​තේරීපත්වෙන ජනපති කෙසේ විය යුතු ද?


 

 

 

තව නොබෝ දිනකින් නව ජනපතිවරයෙක් ශ්‍රී ලංකාවට පත්වෙයි. ඔහුට පැවරෙන වගකීම් රැසකි. ඔබ අප අපේක්ෂිත පරිදි මුළුමනින්ම සංස්කරණය කළ රටක් ප්‍රතිනිර්මාණය කිරීමට ඔහුට සිදුවෙයි.  
රටෙහි පැවැත්මට උරදෙන විධායකය, ව්‍යවස්ථාද‌ායකය හා අධිකරණය එකිනෙකට පටලවා ගත් අන්ධ භූත හෙවත් ‘ඉබාගාතේ’ යන රාජ්‍ය තන්ත්‍රයක් අපේ ජනයා කිසිද‌ා අපේක්ෂා නොකරයි. විධායකය විසින් මෙහෙය විය යුතු ඇතැම් අංශයන් ව්‍යවස්ථාද‌ායකය අනිසි ලෙස ක්‍රියාවට නැංවීම හා එයට ඔවුන්ම නීති කෙටුම්පත් සැකසීම ද නිසා මුළු රාජ්‍ය තන්ත්‍රයම ‘කැඳ හැළියක්’ බවට පත් වී තිබේ. මෙය රටට ඉතා අහිතකර ඛේදනීය තත්ත්වයකි.  
 ප්‍රජාවගේ ආරක්ෂකයා වනුයේ රටේ ප්‍රධානියා ලෙස ජනතා අභිමතය පරිදි පත්වන ජනාධිපතිවරයාය. ජාතියට වග කියන, ප්‍රජාතන්ත්‍රවාදයේ නියමුවාද  වන ඔහු සමස්ත ප්‍රජාවම සුරකිමින්, සියලු රටවැසියන්ගේ සකල විධ අපේක්ෂාවන් මල්පල ගන්වා රට සුඛිත මුදිත කිරීමේ ඓතිහාසික භාරධූර කාර්යයක් ඔහුට පැවරෙයි. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද ඒ සඳහා බලතල ඔහු වෙත පවරා දී ති​ෙබ්.  


අද්‍යතන යුගයෙහි ජනපතිවරයා විසින් තමන් සතුව පැවැති බලතල කිහිපයක් ව්‍යවස්ථාද‌ායකය වෙත පවරා දී තිබේ. එහෙත් මෙහි ඇතැම් කරුණු ගැන දූරදර්ශීව සිතීමට තරම් දේශපාලනික පරිඥ‌ානයක් ඔහුට නොතිබීම ඛේදයට කරුණකි. ඒවායින් අයුතු ඵල නෙළාගත් අත්තනෝමතික මැති ඇමැතින් විශාල පිරිසකි. පසුගිය බිහිසුණු, අන්තවාදී ක්‍රියාකාරකම් ඉතා සැහැසි ලෙස රට තුළ බලගැන්වීමට එම දේශපාලකයන්ට හැකි විය.  
 රටෙහි නීතිය වල් වැදී, ප්‍රජාතන්ත්‍රීය හිමිකම් මුලිනුපුටා දමමින් ජනතාව බෙහෙවින් අමතක කොට ඉබාගාතේ ධාවනය වන සේ රජයෙහි ප්‍රතිරූපය මනාව ප්‍රකට වන්නට විය. මෙහිදී රටෙහි ජනයාට වග කියන ව්‍යවස්ථ‌ාද‌ායකය ‘කසාය පානය කළ ගොළුවන් සේ’ මුනිවත රැකීම රටට කෙතරම් අභාග්‍ය්‍යක් ද? පසුකාලීන ලාංකීය පාලකයන් සතුව පැවැති ‘නිෂේධ බලය’ උදුරා ගැනීම නිසා රට දිනෙන් දින අස්ථාවර වන්නට විය.  
 ව්‍යවස්ථාද‌ායකය තමන් සතු භූමිකාවෙහි රඟනවා වෙනුවට සිදුකළේ ජනයා ‘ගොනාට අන්දවා’ හිතුවක්කාරී ගමනක යෙදීමය. මෙයින් ජනතාවගේ ආරක්ෂාව හා ආර්ථිකය නැති භංග වී රට කෙමෙන් සුසානයක තත්ත්වයට පත්වන්නට විය.  
 ව්‍යවස්ථානුකූල ලෙස පාලකයා විසින් ප්‍රජාවට සපයන ආරක්ෂාව හැරුණු විට වැදගත් වනුයේ රටෙහි ආර්ථිකය නැංවීමය. මෙහිදී පාලකයා ජනයාට සංවේදීව ආර්ථික ක්‍රමෝපායයන් කෙරෙහි පිළිසඳරක යෙදිය යුතුය. රටෙහි නිෂ්පාදන ක්‍රියාවලිය හඳුනා ගෙන ඇවැසි ප්‍රාග්ධනය සපයා දී ආර්ථිකය මෙහෙය වීමේ න්‍යායාත්මක ශක්‍යතාවක් පාලකයා සතුව පැවතීම වැදගත්ය.  


