​ජෙට්වින්ග් ජාත්‍යන්තරයට ගෙන ගිය හිරාන් කුරේ


අභියෝග ජයගත් මිනිස්සු

හර්බට් කුරේ සරසවි අධ්‍යාපනයෙන් පසුව ගුරු වෘත්තියට එළැඹියේය. ඉන්පසුව කටයුතු කළේ රක්ෂණ නියෝජිතවරයකු ලෙසිනි. පසුව ගොඩනැගිලි ඉදිකිරීම් අංශයට පිවිස කොන්ත්‍රාත් කටයුතුවල නියැළී සිටියේය. හර්බට් කුරේ යනු ව්‍යාපාර පවුලකට අයත් ධනවත් චරිතයක් නොවූ අතර සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලකට අයත් චරිතයක් විය.   


 ඔහු සතුව අනාගත දැක්මක් තිබිණි. ඒ දැක්ම අනුව ඔහු කටයුතු කළේ පොළොවේ පය ගසා සිටි අතිශය සරල සාමාන්‍ය මිනිසකු ලෙසිනි. ඔහුගේ බිරිඳගෙන් මේ මිනිසාට ලැබුණේ විශාල සහයෝගයකි. සංචාරක හෝ සංචාරක හෝටල කර්මාන්තය කෙරෙහි කුරේ පවුලට සංකල්පයක් නොතිබිණි. නමුත් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතව සිටිය දී ඔහුට අපූරු අදහසක් පහළ විණි.   


‘ඇයි සංචාරක හෝටල ක්ෂේත්‍රය සඳහා අපිටම අයත් ගොඩනැගිල්ලක් ඉදිනොකරන්නේ?’ එලෙසින් ඔහුට ඇති වූ සංකල්පය අදහසක් පමණක් වී දියකර නොහැරිය හේ එය ප්‍රායෝගික කිරීමට උනන්දු විය. එහි ඵලයක් ලෙස 1973 වසරේ හීතල දුරුත්තේ දී කුරේ පවුල සතු ප්‍රථම සංචාරක හෝටලය ආරම්භ කිරීමට හැකිවිණි.   


 කාමර 6කින් පමණ සමන්විත පුංචි සංචාරක හෝටලයක් ලෙස මෙය ස්ථාපිත වූයේ මීගමුව වෙරළ තීරයට යාබදවය. නිල්වන් මුහුදු තීරයේ ඉදිවූ නිසා ඊට නම් තැබුවේ ‘බ්ලූ ඕෂනික්’ නමිනි. මෙය කෙතරම් සුළුවෙන් පටන් ගත්තේ ද යත් එද‌ා ආනයනික භාණ්ඩ ගෙන්වීමේ තහනමක් තිබිණි. ඒ නිසා හෝටලයේ ඉවුම් පිහුම් වෙනුවෙන් භාවිත කිරීමට සිදුවූයේ කුරේ පවුල ගෙදර භාවිත කළ කුකර් එකය.   


 හර්බට් කුරේ එලෙසින් ඇරඹි සංචාරක හෝටලයේ උන්නතිය උදෙසා ඔහුගේ බිරිඳගෙන් ලැබුණේ සුවිශාල සහයකි.   


මාර්කට්ටුවට ගිහින් හෝටලයට අවශ්‍ය ආහාර පාන සැකසීම සඳහා අමුද්‍රව්‍ය ගෙන ඒම, භාණ්ඩ මිලදී ගැනීම ආදිය කළේ ඇය විසිනි. මේ යුවළගේ වැඩිමල් දියණිය ද ලොකු බරක් ඇද්ද‌ාය.

   
‘තාත්තා වැඩ කළා අම්මා යාඥ‌ා කළා.’   


එසේ පවසන්නේ කුරේ යුවළගේ පුතු වන නාවලගේ ජෝශප් හිරාන් මහින්ද කුරේ ය. සම්පූර්ණ නාමය එය වුවද ඔහු මෙරට ජනගතව සිටින්නේ හිරාන් කුරේ යනුවෙනි. මේ හිරාන් කුරේ යනු මෙරට පමණක් නොව ජාත්‍යන්තරව ද අද ප්‍රකටව සිටින මහා මිනිසෙකි. තාත්තා දියත් කළ සංචාරක හෝටල ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කළ අපූරු පුතා ඔහුම වෙයි.   

