​කොරෝනා නසන්න අන්නාසි


 

 

ලෝකයම ඉතා දරුණු ලෙස මුහුණ දී ඇති කොවිඩ් වෛරසයට එන්නතක් හෝ ඖෂධයක් සොයා ගැනීමට තවමත් කිසිඳු රටක් ස්ථිරසාරව සමත් වී නොමැත.   


ලොව දියුණු රටවල් තවමත් ඒ සඳහා පර්යේෂණ කරන අවධියක කොරෝනා වෛරසය නැසීමට පලතුරක් වන අන්නාසි යොද‌ා ගනිමින් ඖෂධයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් පිරිසක් පසුගිය ද‌ා අත්හද‌ා බැලීමක් සිදු කළහ.   


මෙම අත්හද‌ා බැලීම සිදුකර ඇත්තේ පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරීමට සොයාගත් සංවර්ධනය කෙරුණු ඖෂධයකිනි. එහිදී අන්නාසිවල තිබෙන එන්සයිමයක් භාවිත කර මෙම වෛරසය මානව සෛලවලට ආසාදනය වන ප්‍රේටීන් (ස්පයික් ප්‍රෝටීන්ස්) දිය කර හැරීමට අන්නාසිවල තිබෙන හැකියාව එම පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.   


අන්නාසිවල තිබෙන එම එන්සයිමය භාවිත කරමින් නාසයට ඉසින දියරයක් ලෙස සැකසීමට මෙම පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත. කොරෝනා වෛරසය නාසයෙන් උගුරටත්, ඉන් අනතුරුව පෙනහලුවලටත් ආසාදනය වීම වැළැක්වීම එමඟින් අපේක්ෂා    කෙරේ.   


අන්නාසි වලින් ඕස්ට්‍රේලියාවේ කොරෝනා නසන්නට පර්යේෂණ කරන අවධියක අපේ රටේ බහුලවම හැදෙන බහුලවම ආහාරයට ගන්න පලතුරක් වන අන්නාසි ගැන ඔබ නොදත් බොහෝ දේ ඇත.   


අද දියුණු රටවල් අන්නාසි වලින් කොරෝනා මඩින්න පර්යේෂණ කළත් එද‌ා අපේ පාරම්පරික වෙදමහත්වරු ජවර (උණ) සෙම්ප්‍රතිශ්‍යාව ‘උගුරේ ආසාධනවලට අන්නාසි ඖෂධයක් ලෙස භාවිත කර ඇති බව පාරම්පරික හෙළ වෙදපොතේ සඳහන් වෙනවා.   


ඝර්ම කලාපීය රටක් වන ලංකාවෙ බොහෝ ජනප්‍රිය පලතුරක් වන කෙසෙල් තරමටම ජනප්‍රිය තවත් පලතුරක් ලෙස අන්නාසි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන ආහාර වේලකට අනතුරුව අතුරුපසක් ලෙස අන්නාසි ආහාරයට ගැනීමට බොහෝ දෙනා දක්වන්නේ රුචිකත්වයකි. එමඟින් ඔබ නොදැනුවත්වම ශරීරයේ යම් කාර්යයක් සිදුවෙනවා සේම ඔබ ගන්නා ආහාර දිරවීම සඳහා ප්‍රබලම පලතුර අන්නාසි පලතුර ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අන්නාසි පලතුරේ ගුණ ද අති විශාලයි.   


අන්නාසිවල සම්භවය 

 
‘‘අනනස් කොමෝස්ස්’’ යන උද්භිද නාමයෙන් අන්නාසි හඳුන්වයි ක්‍රි.ව 1493 දී ග්වාඩලූප් දිවයිනෙහි අන්නාසි සොයා ගැනීමේ ගෞරවය ක්‍රිස්ටෝපර් කොලොම්බස්ට හිමිවන නමුත් මෙම පලතුර දිගු කාලයක් දකුණු ඇමෙරිකානුවන් වගාකර ඇත.   


