​බොරු ප්‍රශ්න නිසා යට යන ​බොරු ප්‍රශ්න නිසා යට යන ජීවන වියදම් ප්‍රශ්නය


ජනතාවගේ සැබෑ ප්‍රශ්නය ජීවන වියදම් ප්‍රශ්නයයි

 

 

කොවුල් නාදය වෙනුවට රටට කණ කොකා හඬවමින් ඉකුත් නව අවුරුදු සමය ගෙවීගියේය. එක් ජන කොටසකට එරෙහිව විවිධාකාර රැලි, විරෝධතා මතුවිය.


එද‌ා මෙද‌ා තුර රටේ සිදුවූ දෑ පිළිබඳව සැලකිල්ලෙන් විමර්ශනය කරන විට 300 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් පූජාකර නුදුරු අනාගතයේදී සිදුවීමට තිබූ මහා විනාශයකින් රට යන්තමින් ගැලවී ඇති බව පෙනී යයි. ව්‍යසන සමයේදී රටේ ජනතාව සැවොම ඒ පිළිබඳවම උනන්දුවකින් පසුවූ අතර මේ නිසා ගෙවී ගිය කාල සීමාවේදී රටට, රටේ ආර්ථිකයට තවත් සරලව පැහැදිලි කරන්නේ නම් අපේ පොකට්ටුවලට තට්ටුවන ආකාරය ගැන කිසිවෙක් කිසිවක් නොසිතීය.


අප්‍රියෙල් ප්‍රහාරයෙන් රටට අහිමිවූයේ විදේශ විනිමය පමණක් නොවේ. උද්ධමනය ඉහළ ගොස් ඒක පුද්ගල ආද‌ායම පහළ බැස ජීවන වියදමට ද කණකොකා හැඬීය. එළුවාගේ අර මොකක්ද එක බිම වැටෙන තුරු ඌ පසුපස ගියාක් මෙන් රටේ ජනතාව සහරාන් පසුපස යමින් ඒ වෙනුවෙන් ආණ්ඩුව කරන කියන දෑ පිළිබඳව කටවල් ඇරගෙන බලා සිටින විට විවෘත ආර්ථික මාරයා තුළ බොර දියේ මාළු බාන මහා පරිමාණ සමාගම් ඇතුළු පෞද්ගලික අංශය හිතූ හිතූ ලෙසට අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර හා භාණ්ඩ මිල ගණන් ඉහළ දැමුයේ ජනතාවට ඔච්චමට මෙනි.


ප්‍රහාරය පිළිබඳව නොයෙක් නොයෙක් ‘කොමිසන්’ දමමින්, පරීක්ෂණ ආරම්භ කරමින් ප්‍රහාරකයන්ගේ ‘අලගිය මුලගිය තැන් හොයමින් ආණ්ඩුව ද ජනතා අවධානය ඒ වෙතම නතු කරගෙන සිටීමෙන් පෙනීයන්නේ සිදුවන කලබැගෑනිය හොඳින්ම දැන සිටි බවකි.


පසුගිය කාලය තුළදී ආණ්ඩුව විසින් ගත් ණය ඩොලර් කෝටි ගණන් ගෙවා දැමීමට සුපුරුදු ලෙසටම ජනතාව මත බදු පිට බදු බර පැටවීය. පාලක පන්තියේ මෑණියන් වහන්සේලා, නිතර දෙවේලේ සිහිපත් කරමින් මේ සියල්ල ඉවසනවා හැරෙන්නට ජනතාවට විකල්ප නොවිණ. ජංගම දුරකථනයක රු. 100 රීලෝඩ් එකක් දැමූ විට එයින් 3/4 ක්ම බදුවලට කැපී යන විට ජනතාවට ඉතිරිව තිබුණේ දුරකථන පොළොවේ ගැසීම පමණකි.


බහුජාතික සමාගම් ගිනි පෙට්ටියේ පටන් රූපවාහිනිය ඇතුළුව සහල්, සීනි, පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් 500% කින් ඉහළ දැමීය.