රටෙහි ආර්ථිකයේ කොඳුනාරටිය වන් ගොවියා රජෙක් කළ හැක්කේ පාලකයාටය. පැරණි රජ දරුවන් රට තුළ ආර්ථික සුරක්ෂිතතාව ඇති කළ අයුරු අද්‍යතන පාලක, මැති ඇමැති හා නිලදරුවන්ට අමතකය. ‘බත බුලතින් සරු රටක්’, ‘සහලින් ස්වයංපෝෂිත රටක්’ ආදී ලෙසින් කලින් කල තම ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි මොරගා කියා පෑව ද අද රටේ තත්ත්වය බෙහෙවින් ශෝචනීයය.  
 ‘ගොවියා රජකර වීම’ සුවි​ෙශ්ෂී ප්‍රස්තුතයක් අලෙස යථෝක්ත ලේඛනයෙහි යෙදවුව ද අද ගොවියා අසරණය. බලයට පත් වූ විට පාලකයාට ගොවියා අමතක වී යාම රටට සුබද‌ායක නොවේ.   
පුරන් කුඹුරු අස්වද්ද‌ා වැව් අමුණු පිළිසකර කොට රට බත බුලතින් සරුසාර කිරීමට හැම වරකම ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි යෙදීමට ඔවුහු අමතක නොකරති. එම කාර්යයට උරදෙන බවට ප්‍රලාප දොඩවමින් විශාල පිරිවැයක් දරා ව්‍යාජ වප් මඟුල් වැනි උත්සව පවත්වා ගොවියන් ඇන්ද වූ ක්‍රමය වහා අවසන් කළ යුතුය. වත්මන් ජනපති, අගමැති ප්‍රකාශනයන්හි ද රටෙහි විශේෂ කාර්යයක් ලෙස පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාවලිය ගැන සටහන් කරයි.  
 එහෙත් රට තුළ පුරන් කුඹුරු හෙක්ටයාර් දස දහසක් පමණ දක්නට ලැබෙයි. ඒවා ගොඩ කොට හොටෙල්, නිවාස හා කඩපිල් සෑදීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබීම රටට කෙතරම් අහිතකර ද? රටට හිමි විය යුතු කුඹුරු අක්කර ප්‍රමාණය දිනෙන් දින අඩු වී යන බවක් පෙනෙයි. මේ පසු පස විජාතික බලවේග ද නැත්තේ නොවේ.  
 අනුරපුර පොළොන්නරුව ඇතුළු හැම දිස්ත්‍රික්කයකම වැව් කුඩා වැව් දහස් ගණනක් වල් බිහිව තිබේ. ඒවා ප්‍රතිසංස්කරණය නොකොට කෘෂිකර්මාන්තය නගා සිටුවිය නොහැක. වත්මන් ජනාධිපතිතුමා රටට දැනෙන ‘කෘෂි විප්ලවයක්’ සිදුකරනු ඇතැයි ගොවියෝ බලා සිටියහ.  
මේවාට වගකිව යුතු ව්‍යාපෘති භාර ඇමැතීන් නිද්‍රාවෙන් පසුවීම රටට බත සපයන, දැයේම සම්පතක් වන ගොවියාට ගැසූ මරු පහරකි. වාරි කර්මාන්තය භාර දෙස්පාලකයන්ගේ භූමිකාව ද එසේමය. මේ ක්ෂේත්‍රය ගැන දැනුමැති සාම්ප්‍රද‌ායික කෘෂි​ භෝග ආර්ථිකයට සෙනෙ​ෙහ පාන ප්‍රවීණ දේශපාලකයන්ට යථෝක්ත විෂය පථයන් භාර නොදීමත් මේ ව්‍යසනයන්ට මූල බීජයකැයි අකුටිලව කිව හැක. රටේ පිනට ලැබී ඇති මේ භෞතික සම්පත් වැනසීමට ඉඩ හැර, වංක ලෙස සුර සැප විඳිමින් ඔව්හු වැජඹෙති.  
අප රටෙහි වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රය ලක්වැසියාට සිරිකත කැන්දන, රටවැසියාගේ ශ්‍රමය ද පාදක කොට ඉදිරියට පියමං කළ හැකි අගනා අංශයෙකි. ගමෙහි නිෂ්පාදනයන් හැඳින ගෙන සුළු භෝගයන්ගේ පටන් ඉහළ තලයේ නිෂ්පාදනයන් දක්වා විමර්ශනාත්මක ගවේෂණයක යෙදී ගමට, නගරයට මනා ආයෝජනයක් සැලසීමට රටේ රාජ්‍ය යාන්ත්‍රණයට අවකාශ තිබිය යුතුය.  


