ෆ්ලෝරීඩා පාසලේ වෙඩි තැබීම


මියගිය සිසුවකුගේ මවක්   

 

 

පාසල් ළමයින්ගේ උද්ඝෝෂණයක්  

 

වෙඩි තැබීමෙන් මියගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් කීපදෙනෙක්   

 

මිහිපිට ඇති බලසම්පන්නම රට වූ ඇමෙරිකාව අනාරක්ෂිත භූමියක් බවට පත්වෙමින් පවතී. ෆ්ලෝරිඩා (Florida) ප‍්‍රාන්තයේ 19 හැවිරිදි ශිෂ්‍යයෙකු තම පාසලේ ළමයින් ඇතුළු 17 දෙනෙකු වෙඩිතබා මරා දමමින් පාසල් භූමිය ලේ විලක් බවට පත් කිරීමේ පුවත ලොව පුරා ප‍්‍රචාරයවීමත් සමඟ ඉහත සටහන යෙදීම සුදුසු යයි සිතේ.   


පාක්ලන්ඩ් මාර්ජරි ස්ටොන්මන් විද්‍යාලයේ සිදුවූ මෙම සංවේගජනක හදකම්පා කරන සිද්ධිය අනුසාරයෙන් කිව හැක්කේ මානසික ආතතියෙන් පෙළෙන තරුණ තරුණියන් දැන් වඩ වඩාත් ම්ලේච්ඡ අයුරින් ක‍්‍රියාකරන බවය. සතියකට පෙර සිදු වූ මෙම අනුවේදනීය සිද්ධියෙන් මුළුමහත් ඇමෙරිකාවම කැලඹීමට පත්ව තිබේ. මනස විකෘති වූ 19 හැවිරිදි ශිෂ්‍යයෙකු අතට ඒ ආර් 15 වර්ගයේ නවීන ස්වයංක‍්‍රීය අවියක් ලැබීම තුළින් කිව හැක්කේ ඇමෙරිකාව පුරා බිහිසුණු අවි ආයුධ අලෙවි කිරීමේ ක‍්‍රමවේදයෙහි පවතින අඩුලුහුඬුකම් වඩාත් ඉස්මතු වී ඇති බවයි.   


ෆ්ලොරීඩා මාරක රංගනය   


නිකොලස් කෲස් නමැති මෙම ශිෂ්‍යයා පෝර්ට් ලෝරිඩේල් හි උසස් විද්‍යාලයෙහි (්‍High School) සිදුකළ මාරක රංගනය ඇමෙරිකාවේ පාලකයින්ගේ ඇතැම් දුර්වලතා ලොවට කියාපාන්නකි. ඇමෙරිකාවේ ක‍්‍රියාත්මකව පවතින අවි ආයුධ අලෙවිය හා භාවිතය පිළිබඳ නීතිරීතිවල පවතින අඩුලුහුඬුකම් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය දැන් ඉස්මතු වී තිබේ.   


17 දෙනකු මරු තුරුලට යවා, තවත් 14 දෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමට මේ මිනීමරු ශිෂ්‍යයාට ගතවූයේ විනාඩි 5 ක පමණ සුළු වේලාවකි. තමා මේ තිරිසන් ක‍්‍රියාවේ නිරත වූයේ මනස විකෘතිවීම නිසා බව ඔහු පැවසුවේය. විවිධ හිංසාකාරී ක‍්‍රියා හේතු කොට ගෙන ඔහු එම උසස් විද්‍යාලයෙන් නෙරපා හැර සිටි ශිෂ්‍යයෙකි.   

 
විදුහලේ විසිරුණු මරහඬ හා රතු රුධිරය 

 
තමා ඉගෙනගත් ස්ටෝන්මන් ඩග්ලස් උසස් විද්‍යාල භූමිය රුධිරයෙන් තෙත්වී, එම භූමියෙන් මරහඬ නිකුත්වෙද්දී මෙම මනස විකෘති සිසුවා අසල තිබූ වෝල්මාර්ට් වෙළෙඳසැලකට ගොස් සිසිල් බීම බෝතලයක් පානය කර, මැක්ඩොනල්ඩ් ආපන ශාලාවකට ගොස් ඇත්තේ කිසිවක් සිදුනොකළ අයෙකු වශයෙනි.   


රටම කැළඹී ඇති මෙවන් මොහොතක ජනාධිපති ට‍්‍රම්ප් පැවසුවේ ඇමෙරිකාවේ අවි ආයුධ අළෙවි කිරීමේ නීති වහාම සංශෝධනය කිරීමට කොන්ග‍්‍රස් සහ සෙනෙට් සභාවල සහාය අවශ්‍ය බවය. අවි ආයුධ මිලට ගන්නා අයගේ වයස් සීමාවන්, ඔවුන්ගේ චරිතය පිළිබඳ සහතික ආදිය පිළිබඳ වඩාත් සැලකිළිමත් විය යුතු බව ට‍්‍රම්ප්ගේ අදහසයි. මේ නීතිරීති සංශෝධනය වෙන විට සිදුවන හානිය සිදුවී හමාරය. අවි ආයුධ නිපදවා මුළු ලොවටම අලෙවි කිරීම ඇමෙරිකාවේ ප‍්‍රධානතම ආදායම් මාර්ගයකි.   


එදා අල් කයිඩා ත‍්‍රස්තවාදීන් ඇමෙරිකාවට ප‍්‍රහාර එල්ල කළේ ඇමෙරිකාවෙන්ම ලබාගත් අවි ආයුධවලිනි. අද මුළු රටම නවීන අවි විකිණීමේ ක‍්‍රමවේදයෙහි වෙනසක් සිදුකරන ලෙස ට‍්‍රම්ප්ගෙන් ඉල්ලා සිටී. (DEMANDED ACTION ON GUN CONTROL)  අවි මිලට ගැනීමේ බලපත‍්‍ර (PERMITS) නිකුත් කිරීමේදී විශේෂයෙන්ම ආයුධ අවශ්‍ය අයගේ මානසික තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා සමීක්ෂණය කිරීම වඩාත් වැදගත් වෙන බව ඇමෙරිකාවේ මාධ්‍යයන් පෙන්වා දෙයි.   


ඇමෙරිකාව අනාරක්ෂිත වුණ හැටි   


ආත්මාරක්ෂාව තකා අවි මිලට ගෙන රට වනසන විකෘති පුද්ගලයින්ට තවදුරටත් එම ක‍්‍රියාවෙහි නිරතවීමට ඉඩ නොතැබිය යුතු බව මාධ්‍යයන්හි මතයයි. පොදු ජනතාවගේ මතය ද එයයි. රිපබ්ලිකන් පක්ෂය මගින් පාලනය කරන කොන්ග‍්‍රස් සභාව අවි ආයුධ අලෙවිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට සමත් වී නැති බව බොහෝ දෙනාගේ මතයයි. ඇමෙරිකාව අද අනාරක්ෂිත රටක් බවට පත්වී ඇත්තේ මේ නිසාය. හිංසාකාරී ක‍්‍රියාවන්ගෙන් යුත් චිත‍්‍රපට, ටෙලි වෘත්තාන්ත නිපදවා අන්තර්ජාලය ඔස්සේ විකාශනය කිරීම, එකිනෙකා අභිබවා යන ආකාරයේ ගේම් (Game) මුදාහැරීම ආදිය හේතුකොට ගෙන තරුණ තරුණියන්ගේ මනස විකෘති වෙමින් පවතී. අධ්‍යාපනය පසෙකලා මේවාට ඇබ්බැහිවීම තුළින් ඔවුන් හිංසාවට නැඹුරුවෙන අයුරු දක්නට ලැබේ.   


ඇමෙරිකාවේ ඇතුල් පැත්ත   


ෆ්ලොරිඩා (Florida) ඛේදවාචකය සිදුකළ නිකොලස් කෲස් ශිෂ්‍යයාගේ සොහොයුරා වන 17 හැවිරිදි සචරි කෲස් මානසික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින්නෙකු බවද, ඔවුන්ගේ මව වසරකට පෙර මියගොස් ඇතැයිද පරීක්ෂණවලදී අනාවරණය විය. ඇමෙරිකාව පුරා මෙසේ සිටින දෙමව්පියන් නැති ළමයින් මත්ද්‍රව්‍ය ජාවාරම්, සොරකම්, මිනීමැරුම් වැනි හිංසාකාරී ක‍්‍රියාවන්හි නිරතවීම සීඝ‍්‍රයෙන් වැඩිවෙමින් පවතී. බොහෝ ප‍්‍රදේශයන්හි ඇමෙරිකාවේ ජීවිතය ආරක්ෂා රහිත වී ඇත්තේ මේ නිසාය.   


2018 වර්ෂයේ මුල් සති 7 ඇතුළත දී ඇමෙරිකාවේ පාසල්වල සිදුවූ 8 වැනි වෙඩි තැබීමේ හිංසාකාරී සිද්ධියයි මේ. 2013 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා එනම් වසර 5 ක් තුළදී ඇමෙරිකාව පුරා ඇති පාසල් රාශියක වෙඩිතැබීමේ බිහිසුණු සිද්ධීන් 291 ක් සිදුවී තිබේ. 2017 වර්ෂයේදී පමණක් පාසල් හා විශ්ව විද්‍යාලයන්හි ස්වයංක‍්‍රීය ගිනි අවි යොදවාගෙන පාසල් ළමයින් ඝාතනය කිරීමේ අමානුෂික ක‍්‍රියාවන් 65 ක් සිදුවී ඇත.   


වසර 36 ක ඇමෙරිකා ජීවිතය   


2007 වර්ෂයේ ඇමෙරිකාවේ වර්ජිනියා ටෙක් විශ්ව විද්‍යාලයේ 32 ක් ඝාතනය කරමින් 17 දෙනෙකුට තුවාල සිදුකරමින් සිදුවූ හදකම්පා කරවන සිද්ධිය වාර්තා කිරීමට ද මට අවස්ථාව ලැබිණි. 2012 වර්ෂයේ සැන්ඩිහුක් (Sandyhook) කනිෂ්ඨ විදුහලේ කුඩා ළමයින් 27 දෙනෙකු වෙඩි පිට වෙඩි තබමින් මරා දමන ලද්දේ 20 හැවිරිදි විකෘති මනසකින් යුත් ශිෂ්‍යයෙකු විසිනි. එම ශෝකාන්තයද එදා ඇමෙරිකාවේ සිට මම ලිව්වෙම්. ඇමෙරිකාවේ ජනගහනයෙන් සියයට 30 කට වැඩි ප‍්‍රමාණයක් තම ආත්මාරක්ෂාව තකා නවීන අවි ආයුධ නීත්‍යානුකූලව භාවිතා කරන්නන් බවට පත්වී තිබේ.   

 

 

 

 

සිරි හීන්පැල්ල කොළඹ සිට ලියයි