​කොරෝනා අස්සේ බෙහෙත් මිලත් ​ඉහළට


 

රජයේ සහ පෞද්ගලික ඔසු සල්වල අලෙවි කරනු ලබන බෙහෙත් වර්ග බොහෝමයක හිඟයක් මෙන්ම තියෙන බෙහෙත් වර්ගවල මිලද මේ වන විට ඉහළ ගොස් තිබෙන බව රෝගී ජනතාව මෙන්ම ඔසු සල් හිමියන් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති ද පෙන්වා දෙති.   

ඔවුන් එසේ පැවසුව ද මෙම ඖෂධ ප්‍රශ්නය මතු වීමට කොරෝනා තත්ත්වය හේතුවෙන් ලෝක පරිමාණයෙන් ඇතිවී තිබෙන අර්බුදකාරි තත්ත්වය ද හේතුවක් වී තිබෙන බව පෙනේ. විශේෂයෙන්ම අප බොහෝ විට ඖෂධ මෙරටට ගෙන්වන රටවල් අතර ගුවන් ගමන් සීමා වීම, ඉන්දියාව වැනි රටවල් මුළුමනින්ම ලොක් ඩවුන් කිරීම වැනි කාරණ ද සරලව බැලිය නොහැකිව ඇත.   


මෙහිදී අපි මේ පිළිබඳව පෞද්ගලික ඔසුසල් හිමියන් සමග ද කතා කළේ මේ වෙන විට එසේ මිල ගණන් ඉහළ ගොස් තිබෙන ඖෂධ වර්ග මොනවාදැයි සොයා බැලීමටය. සිය නම සඳහන් නොකරන ලෙසට ඉල්ලා සිටිමින් ඔසුසල් හිමියෙකු මේ පිළිබඳව කියා සිටියේ මෙසේය.   
“ඇත්තටම බෙහෙත් ගණනාවක මිල ඉහළ ගිහින් තියෙන බව ඇත්ත. කොවිඩ් 19 නිසා රටවල් ගණනාවක තිබුණු ප්‍රශ්න නිසා රටවල් අතර ෆ්ලයිට් ගියෙත් නැහැ. නමුත් ඒක වෙනම කතාවක්. මේ වෙනකොට ඖෂධ ගණනාවක හිඟයක් තියෙනවා.   


සේලයින්, ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබා දෙන ඖෂධ සහ විවිධ මානසික රෝගි තත්ත්වයන් මත එම රෝගීන්ට ලබා දෙන ඖෂධවල ලොකු හිඟයක් තියෙනවා. ඒ වගේම මී මැස්මොරය වැලදුණු රෝගින්ට කාලාන්තරයක් පුරා දෙන බෙහෙතක් තියෙනවා. ඒක දීර්ග කාලිනව දෙන්න ඕනෑ. නමුත් ඒ බෙහෙත හුඟාක් ෆාමසිවලට එන්නේ නැහැ. ඒකේ එක මාත්‍රාවක් නැති වුණොත් නැවත ආයේ මුල ඉදන්ම ඒ බෙහෙත පාවිච්චි කරන්න වෙනවා. ඒ හැරුණම ප්‍රතිජීවක ඖෂධවල හිඟයක් තියෙනවා.’’ ඔහු පවසයි.   


“පහුගිය දවස්වල නම් මට බෙහෙත් ගන්නම සිද්ද වුනේ පිටින්. ක්ලිනික් යන්නත් බැහැ. ක්ලිනික්වල බෙහෙත් තිබුණෙත් නැහැ. අපිට කිමෝතෙරපි කරද්දි දෙන බෙහෙත් වර්ග මොනවද කියල නම් අවබෝධයක් නැහැ. ඒත් බෙහෙත් වර්ග කිහිපයක් මිශ්‍ර කරලා සේලයින් එකට දාලයි එ්ක රෝගීන්ට දෙන්නේ. ඒ බෙහෙත් ජාති ඔක්කොම ගන්න වුණේ පිටින්. කොච්චර මිල වැඩි වුණත් ඒ බෙහෙත් නොගෙන බැහැනේ...” පිළිකා රෝගියෙකු වන ශානිකා බිදුණු හඬින් කියා සිටියේ එසේ ය.   


