​පොලිස් බැටන් ප්‍රහාර මැද දළදා වැන්ද හැටි


අපේ රටේ පිහිටි වෙහෙර විහාර අතරින් වටිනාම සිද්ධස්ථානය හැටියට සැලකෙන්නේ මහනුවර දළදා මාළිගාවය. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා අතරින් වටිනාම ධාතූන් වහන්සේ දළදා වහන්සේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ සිහිපත් කර ගෙන දළදාවට දළදා වන්සේ දළදා හාමුදුරුවො කියලා කියනවා.   


මේකට දළදා විහාරෙ නොකියා දළදා මාලිගාව කියා කීවේ දළදා වහන්සේත් රජතුමාත් අතර පැවති දේශපාලන සම්බන්ධය නිසාය.   


දළදා වහන්සේ ලංකාවට වැඩියාට පස්සේ එයින් නියෝජනය වෙන්නේ බුදුන් වහන්සේ විතරක් නෙමෙයි. ලංකාවේ රාජ්‍ය නායකයාට රට පාලනය කරන්නට ඇති අයිතියක් එයින් නියෝජනය වෙනවා. දළදා වහන්සේ රාජ්‍ය බලයේ සංකේතය බවට පත් වුණා. අද වුණත් රාජ්‍ය නායකයා අලුත් වැඩ බාර ගත්තාට පස්සේ මුලින්ම යන්නේ දළදා හාමුදුරුවන් වැඳ පුදා ගන්ට.   


 

සිරි දළදා මාළිගාව ගැන මහාචාර්ය ජේ.බී. දිසානායක ලියු ග්‍රන්ථයක දළදා ඉතිහාසය ගැන විස්තර කරල තියෙන්නේ එසේය.   


බුදු රජාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන මොහොත විස්තර වෙන දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන ආකාරයට බුද්ධ පරිනිර්වාරණයෙන් පසු උන්වහන්සේගේ ආදාහන කටයුතු වලින් අවශේෂ වු ශාරීරික ධාතු සමසේ අට කොටසකට බෙදා මල්ල රජ වරුන් විසින් තදාසන්න රාජ්‍යයන්හි රජවරු අතර බෙදා දෙන ලද බව පැවසේ.   


“සිරි දළදා වරුණ” නම් කෘතිය ලියූ මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න පවසා ඇත්තේ ඒ තදාසන්න රාජ්‍යයන්හි රජවරුන් බුදු රඳුන්ගේ ශාරීරික ධාතූන් නිදන් කොට ස්තූපය බැගින් ගොඩ නංවා පූජෝත්සවයක් කර ඇති බවය. මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දක්නට ලැබෙන අවසාන ගාථා පස තම්බපණ්ණී දීපයෙහි එනම් ශ්‍රී ලංකාවේ මහ තෙරුන් විසින් සම්පාදනය කරන ලද බව අටුවාචාරින් පවසා ඇති බවය.   


මහාචාර්ය වරකාවේ ධම්මාලෝක නාහිමියන් පවසන්නේ ක්‍රිස්තු වර්ෂයට බොහෝ කලකට පෙර ඔරිස්සාවේ දන්ත පුරයේ බෞද්ධ රජවරුන් වෙතින් මෙම ධාතූන් වහන්සේ අපට ලැබුණ බව ඉතිහාසයේ සඳහන් වන බවය. කෙසේ වුවද සතර වැනි ශත වර්ෂයේ මෙහි වැඩම කළ දින පටන් ශත වර්ෂ ගණනාවක් මුළුල්ලේ දන්ත ධාතුන් වහන්සේ අප රටේ මුදුන් මල් කඩ බවට පත්ව ඇති බවය. දෙවැනි විමලධර්මසූරිය රජතුමා ක්‍රි.ව. 1619 සෙංකඩගල පුරවරයට දළදාව වැඩම කර වූ බව ඉතිහාසයේ සඳහන්ව ඇති බවත් නායක්කර් වංශික රජවරුන් ද දන්ත ධාතූන් වහන්සේ පණ දෙවෙනි කොට ආරක්ෂා කළ බවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා දක්වාම එය සිදු වූ බව උන්වහන්සේ විසින් ලියූ කෘතියක සඳහන් වෙති. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ තැන්පත් කොට ඇති දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවන ලද්දේ කීර්ති ශ්‍රී මේඝවර්ණ (ක්‍රි.ව. 301-328) රජතුමාගේ රාජ්‍යෝද්යෙන් නව වැනි වර්ෂයේ බව උන්වහන්සේ දඹදිව කළිඟු දේශයේ සිට දන්ත කුමරුන් සමග මෙහි පැමිණි හේමමාලා කුමරිය විසින් දළදා වහන්සේ මෙරටට වැඩමවාගෙන ආ බව දාඨාවංසයෙහි (298 ගාථාව) සඳහන්ව ඇති බව පවසන උන්වහන්සේ මහා වංශයෙහි සඳහන් වෙන්නේ කිසියම් බැමිණියක විසින් දළදා වහන්සේ මෙරටට වැඩම කරන ලද බව (මහා වංස 37 පරි 92 ගාථාව) කියවෙන බවය.   