 


ජෙට්වින්ග් (Jetwing) යන නාමය අද මෙරට සංචාරක ක්ෂේත්‍රයේ බැබළෙන නාමයක් නම් ඒ ජෙට්වින්ග් ගගන තලයේ බැබළෙන තරුව ඔහුම වේ. මේ හිරාන් කුරේ යනු අහසේ වියන් බැඳගෙන ජීවත්වන මිනිසකු නොවේ. තම පියා වූ හර්බට් කුරේ මෙන්ම පොළවේ පය ගසා සිටිමින් යථාර්ථය අවබෝධ කරගෙන සරලව දිවි ගෙවන චරිතයකි. තාත්තලා බිහි කළ, හරි හම්බ කළ සේසතම නැති නාස්තිකර තමුන් ද විනාශය කරා යන පුතුන් සිටින සමාජයක මේ හිරාන් කුරේ යනු තාත්තා නැවතූ තැනින් පටන් ගෙන ලාංකීය සංචාරක කර්මාන්තයට සුවිශාල අස්වැන්නක් නෙළා දීමට සමත් වූ දිරිය මිනිසෙකි. 

 
 ඔහුගේ පියාණන් වූ හර්බට් කුරේ අද ජීවතුන් අතර නැත. වත්මනෙහි ජෙට්වින්ග් සමූහයේ සභාපති වන්නේ ඔහුගේ මේ අපූරු පුතු වන හිරාන් කුරේය.   


මත්තුමගල වැලිසර ගම් පළාත වන අතර මුලින්ම හිරාන් පාසල් අධ්‍යාපනය ලැබුවේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහලෙනි. පසුව කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීය.   
 එවකට ඔහු වඩා ප්‍රකටව සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියටය. හිරාන් ඒ අතීතය මතක් කළොත්? අපි ඔහු අතීතයට කැඳවාගෙන ගියෙමු.   


‘කුඩා කාලයේ දී මම පන්තියේ දක්ෂ ළමයකු වුණේ නැහැ. ක්‍රීඩාවට තමයි හිත තිබුණේ. හැබැයි අපේ අක්කා ඉගෙනීමට බොහෝම දක්ෂයි. ඇය ගියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට.   
එයා ඉගෙනීමෙන් විශිෂ්ට ලෙස සමත්ව ත්‍යාග එහෙම නිරන්තරයෙන් ලබා ගත්තා. හැබැයි අක්කා මට වඩා දක්ෂයි. මම ඉගෙනීමට අදක්ෂයි කියලා භේදයක් අපේ මව්පියන් අපි අතර ඇති කරලා තිබුණේ නැහැ. අක්කගෙ දක්ෂතා ගැන ගෙදර අපි ඔක්කෝමලා අගයමින් කතා කළා. පාසලේ දී මම වඩා දක්ෂ වුණේ ක්‍රිකට් ක්‍රීඩාවටයි. දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ශාන්ත ජෝශප් එකේ දී අංක තුන පිතිකරු ලෙසත් ක්‍රීඩා කළා. ඒ වගේම 1982 පාසල් කණ්ඩායමේ නායකයා ඈෂ්ලි ද සිල්වා වූ අතර මම උපනායක ලෙස කටයුතු කළා.   


1980 දී 17න් පහළ නායකයා වුණෙත් මම. 17න් පහළ සමස්ත ලංකා අවසාන තරගයේ දී අපි ශූරතාව දිනුවා. මම ලකුණු 100ක් ලබා ගත්තා. ඊට පෙර 1981 ශාන්ත බෙනඩික් එක එක්ක පැවැති තරගයක දී ඕවර 21 කින් අපට ලකුණු 193ක් ගන්න තිබුණා. එහිදී ලකුණු 73ක් පන්දු 33කදී මම ලබා ගත්තා. අපි තරගයත් දිනුම්.’   