මෙම ඖෂධ හිඟය මෙන්ම ඖෂධ මිල ඉහළ යාමට ද බොහෝ කරුණු කාරණා හේතු වී තිබෙන බව වෛද්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙති. මෙහිදී මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත බණ්ඩාර මහතා : “ඒක ඇත්ත. නමුත් අපි දන්නවා ඖෂධ මිල ගණන් වැඩි කරන්න බැහැ. අපි ඖෂධ පනතක් ගෙනාවනේ. එම ඖෂධ පනත අනුව සමාගම්වලට හිතුවක්කාරිව මිල වැඩි කරන්න බැහැ. අවුරුද්දකට සැරයක් වගේ තමයි මිල වැඩිකරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ පනත්වල හිල් තියෙනවා. බැලු‍වට පස්සේ පේන්නේ මේ පනත සමහර අවස්ථාවල උල්ලංඝනය කරලා ඔවුන් වැඩ කරන බවයි. උපරිම සිල්ලර මිලක් ඖෂධවලට තියෙනවා. සමහර අවස්ථා තියෙනවා උපරිම මිලත් වෙනස් කරපු වෙලාවල්. කලාතුරකින් අපි දකිනවා සමහර ඖෂධ ගොඩාක් තියෙනවානේ. එකම ඖෂධය වුණත් ඖෂධ වර්ග ආනයනය කිරීමේ දී සීමා කරලා නැහැ. මේ ප්‍රශ්නය දිගටම තියෙනවා. දිගටම ඖෂධ බ්‍රෑන්ඩ් ගාණ එනම් වෙළෙද නාම වැඩියි. එම වෙළෙද නාම අඩුකරන්න කියලයි කියලා තියෙන්නේ. එක ඖෂධයක් ගත්තෝතින් ඒකේ වෙළෙඳ නම් සමහරවිට 50-60-100 ක් විතර තියෙනවා. ඇත්තටම ඒක වැරදියි. එහෙම වුණාම ඒක පාලනයක් කරන්න අමාරුයිනේ. රෝගි ජනතාවත් අසීරුවට පත් වෙනවා. මිනිස්සුන්ට තේ​ෙරන්නේ නැහැ. රජයට වුණත් මේක පාලනය කරන්න අමාරුයි. ඒ නිසා ඇත්තටම දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ. දේශීය ඖෂධ නිෂ්පාදනය වැඩි කරලා අපිට අත්‍යවශ්‍යම ඖෂධ අපි හදාගත්තොත් මේ ප්‍රශ්නයෙන් අපිට ගොඩ එන්න පුළුවන්. නැත්නම් මේ යන විදියට අපිට අමාරුයි. මේ සමාගම් ගොඩයි. ඒ සමාගම්වල වෙළෙඳ නම් ගොඩයි. මිල පරාසයන් විවිධයි. ඒ වගේ මේ ප්‍රශ්නය සංකිර්ණ වෙලා තියෙන්නේ ඖෂධ මිල පාලනය වගේම ඖෂධ වෙළෙද නාම සීමා කිරීමට ක්‍රියා මාර්ග නොගැනීම නිසයි.”   
“රජයේ ඖෂධ නිෂ්පාදන සමාගම කරන්නේ ඖෂධ නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කිරීමයි. නමුත් අපි දකින්නේ නැහැ වැඩි කරන බවක්. ඒවා ගැන අපි අවධානය වැඩි කළ යුතුයි. අපේ රටේ ඖෂධ ප්‍රතිපත්තියක් නැති කම නිසා තමයි මේ ප්‍රශ්න සේරම එන්නේ. ඖෂධ හිගය වගේම ඖෂධවල ප්‍රමිතිය, ගුණාත්මක බව මේවා දැන් ඇගයෙන්නෙම නැති තරම්. ඒවගේම අනවශ්‍ය බෙහෙත් වර්ග ගොඩක් ලංකාවට එනවා. විශේෂයෙන්ම විටමින් වර්ග වැනි දේ. ඒවා අත්‍යවශ්‍ය නැහැ. විටමින් වර්ගවලට ඖෂධ ආනයනය කරන ඒවායින් සියයට 30-40 ක් වාර්ෂිකව වියදම් කරනවා. රුපියල් බිලියන 70- 80 ක් විතර වෙනවා අපේ ඩ්‍රග්ස් බජට් එක. නමුත් එයින් සියයට 50 ක් විතර ගිහින් තියෙන්නේ අත්‍යවශ්‍ය නොවන ඖෂධ ආනයනය කිරීමටයි...”‍   