වෙන ධාතූන් වහන්සේ නමක් පිළිබඳව නොලිය වී ඇති තරම් ග්‍රන්ථ රැසක් දන්ත ධාතූන් වහන්සේ පිළිබඳව ලිය වී තිබේ. එය දළදා සාහිත්‍යය නමින් හැඳින්වෙන බව දාඨාවංස ව්‍යාඛ්‍යාව කෘතිය සංස්කරණයට පෙරවදනක් ලියන මිරිස්සේ ධම්මසිරි හිමියන් පවසති. දළදා කථා සාහිත්‍යය නමින් විශේෂ අංගයක් වශයෙන් හැඳින්වෙන එහි එන කෘති මෙසේය. දළදා කාව්‍ය, දළදා පූජාවලිය, දළදාකවි, දළදා වංශ කාව්‍ය, දළදා වතුර, දළදා වංශය හෙවත් දෘෂ්ඨාදන්ත කථා, දළදා වතුර, දළදා වරුණය, දළදා විසිතුර, දළදා ශතකය, දළදා සිරිත, දළදා ගමන, දඨාවංශයයි.  


 දළදා වහන්සේ පොදු ජනතාවට ප්‍රදර්ශනය කිරීම දුර්ලභ දර්ශනයක් වන අතර එය වන්දනා කිරීමට දහස් ගණනින් බැති මතුන් පැමිණීම පුද සිරිත් පැවැත්වීම අතීතයේ සිට සිදු වෙන්නකි. මහනුවර දළදා වන්දනාවට පැමිණි කාන්තාවක් සෙනඟට සිර වී මිය යාම ගැන ප්‍රවෘත්තියක් 1925 වසරේ ජනවාරි 03 වැනිදා දිනමිණ පුවත් පතේ මුල් පිටුවේ වාර්තා වී ඇත. දිනමිණ වාර්තා කර ඇති අන්දමට දළදා දැක්මත් ඒ සම්බන්ධ සිදු වු අවාසනාවන්ත මරණයත්, දළදා වඳින්නට එක් වු මහ පිරිසට පොලිසියට සැලකූ නොමනා ආකාරයෙත් එකල ජනතාව දළදා වඳින්නට තිබු භක්තිය හා ඕනෑ කම මැනවින් ප්‍රකට වෙයි.   


එම ප්‍රවෘත්තියේ ශිර්ෂ පාඨය වී ඇත්තේ මෙසේය.   


මහනුවර දළදා දැක්වීම විශාල වන්දනාකාර පිරිසක් පැමිණීම. මාලිගාව තුළ ස්ත්‍රියක් මිය යාම.   


අපේ විශේෂ වාර්තාකරු විසින්.   


දන්ත ධාතුන් වහන්සේ දැක්වීම මේ මස 1 වෙනි දින මහනුවර දළදා මාළිගාවේදී ආරම්භ කරන ලදී. මෙකී පුජ්‍ය වස්තුව භාරකාර අස්ගිරිය හා මල්වත්තේ මහා නායක ස්වාමි පාදයන් වහන්සේලා දිය වඩන නිළමේ තැන්පත් පී.බී. නුගවෙල මහතා ද දන්ත ධාතුව වැඩම වීම පිළිබඳ ආගමික පුද සිරිත් පැවැත්වූහ.