ක්‍රිකට් ක්‍රීඩාවෙහි රස දන්නෝ ක්‍රිකට් ක්‍රීඩා කළ අයම වෙති. හිරාන් තමගේ ක්‍රිකට් දිවියේ රසවත් අවදිය ගැන මතක ගෙන එමින් සිටියදී ‘ඇයි ඔබ අරවින්ද-අර්ජුනලා එක්ක එද‌ා 19න් පහළ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා නේද?’ අපි ඒ මතකය ගැන හිරාන්ගෙන් විමසීමු.   


‘ඔව්. 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස එද‌ා එංගලන්තයේ සංචාරය කිරීමට අවස්ථා ලැබුණා. අර්ජුන එක්ක මගේ තිබුණෙ හොඳ මිත්‍රත්වයක්. එද‌ා එංගලන්තයට ගියාම අද වගේ සුපිරි සංචාරක හෝටල නවාතැන් සඳහා ලැබුණෙ නැහැ. සමහර අපි දන්න අයගෙ ගෙවල්වල සහ පාසල්වල තමයි අපි නවාතැන් ගත්තෙ. ක්‍රිස්ටි ගුණසේකර මහතා තමයි එද‌ා කළමනාකාරිත්වය දැරුවේ.   


 අපේ කණ්ඩායමේ ඉංග්‍රීසි කතා කළ හැකි අය වගේම බැරි අයත් හිටියා. ඉතින් අපේ කළමනාකාරතුමා කළේ බැරි කෙනා සහ හැකි කෙනා එකට තැබීම. එයා ඒ වගේ අපිව භේද කළේ නැහැ. ඒනිසා අපි එක පවුලක සහෝදරයෝ වගේ ක්‍රීඩා කළා.   


 ඔන්න එංගලන්තයට ගියාම අර්ජුනට කෑමට බත් ඕනෑ. සලාද ලැබුණාම එයා ඒ කෑම වේලට කිව්වේ ‘හාවුන්ගෙ’ කෑම කියලයි. ඉතින් කළමනාකරු එයාට කොහෙන් හරි බත් පාර්සලයක් ගෙනැත් දුන්නා. සැලඩ් කාපු අපි අඩු ලකුණු ගනිද්දී බත් කාපු අර්ජුන සසෙක්ස්ලාට එරෙහිව ලකුණු 135ක් ගත්තා. එද‌ා පැවිලියන් එකට එයා හයේ පහර කීපයක්ම ගැහුවා. අරවින්ද තමයි ඒ කණ්ඩායමේ හිටපු බාලයා. එයාට එතකොට වයස අවුරුදු 15යි. හැබැයි එයත් සීයෙ එ්වා ගැහුවාම අපේ පුහුණුකරුව සිටි මයිකල් තිසේරා මහත්තයා එද‌ා අපූරු අනාවැකියක් එයාට කිව්වා. ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවකු වනවා කියලා. ඒ කිව්ව වගේම අරවින්ද ලෝක පූජිතයෙක් වුණා.’   


එතකොට ඇයි ඔබ ක්‍රිකට් අත්හැරියෙ? 


ඒ දවස්වල ක්‍රිකට්වලට එච්චර ඉල්ලුමක් තිබුණේ නැහැ. ඒ වගේම අපට ඒවාට වියදම් කරන්න තරම් ලොකු සල්ලියක් තිබුණෙත් නැහැ. ක්‍රිකට් නිසා ජීවිතයේ බොහෝ දේ හැදුණා. ජේම්ස් පෙරේරා සහ ෆෙයාර්ලි දැල්පන්දු පුහුණු ගුරුවරු අපේ ජීවිතයත් හැදුවා කිව්වොත් හරි. එතකොට මගේ වයස අවුරුදු 16යි. අපි ජොලියට දවසක් සිගරට් එකක් බිව්වා. මේක දැකපු අපේ පුහුණුකරු නොදැක්කා වගේ හිටියා. හැබැයි පසුව අපට හොඳ ලෙක්චර් එකක් දුන්නා. සිගරට් නිසා සල්ලි පිච්චෙනවා. ඒ වගේම පපුවත් දැවෙනවා කිව්වා.   