මෙහිදී ඖෂධ හිඟය සම්බන්ධයෙන් ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියේ:   
“බෙහෙත් හිඟය කොහොමත් අපෙ රටේ දිගටම තිබුණා. අපේ රටේ රෝහල්වලට අත්‍යවශ්‍යම බෙහෙත් ටික කවදාත් නිසි ලෙසට ලැබුණේ නැහැ. කොරෝනා ප්‍රශ්නය නිසා මේක අඩුවුණා කියලා හිතන්න අමාරුයි. හේතුව ආණ්ඩුවම කිව්වා කොරෝනා ප්‍රශ්නය නිසා බෙහෙත් හිඟයක් එන්නේ නැහැ කියලා. නමුත් එහෙම කිව්වට අනික් පැත්තෙන් රෝහල්වල බෙහෙත් හිඟයක් තියෙනවා. මේ වගේ විශේෂ අවස්ථාවක් වුණාම අපි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් රටවල් එක්ක කතා කරලා, යම් යම් ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අපේ රටට ඉන්දියාව පකිස්ථානය චීනය වගේ රටවලින් තමයි වැඩිපුර බෙහෙත් වර්ග ගේන්නේ. ඒ රටවල් එක්ක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කතා කරලා, අපිට මෙය විසඳ ගන්න පුළුවන් කියලයි අපි විශ්වාස කරන්නේ. ආණ්ඩුව එහෙම කරන අවස්ථාත් තියෙනවා. කොහොම වුණත් අපෙ හිඟයක් තියෙනවා.”   
“පහුගිය කාලේ ඉන්සියුලින් හිඟයක් තිබුණා. ඉන්සියුලින් සාමාන්‍යයෙන් ගොඩක් දෙන්නේ දියවැඩියා රෝගින්ටනේ. ඒ බෙහෙත නැති වුණාම ඒ අයගේ රෝග තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. හෘද්‍යාබාධ, අංශබාග වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. අත්‍යවශ්‍යම ඖෂධ වර්ග ලබා දීමට පියවර ගත යුතුයි. රෝහල්වල අවශ්‍ය මාත්‍රාවලට දිය යුතු ඖෂධ වර්ග, සිරප් වර්ග, දරුවන්ගේ ඖෂධ අනිවාර්​ෙ‌යන්ම රෝහල්වල තියෙන්න ඕනෑ.”  


“ප්‍රතිපත්තියක් විදියට රෝහල්වල නොමිලේ ඖෂධ ලබා දෙනවනේ. ඒ අවශ්‍යතාව අනුව අවශ්‍ය ඖෂධ දෙන්න ඕනෑ. එසේ නොවුණොත් රෝගය උත්සන්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බෝ නොවන රෝග එනම් දියවැඩියාව, හෘදයාබාධ. කොලොස්ටරෝල් ඒවා දෛනිකව ජිවිත කාලය පුරාම ගන්න ඕනේ. ඒවා කඩන්න බැහැ. ඒ වගේ රෝගීන්ට ඖෂධ දෙක තුනක් ලියැවුණොත් ඒ ලෙඩවල සංකූලතා එන්න පුළුවන්. පහුගිය කාලේදි තැපෑලෙන් ඖෂධ යැව්වානේ. ඉන්සියුලින් වැනි දේ තැපෑලෙන් යවන්න බැහැ. වෙළෙඳපොළෙත් ඉන්සියුලින් අඩුයි. සල්ලි තිබුණත් වෙළෙඳ පොළේ නැති නිසා ගන්න බැරිවෙනවා.” යනුවෙනි.  