අද දිනයේ කඩයට ගොස් මිලදී ගන්නා සබන් කැටයේ මිල හෙට උදේ වන විට තවත් රුපියල් ගණනකින් වැඩි වී තිබෙනු ඇත. මේ වන විට සාමාන්‍ය ප්ලේන්ටියක මිල රු.15, 20 හෝ 25 ක් අතර වේ. කිරි තේ එකක් රු. 50 කි. රු. 60, 70 අතර තිබූ ‘මාතර බත් කඩයේ’ උදෑසන කෑම පාර්සලය ද රු. 80, 100 වී තිබේ. අනෙක් හෝටල්වල ගණන් ඊටත් වැඩියි.
උදේ සිටම ඉතුරුවන කුණු ජරාව යොද‌ා රෑට හදන කොත්තු රොටිය ද ‘හැටට හැටේ’ ගණන් උස්සා ඇත. තුන් වේල බත් කන දරු පවුලකට නම් එකවර කඩෙන් සහල් කිලෝ 5 ක් ගන්නට තරම් වත්කමක් නැත. සම්බා හාල් දෙස බැලීමට වත් නොහැකිය. හඳටත් එහා ගොස් තිබූ පොල් මිල මේ වන විට යන්තම් අතින් ඇල්ලිය හැකි තරමට පහළට පැමිණ ඇත.
මිල සූත්‍රය නම් වන ප්‍රෝඩාවට මුවා වී ආණ්ඩුව සෑම මාසයකටම වරක් ඉන්ධන මිල ඉහළ දමයි. මෙවර එය සුළු ගණනකින් මිල පහත දමා තිබේ. තෙල් මිල ඉහළ යනවාටත් වැඩි ඉක්මනින් එම මිල ගණන් වලට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු වැඩිවන තරමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ යන නමුත් ඉන්ධන මිල පහත වැටුණු විට මේවායේ මිල ගණන් පහළ දැමෙන්නේ නැත.


සීනි කිලෝවක මිල රුපියලකින් ඉහළ ගිය විට තේ කෝප්පය රු. 05, 10 න් වැඩි කෙරෙයි. පුංචිම පුංචි තේ වීදුරුවකට හෝටල් හිමියාට සීනි තේ හැන්දක්වත් වැය වන්නේ නැත. අගනුවර හා ප්‍රධාන, උප ප්‍රධාන, නගරවල වෙසෙන්නන් වැඩි දෙනෙකු රාත්‍රී ආහාරය සඳහා ගනු ලබන්නේ කඩ කෑමය. මේ වන විට ‘රයිස්’ පාර්සලයක් රු. 350 ත් 400 ත් අතරය. කාලා හමාරය. ආණ්ඩුව බදු ඉහළ දැමූ විට එද‌ා රු. 140 ක්ව තිබූ ටින් මාළු මේ වන විට 200, 250 දක්වා ඉහළ ගොස්ය. දැන් සැමන් සාමාන්‍ය ජනතාවගේ ආහාරයක් නොව සුඛෝපභෝගී ගණයට වැටී තිබේ.


මේ වන විට රටේ එක ඉහළම ඉහළ පැලැන්තිය හැරුණු විට සාමාන්‍ය ජනතාව කබලෙන් ළිපටත් වැටී හමාරය. දැන් පිච්චි පිච්චි විඳවති. බදු වැඩිවන තරමට ආහාර මිල ඉහළ යන තරමට වැඩකරන ජනතාවගේ පඩි පත වැඩිවූයේ නැත. පොකට් එක හිස්ය. ඕනෑම ආණ්ඩුවක් සිතා සිටිනුයේ ජීවත් විය යුත්තේ රාජ්‍ය සේවකයන් හා ඔවුන්ගේ දරු පවුල් පමණක් යැයි කියා බව පෙනෙන්නට තිබෙන්නේ සොච්චමකින් වුවත් හැම විටම වැඩි කෙරෙන්නේ රාජ්‍ය අංශයේ වැටුප් පමණක් වන හෙයිනි.


මෙහෙම සටහන් කරන්නේ රජයේ සේවකයන් කෙරෙහි අංශු මාත්‍ර ද්වේෂයකින් නම් නොවේ. ඔවුනුත් ජීවත්විය යුතුය. නමුත් මේ රටේ දෛනිකව වැටුප් ලබන කම්කරුවාගේ පටන් වැඩකරන ජනතාව බහුතරය පෞද්ගලික අංශයේ රැකියා නියුක්තිකයන්ය.


