ළඟදීම කෝච්චි දුවන බෙලිඅත්ත නව දුම්රිය පාර


බෙලිඅත්ත නගරය තුළ ඉදිවෙමින් පවතින නව දුම්රිය ස්ථානය

 

 

දශක ගණනාවක් තිස්සේ බලයට පැමිණි පාලකයන් මාතර සිට කතරගම දක්වා දුම්රිය මගක් ඉදිකිරීමට සැලසුම් සකස් කෙරුණ ද එය සැබෑවක් කර ගැනීමට දශක කිහිපයක්ම ගෙවා දැමීමට සිදුවිය. පළමුවෙන්ම 70 හා 80 දශකවල කතරගම දක්වා වූ දුම්රිය මගක් ඉදිකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැතිය ද ඒවා කතාබහට පමණක් සීමා විය. පසුව නැවතත් 1990 වසරේදී පමණ මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ අවශ්‍යතාව කරළියට පැමිණියත් ඒ වනවිට රටේ පැවැති ආරක්ෂක තත්ත්වය හේතුවෙන් නැවතත් දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු පස්සට වැටුණි. මෙලෙස විවිධ බාධක මධ්‍යයේ ආ කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් 2006 වසරේදී ආරම්භ කෙරුණේ කතරගම දක්වා වූ දුම්රිය මගක සිහිනය දුටු මෙරට ජනතාවගේ ඒ සිහිනය යථාර්ථයක් කරමිනි.   


මාතර සිට කතරගම දක්වා වූ ඉදිකිරීමට යෝජිත මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අදියර 3කින් සමන්විතය. ඒ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටස පළමු අදියර ලෙසත්, බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා දෙවන අදියර ලෙසත් හා හම්බන්තොට සිට කතරගම දක්වා තුන්වන අදියර ලෙසත්ය. මින් පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කොටසෙහි වැඩ කටයුතු මේ වනවිට පවතින්නේ අවසන් අදියරේය.   
මාතර සිට බෙලිඅත්ත දක්වා වූ මෙම දුම්රිය මාර්ගය ඉදිකෙරෙන්නේ දිගම දුම්රිය උමග, උසම දුම්රිය පාලම, දිගම දුම්රිය ගුවන් පාලම හා පැයට කිලෝ මීටර් 120ක වේගයෙන් ගමන් කළ හැකි අධිවේගී දුම්රිය මාර්ගය ද සමඟිනි.   


රුහුණේ සංවර්ධනයට නව අභිමානයක් එක්කරන මෙම දුම්රිය මාර්ගයේ මාතර සිට බෙලිඅත්ත දක්වා වූ දුර ප්‍රමාණය කිලෝ මීටර් 27 කි. මේ සඳහා වියදම් කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 248.2ක් වෙයි. එය චීන එක්සිම් බැංකුව මගින් ලබා දී ඇති අතර චීන රජයට අයත් චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් සමාගම විසින් මෙහි ඉදිකිරීම් සිදු කරනු ලබයි. 2006 වසරේ ආරම්භ කෙරුණු මෙම දුම්රිය මගේ ඉදිකිරීම් මේ වනවිට පවතින්නේ අවසන් අදියරේය. මේ වනවිට මෙහි ඉදිකිරීම් 95%ක් පමණ අවසන් වී ඇති අතර එය මේ වසරේ අවසන් මාස කිහිපයේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.   

 

නිමවෙමින් පවතින නව උමං මාර්ගය

 


මාතර සිට බෙලිඅත්ත දක්වා වූ කිලෝ මීටර් 27ක දුර ප්‍රමාණයකින් යුත් මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 6ක් ඉදිකර ඇත. ඒ ප්‍රධාන දුම්රිය ස්ථාන 4ක් හා උපදුම්රිය ස්ථාන 2ක් ලෙසය. එය පිළිවෙළින් මාතරින් පසු පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, වැව්රුකන්නල හා බෙලිඅත්ත ලෙසයි. මේ අතරින් පිලදූව හා වෙහෙරහේන දුම්රිය ස්ථාන දෙක ඉදිවන්නේ උපදුම්රිය ස්ථාන ලෙසයි. මේ සියලු දුම්රිය ස්ථාන සුපිරි වෙළෙඳසල්, වාහන නැවතුම් ස්ථාන ඇතුළුව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව ඉදිවීම ද විශේෂත්වයකි. දුම්රිය මගී පර්යන්ත ද ගුවන් තොටුපොළ මගී පර්යන්තයට සමානව ඉදිකෙරේ. දුම්රිය මාර්ගය සඳහා මේ දිනවල ඉදිකෙරෙමින් පවතින වර්ණ සංඥා පද්ධතිය ද නවීන තාක්ෂණයෙන් යුක්තය.   


මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය ඉතිහාසයේ නවතම පිටුවක් පෙරළීමට ද සමත් වී තිබේ. ඒ මෙම දුම්රිය මගේ ඇති විශේෂිත කරුණු කිහිපයක්ම නිසාවෙනි. මෙම දුම්රිය මාර්ගය බ්‍රිතාන්‍ය සමයෙන් පසු මෙරට ඉදිවෙන ප්‍රථම දුම්රිය මාර්ගය ලෙස ඉතිහාසගත වනු නොඅනුමානය. එමෙන්ම මෙම දුම්රිය මාර්ගය ලංකාවේ පවතින දුම්රිය මාර්ග අතරින් අධිවේගයෙන් ගමන් කළ හැකි එකම දුම්රිය මාර්ගය ද වෙයි. ඊට ​ෙහ්තුව එහි පැයට කිලෝ මීටර් 120ක වේගයෙන් ධාවනය කිරීමට හැකිවීමයි. 

 
මෙහි දුම්රිය හරස් මාර්ග ඉදිකිරීම් කෙරෙහි ද විශේෂිත තැනක් ලබා දී තිබේ. දුම්රිය හරස් මාර්ග තුළදී සිදුවන අනතුරු අවම කිරීම කෙරෙහි මෙහි දැඩි අවධානයක් යොමු කර තිබීම විශේෂිත කරුණකි. මාතර සිට වෙහෙරහේන දක්වා වූ කොටසේ පමණක් අත්‍යාවශ්‍යම ස්ථාන 8ක හැරුණු කොට අන් කිසිදු ස්ථානයක දුම්රිය හරස් මාර්ග මෙහි දක්නට නොමැත. ඉදිකර ඇති සියලුම දුම්රිය හරස් මාර්ග ඇත්තේ දුම්රිය මාර්ගයට ඉහළින් හෝ පහළින් වීම විශේෂත්වයකි. දුම්රිය මාර්ගය මැදින් ගමන් කිරීමට ඉදිකර ඇති දුම්රිය හරස් මාර්ග 8 ද මාතරින් දුම්රිය පිටත් වූ වහාම දුම්රිය හරස් මාර්ග 8ම ස්වංක්‍රීයව වැසී යන පරිදි සකස් කර තිබේ. ඒ දුම්රිය මාර්ග තුළ සිදුවන අනතුරු අවම කිරීම සඳහාය.   


මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකෙරුණු මෙම දුම්රිය මාර්ගය නව වාර්තා කිහිපයකටම හිමිකම් කියන්නේ දුම්රිය ඉතිහාසය ද වෙනස් කරමිනි.   


මෙරට පොළොව මට්ටමේ සිට වැඩිම උසකින් යුතු දුම්රිය පාලම මෙම දුම්රිය මාර්ගයේදී දැකගත හැකිය. ඒ වෙහෙරගොඩ ප්‍රදේශයේදීය. වෙහෙරගොඩ පාලම නමින් හැඳින්වෙන මෙම පාලම මීටර් 21ක උසකින් යුක්තය. එමෙන්ම මෙරට දිගින් වැඩිම බිම්ගෙය ද පවතින්නේ මෙම දුම්රිය මාර්ගයේය. ඒ දිගින් මීටර් 615කින් සමන්විත මෙම බිම්ගෙය කැකණදුර නාකුටිය කන්ද මැදින් ඉදිකර ඇත්තේ ලංකාවේ වැඩිම දිගින් යුතු බිම්ගෙය ලෙස මෙතෙක් ගෞරවය හිමි කරගෙන තිබූ හැටන් හා කොටගල අතර පිහිටි සිංගිමලේ බිම්ගෙය දෙවන ස්ථානයට දමමිනි.  


