්‍රී කාලයේදීය. මේ සියල්ල ඔහු කළේ සිහිනයක් දරාගෙනය. ඒ සිහිනය සැබෑ කර ගැනීමට නම් අතිශයින්ම කැපවිය යුතුය යන්න හේ නිරන්තරයෙන් විශ්වාස කළේය.  


දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේදී මුහුදු යාත්‍රාවක සේවයට එක්වූයේ තෙවැනි නිලධාරියකු ලෙසය. ඉමක් කොණක් තෙරක් නොපෙනෙන මහා සාගරයේ මාස ගණනක් ගත කිරීමට සිදුවුවද එහි සේවය කිරීමට දැඩිව සිතා ගත්තේ අත්දැකීම් ලබා ගැනීම වෙනුවෙනි. යුද බියෙන් ලෝකයම ඇලලී ගිය සමයක වැරදීමකින් හෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ නම් නැව ගිනි බත් වීමට ඉඩ තිබිණි. 

 
එහෙත් ඒ සියල්ල ගැන සුබවාදීව අදහස් දැරූ ෆා මෙලෙසින් රැකියාවට එක්ව විවිධ සමාගම් වල සේවය කරමින් නාවික ක්ෂේත්‍රයේ කැප්ටන් හෙවත් කපිතාන්වරයා දක්වා සේවයෙන් ඉහළට පිය මැන්නේය. ගෙවී ගිය ඒ කාලයේදී නාවික ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් ග්‍රහණය කර ගැනීමට ඔහු හැකිවිණි.   


එවග්‍රීන් වෙනුවෙන් අත්තිවාරම දැමීම  


එලෙසින් ගමනක් එමින් සිටි චැං යන්ග් ෆා හට 1961 දී අලුත් අදහසක් ඇතිවිණි.   


නැව් සමාගමක් පටන් ගත්තොත් හොදයි යන්න ඒ අදහස විය. ඒ අනුව තවත් මිතුරන් කීප දෙනෙකු සමග එක්ව නාවික ක්ෂේත්‍රයේ සේවා සපයන සමාගමක් ආරම්භ කළේය. එය දියුණු කරවීමට උරදුන් ඔහු පසුව එම සමාගමේ ශාඛාවක් තමාගේ තනි නායකත්වය යටතේ ඇරඹීමට තීරණය කළේය. එවග්‍රීන් මැරීන් කෝපරේෂන් නමින් 1968 සැප්තැම්බර් මස 1 වැනිදා ස්ථාපිත කරවූයේ ඔහුගේ ඒ සමාගමය. එම සමාගමේ සේවා සැපයීම හෙවත් වෙළෙඳ නාවික යාත්‍රව ලෙස ටොන් 15,000ක් බරැති සෙන්ට්‍රල් ට්‍රස්ට් නම් වූ නෞකාව යොදා ගැණිනි.   