අනෙක් පිරිස ස්වයංරැකියාවන්හි නිරතවූවන්ය. ලේ, කඳුළු, දහදිය මහ පොළොවට හෙළමින් අසීරුවෙන් අඹු දරුවන් රකින මේ අය අතරට වැදී කරුණු විපරමක යෙදුණෙමි.
‘‘මම මේ රස්සාවට ඇවිත් අවුරුදු 40 ක් විතර වෙනවා. මේ වගේ අමාරු කාලයක් මීට ඉස්සර ආවෙ නැහැ. අනිත් එක අපිට ඕනෑ තරම් හයර් තිබුණා. අද මිනිස්සු අතේ මුදල් නැහැ. මේ නිසා ත්‍රීවීල් වලින් යන්න තරම් වත්කමක් නැහැ. අපි දිහා බලන්නේ හදිසිම හදිසියක් නම් විතරයි. ඒකට මිනිස්සුන්ට දොස් කියල පලක් නැහැ. පොකට් එක හිස් වෙනකොට පාරෙ බස් එකේ හරි පයින් හරි යනවා. අපිට ‘හතේ හත.’’ බොරැල්ල හන්දියේ ත්‍රිරෝද රථ ගාලේ ඒ. ගුණවර්ධන (51) මහතා එසේ පැවසුයේ මහා සුසුමක් අවකාශයට මුද‌ාහරිමිනි.
අප කතා බහ කරගෙන යන අතරේ එතැනට පැමිණි අයි.එන්.පී. ජයසිංහ මහතා මොනවා දෙ‌ා් කියන්නට මුව පොපියන බවක් දක්නට ලැබුණි.


‘‘අද වෙද්දී දවසේ ආද‌ායම රු. 2000 - 2500 දක්වා පහළ බැහැලා. වාහනේට තෙල් ගහලා එදිනෙද‌ා ගෙදරට කන්න බඩු ටිකට ඒ මුදල දියවෙලා යනවා. සාමාන්‍ය මල්ලක් පිරෙන්න ග්‍රෑම් 250, 500 තරමට ගත්තත් රු. 5000 ක් විතර ඕන. ඉතින් කොහොමද ජීවත් වෙන්නේ’’


‘‘ලීසිං කරල වාහනය ගත්ත කෙනා ලෝක අමාරුවෙ. මාස 2 ක් වාරික ගෙවා ගන්න බැරි වුණොත් ලීසිං කාරයො වාහනේ ‘උස්සනවා’ එතකොට කාල හමාරයි.’’


‘‘මගේ බිරිඳට මේ දවස්වල අංශබාග රෝගය වැලඳිලා පීඩා විඳිනවා. එයාගෙ බෙහෙත්වලට විතරක් සතියකට රු. 6000 ක් වැය වෙනවා. හයර් නැති නිසා බෙහෙත් වලට වත් මුදල් සොයාගන්න ක්‍රමයක් නැහැ. කොටින්ම අපි අද අන්ත අසරණවෙලා.’’


සියල්ල මෙසේ සිදුවෙමින් පවතින අතරතුර ආණ්ඩුවට නම් ජනතාව ගැන වගේ වගක් නැතුවාක් මෙනි. පාලක පක්ෂය හා විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ දිනවල වෙහෙසෙන්නේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමටය. ළඟ එනවා යැයි කියැවෙන ජනාධිපතිවරණ මැතිවරණය දඩමීමා කරගෙන ඔවුහු මාධ්‍ය සංදර්ශන පවත්වති. ජනතා දුක මොවුන්ට වැටහෙන්නේ නැත. වේල් ගණන්, දින ගණන් බඩගින්නේ සිට කුස පොත්ත පිටට ඇලුණත් ‘අපට ඡන්දය දීපල්ලා’ ඒ දේශපාලකයන්ගේ පැතුමයි.


‘‘මම රජයේ ආයතනයක සෑහෙන පමණ වැටුප් තලයක සිටින කෙනෙක්. වරින් වර වැටුප් වැඩි කළා තමයි. නමුත් මගේ ජීවන මට්ටමට අනුව මෙය ප්‍රමාණවත් නැහැ. අපේ පවුලෙ මමයි, බිරිඳයි, පාසල් යන වයසෙ දරුවො දෙන්නයි, මගේ මවයි. අනෙක් වියදම් හැර මාසික ජල, විදුලි, දුරකථන බිල්පත් ගෙවීමට පමණක් රු. 11,000 ක් පමණ වැයවෙනවා. ඊළඟට ගෑස් මිල, පාසල් යන සෑම දරුවෙකුටම වර්තමානයේ ‘ටියුෂන් ක්ලාස්’ අනිවාර්යයයි. එක විෂයකට රු. 2000 ක් වැයවෙනවා. ආහාර පාන, ඇඳුම් පැලඳුම්. ඒ වගේම මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට කළ යුතු යුතුකම්, මේවා එකතු වුණාම වැටුපට වඩා වියදම් වැඩියි. ඔය අතරට එක මාසයකදී මඟුලක්, ද‌ානයක් ආවොත් ඔක්කොම ඉවරයි.’‘ නම සඳහන් කරනවාට අකමැති රාජ්‍ය ආයතනයක උසස් නිලධාරි මහත්මයෙකු සඳහන් කළේ එලෙසිනි.


රටේ ගැමි ජනතාවගෙන් ස්වල්පයක් හැරෙන්නට වැඩි දෙනෙක් නාගරික ජනතාවගෙන් 99% ක්ම වර්තමානයේ උයා පිහා ගනු ලබන්නේ ගෑස් උඳුන් වලිනි. ගෑස් ජනතාවට හරි හරියට ගෑස් පෙන්වයි. රජයේ නියෝග, ඉල්ලීම් ගෑස් සමාගම් ගණන් ගන්නේ නැත. ගෑස් සිලින්ඩරය ජනතාවට ගෑස් පෙන්වන විට ප්ලේන්ටියේ සිට සියලුම ආහාර පාන ගණන් උස්සති. මේවා ගැන ජනතාවගේ පාර්ශ්වයෙන් සොයන්නට බලන්නට කිසිවෙකු නැත.


ජනතාව කන්නෙ බොන්නෙ ජීවත්වෙන්නේ කොහොමද කියල සොයල බලන්න පාලකයන්ට කිසිම උවමනාවක් කවද‌ාවත්ම තිබුණේ නෑ. ඒ අයට අවශ්‍ය කාලෙන් කාලෙට ඡන්දය විතරයි. ඒක ගන්න, වෙලාව ආවාම දහසකුත් එකක් රැවටිලි, විජ්ජා කරළියට ගෙන එනවා. අපි හැමෝම රැවටිලා මේ අයම පත්කර ගන්නවා.


ඊට පස්සේ මාරුවෙන් මාරුවට දෙගොල්ලොම ‘රට කමින්’ ජනතාව දුකට පත්කරමින් ඔවුන්ගේ දරු මුනුපුරන්ට හෙටක් අහිමි කරවනවා. හොරා කනවා හැරෙන්නට හොරුන්ට දඬුවම් නැහැ. මේ නිසා වසර 5 න් 5 ට රට වළපල්ලට යනවා වගේම ජනතාවගේ ආර්ථිකය ක්ෂය වෙනවා.


අපි බදු ගෙවනවා හැරෙන්න වෙන කරන දෙයක් නැහැ. අර්ථසාධක අරමුදලෙනුත් ආණ්ඩුව බදුගන්නවා. හෙට අනිද්ද වෙනකොට එද‌ා පරංගින් ගහපු තාලෙ බදුත් එන්න ඉඩ තියෙනවා. මේ නිසා අපි අතට ගත්ත පඩිය සතියකටත් කලින් අවසන් වෙනවා. අපිට බෙහෙත් පෙත්තේ පටන් බදු ප්‍රතිශතය 12%, 15% 20% යි ලෝකයේ කිසිදු රටක මෙවැනි බදු ප්‍රතිශතයක් නැහැ. මේවා මෙහෙම වෙන්නේ දේශපාලකයන්ගේ ‘හොරා කෑම’ නිසයි. රාජ්‍ය සේවයේ නියුතු තවත් විවාහක තරුණයෙකු වන ලංකා වෙලගෙදර (37) තරුණයා එසේ ප්‍රකාශ කළේ තරමක ආවේගයකිනි.