අන්නාසිවල ප්‍රචලිතය   


මැදපෙරදිග හා මෙක්සිකෝව දක්වා ගමන් කළ කොළම්බස් විසින් අන්නාසි ස්පාඤ්ඤ ජාතිකයන්ට හඳුන්වා දුන්නේය. පසුව එය පිලිපීන් හා හවායි දූපත් වෙත රැගෙන ගොස් ඇත. එමෙන්ම ක්‍රි.ව 1519 දී බ්‍රසීලයේ අන්නාසි සොයා ගැනීම සඳහා ගුස්ටෝගේ නාමය ගෞරවයට පාත්‍ර වී ඇත. ක්‍රි.ව 1555 දී අන්නාසි එංගලන්තයට ව්‍යාප්ත වී ඇත. එතැනින් ශීඝ්‍ර ලෙස ඉන්දියාවේ ආසියාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් දක්වා ව්‍යාප්ත විය. අන්නාසි යුරෝපයේ අලංකාර උද්‍යාන සැදීමට ද යොදා ගෙන ඇති අතර එම 1751 දී බාර්බඩෝස්හි ජෝර්ජ් පාලකයා අන්නාසිවල රස බලා ඔහුගේ ප්‍රියතම නිවර්තන ඵලදාව බවට ප්‍රකාශ කර ඇත.   


1770 දී කැප්ටන් ජේම්ස් කුක් හවායිවලට අන්නාසි හඳුන්වා දුන්නේය. එතැන් පටන් හවායිවල ව්‍යාප්ත වූ අන්නාසි වගාව 1921 ඩොල් හවායි අන්නාසි සමාගම ලෙස සහ හවායි අන්නාසි විශාලතම බෝග සහ කර්මාන්තය බවට පත්විය.   


එතැනින් අන්නාසි වගාවට නම් දැරූ රට වන්නේ බ්‍රසීලයයි. අද ශ්‍රී ලාංකික අපද ආහාරයට ගන්නා අන්නාසිවල මූලාරම්භය වන්නේ ද බ්‍රසීලයයි. ලාංකික අය ද අාවේණික වූ අන්නාසි වර්ග ද්විත්වයක් තිබී ඇති අතර අද එම වර්ග වඳ වී ගිය ආහාර ගොඩට එකතු වී ඇත.   


කොරෝනා මඩින්න අන්නාසිවල තියෙන ගුණය කුමක්ද? 

 
 අන්නාසිවල ගුණ වගේම අන්නාසිවල ඔබ නොදත් බොහෝ විස්මිත දේවල් රැසක් ඇත. 

 
අපි ඒ පිළිබඳව දේශීය හෙළ පාරම්පරික වෛද්‍ය ආසිරි පැතුම් මහතාගෙන් විමසා බලමු.   


අතීතයේ ජවර උණ රෝග සෙම්ප්‍රතික්ෂා රෝග සඳහා ප්‍රතිකාර කිරීමට අන්නාසි ඖෂධයක් ලෙස අතීතයේ සිට පැවත ආ බව ඔහු පැවසීය. 

 
‘‘බ්‍රසීලයෙන් අපේ රටට එන අන්නාසි ඖෂධීය වටිනාකමට එහා ගිය ශාකයක් පිලිපීනයේ වගේ රටවල්වල අන්නාසි කොළ වලින් කෙඳි වර්ගයක් අරගෙන එයින් රෙදි නිෂ්පාදනය කරනවා. එය විශාල ආර්ථික වටිනාකමක් සලසනවා.   


ලෝකයේ අන්නාසි පළතුරට පයිනැපල් කිව්වාට. අපේ හෙළ වෙද බෙහෙත් වට්ටෝරුවල මේ අන්නාසි ගැන සඳහන් වෙන්නේ අන්න අප කියන විඳිහට. මේකේ තේරුමක් තියෙනවා. ‘‘අන්න’’ කියන්නේ ආහාර වලට ‘‘අසි’’ කියන්නේ අසිපතට. ඒ කියන්නේ ආහාර නසන අසිපත කියලා.  


ආහාර දහනය කිරීමේ කඩුව. විශේෂයෙන්ම ආහාර ජිර්ණයට අන්නාසිවල රසායනික ගුණයන් ලොකු බලපෑමක් කරනවා. ප්‍රධාන ආහාර වේලකට පස්සේ අපි අන්නාසි ආහාරයට ගන්නේ ඔන්න ඔය හේතුව නිසා.   
අන්නාසිවල ඖෂධිය ගුණය   


ප්‍රධාන වශයෙන්ම පණු රෝග නිවාරණයට, ඇස් පෙනීම වර්ධනය වීමට උපකාර වෙනවා. (අන්නාසි මගින් ඇස්වලට බලපාන (Mascular Degeneration) කියන රෝගය වැළදීමට ඇති අවද‌ානම අඩු කරනවා. රුධිර සංසරණය ක්‍රමවත් වීම සිදුවනවා. අන්නාසිවල ඛණිජ වර්ග හා පොටෑසියම් බහුලව ඇති නිසා විවිධ රෝග සඳහා ඖෂධයක් ලෙස ක්‍රියාකරනවා.   