එක් නෞකාවකින් වෙළෙඳ නාවික ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ෆා ඊළඟ සිව් වසර වනවිට නැගී සිටියේ භාණ්ඩ ප්‍රවාහන නෞකා දොළහකට පමණ හිමිකම් දරමිනි. එයින්ද වසරකට පසුව චැං යන්ග් ෆා තම ව්‍යාපාර සේවාව මැද පෙරදිග කලාපය සහ කැරිබියානු දූපත් කලාපය දක්වා දියත් කිරීමට පියවර ගත්තේය. ලෝකයට වඩාත් අත්‍යාවශ්‍ය වෙන්නේ මෙම බහාලුම්කරණ සේවාව යැයි විශ්වාස කළ ෆා බහාලුම් හෙවත් කන්ටේනර් ප්‍රවාහනය කළ හැකි නෞකා හතරක් නිෂ්පාදනයට අත ගැසුවේ 1975 දී පමණය. මෙම නෞකා ඇමෙරිකානු කලාපයේ නාවික සංස්ථා වලට සේවා ලබා ගැනීම වෙනුවෙන් ලබා දීමට පියවර ගත් ඔහු තවත් දශකයක් ඉක්ම යන විට සාගර කලාප ආක්‍රමණය කර ගනිමින් රටින් රට තොටින් තොටට පිවිස මුළු ලෝකයම වාගේ අල්ලා ගැනීමට සමත් වුණි. එවග්‍රීන් යන නාමය සහිතව ඔහු සේවා සැපයුවේ භාණ්ඩ ප්‍රවාහන නෞකා මගින් පමණක් නොවේය. කර්මාන්ත ක්ෂේත්‍රයේ යෝධ නිෂ්පාදන ක්‍රියාවලියකට එළැඹි අතර ගුවන් ප්‍රවාහන සංචාරක හෝටල ආදි දේ සමඟ එවග්‍රීන් විවිධ අංශ ඔස්සේ ව්‍යාප්ත කරවීමට සමත් විණි. චැං යන්ග් ෆා වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ රන් තරුවක් යැයි සඳහන් කිරීම වටී. එතරම්ම සේවයක් ඔහුගෙන් සිදුවී තිබේ. ඔහු නාවික ක්ෂේත්‍රයට කළ සේවය උදෙසා කැලිෆොර්නියා දකුණු කැරොලිනා තායිවාන් සාගර සරසවිය එංගලන්තයේ ට්‍රෙන්ට් තායිවානයේ ටංග් ඇතුළු සරසවි වෙතින් ගෞරව ආචාර්ය උපාධි පිරිනමා ඇත. ඊට අමතරව ඇමෙරිකාවේ හූස්ටන් සරසවියෙන් ගෞරව මහාචාර්ය උපාධි තත්ත්වයට පවා ඔහු හට පිරිනැමීය. ඊටත් අමතරව ලද සම්මාන අගැයීම් නම් බොහෝය. එවග්‍රීන් තැනූ මේ යකඩ මිනිසාගේ පුද්ගලික ජීවිතය ගැන කතා කළොත් ඔහු දෙවරක් විවාහ වූවෙක් විය. පළමු බිරිඳගේ නම ලින් චින් චිග්ය. ඒ විවාහයෙන් ලද දරුවන් සතර දෙනෙකි. දෙවැනි විවාහයේ බිරිඳගේ නම ලී යූ මෙයි ගෙන් තවත් දරුවකු විය. විශාල ධනස්කන්ධයකට උරුමකම් කී සප්ත මහා සාගරය දෙබෑ කරගෙන ගමනක් ගිය චැං යන්ග් ෆා වයස අවුරුදු 88ක් ආයු වළඳා ස්වකීය ජීවිත ගමනෙන් සඳහටම සමුගත්තේ 2016 වසරේදීය.   


එවග්‍රීන් සතු එවර්ගිවන්  
යෝධ නෞකාව මොනවගේද?

  
එවග්‍රීන් නැව් සමාගම සතුව ගෝල්ඩන් ක්ලාස් හෙවත් රන් ප්‍රමිතිය යටතේ නිපදවූ නෞකා 11ත් සතුය. ඒවායින් තනිකරම සිදු කරනු ලබන්නේ කන්ටේනර් ප්‍රවාහනය කිරීමය. එවර්ගිවන් යනු මෙම ගෝල්ඩන් ක්ලාස් එකට අයත් තවත් නෞකාවකි. මෙය හැඳින්වෙන්නේ ලොව දැනට නිෂ්පාදිත විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ලෙසය. එවර් ග්‍රීන් යටතේ මෙම නෞකාව සේවා සැපයුවද මෙම සුවිශාල නැව අයත් වෙන්නේ ජපාන නෞකා නිෂ්පාදන සමාගමක් වන ෂෝයි කිසෙන් කීෂා සමාගමටය. එවග්‍රීන් සමාගම මෙම නෞකාව දීර්ඝ කාලීන බදු පදනම යටතේ ලබාගෙන ඇත. ජපානයේ ඉම්බරි නෞකා නිෂ්පාදන සමාගම මෙම නෞකාව නිෂ්පාදනයට හවුල් වූ බව සඳහන් වේ. එනම් මෙහි නිර්මාණ සැලසුම කළේ අයිමබාරි හෙවත් ඉම්බරි සමාගමය. මෙම යෝධ නෞකාවේ බර ටොන් 220,940 කි. දිග අඩි 1312කි. බඳෙහි පළල අඩි 192කි. ජලය මත බඳෙහි ගැඹුර අඩි 33කි. නාවුක සැතපුම් 22.8 ක වේගයකින් යාත්‍රා කළ හැකිය. කිලෝ මීටර වලින් නම් පැයට සැතපුම් 42-2ක් පමණ වේ.   


2015 දි දියඹට මුදාහැරී මේ නෞකාව නිල වශයෙන් සේවා සැපයීම ආරම්භ කළේ 2018 වසරේදීය. මෙම යෝධයා ගමන් අරඹන්නේ පැනමාවේ පැනමා සිටි නගරයේ සිටය.

 

එවර්ග්‍රීන් සමාගමේ ගුවන් යානයක්

   
ඊවා එයාර්  


එවර් ග්‍රීන් සතුව ඇත්තේ භාණ්ඩ ප්‍රවාහන නෞකා පමණක් නොවන වග අපි සඳහන් කළෙමු. සැබැවින්ම එවග්‍රීන් යනු සාගරයේද ගුවනද ජයගත් සමාගමකි. Eva Air යනු එවග්‍රීන් සමූහය සතු ගුවන් සේවයයි. උතුරු ඇමෙරිකාව, යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියානු මහද්වීපය ඇතුළු කළාප වල සේවා සපයන මෙම ගුවන් සේවය රටවල් 40කට පමණ ගුවන් සේවා පහසුකම් ලබාදීම සිදු කෙරේ.   


එවග්‍රීන් ජාත්‍යන්තර හෝටල සමූහය.  


එවග්‍රීන් සමූහය සතු සංචාරක හෝටල නාමය වෙන්නේ එවග්‍රීන් ඉන්ටර්නැෂනල්ය. තායිවානයේ කීලංග් තායිපේ, තායිචංග් නගරවලට අමතරව ප්‍රංශයේ පැරිස් නුවර, තායිලන්තයේ බැංකොක් නුවර සහ මලයාසියාවේ පීනෑන් නුවර එවග්‍රීන් හෝටල් ස්ථාපිත කර තිබේ.  


මෙලෙසින් එවග්‍රීන් සමූහ සමාගමක් බවට පත්වූයේ 1975 වසරේදීය. මෙම සමූහය බිහිකිරීමට පුරෝගාමී වූ ආචාර්ය වැං යන්ග් ෆා මිය යාමට පෙර කී සඳහනක් සටහන් කිරීම අගනේය.   


අපි බොහෝ දේ ලබා ගත්තේ සමාජයෙනි. එනිසා නැවත අපි සමාජයට ආපසු අපෙන් බොහෝ දේ ලබා දිය යුතුයි.   


එසේ කී ඔහු එය ප්‍රායෝගික කළේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් සහ අධ්‍යාපනය මෙන්ම සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය උදෙසා මෙන්ම සදාචාරාත්මක ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා ආධාර උපකාර කිරීම වෙනුවෙන් චැං යන්ග් ෆා පදනම ස්ථාපිත කරවමිනි. එවග්‍රීන් හෙවත් සදාහරිත යන තේමාව යටතේ වූ මෙම සමාගම තායිවානයට මහා ධනස්කන්ධයක් උපයා දුන් සමාගමක් මෙන්ම තායිවානය ලෝකයට ගෙන ගිය නාමයකි.

 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