මෙහි පෙර සඳහන් කළාක් මෙන් සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් අසරණ වූයේ විපතට මුහුණ දුන් කතෝලික ප්‍රජාව පමණක් නොවේ. ජනතාවගේ මුදල් පසුම්බිය ද ප්‍රහාරයට ලක් විය. බෝම්බ ප්‍රහාරයෙන් පසු පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇපකැප වන බවට පාරම් බෑ රජය සෑම පාසලකටම එක් හමුද‌ා සොල්ද‌ාදුවෙකු බැගින් ලබාදුන්නේය. එපමණකින් නොනැවතී විනිවිද පෙනෙන පාසල් බෑග් ගෙන ආ යුතු බවට පාසල් ප්‍රධානීන් හරහා මව්පියන්ට දැන්වීය. දූ දරුවන් වෙනුවෙන් මහමඟ හිඟා කා හෝ අවශ්‍ය දෑ ලබාදෙන මව්පියෝ රුපියල් දහස් ගණනින් ගෙවා විනිවිද පෙනෙන බෑග් හා කෑම පෙට්ටි, පෑන් පැන්සල් පෙට්ටි මිලදී ගෙන දුන්හ. එතෙක් තමන් හා එක්ව පාසලට ගිය සුපුරුදු කැන්වස් පොත් බෑග් දරුවන්ගේ පොත් මේස මත තනි විය. අවාරයේ ලැබුණු බෝම්බ භීතිය සමග හමා ආ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගත් බෑග් නිෂ්පාදකයෝ වෙළෙඳසල් හිමියෝ රු. 1500 - 2000 දක්වා මිල ගණන් යටතේ බෑග් විකුණා දැමූහ.


බෝම්බයෙන් රට අරාජික වී රැකියා ස්ථාන වැසී යන එන මං නැතිව සිටි ජනතාවට මෙය මරු පහරක් විය. විශේෂයෙන් පාසල් යන දරුවන් දෙතුන් දෙනා සිටින නිවසක මව්පියෝ මෙම බෑග් ‘කෙළියෙන්’ අන්ත අසරණ වූහ.සතියක් ගතවූයේ නැත. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ විනිවිද බෑග් අත්‍යවශ්‍ය නොවන බවයි. නිවේදන එළියට එන විට ‘පෙරහැර’ ගොස් හමාරය. වෙළෙන්දන්ගේ ‘කරල පැහී’ තිබුණි.


රත්නපුර රක්වාන ප්‍රදේශයේ තේ වතුයායක සේවය කරන කම්කරුවෙකු වන එස්. සුලේන්ද්‍රන් මහතා (45) විවාහක දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු අදහස් දක්වමින් පැවසුවේ ‘මමයි, බිරිඳයි දෙදෙනාම වත්තේ දලු කඩනවා. මාසෙ දවස් 30 ටම වැඩ නෑ. වැඩ කරන සියලු දෙනාම කට්ටිවලට වෙන්කරලා දවස් 10, 15 වැඩ දෙනවා. මගේ ළමයි තුන් දෙනාම ඉස්කෝලෙ යනවා. එද‌ාවේල කන්නෙත් හරි අමාරු​ෙවන්. අපේ වැටුප් සොච්චමකින් වැඩිකරන්න කියලා ඉල්ලුවාම ආණ්ඩුවත් වතු සමාගමුත් බීරි අලින් වගේ සිටිනවා. අපි හැමද‌ාමත් අසරණයි.’


මේ වතු කම්කරු ජනතාවගේ ප්‍රධාන ආහාරය වන්නේ පොල් හා පාන් පිටි මිශ්‍රකර තනන පොල් රොටියයි. පිටි මිල හා පොල් මිල ඉහළ යන විට මොවුනට කන්දසාමිගේ පිහිටවත් නැත.


ඉකුත් සතියේදී මෙරට තිරිඟු පිටි ඒකාධිකාරය පවත්වාගෙන යන බහුජාතික සමාගම ඔළුවට පොල්ලෙන් ගැසුවාක් මෙන් පිටි මිල රු. 8.00 කින් ඉහළ දැමීය. මෙවැන්නක් සිදුවන්නේ කවද‌ාදැයි බලා සිටියාක් මෙන් පිටපොට ගසාගෙන එළියට පැමිණි බේකරි සංගම් නියෝජිතයෝ පාන් ඇතුළු තිරිඟු පිටි නිෂ්පාදනවල විකුණුම් මිල ගණන් ද වැඩි කරන බව උජාරුවෙන් පැවැසූහ.