අද‌ාළ ඇමැතිවරයා සහ නිලධාරින් රටේ සම්පත් සුරැකමින් දේශීය ආර්ථිකය නැංවීමට නියමුවන් ලෙස පෙනී සිටිය යුතුය. රටෙහි තරුණ දරුවන් හවුල් කොට ගෙන ඔවුන්ගේ දැනුම් හා හැකියාවන් ද පදනම් කොට ගත් වාණිජ හා කර්මාන්ත විප්ලවයක් වහා රට තුළ ස්ථාපිත කළ යුතුව තිබේ.   
රටට ඇවැසි නිෂ්පාදන ක්‍රියාවලියට හවුල් කරගත හැකි බුද්ධිමත් ක්‍රියාශීලී යොවුන් ප්‍රජාව රට තුළ සිටිය ද ඔවුන්ගේ ශ්‍රමය හා දැනුම ලබා නොගෙන දේශපාලකයන්ට හිතවත් නූගත් හා ක්ෂේත්‍ර අත්දැකීම් නොමැති ගෝල බාලයන් අද‌ාළ අංශයන් වෙත කැඳවා ගෙන සිටීමෙන් අද්‍යතන යුගයෙහි එහි අපේක්ෂිත ඵලද‌ායිතාවක් නොමැති වී ඉලක්ක ගත ලාභාංශ රටට නොලැබි යෑමත් වාර්තාගත වී තිබේ.  
 ගම්මිරිස් වැනි සුළු අපනයන භෝග පිටරටින් ආනයනය කිරීමාදිය මගින් ග්‍රාමීය ශ්‍රමිකයන් හෑල්ලුවට ලක්කොට ඔවුන් දැඩි අසහනකාරීන් බවට පත් කොට තිබේ. ක්ෂේත්‍රයෙහි නිපුණත්වයක් නොමැති අය අමාත්‍යංශය හා දෙපාර්තමේන්තුව අරක් ගෙන රාජ්‍ය වරප්‍රසාද භුක්ති විඳිමින් සුඛෝපභෝගී දිවි ගෙවති.  
අප රට තුළ ග්‍රාමීයව ඇරඹිය හැකි කර්මාන්ත රැසකි. කොහු, රබර්, සම්, ධීවර ආම්පන්න හා පාවහන් ඒ අතර ප්‍රමුඛ වෙයි. වත්මන් ඇමැතිවරයා මේවා නොහඳුනයි. පාලන තන්ත්‍රය ද නිසොල්මන්ය. මේ නිසාම සාම්ප්‍රද‌ායික යථෝක්ත කර්මාන්ත වැසී ගොස් ගැමියා අසරණ කොට තිබේ. කොහු මිශ්‍රිත උපකරණ රට රාජ්‍යවලින් ආනයනය කිරීමට සිදුව ති​ෙබ්.  
හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එවන් ග්‍රාමීය කර්මාන්ත හැඳින ගෙන ඒවාට වැඩි ප්‍රතිලාභ ලබා දී අද‌ාළ ශ්‍රමිකයන් රජ කරවූ අයුරු පාලකයන්ට අමතකය. අද‌ාළ ව්‍යාපෘති අමාත්‍යවරයා තම විෂය පථය හැඳිනගනු වෙනුවට අන්තවාදී ලෙසින් තම බල ප්‍රදේශ රාජධානිය ලෙස සකසා ගැනීමට දරන ප්‍රයන්තය සක්සුදක් සේ අපේ වැසියන්ට පෙනී යන කරුණකි.  


