​කොරෝනා අස්සේ මී උණත් පැතිරෙයි


 

කොවිඩ් 19 වෛරස් වසංගත රෝගය රට පුරා ව්‍යාප්ත වීමත් සමග ලංකාවේ දිස්ත්‍රික්ක 07 ක (කොළඹ, මහනුවර, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර) රජයේ රෝහල් වලින් මී උණ (Leptospirosis) රෝගීන්ගේ සංඛ්‍යාවේ ක්ෂණික වැඩිවීමක් නිරික්ෂණය වී ඇතැයි ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දන්වා සිටී.   


ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිලක් ජයලත් මහතා සඳහන් කළේ ශ්‍රී ලාංකීය ජනතාව කෝවිඩ් - 19 නැමති ගෝලීය වසංගතයේ බලපෑමට නතුව සෞඛ්‍යමය වශයෙන් අසහනකාරි තත්ත්වයක පසුවන අවදියක ‘මී උණ වසංගතය සහ ඩෙංගු රෝග වසංගතය ජනතාවට තව තවත් පීඩාකාරී තත්ත්වයක්, ඇතිකරවන බවයි.   
එම ප්‍රකාශයේ මෙසේද සඳහන්ය.   


ශ්‍රී ලංකාව පුරා විහිදුණු ප්‍රධාන රෝහල්වල සේවයේ නියුතු විශේෂඥ කායික වෛද්‍යවරුවන් නියෝජනය කරන සංගම​යක් ලෙස අප සංගමය මෙම අවස්ථාවේදී ශ්‍රී ලාංකීය ජනතාවගේ අවධානයට යොමු වීම සඳහා ‘මී උණ’ රෝගය පිළිබඳව ජනතාවට කරුණු අවබෝධ කරදීම යුතුකමක් කොට සලකා ඇත.   


කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල මී උණ රෝග තත්ත්වය විශේෂයෙන්ම දැකිය හැකියි.   


මෙම රෝග තත්ත්වයට බලපාන විශේෂ කරුණු කීපයක් තිබේ. එය නම්   
පවත්නා වාතාවරණය යටතේ අනෙකුත් ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදුවීම   


සුපුරුදු රැකියාව ලෙස කෘෂිකාර්මික කටයුතුවල නොයෙදුණු පිරිසද එම කටයුතුවල නිරතවීම.   
කුඹුරු අස්වැද්දීමේ කටයුතු ආරම්භවීම   
වැසි සහිත කාලගුණික තත්ත්වය ආරම්භ වීම.   


මී උණ (Leptospiriosis) රෝග කාරකය මීයන්ගේ සහ අනෙකුත් ක්ෂීරපායී සතුන්ගේ මුත්‍රා මගින් පරිසරයට මුදාහැරෙන අතර එසේ අපවිත්‍ර වූ ජලජ පරිසරය හා ගැටෙන පුද්ගලයින්ගේ සමේ ඇති තුවාල මගින් රෝගකාරක ශරීර ගතවීම සිදුවෙයි.   


එම රෝගයේ රෝග ලක්ෂණ පහත සඳහන් පරිදිය.   


තද උණ අධික මස් පිඬු වේදනාව හිස කැක්කුම බඩේ කැක්කුම මුත්‍ර පිටවීම අඩුවීම හා ඇස් කහ වර්ණ වීම යනාදියයි.   


මී උණ ඔබට වැලඳී ඇත්නම් ඔබ කළ යුතු වන්නේ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවීම හෝ ළඟම පිහිටි රජයේ රෝහලක් වෙත යාමයි.   


මීයන් ගැවසෙන මඩ සහිත පරිසරයක යම් කාර්යයක යෙදීමේදී හැකි හැම විටකදීම පා වැසෙන ආවරණයක් (උදාහරණ - බූට්ස් පැළඳීම) පාදවල කැපීම, සිරීම් තිබේනම් මඩ සහිත පරිසරයක වැඩ කිරීමෙන් වැළකී සිටිය යුතුයි. මී උණ රෝගයෙන් වැළකීමට සතිපතා ගතයුතු Doxycycline නමැති ඖෂධය ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය එම්.ඕ.එච්. කාර්යාලයෙන් හෝ වෙනත් ඕනෑම වෛද්‍යවරයෙකුගෙන් ලබාගත යුතුය. රෝග ලක්ෂණ ඇතිවූ විගසම වෛද්‍ය ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්වෙයි.   


මෙයට අමතරව ඩෙංගු රෝගයද ඉතිරි සති කීපය තුළ වසංගතයක් ලෙස නැවත හිස ඔසවන අවදානම් තත්ත්වයක් පවතින බවද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය තිලක් ජයලත් මහතා පවසයි.   


සභාපතිවරයා මෙසේ සඳහන් කරයි.   


‘‘ඩෙංගු රෝග වසංගතයෙන් බේරිමට නම් තම නිවෙස් පරිශ්‍ර හා අවට පරිසරය පිරිසිදුව තබාගත යුතුයි. ජලය එක් රැස්වන හිස් සැමන් ටින්, බෙලෙක්, පොල්කටු කුරුම්බා කෝම්බ වැනි ද්‍රව්‍ය විනාශ කර මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට ගතයුතු ක්‍රියා මාර්ගයන් ගතයුතු අතර, එවිට එම අනතුරු හැකි තරම් දුරට අවනත කරගත හැකිවනු ඇත.   


කොරෝනා හෙවත් කොවිඩ් 19 වසංගත උවදුර තිබුණද දිවයින පුරා පිහිටි සෑම රෝහලකම ඉහත රෝග සඳහා සුපුරුදු පරිදි ප්‍රතිකාර ලබාදෙන අතර එසේ පැමිණෙන ඔබ කිසිම ආකාරයකින් කොරෝනා යැයි සැකසහිත රෝගීන්ට නිරාවරණය වීම වැළැක්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර තිබෙන බව දන්වනු කැමැත්තෙමි.   


එමනිසා ඔබ සැම කොරෝනා රෝගය මැඩලීමට ලබා දෙන සහය එලෙසම ලබා දෙමින් ඉහත කරුණු කෙරෙහිද අවධානය යොමු කළහොත් ශ්‍රීලංකාව සෞඛ්‍යමය වශයෙන් වඩාත් සුරක්ෂිත දේශයක් බවට පත්කළ හැකි බව ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ලෙස දන්වා සිටින්නෙමු.   

 

 

ජේ.ඒ.එල්. ජයසිංහ