  
දළදා මාළිගාව දොරටුවෙහි ඉටි පන්දම් අසූ හාර දහසක් දැල්වීමෙන් පහන් පූජාව පවත්වන ලද්දේය.   


මීට පෙර කිසි කලක මහනුවරට නොපැමිණි තරම් මහ සේනාවක් මෙවර දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණ සිටියේය. දවස් පතා තවමත් මොටෝ රිය හා බස් වලින් වන්දනාකාරයෝ ගෙනෙනු ලැබෙයි. හැතැප්ම සිය ගණන් පයින් ගමන් කොට දළදා වහන්සේ වැඳීමට පැමිණි ගම් වැසියෝ ද ශ්‍රද්ධා භක්තියෙන් ප්‍රමුදිතව සිටියි. දළදා වහන්සේ වැඳීමට කටයුතු සතුටු දායක ලෙස භාරකාරයන් විසින් සලසන ලද නමුත් මාළිගාව දොරටුව රැකවල් කරන පොලිස් කාරයන්ගේ ක්‍රියා පටිපාටිය වන්දනා කාරයන්ගේ හිරිහැරයටත්, සිත රිදවීමටත් හේතු වී තිබේ.   


ඇතැම් විට පොලිස්කරුවන් කිසි සැලකිල්ලක් නැතිව බැටන් පොලු වලින් පහර දුන් බවත් කලින් මාළිගාවට ඇතුල් වීමට ඉඩ දීම සඳහා පොලිස් කරුවන් ඇතැම් විටක අල්ලස් ගන්නා ලද බවත් සැල වී තිබේ. පොලිස් සුපිරින්ටැන්ඩන්ට් මහතා අසකු පිට නැග පිරිසට ඉදිරියට ගමන් කිරීමට ඉඩ නොදී රැකවල් කළේය. දළදා මාළිගාවට ඇතුල් වීමට ඉඩ තිබුණේ එකම දොරටුවකි. එහි එකවර රැස්ව සිටි දෙදහසකට අධික පිරිස මෙම දොරටුවෙන් ඇතුල් කිරීම දුෂ්කර වැඩක් බව ඇත්තකි. නමුත් පොලිස්කරුවන්ගේ ක්‍රියා පටිපාටියට කවුරුත් දෝෂාරෝපණය කළහ. පොලිස් කරුවකුගේ බැටන් පොලු පහරකින් හිස තුවාල වූ කළුතර පිලෝරිස් ප්‍රනාන්දු නැමැත්තෙක් ආරෝග්‍ය ශාලාවට ගෙන යන බව සැලවී තවත් තුවාල ලත් අය අසල තිබුණ ඩිස්පැන්සරිවලින් බෙහෙත් ලබා ගත්හ. මේ නිසා විශාල පිරිසක් ඊළඟ දවසේ ද මෙකී හිරි හැර වලට භාජනය වෙනවාට ආපසු ගියාය. 3 වෙනි දින බෞද්ධයන් කිහිප දෙනෙක් ඉදිරියට විත් ක්‍රියා කළ බැවින් පොලිසිය මැදිහත් වීම උවමනානොවීය. මොවුහු රැස්වීමක් පවත්වා සාකච්ඡා කොට වන්දනාකරුවෝ පිට්ටනියට රැස් කරවන ලැබූහ. එහි සිටි වන්දනාකරුවන් කණ්ඩායමක් බෙදා වරකට කාණ්ඩයක් බැගින් ද දළදා වහන්සේ වැඳීමට යවන ලද්දේය. මෙය ඉතා හොඳින් සිදු වු බැවින් පොලිස්කරුවන්ගේ ​ආධාර උවමනා නොවීය. වරක් අලුත් කණ්ඩායමක් එවීමට මාළිගාවෙන් සංඥා කිරීම ප්‍රමාද වු පිට්ටනියෙහි රැස්ව සිටි පිරිස නැවතත් එක්වර ගොස් මාළිගාව වටලා ගත්තේය. නමුත් වහාම දොරටුව වසන ලදින් හිරි හැරයක් නොවීය. 3 වෙනි දින පොලිස්කරුවන් රිය ගමනා ගමනය පමණක් පාලනය කරන ලද්දේය.   1925 වසර වන විට ලංකාවේ තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩුවේ පාලනයට නතු වූ පොලිසියකි. එය ඉංග්‍රීසි මැලේ මරාති ජාතික පොලිස් භටයන්ගෙන් සමන් විත වූහ.  
 පොලිසියේ ඉහළ තනතුරු දැරුවේ ඉංග්‍රීසීන්ය. ඔවුන්ගේ අත්තනෝමතික ක්‍රියා ඒ යුගයේ පළ වු ඇතැම් නවකතා වලින් ද පිළිබිඹු විය. 1933 වසරේ නිකුත් වු ඩබ්ලිව්.ඒ. සිල්වා කැලෑ හඳ නවකතාවේ එන මාලිනියට හා ඇගේ සීයා වු නන්දරාළට ද පොලිස් කොන්ට්‍රබල් කෙනෙකු අඩත්ටේටම් කරන අවස්ථාවක් වෙයි. ඒ නවකතාව ඇසුරෙන් 1953 සිනමාවට නැගුණු “කැලෑ හඳ” චිත්‍රපටයේ මේ අවස්ථාවට (මාලිනී ලෙස රඟ පෑ රුක්මණි දේවියට හා සීයා ලෙස රඟ පෑ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නට පහර දෙන) දර්ශනය විරෝධය කොතරම් විරෝධය පෑවා ද යත් ප්‍රේක්ෂකයෝ ඒ අවස්ථාව හෙළා දකිමින් ද එම දර්ශනයෙන් පොලිසියට අපහාස වන බව කියා එවකට (1953) පොලිස්පතිව සිටි සර්. රිචඩ් අළුවිහාරේ මහතාට පැමිණිලි කර ඇත.   