 සුළු පරිමාණ ව්‍යාපාරිකයා නඟා සිටුවනු වෙනුවට අද‌ාළ ක්ෂේත්‍රය එපා කරවන අයුරින් බදු ලබා ගැනීම් හා ඒ සඳහා දිරිදීමක් ද නොමැති හෙයින් ස්වයං රැකියා නියුක්තිකයන් පවා කබලෙන් ළිපට වැටී හමාරය. ගමෙහි නිපැයුම් නගරයට ඒම අද වන විට සුලභව දැකිය නොහැක.  
 ගමෙහි දරුවන්ට රෙදිපිළි නිෂ්පාදන තුළින් ඉහළට යෑමට හිටපු රණසිංහ ප්‍රේමද‌ාස ජනපතිතුමා ගම් නගර සිසාරා ‘ගාමන්ට්’ ආයතන බිහිකරලීමට උත්සුක විය. විෂයානුබද්ධ අමාත්‍යංශය භාර දිය යුත්තේ ගැමිකම, සංස්කෘතිය, දරිද්‍රතාව හා මානුෂික ශ්‍රම ද‌‌ායකත්වය ද හඳුනන සංවේදී අමාත්‍යවරයෙකුටය.  
 අවස්ථාවාදී ජනතා විරෝධි ප්‍රතිරූපයකට නොවේ. ඈත එපිට ග්‍රාමීය ජනයා දහඩිය කඳුළින් උපයන දේ අලවි කරගත නොහැකිව සුසුම් හෙළන අතර ඒ වෙනුවට නොයෙක් අපද්‍රව්‍ය මිශ්‍රිත කුළුබඩු ආදිය ආනයනය කොට ජනයාට වස කවන වාණිජ හා කර්මාන්ත ක්ෂේත්‍රයක් අද වන විට ඇමැතිවරයා විසින් හඳුන්වාදී තිබේ.  
 සාම්ප්‍රද‌ායිකව අත්දැකීම් ලත් ග්‍රාමීය ගොවි, ගෙවිළියන්ගේ උපදෙස් ලබා ගනු වෙනුවට අන්‍යජාතික හා විජාතික බලවේග වටකර ගත් ඇමැතිවරයකු මෙම විෂය පථයට පත්කොට තිබීමේ අනිටු ඵලයන් රටට මනාව දැනී තිබේ. ඔහුගේ අභිමතය පරිදි අද‌ාළ යාන්ත්‍රණය බලගැන්වීමට රටෙහි ප්‍රධානීන් දෙදෙනාගෙන් කිසිදු සහායක් නොමැත.  
ජන දුක නිවා නිරෝගිමත් පුරවැසියන් කිරීමේ වගකීමෙන් පාලකයන් බැහැර වී තිබේ. මේ හා සබැඳි බොහෝ ව්‍යවසායකයන්ට මේ සඳහා සහතික වීමට තිබූ ඉඩකඩ විෂය භාර​ මුග්ධ ඇමැතිවරයා විසින් අහුරා තිබෙන බව ද වෙසෙසා කිව මනාය.  


