​ලෝක උරුමයක් වෙන්න යන අපේ මහාවංශය


 

ගෙවුණු දශක කීපය තුළ රට තියෙන තැන අදාළම නැත. ලෝක ඉතිහාසය තුළින් ගත් විට අපේ රටට ප්‍රෞඪ උරුමයක් හිමි අගනා ඉතිහාස කතාවක් ඇත. ඒ ඉතිහාසය වෛවර්ණ කර ගැනීමට අපේ රටේ මෑත කාලීන පාලකයෝ කවරක් කළේ දැයි ඔබටත් යම් දැනුමක් තිබිය හැකිය.   


කෙසේ වෙතත් ලෝකයේ පැරණිම ජාතියක් හැටියට සිංහලයා විශ්වකර්ම වැඩ කළ අමුතු මිනිස්සු කොටසක් බව අපේ වංශ කතා ටික පෙරළා බැලීමේ දී පෙනේ. මෙවැනි මහා ඉතිහාසයක් ලෝකයේ සෙසු රටවල් හා සසඳද්දී හමුවන්නේ කලාතුරකිනි. ඒ අතින් සිංහලයා ඉදිරියෙනි. තමන්ගේ රටේ ඉතිහාසය වසර දහස් ගාණක් තිස්සේ අඛණ්ඩව ලියූ රටක් හැටියට අපේ රට ලෝක වංශකතාවට නිල වශයෙන් ඇතුළු වීමට සූදානමින් සිටියි.   


ලංකාවේ පැරණිම මහා වංශය සොයා එය ලෝක උරුමයක් ලෙස නම් කිරීමට මේ වනවිට කටයුතු සම්පාදනය වෙමින් පවතියි.   


ඒ අනුව දැනට ලංකාවේ හමුවන පැරණිම මහා වංශ පුස්කොළ පොත පිළිබඳ තොරතුරු හමුවන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. 

 
මේ පිළිබඳව හා මහා වංශ සැලසුම පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය රෝහිත දසනායක මහතාගෙන් අප විමසීමක් කළෙමු.   


ක්‍රි.ව. 1850 දී යටත් විජිත භාර ලේකම්ව සිටි එමර්සන් ටෙනන්ට් මහතා, ලංකාව පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් පැවැති අයකු බව තොරතුරු අනුව පෙනේ. ඔහු විසින් ‘සිලෝන්’ නමින් පොතක් ද ලියා පළ කර ඇත.   


ඔහු ලංකාව පිළිබඳ ඉතා වැදගත් සාධක දෙකක් මතුකර පෙන්වීය. ඔහු ප්‍රකාශ කරන පරිදි, “ලෝකයේ අඛණ්ඩව තම ඉතිහාසය ලියූ ජාතියක් වේද ඒ සිංහලයෝ ය” යැයි ඔහු කියයි. ඊළඟට ඔහු කියන්නේ ලෝකයටම වාරි තාක්ෂණය හඳුන්වා දුන් පිරිසක් සිටියානම් ඒ සිංහලයෝ බවය.   


අඛණ්ඩව ලිඛිත ඉතිහාසයක් හමුවන ප්‍රධාන රටවල් අතර ලංකාව ද ප්‍රමුඛ වේ. ලංකාවටත් වඩා පැරණි ඉතිහාසයක් ලියැවී ඇත්නම් ඒ චීනයේ පමණි. ලංකාවේ ඉතිහාසය ලියන්නට වසර දහස් ගණනකට පෙර සිට චීනය තම ඉතිහාස ලිවීම අරඹා ඇත. මුලින්ම චීන ඉතිහාසය උණ පතුරුවල ලියා ඇත.   


මහා වංශය යනු ලංකාවේ ඉතිහාසය තහවුරු කරන ප්‍රධාන ග්‍රන්ථයයි. මුල්ම මහා වංශ අත්පිටපත ක්‍රි.ව. හයවැනි සියවසට අයත්ය. එය අදට අපට තියෙන පැරණිම ඉතිහාස සාක්ෂියයි. මහා වංශය ලිවීමට පාදක කරගත් ඉතිහාස ග්‍රන්ථ කීපයක් ගැන මහා වංශ ටීකාවේ සඳහන් වී ඇත. ඒවා දැනට හමු නොවන නිසා මහාවංශය පැරණිම ලිඛිත ඉතිහාස සාධකයක් බවට පත් වේ. වංශ කතා සම්ප්‍රදායක් අනුරාධපුර යුගයේ මුල් භාගයේ තිබී ඇත. දීපවංශය ලියැවී ඇත්තේ මහා වංශය ලිවීමට සියවසකට පමණ පෙර බව විශ්වාස කරයි. එය අනුරාධපුර යුගයේ භික්ෂුණීන් ලියන ලද ලාංකීය ඉතිහාසය ඇතුළත් ග්‍රන්ථයකි. නමුත් මහා වංශය තරම් තොරතුරු මෙහි ඇතුළත් නොවේ.   


