​කොරෝනාවෙන් අවුල් වූ ඉන්දියානු බෞද්ධයන්ගේ මඟුල්-අවමඟුල් සිරිත්


මේ දිනවල මාධ්‍ය ඔස්සේ අපට අසන්නට දකින්නට ලැබෙන්නේ කොරෝනා නිසා අසල්වැසි රට වන ඉන්දියාව පත්ව ඇති විනාශකාරී තත්ත්වයයි. රෝහල්වල ගොඩගැසුණු මළ කඳන්, එක යායට දැවෙන දර සෑය, තම හිතෛෂීන්ගේ වියෝව දරාගත නොහැකිව විළාප දෙන මිනිසුන්, රෝහල් පිරී යාම නිසා අසරණ වූ රෝගීන්.   


මේ සියල්ල අප අසා ඇති පරිදි බුද්ධ කාලයේ සිදුවී යැයි කියන විසාලා මහනුවර තත්ත්වයයි. 

 
දිල්ලියේත් මහාරාෂ්ට්‍රයේත් මෙය වඩාත් බරපතළ බව පැවැසෙයි. ඇතැමුන් බිය පළ කරන්නේ ශ්‍රී ලංකාව ද එවන් තත්ත්වයකට ඇදවැටේදෝ කියා.   


ඉන්දියාවේ මහාරාෂ්ට්‍රය බෞද්ධයන් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රාන්තයක් බව පවසන්නේ මුම්බායි නුවර උල්හාස් නගර් හි තක්ෂශිල විද්‍යාලයේ සභාපති නළුවෙල ආනන්ද ලොකු හාමුදුරුවෝය. එම පාසලේ සිසු සිසුවියෝ දෙදහසක් පමණ උගෙනුම ලබති.   


උන්වහන්සේ මහාරාෂ්ට්‍රයට වැඩම කළේ 1967 දී බද්දේගම විමලවංශ නායක හිමියන්ගේ දෙවැනි ධර්මදූත කණ්ඩායමට ඇතුළත්වය. අද උන්වහන්සේ ඉන්දියානු පුරවැසියෙකි.   


‘ඔබ වහන්සේට පවතින තත්ත්වය බලපා තිබෙන්නේ කෙසේ දැයි’ ඇසූ විට උන්වහන්සේ පිළිතුරු දුන්නේ, “හතර වටින්ම​ කොරෝනා අපිව වට කරලා. අපි පස්දෙනෙක් විතරයි දැනට මෙහේ ​ඉන්නේ. පාසල නිවාඩු දීලා” යනුවෙනි.

 


කොවිඩ් නිසා ඇතිවන මරණවලට බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ කොහොම ද?’


“කොවිඩ් මරණ කිසිවක් නිවෙස්වලට ගේන්නෙ නෑ. ඒවා දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ රජය මගින් ආදාහනාගාරවලට යවනවා. වැඩිපුර පිරිසකට බලන්නවත් ලැබෙන්නේ නෑ. සාමාන්‍යයෙන් නම් බෞද්ධ නිවසක මරණයක් වූ විට බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් ලංකාවෙ වගේම ගෙදරට වැඩම කරලා මතක වස්ත්‍ර පූජා කර ඒ සිරිත් විරිත් ඉෂ්ට කරනවා.   


හැබැයි මෙහේ දේහය පෙට්ටියක තබන්නේ නෑ. ඒ සඳහා ලෝහවලින් හෝ එවැනි දෙයකින් හැදූ පෙට්ටියක් වැනි දෙයක් තියෙනවා. දේහය නාවා පිරිසිදු කර සුවඳ ගල්වා රෙද්දක ඔතනවා. ඉන් පසුව දේහය වැසෙන්නට මල් මාලා ආදිය දමා එහි තබනවා. මරණයක් වුණාම දින ගණනක් තියාගන්නේ නෑ. දවසක් ඇතුළත වාගේ අවමංගල්‍ය කටයුතු කෙරෙනවා. සමහර විට රාත්‍රී දහය වගේ වේලාවක වුණත් ආදාහන කටයුතු සඳහා පිටත් වෙනවා.   