රටෙහි ප්‍රගමනයට ප්‍රස්තුත වන තවත් අංශයකි සෞඛ්‍යය. ප්‍රජාව නිරෝගිමත්ව තැබීමට රජය බැඳී සිටියි. අද්‍යතන තරුණ පරපුර මත් රකුසා විසින් වෙළා ගෙන හමාරය. අප රටෙහිම වෙසෙන අන්‍ය ජාතිකයින් ප්‍රමුඛ කොට ගත් ඇතැම් ධන කුවේරයන් විසින් විජාතිකයන්ගෙන් තොග ලෙසින් ලබා ගනු ලබන මත්ද්‍රව්‍ය රට පුරා බෙද‌ා හරිමින් යෞවනයන් ගොදුරු කොට ඔවුන් සෞඛ්‍යමය වශයෙන් බෙලහීනයන් කර තිබීම කෙතරම් ඛේදනීය ජාතික අපරාධයක් ද? ඒවාට වැට කඩොලු බැඳීමට රජය කෙතරම් දුරට මැදිහත් වූයේ දැයි යනු ගැටලුවකි.   
රටට ඇවැසි උගත්, බුද්ධිමත් චින්තකයන් බිහිවෙනු වෙනුවට නිද්‍රාශීලි, මානසික හා කායික ලෙසින් දුබල උමතු වූ යොවුන් පර්ෂදයක් ගම් දනව් නගර සිසාරා දිස්වීම මොන තරම් ශෝචනීය කරුණක් ද? රජය මේ කෙරෙහි දක්වන ප්‍රතිචාරය මඳ බවක් පෙනෙයි.  
 රටට ඇවැසි බෙහෙත් අධික මිලක් පැවතීම හා චැනල් සේවා ගාස්තු ඉහළ අගයක පැවතීම, රෝහල් හි පහසුකම් අඩු බව පමණක් ද නොව නිවැරදි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් අපට නොමැති වීමාදිය රට තුළ සෞඛ්‍යය පිරිහීමට හේතු කාරක වී තිබේ. මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමට හා ඒවා ජාවාරමුන්ට දැඩි දඬුවම් ලබා දීමට රජය වහා උත්සුක විය යුතුය.  


රටෙහි නිවාස අවශ්‍යතාව සපුරාලීමට වත්මන් විෂය භාර ඇමැතිතුමා ඉමහත් ප්‍රයත්නයෙක යෙදීම ඇගයිය යුතුය. එහෙත් ඒවාහි ප්‍රමිතිය කෙරෙහි වඩා සැලකිලිමත් විය යුතුය. නිවාසලාභී අයකිරීම් වහා අඩු කොට සහන පදනම මත ගෙවීම් ලබාගතක යුතුය.  
රටෙහි අධ්‍යාපනය හා උසස් අධ්‍යාපන, වෘත්තීය පුහුණු අමාත්‍යවරුන් සිටියදී අන්‍ය ජාතික මැති ඇමැතින් හට මනාප ලෙසින් පාසල් හා සරසවි ඇතුළු උසස් අධ්‍යාපන ආයතන රට තුළ ස්ථාපනය කිරීම කෙරෙහි රජය ගත් පිළියම් වහා රටට හෙළිකළ යුතුව තිබේ. මෙය ආගමික සංහිඳියාවට ද පහරකි.  
 රටේ මූල්‍ය ප්‍රතිපාදන හා සම්පත් මේ උදෙසා කෙසේ උපයුක්ත වී දැයි වහා විමර්ශනයක් කළ යුතුය. ස්ලාමීය දරුවන්ට අන්‍ය සොයුරන් හා අධ්‍යාපනය හැදෑරීමට බාධා රට තුළ නොමැත. අපිදු ද්‍රවිඩ හා ස්ලාමීය සොයුරු සොයුරියන් හා එකට උසස් අධ්‍යාපනය ලැබුවන් බව හා වත්මන්හි ද ඔවුන් හා මිත්‍රශීලිව හිඳිනා බව සිහිපත් කළ හැකිය.  
 අන්තවාදී දෙස්පාලකයන් ආගමික, ජාතික සංහිඳියාව දෙදරවා ප්‍රතිගාමී බලවේග කරා යොමු වෙමින් පවතියි. වත්මන් රජය මේ කෙරෙහි ද දක්වන උද‌ාසීන භාවය පුදුම සහගතය. තම දේශපාලන බලය යොද‌ා අත්තනෝමතික හා සාහසික ලෙසින් කරනු ලබන ව්‍යාපෘති රාජ්‍ය මැදිහත් වීමෙන් රාජ්‍ය දේපළක් ලෙස පවරා ගත යුතුය. චෝදනා ලද අන්‍ය ජාතික මැති ඇමැතින්ගේ ක්‍රියාකාරකම් සඳහා ‘උඩ ගෙඩි’ දෙමින් ඔවුන් සුරකිමින් සියලු රාජ්‍ය සම්පත් හා ප්‍රතිපාදන රිසිසේ ලබා දෙමින් රජය අදුරදර්ශී මාවතක ගමන් කරනු පෙනී යයි.  
 සංහිඳියාවට මුවා වී කරනු ලබන ව්‍යාපෘති නවතා ජාතීන් අතර සමඟිය තීව්‍ර කිරීමට අපහසු වූ වත්මන් රජය කෙරෙහි ජාත්‍යන්තර අප්‍රසාදයක් ද ජනතාව ඇති බව අකුටිලව කිව යුතුය.  