1953 ජුනි 07 වැනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ මුල් පිටුවේ මෙය සඳහන් වූයේ කැලෑ හඳ පොලිසිය කුලප්පු කරයි. රාළහාමි කළ කරදර හරි නෑ. ශීර්ෂ පාඨයෙහි මේ පිළිබඳව නව කතා කතුවර ඩබ්ලිව්.ඒ. සිල්වා කියා තිබුණේ නව කතාවේ එන්නේ අද පොලිස් භටයකුගේ තරා තිරම නොව 1933 හරියේ සිට පොලිසියේ හැටි කියාය.   


නව කතාවේ එන පොලිස් භටයාගේ හැටි එසේ නම් 1925 දළදා මාළිගාව අසළ සිටි පොලිස් භටයන් ගැන කියනුම කවරේද?   


1925 ජනවාරි මාසයේ 05 වෙනිදා දළදා වහන්සේ වන්දනා කිරීමට ගිය කාන්තාවක් එහි සිටි මහජන ගංඟාවට සිර වී මිය ගිය දුක්මුසු පුවත 1925 ජනවාරි මස 06 වෙනිදා දිනමිණ පුවත් පතේ මුල් පිටුවේ පළ වී තිබුණි.  

 
දළදා මාළිගාවේ දුක්ඛිත සිද්ධියක් ස්ත්‍රියක් සෙනඟට සිර වී මිය යාම.  

 
විදුලි මගින් මහනුවර ජනවාරි 5   


දළදා බැලීමට ඊයේ පැමිණි ජන සංඛ්‍යාව අති විශාල විය. එය කෙතරම් ද යත් වයසක ස්ත්‍රියක් මාළිගාව තුළ දී සෙනඟට සිර වී එතැනම මිය ගොස් තිබේ. එසේම තව ස්ත්‍රියක් තුවාල ලැබ ඉතා අන්තරාය අඩියකට පත් වී​ෙමන් වාහනයකින් ආරෝග්‍ය ශාලාවට ගෙන යන ලදි. මිය ගිය ස්ත්‍රියගේ මෘත දේහය පිළිබඳ විභාගයක් පවත්වා ආර්.එ්. සොලමන්ස් අපරාධ පරීක්ෂක මහතා එය හදිසි මරණයක් බව ප්‍රකාශ කළේය.   


මහනුවර දළදා මාළිගාවේ මීට වසර 92 පමණ පෙර දළදා වැඳීමට ගිය බැතිමතු්නට සිදු වු අවාසනාවන්ත සිදුවීම් අපහසුතා හා පොලිස​් පහර දීම් කාලයේ වැලිතලාවෙන් වැසී ඇත.   

 

 

 

ඒ.ඩී. රංජිත් කුමාර