ඒ වගේම මෙම පෝෂණ කොටස්වල ක්‍රියාකාරිත්වය නිසා රුධිර වාහිනීවල ඇති පීඩනය හා අාතතිය අඩු කිරීම වෙනවා. මේ නිසා රුධිර සංසරණය ක්‍රමානුකූල වී සිරුරේ විවිධ කොටස්වල අවශ්‍ය රුධිරය නිසියාකාරව ලැබෙනවා ඒ තුළින් රුධිර කැටිගැසීම අවම වී හෘදයාබාධ වැනි රෝගී තත්ත්වයන් ද සමනය කරනවා. පණු රෝගවලට, උදරාබාධ මුත්‍රා අඩස්සි අදියට අන්නාසි ගුණද‌ායකම ඖෂධයක්. 

 
බඩ පිපීම්, මුත්‍රාගල්, සන්ධි රෝග, හිසරදය වගේම තුවාල සුවවීම ඉක්මන් කිරීම මින් සිදු වෙනවා. අන්නාසිවල ඇති විටමින් C කියන සංඝටකය නිසා තුවාල සුවවීමට අවශ්‍ය කොලජන් නැවත නිර්මාණය සඳහා උපකාරි වෙනවා.   


(ජ්වර) උණ රෝගවලට අන්නාසි ඖෂධයක් කියලා ඔබ දැන සිටියා ද?   


මේ දිනවල අපි පීඩා විඳින කොරෝනා වෛරසයේදීත් අන්නාසි කියන්නේ ඉතාම ගුණද‌ායි ඖෂධයක්. දැනට ඉන් අපේ පාරම්පරික වෛද්‍යවරු අන්නාසි පලතුර බෙහෙත් වට්ටෝරු සඳහා භාවිත කරනවා. පසුගිය කාලේ කොරෝනාවලට දේශීය ඖෂධ වලින් බෙහෙත් හදපු බොහෝ වෛද්‍යවරු ඒ සඳහා අන්නාසි භාවිත කරලා තියෙනවා.   


ජ්වර දණ්ඩන ලෙස අපි පාරම්පරික වෙදකමේ හඳුන්වන්නේ (ජ්වර) උණ රෝග (දණ්ඩ) දඬුවම් කරනවා කියන එක. මෙන්න මේ ජ්වර දණ්ඩනය එහෙම නැත්නම් උණට, සෙම්ප්‍රතික්ෂාවට දඬුවම් දෙන්න අපි අන්නාසි යුෂ භාවිත කරනවා. අපේ පැරැන්​ණෝ අතීතයේ උණක්, සෙම්ප්‍රතික්ෂාවක්, උගුරේ වේදනාවක්, ඇගේ පතේ අමාරුවක් ආවම හොඳට යහමින් අන්නාසි ගෙඩියක්, අන්නාසි යුෂ ටිකක් බොනවා.   


මේ දේවල් වර්තමානයේ බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ වගේම සෙම් රෝගවලට අන්නාසි මදයේ යුෂ පානය කිරීම හොඳ ඖෂධයක්. අන්නාසි කියන්නේ මේදය, විටමින් සී, විටමින් ඒ, විටමින් ඊ, යකඩ ප්‍රෝටින් හා ජලය පෝෂක 80% වඩා වැඩි ශරීරයට ජලය ලබාදෙන ගුණද‌ායි පලතුරක්.   


සෙම්ප්‍රතික්ෂාව වැළදුණ කෙනෙක් අන්නාසි කෑල්ලක් ආහාරයට ගත්තා කියන්නේ විටමින් සී. පෙත්තක් ගත්තා හා සමානයි.   


විශේෂයෙන් කොරෝනා වෛරසය ආසාධනය වෙලා රෝහල්වල ඉන්න රෝගීන්ට හැමද‌ාම උදේම දෙන්නේ විටමින් සී පෙත්තක්. අන්නාසි හරහා අපේ ඇඟට හොඳ විටමින් සී ප්‍රමාණයක් ලැබෙනවා. නිරායාසයෙන්ම උගුර කැසීම, කැස්ස, උගුරේ ආසාදනවලට ප්‍රත්‍යක්ෂව ප්‍රතිකාරයන් ලෙස අන්නාසි පලතුර යොද‌ාගෙන අැති බව අපේ පාරම්පරික හෙළ බෙහෙත් වට්ටෝරුවල සඳහන් වෙනවා.   