වාර්තා රැසක් තබමින් ඉදිකෙරුණු මෙම දුම්රිය මගේ ගමන් කරන සැමට තවත් විශේෂිත අත්දැකීමකට මුහුණ දීමට හැකිය. ඒ මෙරට දුම්රිය මාර්ගයක ඉදිකෙරුණු දුම්රිය ගුවන් පාලමක ගමන් කිරීමට හැකි වීමයි. “වටගම” පාලම නමින් හඳුන්වන මෙරට දිගම හා එකම දුම්රිය ගුවන් පාලමෙහි දිග කිලෝ මීටර් 1.5 කි. මෙම පාලමට අමතරව තවත් ගුවන් පාලම් කිහිපයක්ම මෙම දුම්රිය මාර්ගයේදී දැකිය හැකිය. නිල්වලා නදිය අසල ඉදිකර ඇති ගුවන් පාලම ද දිගින් කිලෝ මීටර් 1.4ක දුරකින් යුක්තය.   


මේ මාර්ගයේ පළමු කොටස මාතර සිට දික්වැල්ල දක්වා ඇදී යන්නේ කුඹුරු හා තෙත් බිම් මැදිනි. කඩොලාන ප්‍රජාව ද එහිදී හමුවේ. මේ තෙත් බිම් හරහා දුම්රිය මාර්ගය යෝධ කොන්ක්‍රීට් කුලුනු මතින් දිවයයි. මේ නිසා සමහර දුම්රිය ස්ථාන ද උස් භූමිවල ඉදිකිරීමට සිදුව තිබේ. ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් ඉදිකෙරෙන මෙම දුම්රිය මගෙහි මේ වනවිට චීන ජාතිකයන් ඇතුළු 2000කට අධික පිරිසක් ලහි ලහියේ සේවයේ යෙදෙන්නේ මේ වසරේ අග භාගය වනවිට මාතර සිට බෙලිඅත්තට කෝච්චිය රැගෙන යාමටය.   


මෙලෙස ඉදිකර ඇති මෙම දුම්රිය මාර්ගය පිළිබඳව ජනතා අදහස් ද විමසීමට අප කටයුතු කළ අතර මේ ජනතාව පැවැසූ අදහස්ය.   


බෙලිඅත්ත පොදු වෙළෙඳ සංගමයේ සභාපති සරත් විජේසූරිය මහතා - “ඇත්තටම අපිත් හරිම ආසාවෙන් බලා ඉන්නෙ මේ දුම්රිය මාර්ගය විවෘත කරන තෙක්. මගේ නිවෙස පිහිටලා තියෙන්නෙත් මේ අලුතින් හැදෙන කෝච්චි පාරට මීටර් 50ක් විතර දුරින්. දැන් අපේ මේ ඉන්න ව්‍යාපාරිකයන්ට වෙළෙඳාමක් කරගන්න ඕන අවශ්‍ය වෙන බඩුමුට්ටු ගේන්න කොළඹ වගේ දුර බැහැරට යන්න ගියාම ගොඩක් කාලය ගත වෙනවා. ඒ යන්න ගියාමත් හරියට වෙලාවට යන්න බැහැ. අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නැහැ. දැන් එන්න එන්නම ජනගහණය වැඩි වෙනවා. ඒ නිසාම තදබදය වැඩි වෙනවා. ඒ නිසා මේ කටයුතු අඩුපාඩුවක් නැතිව ඉක්මනින් හැදිලා ඉවර වෙනව නම් එය අපිට ලොකු පහසුවක් වෙනවා.”   


මුද්‍රණාල හිමිකරුවකු වන ඉන්දික දඩල්ලගේ මහතා - “තව මාස දෙක තුනකින් කෝච්චි පාරෙ වැඩ ඉවර වෙනවා කියලා දැන ගත්තම අපිටත් ලොකු සතුටක් ඇති වුණා. අපි තවම පුංචි ව්‍යාපාරිකයො. ලොකු සල්ලිකාරයො නොවෙයි. බැංකු ණය අරන් තමයි මේ ව්‍යාපාර පටන් අරන් තියෙන්නෙ. දැන් මගේ මේ මුද්‍රණාලයෙ වැඩ කටයුතු කරගෙන යනකොට ඊට අවශ්‍ය වන ලිපිද්‍රව්‍ය ගේන්න නිතර නිතර කොළඹට යන්න වෙනවා. දැන් යනකොට කුලියට වාහනයක් අරගෙන තමයි යන්නෙ. ඒකටත් ලොකු වියදමක් දරන්න වෙනවා. අපි බලාගෙන ඉන්නෙ කවදා ද මේක හැදිලා ඉවර වෙන්නෙ කියලා.”