 එයින් පසුව කවද‌ාවත් අපි කවුරුවත් සිගරට් බිව්වේ නැහැ. අදටත් එහෙමයි. අද තරුණ ළමයින් එහෙම කරද්දී මට මගේ පපුව පිච්චෙනවා වගෙයි දැනෙන්නේ. ඒනිසා තරුණ පරපුරෙන් මා ඉල්ලීම් කරන්නෙ අපරාදේ දුම්පානය කරන්න එපා කියලයි.’   


මෙලෙසින් ජීවිතයේ අරුත හඳුනාගෙන සිටි හිරාන් මුලදී අධ්‍යාපනයට දක්ෂ නොවුවද උසස් පෙළට මුහුණ දුන්නේ මාස 3ක පමණ කෙටි කාලයකදීය.   


 නිමලා පෙරේරා ගුරු මාතාව, ජෝ පෙරේරා මාස්ටර් තමාගේ අධ්‍යාපනික කටයුතු සාර්ථක කරගැනීමට මහත් සේ උපකාර වූ වග හිරාන් සිහිපත් කරයි. ආර්ථික විද්‍යාව ගණකාධිකරණය සහ වාණිජ අංශයෙන් උසස් පෙළ සමත් වූ පසු ඔහුගේ ඊළඟ ගමනාන්තය වූයේ ඇමෙරිකාවය.   


එහි ගොස් සරසවි අධ්‍යාපනයට එළැඹියේය. ඒ වන විට එස්එස්සී සහ කෝල්ට්ස් කණ්ඩායම් සඳහාත් ඔහු ක්‍රීඩා කරමින් සිටියේය. ක්‍රිකට් එ් තරමටම ඔහුගේ ආත්මයට බද්ධ වී තිබිණි. නමුත් අධ්‍යාපනයෙන් සමාර්ථ ලැබූ පසු ඔහු විශ්වාස කළේ දෙවියන් එය ඔහුට ලබා දුන් දීමනාවක් ලෙසිනි. ඒ නිසා උසස් අධ්‍යාපනය හොඳින් කිරීමට වග බලා ගත්තේය. 87 ජූනි මාසයේ දී නෝර්ත් කැරොලිනා සරසවියේ දී උපාධි ප්‍රදානෝත්සවය පැවැති අතර මව පියා ඊට සහභාගි වූහ.   


‘දැන් පුතා මෙතැනින් පසුව මොනවද කරන්නේ?’   


තාත්තා විමසීය.   


‘මම තව ටික දවසක් මෙහේ ඉඳලා එන්නම්.’ හිරාන් පුතු කීවේය.   


ඉන්පසුව අම්මා, තාත්තා ගුවන් තොටුපොළ වෙත රැගෙන ගියේ ද ඔහු විසිනි.   


‘ඔයා මෙහෙ මොනවා කළත් කමක් නැහැ, ලංකාවට එන්න’   

'
කවද‌ාකවත්, කිසිම දෙයකට තහංචි නොදැමූ කිසිම දෙයකට සැර වැර නොවූ පියා ගුවන් යානයට ගොඩවීමට පෙර හිරාන්ගෙන් ඒ ඉල්ලීම කළේය.   


පසුව හිරාන් තනිවම කල්පනා කරමින් සිටියේය.   


‘මම මෙහේ හිටියොත් මැක්ඩොනල් එකේ හරි තව තැනක හරි මැනේජර් කෙනෙක් තරමට යාවි. ඊට එහා මොනවා කරන්නද? එසේ සිතූ ඔහු ඊළඟ සති දෙක නිමවූ පසු ඇමරිකාවට සමුදී ලංකාවට ඒමට අදිටන් කර ගත්තේය. ඔහු මේ එන්නේ ශ්‍රී ලාංකීය සංචාරක ක්ෂේත්‍රය බැබළවීමට යැයි කිසි විටෙකත් විශ්වාස නොකළා විය හැකිය. එහෙත් ඒ ආ ගමන ඔහුගේ ජීවිතයම වෙනස් කළේය.   