ලංකාවෙ හත් දවසෙ දානෙ දෙන විධියට මෙහෙ බෞද්ධයොත් තුන් දොහේ දානයක් දෙනවා. ඊට හේතුව බොහෝ දුර බැහැරෙන් පැමිණෙන ඥාතීන්ට ඉක්මනින් ආපසු යාමට අවශ්‍ය නිසා. ඒත් පවතින තත්ත්වය යටතේ සිරිත් විරිත් ඒ විදියට කරන්න ලැබෙන්නෙ නෑ. කොවිඩ් මරණයකදී ඇතැමුන් තුන් දොහේ දානය දෙනවා. පවතින තත්ත්වය යටතේ ඊටත් අවස්ථා අඩුයි. රජයෙන් ආදාහන කටයුතු කෙරුණත් චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් භික්ෂුන්වහන්සේ නමක් ඇතැම් නිවෙස්වලට ඔන්ලයින් ක්‍රමයට ඒ කටයුතුවලට මැදිහත් වෙනවා.   
මුල් කාලෙ බෞද්ධ ආගමික චාරිත්‍ර කරන්න මෙසේ සංඝයාවහන්සේලා හිටියෙ නෑ. බෞද්ධාචාර්යවරු තමයි ඒ සිරිත් විරිත් කළේ. ඒ සඳහා බෞද්ධ චාරිත්‍ර පුරුදු පුහුණු කළේ ආචාර්ය අම්බෙට්කාර් මැතිතුමා පිහිටුවූ භාරතීය බෞද්ධ මහා සභාවයි.   


මේ බෞද්ධාචාර්යවරු ඒ සඳහා පුහුණු වීමට අඩුම තරමේ දින දහයකටවත් මහණ වෙන්න ඕනෑ. ඒ නිසා මේ බෞද්ධාචාර්යවරු කාලයක් පැවිදි අය. ඒ නිසා සිරිත් විරිත් දන්නවා. ඒ කාලයේ ඉන්දියාවේ අරුණචාල් ප්‍රදේශයේ කල්කටාවේ ඉන්දියන් පාරම්පරික බෞද්ධ භික්ෂුන් හිටියා. ඒත් මේ භික්ෂුන් බොහෝ දෙනෙක් තමන්ගේ සිද්ධස්ථාන රැකගෙන හිටියා මිසක මංගල්‍ය අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගි වූයේ නෑ.   
මම මහාරාශ්ට්‍රයට ආවේ අම්බෙට්කාර්තුමා අභාවප්‍රාප්ත වෙලා අවුරුදු 11කට පස්සෙ. 1956 දී අම්බෙට්කාර්තුමා ලක්ෂ 6ක් සමග නාග්පූර්හිදී බෞද්ධාගම වැළඳගත්තා. ඊට මාස කිහිපයකට පසු එතුමා අභාවප්‍රාප්ත වුණා. ඒ නිසා බෞද්ධ කටයුතු අඩපණ වුණා.   


බද්දේගම විමලවංශ නායක හාමුදුරුවෝ ඒ අඩුව පුරවන්න තමයි මහා මහින්ද ධර්මදූත සංගමය හැදුවෙ. ඒ අනුව තමයි අපට බොහෝ දේවල් බුදු දහම වෙනුවෙන් කරන්න හැකි වුණේ.   


අපි ඉන්දියාවට ඇවිත් ඉන්දියානුවන් මහණ කරගත්තා. ඔවුන්ට බෞද්ධ සිරිත් විරිත් ගාථා ආදිය ඉගැන්නුවා. දැන් බෞද්ධ භික්ෂුන්වහන්සේලා දහස් ගණන් ඉන්දියාවෙ ඉන්නවා.   


ඒ වුණත් තවමත් බෞද්ධ පවුල්වලට බෞද්ධාචාර්යවරුත් ආගමික කටයුතු මඟුල් අවමඟුල් සිරිත් විරිත්වලට සහභාගි වන අවස්ථා තියෙනවා. මහාරාෂ්ට්‍රයේ සමහර පන්සල් තියෙනවා බෞද්ධාචාර්යවරු විතරක් ඉන්න. ඒවායේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා නෑ. පාලනය වන්නේ භාරතීය බෞද්ධ සභාව මගින්.   
තවත් සමහර පන්සල් තියෙනවා භික්ෂුන්වහන්සේලා හා බෞද්ධාචාර්යවරු ඉන්න.” ආනන්ද හිමියෝ පැවැසූහ.   


මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාග්පූර් බුද්ධභූමි විහාරයේ විහාරාධිපති ශිවානි බෝධානන්ද හිමියෝය. අම්බෙට්කාර්තුමා ලක්ෂ හයක් සමග බෞද්ධාගම වැළඳ ගත්තේ නාග්පූර්හිදීය. ඒ නිසා නාග්පූර් ද බෞද්ධ ජනතාව බහුල වශයෙන් වෙසෙන ප්‍රදේශයක් වෙයි.   


බෝධානන්ද හිමියෝ ද ඉන්දියන් ජාතිකයෙකි. එහෙත් උන්වහන්සේ අධ්‍යාපනය ලබා ඇත්තේ ශ්‍රී ලංකාවේය. විද්‍යාලංකාර පිරිවෙණෙන් ද පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයෙන් ද ඉගෙනුම ලැබූ උන්වහන්සේ ශාස්ත්‍රවේදී උපාධිධරයෙකි.   


1990 ගණන්වලදී බෝධානන්ද හිමියෝ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හින්දි වැඩසටහන් සඳහා ද සම්බන්ධ වූහ. ඒ ශෂී පෙරේරා (අභාවප්‍රාප්ත ෂෙල්ටන් පෙරේරා මහතාගේ බිරිඳ) හින්දි නිවේදිකාවක ලෙස කටයුතු කරන කාලයේදීය.   


පාලිත පෙරේරා මහතා ද එකල ගුවන්විදුලියේ තනතුරු හෙබවූ බව උන්වහන්සේට මතකය. උන්වහන්සේට සිංහල චතුර ලෙස කතා කිරීමට ද හැකිය. 


පසුගියදා උන්වහන්සේට කොරෝනා ධනාත්මක වී තිබිණ.   


“මම දවස් අටක් විතර ඉස්පිරිතාලෙ ඉඳලා දැන් පන්සලේ විවේක ගන්නවා. දවස් 14ක් යනකන් කොහේවත් යන්න එපා කියලයි දොස්තර මහත්තුරු කිව්වේ.”   


‘ඔබ වහන්සේට අමාරුවක් වුණේ නැද්ද?’   


“මට නිකං ඇඟට පණ නැති වුණා. උණක්වත් හෙම්බිරිස්සාවක්වත් හැදුණේ නෑ. දොස්තර මහත්තුරුන්ට පෙන්නුවාම ඔවුන් කිව්වෙ පෙනහලු ආසාදනය වෙලා කියලා. ඉස්පිරිතාලෙට එන්න කිව්වා. පස්සෙ ස්කෑන් එකක් කළා. පෙනහලුවලට ඔක්සිජන් ලැබෙන එක හොඳටම අඩු වෙලා තිබුණා. පස්සේ පී.සී.ආර්. එකක් කළා. එතකොටයි දැනගත්තෙ කොරෝනා කියලා. පස්සෙ ඉස්පිරිතාලෙට ඇතුළත් වුණා.”   


‘ඉන්දියාවෙ ඉස්පිරිතාල ලෙඩ්ඩුන්ගෙන් පිරිලා නේද’ මම ඇසුවෙමි.   


“ඔව්. මම අඳුනන දොස්තර මහත්තයෙක් මට ඇඳක් ලබාගන්න උදව් කළා. හැබැයි පෞද්ගලික රෝහලක. ආණ්‍ඩුවෙ ඒවා පිරිලා තමයි.”   


‘ඔබ වහන්සේට කොහොම ද කොරෝනා බෝ වුණේ?’   


“මම වැඩ ඉන්නෙ නාග්පූර්වල ඉඳලා කිලෝමීටර් 10ක් විතර ඈත තියෙන පන්සලක. පන්සල තියෙන්නෙ ගම ඇතුළට වෙන්න. ගෙවල් එහෙම ඒ පැත්තෙ අඩුයි. ඒ නිසා කොරෝනා හැදිච්ච අය අඩුයි ඒ පැත්තෙ. මම මාසෙකට විතර කලින් ගියා ඒ කිට්ටුව තිබුණ මඟුල් ගෙදරකට. මඟුල් ගෙදරත් හැත්තෑවක් සීයක් විතර හිටියා. ඒ වුණාට මේ වසංගතය ආවට පස්සේ මම ෆේස් මාස්ක් එකක් දානවා.” 

 
‘මඟුල් ගෙදරකට ගියේ චාරිත්‍ර වාරිත්‍ර කටයුතු ඉටුකරන්න ද?’   


“ඔව්. නාග්පූර් බෞද්ධ පවුල්වල මංගල්‍ය කටයුතු සඳහා බෞද්ධ ස්වාමින්වහන්සේලා සහභාගි වෙනවා. ඒක විශේෂයක්. මඟුල් ගෙදර මනාල යුවළ ඉන්නෙ මණ්ඩපයක් වාගෙ තැනක. ස්වාමින්වහන්සේ මංගල්‍ය චාරිත්‍ර පටන් ගන්නකොට මනාල යුවළ අර මණ්ඩපයෙන් පහළට බහිනවා. ඉන් පසුව බුදුන් වඳිනවා. අපි පන්සිල් දෙනවා. ආශිර්වාද කරනවා. අපි පිරිත් කියනවා. ඉන් පසුව බෞද්ධ ස්වාමින්වහන්සේ ජයමංගල ගාථා කියනවා.   


ශ්‍රී ලංකාවේ නම් මනාල යුවළ සඳහා ජය මංගල ගාථා කියන්නේ දැරිවියන් පිරිසක්. එහෙත් ඉන්දියාවේ බෞද්ධ පවුල්වල මංගල්‍යවලදී බෞද්ධ හිමි නමක ජයමංගල ගාථා කීම විශේෂයක්.”


බෝධානන්ද හිමියෝ දිගටම කතා කරගෙන යති.  


ජයමංගල ගාථා කීමෙන් පසුව අපි ආශිර්වාද ගාථාව කියනවා. ‘සබ්බීතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනාස්සතු...’ ආදී වශයෙන්. ඉන් පස්සෙ ‘සබ්බ පාපස්ස අකරණං’ ගාථාව කියනවා. මේ අවස්ථාව වනවිට මනාලයාත් මනාලියත් අත මල් මාලා දෙකක් තියෙනවා.   


මේ ගාථා කියා පළමුවැනි වරට සාධු කියනකොට මනාලිය මනාලයාගේ කරට අර මල් මාලය දානවා. ඉන් පසුව දෙවැනි වරට සාධුකාර දෙන විට මනාලයා මනාලියගේ කරට ඇගේ අත තියෙන මල් මාලය දානවා. තුන්වැනි වරට සාධුකාර දෙන විට නෑයින් මිත්‍රයන් අතේ තියාගෙන ඉන්න මල් මනාල යුවළ දිහාට විසි කරනවා. ඒ සඳහා දහස්පෙතියා වැනි මල් පෙති ගලවා සූදානම් කරගෙන තියාගෙන ඉන්නවා. ඒක හරියට මල් වරුසාවක් වගේ මනාල යුවළට ඉහළින් ඇදහැලෙනවා.   


ආශිර්වාද ගාථා කියනකොට මගෙ හඬ මයික්‍රෆෝනයට හරිහැටි එන්නෙ නැති නිසා මම මාස්ක් එක ගැලෙව්වා.   


මම හිතන්නෙ ඒ ටික වෙලාවෙ මම මාස්ක් එක නැතිව තමයි හිටියෙ. මම හිතන්නෙ ඔය වෙලාවෙදි තමයි මට එතැන හිටි කාගෙන් හරි කොරෝනා වයිරස් එක ඇතුළු වෙන්න ඇත්තෙ.

   
‘දැන් ඔබ වහන්සේව බලා කියා ගන්නෙ කවුද?’   


“මගෙ පන්සලේ ගෝලයො විසිඅට දෙනෙක් ඉන්නවා. ඒගොල්ලො තමා මාව බලාගන්නෙ. ඒ අය හුඟක් පොඩි අය. ඒ නිසා කොරෝනාවලින් ලොකු තර්ජනයක් නෑ. ඒත් මම දොස්තර මහත්තුරු කියපු විදියට හුඟක් පරිස්සමින් තමයි කාමරයට වෙලා ඉන්නෙ.”


නාග්පූර්වල කොරෝනා වසංගතය ශීඝ්‍රයෙන් පැතිර යන බව පවසන්නේ එහි පදිංචි ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පිනියක වූ චාමිනී රත්නසේකරය. ඇය විවාහ වී සිටින්නේ ඉන්දියන් ජාතික බැංකු නිලධාරියකු වන පරිතෝෂ් සර්දරි සමගය. ඔහු නිදහස නමැති ජනතාවට සුබසාධනය සපයන සංවිධානයක මූලික වී කටයුතු කරයි.   