පුද්ගලික ආයතනයක රැකියාවක නියුතු රෝහණ ආරියරත්න මහතා - “අපිටත් වඩා ඉදිරි අනාගතයෙ හැදෙන වැඩෙන ළමයින්ට මේ තුළින් ලොකු පහසුකමක් ඇති වෙනවා. වැඩිදුර උසස් අධ්‍යාපනය හදාරන්න දැනටමත් මේ පැත්තෙ ඉන්න ළමයි යන්නෙ ගාල්ල මාතර වැනි නගරවලට. ඊට අමතරව විශ්වවිද්‍යාලව, ඉගෙන ගන්න යන අයටත් මේ නිසා ලොකු පහසුකමක් වෙනවා. සමහර වෙලාවට ගියාම එන්න බස් නැහැ. අපිත් හරිම බයෙන් ඉන්නෙ. ඒ වගේම සමහර අවස්ථාවල හරිම අනාරක්ෂිතයි. මේ කෝච්චි පාර හැදුනම මේ බෙලිඅත්ත තංගල්ල වගේ ප්‍රදේශවලට ඉන්න අයට ගමනාගමන පහසුකම්වලට ලොකු පහසුවක් වෙනවා. ඒ වගේම දුර බැහැර රැකියාවලට යන්නත් ලොකු පහසුකමක් වෙනවා. ඇත්තටම අපිත් හරිම කැමැත්තෙන් ඉන්නෙ මේ කෝච්චි පාර විවෘත කරනතෙක්.”

 


මේට්‍රික් උභයරත්න මහතා - “රුහුණු පළාත කියන්නෙ සංචාරක පුරවරයක්. මේ පැත්තෙන් ගත්තම තංගල්ල නගරයෙ සංචාරකයො වැඩි වශයෙන් ගැවසෙනවා. ඒ අයගේ පැමිණීම මේ නිසා වැඩි වෙනවා. ඒ අයට කිසිම අපහසුවකින් තොරව ගමන් පහසුකම් ඇති කරගන්න පුළුවන්. දැන් බෙලිඅත්තෙ ඉඳලා යාපනයට වුණත් එක දිගට යන්න මේ නිසා හැකියාව ලැබෙනවා. මේ ප්‍රදේශය අවට මේ නිසා රැකියා අවස්ථා බිහි වෙනවා. ඇත්තටම මේක අපේ හිත්වල තිබුණු ලොකු හීනයක් හැබෑ වීමක් කියලා කියන්න පුළුවන්.”


මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම නිසා ජනතාවට ඒ තුළින් අත්වන්නේ සහන රැසකි. මේ තුළින් මෙතෙක් ජනතාවට තිබූ ගමනාගමන අපහසුතාවට ප්‍රධාන ලෙසම විසඳුමක් ලැබෙනු ඇත. ඊට අමතරව මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟ හම්බන්තොට වරායට හා මත්තල ගුවන් තොටුපොළට ද කඩිනමින් ළඟා වීමේ හැකියාව උදාවෙයි. එමෙන්ම බෙලිඅත්ත දක්වා පමණක් ඉදි වී ඇති මෙම දුම්රිය මාර්ගය කඩිනමින් කතරගම දක්වා ද ඉදිවුවහොත් ඒ තුළින් ජනතාවට අත්වන වාසිය මිල කළ නොහැකි වනු ඇත. එනිසා බෙලිඅත්තෙන් නවතින දුම්රිය මාර්ගයේ රතු සංඥා නොදැල්වී කතරගම දක්වාම ගමන් කරනු ඇතැයි අප ද බලාපොරොත්තු වෙමු.

 

 

සටහන හා සේයාරූ
සූරියවැව දිලීප් ජයසේකර