හොර පොල් කඩන්නා ගසෙන් වැටී මැරුණු හැටි


ජීවිතය නිවැරදි මගට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අම්බලන්ගොඩ ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.   

අවි ගත්තෝ අවියෙන්ම පරලොවට   


දකුණු ලක මුහුදට සමීප ගමකි. ඒ ගම විසූ සරත් දරුවන් දෙදෙනකුගේ පියෙකි. ඔවුන් දෙදෙනාම පුතුන්ය. බිරිඳ ගෘහණියකි.   


සරත්ට තම බිරිඳ හමු වූයේ සරත්ගේ ගමට දෛනික වැටුපට රැකියාවට ගිය අතුරතුර දැන හඳුනා ගැනීමෙන්ය. සරත්ගේ ගමට කිලෝමීටර් 10 එහායින් බිරිඳගේ ගම විය. විවාහයෙන් පසු සරත් බිරිඳගේ ගමට ගොස් ඇගේ නිවසට සමීප ඉඩමක සාමාන්‍ය නිවසක් සාදාගෙන දෙදෙනා පදිංචි වූහ.   


බිරිඳ දැන් රැකියාවට නොගොස් දරුවන් බලා කියා ගේ දොර වැඩකරමින් සිටින්නීය. සරත් රැකියාව ලෙස කරන්නේ ගමට සමීප කැලෑවේ පොළොවේ ඇති සිප්පි කටු ගොඩදැමීමය. ගොඩදමා විකිණීමය. සිප්පි කටු මිලට ගන්නා මුදලාලිලා ඒවා කොළඹට ගෙන යයි. ඒ කුකුල් කෑම නිෂ්පාදනයටය. 


සරත් කාර්ය ශූරය. කඩිසරය. කම්මැලිකම ගෑවිලාවත් නැති අයෙකි. සිප්පි කටු ගොඩ දැමීම අනෙක් මිතුරන්ට වඩා වැඩිවෙන්නේ මේ ගුණාංග නිසාය. 


​මේ නිසා දෛනික කුලී වැඩකට වඩා සිප්පි ගොඩ දැමීමෙන් සරත් තරමක් ​හොඳ ආදායමක් උපයයි. ඔහුගේ මිතුරන් ද එසේමය. සරත් මිත්‍රශීලීය. මිතුරු සමාගම ප්‍රිය කරයි. රැකියාව අධික කය වෙහෙසා කරන එකක් බැවින් ඉඳහිට මිතුරන් සමග මත්පැන් ටිකක් බී හැන්දෑවට නිවසට පැමිණේ. කල්යත්ම ඉඳහිට කල මේ පුරුද්ද දිනපතා මත්පැන් බීමට ඇබ්බැහි විය. 


සරත් දඩමස් කෑමට ද ලොල්විය. මුලින්ම දඩමස් සොයා ගත්තේ සිප්පි ගොඩ දැමීමට යන කැලෑවේ උගුල් ඇටවීමෙන්ය. උගුල් ඇට වූ දිනට පසු දින පාන්දරින් ගොස් ඇට වූ උගුල් බලා වන සතුන් අසුවී ඇත්නම් ගෙනවින් මස් කර පවුලේ අය සමඟ ආහාරයට ගනී. අතිරික්කයක් ඇත්නම් මිතුරන් සමඟ මත්පැන් බී විනෝද වෙයි. 


මෙලෙස උගුල්වල හසුවන්නේ මල්මීයන් (මීමින්නා), හාවන්, ඉත්තෑවන් සහ තලගොයින්ය. 


කල් යත්ම උගුල්වල සතුන් හසුවීම ක්‍රමයෙන් අඩුවිය. එවිට සරත් කළේ බලපත්‍ර නොමැති තුවක්කුවක් මිලට ගැනීමය. දැන් සිත් සේ කැලෑවට වැදී සතුන් දඩයම් කරයි. දඩමස් පවුලේ අය කා බී අතිරික්තය අලෙවි ද කරයි. 
හොර තුවක්කුව ගත් පසු වල් ඌරන් මුවන් කැලෑ (වල්) වැදුණු ගවයින් හා කලපුවට එන පක්ෂීන් ද දඩයම් කිරීම සරත්ගේ විනෝදාංශය විය. ඉන් අමතර ආදායමක් ද ලැබීය. සරත්ගේ නිවසේ හැමවිටම ශීතකරණවල මස්ය. මස් අලවිය ද වැඩිය. 


