ෙගා්නුන් දිවියන් මැද හරිත කන්දේ ගෙවූ රැයක්


ශ්‍රී ලංකා සිතියමේ මැද පිහිටා ඇති ලෙස දැවැන්ත වනාන්තර ප්‍රදේශයක් සලකුණු කොට ඇත. එය ඔබ අප දන්නා සමනල රක්ෂිතයයි. එලෙසම නැගෙනහිර කොටස හෝටර් නැත්ත වන පියසයි. බැලූ බැල්මට එකම වනරොදක් ලෙස පිහිටා ඇති මෙම ප්‍රදේශ දෙක තුළ පවතින්නේ එකිනෙකට වෙනස් තත්ත්වයන් වේ. සමනල රක්ෂිතය දැවැන්ත ශාක හා ජෛව විවිධත්ව​ෙයන් පිරි ප්‍රදේශයක් වන අතර හෝර්ටන්තැන්න ඊට හාත්පසින්ම වෙනස් ශාක සම්භවයක් හා කාලගුණික රටාවක් පිරි ප්‍රදේශයකි. අද අපේ ක්‍රියාදාමයට සම්බන්ධ ප්‍රදේශය නම් මේ දෙකටම අතරමැදිව පිහිටි බොගවන්තලාව නම් ඉසව්වයි. පසෙකින් හෝර්ටන්තැන්නත් පසෙකින් සමනල රක්ෂිතයත් පෙනෙන සුන්දර බවේ අගතැන්පත් ප්‍රදේශයකි. එහි සැඟව තිබූ මෙතෙක් සංචාරක ආකර්ෂණයට හසු නොවූ හරිත කන්ද (Green Mountain) සොයා අපි පියමැන්නේ එහි ගිය අත​ෙළාස්සකගෙන් කෙනෙක් වූ පුද්ගලයකුගෙන් ලද තොරතුරු මතය.

 

කූඩාරම් ගැසූ ස්ථානය

 

කොළඹ සිට හයිලෙවල් පාරේ අවිස්සාවේල්ලට පැමිණ පසුව හැටන් පාරේ කරවනැල්ල ගිනිගත්හේන පසුකොට හැටන් වෙත ළඟා විය හැක. පසුව හැටන් සිට බලංගොඩ මාර්ගයේ එනම් සමනල රක්්ෂිතයත් හෝර්ටන්තැන්නත් වෙන් කරන වනගත මාර්ගයට ප්‍රවිෂ්ඨ විය යුතුය. එහිදී අප යා යුත්තේ බොගවන්තලාව නගරයටය. නගරබද තරමක් ජනාකීර්ණ වුවද සෙසු පරිසරය පුරාවට දක්නට ලැබෙන්නේ තේ යායක් පමණි. තේ නිෂ්පාදනයට මධ්‍යම කඳුකරය ඉතා ප්‍රචලිත වෙන අතර බොගවන්තලාව තේ සඳහා ද විශාල ඉල්ලුමක් පවතියි. සමනොලගිර පෙනෙන මානයේ පිහිටි මෙම සුන්දර ඉසව්ව කහෙල්ගමු ඔය සහ සෙසු ජල උල්පත් දිය දහරාවන්ගෙන් පිරුණු ප්‍රදේශයකි. මගදෙපස අහස් ගව්ව ගෑවෙන තීරයට උස් වූ විසල් කඳු මුදුන් රැසක් මේ යනෙන මාර්ගයේ දැක ගත හැකි අතර අහිංසක ගැමි සුවඳින් මුදු වූ වතු කම්කරුවන්ගේ සිනාවත් ලහි ලහියේ තේ දළු නෙළන ලලනාවන්ගේ කොමලයත් දකිමින් අප බොගවන්තලාවට පැමිණෙන විට වෙලාව උදේ 8 පමණ විය. පසුව බොගවාන වතුයාය අසලින් අප බසයෙන් බැස ගත්තේ එම කුඩා මාර්ගයේ බසයකට යාමට අපහසු හෙයිනි.  

 

ට්‍රැක්ටරය පැමිණි මොහොත

 

අප යා යුතු ස්ථානය පිහිටියේ බෝපත්තලාව නම් ප්‍රදේශයේ ජාතික පශු සම්පත් (NLDB) ගොවිපොළ ආසන්නයේය. එම නිසාම ගොවිපොළ වෙත ළඟාවෙන සම්මත මාර්ගය වනුයේ ඩයගම, ආගරපතන හරහා ගොවිපොළ අසලටම ඇති බස් රථ මාර්ගයයි. නමුත් අපගේ ගමන අප බොගවන්තලාව හරහා පැමිණියේ ප්‍රදේශයේ සුන්දරත්වය දැකීමටත් හරිත කන්දට ප්‍රථම තවත් කුඩා කඳු ගැටයක් තරණය කිරීමටත් ඇති හෙයිනි. මෙහිදී අපට බොගවන්තලාව ආශ්‍රිත කිසිදු ප්‍රදේශයකට හරිත කන්ද දැක ගත නොහැක. මන්ද එය පිහිටියේ බොගවාන වතුයාය කෙළවර පිහිටි කඳු වැටිය උඩ වන හෙයිනි.  

 

සොබාසිරි කණ්ඩායම සමග මෙම ගමනට සහභාගි වීමට පනහකට ආසන්න පරිසරයට ආදරය කරන තරුණ තරුණියන් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් ඉතාමත් සුන්දර ලෙස අවට මිනිසුන් සමග තොරතුරු බෙදා ගනිමින් බොගවාන වතුයායේ කෙළවරට ඇවිදින්නට විය. චිරි චිරියේ ගලන දිය දහරාවන් රාශියක් අපට හමුවුණු අතර විටින් විට ඈත කඳුන් මුදුන් වෙලාගන්නා මීදුම නිසා ඇතැම් ඉසව් හඳුනාගැනීමට අපහසු විය. වතුයායේ කෙළවර පිහිටි සහකාර කළමනාකරුගේ බංගලාවට පිටුපසින් පිහිටි අඩි පාර දිගේ ගොස් නැවතත් තේ යායකට ඇතුළු වීමට සිදුවිය.  

 

 

පසුව අපට කුඩා කඳු ගැටයක් තරණය කිරීමට සිදුවිය. එය තරමක් ලිස්සන සුලු වූ නමුත් අඩි මාර්ගය ක්‍රමවත්ව තිබූ නිසා වැඩි අපහසුවක් නොවීය. සිග්සැග් ක්‍රමයට එම කඳු ගැටය නගින්නට වූ අතර එකා පිටුපස එකා පැමිණීම ගමනේ සුන්දරත්වය වැඩි කරන ලදී. ගල් තලාව පුරාවට දිය සීරාවන් කඩාවැටෙන්නට වු අතර අඩහෝරාවකට පමණ පසු එම කඳු ගැටයේ ඉහළට අප පැමිණියෙමු. ඉහළට පැමිණෙත්ම අප දුටු දසුනින් විස්මයට පත්වූයේ හරිත කන්දේ සුන්දර පිහිටීම නෙත් අදහා ගත නොවූ හෙයිනි. කොළ වර්ණයෙන් යුත් කන්ද තනිවම බෝපත්තලාව පතන මත නැගී සිටින මහා යෝධයකු බඳු විය. හරිත වර්ණ ආ​ෙල්ප කරන ලද කන්දේ ඇතැම් ස්ථානවල දැවැන්ත කළු ගල් තලා විය. ත්‍රිකෝණාකාර ලෙස පතන උඩ තිබෙන මෙම කන්ද ඉදිරියේ තැන්නක් බඳු ප්‍රදේශයකි. තවද අප සිටින ස්ථානයට වම් පසින් හරිත කන්දත් දකුණු පසින් පාත්තරගල හා ආශ්‍රිත අවශේෂ කඳු ගැට කිහිපයක් වේ. ඉතාමත්ම විවෘත ස්ථානයක් වූ හෙයින් අප අසලින් මීදුම් සළු පවා එහා මෙහා දුවන්නට විය. බොගවන්තලාව හා සමනලගිර ප්‍රදේශ මීදුමෙන් වැසී තිබෙන අතර අඩි මාර්ගය දිගේ තව තවත් ඉදිරියට ඇදුණු අප වම් පස පිහිටි හරිත කන්ද දෙසට ගියේ අප විසින්ම මාර්ගය තනාගෙනය. මෙහිදී දකූණු පසින් තිබෙන අඩිමාර්ගය ඍජුවම ගොවිපොළ වෙත යන්නක් බැවින් ඒ දෙසට යාමෙන් වැලකී සිටියෙමු.  

 

 

බැලූ බැල්මට හරිත කන්ද පහළ සිට ඉහළට නැගීම පහසු කටයුත්තක් ලෙස පෙනුනද එය හෝරාවක් පමණ වැය වන අවදානම් පිරි ලිස්සන සුලු ගමනකි. ඇතැම් ස්ථානවල ඔබට කන්ද හා ශරීරය අතර අංශක 40 ක පමණ ආනතියක් තබා ගැනීමට සිදුවේ. කෙසේ හෝ හරිත කන්ද පාමුල පිහිටි තණ බිස්සේ සියල්ලන්ටම වාඩිවී විවේකයක් ගැනීමට සිදුවේ. කෙසේ හෝ හරිත කන්ද පාමුල පිහිටි තණබිස්සේ සියල්ලන්ම වාඩීවී විවේකයක් ලබා ගත්තේ දුෂ්‍කර කඳු තරණය පටන් ගැනීමටයි. ඉදිරිපස පිහිටි පාත්තර ගලත් ඊට යාබදව වම්පැත්තෙන් පිහිටි කුඩා කඳු ගැටයත් වෘත්තාකාර කුඩා කඳු ගැටයත් පිහිටි ප්‍රදේශය ඉතාමත් අන්තරාදායක බව අපට එහිදී හමුවුණු ගම්වැසියකු පවසන ලදී. එනම් ඒ අවට පොළඟුන් බහුල ලෙස වාසය කරන බවයි. තවද පසෙකින් පිහිටි තැන්න සුන්දර පතනක් ලෙස තිබුණද එය මඩ සහිත එරෙන සුළු ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයට නොයන ලෙසට ඔහු අපට තවදුරටත් පැවසීය. කෙසේ හෝ අප නඩය හරිත කන්ද නැගීමට පටන් ගන්නා ලදී. කන්ද නැගීමේදී අපට පැහැදිලි ලෙස දැකගත හැකි කොටස් 3 කින් කන්ද යුතු වේ. ඒ අතර කළු ගල් තලා ඇති අතර ඇතැම් ස්ථානවලින් දිය සීරාවන් ගලා හැලෙයි. කෙසේ හෝ ගමන පටන් ගෙන මීටර් 50 ක් යාමට පෙර නඩයේ පිරිසට පොළඟකු දැක ගත හැකි විය. ගල්තලාව උඩ සිටි පොළඟාව අප හෙමිහිට ගල් කුට්ටි අතරට යැව්වේ කිසිවකුටත් අනතුරක් සිදුවීමට ඇති ඉඩකඩ නැති කරමිනි.  


කන්ද පුරාවට උසින් අඩු මාන පඳුරු වැවී තිබුණු අතර ඒ මතින් කන්ද නැගීම පහසු විය. නමුත් අපි පොළඟුන් පිළිබඳ දැඩි අවධානයකින් පසු වූයෙමු. කෙසේ හෝ නඩය විසිරෙමින් කන්ද නැගීමට විය. ඇතැම්හු බඩගාමින්ද කන්ද නැග ගත් බව අපගේ කැමරා කාචවලට හසු විය. තවද බොගවන්තලාවේ සිට අප පැමිණි ප්‍රදේශය එකම සුදු රෙද්දක් වැනි විය. සුදුපාට මීදුමෙන් මුළු ප්‍රදේශයම වැසී ගොසිනි. අපට දක්නට තිබුණේ හෝර්ටන්තැන්න වන පියසත් එහි වූ ලංකාවේ උසින් දෙවැනි හා සිව්වැනි තැන ගන්නා කිරිගල්පොත්ත හා ආග්‍රාබෝපත් කඳුවිය. මීදුම් සළු එහෙ මෙහෙ වන විට අප යන්තමින් අඹේවෙල සුළං පෙති යන්ත්‍ර, පිදුරුතලාගල කන්ද, ග්‍රේට්වෙස්ටර්න් කන්ද, ඩෙල් කන්ද සහ උඩරදැල්ල, ඇල්බැද්ද කඳු වැටි හා ආශ්‍රිත ප්‍රදේශ දැක ගත හැකි විය.  


හරිත කන්ද ගූගල් සිතියමේ (Google Maps) බලා ගැනීමට නම් 6.814130.80.694738 කේතය එහි සොයන්න. එවිට ඔබට මාර්ගය හා ආශ්‍රිත වටපිටාව ගැන දළ අදහසක් ගත හැක. කෙසේ හෝ නඩය දැඩි දුෂ්කරතා මැද ක්‍රමයෙන් කන්දේ ඉහළටම ළඟා වීමට ආසන්න වූයේ දහවල් යාමය පසුවන විටය. කන්දට පිටුපසින් පිහිටියේ හෝටර්ටන් තැන්නයි. හෝර්ටන්තැන්න පටන් ගත්තේ එතැන සිටය. හරිත වනාන්තරයත් කිලෝමීටර් ගණනක් ඈතට පෙනෙන අතර හරිත කන්ද ඉතාමත්ම සුන්දර හා නොඉඳුල් ලෙස පිහිටා තිබුණේ ඒ සියලුම දෑ සමගිනි. කන්ද නගින ඉසව්වට දකුණු පසින් පිහිටියේ කන්දේ බෑවුමය. එයද හරිත පැහැගෙන අලංකාරව තිබුණද පය ලිස්සා වැටුණහොත් මරණය නියත යන තරම් හෙළ ගැඹුරු විය.  

 

නඩය

 

කෙසේ හෝ සියල්ලෝම හරිත කන්ද මුදුනට නැග ගත්හ. කැමරා කාචවලට නම් විවේකයක් නොවූයේ ලහි ලහියේ අවට සුන්දරත්වය ඡායාරූපයකට ගන්නා පිරිසක් සිටි හෙයිනි. කන්ද උඩ අප සියල්ලන්ටම රාත්‍රි කඳවුරු බැඳීමට තරම් ඉඩකඩ නොවූ නිසා ගොවිපොළ ආසන්නයට එක පේළියට වැටී තිබෙන පයිනස් ගස් අසළ කඳවුරු බැඳීමට අපි තීරණය කළෙමු. යන්තමින් කූඩාරමක් දෙකක් ගසාගෙන කන්ද උඩ සිටීමට හැකි වුවත් අධික සීතල හා සැඩ සුළං ප්‍රවාහය කූඩාරමට ඔරොත්තු දීමට අධික බව සිතුණි. තවද රාත්‍රියේ මෙහි පැමිණෙන ගෝනුන්, දිවියන්ගේ පහසු බව නිසා අනතුරුදායක විය හැක. හෝරාවකට අධික කාලයක් කඳු මුදුනේ සැරි සැරූ පසු අප නැවත කන්ද බැසීමට පටන් ගත්තෙමු. මෙහිදී ගල්තලාව සහිත ප්‍රදේශ ලිස්සනසුලු බැවින් යුක්ත වීම නිසා සියල්ලෝම දැඩි අවධානයෙන් පසු විය.  


කෙසේ හෝ කන්ද බැසගත් පසු ගොවිපොළට යන අඩි මාර්ගය දිගේ එදෙසට ගමන් කළෙමු. මීදුම සමග යන්තමින් අඳුර වැටීමට තිබූ හෙයින් විගසට අපි ඒදෙසට ඇදෙන්නට වීමු. එම මාර්ගය දැඩි ලෙස මඩ හා වගුරුවලින් යුක්ත විය. ඇතැම් ස්ථානවලට ලී කොට දමා තිබුණද ගමන් කිරීමට දැඩි අපහසුවූයේ මඩ නෑමට සිදුවූ හෙයිනි. මෙහිදී අපට හරිත කන්දේ සුන්දර සම්පූර්ණ වපසරියම දැක ගත හැකි වුණි. තවද පාත්තරගල හා අවට කඳු ගැට අසලින් බෝපත්තලාව මායිමේ වැටගසා තිබුණි. තවද අප පොළඟුන් පිළිබඳවත් අවධානයෙන් ගියේ පයේ එල්ලෙන කූඩැල්ලන්ද අතින් ඉවත් කරමිනි.  


සවස 6 පමණ වන විට කතිකා කරගත් පරිදි පයිනස් ගස් අසලට අපි පැමිණියෙමු. එහිදී අපට යම් ගැටලුවකට මුහුණ දීමට සිදුවූයේ ගොවිපොළට යන මාර්ගයේ සිට පයිනස් ගස් අසලට මඩ වගුරු සහිත ප්‍රදේශයකින් මාර්ගය සාදා ගෙන යාමට සිදුවීමයි. කෙසේ හෝ අපගේ පැමිණීම පිළිබඳව ගොවිපොළේ සහකාර කළමනාකාරතුමන් දැනුවත් කළ පසු ඔහු විසින් අපට යම් උපදෙස් ලබා දුණි. ඒ අනුව පයිනස් ගස් යට මාන පඳුරු මත අපගේ කූඩාරම් ඇටවීමට පටන් ගත්තෙමු. විවිධ වර්ණයන්ගෙන් හා ප්‍රමාණවලින් යුත් කූඩාරම් දොළහක් අප අටවා ගත් අතර අඳුර පැමිණි නිසාවෙන් අධික සීතලක් දැනුණි. කාරුණික කළමනාකාරතුමාගේ සහයෝගය මත අප සමග පැමිණි තරුණයින්ට ඇඳුම් මාරුකිරීමට හා ශාරීරික අවශ්‍යතාවලට ඔහුගේ බංගලාව ලබා දුණි. පසුව ඔහු විසින් ගොවිපොළේ සේවකයන් ලවා අපට රොටි සහ සැමන් හොද්දක් සාදා දුන්නෙන් රාත්‍රියේ කුසගින්න අර්ථවත් ලෙස සපුරා ගැනීමට මහත් අස්වැසිල්ලක් වෙමිනි. කූඩාරම් ගැසූ ප්‍රදේශයේ අතරින්පතර කූඩැල්ලන්ගේ ප්‍රහාරවලට සමහරු ලක්විය. තරුණියන් සියල්ලෝම වෙනම කූඩාරම් දෙකකත් සෙසු පිරිස ඉඩ පරිදි කූඩාරම්වලටත් යොමු කරන ලදී.  


රාත්‍රී 8 වන විට රොටී සහ සැමන් හොද්ද අප හට ලැබුණු අතර එක රවුමකට සෑදී සිටි අපි එකිනෙකා දැන හඳුනාගනිමින් කතිකා කරමින් රාත්‍රී ආහාර ගැනීමට වීමු. කෑලි කපන රාත්‍රියේ අධික සීතලත් මීදුමත් නිසාවෙන් නඩයේ පිරිස පරිසරයට බාධාවක් නොවන ලෙස ගී මුමුණන්නට විය. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය තහනම් කෙරුණු ගමනක් වූ හෙයින් සියල්ලෝම නින්ද පසෙකලා එකමුතු වූයේ හරිත කන්දේ ප්‍රථම වරට කූඩාරම් යට රැය ගෙවන පිරිස බවට පත්වෙමිනි. හදිසියේම ඈතින් විදුලි බල්බ දල්වා ගෙන යම් වාහනයක් අප දෙසට එනු දිටීය. ඉන් අප තරමක් තැති ගැනීමට ලක් වුවද මෙම ගමන ගැන කල්තියාම බොගවන්තලාව පොලිසිය හා වන සංරක්ෂණ නුවරඑළිය කාර්යාලය දැනුම්වත් කර පැමිණි නිසා අපි කලබල නොවීමු. කෙසේ හෝ එම වාහනය නම් දැවැන්ත ට්‍රැක්ටරයකි. එහි රියැදුරු සහායක හා සහකාර කළමනාකාරතුමන්ද සිටියහ. ඔවුන් පවා අප සමග ගීයක් ගැයීමට පැමිණි බව දැන්වූ පසු කළමනාකාරතුමන් ගෙනා ගිටාරයද වයන්නට විය. රියැදුරු මහතා සමග කතාවට වැටුණු අප ට්‍රැක්ටර් ක්‍රියාදාමය පිළිබඳ විස්තර දැන ගත්තෙමු. ඔවුන් දෙදෙනා රාත්‍රී මුර සේවයේ යෙදෙන සේවකයින් දෙදෙනෙකි.  


ඔවුන්ගේ රාජකාරිය ඇත්තේ මෙම දැවැන්ත ට්‍රැක්ටරයේය. එහි ඉදිරිපස විදුලි බල්බ යුගලය හා ඔවුන් අත ඇති විදුලි පන්දම් ඉතාමත් ප්‍රබල විය. මීටර් 500 කට වැඩි දුරකට පවා එළිය හොඳින් යොමුවන විදුලි පන්දම් නිසා ඔවුන් අපට පෙන්වූ දෙයින් අපි පුදුම වීමු. ඔවුන්ගේ රාත්‍රී රාජකාරිය වනුයේ බෝපත්තලාව ගොවිපොළ හා අාශ්‍රිත තණ බිම්වල තණ කෑමට පැමිණෙන ගෝනුන්ව හා ගෝනුන් දඩයමට එන දිවියන්ව පලවා හැරීමයි. ඔවුන් පැවසූ පරිදි මීට දින කිහිපයකට පෙර දිවියකු විසින් ගෝනෙකු දඩයම් කොට තිබුණි. ඔවුන්ට අතැති විදුලි පන්දම යොමු කළේ මීට හෝරා කිහිපයකට පෙර අප සැරිසැරූ හරිත කන්ද ආශ්‍රිත ප්‍රදේශයටය. ඉතාමත් පැහැදිළිව අපට ගෝනුන් එක පේළියට ගමන් කරනු දැක ගත හැකි විය. ඔවුන් හා සුහද ලෙස තොරතුරු බෙදාගත් පසු ට්‍රැක්ටරය අප සියල්ලන්ම සිටි ස්ථානයට පැමිණ නතර කෙරුවේ විදුලි පහන් දල්වමිනි. ඉතාමත් අලංකාර ලෙස හෙමිහිට ගී ගයනා කළ පසු රාත්‍රී 12 වන විට ඔවුන් නැවත පිටත් වූයේ පාන්දර 4 ට නැවතත් රාජකාරියට වාර්තා කළ යුතුව තිබූ හෙයිනි.  

 

සොබාසිරි අපි

 

කෙසේ හෝ අප විසින් දල්වාගෙන තිබූ ගිනිමැලයද ක්‍රමයෙන් බුර බුරා නැගෙමින් තිබුණි. රාත්‍රී 12 පසු වන විට අපගේ කූඩාරම් පවා නොපෙනී යන තරම් මීදුමක් ඇතිවිය. මීදුම ගමන් කරන ආකාරය අපට ඇල්ලීමට හැකි ලෙස අප වටේ තිබුණි. ඒ නිසාම අප හනිකට කූඩාරම් තුළට ගොස් නින්දට වැටුණි. පසුදා පහන් වන විට මීදුම පිරි පරිසරයට පින්න පතිත වෙමින් තිබුණි. කෙසේ හෝ අප ගොවිපොළ දෙසට ගියේ එය නැරඹීමට පැමිණෙන ලෙස සහකාර කළමනාකාරතුමන් කළ ආරාධනාව අනුවය. බෝපත්තලාව ගොවිපොළ යනු දැවැන්ත ගොවිපොළකි. ඉතාමත් පිරිසිදුව ක්‍රමානුකූල ලෙස සම්මත තත්ත්වයන් යටතේ මෙහි සිටින එළදෙනුන් හයසියයකට වැඩි ප්‍රමාණයක් කිරි ගැනීමේ කටයුතු සිදු කරයි. ඇතැම් එළදෙනුන් ඇතුන් තරමට විශාල උන් විය. කෙසේ හෝ ගොවිපොළේ කාර්යයන් සිදුවන ආකාරයත් එළදෙනුන් සහ උන්ගේ චර්යා රටාවන් දැක බලා ගැනීමටත් අපට වාසනාව හිමිවුණි.  
පසුව අප නැවත පෙරළා කඳවුරු භූමියට පැමිණ කූඩාරම් සියල්ල හකුළා දැමීමට පටන් ගන්නා ලදී. අප සිටි පරිසරයට කිසිදු හානියක් නොවන ලෙස හැසිරුණු හෙයින් කිසිදු අපද්‍රව්‍යක් ඒ අවට නොවීය. නිවෙමින් තිබූ ගිනිමැලයට දමා පොලිතින් ඇතුළු සියල්ල අළු වන තුරු පුළුස්සා දැමූ පසු ගිනි මැලය නිවා දැමුවෙමු. පසුව අපි නැවතත් ආ මගේම යමින් කන්ද බැසීමට පටන් ගත්තෙමු. බෝපත්තලාවේ හරිත කන්ද තෙදවත්ව ලෙස නැගී සිටියි. යන්තමින් කඳු මුදුන පැටලුණු මීදුම් සළු කිහිපයක් හැරුණු විට සෙසු ප්‍රදේශ පැහැදිලිව දැක ගත හැකි විය. නැවතත් බස් රථය කරා පැමිණි අපි දිවා ආහාරය ගෙන කිතුල්ගල කැලණි ගං කොමලිය අසබඩින් කොළොම්තොට බලා පිටත් වුණෙමු.  


ගෝනුන්, දිවියන් බහුලව සැරිසරන ප්‍රදේශයක කුලුදුලේම රාත්‍රී කූඩාරම් ගසා රැය පහන් කළ මිහිරිතම අත්දැකීම සමහරුන්ට ජීවිතයේ ප්‍රථම කූඩාරම් රැය විය. කෙසේ හෝ Travel in Sri Lanka Sobasiri මුහුණු පොත පිටුව සමග එක්ව ක්‍රියාදාම සංචාර සඳහා සහභාගි වෙන තරුණ තරුණියන්ට ජීවිතයේ අමතක නොවන අත්දැකීම් ලැබෙන්නේ අප බොහෝ විට අප්‍රසිද්ධ දුෂ්කරම ඉසව් වෙත යන නිසාවෙනි. කිසිදු අාර්ථීක ලාභයකින් තොරව සිදු කෙරෙන මෙම කටයුත්තේ අරමුණ නම් ක්‍රියාදාම සංචාර තුළින් අප රටේ සැඟවී තිබෙන සුන්දරත්වය සොයා යාමයි. ඉදිරියේදී ලංකාදීප සමග ක්‍රියාදාම සංචාර ලිපි හරහා ඔබටත් අප සමග එක් විය හැක.  

 

 

 

සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද  රන්ශාන්  ප්‍රනාන්දු