ඇමෙරිකාවේ ඉඳලා ලංකාවට එන විට ලංකාවේ තිබුණේ අතිශය භයංකර තත්ත්වයක්. එහෙන් උතුරේ යුද්ධය. මෙහෙන් දකුණේ යුද්ධය. තැන තැන මළ මිනී. මිනිස්සු මැරෙන හැටි, මේවා තමයි දකින්න ලැබුණෙ. මම අවුරුදු විසිපහක විසිහයක තරමේ තරුණයෙක්. ජීවිතය ගැන පුදුම බියක් අපටත් දැනුණේ. සංචාරක කර්මාන්තය තියා පාරේ බැහැලාවත් යන්න බැරි වාතාවරණයක් තිබුණෙ. සමහරද‌ාට රටේ ඇඳිරි නීතිය. මේ වන විට බ්ලූ ඕෂනික් එකට අමතරව තාත්තා තව යාළුවකු සමග ෂී ෂෙල්ස් හෝටලය අරගෙන තිබුණෙ. ඊට අමතරව ​ෙරා්යල් ඕෂනික් සතු වුණා. ඊටත් අමතරව යාල සෆාරි සහ මිතුරෙක් සමග නුවරඑළිය ශාන්ත ඇන්ඩෲස් එකත් කරගෙන ගියා.   


 ඇත්තම කිව්වොත් රටේ ඒතරම් අවාසනාවන්ත තත්ත්වයක් තිබියදීත් තාත්තාට තිබුණෙ අතිශය සුබවාදී අනාගත දැක්මක්. ව්‍යාපාරය දියුණු කරගන්න ඕනෑ නම් ගත්තු බැංකු ණය වෙලාවට ගෙවන්න, සැපයුම්කරුවන්ට නියමිත වෙලාවට ගෙවන්න. සේවකයින්ට හරි දිනයේදීම පඩි දෙන්න. ඒ වගේම ගමේ මිනිසුන් සහ ධීවර කර්මාන්තයේ යෙදෙන මිනිසුන්ට ආදරෙන් ගෞරවයෙන් සලකන්න. තාත්තා අපට කියා දී තිබුණෙ ඒ විදියටයි.’   
තාත්තා කියා දුන් මග ඉතා ගෞරවණීයව ඉදිරියට ගෙන ගිය හිරාන් එවකට රටේ ඇතිව තිබූ අඳුරු කාල පරිච්ඡේදයට මුහුණ දුන්නේ වඩාත් ධෛර්යසම්පන්න මිනිසකු ලෙසිනි. තාත්තා හිරාන් හට බ්ලූ ඕෂනික් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ තනතුරක් ලබා දුන්නේය.   


 ‘පිදෙල් කැස්ත්‍රෝ’ කියුබාවේ නායකත්වය ගනිද්දී එයාගෙ වයස අවුරුදු 27 යි. ඉතින් එහෙම නම් ඔයාට මේ වගේ තැනක් රන් කරන එක එච්චර දෙයක් නෙවෙයිනේ.’ යනුවෙන් තාත්තා හිරාන්ව උනන්දු කළේය.   
 ‘මට විතරක් නෙවෙයි. අක්කා ඒ වන විට සරසවි අධ්‍යාපනයෙන් ඉහළ ප්‍රතිඵල ලබා තිබුණෙ. අක්කා හටත් වගකීම් රැසක් පැවරුවා. දැන් වර්තමානය වන විට අපි දෙන්නා තමයි මේ සමාගමට නායකත්වය ලබා දෙන්නෙ. අක්කා වෙලාවකට මට අම්මා වගෙයි. තවත් වෙලාවකට යාළුවෙක් වගෙයි. අක්කාගේ රෝල් එකත් එයා කරනවා. සමහර වෙලාවට ව්‍යාපාර ක්ෂේත්‍රයේ දී යම්කිසි වැරැද්දක් මා අතින් සිදුවන්නේ නම් ඒ ගැන උපදෙස් දීලා මට අවවාද ලබා දෙනවා. මගේ ආරක්ෂාවට වගේම මගේ ජීවිතයට එය ලොකු ශක්තියක් වුණා.’   


හිරාන් තමාගේ එකම සහෝදරියව අගයන්නේ එලෙසිනි.   


අද මහ ගසක අතුපතර විහිදී ගිය සමාගම් ජාලයක් බවට ජෙට්වින්ග් ආයතනය පත්ව ඇත්තේ ඒ දෙදෙනාගේ මේ සහෝදර අවබෝධය නිසාමය. මීළඟට අප හිරාන්ගෙන් විමසුවේ ජෙට්වින්ග් යන නාමය ලැබුණේ කෙසේ ද යනුවෙනි.   


‘තාත්තා හෝටල් ව්‍යාපාරය පටන් ගත්තෙ 1973 දී. ඉන්පසුව 1981 දී ට්‍රැවල් ව්‍යාපාරය ආරම්භ කළා. එය පටන් ගත්තෙ ජර්මානු ජාතිකයකු සතු ජෙට් රයිසන් (Jet Reisen) සමාගම සමගයි. පසුව එය තාත්තාට අයත් වුණාම එහි නම වෙනස් කරන්න ඕනෑ වුණා. වින්රෙසර් (Wing resor)   


ස්වීඩන් සමාගමක් එක්කත් අපි සම්බන්ධව සිටි නිසා තාත්තා ‘වින්රෙසර්’ නම යෝජනා කළා. මේ කතා බහ යන අතරතුරේ අපි කාටත් ලෙහෙසියට ජෙට්වින්ග් (Jetwing) ලෙස දාමු කියලා මම නිකමට වගේ කිව්වා. ඒ නම ඕනෑම භාෂාවකට ඔට්ටුයි. උච්චාරණයටත් ලෙහෙසියි. එද‌ා මම නිකමට වගේ කිව්ව ඒ නම රෙජිස්ටර් වුණා.   


 මේ නම ජාත්‍යන්තරයට යාවි කියන අදහස හිතුවෙ නැහැ. නමුත් අපි ජාත්‍යන්තරයත් ජය ගත්තා. ජාත්‍යන්තරයට යාමට තවත් හේතුවක් වුණේ එවකට සංචාරක මණ්ඩලයේ කළමණාකාර අධ්‍යක්ෂ තනතුරක් දැරූ එම්.වයි.එම්. තහීර් මහතා. එතුමා තාත්තාගේ යාළුවෙක්. ආසියානු පැසිපික් සංචාරක සංවිධානය (PATA) එක්ක එතුමාට තිබුණෙ ලොකු සම්බන්ධයක්. ළමයි දෙදෙනාගෙන් කෙනෙක් ඊට බඳවන්න කියලා එතුමා තාත්තාට යෝජනා කළා. ඒ නිසා 1991 සිට එතුමා එක්ක සම්මන්ත්‍රණ සහ සාකච්ඡා සඳහා යාම වෙතින් මම ලැබුවේ අත්දැකීම් සම්භාරයක්.’ 

 
මේ ලද අත්දැකීම් එක්ක 1993 දී ප්‍රථම වරට අපද්‍රව්‍ය සහ බැහැර කරන අපවිත්‍ර ජලය කළමනාකරණ ක්‍රමය මෙම ක්ෂේත්‍රයට හඳුන්වා දීමට හිරාන් කුරේ ප්‍රමුඛ ද‌ායකත්වයක් ගත්තේය. තාත්තාගේ උදව් ඇතිව ඔහු ගෙනා ඒ නව සංකල්ප නිසා ජෙට්වින්ග් ජාත්‍යන්තරව සම්මාන රැසකට හිමිකම් කීම ඇරඹිණි. අපද්‍රව්‍ය කළමනාකරණය හෙවත් පසුව සස්ටේනබිලිට් යන සංකල්පය ලංකාවට හඳුන්වා දීමටත් පෙර හිරාන් එය ජෙට්වින්ග් වෙතින් පටන් ගැනීම ගැන කවුරුත් ප්‍රශංසා කරති.   


 ජෙට්වින්ග් ලයිට් හවුස් (ගාල්ල), විල් උයන (සීගිරිය), බ්ලූ (මීගමුව), බීච් (මීගමුව), සී (මීගමුව), ලේක් (දඹුල්ල), ජැෆ්නා (යාපනය), යාල (යාල) ඇතුළුව අද ජෙට්වින්ග් නාමය යටතේ ඇති ලෝ ප්‍රකට සංචාරක හෝටල සහ සුපිරි බංගලා ගණන විසිපහක් පමණ වේ. ඒ අතරින් පසුගියදා විවෘත කළ කොළඹ 7 ‘ජෙට්වින්ග් කලම්බු - 7’ හෝටලය කොළඹ හතට ලැබුණු සුපිරි ද‌ායාදයකි. මෙකී සියලු සංචාරක නිම්නයන් වෙතින් පරිසර හිතකාමී බවට සහ ගමේ නගරයේ ජීවනය උදෙසා සිදුවී ඇති සේවය අගය කළ යුතුම දෙයකි.   

 


‘කොළඹ 7’ හෝටලයක් තැනීම යනු එක්තරා විදියක අරුමයකි. ඒ අරුමය යථාර්ථයක් බවට පත් කළ කතාව හිරාන් පැවසුවේ මෙලෙසිනි.   


ජෙට්වින්ග් කලම්බු සෙවන් අද බිහිවූ මේ ඉඩම එද‌ා අයිති වුණේ දොස්තර පෙරේරා කියන මහත්තයාට. එතුමගේ බිරිඳ මේ ඉඩම පර්චස් 27ක (ගෙවල් දෙකක් සහිත) අපේ තාත්තාට සහ අක්කාට විකිණුවා. තාත්තා මිය යන විටත් පදිංචිව සිටියේ මෙතැන තිබූ ඒ සුවිසල් ගෙදර. තාත්තා මියගිය පසු අම්මාගේ ආශිර්වාදය ඇතිව අපි මෙය සැලසුම් කළා.   


 රුවන් සමරසිංහ යනු මේ ජෙට්වින්ග් හෝටල ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ. එයා හරියට අපේ පවුලේම කෙනෙක් වගෙයි. 1973 සිට එයා අපේ තාත්තාගේ මිතුරෙක්. එයාගේ අදහස් සහ අත්වැල මේ දියුණුවීම සඳහා විශාල ලෙස ද‌ායක වුණා.   


ජෙට්වින්ග් යනු පවුලක් නම් ඒ පවුලේ වත්මන් පියා වන්නේ මේ හිරාන් කුරේය. ඔහු නිතරම කතා කරන්නේ තමාට වඩා ජෙට්වින්ග් ආයතන ජාලය සතුව සේවය කරන සමස්ත සේවක පිරිස මේ දියුණුවේ කොටස්කරුවන් ලෙසය. ජෙට්වින්ග් සමූහයේ සභාපතිත්වය හිරාන් දරණ අතර ජෙට්වින්ග් ට්‍රැව්ල්ස් හි ප්‍රධානි ලෙස කටයුතු කරන්නේ හිරාන්ගේ අක්කා වන ශිරෝමාල් කුරේය.   


 ව්‍යාපාර කරද්දී ව්‍යවසායකයකු ලෙස ගෙවන ජීවිතය අතිශය කාර්යබහුල වුවද හිරාන් යනු සියල්ල බද‌ා ගෙන ජීවත්වන මිනිසකු නොවේ. ඔහු උදේම අවදි වන අතර 6.15 ට පල්ලියට ගොස් දෙවියන් ඉදිරියේ යාඥා‌ා කිරීම ඔහුගේ සිරිතකි. එලෙසින් මාසයේ දින 20 කදී හෝ පල්ලියේ උදෑසන පූජාවට බැතිබරව සහභාගි වීම තමා අඛණ්ඩව පවත්වාගෙන ආ දෙයක් බව සඳහන් කරයි. කොළඹ කාර්යාලයෙන් පිට ගත කිරීම ඔහුගේ ප්‍රියතාව වෙයි.   