මිතුරන් සමග දඩයමේ යෑම ද සතියකට දිනක් දෙකක් සිදු කරයි. එහෙත් සිප්පි කටු ගොඩදැමීම ඔහුගේ ප්‍රධාන ජීවනෝපායය. මොන දේ කළත් එය අත් නොහරී. 


දිනක් රාත්‍රියේ මිතුරන් සමග මත්පැන් බී කැලෑ වැදුණේ ගෙදර වල් ඌරුමස් හා වෙනත් මස් ඕනෑ තරම් තිබියදීය. ඔහු ඇතුළු මිතුරන්ගේ ඉලක්කය වූයේ වල් ඌරන්ය. ඒ සඳහා කැලෑවේ කදිම තැනක් තිබිණි. ඒ වන සතුන් ජලය බීමට නිතැනින්ම පැමිණෙන වැසි ජලයෙන් පිරෙන ජලාශයකි. එය තරමක් විශාල වැවකි. සරත් ඇතුළු පස් දෙනෙක් වල් ඌරන් එනතෙක් නිසොල්මනේ රැකවල් ලා බලා සිටියෝය. ඒ වැව් තාවුල්ලේය. 
රාත්‍රිය කට්ට කළුවරය. වැව්තාවුල්ල එළිමහනක් බැවින් යම් සහන් එළියක් ඇත. සතුන් දිය බීමට ජලාශයට බසින විට දඩයම් කරන්නේ මේ සහන් එළියෙන්ය. විදුලි පන්දම් එල්ල කිරීමක් සිදු නොකරයි. 


ඈතින් සද්දයක් ඇසිණ. වල් ඌරෝ ජලය බීමට දියට බසින්නට විය. සරත් ඇතුළු පිරිස කුරුමානම වැරදේදෝයි සිතා වල් ඌරන්ට තවත් ළංවීමට කරුවලේම බඩගෑවේය. 


ඒ ක්ෂණයකින් මුළු කැලයම ගිගුම් දෙමින් වෙඩි දෙක තුනක් පත්තු විය. 


‘බුදු අම්මෝ’ කියමින් මර ලතෝනි දෙමින් සරත් ඇතුළු දෙදෙනකු බිම පෙරලී දඟලන්නට වූහ. දෙදෙනකු නිරුපද්‍රිතය. තිදෙනෙකුට වෙඩි වැදිලාය. 


නිරුපද්‍රිත දෙදෙනා ගමට පැමිණි වාහනයක් සෙවුහ. වෙඩි තැබීමක් නිසා වාහන හිමිකරුවෝ තුවාලකරුවන් ගෙන යාමට බියවූහ. එක් වාහන හිමිකරුවකුට බොරු කියා බැගෑපත්වී වාහනය කැලය සමීපයට ගෙන ගොස් වෙඩි වැදුණ සරත් ඇතුළු දෙදෙනා වහා රෝහලට ගෙන යන ලදී. 


එහිදී සරත් සහ තවත් අයෙකු මිය ගියේය. එක් අයකුට බරපතළ තුවාලය. සරත් මිය යනවිට යන්තම් අවුරුදු 35 පිරුණා විතරය. මියගිය අනෙක් මිතුරාත් සම වයසේය. 


උදෑසන වනවිට සියලු තතු හෙළිවිය. සරත් ඇතුළු මිතුරන්ට වෙඩි තබා ඇත්තේ තවත් දඩයක්කරුවන් පිරිසක් විසින් ඌරන් යැයි සිතා අත්වැරදීමකින්ය. 


නීතිය නැමුණේය. එලෙස වූයේ සරත්ලා යහපත් ගමනක් නොගිය නිසාය. සියල්ල සිදු වූයේ සරත් ඇතුළු පිරිසට කළකම් මෙලොවදීම විපාක දෙමින්ය.  

 



මතුගම පියසේන දොඩන්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

හොර පොල් කඩන්නා ගසෙන් වැටී මළේය. 


පොල් සඳහා රටේ කවදත් තිබුණේ ඉහළ ඉල්ලුමකි. ගමේ ගොඩේ සෑම ඉඩමකම පොල්ගස් දෙක තුනක් වවා ගැනීම ගැමි ජනතාවගේ පුරුද්දකි. අද මෙන් පොල් මිල ඉහළ යාමක් නොවුණත් හොරෙන් පොල් කඩන අය ද නොසිටියා නොවේ. 


වියපත් දෙමව්පියන් සමග ජීවත්වෙන ‘බිංදුවා’ හරිහමන් රැකියාවක් නොකරන මැදිවියේ අයෙකි. මත්වතුරට ගිජු වූ ඔහු අතට මුදලක් හොයා ගැනීම සඳහා රෑ පානේ අහළ පහළ උදවියගේ ගෙවතුවලට ගොස් හොරෙන් පොල් කැඩීම පුරුද්දක් කරගෙන සිටියේය. 


දිනක් රාත්‍රියේ බිංදුවා කඹය, පිහිය හා ගස් නගින වළල්ල ද රැගෙන මිතුරු ගැටවරයකු සමග ගෙදරින් පිටමං වූයේ හොරෙන් පොල් වල්ලක් දෙකක් බා ගැනීම සඳහාය. ඔහු දිවා කාලයේ දැක බලාගත් ගෙවත්තක වූ පොල් ගසක් වෙතට ළඟා වූ දෙදෙනා කඹ කෙළවරක් අසල ගසක ගැට ගසා ගෝලයා ගස මුල නවතා බිංදුවා ගසට නැංගේය. 


පොල්වලු බා ගැනීම සඳහා කඹ කෙළවර ද ගසට ගෙන යෑමට ඔහු අමතක කළේ නැත. පොල්ගසේ කරටියට නැගගත් බිංදුවා කඹපොට පිත්තක ගැට ගසා එම කඹය දිගේ පැසුන පොල්වලු දෙකක්ම බිමට බා ගැනීමට සමත් විය. නිවැසියන්ට හොරා සද්ද බද්ද නොකර පොල්වල්ල කඹය දිගේ බිමට බා ගැනීමේ උපක්‍රමය බිංදුවා කලක පටන්ම දනී. මේ අතර සිදුවූයේ බලවත් අකරතැබ්බයකි. වේලාව මැදියම් රැය වුණත් අසල නිවසේ ගෙහිමියා ඉදිරි දොර හැරපියා නිවසින් එළියට එන ශබ්දයක් බිංදුවා හා ඔහුගේ උදව්කරුවාට ඇසුණි. ගෙහිමියාගේ විදුලි පන්දම් එළිය නිසා තමා හඳුනා ගැනීමට හැකිවේ යැයි සිතු ගෝලයා එලොව පොල් පෙනී පොල්වලුද අතහැර ගසේ සිටි බිංදුවාද අමතක කොට පලා ගියේය. 


ගසේ සිටි බිංදුවාද පොල් අත්තේ ගැටගසා තිබූ කඹ කෙළවර ලිහා ගැනීමට සැරසෙන විට පොල්පිත්ත පිටින්ම ගැලවී ඔහු ඇද වැටුණේ අඩි විසිපහක් තිහක් ඉහළ සිට ගස අසල තිබූ ගල් තලාව මතටය. 


බුදු අම්මෝ මං ඉවරයි යනුවෙන් මරහඬ නගා බිංදුවාගේ හිස පොඩි පට්ටන් වී තිබිණි. මෙලොවින් තුරන්වී යාමට ඔහුට ගතවූයේ සුළු මොහොතකි. ​පොල්ගස හිමි නිවසේ හිමියා ගස ළඟට එනවිට සියල්ල සිදුවී හමාරය. ලේ විලක් මැද බිංදුවා මියගොස් තිබුණි. බිංදුවාගේ මරණින් පසු ගමේ ගොඩේ හොරෙන් පොල් කැඩීමක් සිදු වුණේ නැත.  



අම්පාර ගලපිටගල ධනපාල කොඩිතුවක්කු මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

කඩි විසෙන් දිවි තොර වූ බකයා කිරිගෝරිස් 


ලංකාවේ හතළිහේ දශකය අග භාගයේ මෙන්ම පනහේ දශකය ආරම්භයේ ගොවි ජනපද ව්‍යාපාර ඇතිවීම සිදුවිය. ජනගහනයෙන් ව්‍යාප්තියත් සමගම රට පාලනය කළ ඇත්තන්ට එසේ කරන්නට සිදුවිය. මහජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම ප්‍රධාන අරමුණ විය. 


එදා වූ පාලකයින් ජනතා හඬට කන්දුන්නා මෙන්ම ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් තමන්ගේ සුඛවිහරණය ගැන පවා තැකුවේ නැත. එහි එක් පියවරක් ලෙස ගොවිජනපද ආරම්භ කිරීම සැලකිය හැකිය. 


මෙම ජනපදවලට නන්දෙසින් ජනතාව ගෙනවිත් පදිංචි කරන ලදී. ඔවුන් අතර නොයෙක් තරාතිරමේ පුද්ගලයෝ වූහ. හොඳ මෙන්ම නරක ක්‍රියාවන්හි යෙදුණෝ අපමණය. 


ගිරිගෝරිස් ද මෙම ප්‍රදේශයට ජනපදිකයකු ලෙස පැමිණි අතර පළමු සහ පස්වන සිල්පද දෙකම නිරතුරුවම කඩන්නෙකි. 


මත්වතුර සකසා විකිණීම ජීවනෝපාය ලෙස කළ අතර ඒවා බකයා නමින් හැඳින්වුණි. මේ බකයා පානයට ගමේ කොටසක් ඇබ්බැහි වූයේ නිතැතින්මය. මේ සඳහා වැඩිදුර මුදලක් වැය නොවීමත් පානය කිරීමෙන් පසු අධික ලෙස මත්වීමත් නිසාවෙනි. 


මුලදී සුලුවෙන් ආරම්භ කළ ද පසුව මහා පරිමාණයෙන් සැකසීම සිදුවිය. පොලිසියේ ඇස් වසා කළ ද එය සීමා වූයේ ටික දිනකට පමණි. හිටිහැටියේ අත්අඩංගුවට පත්වුවද අදාළ දඩ මුදල් ගෙවා පැමිණ තම කාර්යය සුපුරුදු ලෙස පවත්වාගෙන ගියේය. උප්පැන්නයට කිරිගෝරිස් වුවද තවත් කොටසක් නමට එක් කරන ලද්දේ ප්‍රදේශවාසීන්ය. බකයා කිරිගෝරිස් නමින් ඔහු ප්‍රචලිත විය. 


කෙසේ වුවත් නරක යයි සම්මත ක්‍රියාවන්ට ආයුෂ අල්පය. වෙනදා මෙන් බකයා කිරිගෝරිස් තම කටයුතු සුපුරුදු පරිදි අරඹා හාවෙකු මරා මස් ද එම ස්ථානයේ සැකසුවේ කටගැස්මටය. සන්ධ්‍යා කාලයේ එකා දෙන්නා බකයා තිප්පොළට සේන්දු වූයේ සුපුරුදු ජීවන රටාව මග නොහරිමිනි. වෙනදා මෙන් එදිනද බකයා කිරිගෝරිස් ද අන් අයට බකයා බෙදමින් ඔහු ද සුළුවෙන් පානය කරන්නට විය. හාමස් ද ගිල දමමින් මත්වතුර පානය වෙනදාට වඩා සීමාව ඉක්මවා ගියේය. එබැවින් වෙනදා මෙන් නිවසට පැමිණීම අතර මඟ නතර විය. පාර අසල කැලෑ රොදක් අසල ඇද වැටුණේය. 


පසු දින අලුයම කුඹුරට යන ගුණපාල දුටුවේ විෂ කඩියන්ගේ (කුඹුක් කඩි) ග්‍රහනයට නතු වූ සිරුරකි. විපරම් කර බැලීමේදී හඳුනාගත හැකි වූයේ බකයා කිරිගෝරිස්ගේ සිරුරය. මුළු සිරුරම කාල වර්ණයෙන් ඈතට දිස්විය. ජනතාවට විස පෙවූ බකයා කිරිගෝරිස්ගේ අවසානය විස කඩින්ගෙන් සිදුවීම කෙතරම් දෛවෝපගතද? 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න. 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්න​ෙකා්න්