 රටෙහි සංස්කෘතිය නොහඳුනන, කට මැත දෙ‌ාඩවන මැති ඇමැතින් පසුගිය රජයෙහි ද විය. වත්මනෙහිද එවැන්නන් කිහිප දෙනෙකු- රටෙහි පවත්නා නීතිය හා සද‌ාචාරය පසෙකලා නන් දෙඩවීම සකල රාජ්‍ය තන්ත්‍රයේම පරිහානියට හේතුවක් වී තිබේ. විස්මය නම් පාලක පෙළැන්තිය ‘ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ’ මුනිවත රැකීමය. මොවුන්ට ජනතා ප්‍රතිචාරය මනාව ඉදිරියෙහි ලැබෙනු ඇත.  
 රටෙහි පරිපාලන ක්ෂේත්‍රය ජන සුඛවිහරණය උදෙසා බලගැන්වෙන අගනා යාන්ත්‍රණයෙකි. මෙහි නියුතු පළපුරුදු උගත් හා කාර්යක්ෂම නිලධාරින් පත්වන රජය මගින් ස්ථාන මාරුකිරීමාදිය නිසා ද තම දේශපාලන හවුල්කරුවන් එම හිඩැසට එක් කිරීම නිසා ද අද‌ාළ අංශයන්හි වාර්තාගත පිරිහීමක් දක්නට ලැබේ.  
 මෙවැන්නන් රාජ්‍ය පරිපාලනයෙන් ‘කම්මුතු’ කොට සුදුස්සන් එහි පිහිටු විය යුතුය. රාජ්‍ය උත්සවයන් උදෙසා වැය කරනු ලබන පිරිවැය ද අවම කළ යුතුව තිබේ. රජයක මූල්‍යමය කළමනාකරණය රටෙහි පැවැත්මට ඉතා හිතකර මාධ්‍යයෙකි. නැගෙනහිර පළාතෙහි සිදුවන බහු විධ ව්‍යාපෘති සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කෙසේ වැය වී දැයි ජනයා තුළ ඇත්තේ ආවේගශීලි හැඟුමකි.  


 රටෙහි වන සම්පත රටට සෞභාග්‍යය උද‌ාකරයි. එය වනසා අන්‍ය ජාතීන් පිනවීමට රජය ප්‍රයන්ත දරන බව පෙනෙයි. අපගේ පෞරාණික උරුමයන් ද වනසා දමා රිසි සේ හැසිරෙන මුග්ධයන් කෙරෙහි පුරාවිද්‍යා අධිකාරිය හෝ සංස්කෘතික මෙන්ම බුද්ධශාසන අමාත්‍යංශය ද ගත් පියවර කවරේදැයි යනු ගැටලුවකි.  
රටේ ප්‍රජාව කෙරෙහි සවන් යොමන, සංවේදී හදක් ඇති රට දැය සංස්කෘතියට දහමට ළැදි කවරෙකු හෝ පාලකයෙකු ලෙස පත්කර ගැනීමේ මූලික අයිතිය රටවැසියා හට තිබේ. උගත් යතිවරුන් හා පූජ්‍ය උතුමන්ගේ උපදෙස් මත රට කරවන දැවැන්ත චරිතයක් වහ වහා රටට ඇවැසි වී ති​ෙබ්. සියලු ජාතීන් හා ආගමිකයන් වාද භේද දුරලා අත්වැල් බැඳ ගතහොත් ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලන තන්ත්‍රය පලවා හැර දෑහිතකාමී රාජ්‍යයක් බිහි කිරීම අපහසු නොවනු ඇත.

 

 

හේනෙගම අමරනන්ද හිමි  
 ඕස්ට්‍රේලියාවේ සිට