මම A/C (වායුසමනය කළ) කාමරයේ සිටීමට වඩා වැඩි ආසාවක් දක්වන්නේ ඈත පළාත්වල ඇති අ​ෙප් හෝටල්වලට ගිහින් කාලය ගත කරන්න සහ සංචාරක ක්ෂේත්‍රයට අලුතින් කළ හැකි දේ ගැන හිතන්නයි. ගහ කොළ එක්ක ඇළ දොළ පොකුණු, වැව් එක්ක සිටිය දී මට සංකල්ප මැවෙනවා.   


විටෙක හිරාන් එලෙස පවසන්නේය. ජාත්‍යන්තරව සම්මාන දිනූ සීගිරියේ නිර්මාණය කළ ජෙට්වින්ග් විල් උයන ඔහුගේ ප්‍රියතම ගමනාන්තයක් වන්නේය. එමෙන්ම අඹේවෙල වොරික් ගාඩ්න් බංගලාව වෙත යාමට ද ඉතා ප්‍රිය කරයි. ඔහු මේ නිදහස සහ අර්ථවත් බව ගත කරන්නේ තනිවම නොවේ බිරිඳ සහ දරු තිදෙනා සමග වැඩිපුර කාලය ගත කිරීම තවත් පුරුද්දකි. 1980 දී ඔහු යෝජිත විවාහයක් මත විවාහ වූයේ දර්ශනී සමගය.   
‘ඇය වචනයේ පරිසමාප්ත අයුරින්ම දර්ශනයක් ඇති අපූරු කාන්තාවක්’ අප දෙදෙනාට පුතුන් තුන් දෙනයි. දේව බලය, දේව කැමැත්ත අනුව අප එක් කළා. ඒක ලස්සන පවුලක්. පුතාලටත් මම කියන්නෙ මේ කිසි දෙයක් යනකොට අරන් යන්නෙ නැහැ. ඒ නිසා පොළොවෙ පය ගහලා සරලව ජීවත් වෙන්න කියන එකයි. එයාලා ජීවිත ගෙවන්නෙ ඒ විදියටයි. ඉතින් මම හරි සතුටින්.’ 

 
හිරාන්ගේ ජීවිතය එළිය වී ඇත්තේ එකී ස්වභාවය නිසාය. ඔබ ජීවිතය ජයගත්තේ කොහොමද? සමාජයට ඔබ කියන්නෙ කුමක්ද? මේ කතාබහ අවසන අපි හිරාන්ගෙන් විමසීමු. 

 
‘මම කොයි වෙලාවකවත් තරගය ජයගත්තා, දැන් ඉවරයි කියලා හිතන්නෙ නැහැ. තව තවත් රට වෙනුවෙන් මට කරන්න තියෙන දේ බොහෝමයි. මට මේ තාක් මේ දුර එන්න ම​ගේ ආගම, දේව බලය සහ මගේ සේවක පිරිස ආශිර්වාදයක් මෙන්ම ශක්තියක් වුණා. මගේ ජීවිතය ඇත්තටම හරි සරලයි. අපේ අම්මා, තාත්තා අපිව හැදුවේ ඒ විදියටයි. මා හිතවත් බුද්ධ පුත්‍ර අපේ නන්ද හාමුදුරුවෝ දවසක් මට මෙහෙම කිව්වා.   


‘කොස් ගහෙන් දෙල් එන්නේ නැහැ.   


දෙල් ගහෙන් කොස් එන​ෙන් නැහැ.’   


ඇත්තටම මේ ජීවිතය මේ විදිහට ගෙවන්න තාත්තා නැති වුණාට පසුව අම්මා, අක්කා සහ මගේ පවුල මට ලොකු ශක්තියක් වුණා.   


තමන් යමක් කරන්නේද ඊට උපරිම ‘අවංකවන්න’ අවදානමක් නැති කිසිම දෙයක් නැහැ. අවද‌ානමක් තිබෙනවා. ඒත් කරන දේට විශ්වාසය තබා අවංක වීම වැදගත්. අවංක නොවූවිට කොතැන දී හරි අපි වැටෙනවා.   

 

 

 

 

 

 සඳුන් ගමගේ