අප දැනට පිළිගන්නා මහා වංශය ලියැවීමට අවුරුදු 500කට පමණ පෙර සිංහලෙන් ලියැවුණු තවත් මහා වංශයක් තිබී ඇත. ඒ ‘සීහල අට්ඨ කතා මහා වංශය’ නම් වේ. එහි කිසිම පිටපත් මෙතෙක් හමු වී නැත. නමුත් අනුරාධපුර දික්සඳ පිරිවෙනේ වැඩසිටි මහානාම හිමියන් ක්‍රි.ව. හයවැනි සියවසේ දී මහාවංශය ලියද්දී, සීහල අට්ඨකතා මහාවංශය උපයෝග කරගත් බව මහාවංශ ටීකාවේ සඳහන් වෙයි. මේ සීහල අට්ඨකතා මහාවංශය පැවති සමයේම අභයගිරි විහාර වංශික භික්ෂූන් ‘උත්තර විහාරට්ඨ වංශ කතාව’ ලියා ඇත. එය ද, මහා වංශය ලිවීමේ දී මහානාම හාමුදුරුවෝ උපයෝග කොට ගෙන ඇත.   


මේ උත්තර විහාරට්ඨ වංශ කතාවත් දැනට හමු වී නැත. නමුත් එය ලංකාවේ නොපැවතියත් ජර්මනියේ පවතින බවට ඉඟියක් හමු වී ඇත. මේ පිළිබඳ වැඩිදුර කරුණු හා සොයා බැලීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස ආචාර්ය රෝහිත දසනායක මහතා සිදු කරගෙන යයි. ලංකාවේ බොහෝ පැරණි පුස්කොළ පොත් යටත් විජිත සමයේ දී යුරෝපා රටවලට ගෙන ගොස් ඇති බවට සාධක ඇත. එම පැරණි පුස්කොළ පොත් යුරෝපා රටවල කෞතුකාගාරවල අදත් දැකිය හැකි වේ.   


පොළොන්නරු යුගයේ කාලිංග මාඝගේ බලය පැවැති සමයේ ඔහු පුස්කොළ පොත්වල කම්බාවෙන් නූල ඉවත්කර ඒවා ගිනි තබන මානසිකත්වයක පසු වී ඇත. එවැනි දෙයක් කිරීමෙන් මාඝ සතුටක් ලැබූ බව ඉතිහාස තොරතුරු අනුව පෙනේ. එයින්ද අපට බොහෝ පුස්කොළ පොත් අහිමි වී ගියේය.   
මහානාම හාමුදුරුවෝ ලියූ මහාවංශ අත්පිටපත දැනට හමු නොවේ. ඒ මහාවංශ කතාව බලාගෙන යම් මහ තෙරනමක් එලෙසම ලියූ (පිටපත් කළ) පැරණිම කොපිය මහාවංශ පැරණි පිටපත සෙවීමෙහි දී සොයා බලයි. එසේ පිටපත් කෙරුණු පැරණිම හා අංග සම්පූර්ණම පුස්කොළ මහාවංශ පොත් අතර පැරණි කෘතිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු යැයි දැනට හඳුනා ගනිමින් තිබේ.   


අපේ රටේ මහාවංශයේ පාලි ගාථා 2915 ක් ඇතුළත් වේ. ක්‍රි.ව. 12 වැනි සියවසේ දී පොළොන්නරුවේ රාජ්‍ය විචාල මහා පරාක්‍රමබාහු රජුගේ දියණියක් කාම්බෝජ රජ පවුලේ පුත්‍රයකුට විවාහ කර දී ඇත. එදා ලංකාවේ පැවැති මහාවංශ පිටපතක් කාම්බෝජයට රැගෙන ගොස් එරට භාෂාවෙන් මෙය ලියා ඇත. මෙම මහාවංශය ‘විට්ටාරික මහාවංශය’ නමි. මෙහි ගාථා 5772 ක් ඇතුළත් වේ. ඊට හේතුව ඒ ඒ කාල පරිච්ඡේදවල මහාවංශයේ පැවැති වෙනස්කම්ය.   


මහාවංශය වෙළුම් කීපයකින් සමන්විත ය. මෙහි පළමු වෙළුම පළමු පරිච්ඡේදයේ සිට 37 වැනි පරිච්ඡේදය දක්වා ඇතුළත් වේ. මේ පරිච්ඡේද 37 ලියා ඇත්තේ ධාතුසේන රජ සමයේ දී මහානාම හිමියන් විසිනි. පළමු වෙළුම මහසෙන් රජුගේ සමයෙන් තොරතුරු අවසන් කර ඇත.   