“බහුතරයක් ගෙවල්වල එක්කෙනෙක් හරි නැතිවෙලා තියෙනවා. මගෙ මහත්තයාගේ පවුලෙ හතර දෙනෙක් නැති වුණා. ලොකු තාත්තගෙ පුතා, තාත්තගෙ මල්ලිගෙ නෝනා, අම්මගෙ මල්ලි, තවත් පුංචි අම්මා කෙනෙක්. අපේ මේ ගෙවල් දෙක තුනක් විතරයි බේරිලා තියෙන්නෙ.   


ඒත් ලංකාවෙ වගේ අපට ගෙවල්වලට වෙලා ඉන්න විදිහක් නෑ. ලංකාවෙ බොහෝ ගෙවල්වල වතුපිටි තියෙනවා. මෙහෙ එහෙම නෑ. ළඟ ළඟ තමයි ගෙවල් තියෙන්නෙ. ඒක නිසා හැදෙනවා වැඩියි.   
මෙහෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ඉස්පිරිතාලවල ඇඳන් නැතිකම. ලෙඩෙකුට ඇඳක් ගන්න හරිම අමාරුයි. ආණ්‍ඩුවෙ ඉස්පිරිතාල පිරිලා.   


මගෙ මහත්තයා ඔවුන්ගේ නිදහස සංවිධානයත් එක්ක එකතු වෙලා ලෙඩ්ඩුන්ට ඇඳක් හොයලා දෙන්න මහන්සි වෙනවා. එයා වැඩ කරන්නෙ බැංකුවක. දැන් සතියකට දවස් තුනක් විතරයි වැඩ කරන්නෙ. අනෙක් දවස්වලට ගෙදර ඉඳන් වැඩ කරනවා.”   


‘මේ විදියට එළියට පහළියට යන්න බය හිතෙන්නෙ නැද්ද?’   


“බයවෙලා කරන්න දෙයක් නෑ. දැන් මෙහෙ මිනිස්සුන්ට මේක සාමාන්‍ය දෙයක් වෙලා. රස්සාවලට යන අය රස්සාවල්වලට යනවා, ඉගෙන ගන්න අය ඒ කටයුතු කරගෙන යනවා.   


මගෙ මහත්තයගෙ අම්මා හෙදියක්. ඒ නිසා මහත්තයා වගේම අම්මත් ලෙඩවලට බය නෑ. ඔවුන් ලෙඩ්ඩුන්ට උදව් කරන්න මහන්සි වෙනවා. අදත් මහත්තයා ගියේ ලෙඩ්ඩුන්ට ඇඳක් හොයලා දෙන කටයුත්තකට.   
ඉස්පිරිතාල පිරිලා නිසා ලෙඩෙකුට ඇඳක් විතරක් ගන්න සමහර පෞද්ගලික රෝහල්වල ලංකාවෙ සල්ලිවලින් ලක්ෂ 7ක් විතර ඉල්ලනවා, අනෙක් වියදම් නැතිව. ඒක තමයි තත්ත්වය.   


ඉස්පිරිතාලවල මැරෙන අය ගෙවල්වලට ගේන්නෙ නෑ. මරණයක් වුණා කියලා අපි දැනගන්නෙ ගේ ඉස්සරහා ගහන හට් එකෙන්. මරණයක් වෙලා දවස් තුනක් ගියාම ගේ ඉස්සරහ හට් එකක් ගහලා අවට ගෙවල්වලට කෑම පිඟන් බෙදනවා. ඒ හට්වලින් තමයි මරණයක් වෙලා කියලා අපි දැනගන්නේ. ඒ වගේ හට් මේ දවස්වල ගෙවල් බොහොමයක දැක ගන්න ලැබෙනවා.   


හට් එකේ කෑම පිඟන් බෙදන එක හැරුණු විට මියගිය පුද්ගලයා වෙනුවෙන් කෑම පිඟානක් මහ පාරෙ හන්දියක වගෙ තැනක තියනවා. හරියට ලංකාවෙ තොවිල් තටු හන්දිවල තියනවා වාගෙ. ඒ වගේ කෑම පිඟන් තියපුවා මේ දවස්වල පාරෙ හැම තැනම දකින්න පුළුවන්.”


කොරෝනා වසංගතයෙන් අපරිමිත ලෙස බැට කන අවස්ථාවකදී පවා ඉන්දියානු බෞද්ධයෝ ද තමන් අදහන බෞද්ධාගම අනුව සිරිත් විරිත් ඉටුකරන්නට අමතක නොකරති.

 

 

රොඩ්නි විදානපතිරණ