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතාගෙන් ද අප මේ පිළිබදව විමසුවෙමු. එහිදී ඔහු දැඩිව අවධාරණය කර සිටියේ, ඖෂධ මිල ඉහළ යාම හා ඖෂධ හිඟයක් ඇතිවීම වැලක්වීමට නම් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියේ කොටස් නොව එය මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බව ය.   
“මේ වෙලාවේ ඖෂධවල මිල වැඩිවීමක් සහ ඖෂධවල හිඟයක් ගැන කතා කළාම අපේ තත්ත්වයත් බැලු‍වහම සමහර ඖෂධවල මේ වෙන කොට ලැබී නැති ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ඒ එක්කම අපි බලන්න ඕනෑ මේ ඖෂධ හිඟවීම කියන දේ ගැන. ඇත්තටම ඖෂධ හිඟයක් තියෙන්නත් පුළුවන්. ඖෂධ හිඟය කෘත්‍රිමව මවා පාන්නත් පුළුවන්. මොකද මේ ඖෂධ කියන්නේ තනිකරම ජාවාරමක්. ඒක තමයි අපි කලින් ඇමැතිවරයා සිටියදී කිව්වේ, සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය තැනින් තැනින් අරන් තමන්ට ඕනෑ විදියට ඉම්ප්ලිමන්ට් නොකර, සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය සහමුලින්ම ක්‍රියාත්මක කරන්න කියලා.”  
ඖෂධ මිල වැඩි වෙනවා ඖෂධ හිඟ වෙනවා. මේක මේ පාර විතරක් පටන් ගත්ත එකක් නෙමෙයි. කොරෝනා සිදුවීමත් සමග ලෝකේ කොහොමත් සැපයුම් අඩුවුණා. එතකොට ගැටලු‍වකුත් තියෙනවා. ඒ වගේම තමයි අපි මේ අපේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව තියෙනවා. රාජ්‍යය ඖෂධ නිෂ්පාදන සංස්ථාව තියෙනවා. එතැනින් එහාට ගිහින් වෛද්‍ය සැපයුම් අංශය තියෙනවා. මේ ආයතනවලින් රටේ ඖෂධ හිඟවීමකින් තොරව පවත්වා ගෙන යන්න වැඩ පිළිවෙළක් දියත් කරන්න. අපිට තියෙන ප්‍රශ්නය මේක.   


“අපේ රටේ හදන්න පුළුවන් ඖෂධ ටික හදන්න පුළුවන්. ඒකට දැන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව එකඟයි කියලා එහි සභාපතිවරයාම සාකච්ඡාවකදී කිව්වා, මම රටට ඕනේ ඖෂධ ටික නිෂ්පාදනය කරන්නම් කියලා. ඒවා සියල්ල එකපාර හදනවා කියල නෙමෙයි ඖෂධ තිබුණාට වඩා වැඩි ප්‍රමාණයක් හදන්න ලෑස්තියි. එහෙනම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එයාලගේ ටෙන්ඩර් කැඳවීමේ දී එයාලගේ වැඩ පිළිවෙළක් තියෙනවා අපේ නිෂ්පාදන සංස්ථාවේ හදන ඒවා වැඩි ප්‍රමාණයක් ගන්න. දැන් රටේ හදන්නයි, හදන ටික නොගෙන ඉන්නයි නම් එතකොට ඊට සමානුපාතිකව තියෙන පිටරටවලින් ඖෂධ ගේන්න ඕනෑ නැහැනේ ඒකට අපි.   
ඖෂධ හිඟය ඇතිවීමට හැම තිස්සෙම කියන දේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින් අපිට ස්ටෝර්ස් නැහැ කියනවා. අර වී වගේ තමයි තොග නැහැ කියලා කියනවා. එතකොට දැන් ගබඩා තියා ගන්නවා කියලා කියන එක එච්චර මේ ලොකු එකක් නෙමෙයි. ලෝකේ අලු‍ත් ක්‍රම තියෙන්නේ ගබඩා පවත්වා ගැනීම සමහර සමාගම් කරන්නේ. ඔබේ ටෙන්ඩරය බිල් කරද්දි ඔබ කියනවා නම් අපි අවුරුද්දකට බෙහෙත් මෙච්චර ගන්නවා, අපිට ඒවා මාස තුනෙන් තුනට සප්ලයි කරන්න කියලා. දැන් අවුරුද්දකටම ගේන බෙහෙත් මෙහේ ගෙනැල්ලා අපි පර්චස් කළාට අපි ඩිලිවර් කරන්නේ.   


එතකොට මාස තුනක් තියාගන්න අපිට පුළුවන්. අනිත් එක විද්‍යාත්මක නමෙන් අපි බ්‍රෑන්ඩ් දෙකයි නම් ගෙන්නන්නේ අපිට මිලත් අඩු වෙනවා නම් විද්‍යාත්මක නමෙන් හැබැයි ඒකේ බ්‍රෑන්ඩ් ගොඩක් ගෙන්වන්නේ නැතුව දැන් මේ ලෝකේ තියෙන බ්‍රෑන්ඩ් ඔක්කොම වගේ ගෙන්වනවනේ.   

 

 

සටහන :
පද්මිණි මාතරගේ