දෙවැනි වෙළුම 38 වැනි පරිච්ඡේදයේ සිට 99 පරිච්ඡේදය දක්වා ඇතුළත් වේ. ක්‍රි.ව. 301 දී කිත්සිරි ශ්‍රී මේඝවර්ණ රජ සමයේ දී දළද‌ා වහන්සේ වැඩමවීම සිට ක්‍රි.ව. 1815 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන් යටතට පත්වීම දක්වා තොරතුරු මෙහි ඇතුළත් වේ.   


මෙහි පරිච්ඡේද එකම භික්ෂුවක් විසින් සටහන් කළ බව කිව නොහැක. සමහරු මේ දෙවැනි වෙළුම චූලවංශය නමින් ද හඳුන්වති. මහාවංශ දෙවැනි කොටස චූලවංශය ලෙස දැක්වීම කිසිම ආකාරයකින් තාර්කික නොවන්නකි. කෙසේ වෙතත් මෙහි කතුවරුන් ලෙස මහා පරාක්‍රමබාහු රජ සමයේ වැඩසිටි ධර්මකීර්ති නම් තෙර නමක්, මොග්ගල්ලාන නම් තෙර නමක් ගැන සඳහන් වේ.   


මේ දෙවැනි වෙළුමේ 88-99 (අවසන් පරිච්ඡේද 10) ලියා ඇත්තේ තිබ්බොටුවාවේ සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නම් හිමිනමකි. උන්වහහන්සේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ අපවත් වී ඇති අතර උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරු එතැනින් එහා කොටස හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන් යටතට පත්වීම දක්වා ලියන්නට ඇතැයි විශ්වාස කරයි.   


දැනට ලංකාවේ හමුවන පැරණිම මහාවංශ පුස්කොළ පොත දෙවැනි වෙළුමද සහිත පළමු පරිච්ඡේදය සිට 99 වැනි පරිච්ඡේදය දක්වා ඇතුළත් කොටසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාවංශ පිටපත් හතක් ඇති අතර එයින් තෝරාගත් එකක් පැරණිම මහාවංශය බවට තහවුරු කෙරෙමින් පවතී. ලෝක උරුමයක් බවට පත් වන්නේ අංග සම්පූර්ණ කරුණු සහිතව සත්‍ය ලෙසම ඇති මේ මහාවංශයයි.   


මෙම මහාවංශ පුස්කොළ පොත ඉතාම පැහැදිලිව සියුම්ව පුස්කොල පොත් ලිවීමේ පරතෙරට පැමිණි මහතෙර නමක් පිටපත් කරන්නට ඇති බව විශ්වාස කරයි. එය කොතරම් සියුම්ව ලියා ඇත්ද යත් අවුරුදු 15-20 ක් විතර උන්වහන්සේට මේ සඳහා ගත වන්නට ඇතැයි සිතීමට තරම් එය සාර්ථකය. මෙය ලෝක උරුමයක් බවම දැන උන්වහන්සේලා ලියූ තරමට මේ වහාවංශය සාර්ථකය.


යුනෙස්කෝව මගින් මහාවංශය ලෝක උරුමයක් බවට පත් කිරීමේ මහාවංශය තේරීම් මණ්ඩලයේ රජය, සංස්කෘතික අමාත්‍යාංශය, සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක, ආචාර්ය රෝහිත දසනායක, ආචාර්ය වීකඳවල අමිත රතන හිමි ඇතුළු පිරිසක් කටයුතු කරයි.   


පැරණිම මහාවංශය සොයා මෙලෙස කටයුතු සිදු වූවත් දැනට පොතක් ලෙස මුද්‍රිත මහාවංශය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සමයන්හි විස්තර සහිතව ඇතුළත් කර ඇත. එය සංස්කරණය කර ඇත්තේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මූලිකත්වයෙන් බටුවන්තුඩාවේ පඬිතුමා විසිනි. 

 
ක්‍රි.ව. 1815 සිට 1935 දක්වා මහාවංශයේ වෙළුම යගිරල පඤ්ඤානන්ද හිමියන් විසින් ද, ක්‍රි.ව 1936-1956 කොටස ආචාර්ය නන්දදේව විජේසේකර මහතා ඇතුළු සම්පාදක මණ්ඩලයක් විසින්ද, ක්‍රි.ව . 1956-1978 දක්වා වෙළුම බෙල්ලන ශ්‍රී ඥානවිමල මහ නාහිමි විසින්ද, 1978-2010 දක්වා කොටස මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය ඇතුළු මණ්ඩලයක් විසින් ද සම්පාදනය කර ඇත.   

 

සටහන - අසංක ආටිගල