​පෙම්වතාගේ පිහි පහරින් නොඑන ගමන් ගිය පොලිස් නිලධාරිනිය


 

හාලිඇළ, ඌව කැටවල වත්තේ, තේ කම්හල ඉදිරියෙන් ජගුල්ල අරළුගස්හින්න ගම්මානයට දිවෙන මාර්ගය දිගටම සුදු කොඩිවලින් සරසා තිබුණි.  


සිංහල, දෙමළ, මුස්ලිම් වෙනසක් නැතිව සුදුවතින් සැරසුණු ජනතාව පල්ලමේ බසිමින් ඒ නිවසට එක් රොක්වූහ.  


මුද්‍ර‌ා තැබූ මිනී පෙට්ටිය තුළ තැන්පත් කර තිබුණේ පිහියකින් කපා සිරුර පුලුස්සා ඝාතනය කළ පානදුර වලාන දූෂණ මර්දන අංශයේ සේවය කළ චන්දිමා ප්‍රියදර්ශනී චන්ද්‍රසේකර නමැති පොලිස් නිලධාරිනියගේ දේහයයි.  
මිනී පෙට්ටිය දෙස බලාගෙන දුක් සුසුම් අඳෝනා නැගූ පියා සහ මිත්තණිය මේ තරුණියගේ ජීවිත කතාව ආවර්ජනය කළේ කඳුළු බොමිනි.  


ගෝවින්ද චන්ද්‍රසේකරන් (53) නමැති පියාගේ දුක්බර හඬ අසා සිටීමත් වේදනාකාරී විය.  


 

‘මගේ බිරිඳ මාව ද‌ාලා ගිහින් වෙනත් විවාහයක් කරගන්න කොට අපට ළමයි තුන් දෙනෙක් හිටියා. තුන් දෙනාම ගෑනු ළමයි. මේ මරල ද‌ාලා තියෙන්නේ බාලම දුව. අම්මා ද‌ාල යනකොට එයාගේ වයස අවුරුදු 3 යි.   
මම කුලී වැඩ කරලා දුක් විඳිමින් දූල තුන්දෙනා බලාගත්තා. මගේ අම්මා තමයි දරුවෝ හද‌ාවඩා ගත්තේ. මේ දුව හොඳට ඉගෙන ගත්තා. මගේ පවුලේ අයත් අධ්‍යාපන කටයුතුවලට උදව් කළා.  
දුව උසස් පෙළ කරලා ඊට පස්සේ කැටවල දිවි නැගුම ප්‍රජාමූල බැංකුවේ පරිගණක ක්‍රියාකාරිනියක ලෙසත් කැටවල සමෘද්ධි බැංකුවේ ලිපිකාරියක ලෙසත් කටයුතු කළා.   


ඔහොම ඉන්න කොට තමයි පොලිසියේ රැකියාවට තේරුණේ. කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබීමෙන් පස්සේ විසිර යාමේ උත්සවයට මමත් පවුලේ අයත් ගියා. මම එද‌ා කොච්චර සතුටු වුණාද?  


අනේ දෙයියනේ කෝ ඒ සතුට?.. යැයි ඉකිබිඳිමින් ඇගේ පියා කතාව නතර කළේ කඳුළු පිසිමිනි.  


2017 අප්‍රේල් මස 30 වන දින ආධුනික කාන්තා පොලිස් නිලධාරිනියක (10499) ලෙස ඇය පොලිස් සේවයට බැඳුණාය.  


සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම හැසිරවීමේ සුවිශේෂි හැකියාව නිසා පුහුණු​ෙවන් පසු ඇය පානදුර මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට අනුයුක්ත කර තිබුණි.  


නොබෝද‌ා ප්‍රථම නිවාඩුවට ඇය ගෙදර ආවේ ​අපමණ සතුටෙනි.  


තම නිවස අසල එනම් ඌව කැටවලවත්තේ නිල නිවාසයක ජීවත් වන ක්ෂේත්‍ර නිලධාරි පෙම්වතා ඇය කැටුව යාමට ඇටම්පිටියට ගොස් තිබුණේය. පෙම්වතාගේම යතුරුපැදියෙන් ඇය ගෙදර ආවාය.  


වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ මේ දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබෙන බව දැනගෙන සිටි බවත්, විවාහ වීමට දෙපැත්තේම අය කැමැති වුවත් පොලිස් සේවය නිසා වසර 3 ක් යනතුරු විවාහ වීමට අවසර නැති බවත් ඒ ගැන තමා දුවට පැවසූ බවත් පියා කීවේය.  


පෙම්වතා මෙම පෙම්වතිය ආදරයෙන් ඇගේ නිවසටම ගෙනැත් ඇරලුවේය. එහෙත් පසුද‌ා සිදුවූයේ කුමක්ද?  


පවුලේ ඥ‌ාතිවරයෙක් මියගොස් හත් දවසේ පින්කම වෙනුවෙන් අසල්වැසි නිවසක පැවැති ධර්මදේශනයට චන්දිමා ගියේ ආත්තම්මා පුංචි සහ අක්කා ද සමගය. ගමේ පන්සලේ දහම් පාසලේ ද සේවය කර ඇති ඇය ආගම දහමට දැක්වූයේ දැඩි ඇල්මකි.  


බණ අවසන් වන තෙක්ම ඉතා අවධානයෙන් බණ ඇසූ ඇය ඥ‌ාතීන් සමග බො​ෙහා් වේලාවක් සතුටු සාමීචියේ යෙදී රාත්‍රී ඇය සිය නිවසට ගියාය.  


පසුද‌‌ා ද‌ානමය පින්කමට ද ගිය ඇය ඥ‌ාතීන් සමග එක්ව මහ සඟරුවනට දන් පිළිගන්වා හාමුදුරුවන්ගේ අනුශාසනාවලට ද සවන් දී එම නිවෙසේ සිටින නිරෝෂා අක්කාගෙන් ඉල්ලීමක් කළාය.  


‘අක්කේ මට කෑම එකක් ඕන මගේ මහත්තයට.’ අනතුරුව බත් මුලක් ද රැගෙන ද‌ාන ගෙදරින් නික්ම ගියාය.  


ඒ අත්තම්මා පුංචි සහ සහෝදරීද ද‌ානගෙදර සිටියදීය.  


ඇය තම නිවසට යන්​ෙන් අවසන් ගමන බව කිසිවෙකු දැන සිටියේ නැත. එය දැන සිටියේ මාරයා පමණකි.  


අසල්වැසි නිවසක ජීවත්වන ලියෝන් මේරි නමැත්තිය චන්දිමාගේ නිවසින් දුමක් යනු දැක විමසිලිමත් වෙද්දී ඇගේ කාමරයේ ජනේලයෙන් මහා ගිනි ජාලාවක් මතුවෙනු දුටුවාය. ඇය කෑගසා අසල්වැසියන්ට කතාකරන විටත් නිවස තුළ මහා ගින්නකි.  


ඔවුහු ද‌ාන ගෙදරට කෝල් එකක් දුන්හ.  


ආත්තම්මා ඇතුළු පවුලේ අය ද එහි දිවවිත් ගින්න නිවීමට කටයුතු කළහ.  


ඉදිරි දොරේ දොරගුලු දමා නොතිබුණ ද එය වසා තිබූ බැවින් පිටුපස දොර කඩා නිවසට ඇතුළුව ගින්න නිවා දැමූහ.  


ඒ වන විටත් චන්දිමා ඇගේ කාමරයේ ඇඳ යට පිලිස්සී සිටියාය.  


පැතිර ගිය ගින්නෙන් එම ස්ථානයේ තිබූ අල්මාරියක් ද ඇඳ සහ මෙට්ටය ද පිලිස්සී තිබිණ. ඉහළ නැගි ගින්න සිවිලිම ද දවා තිබුණේය.  


බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර හා බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළහ.  


බදුල්ල දිසා විනිසුරු හා අතිරේක මහේස්ත්‍රාත් තාරක ජිනදාස මහතා පැමිණ සිදුකළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී අනාවරණය වූයේ අහස පොළෙව නුසුලන මහා අපරාධයක හෝඩුවාවන්ය.   


පිලිස්සුණු සිරුර තිබුණේ ඇඳ ළඟ බිමය. ඒ ආසන්නයේ ලේ විලක් මැද තිබූ ලේ තැවරුන පිහියක් සොයාගන්නා ලදී.  


මිනිය බදුල්ල මහ රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරීක්ෂණයට ලක්කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දිසා විනිසුරුවරයා හාලිඇල පොලිසියට නියෝග කළේය.  


පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලද්දේ බදුල්ල මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා විසිනි.  


මරණකාරිගේ ගෙලේ කැපුම් තුවාල කීපයක් ඇති බවත් සිරුර දරුණු ලෙස පිලිස්සී ඇති බවත් මෙහිදී නිරීක්ෂණය වී තිබේ. ඒ අනුව විවෘත තීන්දුවක් නිකුත් කළ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට උපදෙස් දෙනු ලැබීය.  


දමිළ පියෙකුට හා සිංහල මවකට ද‌ාව උපන් මේ තරුණියගේ අවසන් කටයුතු බෞද්ධ පිළිවෙත් අනුව පාංශු කූලය පූජාකර පැන් වඩා සිදුකෙරිණ.  


ඒ සඳහා වැඩම කළ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ අන්තුඩුවාවල යසස්සි හිමි, ජගුල්ල සුධර්ශනාරාම විහාරාධිකාරී තෙරිපැහ විමලරතන හිමි සහ කැටවල නන්ද‌ාලෝක හිමි පැවැත්වූ අනුශාසනාවලදී ද හෙළිදරව් කළේ මෙම පොලිස් නිලධාරිනිය පොලිස් සේවයට යාමට පෙර ගමේ ජනතාව වෙනුවෙන් ඉටුකළ ශාසනික හා සමාජ මෙහෙවර පිළිබඳවය.  


දිරියෙන් ජීවිතය ගොඩගනිද්දී අකාලේ මියගිය චන්දිමා මෙනවියගේ අවසන් කටයුතු පොලිස් දෙපාර්තමේන්තුවට වසර 152 ක් පිරුණු දා හාලිඇල කැටවල පොදු සුසානභූමියේදී සිදුවූයේ පොලිස් උත්තමාචාර සහිතවය.  
ඒ වන විට ඇගේ 27 හැවිරිදි පෙම්වතා හාලිඇළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණ. ඔහු මේ ඝාතනය පිළිබඳව පාපෝච්චාරණයක් කළේය.  

 

පොලිස් උත්තමාචාර

පියා සහ මිත්තණියට මේ දුක වවාගත නොහැකිව

සැකකරු  අධිකරණයට ගෙනයද්දි

 


මරණකාරිය අලුත් ජංගම දුරකථනයක් භාවිත කිරීම හා එය බැලීමට ඇය ඉඩ නොදීමත් නිසා ඇතිවූ සැකය මත සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඇතිවූ ගැටුම මත මෙම අපරාධය සිදුකළ බවත් සැකකරුගේ පාපොච්චාරණයේ සඳහන් වන බව ද පොලිසිය කියයි.  


සැකකරු සැලසුම් සහගතව මේ ඝාතනය සඳහා පෙට්රල් මිලදී ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.  


 වසර එකහමාරක ප්‍රේම පුරාණය ආවර්ජනය කරමින් සිදුකළ පව්කාරකම් ගැන පසුතැවිලි වෙමින් සැකකරු දැන් පසුවන්නේ බදුල්ල රක්ෂිත බන්ධනාගාරයේය.  


‘න අන්තලික්ඛේන සමුද්ද මජ්ජේ  
න පබ්බතානං විවරං පවිස්ස  
නවිජ්ජතිසෝ ජගතිප්ප දේසෝ  
යත්ථට්ටිතං මුච්චෙයිය පාප කම්මා’  
යන ගාථා ධර්මය දේශනා කරමින් බුදු සමිඳුන් වද‌ාළේ  


අහසේ සිටියත් මුහුදේ සිටියත් පර්වත විවරයක සිටියත් ලොව කුමන තැනක සැඟව සිටියත් කළ පාපයේ ආදීනවයන්ගෙන් මිදීමට නොහැකි බවය.  


මෙම සිදුවීමේදී ද එම බුදු වදන් සනාථ වී තිබේ.   

 


සටහන-ඡායාරූප 
බදුල්ලේ පාලිත ආරියවංශ