​දේශපාලකයන්ගේ සූරාකෑමට සින්න වූ ලෙසෝතෝ රාජ්‍යය


වළපල්ලට ගිය රටවල්

 

ලොව මෙතෙක් අගාදයට ගොස් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වූ රටවල්ය. පාලකයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයට ත්‍රස්තවාදය එල්ල කළ දේශයන්ය. රටක හා ජාතියක සුරක්‍ෂිත භාවය සහ අභිමානය රැකීමට අපොහොසත් දේශපාළුවන් සිටින රාජ්‍යයන්ය.   

අද හඳුන්වා දෙන්නේ දේශපාලන අර්බුද නිසා නන්නත්තාර වී ඇති දකුණු අප්‍රිකාවේ තවත් රටකි. ඒ ලෙසෝතෝ (LESOTHO) රාජ්‍යයයි.   

 


දියමන්ති හොරු  


බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා අවුරුදු 54ක් ගතවී ඇතත් මේ ලෙසෝතෝ රට තවමත් එතැනමය. තවම සුද්දා හැදූ පාරවල්, පාලම්, දුම්රිය මාර්ගය හැරෙන්නට බලයට පත්වූ කිසිම රජයක් රට දශමයකින්වත් ඉදිරියට ගෙන ගියේ නැත. ලයිබේරියාව වගේම දියමන්ති හොරුන් අතට විටින් විට පාලන බලය හිමිවෙමින් මේ ලෙසෝතෝ රට ද ලෝකයේ අන්ධකාර මුල්ලක දර්ශනය වෙමින් පවතී. මේ රටේ ඇති දියමන්ති මෙහි ජනතාවත් දැක නැත.   


ලෙසෝතෝ රට කන අගමැති  


විසි දෙලක්‍ෂයකට මඳක් වැඩි (2,203,821) ජනගහණයකින් යුත් කුඩා රටකි. විශාලත්වය වර්ග කිලෝ මීටර් 30,355ක් හෙවත් වර්ග සැතපුම් 11,720 කි. බොට්ස්වානා, සිම්බාබ්වේ, ස්වාසිලන්තය ආදී අල්ලපු රටවලට වඩා ඉතා නොදියුණු තත්ත්වයක පවතින, අල්ලස හා දූෂණයෙන් පිරුණු රාජ්‍යයකි. දීර්ඝ කාලයක් රජවරුන් පාලනය කළ භූමියකි. තවමත් රජ කෙනකු සිටින නමුත් ඔහු නමට පමණකි. අගමැති 80 හැවිරිදි මහලු ​ෙටාම් තබනේය. විධායක බලය මේ අගමැතිවරයා සතුය. මෙහි ජනාධිපතිවරයකු නැත.  


මෙහි අගමැතිවරයා තම විධායක බලය යොදවන්නේ රටේ යහපත තකා නොවේ.   


1966 ඔක්. 4 දා මේ කළු ජාතිකයන්ගේ රටට නිදහස ලබාදී සුද්දන් බ්‍රිතාන්‍යයට යන විට රටේ සියලු සාරය උරා බී තිබූ බව ඇත්තය. ඉන්පසු දේශමමත්වය පෙරදැරි කොටගෙන ජනතා විමුක්තිය, නවෝදයේ ඇරැඹුම හා රටේ උන්නතිය තකා යැයි කියමින් බලය ලබාගත් දේශපාලකයෝ ඉතිරි වී තිබූ සාරය ද උරා ​ෙබන්නට පටන් ගත්හ. ලෙසෝතෝ රටේ ද හතු පිපෙන්නාක් මෙන් දේශපාලන පක්‍ෂ බිහි විය. එහි දැනට ඇති දේශපාලන පක්‍ෂ සංඛ්‍යාව 24 කි. තවත් පක්‍ෂ කීපයක් අටවමින් පවතී. මේ දේශපාලන පක්‍ෂ අතර ඇත්තේ යම යුද්ධයකි.   


තිබෙන ආණ්ඩු පෙරළා දැමීමටත් අලුත් ආණ්ඩු අටවා ගැනීමටත් දේශපාලකයන් පිල් මාරු කරන රටවලින් මුල් තැනක් මේ දකුණු අප්‍රිකානු රටට හිමි වේ. රට අගාදයට වැටීමට මූලික හේතුව මෙයයි. දේශපාලන පක්‍ෂ 4ක් එක් වී පිහිටුවාගෙන ඇති සභාග රජය කුමන මොහොතක අැද වැටී යනු ඇත්දැයි අගමැතිවරයාවත් නොදනී. මුදලට දේශපාළුවන් විකිණෙන මෙවැනි රටවල් පල්ලම් බහිමින් පවතී. රට කෙසේ උඩට යන්න ද? ලෙසෝතෝ රටේ ද ඉන්නේ ජනතාව සත පහකට මායිම් නොකරන කෛරාටික දේශපාළුවන්ය.   
මෙහි අන්තර්ජාලා පහසුකම් ඇත​්තේ මුළු ජනගහණයෙන් සියයට 3.4කට පමණය. එවැනි රටක් ඉදිරියට යාම කෙසේ සිදුවන්නේ ද?   
මෙහි ළමයින්ගෙන් සියයට 37ක් පාසල් නොයති. අධ්‍යාපන පහසුකම් නොමැති වීම ඊට හේතුවයි. රජය අධ්‍යාපනයට වැය කරන්නේ සොච්චම් මුදලකි. මෙහි කවුරුන් බලයට පත්වුවත් තත්ත්වය මෙහෙමය. මෙහි ද සිටින්නේ නූගත් පාලකයන්ය. මුදල් විසිකර ඡන්ද ලබා ගනියි. නූගතුන් වැඩි පිරිසක් දේශපාලන පොර පිටියේ විරාජමානව සිටී. අල්ලස, දූෂණය ඉහ වහා ගොස්ය. විරැකියාව දරිද්‍රතාව හිස ඔසවා ඇත. රෝගීන් එක්ලක්‍ෂයකට ​වෛද්‍යවරුන් 4 දෙනකු සිටින රටකි. මෙහි සෞඛ්‍ය පහසුකම් ගැන කීමට මෙම උදාහරණය හොඳටම ප්‍රමාණවත්ය.   