එහෙත් පසුව ආරංචි වූයේ රජයේ ඉල්ලීම මත එකී බහුජාතික සමාගම තාවකාලිකව ‘අඬු පඩු’ හකුළාගත් බවකි. ඒ අනුව පාන් බනිස් මිල වැඩිවීම ද නතර විය. සාමානය ජනතාවට වැදෙන්නට තිබූ තවත් මරු පහරක් තාවකාලිකව නතර විය. ඡන්දයක් ළඟ නිසා වන්නට ඇත. කබලෙන් ළිපට වැටී පිලිස්සුම් තුවාලවල වේදනාවෙන් පෙළෙන සාමාන්‍ය පන්තියේ ජනතාවට තුවාල මත බෙහෙත් තෙල් ඇතුරුවාක් මෙන් සහනයකි.


රාජ්‍ය ආයතනයක සේවය කරන ආර්. මධුසංක (30) අවිවාහක තරුණයෙකි. ඔහුගේ අදහස් වලට අනුව වර්තමාන තරුණ පෙළට හව්හරණක් නැත. රැකියා අවස්ථා මඟ හැරී ගොසිනි. ‘මගේ මාසික වැටුප තනියම ජීවත්වීමට හෝ ප්‍රමාණවත් නැහැ. කෑම බීම බෝඩින් ගාස්තු ගෙව්වට පස්සේ ඉතුරුවක් නැහැ. මම ගමේ ඉදල කොළඹ ඇවිත් තමයි මේ රැකියාව කරන්නේ. එදිනෙද‌ා ජීවත්වෙනවා පමණයි, මට විතරක් නෙමෙයි රැකියාවල නියුතු සමස්ත තරුණ පරපුරේම ඉරණම මෙයයි.’


ඔහුගේ කතාව සත්‍යයක් බව පසක් වන්නේ පාසල් අධ්‍යාපනය අවසන් වීමෙන් පසු ඉදිරි අනාගතය වෙනුවෙන් හරි හමන් මඟ පෙන්වීමක් ​මේ රටේ තරුණ පරපුරට නොමැත. තරුණ සේවා සභාව, ආධුනිකත්ව මණ්ඩලය වැනි ආයතන මේ සම්බන්ධයෙන් යම් කාර්යභාරයක් ඉටුකරන නමුත් එය ගැටලුවට පිළිතුර නොවේ.


මධුසංක තවත් කතා කළේය. ‘ජීවත් වෙන එක යුද්ධයක්. හාල්, එළවළු ගිනි ගණන්, උයාගෙන කන එක අත්හැරලා කඩෙන් කෑම ගන්න ගියොත් මාසයකට වැටුප් දෙකක් වත් අවශ්‍යයි. ජීවන වියදම ඒ තරමටම ඉහළ ගොස්ය.


‘මගේ මාසික වැටුප රු. 24,000 යි. ස්වාමිපුරුෂයා දරු තිදෙනෙකුත් එක්ක මාව තනි කරලා වෙනත් විවාහයක් කරගෙන. විදුලි බිල, වතුර බිල මේවා ගෙවන කොට වැටුපෙන් භාගයක් ඉවරයි. උයන පිහන බඩු ගන්නෙ මාසෙ අන්තිමට ගෙවන පොරොන්දුවට කඩෙන් ණයට. අතමාරුවට බඩු ගන්නකොට කඩහිමියෝ සාමාන්‍ය මිලට වඩා වැඩි ගණනක් පොතට එකතු කරනවා. මාසෙ මැදදි ලැබෙන අත්තිකාරම් මුදල එහෙමම ණය හිලව්වට ගෙවනවා. එහෙමයි ජීවිතේ.’


පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවය කරන මල්ලිකා කන්නන්ගර (60) මහත්මිය දෛනික දිවිය විවරණය කළේ එලෙසිනි.


ජනාධිපතිවරණය ඇතුළුව ඡන්ද පැවැත්වෙන ඉදිරි කාලයේදී තව තවත් සහන ලැබෙනු ඇත. ඒවාට වහවැටෙන අපේ ජනතාවට පෙර සියලු වැරැදි අමතකව යනවා ඇත. ගැටලුවක් නැත. මෝඩම ඡන්දද‌ායකයන් සිටින අංක එකේ රට බවට පත් වී අපේ අය මේ වන විට ලෝක වාර්තාවක් තබා ඇත.

 

 

තිලක් පුෂ්ප කුමාර