වයසට යනකොට හන්දි හිරිවැටීම්, හන්දිවල ජලීය ගතිය ඇති කිරීමටත්, අන්නාසි ගැට වල අන්නාසි මදයෙන් සහ අන්නාසි කොළ යුෂ අරගෙන භාවිතා කරන්න පුළුවන්. පාරම්පරික රහස් වට්ටෝරුවල තියෙනවා කෝපි කුඩු, අන්නාසි, බිත්තර සුදු මද ඇතුළු තවත් ඖෂධ එකතු කරලා අපේ පැරැන්නෝ හන්දි රෝගවලට ඖෂධ භාවිත කරලා තියෙනවා. ගෙඩි වනවලට ප්‍රතිකාර කරන පාරම්පරික වෛද්‍යවරුන් බෙහෙත් හැදීමේදී බහුල වශයෙන් අන්නාසි භාවිත කරනවා.   


පරණ තුවාලවලට මේ අන්නාසි පෙත්තක් අරගෙන ඒකට ලුණු ටිකක් දාල‌ා තුවාලයට තියලා බැන්දම තුවාලයේ තියෙන විෂබීජ, අල්ලනවා අන්නාසි කැල්ලට. දින කිහිපයකින් තුවාලය සුව වෙනවා. බැක්ටීරියා විනාශ කිරීමේ ප්‍රබල හැකියාවක් අන්නාසිවලට තියෙනවා.   


විශේෂයෙන් උණ රෝගියෙකුගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ ද‌ාන්න ගුණද‌ායි ඖෂධයක් තමයි අන්නාසි පලතුර. මේ කොරෝනා රෝගයට භාවිත කරන්න පුළුවන් ගුණද‌ායි පලතුරක් වුණත් අන්නාසි පලතුර ලංකාවේ මිලෙන් ඉහළයි.   


ඕස්ට්‍රේලියාව වගේ රටවල් මේ අන්නාසි වලින් බෙහෙත් හදන කොට අපිටම අාවේණික අන්නාසි සම්පත ලංකාව තුළම තියෙද්දිත් අපි උඩ බලාගෙන ඉන්නවා. අපිටම ආවේණික අන්නාසි වර්ග 2 ක් තියෙනවා. එකක් කොස් අන්නාසි, අනෙක වල් අන්නාසි. අපේ පැරැන්ණෝ මේ වර්ග දෙකම අතීතයේ බෙහෙත් වට්ටෝරුවලට භාවිත කළා. ඒ බව පාරම්පරික හෙළ වෙදකමේ සඳහන් වෙලා තියෙනවා. මේ වෙනකොට කොස් අන්නාසි රටෙන් වඳ වෙලා. කියන්න දුකයි අද‌ාළ බලධාරින් කොස් අන්නාසි පැළයක් සංරක්ෂණය කරලාවත් නැහැ. 

 
අන්නාසි හොඳ වගේම අගුණ වෙන තැන්   


අන්නාසි කියන ඖෂධයේ අගුණ තියෙන්නේ බොහොම ස්වල්පයයි   


ඇඳුම රෝගින්ට, වාත රක්ත රෝගින්ට, මුත්‍රා දැවිල්ලට, බඩ දැවිල්ලට, පොතු කබර රෝගින්ට, ගර්භණී අම්මලට ගුණදායි ආහාරයක් නෙමෙයි.   


මෙවැනි වසංගත රෝග තියෙන වෙලාවක අන්නාසි ආසාත්මික වෙන කෙනෙකු ඇරෙන්න අනෙක් සියලුම දෙනා අන්නාසි ආහාරයට ගන්න පුළුවන්ය. මේ වෙලාවේදී ඉතාම ගුණද‌ායකයි. ඒ වගේම ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට ප්‍රබල ඖෂධීය පලතුරක් ලෙස අපේ පාරම්පාරික හෙළ වෙද ක්‍රමයේ අන්නාසි හඳුන්වනවා. ඒ වගේම අන්නාසි කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ අත් බෙහෙතක්.  

 

නදීශා අතුකෝරළ