කාන්තාවන්ට දස වද දෙන රටක්  


ජනගහණයෙන් සියයට 45ක් පමණ ඒඩ්ස් රෝගීන්ය. ඒඩ්ස් රෝගයෙන් මියයන අයගේ සංඛ්‍යාව අතිවිශාලය. ඇඟලුම් කම්හල්වල සේවය කරන කාන්තාවන්ගෙන් සියයට 40ක් පමණ ඒඩ්ස් ​ෙ​රා්ගයට ගොදුරු වී සිටීම කොතරම් ඛේදජනක ද? තරුණියන් හා කාන්තාවන් දූෂණයට ලක්වන අප්‍රිකානු රටවලින් ප්‍රධාන තැනක් ලෙසො​්තෝ රාජ්‍යයට හිමිය.   
ආබාධිත බිලිඳුන් රට පුරාම දැකිය හැක. විදුලිය පහසුකම් ඇත්තේ මුළු ජනගහණයෙන් සියයට 17කට පමණය. ජනගහණයෙන් සියයට 75ක් පමණ ජීවත් වෙන්නේ කිසිදු පහසුකමක් නැති දුෂ්කර ප්‍රදේශවලය. විදේශ ආධාර හා විදේශ ණය මතම යැපෙන අවාසනාවන්ත දේශයකි. ළමා ශ්‍රමිකයන් රට පුරාම දැකිය හැක. මේ ළමයින්ට කිසි කෙනකුගේ හව් හරණක් නැත. බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.25කටත් අඩුය.   


ලෙසෝතෝ රටේ බල අරගලය  


මෙහි ද පාර්ලිමේන්තුවක් සහ සෙනෙට් සභාවක් ඇත. පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 120 කි. ආණ්ඩු පක්‍ෂය ආසන 66ක් සහ විපක්‍ෂය ආසන 54කින් සමන්විතය. මෙහි නිතරම සිදුවෙන්නේ ආණ්ඩු පෙරළිය. අගමැති ටොම්ගේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු බහුතරය වූ අාසන 66 එන්න එන්නම අඩුවෙමින් පවතී. හෙට අනිද්දා විපක්‍ෂය සිය ආසන සංඛ්‍යාව 54 සිට 66 දක්වා වැඩි කරගන්නා බව කියයි. නිතරම ආණ්ඩු පෙරළි සිදුවන රටකි.   


2014 අගෝස්තු 30 දා අගමැති විසින් පාර්ලිමේන්තුව අත්හිටුවා ජනමතයට පයින් ගසා රටින් පැන ගොස් නැවත බලය ලබා ගැනීමේ සිද්ධිය ලෝක ජනමාධ්‍ය එදා වාර්තා කළේය. ලයිබේරියාවේ චාල්ස් ටේලර් හිටපු අගමැතිවරයාට එල්ල වූ චෝදනාම ලෙසොතෝ රාජ්‍යයේ වත්මන් 80 හැවිරිදි අගමැති ටොම්ට ද එල්ල වී තිබේ. රට පුරාම දියමන්ති ආකරය. මෙහි ද බලයට පත්වන සියලුම පාලකයන් කරන්නේ ජනතාව කුසගින්නේ​ සිටියදී දියමන්ති හොර රහසේ රට පටවා සුර සැප විඳීමය.  


හොරකම් කළ දේශපාළුවන් රකින අධිකරණය  


ලෙසෝතෝ රටේ ද හොරකම් කළ දේශපාලකයන් නිදැල්ලේ හැසිරෙති. දේශපාලකයන් විසිදෙනකුට එරෙහි නඩු වාෂ්ප වී ඇත. ඊශ්‍රායලයේ ආයතනයක් සමඟ ක්‍රියාත්මක විදුලි නිෂ්පාදන ව්‍යාපෘතිය දූෂිත ගනුදෙනුවක් බව හෙළි විය. එය යට ගසා දැමුවේ ද ලෙසෝතෝ පාලකයන් විසිනි. වළ පල්ලට යන හැම රටකම සිදුවෙන්නේ මෙවැනි අක්‍රමිකතාය. මුදල් යටි මඩි ගැසීම්ය. හොරකම් වංචාය.   

 

 

 

සිරි හීන්පැල්ල  
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි