ළිඳට දැමූ කිරිකැටියා බේරාගත් වීර තරුණයා



අඩි 23 ක් පමණ ගැඹුරු වතුර පිරී තිබූ ළිඳක් තුළ ජීවිතයක් මරණයත් අතර දෝලනය වෙමින් සිටි හයක් හතරක් නොතේරෙන සිඟිත්තකුගේ ජීවිතය බේරා ගැනීමට තම ජීවිතය පරදුවට තබා ළිඳට පැන්න වීරෝධාර තරුණයෙක් ගැන අපට අසන්නට ලබුණේ කරන්දෙණිය කුරුළුකන්ද ප්‍රදේශයෙනි.  


තම ජීවිතය ගැන නොතකා ළිඳට පැන තරුණයා විසින් ජීවිතය බේරාගත් මාස 11 ක පමණ වයසැති සිඟිත්තා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.  
සිඟිත්තාගේ ජීවිතය බේරාගත් වීරෝධාර තරුණයා තවමත් 19 හැවිරිදිය.  


අපේ කාලයේ වීරවරයා නමින් හසිදු මධුෂාන් හඳුන්වන්නේය.  


ඔහු පදිංචිව සිටින්නේද කරන්දෙණිය, කොටවෙල, කුරුළුකන්ද ගම්මානයේය.  


ඝාතනය කිරීමේ අරමුනින් සිඟිත්තා ළිඳට දැමූ බව කියන 19 හැවිරිදි මව කරන්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.  


ගැඹුරු ළිඳකට පැන සිඟිත්තාගේ ජීවිතය බේරාගත් ඒ බිහිසුණු හා ත්‍රාසජනක වික්‍රමාන්විත මෙහෙයුම ගැන හසිදු මධුෂාන් වචනවලට පෙරළුවේ මෙසේය.  


මේ සිද්ධිය වෙන දවසේ එනම් 1 වැනිදා සවස 3.45 ට විතර ඇති. මම ගෙදර ඒ වෙනකොට තුවායක්ද ඇඳගෙන නාමින් සිටියේ. පොඩි ළමයෙක් ළිඳට වැටිලා කියා කට්ටියක් කෑගහන ශබ්දය මට ඇසුණා. නාන එක නවත්තලා කොට කලිසමක් ඇඳගෙන මම ළිඳ ළඟට දිව්වා. ඇපේ ගෙදර ඉඳලා ළිඳ ළඟට තිබු​ෙණ් මීටර් 300 ක විතර දුරක්. ළිඳට එබිලා බැලුවා. පුංචි දරු පැටියෙක් වතුරේ මුණින් අතට පාවෙනවා දැක්කා. අපේ ගෙවල් ළඟ ඉන්න අක්කාගේ දරුවා බව මම දැනගත්තා. මේ දරුවා මා වඩාගෙන සුරතල් කර තිබෙනවා. අපේ ගෙදරටත් ඉඳලා හිටල එනවා. සිඟිත්තා මට හරිම ලෙන්ගතුයි. කිසිම කෙනෙක් ළිඳට බැහැලා දරුවා බේරාගන්න ඉදිරිපත් වෙන බවක් මට පේන්න තිබුණේ නැහැ. ළිඳට බහින්න කඹයක් හොයන්න ගියොත් දරු පැටියාගේ ජීවිතය අනතුරේ බව මට තේරුම් ගියා. දරු පැටියා මාත් එක්ක හුරතල් වෙන හැටි පේන්න පටන් ගත්තා. දරු පැටියා වතු​ෙර් පාවෙමින් ඉන්න ආකාරය දැක්කම මට වාවගන්න බැරි දුකක් වේඳනාවක් ඇතිවුණා. ඒ නිසාම මට කිසිම බයක් ඇතිවුණේ නැහැ.  


එක කකුළක් ළිඳේ ගැට්ටකට තියලා ළිඳට බහින්න පටන්ගත්තා. ළිඳ අඩි 23 ක් විතර ගැඹුරුයි. අඩි 10 ක් විතර ගැඹුරට වතුර පිරිලා තිබුණා. ළිඳේ විෂ්කම්භය ගොඩක් අඩුයි. ළිඳට බහින එක හිතන තරම් ලෙහෙසි වුණේ නැහැ. ළිඳට බහිද්දී ම​ෙග් පිට සීරිලා රිදුම් දෙන්න පටන් ගත්තා. ඒ වේඳනාව බොහෝම අමාරුවෙන් මැඩගෙන ළිඳට බැස්සා.   


වතුරේ මුණින් අතට පාවෙමින් සිටිය දරු පැටියා මම අතට ගත්තා. කඹයක මොකක් හරි ගැට ගහලා ඉක්මණට ළිඳ ඇතුළට එවන්න කියා කෑගැසුවා. බෑග් එකක් කඹයක ගැට ගසා ළිඳ ඇතුළට එව්වා. මම දරුවා ඒ බැග් එකට දැම්මා. කට්ටිය දරුවා පිටතට ගත්තා. ඒ වෙනකොටත් දරුවාට සිහිය තිබුණේ නැහැ.  


ඊට පස්සේ කට්ටිය මට ගොඩට එන්න ලීයක් දැම්මා. ඒකෙන් ගොඩට එන්න කොහෙත්ම පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ ලීය ළිං කට ළඟට කිට්ටු කරන්නත් බැහැ. මම ඒ ලීය හරහට දාලා ඒක උඩට නැගලා බඩගාගෙන ගොඩට එන්න හදද්දී දෙපාරක්ම ළිඳට ඇදගෙන වැටුණා. පිහිනන්න හොඳට දන්න නිසා මාව වතුරේ ගිලුණේ නැහැ. පිහිනන්න දැනගෙන හිටියේ නැත්නම් මගේ ජීවිතය ඉවරයි. ආයෙත් ඒකේ දෙකක් නැහැ. කොහොම හරි ලොකු වෙහෙසක් දරා ළිං කටින් ගොඩට ආවා. මම ගොඩට එනකොටත් දරු පැටියාට ප්‍රථමාධාර ලබාදී රෝහලට අරගෙන ගිහින් තිබුණා.  


දරුවා සුවය ලබමින් ඉන්නව කියා දැනගත්තාම මට කියන්න බැරි තරම් සතුටක් දැනුණා. ඒ සතුට ගැන කියන්න වචන මට නැහැ. මගේ හිතට කිසිම බයක් දැනුණේ නැහැ. මට කොහොම හරි ඕනෑවෙලා තිබුණේ පොඩි එකාගේ ජීවිතය බේරාගන්නයි. මගේ උත්සාහය හරි ගියා. යැයි මධුෂාන් තරුණයා කීය.  


පොඩි එකා බලන්න ඉස්පිරිතාලයට එහෙම ගියේ නැත්ද? මම මධුෂාන්ගෙන් ප්‍රශ්න කළේ ඔහුගේ කතාවට බාධා කරමිනි.  


ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකක​ෙය් ප්‍රතිකාර ලබන පුංචි පැටියා බලන්න මම 4 වැනිදා ගියා. දරු පැටියාට ඒ වෙනකොටත් සිහිය ඇවිත් තිබුණේ නැහැ. සෑහෙන වේලාවක් මම පොඩි එකා දිහා ඇස් පිය නොගසා බලාගෙන හිටියා. හිතට කියන්න බැරි තරම් සැනසීමක් ලැබුණා පොඩි එකා දිහා බලාගෙන ඉද්දී. මම නිසානේ මේ දරුපැටියගේ ජීවිතය බේරුණේ කියන සිතුවිල්ල හිතට දැනෙද්දි කියන්න බැරිතරම් සතුටක් ඇති වුණා. කරන්දෙණිය පොලිසියේ ලොකු මහත්තයා ප්‍රසන්න ඇල්ගිරියගේ මහත්තයා මම කළ ක්‍රියාව ගැන ප්‍රශංසා කළා. ගමේ අයත් මේ වැඩේට ගොඩක් මට ප්‍රශංසා කළා. මම මෙවැනි දෙයක් කළේ කිසිම ප්‍රශංසාවක් හරි ප්‍රසිද්ධියක් හරි බලාපොරොත්තුවෙන් නොවේ යැයිද මධුෂාන් තරුණයා පවසයි.  


තම ජීවිතය ගැන කිසිදු තැකීමක් නොකර දරු පැටියකුගේ ජීවිතය බේරා ගැනීමට තරම් එඩිතර හිතක් හා යෝධ බල ආත්ම ශක්තියක් තිබුණ මධුෂාන් තරුණයා කරන්දෙණිය මඩකුඹුර මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.  
ඇඟේ පතේ සවි ශක්තිය තිබුණ වැඩිහිටියන් රැසක්ද ළිඳ වටා රොක්වී සිටියදී ළිඳේ සිටි දරු සිඟිත්තාගේ ජීවිතය බේරාගන්න තම දිවි පරදුවට තබා ඉදිරිපත් වූයේ පුංචි කොළු ගැටයෙකි. සහෝදරියන් දෙදෙනෙකු සිටින පවුලේ එකම පිරිමි දරුවා වන මධුෂාන් පාසල් අධ්‍යාපනයට සමුදී මෝටර් රථ කාර්මික පාඨමාවක්ද හදාරා රැකියාවක් අපේක්ෂාවෙන් පසුවේ.  


මධුෂාන්ගේ පියා සරත් පියසිරි වන අතර මව අයි.ඩී. පියවතී මහත්මිය වන්නීය. ඔහුගේ පියා පියසිරි මැදපෙරදිග රටක රැකියාවක් කර මෙරට පැමිණ ඇත්තේ මීට මාස 03 කට පමණ කලින් වන අතර මව තවමත් සිටින්නේ මැදපෙරදිග රටක ගෘහ සේවිකා රැකියාවක නිරතවය.  


‘මම පුංචි එකෙක් ළිඳේ ඉද්දි බේරාගත්ත කතාව තාත්තා අම්මාට කතා කරලා කියලා. ඊට පස්​ෙස් අම්මා මට කතා කළා. පුතේ උඹ කළේ ලොකු වීර ක්‍රියාවක්. ඒ වගේම ලොකු පිනක් කරගත්තා. කියා සතුටු කඳුළු හෙළුවා.  


ඒ මධුෂාන්ගේ හඬයි. හසිදු මධුෂාන් ඉගෙන ගත් පාසලෙන්ද ඔහු උපහාර පුදකර සිටියේ ඔහු කළ වීර ක්‍රියාව වෙනුවෙන්.  


ඒ ගැන අදහස් දක්වමින් කරන්දෙණිය මඩකුඹුර මහා විද්‍යාලයේ විදුහල්පති ධර්මදාස රාජපක්ෂ මහතා කිව්වේ මෙවැනි කතාවකි.  


මඩකුඹුර මහා විද්‍යාලයට වසර 113 ක ඉතිහාසයක් තිබෙනවා. හසිදු මධුෂාන් අපේ පාසලෙන් අධ්‍යාපනය ලබාගත් සිසුවෙක්. ඔහු ජීවිතය පරදුවට තබා කළ මේ වීර ක්‍රියාව අප විදුහල් මාතාවගේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා නොඅනුමානයි. පසුගිය 4 වැනිදා පැවැති 70 වැනි නිදහස් උත්සවයට සමගාමීව අපේ පාසලේ නිදහස් සැමරුමක් සංවිධානය කළා. 

අපේ පාසලේ ඉගෙනුම ලබා යුද්දයේ දී ආබාධිතව සිටි සුමිත් රත්නායක රණවිරුවාට උපහාර පුද කිරීමට සූදානම් කර තිබුණා. කරන්දෙණිය ඕ.අයි.සී. මහත්තයා මධුෂාන් ගැන දැනුම් දුන්නාම ඔහුටත් ඒ සමගම උපහාර පුදකරන්න තීරණයක් ගත්තා. තවත් උපහාර උළෙලක් තියන්න අප සියලු කටයුතු සැලසුම්කර තිබෙනවා. මධුෂාන් අපේ පාසලට ප්‍රදේශයට පමණක් නොව රටටම ආදර්ශයක් ලබාදුන් වීරයෙක්. මේ වගේ අයට රටේම උපහාර පුදකරන්න අවශ්‍යයි.  


මෙතැන් සිට පෙළ ගැස්වෙන්නේ මාස 11 ක් පමණ වයසැති අයි.ඩී. දනුක තුෂාන් සිඟිත්තා ළිඳට වීසිකිරීමේ අනුවේදනීය කතාවයි.  


‘අනේ මගේ පොඩි එකාව කවුදෝ කෙනෙක් ගෙදරට පැනලා උත්සාගෙන ගිහින් ළිඳට දැම්මා. මිනිහා, මුහුණ කළු රෙද්දකින් වහගෙන හිටියේ. ඒ හින්දා මට ඌ කවුද කියා හඳුනා ගන්න බැරිව ගියා. ඒ වෙලාවේ මම හිටියේ ගෙදර වළං හෝදමින්.’ යැයි පවසමින් තරුණ මවක් විලාප තබන්නට පටන් ගෙන ඇත.  


අසල්වාසීන් ළිඳ ළඟට දුවගෙන ඇවිත් ඇතේතේද මවගේ මේ විලාප හඬ ඇසීම නිසාය.  


ළිඳේ වැටී සිටි සිඟිත්තා ​ගොඩට ගත්තේ හසිදු මධුෂාන් නමැති තරුණයාය.  


කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න ඇල්ගිරියගේ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් සිද්ධිය සැලවූ මොහොතේම එහි පැමිණ පරික්ෂණ ආරම්භ කර ඇත.  


මම වළං හෝදමින් හවස ගෙදර ඉන්නකොට මුහුණ වහගත්ත කවුදෝ මිනිහෙක් ගෙයි ඇතුළේ හිටිය දරු පැටිය උස්සාගෙන ගිහින් ළිඳට දැම්මා මහත්තයෝ.  


පරික්ෂණ පැවැත්වීමට ගිය පොලිස් කණ්ඩායමට ද කියා ඇත්තේ ගමේ අයටම කී කතාවමය.  


පොලිසිය ඒ කතාව එකහෙළාම පිළිගැනීමට කිසිසේත්ම සූදානම් වූයේ නැත.  


පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න මහතා ඇතුළු පොලිස් කණ්යමට 19 හැවිරිදි පමණ වූ මව කියන මේ කතාව ගැන ඇති වී ඇත්තේ බලවත් සැකයකි.  


පොලිස් කණ්ඩායම මව පොලිසියට කැඳවා ගෙන ගියේ මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමටය.  


පොලිසියේදී ඇයට කන්න බොන්න නිවී සැනසිල්ලේ ඉන්නට ඉඩදී ඇත.  


කාන්තාවගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමට පටන්ගෙන ඇත්තේ ඊට පස්සේය.  


පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය දරුවාට කළ දෙය ගැන වමාරා ඇති බව කියති.  


සිය කුළුඳුල් දරුවා ළිඳට දමා ඇත්තේ දියේ ගිල්වා මරා දැමීමේ අරමුණින් බව පොලිසිය අවසානයේ හෙළිකර ගෙන අැතැයි කියන්නේ මව ගෙන්මය.  


පොලිසිය ඇය අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඉන් පසුවය.  


සැකකාරිය 2015 වසරේදී ලිංගික අතවරයකට ලක්වී ඇති අතර මේ සම්බන්ධ වූ නඩුව තවමත් අධිකරණයෙ විභාග වෙමින් පවතී.  


මේ නඩුව විභාග වෙන්නේ යුද හමුදාවේ හිටපු සෙබළෙකුට එරෙහිවය.  


ඊට පසු කාලයක මෙම සැකකාරිය හමුදාවෙන් පලා ආ සෙබළෙක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර විවාහකයෙක් වූ දරුවන්ද සිටින එම සෙබළා පසුව ඇයව අතහැර ගොස් ඇත.  

 

 

ඒ සෙබළා ඇය අතහැර යාමෙන් පසු සැකකාර කාන්තාව තවත් හිටපු හමුදා සෙබලෙක් සමග ද අනියම් ඇසුරක් පවත්වාගෙන යමින් සිට ඇති බව පොලිස් පරික්ෂණවලින් කරුණු අනාවරණය වී තිබේ. 

 
සැකකාර කාන්තාව ඇල්පිටිය මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 15 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියෝග කළේය.  


මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුවේ ඉලන්දාරිදේව දිලීෂා මුතුමාලි (19) නැමැති තැනැත්තියකි.  


සැකකාර මව බන්ධනාගාරගත කිරීමට පෙර කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට සහ මනෝ වෛද්‍ය විශේෂඥවරයාට යොමුකර වාර්තා ලබා ගන්නා ලෙසත් සැකකාරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබා ගන්නා ලෙසත් මහේස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා නියෝග කර ඇත.  


ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඇල්පිටිය කොට්ඨාශය බාර පොලිස් අධිකාරි නිහාල් තල්දූව සහ ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරි දුල්ශාන් නාගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරික්ෂක කේ.ඩී.එස්.පී. අතුකෝරල, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.එම්.එස්. චම්පිකා යන මහත්ම මහත්මීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.  


පොලිස් සැරයන් රණවීර (6021) සැරයන් ඩබ්ලිව්.එස්.ඩී. අබේවික්‍රම (7892), සැරයන් ජයසේකර (12236), පොලිස් කොස්තාපල්වරුන් වන ආනන්ද (26610), සේනාරත්න (67103), රංජිත් (89947) යන මහත්වරුන් සහ කාන්තා කොස්තාපල් කණ්ඩායමක්ද මෙම පරීක්ෂණවලට සහාය ලබාදී ඇත.  

 

 

 

 

 

 



සටහන  
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය